කාන්තාවන් දෙදෙනකුට මැදිවූ බංග්ලාදේශය


වළපල්ලට ගිය රටවල්

 

බඩට වදින විට දුකට හඬන පුරවැසියන් ජීවත් වන්නේ කාබාසිනියා වූ රටවලය. ඔවුන් දේශපාලකයින්ට වඳින්නේ බයටය. බලය නැතිදා මෙන්ම බලය ඇතිදා ද බොහෝ දේශපාලකයින් කියන්නේ බයිලාය. වාසි හොයන කාසි පොට්ටනි ගහන පාලකයින්ගෙන් රටකට වැඩක් නැත. එවැනි දේශපාළුවන්ගේ ගෙලට දැමිය යුත්තේ මල්මාලා නොවේ. තොණ්ඩුය.


එංගලන්යට කියන්නේ හිරු නොබසින රාජ්‍යය කියලාය. වළපල්ලට ගිය රටවලට කියන්නේ මිල නොබසින රාජ්‍යයන් කියලාය. එවැනි ගරා වැටුණ රාජ්‍යන්හි ජනතාව ගෙවන්නේ කාලකන්නි කරුමයකි. එවැනි දේශයන්හි ජීවත් වන්නේ පිනි බිඳක් තරම්වත් නිශ්චිත නැති ජීවිතයක් වෙනුවෙන් මහ මුහුදක් තරම් පැතුම්, බලාපොරොත්තු අපේක්ෂා පොදි බැඳගත් ජනතාවකි.


අද මෙම තීරයෙන් හඳුන්වා දෙන්නේ පල්ලම් බසින ආසියාවේ පිහිටි තවත් ජනරජයකි. ඒ බංගලාදේශයයි.


අතීතයේ බුදු දහම සුරක්ෂිතව පැවති මෙම භූමියෙන් අද වනවිට එම දහම නැත්තටම නැතිවී යාම වෙනම කතාන්දරයකි. හුස්ම වැටෙන වාරයක් පාසා අරන් ආපු පව් ගෙවන බහුතර ජනතාවක් වෙසෙන දේශයකි බංගලිදේශය. මේ රටේ ද වැඩිපුරම ඉන්නේ ස්වභාවිකව ලැබෙන වතුර ටිකවත් ජනතාවට දෙන්න බැරි ඒත් මත් වතුර ටිකනම් හැම පළාතකටම බෙදන්න දක්ෂ දේශපාලකයින්ය. මේ බංගලාදේශයේ ද තිබෙන්නේ නාඩි වැටෙන පණ අදින ආර්ථිකයකි. බංගලාදේශයේ කැලෑබද ගම්මානවල ළදරුවන් හඬන්නේ ‘ඔංචිල්ලා තොටිලි කොයින්දෝ, රන් සළුපිළි වළලු කොයින්දෝ’ කියලාය.


පගා මරුවෝ මිනී කාක්කෝ


ඉන්දියාවට හා මියන්මාරයට හෙවත් බුරුමයට මායිම්ව පිහිටි අතීතයේ දී නැගෙනහිර පාකිස්ථානය වශයෙන් හඳුන්වනු ලැබූ මේ දේශය කෝටි 16කට වැඩි (16,29,51,560) ජනගහනයකින් සමන්විත රාජ්‍යයකි. විශාලත්වය ව.කි.මී. 1,47,570ක් හෙවත් ව.සැ. 56,980කි. කි.මී. 8046 කට වැඩි දිග ගංගා 700ක් පමණ මේ රට මැදින් මුහුදට ගලායයි. බෙංගාල බොක්ක මහා කරුමයක්වී ඇති රටකි. ගංවතුර හා සුළි සුළංවලින් අඩුවක් නැති බංගලාදේශය ආසියාවේ තවත් දූෂිත රාජ්‍යයකි. ස්වභාවික විපත්වලින් වසර පතා දස දහස් ගණනින් මිය යාම ඛේදවාචකයකි.


අප්‍රිකාවේ ඇතැම් රටවල් හා සසඳා බලන විට බංගලාදේශය කිසියම් ප්‍රගතියක් ලබා ඇති බව කිව යුතුය. දේශපාලකයින් විසින් රටක් සූරාකෑම අතින් බංගලාදේශය පියවර රාශියක් ඉදිරියෙන් සිටී. මේ රටේ වැඩිපුරම සිටින්නේ උප්පැන්නයේ සිට මරණ සහතිකය දක්වා ජනතාවගෙන් පගාව ගන්නා රජයේ නිලධාරීන්ය. මිනී කාක්කන්ය. පගා මරුවන්ය. හොර තක්කඩි දේශපාලකයින්ය.


මෙහි දුම්රියවල මගීන් ගමන් කරන ආකාරය දුටුවිට සිතෙන්නේ මෙය ආපස්සට ගමන් කරන රටක් කියාය. පාරවල්වල ධාවනය වන ත්‍රීරෝද රථ, ලොරි ආදිය දුටුවිට ආසියාවේ හිමිවී ඇති ස්ථානය තේරුම් ගත හැකිය.
රටේ මුළු ජනගහණයෙන් සියයට 80ක් පමණ ජීවත් වන්නේ නොදියුණු ප්‍රදේශවලය. ඔවුන්ගෙන් සියයට 35කට පමණ සෞඛ්‍ය, අධ්‍යාපන, ගමනාගමන හා විදුලිය පහසුකම් නැත. මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 65ක් පමණ ගංගා ආශ්‍රිතව පිහිටා තිබේ. නිතර සිදුවන ගංවතුර උවදුර රටේ විනාශයට මුල්විය. ගම්බද ප්‍රදේශයන්හි මුළු ජනගහනයෙන් සියයට 48කට ඉඩම් නැත. බොහෝ දෙනා ජීවත් වන්නේ රජයේ කැලෑ හෙළිපෙහෙළි කොට පැල්කොට අටවා ගෙනය. මේ ප්‍රදේශවල කොළවරාව, ඩෙංගු උණ, මැලේරියාව පැතිර යයි. ලෙඩ රෝගවලින් මියයන අයගේ සංඛ්‍යාව අධිකය.

 


අාසියාවේ ශෝකාලාපය


ලොව දූෂිතම රටවලින් 14 වැනි ස්ථානය හිමිවී ඇත්තේ බංගලාදේශයටය. ඉපදෙන ළදරුවන් 1000කගෙන් 34 දෙනෙකු මිය යන බව සංඛ්‍යා ලේඛන දක්වයි. මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින්ගේ ප්‍රතිශතය සියයට 35කි. ජනගහනයෙන් සියයට 40ක් රැකියා විරහිත වූවන්ය. රට අතහැර යන අයගේ සංඛ්‍යාව අධිකය. පුරවැසියන්ගේ මානව හිමිකම් කඩකරන රටවලින් මුල් තැනක් ද මේ රටට හිමිය.


මෙහි ප්‍රධාන ආදායම් මාර්ගය මැසූ ඇඳුම් විදේශ රටවලට අපනයනය කිරීමයි. ඉන් වසරකට ලැබෙන ආදායම ඩොලර් බිලියන 20කට වැඩිය. මේ ආදායම ජනතාවගේ අවශ්‍යතා සඳහා නොයොදවා යටි මඩි ගසා ගන්නා දේශපාලකයින්ගෙන් මේ රට පිරී ඇත. ඇඟළුම් කම්හල්වල ශ්‍රමය වැය කරමින් දුක් විඳින ගැහැණු පිරිමින්ගේ ශෝකාලාපය මෙහි පාලකයින්ට නොපෙනේ.


ක්‍රිකට් කන්නද?


තිස් ලක්ෂයකට අධික ජන සංහාරයකින් පසුව මීට වසර 47කට පෙර නිදහස ලබාගත් මේ රට ද කාබාසිනියා කළේ ඡන්ද මගඩිවලින් මැති ඇමැතිකම් ලබාගත් මුදලාලිලාය. බිස්නස් කාරයින්ය. මුදල් විසිකර ජනතා මනාපය දිනාගෙන හත්මුතු පරම්පරාවම එගොඩ කර ගන්නා නූගතුන්ය. මේ රටේ ද දේශපාලකයින්ගෙන් බහුතරය ප්‍රතිපත්තියක් නැති අමනයින්ය. රටට මේ විපත සිදුවුණේ ඔවුන්ගේ කෙරුවාවේ හොඳකම නිසාය.


කන්න ​ෙබාන්න නැති වුණත් මේ රටේ වැඩිදෙනා ක්‍රිකට් පිස්සුවෙන් පෙළෙති. රජය ද ක්‍රිකට්වලට වැඩි මුදලක් වැය කරයි. ක්‍රිකට් කන්නද? මේ බංගලාදේශයේ දරිද්‍රතාවයෙන් බිඳක් පමණකි.


බංගලාදේශය සූරාකන දේශපාළුවෝ


බංගලාදේශයේ ද මැති ඇමතිවරුන්ට, රජයේ ඉහළ නිලධාරීන්ට, පොලිස් ලොක්කන්ට, හමුදා ප්‍රධානීන්ට, අධිකරණයේ විනිසුරුවන්ට, දේශපාළුවන්ගේ පවුල්වලට සැපය. සනීපය. පොදු ජනතාවට දුකය. ශෝකය. මිහිපිට අපාය මෙන්ම සුරපුරද ඇත්තේ මෙවැනි රටවලය. බෝර්ගන් ප්‍රොජෙක්ට් රිපෝර්ට් (BORGEN PROJECT REPORT) විකිපීඩියා, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ​ෙෆා්ර්බ්ස් ලිස්ට් (FORBES LIST) ඇමිනස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් (HRW) ආදී ආයතනවල වර්තාවන් දැක්වූ කරුණු රාශියක් මෙම ලිපියට ඇතුළත් කළෙමි.


ගංගා 700ක් ගලා යන රටක කෘෂිකර්මාන්තය නගා සිටුවීමට පාලකයින් නිසි පියවර ගෙන නැත. රටට වැඩක් නැතිව මේ ගංගාවල ජලය ඉන්දියන් සාගරයට ගලා යයි. විවිධ කෘෂිකාර්මික ව්‍යාපෘති අරඹනු ලැබුවත් දේශපාලකයින්ගේ යටි මඩි ගැසීම්, හොර මැරකම්, කොමිස් ගැහීම ආදිය නිසා ඒවා අසාර්ථකවී ඇත.


ඇඟළුම් කම්හල්වල දහඩිය වගුරුවන අසරණ කාන්තාවන් 1000කට වැඩි පිරිසක් හැම වසරකම එම කම්හල් තුළදීම හදිසි අනතුරුවලින් මියයති. මේ කම්හල්වලට නිසි පහසුකම් ලබාදීමට බලධාරීන් පියවර ගෙන නැත. ළමා ශ්‍රමිකයින් රට පුරාම ගොවිපොළවල්වල, මී හරක්, එළු, කුකුළු සත්ව ගොවිපොළවල, දහඩිය වගුරුවමින් වැඩ කරන අයුරු ශෝචනීය දසුනකි. බංගලාදේශ තානාපති කාර්යාල ලොවට පෙන්වන්නේ තම රට සුරපුරක් බවයි.


ගැහැණු දෙදෙනාගේ සටන


බංගලාදේශයේ තරම් දූෂිත දේශපලකයින් වෙනත් කිසිදු රටක නැතැයි මට සිතේ. එහි දේශපාලන පක්ෂ ද දූෂණයෙන් පිරිලාය.


රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක බංගලාදේශ අවාමි ලීග් (BAL) සහ බංගලාදේශ් ජාතික පක්ෂයයි. (BNP) ව්‍යාපාරිකයින්ගෙන් මුදල් එක්රැස් කර ගනිමින් කිසිදු විනිවිධ භාවයකින් තොරව මේ දේශපාලන පක්ෂ දෙකම කටයුතු කරයි. එම පක්ෂ අරමුදල්වලට මුදල් ආධාර සැපයූ කෝටිපති ව්‍යාපාරිකයන්ට රටේ සාරය උරා බීමට, ජනතා ශ්‍රමය සූරාකෑමට, අයබදු වංචා කිරීමට, නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්නේ මේ දේශපාලන පක්ෂ මගිනි. රට වළපල්ලට යාමේ මූලික හේතුවකි මේ.


මෙවැනි රටවල සියල්ල අහිමි වූ අසරණයන් සමග කතාකරන්නට ලැබීම තුළින් මා සිතන්නේ අවීචි මහා නරකාදිය ඇත්තේ අප ජීවත් වන මේ මිහිතලය මතම බවයි. දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ කාන්තාවන් දෙදෙනකු තම දේශපාලන පක්ෂ මෙහෙයවමින් රටේ පාලන බලය ලබා ගැනීමට සිදු කරන ද්වන්ධ සටන ගැන ද යමක් කිව යුතුය. මේ බලසම්පන්න ගැහැණුන් දෙදෙනා ෂික් හසිනා සහ කලිඩා ෂියා ය.


බංගලාදේශයේ 10 වැනි අගමැතිවරිය ෂික් හසිනා ය. 11 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් එහි ජනපති සහ විධායක බතලත ඉවත් කිරීම හේතුකොට ගෙන පූර්ණ බලතල ඇත්තේ අගමැති තනතුරටය. ඇය අගමැති තනතුරට පත්වුණේ තුන්වැනි වරටය. ඇයගේ පාලන කාල සීමාව තුළ බංගලාදේශයේ එතරම් ප්‍රගතියක් සිදු​ෙනාවීය. ඇයට විවිධ දූෂණ චෝදනා එල්ලවී තිබේ. ලොව බලසම්පන්න කාන්තාවන්ගෙන් 30 වැනි ස්ථානය මේ ෂික් හසිනාට හිමිවන බව ​ෙෆා්ර්බ්ස් සඟරාව (FORBES​) කියයි. අවුරුදු 72ක් වයසැති ඇය බංගලාදේශයේ ප්‍රථම ජනපති ෂික් මුජිබර් රහමාන්ගේ දියණියයි.


නිදිකිරා වැටෙන උදාසීන ජාතිය


73 හැවිරිදි සුරූපී කාලිඩා ෂියා කීප වරක් බංගලාදේශයේ මුල් පුටුවේ වැජඹුණාය. ඇය බලංගාලදේශයේ හිටපු ජනපතිවරයකු වූ ෂියාවුර් රහමාන්ගේ බිරිඳයි. දැන් ඇය විපක්ෂ නායිකාවයි. මේ බලගතු කාන්තාවන් දෙදෙනා තම දේශපාලන පක්ෂ මෙහෙයවමින් බල අරගලයක නිරතවී සිටිය දී බංගලාදේශය කඳුළු වගුරුවයි.


දූෂණ චෝදනා යටතේ වරක් සිරභාරයේ ද සිටි කලිඩා ෂියා යළිත් බලය ලබා ගැනීමට දැනටම පෙරමුණ ගෙන සිටින්නීය. මේ කාන්තාවන් දෙදෙනාගේ දේශපාලන සටනට මැදිවූ මෙහි බහුතර ජනතාවට සිදුවී ඇත්තේ වැව් සහ ගංගාවල මාළු ඇල්ලීමටය. බංගලාදේශයේ හිටපු අගමැතිවරිය වූ කලිඩා ෂියා මීට මාසයකට පෙර වසර 5කට දූෂණ චෝදනා යටතේ යළි සිරභාරයට පත්වූවාය.


මේ බංගලාදේශයේ ඇතුල් පැත්තෙන් බිඳක් පමණකි. දේශපාලන පක්ෂ 32ක් හැමදාම රටේ උද්ඝෝෂණ ව්‍යාපාර සිදු කරන මේ රට ද ලංකාව වගේමය. මීට තවත් දේශපාලන පක්ෂ 6ක් ළඟදීම එකතුවීමට නියමිතය. මෙහිද දේශපාලන පක්ෂවලින් අඩුවක් නැත.


මේ දේශපාලන පක්ෂවල කරනම්කරුවන් ඕනෑ තරම්ය. මෙහි මන්ත්‍රීවරුන්ගෙන් සියයට 97ක් සිදු කරන්නේ නීති විරෝධී වැඩය. ඔවුන්ගෙන් සියයට 77ක් ඡන්ද මගඩිවලට උපන් හපන්නුය. මන්ත්‍රීවරුන්ගෙන් සියයට 75ක් ජනතා සුබසිද්ධිය තකා වෙන් කරන මුදල් යටිමඩි ගසා ගන්නා දූෂිතයින්ය. මන්ත්‍රීවරුන්ගෙන් සියයට 56ක් බිස්නස්කාරයන්ය. සියයට 45ක් අපරාධවලට, සොරකම්වලට කුඩු බිස්නස්වලට සෘජුවම සම්බන්ධ වූවන්ය. උදාසීන ජාතිය නිදි කිරා වැටෙන්නේ මේ නිසාය.

 

 

 

 

සිරී හීන්පැල්ල
නිව්යෝර්ක් නුවර සිට ලියයි