කාටත් අමතක වුණු උමා ඔය උමග බලන්න යමු


විදුම් යන්ත්‍රය තවමත් උමග තුළ දිරනවා


 

රටක් සංවර්ධනය කිරීමට පාලකයෝ විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරති. එහෙත් එම ව්‍යාපෘතින් නිසා ජනතාවට හෝ පරිසරයට හානියක් සිදුවන්නේ නම් එහි ප්‍රතිඵලයක් නොමැත. දියුණු වන රටක් තුළ එයට සරිලන සංවර්ධන ව්‍යාපෘතින් නිසා ජනතාවට සෙතක් සැලසෙන්නේ නම් එයින් ඔවුන්ගේ ජීවන රටාවට බලපෑම් නොවන්නේ නම් එම සංවර්ධන ව්‍යාපෘතින්හි සාර්ථකභාවය දැකිය හැක. 

 
සංවර්ධනය වෙමින් පවතින අපේ රටේ විවිධ ව්‍යාපෘතීන් වරින්වර පත්වන ආණ්ඩු විසින් ක්‍රියාවට නංවනු ලැබේ. එහෙත් ආණ්ඩු මාරු වූ විට එම සංවර්ධන ව්‍යාපෘතින් ඇන හිටියි. කුමන ආණ්ඩුවක් හෝ බලයට පත් වුවත් රටට හොඳක් යැයි හැඟෙන ව්‍යාපෘතින් නොකඩවා පවත්වාගෙන යාම ඔවුන්ගේ යුතුකම හා වගකීමයි.   


උද‌ාහරණයක් ලෙස අධිවේගි මාර්ග ඉදිකිරීමේදී විවිධ බලපෑම් හා විරෝධතා එල්ල වුවද අද එම විරෝධතාවල නිරතවූවෝ එහි ඵල ප්‍රයෝජන භුක්ති විඳිති. මෙරට ක්‍රියාත්මක වූ මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීමේදී විරෝධතා එල්ල වුවත් අද එහි ප්‍රතිඵල ලබන ජනතාවට විශාල සහනයක් අත්ව ඇත.   


මෙවැනිම සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳව පසුගිය කාලයේ දැඩිව කතාබහට ලක්වුණි. එය ‘උමා ඔය’ බහුකාර්ය ව්‍යාපෘතියයි. බොහෝ දෙනෙකු මෙම ව්‍යාපෘතියට විරුද්ධ වූවාට ඒ පිළිබඳ අසා තිබුණාට මේ ව්‍යාපෘතිය පිළිබඳ නිසි කරුණු දැනගෙන කතා කරන්නේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාව පමණි.   


එහෙත් පිට පළාත්වල ජනතාව ද ඒ පිළිබඳව නොදැනුම්වත්ම නොවේ. මෙම ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල හා ඒ අවට ජනතාවට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබේ. මෙවැනි සංවර්ධන ව්‍යාපෘතින්වලින් ජනතාවට සෙතක් සැලසෙන නමුත් ඉන් පීඩාවට පත්වන පිරිසක්ද සිටිති. කෙනෙකු සතුටු කර තවත් කෙනෙකුට දුකක් දී කෙරෙන සංවර්ධන කටයුතුවලින් ඵලක්වේද?   


මොකක්ද මේ ‘උමා ඔය’ කියන්නේ?   


‘උමා ඔය’ මහවැලි ව්‍යාපාරයෙන් පසු මෙරට බිහි වූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතියයි. එක් ව්‍යාපෘතියකින් කාර්යයන් කිහිපයක් කෙරෙන නිසා එය බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස සැලකේ. විදුලිය නිපදවීම, පානීය ජලය, වාරි ජලය, ගංවතුර පාලනය වැනි අංග කිහිපයක් ඊට ඇතුළත්ය. අධික වර්ෂාව පවතින කාලයට ‘උමා ඔය’ ඉහළ ප්‍රදේශවලට ලැබෙන වර්ෂා ජලය නිසා ගංවතුර ඇතිවීම පාලනය කිරීමට ‘උමා ඔය’ ඉහළ ජලාශයක අවශ්‍යතාව ඇතිවිය. ඒ පිළිබඳ කතාබහට ලක්ව ඇත්තේ 1950 ගණන්වල වුවත් එම ව්‍යාපෘතිය සඳහා මුලින් සැලසුම් කෙරෙන්නේ 90 දශකයේ සිටයි.   


ගංවතුර පාලනය වගේම, මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල වාරි සහ පානීය ජල අවශ්‍යතා සපුරාලීමත් මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට සැලසුම් සකස් කෙරිණ. ජනතාවගෙන් හා විවිධ පරිසර සංවිධානවලින් එල්ල වූ බලපෑම් නිසා එහි කටයුතු තාවකාලිකව යටපත් විය. 

 
මෙසේ තාවකාලිකව නතර වූ ‘උමා ඔය’ බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳ නැවත කතාබහට ලක්වන්නේ වසර 2008 දීය. ඒ, ඉරාන රජයේ තාක්ෂණික සහ මූල්‍ය උපකාර සහිතව ‘උමා ඔය’ බහුකාර්ය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අවධානය යොමුවීමත් සමගයි. මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩ් නෙජාඩ් යන මහත්වරුන් අතර ගිවිසුමක් අත්සන් කෙරිණ.   


මේ සඳහා ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 529 කි. ඉන් 85% ක් ඉරාන රජයේ අපනයන සංවර්ධන බැංකුව ණය මුදලක් විදිහට ලබාදෙයි. ඉතිරි 15% ක මුදල ලංකා රජය විසින් දරනු ඇත. මෙම ව්‍යාපෘතිය තුළින් මෙගා වොට් 120 ක විදුලි ධාරිතාවක් උත්පාදන හැකියාවක් අපේක්ෂා කරයි. ඊට අමතරව එම ජලය හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක වෙත බෙද‌ා හරින අතර දකුණේ හා නිරිතදිග වියළි කලාපයේ ඉඩම් අක්කර 5000කට ජලය සම්පාදනය කිරීමට ද සැලසුම් කර ඇත.   

 

ගිලා බැස ඇති ස්ථානයක් පෙන්වමින්

විනාශ වූ නිවසක්

ඉරිතළා ඇති නිවෙසක්

 

 

මෙම ව්‍යාපෘතිය හරහා ‘පුහුල්පොළ’ දී හා ‘ඩයරබා’හිදී ජලාශ දෙකක් ඉදිකෙරේ. ‘උමා ඔය’ ව්‍යාපෘතිය පිළිබඳ වැඩි කතාබහට ලක්වෙන්නේ එහි ඉදිවෙන උමං හතරක් පිළිබඳවයි. ‘පුහුල්පොළ’ සිට ‘ඩයරබා’ දක්වා කිලෝමීටර් 4ක උමගක් ඉදිකෙරේ. එතැන් සිට කරඳගොල්ලේ භූගත විදුලි බලාගාරයට ජලය රැගෙන යාම සඳහා කිලෝ මීටර 15.2 ක උමගක් ඉදිකෙරෙන අතර භූගත විදුලි බලාගාරයට ජලය ඇතුළු කිරීම සඳහා කිලෝ මීටර 1.5 ක් දිග උමගක් ද ඉදිකෙරේ. විදුලි බලාගාරයේ සිට අලිකොට ආර දක්වා කිලෝ මීටර 3.3 ක උමගක් ඉදිකෙරෙන්නේ ජලය පිටකිරීම සඳහායි.   


මෙම ‘උමා ඔය’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවන්නේ වසර 2014දී සිටයි. ඒ, පල්ලේපේරුව, මකුල්ඇල්ල, එගොඩගම, වෙහෙරගලතැන්න යන ප්‍රදේශවල ගෙවල් ඉරි තැලීමත් සමගයි. ‘උමා ඔයේ’ ප්‍රධාන උමග හාරන ප්‍රදේශවල නිවාස ඉරි තලා යාම, භූගත ජල මට්ටම පහළ බැසීම, පොළොවේ ඇති වන ගිලා බැසීම් ඇතුළු පාරිසරික ගැටලු ගණනාවක් මේවන විට ඇති වී තිබේ. මෙයට අමතරව උඩපේරුව, හුරනේවත්ත, මැදඉන්න, කිනිගම, පුරන, අරාවත්ත සහ පහළ මිරහවත්ත ප්‍රදේශවල ද නිවාස ඉරිතැලීම්, ළිංවල ජලය ශීඝ්‍රලෙස සිඳීයාමට ලක්වීම මෙන්ම ප්‍රදේශයේ ඉඩම්වල ජල මට්ටම සිඳීයාමේ අවදානමක් ද මතු වී තිබේ.   


ඉතා සංවේදී පරිසර කලාපයක් වූ ‘උමා ඔය’ නිම්නය ආශ්‍රිතව ඇති වී ඇති පාරිසරික අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා අපි පසුගියද‌ා එහි සංචාරය කළෙමු. එහිදී ප්‍රදේශවාසීන් දැක්වූ අදහස් මෙතැන් සිට ඔබ වෙත ගෙන එමු.   


මුලින්ම උමා ඔය ව්‍යාපාතිය පිළිබඳ විස්තර කළ පහළ මීරගහවත්ත ප්‍රදේශයේ පදිංචි දීපාල් වන්නිආරච්චි මහතා : අපට නම් උමා ඔය ව්‍යාපෘතිය නිසා එතරම් බලපෑමක් වුණේ නැහැ. මේ ප්‍රදේශය තුළ වතුර සිඳීයාමක් වුණේ නැහැ. ඒකට හේතුව උමග මේ ප්‍රදේශයෙන් ගමන් නොකරන නිසා. උමග යන්නේ කන්ද ඇතුළෙන්. ඒ තැන්වල තමයි ඔය වතුර ප්‍රශ්නය පැන නැගුණේ. එහෙත් අපට බලපාපු ලොකුම ප්‍රශ්නය තමයි මේ ඉඩම්වලට තවම වන්දි ලබා නොදීපු එක. 2011 වසරේ තමයි අපේ සින්නක්කර ඉඩම් පවරා ගත්තේ මේ ‘උමා ඔය’ ව්‍යාපෘතියට. එක එක්කෙනා මගහරිනවා වන්දි මුදල් ලබාගන්න ගියහම. මගේ අක්කර 4 1/2 ක ඉඩමත් පවරා ගත්තා. එතන තමයි ඔය පෙනෙන ඉදිකිරීම් කරන්නේ.   
ඔය ඉඩමේ මම එළවළු වගා කරලා තමයි ජීවත් වුණේ. මම වාහන 2 ක් මිලදී ගත්තා එහි ඵලද‌ාව අලෙවි කරලා. දැන් මේ ප්‍රදේශයේ පවුල් 2යි පදිංචි වෙලා ඉන්නේ. අනිත් අය ප්‍රදේශය අතහැර ගොස් තිබෙනවා.   


අපි වන්දි ලබාගන්න ගියහම බදුල්ලෙන් කොළඹට යන්න කියනවා. එක්කෝ වැලිමඩට යන්න කියනවා. නමුත් වසර 7ක් ගතවෙලත් තවමත් අපේ ඉඩම්වලට වන්දි ලබා දුන්නේ නැහැ. දැන් අක්කර 1/2 ක ප්‍රමාණයක් වගා කරලා ලැබෙන ඵලද‌ාව අලෙවි කරලා තමයි ජීවත් වෙන්නේ.   


ඇත්තටම මේ ව්‍යාපෘතිය හොඳයි, නරකයි කියන දෙපැත්තම තිබෙනවා. දැන් ව්‍යාපෘතිය ඉදිවෙනවද කියලා දන්නේ නැහැ. අපිට ඒ ප්‍රදේශයට යන්න තහනම්. අපේ ඉඩම් පවරා ගත්තා. වගා කළ ඉඩම්. නමුත් මේ ප්‍රදේශය දියුණු වුණා. පාරවල් හැදුණා. කලින් මේ වගේ කාපට් පාරවල් තිබුණේ නැහැ. ප්‍රදේශය දියුණු වුණා කියන්නේ පාරවල් ටික හැදුණ එක විතරයි. වෙන කිසිවක් දියුණු වුණේ නැහැ. දැන් මේ ව්‍යාපෘතියෙන් හම්බන්තොට, මොණරාගල ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසඳෙනවාලු. ඒක හොඳයි. නමුත් බණ්ඩාරවෙල සිටින ජනතාවගේ පානීය ජල ප්‍රශ්නයක් මතු කරලා මේ ව්‍යාපෘති හදන එක එතරම් සුදුසු නැහැ.   


උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව විස්තර කළ එහි සේවකයෙකු වන අනන්‍යතාව පළ නොකළ අයෙකු කීවේ මෙවැනි කතාවකි.   


මේ වනකොට ‘උමා ඔය’ ව්‍යාපෘතියේ ඉදිකෙරෙන උමඟ තුළට වතුර කාන්දු වෙනවා. ඒ නිසා දැනට තාවකාලිකව ඉදිකිරීම් නතර කරලා තිබෙන්නේ. වතුර කාන්දුව නිසා සිමෙන්ති ප්ලාස්ටරය රඳ‌ා පවතින්නේ නැහැ. වතුර පාර වහනකම් හාරගෙන ඉදිරියට යන්න විදිහක් නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය හාරන්න අවසර දෙන්නේ නැහැ. දැනට 75% ක 80% ක පමණ වැඩ කටයුතු අවසන් වෙලා තිබෙන්නේ. මේ ව්‍යාපෘතිය නිසා වැල්ලවාය, කරඳගොල්ල වගේ ප්‍රදේශවලට ජලය සැපයෙනවා. ඒක හොඳ දෙයක්. නමුත් මෙහෙ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට ලොකු අසාධාරණයක් වෙනවා. මේ ප්‍රදේශවල ජල උල්පත් සිඳී ගොස් තිබෙනවා.   


දැන් මේ උමග හාරන්න ගෙනාව විශේෂ මැෂිම උමග ඇතුළේ තිබෙනවා. වතුර ගලන නිසා හාරගෙන ඉදිරියට යන්න බැහැ. ඒක නිසා ඒ යන්ත්‍රය එක තැන නතර කරලා තිබෙනවා. ඒක නැවත ගොඩට ගන්න නම් එක්කෝ වෙනම උමගක් හාරන්න ඕනෑ. නැතිනම් දෙකට පළු කරන්න ඕනෑ. වෑල්ඩින්වලින් දෙකට කපලා තමයි එළියට ගන්න වෙන්නේ. නැවත යථා තත්ත්වයට ඒ මැෂිම සකස් කරන්න නම් ඒක පාස්සන්න ඕනෑ. ඒත් එසේ කළහොත් ඒ මැෂිමේ ධාරිතාව අඩුවෙන්න පුළුවන්.   


දැනට ‘උමා ඔය’ ව්‍යාපාතිය තුළ ආයතන 3 ක් වැඩ කරනවා. ඒ ආයතන 3ම සේවකයන් 200 ක පමණ පිරිසක් සේවය කරනවා. දැන් වන විට ඩෑම් එකේ (වේල්ලේ) වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අවසන්. පුහුල්පොළත් වැඩ අවසන්. දැන් තිබෙන්නේ කරඳගොල්ල දක්වා ඉදිකෙරෙන උමගේ කටයුතු තමයි. අවුරුදු 1 1/2 ක් පමණ යනකොට මේ කටයුතු අවසන් කරන්න පුළුවන්. නමුත් දැන් උමග තුළට එන වතුරත් පවතින දේශගුණික තත්ත්වයත් නිසා හරියටම අවසන් වන කාලය කියන්න බැහැ.   


දැන් මෙහි තාක්ෂණික කටයුතු බලන්න මහවැලියේ නිලධාරි මහත්වරුන් පිරිසක් ඉන්නවා. ඉරානයේ අයත් එනවා. ඒ ආයතන 3 නේම නිලධාරීන් එනවා. බලනවා. උපදෙස් දෙනවා. ඒත් ඉරානයේ අය​ගේ උපදෙස් මතම තමයි ව්‍යාපෘතියේ කටයුතු කෙරෙන්නේ. කොහොම වුණත් වැල්ලවායෙන් එපිට තිබෙන කුඹුරු අස්වද්ද ගෙන පානීය ජලය දීගෙන යනවා. එහෙත් බදුල්ල පැත්තට යන ජල ප්‍රමාණයේ අඩුවක් තිබෙනවා.   


 දැන් මේ සඳහා වැලිමඩ ඔස්සේ ගලන ‘උමා ඔයේ’ ජලය තමා ප්‍රයෝජනයට ගන්නේ. තවත් ‘ඔහිය’ දියතලාවෙන් එන වතුර පාරකුත් එකතු වෙනවා. ඒක ‘මාතැටිල්ල’ ගඟ. ඒ සියලු ජල පෝෂක ප්‍රදේශවලින් එන ජලයෙන් තමයි වේල්ල පුරවන්නේ. පහළට ජලය ගලා බසින්න කවුළු තබලා තිබෙනවා. ඒ නිසා පහළටත් ජලය ගලා බසිනවා. සම්පූර්ණයෙන්ම වහලා නැහැ.   


උඩපේරුව, හූරනේවත්ත ප්‍රදේශයේ පදිංචි චමින්ද කුමාර : අපි අවුරුදු ගණනාවක් වගා කටයුතුවල නිරත වූ අය. දැන් කිසිම වගාවක් කරන්න විදිහක් නැහැ. මේ ‘උමා ඔයේ’ ජල ප්‍රශ්නය නිසා. දැන් වසර කිහිපයක ඉඳලා වගා කටයුතුවලින් ඈත් වෙලා ඉන්නේ. වගා ළිංවල අඩි 7 ක් විතර වතුර තිබුණා. දැන් වහින දවස්වලට අඩි 3 ක් විතර තමයි ජලය තිබෙන්නේ. පායන දවස්වලට ළිං සිඳිලා යනවා. සති දෙකක් එක දිගට පෑවුවොත් වතුර නැහැ. දැන් වගා කටයුතු සම්පූර්ණයෙන්ම නතර වෙලා. ඉඩම් ඔක්කොම පුරන්​වෙලා තිබෙන්නේ. වතුර සිඳීයාමට මූලික හේතුව තමයි මේ ‘උමා ඔය’ ව්‍යාපෘතිය.   


තත්ත්වය විස්තර කළ බණ්ඩාරවෙල, කිනිගම, මැදඉන්නෙ පදිංචි ඩබ්ලිව්.එම්. සුදුබණ්ඩාර මහතා : මේ උඩපේරුව ගම්මානයේ සිටින ජනතාවගේ ප්‍රධාන ආද‌ායම් මාර්ගය ​ගොවිතැන. ඉන් ලැබෙන ඵලද‌ාව අලෙවි කරලා තමයි මෙච්චර කාලයක් අපි ජීවත් වුණේ. ‘උමා ඔය’ පටන්ගත්ත ද‌ා ඉඳලා ගොවිතැන් කටයුතු කරන්න බැහැ ජලය නැති නිසා. ගොවීන්ගේ ආර්ථිකය දැන් සම්පූර්ණයෙන්ම පහත වැටිලා. ගොවියන් අන්ත අසරණ තත්ත්වයට තමයි මේ වෙනකොට පත්වෙලා ඉන්නේ. මේ ගැන අපි ආණ්ඩුවට දිගින් දිගටම දැනුම් දුන්නා. උද්ඝෝෂණ කළා. නමුත් තවම කිසි විසඳුමක් නැහැ.   


පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමයි මූලිකවෙලා අපිට ලැබුණ වන්දි මුදල ප්‍රමාණවත් නැති නිසා ඒවා වැඩිකර ගන්න කටයුතු කළේ. ඒත් අද වනතුරුත් බදුල්ලේ තක්සේරු කාර්යාලයෙන් ඒවාට පිළිතුරු ලබා දුන්නේ නැහැ.   


බණ්ඩාරවෙල පුරන පදිංචි වයි.එම්. චන්ද්‍රාවතී මහත්මිය උමා ඔය නිසා සිදු වූ නිවාස හානිය විස්තර කරමින්:-   


“අපේ දරුවො ණයවෙලා තමයි මේ ගෙවල් හැදුවේ. මේ ඉඩමත් සල්ලි දීලා අරගත්තා. අපේ ගෙදරටත් හානි සිදුවුණා. නමුත් නැවත නිවසක් ගොඩනගන්න දරුවන්ට ශක්තියක් නැහැ. ලක්ෂ 80 ක් 90 ක් විතර වැය වුණා. ඒ දරුවෝ විශ්‍රාම යනකම් මේ ගත්ත ණය මුදල ගෙවන්න ඕනෑ. අපි ඉල්ලන්නේ අපට බයක් හැකක් නැතුව පදිංචිවෙලා ඉන්න ක්‍රමයක් හදලා දෙන්න කියලයි.   


ඉරිතැලීම්වල වෙනසක් නැහැ. ඒ තිබුණ ප්‍රමාණයමයි තවමත් තිබෙන්නේ. නිවස වටා ඉදිකළ තාප්පය විශාල වශයෙන් ඉරිතලා තිබෙනවා. නමුත් ‘උමා ඔය’ ව්‍යාපෘතියේ නිලධාරීන් ඇවිල්ලා ඒක බලලා ඒගොල්ලන්ට තාප්පය ඉරිතැලී ගිය එක අද‌ාළ නැහැ කිව්වා. අපට මාස 6 ක් නිවසින් පිටවෙලා ඉන්න කිව්වා. අපි දියතලාවේ ගෙයක් අරන් තමයි ඒ කාලයේ සිටියේ. පස්සේ ‘උමා ඔය’ ව්‍යාපෘතියේ නිලධාරීන් පරීක්ෂා කරලා නැවත නිවසට එන්න කිව්වා. පදිංචියට සුදුසු නැති නිවාසවල H අකුරයි S අකුරයි කතිරයකුයි සලකුණු කරලා ගියා. අපිට එවැනි සලකුණක් ලබා දුන්නේ නැහැ.”   


උඩපේරුව, පුරන පදිංචි සාලිත ඉන්ද්‍රජිත් මහතා හැඬූ කඳුළින් සිය නිවෙසට සිදු වූ හානිය විස්තර කරමින් : මේ ‘උමා ඔය’ ව්‍යාපෘතිය නිසා අපි ගොඩක් අසරණ වුණා. අපේ නිවසේ තැනින් තැන විශාල ඉරි තැලීම් ඇතිවුණා. අපිට වන්දි මුදලක් දුන්නා. නමුත් වෙනත් ප්‍රදේශයක නිවසක් හෝ ඉඩමක් ගන්න ඒ මුදල කිසිසේත් ප්‍රමාණවත් නැහැ. නිවසක් හද‌ා ගන්නවත් බැහැ ඒ මුදලින්. අපිට ගෙවල්වලින් අයින් වෙන්න කියලා තියෙන්නේ. අපි කොහේ කියලා යන්නද?   


අයින් වෙන්න තැනක් නැති නිසා අපි ඉතින් අවද‌ානම ඔස්සේ දරුවන් තුන් දෙනෙක් එක්ක මේ ගෙදරම ඉන්නවා. කවුරුත් හොයලා බලන්නේ නැහැ අපේ දිහා. අපි ඉතා අසරණ තත්ත්වයකින් තමයි අද වන විට ජීවත් වෙන්නේ.   


උඩපේරුව ප්‍රදේශයේ පදිංචි සුනිතා රාජපක්ෂ මහත්මිය මෙසේ කීවාය.   


“මේ උඩපේරුව කියන ග්‍රාමයට තමයි විශාල වශයෙන් හානි වුණේ. ගමේ සෑම නිවසකම වාගේ පොඩි පොඩි ඉරිතැලීම් තිබෙනවා. විශාල වශයෙන් හානි සිදු වූ නිවාසවල පදිංචි අය නිවස අතහැර ගොස් තිබෙනවා. දැනටත් විටින් විට අතුරු ආබාධ එල්ල වෙනවා. මගේ තට්ටු 3 ක නිවාසය සම්පූර්ණයෙන්ම හානි වෙලා තිබෙනවා. තද වර්ෂාවක් ආවොත් ගෙදර ඉන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. මේ ප්‍රදේශයේ නිවාස 500 ක් විතර තිබෙනවා. ඒ සියලු නිවාසවලට බලපෑම් එල්ල වුණා.   


මගේ නිවසට හානි වුණා. රජයේ ඉංජිනේරුවන් පරීක්ෂා කරලා අවදානම් නැහැ කිව්වා. එහෙත් නිසි ලෙස සකස් කරන්න කිව්වා. එහෙත් මට දුන්නු මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මට නිවස හදන්න කෝටි එකහමාරක් විතර ගියා. එහෙත් ලැබුණ වන්දි මුදල් නිවස අලුත්වැඩියා කරන්න කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒක නිසා අලුත්වැඩියා කරන්න තවම මුල් වුණේ නැහැ.   


මම ඉතාමත් ශක්තිමත්ව මේ නිවස ඉදිකරන්න ආරම්භ කළේ 2004 වසරේ. 2016 වනකම් පදිංචි වෙලා හිටියා. කිසිම හානියක් වුණේ නැහැ. පොඩි ඉරිතැලීමක්වත් නැහැ. 2016 දෙසැම්බර් 31 තමයි පළමු වරට ගෙයි ඉරිතැලීම් මතු වුණේ. මගේ ගෙදර හොඳට හදලා තිබෙන නිසා බයක් නැතුව තවමත් ඉන්නවා. 

 
මේ වගේ ව්‍යාපෘතියක් රටට අවශ්‍යයි. අපි ඒවට විරුද්ධ නැහැ. අපි කියන්නේ රටක් දියුණු වෙන්න ඕනෑ. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ක්‍රමානුකූලව මෙය ඉදිකරන්න අවශ්‍ය කටයුතු​ නොකරපු එක. මේ ව්‍යාපෘතියේ වැරදි බොහොමයක් තිබෙනවා කියලා අපිට තේරිලා තිබෙනවා. දැන් කඳුකර මේ වගේ ප්‍රදේශවල යටින් උමඟක් යනකොට ක්‍රියාපිළිවෙත් තිබෙනවානේ. ඒ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවට දොස් කියනවා ඇරෙන්න ඒවට සුදුසු පියවරවල් දීර්ඝකාලීනව හිතලා බලන්නෙ නෑ. මොකද ජනතාව විශාල වශයෙන් පදිංචි වෙලා ඉන්නවා. දැන් බලන්න අද වෙනකොට අපි බොන්නේ මඩ වතුර. වෙනද‌ා බණ්ඩාරවෙල වගේ කඳුකර ප්‍රදේශවල වතුර හරි පිරිසිදුයි. නමුත් අද වෙනකොට බොන්න බැරි තත්ත්වයට පත්වෙලා. අපි ළිංවලින් අරගෙන පිරිසිදු ජලය බීපු අය. දැන් ඒ වතුර අපට නැහැ. අපට පළමුවෙන්ම වුණේ වතුර නැතිවෙච්ච එක. දැන් මේ මඩ වතුර පානය කිරීමෙන් පස්සේ අපට විවිධ රෝග ඇතිවෙලා.   


වැස්සහම තමයි ජල සම්පත් මණ්ඩලයෙන් වතුර දෙන්නේ. පායන කාලයට වතුර පොදක් ඇත්තේ නැහැ. දිය උල්පත් තිබුණට ඒ උල්පත් සේරම දැන් විනාශ වෙලා. උඩපේරුව ගමේ ඔක්කොම වගේ පාවිච්චි කළේ ළිංවතුර. නමුත් දැන් සේරම ළිංවල වතුර හිඳිලා. වගා හානිවෙලා තිබෙනවා. කුඹුරු වගා කරන්නේ නැහැ. ඒවා අතඇරලා. ඒ නිසා ඒවා කැලෑ වැදිලා. දැන් ඒ නිසා සත්තු බෝවෙලා ඉන්නවා.”


උමඟ ඇතුළෙන් කාන්දු වුණු ජල ප්‍රමාණය තත්රයකට ලීටර් 250ක් බව මුලදී ගණනය කෙරිණ. නමුත් එය ලීටර 1000 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් තවමත් ජල කාන්දුව සිදුවෙමින් පවතියි. ජල කාන්දුව වළක්වාලීමට සිමෙන්ති කොට්ට 200 ක් යෙදවුවහොත් ඉන් 100ක් පමණ දියවී යන බව එම ව්‍යාපෘතියේ ප්‍රකාශකයෙක් පැවසීය.   

 

 


සිය නිවෙස සම්පූර්ණයෙන්ම හානි වූ විශ්‍රාමික ගුරුවරයකු වන එම්. ජිනද‌ාස මහතාගෙන් මේ ගැන විමසීමු.   


“අපි ගෙවල්වල ඉන්නකොට එක පාරටම පිපිරුම් හඬක් ආවා. ඒ හඬත් සමග අපි සිතුවේ පොළොවේ යම් දෙදරීමක් වෙන්න ඇති කියලා. ඊට පස්සේ දවස් දෙක තුනක් යනකොට තමයි දැනගත්තේ ‘උමාඔය’ ව්‍යාපෘතිය නිසා තමයි මේක සිද්ධ වුණේ කියලා. අපි හම්බ කරපු සල්ලි ඔක්කොම ඉවරයි. අපි රස්සාව කරලා ගත්ත තුට්ටු දෙකේ පඩියෙන් තමයි මේ ගේ හැදුවේ.   


මට මේ ගේ හදන්න මීට වසර 14 කට පෙර ලක්ෂ 38 ක් වැය වුණා. ඒත් අද සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. වන්දි ලැබුණේ ලක්ෂ 48 යි. ලක්ෂ 38 න් හදපු නිවස අද වෙනකොට ලක්ෂ 70 කින්වත් නිමකරන්න බැහැ. නමුත් ලැබුණ වන්දි මුදල ප්‍රමාණවත් නැහැ. දුන්න හින්ද‌ා ගත්තා අපිට වෙන කරන්න දෙයක් නැති නිසා.”


මේ පිළිබඳ අදහස් පළ කළ අරාවත්ත ප්‍රදේශයේ පදිංචි ඒ. ජේ. එම්. කරුණාරත්න මහතා : “ අපේ වගා ඉඩම් සියල්ල විනාශ වෙලා. නිවාසත් සේරම ඉරි තළලා. ඉදිරියේදී මොනවා වෙයිද කියන්න බැහැ. අවදානම් තත්ත්වයකයි තිබෙන්නේ. ගේ මැදින් පැළිලා. වටේටම පැළිලා. මේ පොළොවත් ගිලා බැහැලා තිබෙන්නේ. ළිඳ පැළිලා තිබෙනවා. ළිං පතුලෙනුත් පහළට. අතක් දමන්න පුළුවන් තරමට පැළිලා. ළිඳ අඩි 47 ක් ගැඹුරුයි. දැන් වැස්ස නිසා ළිං පතුලේ ජලය පොඩ්ඩක් විතර තිබෙනවා. මේ උමා ඔය ව්‍යාපෘතිය හදන්න කලින් ඒ අඩි 47 ම පිරිලා වතුර උතුරලා ගිය ළිඳක් මේක. දැන් මේ ළිංවල කවද‌ා ජලය රැඳෙයිද කියලා කියන්න බැහැ.   


මේ පොළොවේ සිදු වූ පැළීමක් නිසා මගේ බිරිඳගේ කකුල ඒක ඇතුළට ගිහිල්ලා කකුල කැඩුණා. ළිඳ ළඟ තිබූ පැළීමක් නිසා මගේ කකුල දණිස්ස දක්වා ඇතුළට ගියා. දැනටත් එවැනි පැළීම් සිදුවෙනවා. අපි මේ කුඩා දරුවන් ඉන්න නිසා නිතරම සිමෙන්ති, පස් දමලා වහනවා.දරුවන්ට හානියක් වෙයි කියලා.   


ඉස්සර නම් අපි පළා කොළයක් ගේන්නෙත් කුඹුරෙන්. දැන් මොකක්වත් නැහැ. කිසිම ගොවිතැනක් කරන්න විදිහක් නැහැ.   


වැහි වතුරෙන් ගොවිතැන් කරන්න බැහැ. කුඹුරු සේරම ගොවීන් අතහැර ද‌ාලා නිසා සත්ව හානි වැඩියි. වල් ඌරන්, වැලිමුවා, ඉත්තෑවා, දඬුලේනා වගේ සත්තු සේරම වගා විනාශ කරනවා. වතුර සිදුනාට වැහි වතුරෙන් හෝ වතුර උඩින් යොදවලා වගා කටයුතු කරන්න පුළුවන්. නමුත් සත්ව හානිය නිසා ඒකවත් කරන්න බැහැ. ඉතින් ගොවිතැන් අතඅැරලා තමා මිනිස්සු ඉන්නේ.”   


කෙසේ වෙතත් රටක සංවර්ධනය සඳහා මෙවැනි ව්‍යාපෘති අවශ්‍යය. එහෙත් තවත් පිරිසක්ට බරපතළ පීඩාවට පත්කරමින් ඉදිකෙරෙන මෙවැනි ව්‍යාපෘති පිළිබඳ දෙවරක් සිතිය යුතුය.  

 

 

සටහන  
නිශාන්ත කුමාර බණ්ඩාර   
ඡායාරූප
ඇලෙක්සැන්ඩර් බාලසූරිය
උමා ඔය සංචාරයකින් පසු....