කැරලිකරුවකුගේ සත්‍ය කතාවක්


ජවිපෙ දෙවැනි කැරැල්ලෙන්

 

20 කොටස 

 

ආණ්ඩුවට එරෙහිව දහස් ගණන්  ජනයාගේ සහභාගිත්වයෙන් කැරලිකරැවන් විසින් 1989 මැදභාගයේ මෙහෙයවන ලද විරෝධතා පෙළපාලිය් නගරය කරා පැමිණෙන අයුරු.

මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම කලාපයේ අලවතුගොඩ කොට්ඨාසයේ 1988 අගෝස්තු මරණයට පත් කැරලිකරුවෙකුගේ දේහය භූමදානයට ගෙනයෑමට පෙර නිවෙස ඉදිරිපිට දී ඔහුගේ අරමුණ සපල කිරීමට කැපවන බවට ගම්වැසියන් අත්ඔසවා ප‍්‍රතිඥා දුන් අවස්ථාවක්. 

 

 

 

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2 වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2 වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක්ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත් වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙ​ෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි.   


සමාජයේ බොහෝ පිරිස් විසින් කුමන නිර්වචනයන් ලබා දුන්නද ජවිපෙ 2 වැනි කැරැල්ලේ කැරලිකරුවන් පවසන පරිදි ඔවුන් සටන් කළේ යහපත් අරමුණක් වෙනුවෙන් අනේකවිධ මර්දනයන්ට මුහුණ දෙමින් ජීවිතයද කැපකරමිනි. කැරැල්ලේ ඇතැම් නායකයින්ගේ අරමුණු කුමක් වුවද කැරලිකරුවන්ගේ සටන්කාමී හැසිරීම්වල භාවිතය පිළිබඳ ඉතිහාසයේ වැළලී ගිය දත්ත සම්භාරයක් වසර 29කට පසු දැන් යළි කතාබහට ලක්වෙමින් තිබේ. ඇතැම් මළගිය ඇත්තන් පිළිබඳව සැමරුම් පැවතියද කැරලිකරුවන්ගේ චරිත කතා බොහෝමයක් කාලයේ වැලිතලාවල සැඟව ගොස් ඇත. මේ එක් කැරලිකරුවෙකු ලේඛකයා හමුවේ තැබූ ඔහුගේ සැබෑ කතාන්දරයයි. එය බොහෝ කැරලිකරුවන්ගේ කතාවද වනු නිසැකය. වරහන් තුළ යොදා ඇති අවධාරණය කිරීම් පාඨක පහසුව සඳහා යොදා ඇත්තේ කතුවරයා විසිනි.   


“බසවක්කුලම වැවෙන් හමා එන සිසිල් සුලං රැල්ලේ පහස විඳිමින් තිසා වැව ඉස්මත්තෙන් පියමන් කරන විට රුවන්වැලි සෑ කොත්වහන්සේ දිස්වේ. පෙර රජ දවස වැව් දාගැබ් සැදූ රජුන්ගේ පුරය, අනුරාධපුරයට පිවිසෙන්නෙකුට තමන් ඈත අතීතයකට ගමන් කරන්නේයැයි හැඟෙනු ඇත. විජයාගමනයෙන් ඇරඹි ලංකා රාජවංශයේ ස්වර්ණමය යුගය සනිටුහන් වී ඇත්තේ අනුරාධපුර යුගයේය. මා උපන්නේ එවැනි ප්‍රෞඪ ඉතිහාසයක් ඇති අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ග්‍රාමයේදීය.   


අප පවුලේ 6 දෙනෙකි. මා තෙවැන්නාය. අක්කා සහ අයියාද, නැඟණියන් තිදෙනෙක්ද වූහ. පියා ගොවියෙකි. මව කුඹුරු වැඩට උදව් කළාය. අයියා වඩුකාර්මිකයෙකි. අක්කා විවාහ වී සිටියේ දඹුල්ලේ එළවළු සිල්ලර වෙළෙඳසල් හිමියෙකු සමඟය. පහේ ශිෂ්‍යත්වයෙන් ඉහළින් සමත්වීමෙන් පසු මා ගියේ අනුරාධපුරයේ ප්‍රධාන පාසලකටය. අපොස උසස් පෙළ වානිජ අංශයෙන් 1981දී අධ්‍යාපනය හැදෑරූ මා එම පාසලෙන් සරසවියට තේරුණු තිදෙනාගෙන් එක් අයෙකි. පවුලේ අයට ඉහේ මලක් පිපුණා වැනිය. අම්මා අසළ ගම් හත අටකටම වාගේ වගේ ජයග්‍රහණය පැවසුවේ සොම්නසිනි. රජයේ ඉහළ රැකියාවකට මා යොමුකිරීම ඔවුන්ගේ මෙන්ම මගේද පැතුම විය. 

 
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨයේ 1983/84 කණ්ඩායමේ සාමාජිකයකු බවට පත්වීමි. සෑම සරසවියකම මෙන්ම නවක සිසුන් සඳහා නවකවධය එහිද ක්‍රියාත්මක විය. එහෙත් මසකට ආසන්න කාලයක් තුළදී අපි මුහුණ දුන් නවකවධය ඉතා දරුණුය. නවකවධය දීමේදී “ජෙප්පෝ” (ජනතා විමුක්ති පෙරමුණ) සහ “ජුන්ටෝ” (එක්සත් ජාතික පක්ෂය) අත්වැල් බැඳගනිති. ඇතැම් අවස්ථාවල උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා නවකවධය ලැබූ අවස්ථාද විය. ලුණු වතුරට දන්තාලේප ටියුබයකින් මිරිකා දියකර එය බොන්නට දුන් අතර පැයක් පමණ ගියවිට “මරුවා සමග වාසේය”. සරසවිය එපාවීමෙන් එය අතහැර යන්නට සිතූ අවස්ථාද බොහෝමය.   


එහෙත් හදිස්සියේම මවෙත ආ අයෙක් මා බේරා ගත්තේය. එසේ බේරාගත් “ජ්‍යෙෂ්ඨ උත්තමයා” රාජපුර බව පසුව හඳුනා ගතිමි. (ජ’පුර සරසවියේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 1985/86 සභාපති වූයේ රාජපුරය). ඔහු මට ජ’පුර ආදි ශිෂ්‍යයෙකු වූ මයිකල් නමැති පුද්ගලයෙකු හඳුන්වා දුන්නේය (මයිකල් යනු ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු බවට පසුව පත් වූ එච්.බී. හේරත් බව දැනගතිමි). හේරත් මගේ අතින් අල්ලාගෙන පුටුවක වාඩි වී ආගිය තොරතුරු කතා කළේය. සියල්ල විෂම සමාජ ක්‍රමයේ ප්‍රතිඵල යැයි කියූ හේරත් ජවිපෙ වෙනුවෙන් මට කොක්ක ගැසුවේය.   


සති කිහිපයකට පසු මා ඇතුළු නවක සිසුන් 7 දෙනෙකුට ජවිපෙ පන්ති පැවැත්වූයේ උපාලි ජයවීර (පසු කාලයේ මානෙල් ලෙසින් හැඳින්වූ මධ්‍යම කාරක සභිකයෙකි) විසිනි. ඔහු දක්ෂ කථිකයෙකි. ධනපති ක්‍රමයේ අර්බුද, පැරණි වමේ ව්‍යාපාරය, විප්ලවීය ව්‍යාපාරය ගත යුතු මග ආදිය එම පන්තිවලට ඇතුළත් විය. ජවිපෙ වෙනුවෙන් සරසවියෙන් බාහිරව අප සම්බන්ධවූ පළමු කාරිය තිබුණේ කැලණි සරසවියේය. උපාලි ජයවීරගේ ඉල්ලීමක් අනුව කැලණි සරසවියට ගිය අප කිහිප දෙනෙකුට පැවරී තිබුණේ එජාප ආණ්ඩුවේ මහපොළ උත්සවයක් කැලණි සරසවියේ පැවැත්වීම සඳහා පරිපාලනය සමඟ සාකච්ඡා කිරීමට එන ලලිත් ඇතුළත්මුදලි ඇමතිවරයාගේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් පලවා හැරීමේ “රාජකාරියකි.”   


ඒ සඳහා කැලණි සිසුන් කිහිප දෙනෙකු සමඟ එක්වී ඔවුන් පැමිණි වාහනයෙන් බස්සවා වාහනය කුඩුකර පල්ලමට තල්ලුකර ගිනි තබන ලදි. කැලණි සරසවි මහපොළ උත්සවය පැවැත්වීම එතැනින්ම ඇණහිටි අතර අප කණ්ඩායමේ ප්‍රථම ප්‍රහාරයද සාර්ථක විය. අප කණ්ඩායමේ “විප්ලවීය” ක්‍රියාව අගය කළ නායකයා ඉදිරියේ එන විප්ලවයේදී එය පෙරහුරුවක් බව කියා සිටියේය.   


අන්තරේ නායකයා ලෙස 81/82 වසරවල කටයුතු කළේ ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහින්ද පුෂ්පකුමාරය (වසර 2018 වන විට ඔහු එජාපයේ ප්‍රබල ක්‍රිකාරිකයකු වන අතර කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාය). ජයවර්ධනපුර සරසවි ශිෂ්‍ය අංශය ජවිපෙ වෙනුවෙන් භාරව සිටියේ 1983/84 දක්වා ලලිත් විජේරත්න සහ 1985/86 දක්වා ආනන්ද ඉඩමෙගමය.   


ජයවර්ධනපුර සරසවියේ දරදඬු සහ හිතුවක්කාරී පාලනයක් ගෙනගිය උපකුලපති කරුණාසේන කොඩිතුවක්කුට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග සංවිධානය කළෙමු. අර්ධකාලීනව ජවිපෙ කටයුතුවලටද මම එක්වීය. මාගේ 83/84 කණ්ඩායමේ ජවිපෙ මිතුරන් අතර විද්‍යාපීඨයේ බන්දුල, තංගල්ලේ මහින්ද, කමල් ප්‍රනාන්දු ඇතුළු පිරිසක්ද දෙවැනි කැරැල්ලේදී ඝාතනයට පත් වූ ජ’පුර සරසවියේ උපාධි අපේක්ෂකයින් වූ නිකවැරටිය මුදියන්සේ, බණ්ඩාරගම චන්ද්‍රසිරි, ජයසිංහ රාජු, පස්සර ධනපාල ඇතුළු කිහිප දෙනෙක්ම වූහ. ජවිපෙ සාමාජිකයන් වශයෙන් බොහෝ ක්‍රියාකාරකම්වලට සරසවිය තුළදී සහ බාහිරව දායක විය.   


ජවිපෙ 1983 ජූලි පක්ෂ තහනම නිසා ප්‍රථම විධිමත් අධ්‍යාපන කඳවුරකට සහභාගි වූයේ 1985 මාර්තු 11 සිට 18 දක්වා දින 7ක් නුවර දුම්රිය නිවාස සංකීර්ණයේ නිවසක කඳවුරකටය. 19 දෙනෙකු එයට එක්වී සිටියහ. දේශන පැවැත්වූයේ අධ්‍යාපන ලේකම් ගුණරත්න වනසිංහ (සේන), එච්.බී. හේරත්, කුසුමා බුද්ධිකෝරාල (මධ්‍යම කාරක සභික ප්‍රේමචන්ද්‍ර මුණසිංහ ගේ බිරිඳ), උපාලි ජයවීර ඇතුළු කිහිප දෙනෙකි. සහභාගිවූවන් අතර මා කලින් හඳුනන අය සිටියේ තිදෙනෙකි.   


ඒ ජ’පුරේ මට වඩා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක සිටි කෑගල්ලේ රත්නසිරි, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජය ශ්‍රී ගුණසේකර සහ නුවර විදුහලක සිසුවකු වූ රුවන්ය. උපාලි ජයවීර 1985 මාර්තු 24 කැලණිය දළුගමදී රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඒ පිළිබඳව කඳවුරට සහභාගි වූ කැලණි සරසවියේ සිසුවකු වූ මච්චාගම සේනාරත්න (පසුව අන්තරේ කැඳවුම්කරු ලෙස 1987 ජුනි සිට 1988 පෙබරවාරි දක්වා) පිළිබඳව සැක කෙරිණි.   


ජාතික අධ්‍යාපන කඳවුරකටද මට සහභාගිවීමට හැකි වූයේ 1985 නොවැම්බර් 3ය. එය දින 14ක් පුරා කළුතර ප්‍රදේශයෙන් කිලෝමීටර් 8ක් පමණ පයින් යෑමෙන් පසු සිංහරාජ කැලේ එය පැවැත්විණි. සරම සහ කමිසය මා ඇඳගෙන සිටි අතර කුඩා බෑගයක කොට කලිසමක්, බැනියමක් සහ කමිසයක් විය. සෑම අයෙක්ම හාල් කිලෝ 2ක්, පරිප්පු ග්‍රෑම් 500, කවුපි කිලෝ 1, සීනි 500 ටවුමේදී මිලදී ගෙන උපදෙස් අනුව කඳවුර වෙත ගෙන යන ලදී. කඳවුරේ ආහාර පිසීම සහ සම්බන්ධීකරණය සඳහා තරුණයින් තිදෙනෙකු පමණ දැකගන්නට හැකිවිය. එයට 31 දෙනෙකු සහභාගි වූ අතර එක් කාන්තාවක් විය. ඇය රුහුණු සරසවියේ ශිෂ්‍යාවක් බව කියූ අතර හැඳින්වූයේ මනෝරි යන නමිනි. (පසු කාලයේදී ඇය සමඟ එක්ව වැඩකිරීමට සිදුවූ අතර රුහුණු සරසවියේ ශිෂ්‍යාවක් වන ජවිපෙ පූර්ණකාලීන ක්‍රියාකාරිකාවක් වූ කාන්තා අංශයේ නායිකාවක් වූ අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතා හෙවත් දීපිකා මුතුහෙට්ටි බව දැන ගතිමි. පැහැපත් තරුණියක වූ ඇය කොටිගල වධකාගාරයේ 1988 අවසානයේදී අතවර කර මරාදමා තිබිණි).   


මෙවැනි කඳවුරුවලදී පෞද්ගලික වතගොත ඇසීම තහනම්ය. එමෙන්ම පක්ෂය මගින් දී ඇති ආවරණ නාමය භාවිත කළ යුතුය. එබැවින් ඕනෑම අවස්ථාවක අවස්ථානුකූලව මුහුණදිය හැකි පිළිවෙළක් අප සැවොම සතු විය. කිනිතුල්ලන්, කූඩැල්ලන් සහ මදුරුවන් ගෙන් බේරීම සඳහා අත් බෙහෙත් උපකාරි විය. ජාතික අධ්‍යාපන කඳවුරේ දේශන පැවැත්වූයේ ගමනායක සහ සුමිත් අතුකෝරාල ඇතුළු කිහිප දෙනෙකි. දවසකට පැය 18ක් දේශන පැවැත්වූ අතර සමාජවාදී භික්ෂු සංගමයේ සාමාජිකයින් 2 දෙනෙක්ද ගිහි ඇඳුමින් සැරසී සහභාගිවූවන් අතර වූහ.   


ජවිපෙ විසින් ප්‍රාදේශීය අධ්‍යාපන කඳවුරක් දින 6ක් පවත්වන අතර ජාතික අධ්‍යාපන කඳවුරක් දින 14ක් පමණ පැවැත්වේ. ජාතික අධ්‍යාපන කඳවුරක් විසිර යනවිට දේශපාලන මණ්ඩල සභිකයෙක් ද පැමිණේ. එයට සහභාගි වන අය මුළුමනින්ම වාගේ පූර්ණකාලීනයින් බවට පත්වේ. ඔහු ආසන සංවිධායකවරයා යටතට පත්ව වගකීම් පැවරේ. පූර්ණකාලීනයා යනු වෙනත් කිසිදු බාහිර කටයුත්තක නිරත නොවී පක්ෂය වෙනුවෙන් පූර්ණකාලීනව දේශපාලන, අධ්‍යාපනික, සංවිධාන, ප්‍රචාරක ආදී කටයුතුවල නිරත වන්නෙකි.   


පසුව නායකයින්ගේ අභිමතය පරිදි දිසා කමිටුව, ජාතික කමිටුව වැනි අංශ නියෝජනය කරනු ලබයි. මේවා තනතුරු නොව වගකීම්ය. මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලයට සභිකයින් තේරෙන්නේද එලෙසිනි. මෙම ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් මත සිදුවන බව කීවද ඇත්තෙන්ම එය ක්‍රියාත්මක වන්නේ මධ්‍යගතව නොව උඩ සිට පහළටය. පහළින් යමෙකු විකල්ප අදහස් දැක්වුවහොත් බොහෝ විට අවඥාවෙන් බැහැර කරනු ලබයි. එලෙස වඩාත් වැඩියෙන් අදහස් දක්වන්නා ද්‍රෝහියෙකු ලෙස සලකා ඉවත්වීමට කටයුතු සලසනු ලබයි. එය ආරම්භයේ සිටම වමේ සෙසු දේශපාලන පක්ෂවලට මෙන් මෙයටද පොදුය.   


ජවිපෙ 2 වැනි කැරැල්ල සඳහා සන්නද්ධ පුහුණුව ලබාදෙන අවි පුහුණු කඳවුරු පැවැත්වීම ආරම්භ කළේ 1986 මුල් භාගයේ සිටය. එවන් පුහුණු කඳවුරක් සඳහා 1986 ජූලි මස විල්පත්තුවේ කලාඔයට යෑමට සිදුවිය. තඹුත්තේගමින් බැස කිලෝමීටර් 9ක් පයින් ගියවිට එම කඳවුර පිහිටා තිබූ අතර එය දින 07ක අවි පුහුණු කඳවුරකි. කඳවුරට 38ක් සහභාගි වූ අතර ජලය තිබුණේ මූලික අවශ්‍යතාවන් සඳහා පමණි. එබැවින් එම කාලයේදී කිසිවෙකුට නෑමට පවා නොහැකි විය.   


අවි පුහුණුව ලබා දුන්නේ මරදාන පොලිසියේ කළක් සේවය කළ රාලහාමි නොහොත් ඊස්වරගේ ආරියසේන, හිටපු හමුදා සෙබළ වනවාසල ලොකු මහින්ද (දක්ෂ සටන් නායකයෙකු වූ ඔහු ත්‍රි’මලේ කල්ලාර් හමුදා කඳවුරෙන් ආයුධ පැහැරගැනීමේදී 1987 ඔක්තෝබර් 04 ඝාතනය විය) ඇතුළු පිරිසකි. ටී. 56 සහ ෂොට් ගන් පරිහරණය එම අවිවලින්ම පහදා දෙන ලදී.   


කඳවුරට කිලෝමීටර් 15ක් එපිටින් ආරක්ෂක හමුදා කඳවුරක් ඇති බැවින් සියලු කටයුතු සැලසුම්ගතව සිදුවිය. අවි පුහුණු කඳවුරට සහභාගි වූ 6 දෙනෙකු මා කලින් දන්නා හඳුනන අය අතර ඉන් ජ’පුර සරසවියේ උපුල් නානායක්කාර හෙවත් ලෙනෝරා, කැලණි සරසවියේ විද්‍යා පීඨයේ උපාලි සමන් කුමාර හෙවත් ගිනි උපාලි ඇතුළු කිහිප දෙනෙකුම පසු කාලයේදී ඝාතනයට පත්වී තිබිණි.   


කඳවුරේ කටයුතු උදෑසන 5ට අවදිවීමෙන් පසු ආරම්භ වන අතර 8 දක්වා ව්‍යායාමය. උදෑසන ආහාරයෙන් පසු දහවල් 1 දක්වා තාප්ප වැනි වැට ඉනිවලින් පැනීම, බිම කපපු උමං දිගේ යෑම, කඹ දිගේ ඉහළට පහළට ඒම වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වේ. දිවා ආහාරයෙන් පසු පස්වරු 6 දක්වා විවිධ සටන් ක්‍රම, කරාටේ, අවි පුහුණුව උගන්වනු ලබයි. අවි පුහුණුවේදී ටී. 56 අවියක් අතට ගෙන එහි කොටස් පිළිබඳ විස්තර කියාදී මැගසිනයේ සිට කෑල්ලෙන් කෑල්ල ගලවන අන්දම පැහැදිලි කළේය. අවිය ක්‍රියාත්මක කරන ආකාරයද පිරිසිදු කරන ආකාරයද විස්තර දැක්වීය. කඳවුර තුළම තිබුණේ ටී.56 අවි දෙකකි. එමෙන්ම අත්බෝම්බ පරිහරණය සහ නිෂ්ක්‍රීය කරන අයුරුද පෙන්වා දෙන ලදී.   


රාත්‍රී 6 සිට 8 දක්වා මහන්සි ඇරීම සහ රාත්‍රී ආහාරය වේ. නින්දට පෙර රාත්‍රී 8 සිට 9 දක්වා විමුක්ති ගී සාමූහිකව ගායනා කරනු ලබයි. උදෑසන ආහාරය මඤ්ඤොක්කා හෝ කුරක්කන්ය. ඇතැම් අවස්ථාවල රොටි හෝ කවුපිද ඇත. දිවා සහ රාත්‍රී ආහාරය බත් සමඟින් මස් සහ වට්ටක්කාය. නැතිනම් බත් සමඟින් මුරුංගා හොදි සහ හාල්මැස්සෝ බැදුමකි. මස් දඩයමින් ලැබුණු මුව මස් කීවද ඒවා රිළා මස්ය. ටවුමෙන් ආඳා මාළු ගෙනැවිත් පිසූ බව කීවද ඒවා ගැරඬි මස් බව දැන ගත්තේ ආපසු එන දිනයේ හමුවූ කැලෑ රොදක දමා තිබූ ගැරඬි හමවල් රැසක් දක්නට ලැබුණ බැවිනි.   


කඳවුර මුරකිරීම සඳහා රාත්‍රී කාලයට පවා සතර දෙසට මුරකාවල් යොදවා තිබිණි. එක් සේවා මුරයක් පැය 4ක් වූ අතර සියල්ලටම එය මාරුවෙන් මාරුවට කිරීමට සිදුවිය. ගස්වල නැගී එම ආරක්ෂාව සිදුකළ අතර එයට බාහිරව වෙනම සංනිවේදන ජාලයක්ද කිලෝමීටර් 3ක දුර ප්‍රමාණයේ සිට තහවුරු විය. කඳවුරේ “කුස්සි පාටියද” ක්‍රියාත්මක වූයේ මුර ක්‍රමයටය. මහන්සිය නිසා කොතරම් මදුරුවන් කෑවද නින්දට එය බාධාවක් නොවීය. කඹේ යන්නට ගොස් බිම වැටී එක් අයෙකුගේ කකුල බිඳිණි. ඔහුගේ බරපතළ තත්ත්වය නිසා ගෝනි දෙකක් ලීවලින් ගැටගසා ගෙන පුත්තලමේ නිවසකට යවා ප්‍රතිකාර කළ බවට වාර්තා විය.   


කඳවුරේ අවසානයට පෙර දින විසිරයෑමේ අවස්ථාවේදී සාමාප්ති දේශනය දීමට දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ එච්.බී. හේරත් ද පැමිණ තිබිණි. එහිදී හේරත් කියා සිටියේ සියලු දෙනා දේශප්‍රේමී යුද්ධයේ සෙබළුන් බවට දැන් සිටම පත්වී ඇති බැවින් මව්බිම දිනා ගැනීමේ යුද්ධයේ සෙබළුන් වශයෙන් මෙතෙක් ඒ සඳහා වැඩ කළ අන්දමට වෙනස් අයුරින් සහ වැඩි කැපකිරීමකින් කටයුතු කළ යුතු බවකි. දේශප්‍රේමී සෙබළා යනු දැඩි විනයක් සහිත උස් අරමුණක් ඇති මිනිසෙකු බවද හේරත් වැඩිදුරටත් අවධාරණය කළේය. ගරිල්ලා සටනක න්‍යාය වනුයේ ජීවිතය හෝ මරණය අතර සටනක නිරතවීම බවද එහෙත් නිරායුධ අහිංසක මිනිසුන් මරා නොදැමිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.   


කඳවුර අවසාන දින උදෑසන 5ට පිටවූයේ උදෑසන ආහාර ගැනීමෙන් පසුවය. උදෙන්ම පිටවීමට හේතුව වූයේ විල්පත්තු කැලේ හොරෙන් ලී ඉරන අය උදෑසන කාලයේ කැලෑවේ ගැවසෙන බැවිනි. තිදෙනාගේ කණ්ඩායම බැගින් පුත්තලම් පැත්තෙන් පාරට ඒමට පැය 7ක් පමණ ගිය අතර එය සැතපුම් 12ක පමණ දුරක් විය. දිවා ආහාරය සඳහා මඤ්ඤොක්කා සහ මිරිස් සම්බල් පාර්සල් දුන් අතර ඒවා විල්පත්තුව මැදින් එනවිට හමුවන මල්වතු ඔයෙන් නෑමෙන් පසු ආහාරයට ගන්නා ලදී. කඳවුරට ගිය සියලු දෙනාටම නෑමට හැකිවූයේ සතියකට පසුවය. පුත්තලම-අනුරාධපුර පාරට පැමිණ බස් රථයෙන් කණ්ඩායම් වශයෙන් කොළඹ සහ වෙනත් ස්ථානයන්ට වෙන්ව යන ලදී. පුහුණු වැඩමුළුව නිමාවන විට එයට සහභාගි වූ කැරලිකරුවන්ට ශාරීරිකව සහ මානසිකව ලොකු පිබිදීමක් ඇතිවී තිබිණි.   


වසර 1986 අගෝස්තු මුලදී පැපිලියාන සුනේත්‍රාදේවි පන්සලට උදේ 9ට එන ලෙසට අප තිදෙනෙකුට පණිවිඩයක් කලින් දින ලැබිණි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සහ සන්නද්ධ අංශයේ නායක සමන් පියසිරි සමඟ ගුණසේන වර්ණපටබැඳි එහි විය. ඉදිරිපස කඩයකට ගොස් වඩේ එකක් කා ප්ලේන්ටියක් බී කතා කෙළෙමු. පුහුණුවට විශාල කැපකිරීමක් පක්ෂය කර ඇති බැවින් ජාතික තලයේ වැඩ කොටසක් සඳහා සන්නද්ධ අංශයට ලබන සතියේ සිට එක්වන ලෙසට ඉල්ලීමක් කළේය. ජාතික විමුක්ති අරගලයක් තුළින් සමාජවාදය ගොඩනැගීමේ සිහිනය සැබෑ කිරීම අරමුණ වූ බැවින් අපි එය පිළිගතිමු.   


පැමිණෙන බ්‍රහස්පතින්දා නවලිය පුවත්පතක්ද අතැතිව ගාල්ලේ සිඩ්නි හෝටලය අසලට උදේ 9ට එන මෙන් මට දන්වන ලදී. සෙසු දෙදෙනාද කෑගල්ල සහ පුත්තලමේ “අංශයේ” පූර්ණකාලීන වැඩවලට යොමුකර තිබිණි. පසුව ගාල්ලේදී අයෙකු පැමිණ මා ගෙන ගියේ එදින 10ට මාගල්ලේ නිවසක රැස්ව සිටි ගාල්ල දිස්ත්‍රික් කමිටුවේ සාකච්ඡාවකටය. පසුව එහි එක් කලාපයක සන්නද්ධ අංශයේ නායකයා වශයෙන් වගකීම් භාරගතිමි. පසුව කැරලිකරුවෙකු සමඟ නෙළුව ප්‍රදේශයේ නිවසකට ගොස් ක්‍රියාකාරිකයින් හමුවී ඉදිරි වැඩ සැලසුම් කෙරිණි. අංශය සඳහා පුහුණුවීම්වලට කේඩර්වරුන් බඳවා ගැනීමද, පක්ෂයේ සන්නද්ධ කටයුතුද සැලසුම් කළේය. “පෙතියෝ” හෙවත් ද්‍රෝහීන් ලෙස කැරලිකරුවන් හැඳින්වූ අයද “ඉවත් කරන” ලදී. බොහෝ පුහුණුවීම් කැලෑබද ප්‍රදේශවල සංවිධානය කළ බැවින් ඉත්තෑවන්, හාවුන්, තලගොයින් වැනි සතුන්ගේ මස් අපගේ ආහාර අතර විය.   
ගාලු දිස්ත්‍රික්කයේ එක් කලාපයක වගකීම් කරන අතරතුර පක්ෂය විසින් කැඳවීමක් කළ විට ලොකු වැඩවලට ගිය අතර 1987 සිට රටපුරා විවිධ වැඩවලට එක්විය. අපගේ එකම පැතුම වූයේ මෙම අරගලය තුළින් මිනිසෙකුට මිනිසෙක් ලෙසින් නිදහසේ ජීවත් විය හැකි සමාජ සහ ආර්ථික සාධාරණත්වය රජයන රටක් ගොඩනැගීමය. ඒ සඳහා උපක්‍රමික ප්‍රවේශයක් ලෙස විවිධ ක්‍රියාමාර්ගවලට අවතීරණය විය. විමුක්ති අරගලයට අරමුදල් රැස්කිරීමටද විවිධ කටයුතුවලටද දායක විය. 

 

 

ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතනයට පත්වූ සහ අතුරුන්වූ අය වෙනුවෙන් ස්ථාපිත සීදූව ස්මාරකය අභියනදී සිය පුතුගේ මතක ආවර්ජනය කරන මවක්

රජය මගින් දෙවන සටන් විරාමය 1989 සැප්තැම්බර් 27 සිට 29 දක්වා ඒකපාක්ෂිකව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු කැරලිකරුවන්ට පිළිගැනිමේ මධ්‍යස්ථාන වෙත භාර වන්නැයි කියමින් ඒ පිළිබඳව රජයේ නිවේදනය ඇතුළත් පත්‍රිකා ගුවන් හමුදා නිලධාරින් විසින් හෙලිකොප්ටර් මගින් 1989 සැප්තැම්බර් 26 ජනයා ගැවසෙන ප්‍රදේශවලට බෙදාහරින ලද්දේ මෙසේය.

 

 


මරඳගහමුල බැංකුවෙන් ලක්ෂ 35ක මුදල් සහ රන් භාණ්ඩ පැහැරගැනීම සිදුවූයේ 1987 මැයි 11ය. මාද එක්ව සිටි එයට නායකත්වය දුන්නේ චන්දරේය. සියල්ල නිමවූ පසු කොල්ලකන ලද මුදල් සහ රත්තරන් සමඟ වාහනය එළවන ලද්දේ කැස්බෑවේ මහීපාලය. මහිපාල 1989 අවසානයේදී ඝාතනය වූ අතර එයට පෙර ඉසුරුපායේ වධකාගාරයක බිල්ලෙකුද විය. මරඳගහමුල“රාජකාරිය” නිමකර එක් අයෙකු තියා ගත්තේ රුපියල් 1,000ක් පමණ වන අතර සියලු මුදල් “අංශයේ” ආදාල අංශයන්ට යොමු කෙරිණි.   
නානායක්කාර ලෙසින්ද හැඳින්වූ චන්දරේ 71 කැරැල්ලටද සහභාගි වූ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකි. අවසාන වරට ඔහු හමුවූයේ කොළඹ සන්නද්ධ නායකයාව සිටි වව්නියාවේ තිලක්, සමන් පියසිරි, පතී නොහොත් සොයිසා, රාගම සෝමේ සමඟ1989 නොවැම්බරයේ විජේවීර ඝාතනයට පසු හෝමාගම නිවසකදීය. චන්දරේ අත්අඩංගුවට පත් පුවත දැනුම් දුන්නේ ඔහුගේ බිරිඳ ස්වර්ණා නොහොත් විනීතාය. ඉහත සියලුම සන්නද්ධ නායකයින් අවසානයේදී ඝාතනයට පත්විය.   


කටුනායක ගුවන් හමුදා කඳවුරට 1987 ජුනි 7 පහරදීමට පෙර කණ්ඩායම් වශයෙන් එක්වූ අතර එක්වූයේ මීගමුව සිරගෙදර අසළ ක්‍රීඩාපිටියට දින දෙකකට පමණ පෙරය. ගුවන් හමුදා කඳවුරට කඩාවැදී එය යටත්කර ආයුධ පැහැරගැනීම චිත්‍රපටියක් මෙන් සිදුවිය. 4ක් පමණ කැරලිකරුවන් එහිදී ඝාතනය වූ අතර කඳවුරට කඩා වැදුණේ ලණු කැරලි සහ කිනිසි රැගෙනය. වත්තල නිවසකදී සතියකට පසු මා අත්අඩංගුවට පත්වූ අතර තිරස්චින වධ බන්ධනවලට ලක්විය. පසුව දීර්ඝ කාලයක් අත්අඩංගුවේ පසුවූ අතර අගමැති ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් 1988 දෙසැම්බර් 15 ජය ගැනීමෙන් පසු 1989 ජනවාරි මස ජවිපෙ මැදිහත්වීමෙන් 1,800ක් පමණ රිමාන්ඩ් සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ අතර එහිදී නිදහස ලැබුවෙමි. හදිසි නීතිය කෙටි කලකට ලිහිල් විණි.   


1989 ජනවාරි මස රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නිදහස ලැබීමෙන් පසු එක් දිනක් නිවසේ සිටි අතර කොළඹට පැමිණ යළි සම්බන්ධකම් ගොඩනගාගෙන සමන් පියසිරි හෙවත් කීර්ති විජයබාහුගේ උපදෙස් අනුව කොළඹ දිස්ත්‍රික් “අංශයේ” කලාප නායකයෙකු වශයෙන් අලුතින් පත් වූ පතී සමඟ එක්ව වැඩ කළෙමි. ඒ වන විට පතී 1988 දෙසැම්බර් මස තවත් සිරකරුවන් 221ක් සමඟ මැගසින් බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ජවිපෙ මගින් මුදාගත් පිරිසට අයත් විය. කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ කටයුතුවලට සම්බන්ධ වූයෙමි.   


මේ වන විට එනම් 1989 ඔක්තෝබර් වනවිට හද කකියන පුවතක් මවෙත ලැබිණි. අනුරාධපුරයේ නිවසට පැමිණ මට භාරවන ලෙස කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණෙන් මාගේ පියා සහ වැඩිමහල් සොහොයුරා පැහැරගෙන ගොස් නිවස මුළුමනින් ගිනිතබා තිබිණි. එයට කලින් මව ඇතුළු සෙසු සියලු දෙනා ආරක්ෂාව පතා ඥාති නිවෙස්වල සැඟවී සිටියහ. පියාට පහරදී පසුව නිදහස් කළ ද සොහොයුරා පසුව මරාදැමූ බව වාර්තා විය. පවුල සීසීකඩ විය.   


මර්දනය ඉතා උග්‍ර අතට 1989 ඔක්තෝබර් අවසාන වනවිට පත්වූ අතර මා ඒ වන විට ක්‍රියාකාරී වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේය. විජේවීර ඇතුළු පක්ෂ නායකයින් ඝාතනයෙන් පසු පසුබැසිය යුතු බව බොහෝ දෙනාගේ අදහස වූ අතර නව නායකයා වූ සමන් පියසිරිට අවශ්‍ය වූයේ 1989 දෙසැම්බර් මස 13 විජේවීර ඝාතනයෙන් මසකට පසු රට පුරා මහා ප්‍රහාරයක් එල්ල කිරීමටය. අප කිහිප දෙනෙක්ම ඒ මතයට එකඟ නොවූ අතර ආරක්ෂාව සඳහා පසුබැස ගොස් නිහඬ විය. එහෙත් 1989 දෙසැම්බර් 13 ප්‍රහාරය ස්ථාන කිහිපයක පමණක් සිදුවූ අතර රණකාමයෙන් මත් වූ එම අනුචිත තීරණය නිසා අත්අඩංගුවේ සිටි දහස් ගණනකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.   


අවසානයේ ඉන්නට තැනක් නොමැතිවීමෙන් 1989 දෙසැම්බර් අවසානයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියේ පොල්වත්තක වැඩකිරීමට මිතුරෙකුගේ මගපෙන්වීමකින් එක්වූවෙමි. එය අක්කර 150ක පමණ පොල් වත්තක් වූ අතර පොල් ගෙඩි 1,000ක් ලෙලි ගැසුවොත් රුපියල් 100ක් දෙනු ලැබේ. දිනකට පොල්ගොඩි 1,600ක් පමණ ලෙලි ගැසූ අතර අතේ දිය පට්ටා රැසක් විය. පොල් වළක් කැපුවොත් රුපියල් 15ක්ද හනසු පැටවුවහොත් සහ පොල් පැටවුවහොත් වෙනම මුදලක්ද ලබා දුන්නේය.   


ඒ දවස්වල හුරුල්ලෝ හෝ දැල්ලෝ මාළු කූඩයක් රුපියල් 150ක් වූ අතර ඉන් කූඩයක් ගත්විට සතියකට ප්‍රමාණවත්ය. එයට ලුණු දා තම්බා තබා පසුව ඇඹුලට හෝ බැද බත් සමඟ කෑමට ගනු ලබයි. ඒ වත්ත අයිතිව තිබුණේ හෝමාගම පවුලකටය. ඒ පවුලේ දියණිය ජයවර්ධනපුර සරසවියේ කනිෂ්ඨ වසරේ සිසුවියකි. මාස 2කට පසු වත්තට පැමිණි ඇය මා ගැන සැකයෙන් බැලූ අතර, පසුව මා කැරලිකරුවෙක් දැයි විහිළුවට මෙන් ඇසුවාය.

   
වත්තේ හිමිකරුගේ දියණිය මා පිළිබඳව කල්පනාවෙන් සිටින ලෙස මුරකරුට පවසා ඇත. එම වත්තේ මුරකරු අවුරුදු 60ක පමණ වයසැති දෙදරු පියෙකි. ඔහුගේ බිරිඳ වයස 35ක පමණ කාන්තාවකි. පළාතේ ග්‍රාමසේවක ඇය සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගියේය. මුරකරු විසින් එය සිය බිරිඳට පවසා තිබේ. ඇය සිය අනියම් සැමියා වූ ග්‍රාමසේවකට ඒ පිළිබඳව දන්වන අතර, ග්‍රාමසේවක මුරකරුගෙන් ඒ පිළිබඳ විමසීමක් කර ඇත. කන බොන හිත හොඳ මිනිසෙකු වූ මුරකරු ඒ බව මට දැනුම් දී කල්පනාවෙන් සිටින ලෙස පියකු මෙන් අවවාද කළේය.   


වත්තේ මුල්ලේ ඇති මාර ගහක අඩි 12ක පමණ උඩින් පැලක් සාදා තිබූ අතර ඉන්පසු රාත්‍රියන්හිදී මම එහි නිදා ගතිමි. වත්තේ ගේට්ටුව සහ පැල අතර දුර මීටර් 400ක පමණ වේ. තෙදිනකට පමණ පසු රාත්‍රී 10ට පමණ බල්ලන් බුරන හඬක් ඇසුණු අතර, ආරක්ෂක අංශ ජීප් රථයක් වත්තට ඇතුළුවන ගේට්ටුව අබියස විය. හොර පාරකින් වත්තෙන් පැන ගොසින් කැලේ සැඟවී සිට පසුදා උදේ 6ට පැමිණි බස් රථයෙන් කුරුණෑගලට පැමිණියෙමි.   


ඒ 1990 පෙබරවාරි මසය. කුරුණෑගලින් දඹුල්ලට ගොස් ඥාතියෙකුගේ කුඹුරු වැඩට උදව් වූ අතර පසුව 1990 මාර්තු අවසානයේදී සරසවියට දෙදිනක් පමණ ගිය අතර බිල්ලන් සහ පාවාදෙන්නන් ගෙන් බේරී සිටීම අතිශය දුෂ්කර විය. පසුව සරසවි ගමන නවතා දෙමාපියන්ගේ ඉඩමක් ඇපයට තබා වෙනත් නමකින් ගුවන් බලපත්‍රයක් ගෙන මැදපෙරදිග රටක ගොඩනැගිල්ලක් පිරිසිදු කිරීමේ කම්කරුවෙකු ලෙස සේවයට ගියෙමි. පසුව 1991 අවසානයේදී ඉතා දුෂ්කර ප්‍රයත්නයකින් පසු වෙනත් යුරෝපීය රටකට පලාගියෙමි. පසුව විවාහ වීමි. වර්තමානයේ බිරිඳ සහ දරු දෙදෙනා සමඟ ඉතාලියේ ජීවත් වූ මම ඉකුත් වසර 29 තුළ ලංකාවට සිව් වරක් පැමිණියෙමි.   


ග්‍රාමීය ප්‍රදේශවල අප සමඟ එක් වූ කැරලිකරුවන් අති බහුතරයම රැකියා විරහිත සහ පාසලේ උසස් පෙළ අධ්‍යාපනය අතහැර දමා පැමිණි අය වූහ. කුඩා කල සිට සිය මවුපියන්, වැඩිහිටියන් ජීවිත පවත්වාගෙන යෑමට ගන්නා වෙහෙසකර අත්දැකීම් සහ ධනවතුන් අතර වෙනස ඔවුහු අවබෝධ කරගෙන සිටියහ. එහෙත් අවාසනාවකට ඔවුන් ග්‍රාමීය මට්ටමින් ධනවතුන් සේ සැලකුවේ පීඩිත නොවූ කුලවල අක්කරයක් පමණ ඉඩමක් හිමි හෝ යතුරුපැදියක් හිමි අය වේ. කැරැල්ලට එක්වූ තරුණයන්ගෙන් දිවි පූජා කළ බොහෝ දෙනා අසාධාරණ ක්‍රමය වෙනස් කිරීම තම දිවියේ ප්‍රමුඛතම කාර්යභාරය බව අවබෝධ කරගෙන සිටියහ. ඔවුන් කැරැල්ලට සම්බන්ධ වූයේ  මෙකී ක්‍රමය වෙනස් කිරීම සඳහා ඒ සඳහා සක්‍රීයව මැදිහත්ව කැපකිරීම් කරමින් සිටි පක්ෂය ජවිපෙ බවට හැඟී ගිය නිසාය.   


කැරැල්ලට සම්බන්ධව සිටි බොහෝ ජවිපෙ පූර්ණකාලීනයින් තම පෞද්ගලික ජීවිත වෙන් වෙන්ව සාර්ථක කරගැනීමට කල්පනා නොකර වෙනත් දිස්ත්‍රික්කවලට ගොස් වැඩ කළේ මුළු සමාජයම වඩා යහපත් තැනකට ගෙන ඒමේ අරමුණිනි. ධෛර්යමත් පුද්ගලයෙකුට වුවද ගරිල්ලා කැරලිකරුවෙකුගේ ජීවිතය විඳගැනීමට නොහැකිය. කැරලි සමයේදී පූර්ණකාලිකයාට සාමාන්‍ය මිනිසෙකු භුක්ති විඳින ගිහි ජීවිතය නැත. ඇතැම් විට රාත්‍රිය ගත කරන්නට වන්නේ කැලයක හෝ ගල් තලාවක් මතය. එසේ නොමැති නම් පන්සලක හෝ පාසලක විය හැකිය. ඉන්නා තැන අනුව ලැබෙන දෙයක් ආහාරයට ගනී. තමා පෙනී සිටින දේශපාලන දැක්ම අනුව ග්‍රාමීය ජනයා දැනුම්වත් කරමින්, සංවිධානය කරමින් සහ මෙහෙයවමින් රජයේ ආරක්ෂක අංශවලට හසු නොවී හොර රහසේ ජීවිතය රැකගනිමින් කටයුතු කළ යුතුය. පාවාදීම් කළේ සුළු පිරිසකි. වධකාගාර තුළ අසීමිත වධබන්ධනවලට ලක්වෙමින් වුවද පාවා නොදී මරණය තෝරාගත් අය බොහෝ විය.   


ජවිපෙ 2වැනි කැරැල්ලේ කැරලිකරුවන් බහුතරයම වාගේ සටන් කළේ ප්‍රභාෂ්වර වූ සමාජවාදී දේශයක් පතාගෙනය. උත්තරීතර පන්ති හැඟුමෙන් සැදී පැහැදී යුක්තිය සාධාරණත්වය වෙනුවෙනි. කුරිරු වධයන්ට ලක්ව දහස් ගණන් කැරලිකරුවන්ගේ රුධිර ධාරාවන් ධරණීතලය සිපගත්තේය. ඔවුන් ජවිපෙට එක්වූයේ ප්‍රභාමත් හෙට දවසක් බිහිකරන්නට ස්ථීර අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙනි. වර්තමානයේ ඒ සියල්ල උඩු යටිකුරු වී ඇත.   


“(ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්තර දුරකතන 011-5234384 ලබාගත හැකිය)   

 

 

 

ධර්මන් වික්‍රමරත්න විසිනි