කාන්තාවන් පමණක්ම උගන්වන අපූරු පාසලක්


ආරච්චිකට්ටුව විද්‍යාලය  

 

 

 

ජාතික ඵලද‌ායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද 2018 වසරේ ජාතික ඵලද‌ායිතා සම්මාන ප්‍රද‌ානෝත්සවයේදී පාසල් අංශයෙන් වයඹ පළාතට හිමි වූ ඉහළම සම්මානය දිනා ගැනීමට පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත අධ්‍යාපන කලාපයේ පිහිටි ආරච්චිකට්ටුව ප්‍රාථමික විද්‍යාලය සමත්විය.   


පාසල් අංශයේ පස්වැනි ශ්‍රේණිය දක්වා වූ පාසල් කාණ්ඩයෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට ආරච්චිකට්ටුව ප්‍රාථමික විද්‍යාලය සමත්වූ අතර, එම ජයග්‍රහණය මෙවර පුත්තලම දිස්ත්‍රික්කයේ පාසලක් විසින් දිනාගත් එකම සම්මානය වීමද විශේෂත්වයකි.   


පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික ඵලද‌ායිතා සම්මාන ප්‍රදානෝත්සවයේදී එහි ප්‍රධාන ආරාධිතයා වූ කථානායක කරු ජයසූරිය මහතා අතින් ආරච්චිකට්ටුව ප්‍රාථමික විද්‍යාලයට එම සම්මාන ප්‍රදානය කෙරිණි.   


එකම පැහැයෙන් යුත් ඔසරියෙන් සැරසී කාන්තාවන් පිරිසක් පමණක් සම්මානය ලබා ගැනීමට වේදිකාවට පැමිණෙන ආකාරය දුටු කථනායක කරු ජයසූරිය මහතා ‘මොකද මේ ඔයාලගේ පාසලේ පිරිමි ගුරුවරු කවුරුවත්ම මේ උත්සවයට ආවේ නැද්ද’’ යනුවෙන් මේ කණ්ඩායමේ නායිකාව වූ ආරච්චිකට්ටුව ප්‍රාථමික විදුහල්පතිනි සුනේත්‍රා දේවගේ මහත්මියගෙන් සිනාසෙමින් විමසා ඇත. ‘‘නැහැ කථානායකතුමණි අපේ පාසලේ ඉන්නේ ගුරුවරියෝ විතරමයි’’ යනුවෙන් දේවගේ මහත්මිය ඊට පිළිතුරු දී ඇත.   
‘අපූරු ඉස්කෝලයක්නේ එහෙනම්’’ සිනාසෙමින් පැවසු කතානායකවරයා ‘කාන්තාවෝ පිරිසක්ම මහන්සිවෙලා ගත්තු මේ ඉහළම ජයග්‍රහණයට මාත් සුබ පතනවා’’ යැයිද පැවසීය.   
මේ රටේ කථනායකවරයා පැවසූ ආකාරයටම කාන්තාවන් පිරිසක් ගුරුකම්කරන මේ අපූරු ඉස්කෝලය සොයා යාමට අපට ද සිත්විය. මන්ද අප සොයාබැලූ ආකාරයට කාන්තාවෝ පමණක් ආචාර්ය මණ්ඩලයේ සිටින වයඹ පළාතේ එකම පාසල සම්මානලාභී ආරච්චිකට්ටුව ප්‍රාථමික විද්‍යාලය වීම නිසාම එහි විශේෂත්වයක් ඇති බව අපට හැඟිණ.   
මීට දශක කීපයකට ඉහතදීනම් මෙරට බොහෝ කාන්තා පාසල්වල ප්‍රධානාචාර්යධුරය ඇතුළුව සමස්ත ආචාර්ය මණ්ඩලයම කාන්තාවන්ගෙන් සමන්විත වූ කාලයක්ද විය. නමුත් එම තත්ත්වය වෙනස්වී මේ වනවිට මෙරට සියලුම කාන්තා විදුහල්වල පිරිමි ගුරුවරුන් බහුලව සිටින ආකාරය දැනගත හැකිවේ.   


නමුත් ආරච්චිකට්ටුව ප්‍රාථමික විදුහලේ ඇති විශේෂත්වය නම් පළමු වසරේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මෙය ගැහැනු ළමුන්සේම පිරිමි ළමුන්ද ඉගෙනුම ලබන මිශ්‍ර පාසලක් වුව ද විදුහල්පතිනිය ඇතුළු මෙහි සමස්ත අාචාර්ය මණ්ඩලයම කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වීමය.   


මෙහි විදුහල්පතිනිය සමඟ දහනවයක් වූ ආචාර්ය මණ්ඩලය සහ තිදෙනෙකුගෙන් සමන්විත අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද කාන්තාවන් පමණක් වීම විශේෂත්වයකි. මෙම පාසලට සම්බන්ධ එකම පිරිමියා පෞද්ගලික ආරක්ෂක සමාගමකට අයත් විදුහලේ ආරක්ෂක නිලධාරියා පමණි. යම් හෙයකින් ආරක්ෂක නිලධාරියාද කාන්තාවක් වූවානම් එයද වාර්තාවක් වීමට ඉඩ තිබුණි.   


ගැහැනු විතරක්ම ඉන්න මේ පාසලට ආරක්ෂාවට පිරිමියෙක් අවශ්‍ය නිසායි අපි අපේ පාසලට පිරිමි ආරක්ෂක නිලධාරියෙක්වම ලබා ගත්තේ’’ විදුහල්පතිනි දේවගේ මහත්මිය අපට පැවසුවාය.   

 

සුනේත්‍රා දේවගේ  

 

 

 


ප්‍රාථමික විදුහලක සේවය කළ ද සුනේත්‍රා දේවගේ මහත්මිය පළමුවැනි ශ්‍රේණියේ විදුහල්පතිවරියකි. කොබෙයිගනේ අලහේනේගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයද, නාරම්මල මධ්‍ය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයද ලැබූ දේවගේ මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් සරසවි අධ්‍යාපනයද ලබා ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරේම විද්‍යාපීඨ අධ්‍යාපනයද ලබා ගැනීමට සමත් වූවාය.   


මෙවැනි ජයග්‍රාහි ගමනක් සඳහා පැමිණි ගමන් මහ දේවගේ මහත්මිය මෙසේ විස්තර කළාය.   


මට මුලින්ම පත්වීම් ලැබුණේ විද්‍යාපීඨ ගුරුපත්වීමක් විදිහටයි. ඒ වෙනකොට උපාධිය අරන් තිබුණු නිසා පුහුණු උපාධි කියලා පත්වීම ලැබුණා. ඊට පසුව මම පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාවක් සමත් වුණා. මගේ ගමේම තිබුණු කොබෙයිගනේ කොස්ගහවැව විද්‍යාලයට තමයි මුල්ම පත්වීම ලැබුණේ.   


දෙදාහ වසරේදී මම විවාහ වුණා. මගේ මහත්තයාත් ගුරුවරයෙක්. එයාට ලැබුණු ගුරු පත්වීමේ දුෂ්කර සේවය කරන්න ලැබුණේ පුත්තලමේ ලිහිණිගිරිය විද්‍යාලයට. මේ නිසා මාත් මාරුවක් අරගෙන පුත්තලමේ දේවාල හන්දිය කියන ප්‍රාථමික විද්‍යාලයට ආවා. එහෙම ඇවිල්ලා අපි දෙන්නාම එක දිගට අවුරුදු පහළොවක්ම පුත්තලමේ දුෂ්කර සේවය කළා.   
ඒ වෙනකොට අපිට දුව ලැබිලා සිටිය නිසා අපි හලාවතට මාරුවක් ඉල්ලාගෙන දෙදහස් හයේදී ආවා. මට ලැබුණේ හලාවත ශාන්ත මරියා කොන්වන්ට් පාසල. ඒ වෙනකොට මම විදුහල්පති ශ්‍රේණි විභාගය ලියලා තිබුණු නිසා මට දෙදහස් නවයේදී බංගදෙණිය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති විදිහට පත්වීමක් ලැබුණා. එතැන මම අවුරුදු දෙකක් ඉඳලා දැන් ඉන්න මේ විද්‍යාලයේ විදුහල්පති විදිහට ආවා.   


දෙදහස් දහහතරේ මම මේකට එනකොට මේ පාසල වැහෙන මට්ටමකට ඇවිත් තිබුණේ. මම එනකොට ළමයි දෙසිය දහහතරයි හිටියේ. ප්‍රදේශය වතුරෙන් යටවෙන කාලයට මේ මුළු පාසල් භුමියම ගංවතුරට යටවෙනවා. මම බොහෝම අමාරුවෙන් මාපියන් අඬගහගෙන පස් ගෙනැල්ලා මේ මුළු පාසල් භූමිය ගොඩකරලා වතුරට යට නොවන තත්ත්වයට පත්කළා.   


ඊට පස්සේ මම කලාප කාර්යාලයෙන් අවසර අරගෙන ළමයින්ගේ පාසල් නිල ඇඳුම සම්පූර්ණයෙන්ම වෙනස් කළා. මේ කරපු දෙය පාසල ගැන උනන්දු නොවූ දෙමාපියන් ආපසු පාසලට ආකර්ෂණය කර ගැනීමට විශාල බලපෑමක් ඇතිකළා. ඒ අතරේම මීට කලින් මේ පාසලේ නොතිබුණු විවිධ විෂය සමගාමී බාහිර ක්‍රියාකාරකම් ආරම්භ කළා. මේ වාගේ මාපියන් හා දරුවන් ආකර්ෂණය කර ගන්න පුළුවන් දේවල් පාසලේ ක්‍රියාත්මක කරනකොට මේ පළාතේ මාපියෝ තමන්ගේ දරුවන් මේ පාසලට ඇතුළත් කිරීමට උනන්දු වුණා. මේ නිසා මට විද්‍යාලය සංවර්ධනය කරවලා සමාන්තර පන්ති වැඩි කිරීමට සිද්ධ වුණා. ඊට පසුව සම්මුඛ පරීක්ෂණ පවත්වලා ළමයි ගන්න තත්ත්වයට පත් වුණා. අදවන විට ළමුන් 700කට ආසන්න සංඛ්‍යාවක් මේ පාසලේ අධ්‍යාපනය ලබනවා.   

 

කතානායක කරු ජයසූරිය මහතා අතින් ඵලද‌ායිතා සම්මානය ලබාගත් අවස්ථාව  

 

 


මම පාසලට බාරගන්නකොට පිරිමි ගුරුවරු තුන්දෙනෙක් හිටියා. එය‌ාලා මාරුවෙලා ගියාට පස්සේ මෙහාට ආව හැම ගුරුවරයෙක්ම ගැහැනු අයම විතරයි. මේ අතරේදී මම පාදුක්කේ මීපේ ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානයෙන් කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාගත්තා. මේ පාඨමාලාවට වයඹින්ම මාත් එක්ක තේරිලා හිටියේ දෙන්නයි.   
මේ පුහුණුව නිසාම තමයි අපේ පාසලට මේ වාගේ උසස් ජයග්‍රහණයක් ලබාදෙන්න මට පුළුවන් වුණේ. පාසලේ තිබුණු ගහකොළේ ඉඳලා වෙනස්කරලා තවත් වෙනස්කම් රාශියක් මම ඇතිකළා. දෙදහස් පහළොවේදී අපිට ජාතික ඵලද‌ායිතා තරගයෙන් කුසලතා සහතිකයක් ලැබුණා. දෙදහස් දහසයේ මේ තරගය තිබිලා නැහැ. දෙදහස් දහහතේ, දහඅටේ පවත්වලා ඒ ප්‍රතිඵල අනුව තමයි අපිට දෙවැනි ස්ථානය ලැබුණේ. ඵලදායිතාව මොකක්ද කියලා අපේ පාසලේ පුංචි දරුවෝ පවා හොඳින් හඳුනාගෙන සිටිනවා.  
පාසලේ ශිෂ්‍ය සාධනය, ළමුන්ගේ විනය, ආකල්ප, ගුරු දෙමාපිය සම්බන්ධතා සම්බන්ධ කර ගනිමින් පාසලේ දියුණුව සඳහා ලබා තිබූ ඵලද‌ායිතාව ආරච්චිකට්ටුව ප්‍රාථමික විදුහල ලැබූ මේ ජාතික ජයග්‍රහණයට මූලික වී ඇත. මුලින් පාසල දෙස ඇසක් ඇරලා නොබැලූ දෙමාපියන් අද මෙම පාසලේ සියලුම ක්‍රියාකාරම්වල ප්‍රධාන කොටස්කාරයෝ කර ගැනීමට දේවගේ මහත්මිය සමත්වී ඇත.  


දේවගේ මහත්මියට මේ සියල්ල කිරීමේදී විවිධ බාධක පැමිණිය ද ඇය නොසැලී ඒවාට මුහුණදී ඇත.  


ඵලදායිතාවය කියන්නේ හරියට හරිදේ කරන එක වේලාවට වැඩ කිරීම, වැරැදි වැඩ නොතිබීම, සාමූහිකව කටයුතු කිරීම යනාදිය පාසලට හඳුන්වා දීමෙන් අපිට පාසලේ කටයුතු සිදු කිරීම හරිම පහසුවෙලා තියෙනවා. මේ සියල්ල සඳහා මට මගේ ආචාර්ය මණ්ඩලයෙන් උපරිම සහායක් ලැබෙනවා. ඔක්කෝම එක වගේ ඉන්නවා. අපේ ජයග්‍රහණයේ රහස ඒක තමයි දේවගේ මහත්මිය පැවසුවාය.  


මේ ජයග්‍රාහී මෙහෙයවීම සඳහා දේවගේ මහත්මිය තුළ තිබෙන දක්ෂතාවය නිසාම 2018 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු සේවයේ දක්ෂතා ඇගැයීම සඳහා සංවිධානය කරන ලද ප්‍රතිභා ප්‍රණාම ගුරු සම්මාන උළෙලේදී දිවයිනේම දක්ෂතම විදුහල්පතිවරිය ලෙස දෙවැනි ස්ථානයෙන්ද පිදුම් ලැබුවාය. මීට අමතරව 2017 වසරේදී දිවයිනේම හොඳම විදුහල්පතිවරුන් දසදෙනෙකු තෝරා ඔවුන්ට ලබාදුන් මැලේසියා සංචාරය සඳහා වයඹ පළාතෙන් තෝරා ගන්නා ලද එකම විදුහල්පතිවරිය වූයේද දේවගේ මහත්මියයි.  
දේවගේ මහත්මියගේ සැමියාවන සුගත් සේමසිරි මහතා මාදම්පේ තරුක්කුව විදුහලේ ආචාර්යවරයකු ලෙස සේවය කරයි. එකම දියණිය වන සඳලි අමන්දා හලාවත ආනන්ද ජාතික පාසලේ උසස්පෙළ හද‌ාරමින් සිටියි. ආරච්චිකට්ටුව ප්‍රාථමිකය විවිධ අදහස් සහිත පුවරු ප්‍රදර්ශනය කෙරෙන ප්‍රදර්ශනගාරයක් බඳුය. එයින් යමෙකුට ලබාගත හැකි දැනුම් සම්භාරයකි.   


අපේ පාසල මේ වාගේ ජයග්‍රාහී තත්ත්වයකට ගේන්න පුළුළුන් වුණේ හැමෝම එකතුවෙලා සැලසුමකට අනුව වැඩකරපු නිසායි. මගේ සේවා කාලයට, දැන් අවුරුදු 22ක් පමණ වෙනවා. මට දැන් විදුහල්පති පරිපාලන සේවයට යන්න පුළුවන්. එහෙම ගියත් පාසලකම රැඳෙනවා කියලා තමයි මම සිතාන ඉන්නේ. පාසල තමයි වැඩ කිරීමට පුළුවන් හොඳම ස්ථානය විදිහට මම දකින්​ෙන්. හදන්න පුළුවන් හොඳම අය තමයි පුංචි දරුවෝ පුංචි දරුවොත් එක්ක අපිට හරිම සතුටකින් වැඩ කරන්න පුළුවන්. මේ දේවගේ මහත්මිය අවසාන වශයෙන් පැවසූ අදහසයි.  

 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් ප්‍රතිභා ප්‍රණාම ගුරු උපහාර සම්මානය ලබාගත් අවස්ථාව  

 

 

 

 

 

සේයාරු හා සටහන - 
පුෂ්පකුමාර ජයරත්න