කාන්තාවන් අසරණ කරන ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල


 සත්‍යග්‍රහයේ නිරත කාන්තාවන්   

 

 

  • ණය ගෙවා ගන්න බැරිව කාන්තාවන් 200ක් දිවි නසාගෙන  

 

ඉකුත් මාර්තු 08 වැනිදා රටපුරා ලොවපුරා කාන්තා දිනය සමරද්දී මෙරටේ තවත් කාන්තාවන් පිරිසක් පොළොන්නරුව හිඟුරක්ගොඩ ගම්උදා භූමියට එක්රොක් වූහ.   


ඒ කාන්තා දිනය සැමරීමට නම් නොව මෙරටේ කාන්තාවන් ලක්ෂ 24කට වැඩි පිරිසක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ගලවා ගැනීම උදෙසාය.   


මුලතිව්, වව්නියාව, අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු විවිධ ප්‍රදේශවලින් පැමිණි කාන්තාවන් දස දෙනකු ඉකුත් 08 වැනිදා හිඟුරක්ගොඩ ගම්උදා භූමියේ සත්‍යග්‍රහයක් ආරම්භ කර අදට දින 14කි.   
මෙරටේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ණය ලබාගෙන දැඩි අසීරුතාවට පත්ව ණය මර උගුලක පැටලී සිටින කාන්තාවන් 24 ලක්ෂයක් වෙනුවෙන් ආරම්භ කළ සටනට විවිධ සංවිධාන මේ වනවිට සහයෝගයද ඵල කරමින් සිටිති.   


ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකමුතුව විසින් ආරම්භ කළ එම සත්‍යග්‍රහයට උතුරු මැද පළාත් ගොවි සංසදයේ සහාය මේ වනවිට ලැබී තිබේ.  
සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කිරීම, කොල්ලකාරී ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ විගණනයක් කරනතුරු සියලුම ණය අයකර ගැනීම වහා නතර කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ට එරෙහිව ගන්නා සියලු නීති ක්‍රියාමාර්ග නතර කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ව අසාදු (ක්‍රිබ්) ලේඛනයෙන් වහා ඉවත් කිරීම, ගැතිබවින් තොර සමාජ විමුක්තිය කේන්ද්‍ර කරගත් කාන්තාවන් සතු මූල්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීම යන ඉල්ලීම් පහ මුල්කර ගනිමින් ආරම්භ කර ඇති එම සත්‍යග්‍රහයට රජය වහා විසඳුම් ලබා නොදුනහොත් මාරාන්තික උපවාසයක් දක්වා ගමන් කරන බවද එම සත්‍යග්‍රහයට එක්ව සිටින කාන්තාවන් හැඬූ කඳුළින් තම දුක්ඛිත ජීවිත පිළිබඳව වචනයට පෙරළුහ.  


මෙම සත්‍යග්‍රහයේ නිරත අසරණ මව්වරුන්ට කාන්තාවන්ට ශක්තිය ලබාදී සටන ජය ගැනීමට ආශිර්වාද කිරීම සඳහා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන ගරුතර මහා සංඝරත්නය ද වැඩම කළහ.   
ඒ අනුව වැලිකන්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී, වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාමාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩමවා කාන්තාවන්ට පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද එක් කළහ.  


‘2019 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ ණය සහන හා මානව හිමිකම් වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් ලක්ෂ 24කට වැඩි පිරිසක් අධික පොලී අය කරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ඇති බව තහවුරු වෙලා තිබෙනවා. මේ ණය ගෙවාගන්න බැරිව ලංකාවේ කාන්තාවන් 200ක් සියදිවි හානි කරගෙන තිබෙනවා. පවුල් ආරවුල් වෙලා දරුවන් අසරණ වෙලා තිබෙනවා. දිඹුලාගල, වැලිකන්ද ඇතුළු මහවැලි බී කලාපයේ පමණක් 2020 වසරේදී කාන්තාවන් 14 දෙනකු සිය දිවි හානිකර ගත්තා. ණය ගෙවා ගන්න බැරි වුණාම ඒ කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ඇතැම් මහත්වරු ලිංගික අල්ලස් ලබාගෙන තිබෙනවා.   
මේක මහා සමාජ බරපතළ ඛේදවාචකයක්. රජය වහාම මේ කාන්තාවන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දිය යුතුයි. මේ සත්‍යග්‍රහයේ ඉන්නේ අපේ රටේ අසරණ උපාසක අම්මලා. රජය ලබාදුන් පොරොන්දු ඉටු නොකළහොත් දිඹුලාගල මහා සංඝරත්නය හැටියට අපේ සහයෝගය ලබාදීලා මේක මාරාන්තික උපවාසයක් දක්වා රැගෙන යනවා’ දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ එලෙස පැවසූහ.  
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය උගුලේ පැටලී සිටින කාන්තාවන් ලක්ෂ 24කට වැඩි පිරිසක් වෙනුවෙන් සත්‍යග්‍රහයට මුලතිව්වල සිට පැමිණ හඬනගන එච්.ආර්. රේණුකා කරුණාරත්න මාතාව හැඬූ කඳුළින් සිය ජීවිත කතාව අවධි කළාය.  


‘අද අපි​ මේ සත්‍යග්‍රහයට ඇවිත් ඉන්නේ සතුටු වෙන්න නොවේ. දරුවෝ ගෙදර දාලා දිවා රාත්‍රී මෙතැන ඉන්නේ රජය දුන්නු පොරොන්දු ඉටු කරලා අපිව ණය උගුලෙන් බේරා ගනියි කියලා.   
අපි ඉහළ හැම නිලධාරියකුටම අපේ මේ ගැටලු කීවා. විසඳුමක් නැහැ. මූල්‍ය සමාගම්වල මහත්වරු ගෙවල්වලට ඇවිල්ලා එක එක යෝජනා කරනවා. අපි අම්මලා. අපි ණය ගත්තා තමයි. නමුත් ලොකු පොලියක් අරං අපිට මේ තරම් පීඩාවට පත් කරයි කියලා හිතුවේ නැහැ. මේ ගැටලුවලදී කාන්තාවන් 200ක් විතර සිය දිවි හානිකර ගත්තා. ඒ පවුල්වල දරුවෝ අද අසරණයි. මම කියන්නේ මේ අපේ ඉල්ලීම්වලට රජයෙන් විසඳුමක් දෙන්න. ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා ලංකාවේ කාන්තාවන්ට සිය දිවි හානිකර ගන්න ඉඩ තියන්න එපා. අම්මලා මැරිලා දරුවොත් මරණයට පත් කරලා තියෙන අවස්ථා මේ කතාව පිටුපස තියෙනවා. මේ ණය ක්‍රම නිසා දුෂ්කර ගම්වල මහා ඛේදජනක සිද්ධි වෙමින් පවතිනවා. මාධ්‍යයට කියන්න බැරි විදියට කාන්තාවන් ඒ මූල්‍ය සමාගම්වලින් පීඩාවට ලක් කරලා තියෙනවා. අපි මේවාට අහුවුණා තමයි. හැබැයි අපේ රටේ අනිත් අම්මලාට කාන්තාවන්ට මේ දේවල් සිද්ධ වෙන්න ඉඩ තියන්න බැහැ. අපි කාන්තාවන් වෙනුවෙන් වසර තුනක් හතරක් තිස්සේ පීඩා විඳිනවා. අපි ඉංග්‍රීසි දන්නේ නැහැ. අපි මේවාට අහුවුණා තමයි. හැබැයි අපි හොරු නෙවෙයි. හැබැයි මේ ණය දීලා තියෙන විදිහ අය කරන විදිහ අසාධාරණයි. ඉතිං ජනාධිපතිතුමාගෙන් මේ රටේ ණය උගුලේ පැටලුනා. ලක්ෂ 24ක් කාන්තාවන් වෙනුවෙන් ඉල්ලන්නේ අපේ ඉල්ලීම්වලට විසඳුමක් දෙන්න කියලා.   
පොළොන්නරුව හිඟුරක්ගොඩ, රන්කොත්ගම පදිංචි ප්‍රියන්තිකා කුමාරි මහත්මියද ක්ෂුද්‍ර මුල්‍ය සමාගම්වලට ණය වී සිටින කාන්තාවන් වෙනුවෙන් මෙලෙස හඬ අවදි කළාය.  
ලංකාවේ කාන්තාවන් 24 ලක්ෂ 38 දාහක් මේ ණය උගුලට හිරවෙලා ඉන්නවා. ඒකෙන් පොළොන්නරුවේ කාන්තාවන් එක්ලක්ෂ විසිහතර දාහක් පමණ සිටිනවා. මේක රටට ව්‍යසනයක්. කාන්තාවන් දරුවන් මියයනවා. පවුල් ආරවුල් ඇති වෙනවා. අවාසනාවන්ත ලෙස කාන්තාවන් ලිංගික හිරිහැරවලට මුහුණ දීලා තිබෙනවා.   


අද මේ සත්‍යග්‍රහයට ලංකාවේ විවිධ පැතිවලින් ඇවිල්ලා ඉන්නවා. අපි කොරෝනා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කරන නිසා වැඩි පිරිසක් මෙතැනට ගෙන්වා ගන්න බැහැ. නමුත් ගොවි, ධීවර, වතු කම්කරු කාන්තාවන් මෙතැනට ඇවිත් නියෝජනය කරනවා.   
උතුරු මැද පළාතේ ගොවි සංසදයේ සභාපති කවුඩුල්ලේ එම්.කේ. ජයතිස්ස මහතාද මෙම කාන්තා සත්‍යග්‍රහයට එක්ව අප සමග මෙලෙස කරුණු පැහැදිලි කළේය.  


මම මින්නේරිය ගොවිජන ව්‍යාපාරයේ ගොවි නායකයෙක් හැටියට 2000 අගෝස්තු 13 වෙනිදා මෙම ස්ථානයේම උපවාසයක් කරලා වීවලට මිලක් වැඩිකර ගත්තා. මම සමාජ ක්‍රියාකාරිකයෙක් හැටියට මේ කාන්තාවන්ගේ සත්‍යග්‍රහයට සහයෝගය දෙන්නේ මේ ඉල්ලීම සාධාරණ නිසයි. ලංකාවේ විවිධ දුෂ්කර පළාත්වල නායිකාවෝ ලක්ෂ 24ක ප්‍රමාණයක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ණය අරං තියෙනවා. ඉන් 200ක් සියදිවි හානි කරගෙන තියෙනවා. මිනිසුන් ඥාන ශක්තිය නැති නිසා වස බෙනවා. ළිඳේ පනිනවා. කෝච්චියට පනිනවා දරුවෝ එක්කම. මෑත ඉතිහාසයේ කාන්තාවන් සමූහ වශයෙන් සියදිවි හානිකර ගන්නවා. මේක මහා ඛේදවාචකයක්. මේකට රජය මැදිහත් විය යුතුයි.   


පැවැති සෑම රජයක්ම පීඩිත ජනතාවට විවිධ පොරොන්දු දීලා, කඩ කරපු අවස්ථා තියෙනවා. එහෙම වුණාම තමා ජනතාව සංවිධානගත වෙලා මේ වගේ වුණාහම තමා ජනතාව සංවිධානගත වෙලා මේ වගේ සටන් ක්‍රම ආරම්භ වෙන්නේ. අපිට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ ආශිර්වාද ලැබෙනවා. අපි මේ කාන්තා ගැටලු ගැන යහපාලන ආණ්ඩුවටත් ගෝඨාභය මහතාගේ ආණ්ඩුවටත් ලිපි ලිව්වා. නමුත් තවම විසඳුමක් නැහැ. මේ මුල්‍ය ආයතනවල අතකොළු, හෙන්චයියන් වෙලා ඉන්නවා බලයට පත්වෙන ආණ්ඩු. අපි මහ බැංකුවෙන් තොරතුරු ගත්තා. ලංකාවේ 28 ලක්ෂයක් ඉන්නවා මේ ණය උගුලේ හිරවෙලා. ඒකෙන් 24 ලක්ෂ 38 දාහක්ම කාන්තාවෝ.   


ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් වැඩි පොලියට ණය ලබාගෙන ගෙවීමට නොහැකි කාන්තාවන් නගන චෝදනා සම්බන්ධව අප එක සමාගම්වල නියෝජිතයන් කිහිප දෙනකුගේම කළ විමසීම්වදී ඔවුන් පැවසුවේ එම කාන්තාවන් බොහෝ විට ණය ලබාගෙන ඇත්තේ ආදායම් උත්පාදන වැඩවලට නොව මුළුතැන් ගෙයි අලංකාරයට තබන භාණ්ඩ ලබා ගැනීමට බවයි. 

 

සටහන හා ඡායාරූප
මනම්පිටියේ නිමල් ජයරත්න