කාවයියා උගුරේ හිර වී අකාලයේ මියගිය මසුන් මරන්නා


ජීවිතයට යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. 

 

අම්පාර මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ ලිපියක් මෙසේය.  


හබක හබක් වී කීරාලගේ ඉරණම විසඳුණ හැටි.


 දසක පහ හයකට පෙර පිටිසර ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ හේන් ගොවිතැනය. හේන් ගොවියන් ඈත කැලෑවල තනි තනිව තැනින් තැන වගාව කරන්නේ නැත. එයට හේතුව වන සතුන්ගෙන් වගාවන් රැක ගැනීමට සතුන් එළවීම පැල් රැකීම වැට බැඳීම ආදී කටයුතු සාමූහිකව කර ගැනීමට පහසු වීමය.   


එක් ගමක හේන් ගොවි පිරිසක් අතරේ කීරාල නමැති අයෙක්ද සිටියේය. ඔහු වන සතුන් අල්ලා ගැනීමට විවිධ උපක්‍රම රාශියක් දත් අයෙකු විය. උගුල් අැටවීම, හබක් ඇටවීම, දුණු ඊතල බැඳීම, බොරුවළවල් කැපීම, තුවක්කු බැඳීම ආදී උපාය මාර්ගයන් ගැන ඔහුට තරම් අනෙක් ගොවීන්ට දැනුමක් හෝ පළ පුරුද්දක් නොවිණ. මේ නිසා කීරාල සමඟ හේන් වගා කිරීමට බොහෝ දෙනෙක් මහත් උනන්දුවක් දැක්වූහ. තමන් වගා කරන බව භෝග නියමාකාරව ආරක්ෂා වීම එයට හේතුවය. හැම හේන් කන්නයකදීම කීරාල මස් විකිණීමෙන් ද විශාල මුදලක් උපයා ගත්තේය.   


කීරාල තම හේනට වන සතුන් එන කැලෑ රොද දෙසින් දඬු වැටක් බැන්දේය. ඉන් පසු සෙසු වැඩ කරන අතරම විටින්විට හබක් ඇට වීමට ද පටන් ගත්තේය. මෙසේ හබක් තුන් හතරක් ඇට වූ කීරාල එක් දිනක උදය වරුවේ හේන් වැඩකොට සවස හබකක් ඇට වීමට පටන් ගත්තේය.   


බඹ හතරක් පමණ දිග ලී දඬු කපා හබක් මැස්ස සාදා ගත් ඔහු මැස්සට අවශ්‍ය ප්‍රමාණයට ගල් ද පටවනු ලැබීය. ඒ වේලාවේ මඳ වැස්සක් ද වැටෙන්නට පටන් ගත්තේය. හේන්වල වැඩ කරමින් සිටි සෙසු ගොවීහු දහවල් ආහාර ගැනීම ගිමන් හැරීම වැසි අවස්ථාවල වැසි තුරල් වනතෙක් රැඳී සිටීම ආදිය සඳහා තාවකාලිකව ඉදි කරගෙන තිබුණ මානා මඩුව වෙත දිව ආහ. ඔවුන් එසේ එන ගමන්ම කීරාල අයියා තෙමෙන්න එපා වැස්ස තදවෙන්නයි හදන්නේ. යමු මඩුවට කියා කීරාලට ද කතා ක​ෙළ්ය.   


වැස්ස තද වෙන එකක් නෑ. මට මේක යටම ඉඳගෙන වැඩේ අහවර කර දාන්න පුළුවන්. ඔය ගොල්ලෝ යන්නයි කී කීරාල ගල් පුරවන ලද හබක් මැස්ස යට ඉඳගෙන හබක ඇට වීමට අවශ්‍ය ප්‍රමාණයට ලී කෝටු කැපුවේය. මානා මඩුවට දිව ගිය සෙසු අයද කීරාල හබක අටවන දෙස බලා සිටියේ එය පේනතෙක් මානයේ තිබුණ නිසාත් ඔහු ඉක්මනට හබක අටවා මානා පැළට එනු ඇත යන බලාපොරොත්තුවෙනි.   


සුළු මොහොතක් ගත විය. එක් වරම කීරාලගේ හබක ගැස්සී යනු මානා මඬුවේ සිටි අයට පෙනුණි. ඔවුන් කෑ ගසා ගෙන වැස්සට තෙමි තෙමීම හබක ළඟට දුව ගියහ. කීරාල පේන්න සිටියේ නැත. වහාම හබකට පටවා තිබුණ ගල් කට්ටුව ඉවත් කළ විට දක්නට ලැබුණේ ගල් රෝලකට යට වූ පොල්ලෙල්ලක් මෙන් තැලී පොඩි වී ගිය ලේ බේරෙන කීරාලගේ සිරුරය. මේ විපත සිදු වූ ආකාරය සොයා බැලීමේදී දක්නට ලැබුණේ හබක අටවන ගැස්සුම් පොල්ලට යොදා තිබුණ වැල් පොටට කෝටු කැපීමට ගැසූ පිහි පහරක් වැදී කැපීයාමෙන් හබක ගැස්සී ඇති ආකාරයයි.   


කීරාලට අත් වූ මේ ඉරණම මේ ආත්මයේදීම කළකම් පල දෙන බවට කදිම නිදසුනක් නොවන්නේද?   



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය. 

කාවයියා උගුරේ හිරවී ආකාලයේ මියගිය මසුන් මරන්නා  


 පස් පවේ ඇලී ගැලී ජිවිකාව ගෙන ගිය සේතන් අයියාගේ දින චරියාවේ එක් අංගයක් වූයේ දිනපතා හැන්දෑයාමයේ ඇළට ගොස් බිලි කොකු දමා මසුන් අල්ලා විකුණා, මුදල් සපයා ගෙන් මත් වතුර පානය කිරීමයි. ගමේ ඇතැම් කාන්තාවන් මොහුගෙන් වෙල් මාළු මිලට ගැනීමට දැඩි කැමැත්තක් දැක්වූයේ ඒවායේ අධික පෝෂණ ගුණයක් තිබෙන නිසායයි පැවති මතය නිසාය.   


කෙසේ වුවද කිනම් දහමකට අනුව වුවද සතා සීපාවා ජීවත් වෙන්නේ මිනිසාගේ ආහාරය පිණිස නොවන බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. මිනිසා තම ශරීරයට කෙතරම් ආදරය කරන්නේ ද සියලු සත්වයෝම තම තමන්ගේ ජීවිත රැක ගන්නට ද දක්වන්නේ දැඩි ආශාවකි. කැමැත්තකි.   


බුදු දහමෙහි පළමු ශික්ෂාපදය ප්‍රාණගාතය නොකිරීම වී ඇත්තේ එබැවිනි. පැය කීපයක් වෙහෙස වී ඇළෙන් මාළු බා ගන්නා සේතන් මසුන් ඉරටුවල අමුණා වැල් කීපයක් ගම්මුන්ට විකුණා එයින් ලබා ගන්නා මුදලින් හොර රා පොළකට ගොස් කට ගොන්නක් බී ගැනීම සේතන්ගේ සිරිතකි. හොඳ හැටි වෙරි වූ පසු රාත්‍රී කාලයේ අමුතිත්ත කුණු හරුප කියමින් වෙරිමත සිඳෙනතුරු ඇවිදීම ගම්වැසියන්ට ඉමහත් හිසරයක් හා කන්දොස් කිරියාවක් විය.   


කළුවරේ ඇවිදින මූව නයෙක් පොළ​ෙඟක්වත් කන්නේ නැද්දැයි යටි හිතින් ශාප කළ ගම්වැසියන් මොහුගේ නොසංඩාල ක්‍රියාව ගැන ඔහුට අවවාද දීමට හෝ නීතියේ පිළිසරණක් පැතිමට නොගියේ සේතන් ගමේ කොයි කාගෙත් වැඩ වලදී සහයෝගය දෙන නිසාවෙනි.   


වෙනදා මෙන් එදින සවස් යාමයේ බිලිපිති දෙක තුනක් ගෙන සේතන් අයියා ඇළට ගියේ යහතින් ගෙදර නොඑන අදහසකින් නෝවේ. පණුවෙකු ඇමට ගසා එක බිලි කටුවක් ඇළට දමා දෙවෙනි බිලි බිත්ත ද කඩිනමින් සූදානම් කළේ හොද්ද බොර කර ගන්නා අදහසිනි.   


පළමු ඇම ඇළට දැමූ සැණින්ම එය ගිලගත් මාළුවා ඇදගෙන යන බව දැනුණු සේතන් වහා එය ගොඩට ගෙන එහි රැඳී සිටි කාවයියා අල්ලා ගත්තේය.   


දෙවෙනි පිත්තේ ඇමද මසෙකු ගිල ඇදගෙන යන බව දුටු සේතන් කඩිමුඩියේ කාවයියා තම දත් දෙපළට හිර කරගෙන අනික් මාළුවාද ගොඩ ගැනීමට සැරසුණේ බොර දියේ මසුන් ඉක්මණින් ඇමට හසුවෙන බව දන්නා නිසාවෙනි. මේ අතර ඔහුගේ දත් දෙප​ෙළ් හිරකරගෙන සිටි කාවයියා දත් දෙපළ බුරුල් වී සේතන්ගේ උගුර දක්වා ගොස් ඔහුගේ උගුරේ හිර වී යාමට ගත වුණේ සුළු මොහොතකි. සේතන්ට හුස්ම ගැනීමට පවා නොහැකිව දෑස් නිලංකාරවී සිහිමුර්ජාවෙන් පිත්ත අත හැරී ඇළට ඇද වැටුණේ පණ කෙන්දෙත් අහිමි කරමිනි. පසුදා උදේ කුඹුරට ගිය ගොවියෙකුට සේතන්ගේ මළ සිරුර ඇළේ පාවෙමින් තිබෙනු දක්නට ලැබුණි. ගොනා පසු පස කරත්තය එන්නාසේ තමන් කරන පාප කර්මයන්හි පල විපාක කොයියම් මොහොතක දී හෝ තමා කරා පැමිණෙන බව මෙම කතාවෙන් පැහැදිලිව පෙනේ.   



අම්පාර ගලපිටිගල ධනපාල කොඩිතුවක්කු මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

අවසානයේ සිරුර පවා අතුරු දන් වූ හැටි   


ඔහු ගමේ ජීවත් වුයේ අන් අය සමග කෘෂි කාර්මික කටයුතුවල නිරත වෙමිනි. එයට අමතරව ගවයින් කිහිප දෙනෙක්ද ඇති කරන ලද අතර ඉන් අමතර ආදායමක් ද ලැබුණි. වරෙක ඔහු මෙසේ කල්පනා කරන්නට ඇත. ගව පාලනය දියුණු කර ගතහොත් විශාල දියුණුවක් ඇති කර ගත හැකිය යන්නය.   


එ් අනුව ඒ කෙරෙහි සිත යොමා වැඩිපුර ගවයින් ගෙනවිත් ගාලක් සාදා එහි රඳවා ගන්නට කටයුතු කළත් සතුන්ගේ ආහාර ප්‍රශ්නය උග්‍ර විය. මේ ගවයින්ගෙන් ගමේ අයට ද මහත් කරදරයක් බව අවබෝධ කර ගත් ඔහු ගමින් පිට රැගෙන යාමට කටයුතු සකස් කළේය. තම ගෙදර බිරිඳ සහ පුතුන් දෙදෙනකු ද නවතා බාල පුතනුවන් සමග ගවරැල දක්කාගෙන ගමෙන් බැහැර විය.   


තණ බිම් සහිත කැලෑ ප්‍ර​ෙද්ශයක වාඩියක් තනාගෙන එහි නතර විය. ගෙදර සිටි ඇල්ශේෂන් වර්ගයේ බල්ලන් දෙදෙනා ද ඔවුනගේ වාසයට එක් වූහ. කැලෑ පෙදෙසක් බැවින් තුවක්කුවක් ද මිලට ගන්නා ලදුව එයින් ඔහුගේ ක්‍රියාවන් ද වෙනත් අතකට යොමු වන්නට විය. ඔහුගේ වාඩියට නුදුරින් වන අඩවි නිලධාරීන්ගේ නිවහනක් තිබුණි. එහි සිටින නිලධාරීන් සමඟ කුළුපග වන්නට ඔහුට වැඩි කලක් ගත වූයේ නැත. එම නිල දරුවන් කැලයේ හොරට දැව ජාවාරමේ යෙදෙන්නන් අල්ලා ගැනීම කරන අතර එය නතර කළ නොහැක්කක් වී තිබුණි.   


අප කතානායක සරදි​යස් ආපසු ලෙස හඳුන්වමු. සරදියස් අපසු නිතැතින්ම දඩයමට ඇබ්බැහි විය. ඒ සඳහා ඔහු බල්ලන් දෙදෙනාගෙන් උපරිම සහය ලැබුණි. දඩයම් කර ගෙනෙන සතුන්ගේ මස් මිතුරන් ලෙස සිටින වන නිලධාරින් සමග භූක්ති විඳින අතර ඉතිරිවා වියළා වෙළෙඳපොළට රහසේ ගෙනවිත් මුදල් කර ගනී. ගවයින්ගේ කටයුතු තම පුතාගෙන් සිදුවුණු අතර සරදියස් අප්පු කැලේ රජා බවට පත් වන්නට වැඩි කලක් ගත වූයේ නැත. වන නිලධාරීන්ටද ඔහුගේ සහය නැතිවම බැරි විය හොරෙන් ගස් කපන්නන් ඇල්ලීම ඔහු පෙරටු කොටගෙන සිදුවන්නට විය. රාත්‍රී කාලයට හොරෙන් කපනා ගස් ප්‍රවාහනය කරනු ලබන්නේ කරත්ත වලිනි. සැඟවී සිට ප්‍රවාහනය කරන කරත්ත අල්ලා ගැනීම සිදු වේ. මෙම වකවානුවේ හොරෙන් ගත් කපා ප්‍රවාහනය කරනු ලැබුයේ දමිළ අය වේ.   


සරදියස් අප්පු ඔවුනට මහත් හිසරදයක් විය. තමනගේ කටයුතු කර ගැනීමට නොහැකියාවක් මොහුගෙන් උදා විය. මන්ද ඔවුනගේ අවියායුධ (කියත්, පොරෝ කැති) බලෙන් උදුරා ගන්නා අතර මුදල් ද ගන්නා තත්ත්වයට පත් විය. දැන් දැන් සරදියස් ආපසු කැලෑ වදින්නේ තනිවමය. රක්ත වර්ණ ඇඳුමකින් සැරසී පතරොම් පටිය ඉනෙහි බැඳ ගන්නා අතර තුවක්කුවද අතට ගෙන එළියට බසින විට බල්ලන් දෙදෙනා පෙරටුවේ ගමන් කිරීම සිරිතක් බවට පත්වී තිබුණි.   


දමිළ අය මොහු හැඳින්වූයේ නයිකාරන් යනුවෙනි. නයිකාරන්ගෙන් ගැලවීමක් ඇත්තේම නැත. මෙසේ මෙම කටයුතු දිනෙන් දින සිදු වෙමින් පවතිත්දී එම කටයුතු වරදින්නට ද උදා වූයේ නිමේෂයකි. එදින ඔහු වාඩියේ සිටින විට කැලයෙක් කිසියම් ශබ්දයක් ඇසෙන්නට විය. වේලාව දහවල් 12 කණිසමට පැයක් පමණ තිබුණි. ළඟපාත ශබ්දයක් බැවින් ඔහු තුවක්කුව ගත්තේ නැත. කැත්තක් පමණක් රැගෙන බල්ලන් දෙදෙනා ද සමග කැලයට දුව යන අයුරු වාඩියේ පිටත සිටි පුතා නොදැක්කා නොවේ. ඔහු අදටත් කැලයෙන් නැවත ආවේ නැත. දින සති මාස අවුරුදු බොහෝ ගෙවී අවසන්වී ඇත.   


ඉන් දෙදිනකට පසු බල්ලන් දෙදෙනා පැමිණිමුත් උන්ද ගොළුවත රකින්නට විය. කොතෙක් සෙව්වද කිසිදු සටහනක් අදටත් නැත. සරදියස් අප්පු, කැලේ රජා නයිකාරන් ගේ සිරුරවත් සොයා ගැනීමට නොහැකි වූයේ මන්ද?  ජනවහරේ තිබෙන අයුරින් කැහැලා ගිල්ලා වගේය.   


පැතුවේ කුමක්ද? ලැබුවේ කුමක්ද? සිදු වූයේ කුමක්ද? සිතන්න ඔබ ජීවිතයෙන් නිසි පළ ලැබුවේද?   

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

 

 

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්