කැරලි සහ දේශපාලන හබයෙන් විනාශ වූ සොලමන් දූපත්


වළපල්ලට ගිය රටවල්

 

 

වළපල්ලට ගිය හැම රටකම වැඩිපුර සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කොමාවේ සිට නැවතීමේ ලකුණ දක්වා පවතින අඩුලුහුඩුකම්වල එල්ලී ඒවා තම තමන්ගේ වාසිය තකා හරවාගෙන බලය තහවුරු කරගන්නට උප්පරවැට්ටි යොදන දේශපාලකයින්ය. මේ දේශයන්හි නීතිය කඩන්නට දේශපාලකයින්ට ලයිසන් දෙන්නේ ජනතාවය. රටක සාධාරණ සමාජයක් බිහිවෙන්නේ සම්පත් ජනතාව අතරේ නිසි ලෙස බෙදී යාම තුළිනි. බොහෝ අරාජික රාජ්‍යයන්හි සිදුවී ඇත්තේ සද‌ාචාර විරෝධි ක්‍රියාය. ගිය ගිය තැන කෙබර හලමින් දබර කරගන්නා දේශපාළුවන් මේ රටවල වැහි වැහැලාය. බොහෝ අරාජික රටවල සිදුවූයේ රටේ සම්පත් පාලකයින් බෙද‌ා හද‌ා ගැනීමයි.


රටක සමාජයක සද‌ාචාරය රඳ‌ා පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම මත බව නොදියුණු රටවල බකපණ්ඩිත මහජන නියෝජිතයින්ට නොතේරීම එම රාජ්‍යයන්හි පුරවැසියන්ගේ අභාග්‍යයට හේතුවකි. අද හඳුන්වා දෙන්නේ එවැනි පුරවැසියන් වෙසෙන තවත් රටකි. ඉන්දීය සාගරයට හා පැසිපික් සාගරයට මැදිව පිහිටි මේ රට සොලමන් දූපතයි (SOLOMON ISLAND). විවිධ භාෂා 70ක් කතා කරන ජනවාර්ගිකයින්ගෙන් යුත් රටකි. විශාල දූපත් 6 කි. කුඩා දූපත් 900 කි. ජනගහණය ලක්ෂ 6 කි (599,419). පාර්ලිමේන්තුවේ ආසන 50 කි. දේශපාලන පක්ෂ 22 කි. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගෙන අවුරුදු  40 කි.


බල අරගලය


ආසියා පැසිපික් කලාපයේ පිහිටි රටවලින් ඉතා දිළිඳු රාජ්‍යයක් වන සොලමන් දූපත ද අගාදයට වැටී ඇත්තේ දේශපාලකයින්ගේ බල අරගලය නිසාය. විශාලත්වයේ ව.කි.මී. 28,400ක් හෙවත් ව.සැ. 11,000 කි. එහි සිට ඕස්ට්‍රේලියාවට ඇති දුර කි.මී. 2000 කි. පැපුවා නිව්ගිනියා රාජ්‍යයට ආසන්නව පිහිටා ඇත. පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටකි. ජනාධිපතිවරයෙකු නැත. රටේ ප්‍රධානියා අගමැතිවරයාය. දැන් අගමැතිධුරය දරන්නේ මනිසා සුගවරේය (MANASSEH SOGAVARE).


1998 සිට 2003 දක්වා සිදුවූ අභ්‍යන්තර කැරලි සහ 2010 දී සිදුවූ මහා භූමි කම්පාව මගින් මේ රට නැත්තටම නැති කරනු ලැබීය. විටින් විට බලයට පත්වූ දේශපාලකයින් මේ රටට ඊට වැඩි විශාල හානියක් සිදු කළහ. යුද හමුද‌ාවක් නැති රටකි. ර​ෙට් සියලු ආරක්ෂා කටයුතු සිදුකරනුයේ පොලිසිය මගිනි.


ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාවලට අනුව මෙහි දරිද්‍රතාවයෙන් පෙළෙන අයගේ සංඛ්‍යාව මුළු ජනගහණයෙන් සියයට 20කට මඳක් වැඩිය. මෙහි මුළු ජනගහණයෙන් සියයට 47.9කට පමණ තවමත් විදුලිය පහසුකම් සපයා නැත. ළදරු මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. ළදරු උපත් 1000කින් ළදරුවන් 36 දෙනකු උපතේදීම මියයන අතර රට පුරා මන්දපෝෂණය උග්‍ර වී ඇත. සෞඛ්‍ය පහසුකම් නොමැති වීම නිසා රට පුරා විවිධ ලෙඩ රෝග පැතිරී යයි. මැලේරියාව යළිත් හිස ඔසවා තිබේ. බහුතරයකගේ දෛනික ආද‌ායම ඩොලර් 1.20ක් පමණ වේ. වැඩිහිටියන්ගෙන් 70%ක් පමණ කිසිදු අධ්‍යාපනයක් නොලත් නූගතුන්ය.


දේශපාලකයා යකා වැහුන එකා


අධ්‍යාපනය සඳහා රජය වෙන් කරන්නේ සොච්චම් මුදලකි. විරැකියාව උග්‍ර වී ඇත. අයස්කාන්ත මුහුදු වෙරළ ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නිසි පියවර ගෙන නැහැ. රත්රන්, තඹ, රිදී ආදී ඛනිජ ද්‍රව්‍ය ඇති භූමියක් වුවත් මේ සම්පත් කැනීමට බලයට පත්වෙන කිසිදු රජයක් නිසි පියවර ගෙන නැත. කෘෂිකර්මාන්තය, දැව හා ධීවර කර්මාන්තය රටට ආද‌ායම් ලබා දෙන ප්‍රධාන මාර්ග වුවත් ඒවා දේශපාලකයින්ගේ ග්‍රහණයට හසුවීම තුළින් දේශය අගාදයට තල්ලු වී ගොස්ය. රටේ බලය අල්ලා ගෙන සිටින්නේ දැව හොරුන් හා මාළු ජාවාරම්කාරයින්ය.


මේ රට ද මකර කටට ඇද වැටුණේ යකා වැහුන එකා වගේ විකාර කතා දෙසාබාමින් ජනතාව රවටන දේශපාළුවන් නිසාය. මේ තරම් කුඩා රටක ​ෙද්ශපාලන පක්ෂ 22ක් පිහිටුවා ගෙන තවත් ස්වාධීන කණ්ඩායම් රාශියක් ද සමග පාර්ලිමේන්තුවේ ආසන 50ක් දිනා ගැනීම සඳහා පළාත් 9ක ජීවත් වෙන ජනතාව භේද භින්න වී සටන් කිරීම මහා විහිළුවක් නොවන්නේද?

 

 


ඔළමොට්ටල පාලකයෝ


අතීතයේදී ලොව බොහෝ රටවලට දැව සැපයූ රටකි. ටින් මාළු, පාම් ඔයිල්, කොකෝවා, කොප්පරා රට පටවා විශාල වශයෙන් ආද‌ායම් ඉපයූ සොලොමන් දූපත අද බොහෝ දේවල් පිටරටවලින් ගෙන්වා ගනී. ඔළමොට්ටල පාලකයින්ගේ අඥ‌ාන ක්‍රියාකාරකම් තුළින් මෙසේ සිදුවී තිබේ. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, චීනය, තායිලන්තය, මැලේසියාව, නවසීලන්තය ආදී රටවල් මේ සියලු දේ සොලොමන් දූපතින් මිලට ගනු ලැබුවත් බලයට පත් වූ බොහෝ පාලකයින්ගේ දූෂිත ජාවාරම්, කොමිස් ගැනීම් හේතු කොටගෙන ඒ සියලු කටයුතු අඩපණ වී තිබේ. රට අරාජික වී ඇත්තේ මේ නිසාය. පොල් හා අර්තාපල් සරුවට වැවෙන නමුත් රජය මගින් ඊට නිසි පියවර නොගැනීම තුළින් එම වගාවන් අඩාළ විය. වළපල්ලට ගිය හැම රටකටම සිදුවූයේ මෙයයි.


මෙයත් ඇමෙරිකන් ඩොලරය හමුවෙහි තම මුදල් ඒකකය මස්තබාල්දු කරගත් තවත් රාජ්‍යයකි. ආහාර හා ඖෂධ වර්ගවල මිල දෙගුණ තෙගුණ වී ඇත. රටවාසීන්ට ඔරොත්තු නොදෙන අයුරින් ඉන්ධන මිල ද ඉහළ යාම රට අකර්මණ්‍ය වීමට මූලික හේතුවකි. කැලෑපාළුවන්ගෙන් පගා ගන්නා දේශපාලකයින් නිසා රට වින්නැහියකට පාත්‍ර වූ බව විදේශ ජනමාධ්‍යයන් කියයි. විරැකියාව උග්‍ර වී ඇත. ගමනාගමන පහසුකම් නැති ප්‍රදේශ රාශියකි. මත්ද්‍රව්‍ය ජාවාරම් උග්‍ර වී ඇත. පාතාල කල්ලි රටපුරාය. මේ සියලු කටයුතුවලට ඇතැම් දේශපාලකයින් ද සම්බන්ධය. පියවරෙන් පියවර මේ දූපත අසමත් රාජ්‍යයක් බවට පත්වූයේය.


අගමැති පැරදුණ විශ්වාසභංගය


2007 වර්ෂයේ දෙසැම්බර් 13 ද‌ා සොලමන් දූපත් රාජ්‍යයේ පාර්ලිමේන්තුව තුළ සිදුවූ බල අරගලය කාලයක් තිස්සේ එහි හටගෙන තිබූ දේශපාලන මතභේදයේ උච්ච අවස්ථාවක් වශයෙන් හැඳින්විය හැක. අගමැති මනිසාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එද‌ාය. මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව මනිසා අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් 5 දෙනකු ද ඡන්ද පාවිච්චි කිරීම නිසා අගමැතිවරයා පරාජයට පත්විය. හරියටම ඊට දින 7කට පසු එනම් දෙසැම්බර් 20 ද‌ා පරාජයට පත්වූ අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ධීවර ඇමැති තනතුර දැරූ ඩෙරෙක් සිකුරා (DEREK SIKURA) පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා අගමැති තනතුරට පත් විය. වළපල්ලට ගිය රටක් වුවත් සොලමන් දූපතේ සිදුවූ මේ පෙරළියේදී බහුබූත සිදුවූයේ නැත. රට පුරා නොසන්සුන්තාවයක් ඇති වුණේ ද නැත.

 


රටක කරුමයට මුල


බොහෝ රටවල් විනාශ මුඛයට පත්වෙන්නේ දේශපාලකයින්ගේ වංචා දූෂණ හේතුකොට ගෙනය. වසරක් පුරා මා විසින් ලියාගෙන යනු ලබන මෙම තීරුවෙහි හුවා දක්වනු ලැබුවේ පවුල් බලය තර කර ගනිමින් මහජන දේපොළ ගසාකමින් විවිධ රටවල අන්තනෝමතික දූෂිත දේශපාලකයින් විවිධ රාජ්‍යයන් අගාදයට ඇද දැමීමට ක්‍රියා කළ ආකාරයයි. ජනතාවට නිවාස, සෞඛ්‍ය, විදුලිය, ගමනාගමන, ජලය ආදී පොදු පහසුකම් ලබා දීමට අපොහොසත් ආණ්ඩුවලින් රටකට තඹ දොයිතුවක වැඩක් නැති බව එම ලිපි මගින් පෙන්වා දුන්නෙමි. රටකට අවශ්‍ය ජනතාවට බණ දෙසන පාලකයින් නොවේ. ජනතාවට සෙත සලසන පාලකයන්ය.

 

 

 

සිරි හීන්පැල්ල
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි