කාදිනල්තුමා ඉල්ලන සැබෑ යුක්තිය


පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කිසිදු කොමිෂන් සභාවක් පිළිබඳ විශ්වාසය පළ කළ නොහැකි බවත් ඒ සඳහා කිසිදු බලපෑමකට යටත් නැති කිසිදු දේශපාලකයෙකුගේ අතකොලුවක් නොවන ස්වාධීන පුද්ගලයන්ගෙන් සැදුම්ලත් කොමිෂන් සභාවක් පත් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඉකුත්දා පැවසූහ.   


මෙම ප්‍රහාරයෙන් හානි වූවන්ට තවම යුක්තිය ඉටු වී නොමැති බවත්, පැවසූ අගරදගුරුතුමෝ පක්ෂ, පාට වශයෙන් බෙදී සත්‍යය යටපත් කරන්නට උත්සාහ කරනවා විනා මෙතෙක් පත් කළ කොමිෂන් සභා හෝ කමිටුවල කිසිදු වාර්තාවක් ජනතාව අතට පත් වී නොමැති බවත් සඳහන් කළේය.   


පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත්කළ අතර කතානායකවරයාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කෙරිණි. අගරදගුරුතුමා පවසන පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වී මාස ගණනක් ගතවුවත් තවමත් ඒ පිළිබඳ වගකිවයුත්තන් ඉදිරිපත් වී නොමැත.   
එම කමිටුවල කිසිදු පරීක්ෂණ වාර්තාවන් තවම ඉදිරිපත් වී නොමැති බැවින් මේ පිළිබඳ සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්නැයි කාදිනල් හිමි ඇතුළු කතෝලික සභාව දිගින් දිගටම රජයෙන් ඉල්ලීමක් කරයි.   


පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම එකිනෙකා පිට පටවමින් ඇතැම්හු දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයක නිරත වී සිටිති. එම වාසිය යොදාගනිමින් ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ඔවුන් සිය සැලැසුම් සකස් කර ඇති බවට පෙනී යයි.   


පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වී මාස හතරක් ඉක්මවා තිබේ. ක්‍රිස්තියානි දේවස්ථාන 03ක් සහ සුපිරි හෝටල් තුනක් ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 250 කට අධික පිරිසක් මියගොස් 500කට අධික පිරිසක් තුවාල ලැබූහ.   


තිස් වසරක යුද්ධයෙන් බැට කෑ අපි යළිත් මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දීම කබලෙන් ළිපට වැටීමකි. යළි මෙවැනි ව්‍යසනයකට මුහුණ නොදීම සඳහා සත්‍ය දැනගැනීම අනිවාර්ය කරුණකි. එමෙන්ම විපතට පත් එම ජනතාවට යුක්තිය ඉටු කිරීමට පෙළ ගැසිය යුතුය. 

 
ඒ වෙනුවෙන් එම ජනතාවගේ හඬට අප කන් යොමු කළ යුතුව ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු එම ජනතාව පාලනය කරමින් ජාතීන් අතර සාමය සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා සිදුකළ සේවය සුළුපටු නොවේ.   


උන්වහන්සේගේ මෙම ක්‍රියාකලාපය සියලුම ජාතීන්ගේ ඇගයීමට පාත්‍ර විය. එමනිසා විශේෂයෙන්ම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ හඬට කන් දීම පාලකයන්ගේ වගකීමකි.   


පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ඉන් පසු තත්ත්වය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා විටින් විට අදහස් පළ කළේය. ඒ සෑම අවස්ථාවකදීම ස්වාධීන පුද්ගලයන්ගෙන් සැදුම්ලත් කොමිෂන් සභාවක අවශ්‍යතාව අගරදගුරුතුමා පෙන්වා දුන්නේය.   


මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසකි.   


 “මුළු රටම කම්පනයට පත්කළ, රටේ ආර්ථිකය ආගාධයට ඇද දැමූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අම්මා නැති දරුවන්, තාත්තා නැති දරුවන්, දරුවන් අහිමි මාපියන්, මුළු පවුලම අහිමි වූ ඥාතීන්ගේ තොරක් නැති දුක්ඛිත කඳුළු කතාවලට සවන් දෙමින්, හැකි අයුරින් ඔවුන්ව සනසන්නට වෙහෙසෙමින් මා සිටිනවා. ඔවුන් බොහෝ දෙනෙක් කඳුළු සලමින් මට කියා සිටින්නේ “අනේ අපට වන්දි එපා, සල්ලි එපා, යුක්තිය ඉෂ්ඨ කරන්න. මේ සිදුවෙච්ච දේ ගැන සම්පූර්ණ සත්‍යය අපට හෙළි කරන්න” කියායි.   

 

ස්වාධීන කොමිෂන් සභා යැයි හැඳින්වූ කොමිෂන් සභාවල කිසිදු ස්වාධීන බවක් හෝ අපක්ෂපාතී බවක් හෝ විනිවිද පෙනෙන බවක් හෝ තිබුණේ නැහැ. මේ විනිවිද පේන්නේ නැති භාවය හැමදාම තිබුණා. අපේ ලංකාවේ විවිධ අවස්ථාවල දී පවත්වන ලද කොමිෂන් සභා වාර්තා හුඟක් තියෙන්නේ කාපට් එක යටයි. ඒවා මිනිස්සු දන්නෙත් නැහැ. ඒවා අපක්‍ෂපාතීයි  කියලා කියන්නත් බැහැ.  


මේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින අය, එය කුමන්ත්‍රණ කළ අය, සංවිධානය කළ අය, ඊට අනුග්‍රහය දැක් වූ අය, කල්තියා ලැබුණු බුද්ධි තොරතුරු හිතාමතා නොසලකා හැරි අය, සැකකරුවන් ලෙස අත්අඩංගුවට පත් වූවන් පුළුල් වග විභාගයකින් තොරව නිදහස් කරනු ලැබූ අය, කිසිදු දඬුවමක් නොලබා තවම නිදැල්ලේ සැරිසරන බව පැහැදිලියි.   
මේ මහා ඛේදනීය ප්‍රහාරය සිදුවීමට පෙරත්, එම ප්‍රහාරය සිදු වූ පසුත් මේ පිළිබඳව තවම යුක්තිය ඉටු වී නැති බවත්, සත්‍යය වසං කරන්නට බොහෝ ප්‍රයෝග යොදමින් සිටින බවත් අපට පෙනෙන්නට තිබෙනවා.   


ආණ්ඩු පක්ෂය අතින් පමණක් නොව, විරුද්ධ පක්ෂය අතින් ද අනෙකුත් පක්ෂවලින් ද මේ සම්බන්ධයෙන් සිය වගකීම ඉටු නොවුනු බව අපි අවධාරණය කළ යුතුයි. මෙවැනි අවස්ථාවක අපි විරුද්ධ පක්ෂයෙන් සහ අාණ්ඩු පක්ෂයෙන් බලාපොරොත්තු වෙන්නේ තම තමන්ට ලකුණු දමා ගැනීම සඳහා මෙම සිද්ධිය භාවිත කිරීම නොව, සියලු පක්ෂවල නායකයන් එක සහෝදර පිරිසක් ලෙස ජනාධිපති තුමා ද අගමැතිතුමා ද විරුද්ධ පක්ෂ නායකතුමා ද එකට එකතු වී මෙම සිද්ධියට අදාළ පසුතලය විමර්ශනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට එක්සත්ව ක්‍රියා කිරීමයි.   


එහෙත් විරුද්ධ පක්ෂයෙන් එවැනි ශක්තිමත් බලපෑමක් සිදු නොවූ බව ද අපට පැහැදිලියි. පක්ෂ, පාට වශයෙන් බෙදී සත්‍යය යටපත් කරන්නට උත්සාහ කරනවා විනා මෙතෙක් පත් කළ කොමිෂන් සභා හෝ කමිටු ඉදිරිපත් කළා යැයි කියන කිසිදු වාර්තාවක් ජනතාව අතට පත් වී නැහැ.   


අපේ රට දැන් දන්න කාලෙක ඉඳලා මේ වගේ අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වෙනවා. ඒ සිදුවෙච්ච සිදුවීම් එකක්වත් අපි හරිහැටි කවුද කින්ද මන්ද මොනවද කියලා කිසිදෙයක් තේරුම් ගෙන නැති සිද්ධීන් බවට ඉතිහාසයට එකතු වෙලා තියෙනවා.   


මේ සිද්ධිය සම්බන්ධව එක එක නායකයින් එහාටයි මෙහාටයි කඹ ඇදිලි කරන්නේ නැතිව සියලුම නායකයින් එකට එකතු වෙලා මේ ත්‍රස්තවාදී උවදුර මේ නපුරු දේවල් සිද්ධ නොවෙන්නට රට තුළ ඒ අවශ්‍ය ජාතික සමගිය හා සංහිඳියාව ඇති කරන්නට කටයුතු කරන්න කියලා අපි මේ අවස්ථාවේ දී අපේ රටේ නායකයින්ගෙන් ඉතාම බලගතු ලෙස ඉල්ලනවා.   


විශේෂයෙන්ම මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයාබැලීම සඳහා කිසිදු බලපෑමකට යටත් නැති කිසිදු දේශපාලකයෙකුගේ අතකොලුවක් නොවන ස්වාධීන පුද්ගලයන්ගෙන් සැදුම්ලත් කොමිෂන් සභාවක් පත් කරලා ඒ කොමිෂන් සභාවට සාක්කි කැඳවලා ඒ කොමිෂන් සභාවේ කරුණු අනුව වාර්තාවක් ඉදිරිපත් කරාවි කියලා අපි ඉල්ලීමක් කරනවා.   


මේ තාක් කල් පත් කරන එකම කොමිෂන් සභාවක් පිළිබඳවත් අපගේ විශ්වාසයක් නොමැති බව ප්‍රකාශ කර සිටිනවා. මොකද වාර්තාවල් පළ කළා කියලා භාර දුන්නා කියලා සඳහන් වුණත් ඒ එක වාර්තාවක්වත් අපි දැකලා නැහැ. මේ වෙලාවේදී අවංක වෙන්නට ඕනෑ කියලා තමයි මම වැඩියෙන්ම කියන්නේ.   


තම තමන්ගේ ඡන්ද දායකයින් ආරක්ෂා කර ගැනීමට හෝ තම තමන්ගේ ජාතිය හෝ ආගම ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ නැතුව මුළු රට පිළිබඳවම හැඟීමක් ඇතිව කටයුතු කරන්නැයි කියලා හැම දේශපාලනඥයෙකුගෙන්ම මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා.   


ස්වාධීන කොමිෂන් සභා යැයි හැඳින් වූ කොමිෂන් සභාවල කිසිදු ස්වාධීන බවක් හෝ අපක්ෂපාතී බවක් හෝ විනිවිද පෙනෙන බවක් හෝ තිබුණේ නැහැ. මේ විනිවිද පේන්නේ නැති භාවය හැමදාම තිබුණා. අපේ ලංකාවේ විවිධ අවස්ථාවල දී පවත්වන ලද කොමිෂන් සභා වාර්තා හුඟක් තියෙන්නේ කාපට් එක යටයි. ඒවා මිනිස්සු දන්නෙත් නැහැ. ඒවා අපක්‍ෂපාති කියලා කියන්නත් බැහැ.   


එබැවින් එවැනි ආකාරයට නොව නිවැරදි හා කාටත් පිළිගත හැකි ආකාරයට අපක්ෂපාතී පුද්ගලයන්ගෙන් යුත්, විනිවිදභාවයෙන් යුත් කොමිෂන් සභාවක් පත්කර මෙම ප්‍රහාර පිළිබඳ සම්පූර්ණ සත්‍යය ජනතාවට හෙළි කරන ලෙස මම ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.   


ඡන්දයක් පැවැත්වීමක් ගැන කතා කරන්නට පෙර මෙම මහා විනාශය පිළිබඳව සැබෑ විමර්ශනයක් සඳහා සියලු බලතල සහිතව අදාළ ස්වාධීන කොමිෂන් සභාව පත් කිරීම අත්‍යාවශ්‍ය මෙන් ම කඩිනමින් සිදුවිය යුතු කාරණයක් වනවා. අපිට මේ වෙලාවේ ඕනෑ මැතිවරණ නෙමෙයි, අපිට ඕනෑ සත්‍යයි. මැතිවරණත් අවශ්‍යයි. නමුත් මේ කාරණයට ප්‍රමුඛත්වයක් හිමි විය යුතුයි.   


අප රටේ අණ්ඩු පක්ෂයෙන්, විපක්ෂයෙන් හා අනෙකුත් පක්ෂවලින් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අප ආදරණීය ජනතාව ද අප රටේ ජාතීන් අතර පැවති ශුද්ධ වූ සමගිය ද සංචාරක ව්‍යාපාරය හා පොදුවේ රටේ සමස්ත ආර්ථිකය ද බිඳ දමමින් දරුණු පීඩාවකට අප දේශය ඇද දැමූ මෙම සිද්ධිය, අප රට කලින් පාලනය කළ රජයන් ද කළාක් මෙන් රතුපලස යට සඟවා දමන්නට කටයුතු නොකරන ලෙසයි.   


පීඩිත සියලු දෙනාට යුක්තිය, සාධාරණය ඉෂ්ඨ කරමින් අප රටේ ජනතාව මාස තුනක් තිස්සේ සිදුවේ යැයි බලාපොරොත්තුවෙන් සිටින මෙම බෝම්බ ප්‍රහාර සිද්ධිය පිටුපස ඇති ජනතාවට හෙළි නොකරන සත්‍යය කුමක් ද කියාත් මෙම සත්‍යය හෙළි කිරීමට එරෙහිව බලපෑම් කරන අදිසි බලවේග කවරේද කියාත් ජනතාවට හෙළි කරන්නැයි අපි ඉල්ලා සිටිනවා.   


රතු පස්වල සිද්ධිය, රොෂේන් චානක ඝාතනය සම්බන්ධ සිද්ධිවල වාර්තාත් අපි තවම දැක්කේ නැහැ. ඒ දේම මේ වාර්තාවලටත් වෙයි ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා.   
පළමුව කළ යුතු දේ සිදු කළ යුතුයි. ඒ අනුව පළමුව ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරලා ඒ අයට සුදුසු බලතල දීලා පහසුකම් සපයලා ඒ වාර්තාව පිළියෙල කළ යුතුයි. අපේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි. ජනතාව තාවකාලික ලාභ ප්‍රයෝජන ගැන නොසිතා යුක්තිය වෙනුවෙන් රටේ සැබෑ උන්නතිය වෙනුවෙන් ද තීරණ ගනු ඇතැයි මම විශ්වාස කරනවා.   


විශේෂයෙන්ම විපතට පත් අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නැයි කියලා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ පිළිබඳ පරීක්ෂණයක් නිසියාකාරව පවත්වලා මේකට හේතුවෙච්ච කාරණා සියල්ලම හෙළිදරව් කරලා මේ වගේ දේවල් අනාගතයේ දී සිදු නොවන්නට මේ රට තුළ හොඳ ආරක්ෂක පද්ධතියක් සහ ස්වාධීන වූ බුද්ධි අංශයක් සකස් කරන්නට කටයුතු කරාවි කියලා මම විශ්වාස කරනවා.   


සමහර වෙලාවට මේ බුද්ධි අංශ දුර්වල කරන්නට හේතු වුණේ විදේශීය රටවල බලපෑම්වලට ඔළුව පාත් කරලා අපේ නායකයෝ ඒ බුද්ධි අංශ අඩපණ කරන්නට කටයුතු කළ නිසයි. බුද්ධි අංශවල යම් යම් නිලධාරින් වැරදි දේවල් කළොත් ඒ වැරදි දේවල්වලට දඬුවම් කිරීම එක කාරණාවක්. නමුත් ඒ බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම අඩපණ කරලා ඒවා නැති කරලා දාන්න කටයුතු කිරීම වැරදියි.   


මේ ප්‍රහාරය මුල දී ජනාධිපතිවරයා මට රැස්වීම්වලට එන්න කිව්වා. මම ගියා. එතන දී ඒ දේවල් කතා කර ගත්තට ඒවට මොනවද වුණේ කියලා අපි දන්නේ නැහැ. ජනතාව අපෙන් ඉල්ලන්නේ මේ සිද්ධිය පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. දැන් උදාහරණයක් විදියට ජනාධිපතිවරයා පත් කළ කොමිෂන් සභා වාර්තාව අපි ළඟ නැහැ. අපි දන්නේ නැහැ ඒවායේ මොනවද තියෙන්නේ කියලා. මේ කටයුතු පක්ෂග්‍රාහීව කරන්නේ නැතුව ස්වාධීනව කළ යුතුයි.   


මම ජනාධිපතිතුමාටත් මේ ගැන ලිව්වා. එච්චර සුබවාදී ප්‍රතිචාරයක් මට ලැබුණේ නැහැ. ජනාධිපතිතුමා පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ලැබුණයි කියලා කිව්වට ඒවා ජනතාව අතරට ඇරියේ නැහැ. දැන් මට උත්තරයක් එවලා තියෙනවා නීතිපතිතුමා තීරණය කරනකම් අපිට මුකුත් කරන්න බැහැ කියලා” යැයි ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.   


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් කතෝලික ජනතාව මෙන්ම මුළු රටම බැට කෑවේය. අදටත් එම ප්‍රහාරයේ භීතිය පහව ගොස් නැත. පාලකයන් තවමත් මෙම ප්‍රහාරය තලු මරමින් නොසිට වහාම යුක්තිය ඉටු කිරීමට සහ ප්‍රහාරයේ සත්‍යය රටට හෙළි කළ යුතුව ඇත. ඒ වෙනුවෙන් කතෝලික ජනතාව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා මෙන්ම මුළු රටම එකට සිට ගත යුතුව ඇත.   

 

 

 සටහන - නිමල කොඩිතුවක්කු