කැලණි ගඟේ මිනිසුන් බිලිගන්න තැන්


 

කැලණි ගඟේ රංවල තොටුපොළෙහි දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතරින් දෙදෙනෙක් පසුගිය පළමු වැනිදා දියේ ගිලී මියගියහ. මියගිය දෙදෙනාම මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි සිසුන්ය. ඔවුන් දෙදෙනා වැලිවේරිය - ක්‍රිස්තුරාජ විදුහලේ 13 වසර ඉගෙනුම ලබමින් සිටි රොසර් වාසනා පීරිස් හා සහන් උපේෂල පෙරේරා යන සිසුන්ය. 


හදිසි අනතුරු අතුරින් වැඩිම පිරිසක් මියයන කාරණාව වන රිය අනතුරුවලට පසුව වැඩිම පිරිසක් මියයන හේතුව දියෙහි ගිලීම බවට පත්ව තිබේ. දියෙහි ගිලී මිය යන ජීවිත අතරින් වැඩිම පිරිස වන්නේද තරුණයින්ය. බොහෝවිට පාසලට හෝ උපකාරක පන්තිවලට යන බව නිවසට පවසා සිසු සිසුවියන් දිය නෑමට යාමෙන් මෙම ව්‍යසනය වඩාත් උග්‍රවී තිබේ. 


කැලණි ගංගාවේ ගිලී මිය යන පිරිසද දිනෙන් දින ඉහළ යමින් තිබේ. ගංගාවේ වැඩියෙන්ම දියේ ගිලීම් වාර්තා වෙන්නේ අවිස්සාවේල්ල සිට කැලණිය දක්වා වූ කොටසේය. කැලණි ගඟේ වැඩිම වැලි හාරන කොටස වෙන්නේද එම කොටසයි. 


පසුගිය පළමුවැනිදා පාසල් සිසුන් දෙදෙනා දියේ ගිලුණු රංවළ තොටුපොළද ජීවිත රැසක් බිලිගත් ස්ථානයකි. අතීතයේදී රජවරුන්ට රත්‍රං සැපයූ වළක් මෙහි තිබූ නිසා රංවළ වූ බව පැවැසේ. එසේම කැලණි ගංගාවට අධිපති දෙවියා ලෙස සැලකෙන රංවල දෙවියන්ගේ නිජ භූමිය ලෙස සැලකෙන්නේද රංවළය. මෙම ස්ථානයේ වරින් වර රත්‍රං මතුවීම නිසා මෙහි වැලිගොඩ දැමීමද වෙනත් ස්ථානවලට වඩා වැඩිය. ඒ වැලිත් සමග රත්‍රං හමුවේ යැයි සිතන බැවිනි. එම නිසා රංවළ තොටුපොළ හා අවට වැලි හෑරීමෙන්ම ඉතා ගැඹුරු මට්ටමට පත්ව තිබේ. 


රංවළ ප්‍රදේශයේ ජීවත්වූ සිල්වත් උපාසක මහතකු නිතර බණ භාවනා කටයුතු සඳහා පාරුවකින් කැලණි ගඟ දිගේ කැලණි විහාරයට ගිය බවත්, ඔහු මියගිය පසුව රංවල දෙවියන් වී උපත ලැබූ බවත් ජනාප්‍රවාදයේ එයි. ඔහු ඉපයූ රත්‍රං ඇතුළු ධනය නිධන් කළ ස්ථානය රංවළ වූ බවත් පැවැසේ. රංවළින් අවස්ථා කිහිපයකදී රත්‍රං හමුවීම නිසාම රංවළ තොටුපොළ අවට අනවසර වැලි හෑරීම නිසාත් එම ස්ථානය ගැඹුරු හා භයානක ස්ථානයක් බවට පත්ව තිබේ. එම නිසා රංවළ තොටුපොළ හා ඒ අවට ප්‍රදේශය දියනෑම පිණිස වඩාත් භයංකර වන්නේය. 


කැලණි ගඟේ දරුණු ගණයේ වක්කලම් කිහිපයක්ම පිහිටා තිබේ. වක්කලමක් යනු ගංඟාවේ පිහටි ‘‘වක්’’ වූ ගැඹුරුම ස්ථානයි. රංවළ තොටුපොළට ඉහළට වෙන්නට ගංඟාවේ දිගම වක්කලම පිිහිටා තිබේ. ඒ ‘‘දුම්බුකටුව’’ වක්කලමයි. එය කිලෝමීටර් තුනක් පමණ දිගය. කිමිදුම්කරුවන්ට පවා එහි කිමිදීම අසීරු කටයුත්තකි. වක්කලම ඉතා ගැඹුරුම හා භයානක වෙනවා සේම ගංඟාව ‘‘වක්’’ වූ තැනක පිහිටීම නිසා එහි භයානකකම තවත් වැඩිකරවයි. 
කැලණි ගංඟාවේ භයානකම ‘‘වක්කලම’’ පිහිටා ඇත්තේ​ කැලණිය ප්‍රදේශයේය. එය කළගෙඩි වක්කලමයි. කළගෙඩියක් වතුරට වැටුණත් එක්වරම එය ගිලීයන නිසා කළගෙඩි වක්කලම ලෙස හැඳින්වේ. කළගෙඩි වක්කලම පිහිටි ස්ථානයේ ගංඟාවේ ගැඹුර අඩි 80 කින් ආරම්භ වේ. ගං ඉවුර ආසන්නයේ අඩි 80 ක් ගැඹුරු නම් වක්කලම මැද ගැඹුර ඔබට සිතා ගත හැකිය. කළගෙඩි වක්කලම පිහිටා ඇති ස්ථානයේ ගං ඉවුරට ඉහළින් ඇති ඉඩමේ හිමිකරු වන්නේ එස්.ඒ. නාලක මහතායි. ඔහු කළගෙඩි වක්කලම ගැන කීවේ මෙවැන්නකි. 

 


‘‘හැමදාම කිඹුලන් දෙදෙනෙකු ඔතන ඉන්නවා. වක්කලම මැද භයානක දිය සුළියක් ක්‍රියාත්මක වෙනවා. මේ ළඟඳි අඩි 30 - 40 ක් දිග විශාල උණ පඳුරක් ගඟ දිගේ ආවා. කළගෙඩි වක්කලමට ආවා විතරයි. උණ පඳුරට වෙච්ච දෙයක් නෑ. ඕනෑම විශාල දෙයක් වුවත් දිය යටට ඇද ගැනීමේ ශක්තියක් කළගෙඩි වක්කලමේ දිය සුළියට තියෙනවා’’ නාලක මහතා කියයි. මතුපිට සිට අඩි 10 ක් ගෑඹුරට උණුසුම් ජල තට්ටුවක් ඇති කළගෙඩි වක්කලමේ ඊට යටින් පිහිටි ජල තට්ටුව ඉතා ශීතල බවත් ඔහු කියයි. 


කළගෙඩි වක්කලම තරම් නොවුවත් තවත් භයානක වක්කලමක් පිහිටා ඇත්තේ මල්වාන රාස්සපාන වක්කලමයි. පෘතුගීසීන් විසින් ඉදිකළ මල්වාන බළකොටුව ආසන්නයේම පිහිටි රාස්සපාන වක්කලම අසල ‘‘රාස්සාපාන’’ නම්වූ ගල් තලාවක්ද පිහිටා තිබේ. 


පෘතුගීසීන් විසින් ‘‘රෝසපානී’’ නමින් හඳුන්වන ලද මෙම ගල්තලාව අසල දියනෑමට ගිය බොහෝ දෙනෙකු දියේ දීලී මියගියහ. රාස්සපාන ගල්තලාව අසලින් පිහිටා ඇත්තේ කැලණි ගංඟාවේ දිගම උමං මාර්ගයයි. මීට පෙර සඳහන් කළ කැලණියේ කළගෙඩි වක්කලමේ සිටද උමං මාර්ගයක් ගංපතුලේ පිහිටා ඇති අතර එය මුල්ලේරියාව දෙසට පිහිටා ඇත. එවැනි උමං මාර්ගවල උමං කට අඩි තුනක් පමණ විශාල වුවත් රාස්සපාන උමං කට අඩි 06 ක් පමණ විශාලය. ජලයේ උඩ මට්ටමේ සිට අඩි 80 ක් පමණ ගැඹුරින් පිහිටි රාස්සපාන උමඟ උඩමාපිටිගම ප්‍රදේශයේ පිහිටි ගල්ලගම දේවාලය තෙක් විහිදී ඇති බවට විශ්වාස කෙරේ. 


ඊට අමතරව හංවැල්ල මාලිගාවිල වක්කලමෙන් පටන් ගන්නා උමඟත්, රග්ගහවත්තේ පිහිටි උමගත්, කැලණි ගං පතුලේ පිහිටා ඇති සෙසු උමං මාර්ග වෙති. 
කැලණි ගඟ පිළිබඳ පර්​ෙ‌ය්ෂණ කළ කිමිඳුම්කරුවන්ට අනුව කැලණි ගංඟාව තුළ ඇති ගැඹුරුම වක්කලම බෝගහ වක්කලමයි. ඒ නිසා එය වඩාත් දරුණු වක්කලම ලෙසද හැඳින්වේ. එම වක්කලමෙන් පටන් ගන්නා උමං මාර්ගයක් කැලණි විහාරය දෙසට විහිදී තිබේ. කැලණි විහාරය ඉදිරිපිටම වාගේ පිහිටා ඇති බෝගහ වක්කලම තුළ පෘතුගීසීන් විසින් කඩා දමන්නට ඇතැයි සැළකෙන විහාරයට අයත් කළුගලින් නෙළන ලද ඇත්රූප දෙකක් හා කිරිගරුඬ බුදුරුවක් දක්නට ලැබේ. අඩි 50 ක් පමණ ගැඹුරින් පිහිටි වක්කලම පතුලේ පිහිටි වටිනා කිරිගරුඬ පිළිමය ස්පර්ශ කළ කිමිදුම්කරුවකුවූ ‘‘ඇඹුල්ගම සුදා’’ නැමැත්තා දින කිහිපයකින් මියගොස් තිබේ. 

 


බෝගහ වක්කලමට මීටර් 400 ක් පමණ ඉහළින් තවත් වක්කලම් දෙකක් පිහිටා තිබේ. ඒ අනුව කැලණි ගංඟාවේ මීටර් 500 ක පමණ දුර පරාසයක් තුළ වක්කලම් තුනක් පිහිටා ඇත්තේ කැලණි පූජා නගරය ආසන්නයේය. 


අතීතයේ පටන්ම සියදිවි නසා ගන්නට සිතා බොහෝ දෙනා පැමිණියේ කැලණියටය. ඒ පළමුව ආගමික වතාවත්වල නිරතවී ගඟට පැන දිවි නසා ගැනීම සඳහාය. එහෙත් කැලණි ග​ඟේ දරුණුම කොටස පිහිටා ඇත්තේද මෙහි බව බොහෝ දෙනා නොදනිති. බෝගහ වක්කලම තුළට දිවි නසා ගන්නට පනින අයෙකුගේ සිරුර යළි උඩට නොඑන්නේ එහි ගංඟා පතුලේ ‘‘දුන්නක’’ හැඩයෙන්යුත් ගල් කුලක් පිහිටීම නිසාය. බොහෝ දෙනාගේ සිරුරු එම ගල්කුල තුළ සිරවෙයි. 


පහළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි ‘‘අක්වැල්ල’’ නම් ස්ථානයද ගංඟාවේ පිහිටි ඉතා අවදානම් තැනකි. මෙම ස්ථානය අසල වක්කලමක්ද පිහිටා ඇති අතර, ගඟට බැසීම ඉතා අනතුරුදායක වෙන්නේ වැල්ල නිසාය. දිය නෑමට බසින ආගන්තුකයින් බොහෝ දෙනෙකු දියේ ගිලී මිය යන්නේ වැල්ලේ එරීම නිසාය. එහි අඩි 4-5 ක් පමණ පිහිටියේ වැල්ලය. 2009 වසරේ දී මහරගම පාසලක සිසුන් පිරිසක් එහි දියනෑමට ගොස් තිදෙනෙක් දියේ ගිලී මිය ගියහ. එම මළ සිරුරු ගොඩට ගන්නා විට තිබුණේ වැල්ලේ එරීය. 


හංවැල්ල ප්‍රදේශයේ තිබූ මාලිගා වක්කලමද භයානක එකකි. ගංඟාව විශාල නැම්මකට එහිදී භාජනය වෙයි. පළමුවැනි රාජසිංහ රජුගේ මාලිගාවට යාමට තිබූ උමං කට මෙහි පිහිටි නිසා මාලිගා වක්කලම වී තිබේ. ඉන්දියාවේ පඬිපුර සිට පැමිණි පත්තිනි මැණියෝ කැලණි ගඟෙන් ගොඩබැස්ස ස්ථානය නවගමුවයි. එතන ඇත්තේ ගල්තලාවකි. එහි එහා ඉවුර මාපිටිගමයි. මෙම ස්ථාන​යේදී ගඟට බිලිවෙන පිරිස වැඩිය. ඊට හේතුව වෙන්නේ දේව දඬුවම් ලැබිය යුතු පිරිස මෙහිදී දියේ ගිලී මිය යන බවට පවතින විශ්වාසයයි. 2010 වසරේදී කපා කොටා ඝාතනයට ලක්වූ තරුණයෙකුගේ මවක් අධිකරණයෙන්ද තමාට පිහිටක් නොලැබ චූදිතයින් නිදහස් වීම නිසා මව කළේ පත්තිණි මැණියන්ට තම දුක කීම පමණි. චූදිතයින් දෙදෙනා මෙම ස්ථානයෙන් ගඟට බැස දිය නාද්දී දෙදෙනාම අතුරුදන් විය. ඔවුන්ගේ සිරුරු සොයා ගත්තේද දින කීපයකට පසුවය. එම නිසා කැලණි ගංඟාවේ දේව දඬුවම් දෙන ස්ථානද පිහිටා තිබේයැයි විශ්වාසයකි. 
2011 ඔක්තෝබර් 11 වැනිදා කැලණියේ ගෝනවල පදිංචි තරුණයින් දෙදෙනෙකු වූ චතුරංග හර්ෂ හා සුමිත් ප්‍රසන්න කැලණියේදී ගඟේ නාමින් සිටියදී ගිලී මියගිය අතර, ඔවුන් බේරා ගන්නට ගිය කැලණි ගඟේ දියනාමින් සිටියදී විපතට පත්වූවන් රැසකගේ ජීවිත බේරාගත් දේවගේ ජයසේනගේ ජීවිතය ගඟට බිලිවූයේ මියගිය තරුණයින් දෙදෙනාගේ ජීවිත බේරාගන්නට යාම නිසාය. 


මේ ආකාරයෙන් සැලකූ විට කැලණි ගඟේ දියනෑමට යාම ඉතා අවදානම්ය. කැලණි ගඟ පිළිබඳව තොරතුරු නොදැන ඊට බැසීම තවත් අනතුරුදායකය. විශේෂයෙන්ම අගනුවරට අවශ්‍ය වැලි සපයා ගන්නේ බොහෝවිට කැලණි ගඟෙනි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව කැලණි ගඟේ ගැඹුරුම ප්‍රදේශය කඩුවෙලයි. ඒ වැලි හෑරීම නිසාය. 1984 දී කැලණි ගඟේ ගොඩදමා ඇති වැලි කියුබ් සංඛ්‍යාව 2,22,721 කි. 1991 වෙනවිට එය 2,26,240 කි. 2000 වසර වනවිට එය වැලි කියුබ් පන් ලක්‍ෂය ඉක්මවා තිබිණි. වැලි තොටුපොළවල් ගණනද එසේමය. 1984 දී කැලණි ගඟේ වැලි තොටුපොළ ගණන 18 ක් වූ අතර එය 1991 දී 427 ක් බවට පත්ව අද වනවිට එය දහසද ඉක්මවා තිබේ. පසුගියදා පාසල් සිසුන් දෙදෙනා අනතුරට ලක්වූ රංවළ තොටුපොළ කැලණි ගඟේ පිහිටි ප්‍රධානතම වැලි තොටුපළකි. 


වැලි හෑරීම නිසාත්, විවිධ පරිසර හානි නිසාත් කැලණි ගංඟාව ඉතා ගැඹුරු හා භයංකාර වී තිබේ. කඩුවෙල ප්‍රදේශයේදී කැලණි ගඟ මුහුදු මට්ටමටත් වඩාත් මීටර් 7.5 ක් ගැඹුරුය. ඒ නිසා මුහුදු ජලය කඩුවෙල දක්වා ආපසු ගංඟාව ඉහළට ගලා ඒම සිදුවේ. 


මේ හේතූන් නිසා කැලණි ගංඟාවට බැසීමට පෙර මේ සියලු කරුණු යළි යළි සලකා බලන්නැයි අවධාරණය කරමු. 

 

දොම්පේ - අජිත් මදුරප්පෙරුම