කැමරාවෙන් ජීවිතය ජයගත් ‘කෙන්ට්’ නිර්මාතෘ ගාමිණී සපරමාදු


අභියෝග  ජයගත්  මිනිස්සු

 

‘ඉරහඳ පායන ලෝකේ, ආලෝකය අතරේ සැප දුක සමබර වේ.’ නම්...? 


දුක යනු මිනිස් ජීවිතයකට උපතින්ම උරුම වූ දෙයකි. ඒ සත්‍යය සැබෑ ලෙසම වටහා ගෙන දුක යන දේට මුල් තැන නොදී තමාගේ යා යුතු ගමන කරා ධෛර්යවන්තව ගිය තවත් අපූරු චරිතයකි. අභියෝග හමුවේ ජීවිතය ජයගත් චරිත ගැන වතගොත සොයා යාමේදී දුකම උරුම කරගෙන ජීවිතයේ නේක ගැහැට වලට මුහුණ දී ජීවිතය ජයගත් මිනිසුන් අපට හමුවේ. බිංදුවෙන් ජීවිතය පටන් ගෙන තමුන්ගේ ඉලක්කය කරා ගිය චරිත අපට හමුවේ. එවැනි චරිත අතරේ අද අප කරුණු විස්තර කරන මේ චරිතය තරමක් වෙනස්ය. 


ඔහුගේ දිවියේ මූලාරම්භය ගතහොත්, දරිද්‍රතාවෙන් වෙළී සිටි පවුලකට අයත් වූවකු නොවේ. යමක් කමක් තිබූ මධ්‍යම පාන්තික පවුලකට අයත් වූවෙකි. මව පියා දෙදෙනා ගුරුවරු වූහ. ඔහු පවුලේ එකම පිරිමි දරුවා වූ අතර අක්කා සහ නැගණිය පවුලේ අනෙකුත් සාමාජිකයෝය. අද ඒ දෙදෙනා ජීවත් වන්නේ එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේය. 


‘ගුරු පවුලකට අයත් වූ දරුවන් ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. වෛද්‍ය, ඉංජිනේරු හෝ එවැනි සම්මතයේ පිහිටා ගත් වෘත්තියයන් වෙත දරුවන් යොමු කරවීම මව්පියන්ගේ අරමුණයි. මට තිබුණෙ එවැනි වටපිටාවක්. මේ නිසා ඒ අරමුණින් පිට පනින්න බැරි වුණා. හැබැයි දන්නා කියන කාලයේ ඉඳලාම මට තිබුණෙ වෙන සිහිනයක්. අරමුණ වුණේ ඒ සිහිනය දිගේ යාමටයි.’ 


එසේ පවසන ඔහු එ් සිහිනය හද පත්ලේ රඳවා ගෙන මා පිය සිත් නොරිදවා සිප් සතර හද‌ාළේය. ශාන්ත බෙනඩික් විද්‍යාලය ප්‍රධානව තවත් පාසල් කීපයක් වෙතින් අධ්‍යාපනය ලද ඔහු උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ගුරුවරයකු ලෙස කටයුතු කළ අතර ටික කලක් විදෙස්ගතව ද සිටියේය. එහෙත් එද‌ා සිට ඔහු සතු වූ සිහිනය අත් නොහැරීය. 


‘ගෙදරින් ආ වටපිටාව සහ පරිසරය නිසා වෙනත් මඟක පිවිස සිටියත් නිතරම හිතුවෙ මගේ සිහිනය කරා යන ගමන ගැනයි. වෙනත් මඟක යනවිට දැනුණෙ මම යා යුත්තේ මේ මග නොවේ කියලායි. 


ඒ නිසා මම අඩි කීපයක් ආ පස්සට තැබුවා. ඒක සෑම අතකින්ම පාඩුවක් සහ පසුබෑමක්. ඒ නිසා එතෙක් වෘත්තියක් ලෙස තිබූ ස්ථාවර ශක්තිය නැතිව යනවා. ඒත් යා යුතුව තිබූ මග යාමට ඒ තැබූ පියවර ගැන පසුතැවුණේ නැහැ. මගේ සිහින මාවතේ ඉදිරියට මම ගියා.’ 


ඒ සිහින ගමනාන්තයේ අත්තිවාරම ​ෙෆාටෝග්‍රැෆික්ස් (Photografix) නම් විය. එතැනින් පටන් ගෙන නව සංකල්ප ඔස්සේ ගමනක් ගිය ඔහුට පසු කලෙක සමාගම් කීපයක් නිර්මාණය කිරීමට හැකිවිණි. එය අද හැඳින්වෙන්නේ කෙන්ට් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (Kent Holdings Ltd) නමිනි. 


 ඊට සමාගම් නවයක් පමණ අයත් වේ. මෙම සමාගම් සමූහයේ නියමුවා හෙවත් සභාපති වන්නේ ගාමිණී සපරමාදුය. නව සංකල්ප දරාගෙන ඒවා ප්‍රායෝගික කරගනිමින් ව්‍යවසාය ක්ෂේත්‍රයේ රැඳී සිටින ඔහු අතිශය නිහතමානී චරිතයකි. 


 ‘පවුලේ එකම පිරිමි දරුවා වෙච්ච හන්ද‌ා ළමා කාලයේ මම හරිම දඟ චරිතයක්. හැබැයි, අසම්මත දේ හෝ අනවශ්‍ය දේ කළේ නැහැ. කොල්ලො එක්ක දුව පැන සෙල්ලම් කළා. ඇළේ දොළේ පැනලා, නටලා දඟ වැඩ කළා. සමහරද‌ාට අක්කයි, නංගියි කළ දේටත් වැරදිකාරයා වුණේ මම. එකම කොල්ලා නිසා අපේ අම්මා හරි තදින් හිටියේ. 


දවසක් පාසලේ ප්‍රතිඵල අරගෙන මම මහා උජාරුවෙන් අක්කයි, නංගියි සිටියදී අම්මා ඉදිරියේ පෙනී සිටියා. නැන්දලගෙ ගෙදර තිබුණේ අපේ ගේ ඉස්සරහා. එයාලගේ මිදුලේ ලොකු ජම්බු ගහක් තිබුණා. අම්මා මට ඒක පෙන්නලා 


‘ජම්බු පොකුරු පිටින් තියෙන අතු බිමට නැමිලා. 


ඒත් ගෙඩි නැති අතු උඩ ගිහින්, 


අර බලන්න කිව්වා.’ 


අම්මා එද‌ා මට ජීවිතයට දුන්නේ ලොකු ආදර්ශයක්. දැනුම ලබන තරමට, ධනය ලැබෙන තරමට, නිවිච්ච, පිරිච්ච නිහතමානී සොඳුරු මිනිසෙක් වෙන්න කිව්වා. මම ජීවිතේ නිහතමානීකම සහ සරල බව ලබා ගත්තේ මගේ අම්මා තාත්තාගෙන්. ඔවුන්ගෙන් ලද ධනයට වඩා මම ජිවිතේ ලැබූ මිල කළ නොහැකි ද‌ායාදය එයයි.’ 


වඩාත් නිහතමානී චරිතයක් වූ අරුමය ගැන ගාමිණී සපරමාදු අද පවසන්නේ එලෙසිනි. ඒ නිහතමානී මිනිසාට එදා තිබූ ඒ සිහිනය මොකක්ද? අපි විමසීමු. 


“ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න.’ හැබැයි තව කෙනෙක් ව​ගේ හැමෝම කරන දේ කරන්න නෙවෙයි. ඡායාරූපකරණයේ වෙනස්ම දෙයක් ජාත්‍යන්තරයට යාම දක්වා කළ යුතුය කියන හැඟීම තිබුණෙ. ඒත් අම්මලා ඒකට වැඩිය කැමැති වුණේ නැහැ. ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියන කෙනා සමාජයේ එච්චරම පිළිගැනීමක් හද‌ාගෙන හිටියේ නැහැ. ඒ අත්දැකීම මට ලබන්න පුළුවන් වුණේ මම කුඩා ළමයකුව සිටි කාලයේදීමයි. 


එද‌ා පවුලේ අය එක්ක මඟුල් ගෙවල්වලට ගිය අවස්ථාවලදී ඉස්සෙල්ලාම බීලා වෙරිවෙලා හිටියෙ ෆොටෝග්‍රැෆර්. මෙන්න මේ වගේ දේ දැක තිබුණු නිසා තමයි අපේ අම්මා මම මෙම අංශයෙන් ඉදිරියට යනවට අකමැති වුණේ. හැබැයි මට ඕනෑ වුණේ වෙළෙඳ ඡායාරූපකරණය නැත්නම් ඇඩ්වර්ටයිසිං අංශයෙන් සහ සිනමා නිර්මාණ අංශයෙන් දෙයක් කිරීමටයි. ඒ අංශය විශාල පරාසයකට විහිදුණු ඉහළ වටිනාකමක් ලැබෙන අංශයක්. ඇඩ්වර්ටයිසිං ෆොටෝග්‍රැෆි එච්චරටම විහිදී ගිය අංශයක්. 


මේ සිහින මාවතට ඔහු පිවිසියේ පෙර ආත්මයේ සිට ආ බැඳීමකට මෙනි. 


‘එද‌ා මට කැමරාවක් ලැබෙන විට වයස අවුරුදු 12 ක ළමයෙක්. විවිධ අවස්ථාවලදී අක්කට සහ නංගිට මෙන්ම මට ඇඳුම් පැලඳුම් ගන්න එහෙම තාත්තා සල්ලි දුන්නාම මම කිව්වේ ෆිල්ම්රෝල් එකක් අරන් දෙන්න කියලයි.’ 


ගාමිණී එලෙසින් අතීතාවර්ජනය කරයි. අපි ඔහුගේ කතාව නිසොල්මන්ව අසා සිටිමු. 


‘මාකටිං, එහෙමත් නැත්නම් අලෙවිකරණය කියන දේ ගැන මට වැටහීමක් ඇතිවුණේ කැමරාව අතට ගත්ත ද‌ා ඉඳලමයි. 


දවසක් අපේ ඥා‌ාතියෙකුගේ දියණියගෙ මල්වර උත්සවය දා මම මා සතුව තිබූ කැමරාවෙන් පිංතූර ගත්තා. එයාලට එය මුද්‍රණය කර දුන්නෙ වෙනස්ම විදියකට. ඒ පිළිගැන්වීම නිසා ‘ෂාහ්, මේක කවුද කළේ’ කියලා කටින් කට කතා කරන්න පටන් ගත්තා. මේ විදියට පවුලේ ඥ‌ාතීන් වගේම හිතවතුන් අතර මා ගැන කතාබහක් ඇතිවෙලා තිබුණෙ.’ 


එලෙසින් තමාගේ සිහින මාවතේ ඔහු පිය මැන ඉදිරියට ගියේ අනාගතයේ වෙනසකින් සහ වටිනාකමක් ඇතිව කළ යුතු දේ ගැන වූ අවබෝධය ඇතිවය. එද‌ා හොඳ වෘත්තියක නියැළෙමින් සිට පසුව තමාගේම ගමනක් යාම වෙනුවෙන් අවතීර්ණ වූ පියමැනීම මහා පරිමාණයෙන් ඇරඹෙන්නේ අසූව දශකයේ අග භාගයේදී පමණය. 


එතෙක් මා ඉතිරිකර ගෙන තිබූ මුදල් සහ සියලු දේ එකතු කරගෙන ෆොටෝග්‍රැෆික්ස් (Photografix) ඡායාරූපකරණ ස්ටුඩියෝව කොළඹ 7, නිදහස් චතුරශ්‍ර මාවතට මෙහායින් අංක 04 යන ස්ථානයේ ස්ථාපිත කළා.’ 
මා විසින් තෝරාගත් මාවතේ මා යා යුතුයි යන ඒකායන අරමුණ ඇතිව කොළඹ හතට ඒමට පෙර ගාමිණී සපරමාදු පටන් ගත් ආයතනය මුල් අවස්ථාවේදී ක්‍රියාත්මක වූයේ එක් මිනිසකුගේ ශ්‍රමය වෙතින් පමණෙකි. 
‘මමයි - මායි විතරයි එද‌ා හිටියේ’ යනුවෙන් එය ඔහු නම් කරයි. සෑම දෙයක්ම ඔහුටම කර ගැනීමට සිදුවිණි. එහෙත් පසුව කොළඹ හතට එනවිට සේවක පිරිස 30 ක් පමණ දක්වා ප්‍රමාණයකින් ඔහු සතු වූ ෆොටෝග්‍රැෆික්ස් කොමර්ෂල් ස්ටුඩියෝස් සමන්විත විය. 

 

 


එහෙත් එද‌ා මේ මගට අවතීර්ණ වීමට පෙර සමහර යාළුවන් ඔහුට කීවේ මෙච්චර හොඳ රස්සාවක් ඉහළ වැටුපක් ලබද්දී ඇයි මේ විදියට සමාජයේ එතරම් පිළිගැනීමකට ලක්ව නැති අංශයකට යන්නේ යනුවෙනි. 
‘උඹ ගිහින් උඹගෙ ඔළුව ඉස්සෙල්ලා බලා ගනිං’ විටෙක යාළුවන් ඔහුට කීවේ එලෙසිනි. 


එහෙත් අත්හැරීම කියන දේ එදා ඉඳළම මම කළ දෙයක්. මට ඉහළම වැටුපක් ලැබෙන සමයේදී තමයි මම එය අත්හැරියෙ. තමුන් කැමැති දේ කරන්න නම් ඒ පරිත්‍යාගය කළ යුතු වෙනවා. එද‌ා මා වඩා කැමැති වූ සහ ආසා කළ මාවත ඔස්සේ යාම මවිසින්ම තීරණය කළ යුතුයි. එද‌ා මම කළේ එයයි.’ 


එද‌ා සියල්ල අත්හැර තමාගේ අභිප්‍රාය ඇතිව ටිකෙන් ටික දියුණුවෙමින් ​ෙකාළඹ හතටත් අවතීර්ණව මහා පරිමාණයෙන් ගමනක් අරඹා මාස කීපයක් යාමට මත්තෙන් සේවකයකු අතින් වූ සුළු අතපසු වීමක් නිසා ‘ෆොටෝග්‍රැෆික්ස් කොමර්ෂල් ස්ටුඩියෝස්’ ගින්නට දැවී අළු වී ගියේය. 


‘ඒ අවස්ථාවේ මට තිබුණෙ එක්කො ඒ ගිනිගොඩට පැනලා මැරෙන්න. නැත්නම් සැඟවී සිටින්න. ඒත් නැත්නම් වි​ෙද්ශයකට පලා යන්න.’ 


එසේ කියන ගාමිණී ඒ කිසිවක් නොකළේය. එ් ගින්නට පසුව හටගත් අළු මතින් නැගී සිටියේ තමාගේ සුන්බුන් වූ භාණ්ඩ නැවත ප්‍රයෝජනයට ගනිමිනි. 


‘ඇත්තටම ඒ නිසා මාස හයක් යාමට මත්තෙන් පෙර තිබුණු තත්ත්වයටත් වඩා දියුණුවක් ලබන්න අපට හැකිවුණා. 


ක්ෂේත්‍රයේ දැවැන්තයකු එද‌ා අනපේක්ෂිතව වැටුණු කල පිරිසක් කම්පා වුවද තවත් පිරිසක් සතුටු වූයේ ‘ආ එතැනින් මිනිහා ඉවරයි’ යන හැඟීම් ඇතිවය. ඒ ගැන ගාමිණී දැන සිටිය ද ඒ කිසිවකින් කම්පා නොවීය. 
‘ඉදිරියට යද්දී පය ගැටෙන සෑම ගල් කැටයක්ම මා සලකන්නේ පාඩමක් කියා දෙන ගුරුවරයෙකු ලෙසයි.’ 


ජීවිතයට එලෙසින් මුහුණදෙමින් එද‌ා වැටුණු තැනින් ඔහු නැගී සිටියේ ‘කෙන්ට් KENT' ආයතනය අරඹමිනි. ඡායාරූපයක් මුද්‍රණය කළ පසු එයට කල් පවතින ආවරණ යෙදීම කලාවේ සිට නව සංකල්ප සහ ඒ ආශ්‍රිත නවතාවයන් හඳුන්වා දීමට ඔහු සතු KENT පුරෝගාමී ආයතනයක් වූවේය. 


අද සුලබ වී තිබෙන ඩිජිටල් ප්‍රින්ටින් (ෆ්ලෙක්ස් ප්‍රින්ටින්) ප්‍රථම වරට ලංකාවට හඳුන්වා දුන්නේ ද මෙම ආයතනය වෙතිනි. 


අපි සියල්ල කළේ අහම්බයකට හෝ වාසනාවකට නෙවෙයි. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී තිබිය යුතු ගුණාංග සහ ඵල ලබන පිළිවෙත් තිබුණා. කෙන්ට් ආයතනය ඒ පිළිවෙත් අනුව විකාශය වූවක්. 
‘හැදෙන ගහ දෙ​ෙපත්තෙන් දැනේ.’ මෙන් ගාමිණී වෙනස් විදියට සිතූ නිසාත්, කලාව, රසායන විද්‍යාව, සෞන්දර්යය ඔහුගේ ආත්මයේ බද්ධ වී තිබූ නිසාත් ස්වකීය කෙන්ට් සමාගම් ජාලය සඳහා මුසු කළේ ඒ හැඩතලයන්ය. 


මට මේ ගමන එද්දී ජීවිතයෙ කරුණු හයක් බලපෑවා 


• අතීතයේ කොහෙද හිටියෙ? 
• අනාගතයේ මොන පැත්තට ද යන්නේ? 
• එතැනට යාමට හිස නිරවුල් ද? 
• කවද ද යන්නේ? 
• කොහොමද යන්නේ? 
• අද කොතැනද ඉන්නේ? 


මේ විදියට අපි ජීවිතය සැලැස්මකට යා යුතු ගමනක්. අපේ රට හරි වාසනාවන්ත රටක්. දක්ෂයින් එමටයි. නමුත් කනගාටුවට කාරණය වන්නේ එකිනෙකාගේ දක්ෂතා හඳුනා ගෙන ඔවුන් සවිබල ගන්වා රටට ඔවුනගේ ද‌ායකත්වය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇතිකරලා නැහැ. ඒ වගේම යම් ක්ෂේත්‍රයක නියැළෙන දක්ෂයින්ට ඇගයීමක් වටිනාකමක් ලැබිලා නැහැ. සමාජයේ පුද්ගලයින් රැකියා අනුව උස් පහත් භේද කරලා. ඒත් දක්ෂතා එකිනෙකාට විවිධයි. විෂමයි. 


මම බොහෝවිට විටින්විට බලධාරීන්ට පවා කියූ දෙයක් වන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය මීට වඩා වෙනසක් ගත යුතුයි කියලයි. සම්ප්‍රද‌ායික විෂයන්ට පමණක් සීමා නොකොට විවිධාකාර වූ හැකියාවන්ට අනුව මාර්ගය තෝරා ගැනීම වෙනුවෙන් ක්‍රමයක් ගෙන ආ යුතුයි. 


රටක් සංවර්ධනයට පුද්ගල දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගැනීමට එය ඉතා ඉවහල් වෙනවා. අද අප රටේ නව උත්පාදක වෙනුවෙන් තරගකාරිත්වයක් නැති නිසා වෙනස්ව හිතන්න පුළුවන් දරුවන් සොයා ගැනීම අසීරු කරුණක් වෙලා. 


ගාමිණී එසේ සමාජයට පණිවුඩයක් දෙන්නේ එකිනෙකා පරයන තරගකාරිත්වය ගැන කීමට නොවේ. පුද්ගල දක්ෂතා විවිධාකාර වූ නිසා ඒ අනුව පුද්ගලයින්ගෙන් සමාජයට නිසි ද‌ායකත්වයක් ලබා ගැනීමට ඇති පරිසරය නිර්මාණය කර ගැනීම වෙනුවෙනි. 


නව නිර්මාණයක් සොයාගෙන ඵල ලබන මාර්ගයක ප්‍රවිශ්ට වන නිර්මාණශීලී තාරුණ්‍ය හඳුනාගෙන ඔවුනට ඒ ගමන ඇරඹීමට මූල්‍ය ශක්තිය සැපයීම වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් රට කරවන බලධාරින් විසින් දියත් කළ යුතු බව ඔහුගේ හැඟීමය. ඔහු ශ්‍රී ලංකාව දකින්නේ නිර්මාණශීලි මිනිසුන්ගෙන් බහුල තෝතැන්නක් ලෙසය. එහෙත් ‘විනය’ නොමැති වීම කනගාටුවට කරුණක් බව ඔහු කියයි. 

 


‘සමහර අපේ තරුණයින් විදෙස් රටවලට ගිහින් සේවය කරන හැටි මම දකිනවා. මැදපෙරදිග වගේ රටවල සිටින සමහර රැකියා කරන අය උදේට ලොරි ට්‍රක් වගේ රථවලින් වැඩපළට ගිහින් ද‌ානවා. නියමිත වෙලාව එනකල් ඔවුන් වැඩ. ටෙලිෆෝනයේ එල්ලිලා නැහැ. වැඩ නම් වැඩ. නැත්නම් ඔවුනට එන්න වෙනවා. නීතියට සහ විනයට අනුව තමයි එහිදී කටයුතු කරන්නේ. 


හැබැයි කටුනායකින් ගොඩබැස්ස තැන සිට මේ රට ඇතුළට ආවම ඒ ‘විනය’ නැහැ. ඊට අමතරව රට ඇතුළේ වැඩ කරන අය ගනිමු. විටෙක හරිම උද‌ාසීනයි. එක්කෝ යමක නිරත වන්නේ කතාබහ කරමින්. විහිළු තහළු කරමින්. නිකරුණේ කාලය ගෙවමින්. 


‘විනය’ කියන දේ රජයකට වඩා තමා විසින්ම ගෙන ආ යුතු දෙයක්. අපට ඕනෑ කරන්නේ රැකියා කරන්නෝ නොවේ. රැකියා මවන්නෝ තමයි අපේ රටට ඕනෑ. අපේ කෙන්ට් සමාගමේ වැඩ කරන අයට මා ළඟම සද‌ාකාලිකව සිටිය යුතුය කියන මතයෙ ඉන්න කෙනෙක් නෙමෙයි මම. 


අපේ ළඟ ඉඳලා වෙනම ගමනක් ගිහින් වෙනස් දේ කළ අය සිටිනවා. ඒක තමයි වෙන්න ඕනෑ. හැබැයි මම ඔවුනට කියන එකම දේ අපට වඩා වැඩි දෙයක්, නවෝත්පාදන අංශයේ දෙයකින් සාර්ථක වී බැබළෙන්න කියලයි. 


අද මෙලෙසින් සමාගම් ජාලයක හිමිකාරිත්වය දරන ගාමිණී සපරමාදු යනු තමා දර්ශනයක සිට අනුනට නිර්ලෝභීව ගුරුහරුකම් කියාදෙන ගුරුවරයෙකි. ඔහුගේ සමාගම් ජාලයෙහි එකිනෙකට නියමුවන් පත්කර සිටී. ඔවුනට ස්වාධීනව නැගී සිටීමට අවකාශය සලස්වා දී තිබේ. කෙන්ට් සමාගම ශක්තිමත්ව නැගී සිටින්​ෙන් ඒ අයුරිනි. සැමවිටම ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේදී නවෝත්පාදන සංකල්ප ප්‍රායෝගික කරමින් එය ව්‍යාපාරයකට එහා ගිය විනෝද‌ාංශයක් කරගත් ගාමිණී සපරමාදු විටෙක පවසන්නේ 


‘මේවා ඔක්කොම මගේ ඇඟේ තිබුණු දේවල්. මම ඒවා විනෝද‌ාංශ බවට පත්කර ගත්තා.’ යනුවෙනි. ඔන්න එක්තරා අවස්ථාවක සංචාරකයෙක් ගමනක් යමින් සිටියදී මහා කළු ගලක් දුටුවා. එතැන මිනිසෙකුත් හිටියා. නැවත ඔහු ආපසු එනවිට ඒ කළුගල පෙනෙන්නට නැහැ. එතැන ලස්සන ප්‍රතිමාවක් නිර්මාණය කරලා. 


‘ඔබ මොකක්ද මේ කළ ආශ්චර්යය?’ සංචාරකයා ගල්වඩුවාණන්ගෙන් විමසුවා. ‘කොහොමද මේ කළු ගල පිළිමයක් කළේ?’ කියලා ඇහුවා. 


මෙතැන මේ ගලේ ඒ පිළිමය තිබුණා. මම කළේ එයට උඩින් තිබුණු අනවශ්‍ය දේ ඉවත් කළ එක විතරයි. ඒ හැර මම කළ කිසිම ආශ්චර්යක් නැහැ. ගල් වඩුවාණන් කිව්වා.’ 

 


ගාමිණී තවත් අපූරු උපමාවක් ගෙනහැර පෑවේය. එයින් ඔහු සමාජයට පැවසුවේ ලොකු අරුතක් ඇති දෙයකි. මෙලෙසින් සොඳුරු පිරුණු නිවුණු මිනිසකු ලෙස ජීවිතය ගතකරන ඔහුට ලෝකයේ කොතැන ගියත් ඔහුගේ හොඳම තැන බිරිඳ සහ එකම දියණිය සිටින නිවසය. 


‘කොහේ ගිහිල්ලා ආවත් මට එතැන තියෙන සැනසීම වෙන කොහේවත් නැහැ.’ 


ව්‍යවසායකත්වයේ නියැළී සිටින ඔහු ජීවිතය අරුත්බර කරගෙන ඇත්තේ ආර්ථිකයට වඩා සරල බව සහ ජීවිතය ඇති සැටියෙන් දකින නිසාය. 

 

 

සටහන : 
සඳුන් ගමගේ