කළුතර දිස්ත්‍රික්කය


ජ.වි.පෙ. 2 වැනි කැරැල්ලෙන් 14 වැනි කොටස

 

සිසුන් පිරිසකට විරෝධතා පිළිබඳව දැනුම්වත් කරන ක්‍රියාකාරිකයෙක්.

පාර්ලිමේන්තු මැතිවරණය පැවති 1989 පෙබරවාරි 15 ජවිපෙ ඇඳිරි නීතිය නොතකා කළුතර කුඩා වස්කඩුව පාසලට ඡන්දය දැමීමට ගොස් පැමිණෙමින් සිටි දියණියන් 4 දෙනකුගේ පියෙකු වූ කුඩා වස්කඩුවේ පදිංචි ගුණෙත්ති තිලකරත්න (62) කළුතර වස්කඩුවේ කොස්ගස් හංදිය අසල දී පෙරවරු 11.30ට පමණ කැරලිකරුවන් විසින් වෙඩිතබා ඝාතනය කර තිබූ අයුරු. මියගිය අයගේ බිරිඳ ගුණමුණි හේමවතී සිල්වා (50) සහ දියණියක් වන ගීතා (23) වැළපෙන අයුරු මෙහි දැක්වේ.

 

 

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක්ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළ වී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි. 

ලාංකීය ප‍්‍රාග් ඉතිහාසය නම් වූ අපූර්ව අතීතය ප‍්‍රවර්ධනයෙහිලා වැදගත් වූ පර්​ෙ‌ය්ෂණයන්ට පදනම් වූ භූමි භාග කළුතර දිස්ත‍්‍රික්කය තුළ ද ස්ථානගත වී ඇත. ඒ අතරින් ආසියාවේ නූතන මිනිසා පිළිබඳව ඉපැරණි මානව පොසිල බුලත්සිංහල පාහියන්ගල පුරාවිද්‍යා කැණීම්වලින් 80 දශකයේදී සොයා ගැනීමට හැකි විය. 


ශ්‍රී ලංකාවේ පරිපාලන සීමා මායිම් තුළ පස්​ෙ‌යාදුන් රට කළුතර දිස්ත්‍රික්කයට අයත් වේ. ප‍්‍රාග් ඉතිහාසය පටන් ඓතිහාසික කාලවකවානුවේදී පොළොන්නරුව, අනුරාධපුර, ගම්පොළ සහ කෝට්ටේ යුග හරහා ගොඩනැගෙන ඉතිහාසයක් කළුතර සහ ඒ ආශ්‍රිතව ඇත. වර්ග කිලෝමීටර් 1593ක් පමණ විශාලත්වයෙන් යුත් කළුතර දිස්ත‍්‍රික්කය රබර්, පොල් සහ තේ ආදී වගාවන් කෙරෙහි ප‍්‍රමුඛත්වය ලබාදී තිබේ. වර්තමානයේ කළුතර දිස්ත‍්‍රික්කය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් යටතේ ග‍්‍රාමසේවා වසම් 762කින් සමන්විතය. 


 වසර 1981 ජුනි 04 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට ජවිපෙ තරග කළ දිස්ත්‍රික්ක 8න් ජවිපෙට ඉතිහාසයේ ප‍්‍රථම වරට සංවර්ධන සභා මන්ත්‍රී ධුර 13ක් හිමි විය. ඒ කොළඹින් 4ක්, ගම්පහෙන් 3ක්, ගාල්ලෙන් 2ක්, බදුල්ලෙන් 2ක්, අනුරාධපුරයෙන් 1ක් සහ හම්බන්තොටින් 1ක් වශයෙනි. එහෙත් ජවිපෙ එහිදී තරග කළ කළුතර සහ මාතර යන දිස්ත්‍රික්කවලින් එකදු ආසනයක්වත් දිනාගැනීමට තරම් ඡන්ද සංඛ්‍යාවක් හිමි නොවීය. කළුතර දිස්ත්‍රික් කණ්ඩායමේ නායකයා වූයේ සෝමවංශ අමරසිංහය. 


 එම සංවර්ධන සභා ඡන්දය ශ්‍රීලනිප, කො.ප, සමසමාජ වර්ජනය කළේය. කළුතර දිස්ත්‍රික්කය සඳහා ජවිපෙ වෙනුවෙන් තරග කළ එම කණ්ඩායමේ සෙසු අපේක්ෂකයින් වූයේ චන්ද්‍රසේන ගුණතිලක, ඩී.ආර්. ලියනආරච්චි, අයි. තමරා අබේරත්න, අමරදාස විතානපොළ, නිහාල් අබේසිංහ, බී. සුමනදාස පෙරේරා, එල්. දනෝරිස්, ආරියදාස විතානපොළ, සිරිසේන මල්ලවිතානාච්චි සහ ජිනසේන මොරඇදපොළ ය. ඩී.ආර්. ලියනාරච්චි වෘත්තීය සංගම් නායකයකු වේ. නිහාල් අබේසිංහ පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක වෛද්‍ය විශේෂඥයෙකි. කළුතර දිස්ත්‍රික්කයේදී ජවිපෙට ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාව 22,683කි. 


ජවිපෙ 2වැනි කැරලි සමයේදී කළුතර දිස්ත්‍රික්කයේ ජවිපෙ දිස්ත‍්‍රික් දේශපාලන ලේකම්වරුන් වූයේ ජවිපෙ දේශපාලන බලමණ්ඩල සභික නන්දතිලක අමදෝරු ගලප්පත්ති හෙවත් ආරි, අරුණ විජේසූරිය, සිරිමල් අබේරත්න, ගාමිණී ගුණසේකර හෙවත් රිචඩ්, කැලණි සරසවි උපාධිධාරියකු වූ පැලවත්තේ චන්ද්‍රසිරි හෙවත් අසේල, කැලණි සරසවියේ නිහාල් ජයවීර (විජේවීර ඝාතනයෙන් පසු) ඇතුළු කිහිපදෙනෙකි. දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් වූයේ එඬේරමුල්ලේ සෙනෙවි හෙවත් බොනී, හක්මන යටියන ගලබොඩ පදිංචි සේකර හෙවත් බැටී හෙවත් ප්‍රියන්ත, හක්මන දෙනගම වැවේ පන්සල අසල පදිංචි අනිල් සුන්දර හෙවත් පියරත්න, බෙරලපනාතර අමරසේන, හම්බන්තොට නාත්, දෙදියවල බණ්ඩාර කරුණාරත්න සහ සඳලංකාවේ පතිරණ ඇතුළු කිහිපදෙනෙකි. 


කළුතර සන්නද්ධ අංශයේ ලේකම් ලෙස කටයුතු කළ එඬේරමුල්ලේ සෙනෙවිරත්න හෙවත් බොනී කැලණි සරසවියේ ශාස්ත‍්‍ර පීඨයේ තෙවැනි වසරේ සිසුවෙකි. කලක් ඔහු ජවිපෙ ලේකම් උපතිස්ස ගමනායකගේ ආරක්ෂකයකු ලෙස ද කටයුතු කළේය. කැරැල්ල අවසාන කාලයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සන්නද්ධ කලාප ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ බොනී 1989 අග භාගයේදී හම්බන්තොට මිරිජ්ජවලදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන අතර එම ස්ථානයේදීම ඝාතනයට ලක් විය. කළුතර සන්නද්ධ කලාප ලේකම්වරයෙකු වශයෙන් සිට පුත්තලම දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් වශයෙන් පත්ව ගිය චන්න බන්දුල ගොකරැල්ල පොල්ගොල්ල ගමේ උපන්නෙකි. ගොකරැල්ල මහා විද්‍යාලයෙන් සහ මැල්සිරිපුර මැදමුල්ල මධ්‍යම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ චන්න බන්දුලට අ.පො.ස. උසස් පෙළ කලා අංශයෙන් සරසවියට ප‍්‍රවේශවීමට අඩුවූයේ ලකුණු 3කි. පසුව ඔහු ජවිපෙ පූර්ණකාලීනයෙකු විය. පක්ෂයේ ද උපදෙස් පරිදි පසුව යුද හමුදාවට බැදී පුහුණු වූ චන්න බන්දුල හමුදා පුහුණුවෙන් පසු පලාවිත් යළි ජවිපෙ පූර්ණකාලීනයෙකු විය. ඔහු එනවිට ටී-56 ස්වයංක්‍රීය අවියක් ද හමුදාවෙන් සොරාගෙන පක්ෂයට ගෙනවිත් තිබිණි. අවසාන කාලයේදී කුරුණෑගල සන්නද්ධ කලාප ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී 1989 සැප්තැම්බර් අවි පැහැරගැනීමේ ප‍්‍රහාරයකට ගොකරැල්ලේදී සූදානම්ව සිටියදී පොලිසිය සහ හමුදාව එම කැරලිකරුවන් පිරිස වටකර ප‍්‍රහාරයක් එල්ල කළ අතර චන්න බන්දුල ඇතුළු කැරලිකරුවන් 6 දෙනෙකු එහිදී මරණයට පත් විය. කැරලිකරුවන් තිදෙනෙකු පළායෑමට සමත් විය. ඝාතනයට ලක්වූ කැරලිකරුවන් 6 දෙනාගේ හිස් කඳින් වෙන්කර එම ප‍්‍රදේශයේ පාර දෙපස වැටවල එල්ලා තිබිණි. 


සන්නද්ධ ලේකම්වරුන් අතර සිටි අනිල් සුන්දර හෙවත් පියරත්න කලක් දහම් පාසල් ගුරුවරයෙකි. ඩී.එම්. ආනන්ද මගින් 1984 ජවිපෙට එක්වූ සුන්දර ගාල්ල කරාපිටිය රෝහල අසල මුර සේවයේ යෙදුණු යුද හමුදා භටයින් දෙදෙනෙකුට පහරදී ඔවුන් සතු ටී-56 ගිනිඅවි දෙකක් පැහැරගෙන යෑමෙන් ඔහු පිළිබඳව ආරක්ෂක අංශවලට හෙළිදරව් විය. පසුව විශේෂ කාර්ය බළකාය මගින් 1989 මැද භාගයේදී අත්අඩංගුවට ගන්නා ලද අතර මාතර සම්බන්ධීකරණ කාර්යාලයේදී වධබන්ධනවලට මුහුණදීමෙන් පසුව ඝාතනයට ලක් විය. සුන්දරගේ වැඩිමහල් සොහොයුරා වූ වික්ටර් ද දෙවැනි කැරැල්ලේදී දෙනියාය සහ හක්මන කලාපයේ සන්නද්ධ ලේකම් ලෙස කටයුතු කළ අතර ඉතා කෙටි කලක් මාතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම් වශයෙන් ද වැඩබලනු ලැබීය. වික්ටර් ද පසුව අත්අඩංගුවට ගැනීමෙන් පසු මුලටියන හමුදා කඳවුරේදී ඝාතනයට ලක් විය. 


 හක්මන යටියන ගලබොඩ පදිංචි සේකර හෙවත් බැටී හෙවත් ප්‍රියන්ත කළුතර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් අතරින් වඩාත් ක්‍රියාකාරීව ඉදිරියෙන් සිටි අයෙකි. ඔහු කලින් වෘත්තියෙන් කොණ්ඩය කපන කරණවෑමියෙකි. ඔහුගේ මිතුරා වූ එම වෘත්තියේම නිරත වූ හක්මන තිහගොඩ කඩවැද්දුව පදිංචි එස්.කේ. ජයතිලක හෙවත් විජිත මගින් ඩී.එම්. ආනන්ද හරහා ජවිපෙට 1984දී එක්වූ අයෙකි. සේකර 1989 ජුලි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ අතර කළුතර මේරිවියා හෝටලයේ සහ කළුතර බේරුවල කෘෂිකර්ම මධ්‍යස්ථාන යුද හමුදා කඳවුරේදී තිරස්චින වධබන්ධනවලට ලක්වුවද කිසිදු තොරතුරක් හෙළිදරව් කළේ නැත. දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයෙකු වූ හිටපු හමුදා භටයෙකු වූ දෙදියවල පදිංචි කරුණාරත්න හෙවත් බණ්ඩාරය. පයාගල දී 1989 වෙඩි වැදීමකින් ඔහු මරුමුවට පත් විය. ජවිපෙ කළුතර දිස්ත්‍රික් සන්නද්ධ බළකාය නම් කෙරුණේ ඔහුට උපහාරයක් වශයෙනි. 
ජවිපෙ සැකකරුවන් රැසක් රඳවා සිටි පැලවත්ත කඳවුර අයත් වූයේද කළුතර දිස්ත්‍රික්කයටය. 1988 අවසාන භාගයේදී එහි රඳවාගෙන සිටි කැරලිකරුවන්යැයි කියන රැඳවියන් සංඛ්‍යාව 1,218කි. පැලවත්ත කඳවුරේ පරිපාලන සිදුකළේ යුද හමුදාවේ පළමු ගජබා රෙජිමේන්තුව සහ පළමු වැනි සිංහ රෙජිමේන්තුව මගිනි. පොලිසියට පැවරී තිබුණේ කඳවුරින් පිටත ආරක්ෂාවය. පැලවත්ත කඳවුරේ උමගක් හාරා ජවිපෙ සැකකරුවන් 131ක් 1988 ඔක්තෝබර් 29 සිට දින කිහිපයක් ඇතුළත පලා ගියහ. පැලවත්ත කඳවුරින් පලායෑමේ නායකත්වය ගත්තේ ද කරුණාරත්න හෙවත් බණ්ඩාර ය. පැලවත්ත කඳවුරේ ජවිපෙ න්‍යායචාර්යවරයා වශයෙන් කටයුතු කළේ කටානේ රංජිත් වටවල ය. කඳවුරේ රැඳවියන් සිටින බිලට්වල නායකයින් වූයේ කෑගල්ලේ සුදේශ්, මාතලේ කපිල වඩුගේ සහ කොළඹ ගනේෂ් ය. පැලවත්ත කඳවුර ඇතුළත් කලාපයේ ජවිපෙ සන්නද්ධ නායකයා වූයේ පහළ හේවැස්සේ කරුණාදාස ය. මතුගම කොට්ඨාසයේ සන්නද්ධ නායකයා වූයේ කොළඹ කාර්මික විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ තොටගම ලියනගේ ප‍්‍රියන්ත කුමාර ය. කළුතර කාන්තා අංශයේ නායිකාවක වූයේ රුහුණු සරසවියේ සිසු තමරා ප්‍රියදර්ශනී ය. 

 

කැරලිකරුවන්ගේ මඟ පෙන්වීම අනුව අත්අඩංගුවට ගත් අවි සහ ඒවා පරීක්ෂා කරන පොලිස් නිලධාරින් පිරිසක්. 

 


කළුතර දිස්ත‍්‍රික් ශිෂ්‍ය අංශයේ බෙලිඅත්තේ ලලිත්, දයාසිරි සහ වීරතුංග ඇතුළු කිහිපදෙනෙක් මුල් තැන ගත්තේය. කළුතර තිස්ස විද්‍යාලයේ විමල් වීරවංශ හෙවත් චමින්ද, පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ සිසු කමල් දේශප්‍රිය මන්නපෙරුම හෙවත් සෙනෙවි, තිස්ස විදුහලේ උදය කීර්ති පෙරේරා, එස්. අනූෂා සහ සමන්, ජයවර්ධනපුර සරසවියේ වානිජ සිසු චූලානන්ද සමරනායක ඇතුළු සරසවි සහ පාසල් සිසුන් රැසක් ඒ අතර වූහ. ජවිපෙ දකුණු පළාත් ශිෂ්‍ය අංශයේ ප‍්‍රචාරක ලේකම් කමිටුව කැඳවන ලද්දේ සරසවි සිසු සුගත් අශෝක ද සිල්වා හෙවත් මාලිංගය. දකුණු කලාපයේ ශිෂ්‍ය අංශයේ ප‍්‍රචාරක දිස්ත්‍රික් ලේකම්වරුන් වශයෙන් හම්බන්තොටදී දෙබරවැව තිලක් ද මාතර දී උදයකුමාර ද ගාල්ලේදී ජයන්ත නාමල් ද කළුතර දී විමල් වීරවංශ ද කටයුතු කළේය. මින් දෙබරවැව තිලක් පසුව ඝාතනයට පත්විය. 


ජවිපෙ විසින් කැරැල්ලේ මැද භාගයේදී විමල් වීරවංශව කළුතරින් මාතර දිස්ත්‍රික්කයට අනුයුක්ත කෙරිණි. ඒ අනුව විමල් වීරවංශ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය කලාපයේ යටියන කොට්ඨාසයේ ශිෂ්‍ය අංශයේ නායකයා විය. යටියන කොට්ඨාසයට අයත් ගම්මාන වූයේ අක්කර 50, අක්කර 20, දන්දෙනිය, වලකන්ද, තිහගොඩ, වතුවලකන්ද, අපරැක්ක, කිරිල්ල, පුහුල්වැල්ල, උයන්ගොඩ ඇතුළු ගම්මාන කිහිපයකි. එවකට කඹුරුපිටිය කලාපයේ සන්නද්ධ ලේකම් වූයේ කේ.ජේ. ගමගේ හෙවත් රණතුංග ය. හක්මන කලාපයේ සන්නද්ධ ලේකම් වූයේ හිටපු නාවික සෙබළ අකුරැස්ස තෙලිජ්ජවිල නාපේ සිරිල් හෙවත් මෙන්ඩිස් ය. නාපේ සිරිල් 1989 නොවැම්බර් 9 මාවරල පොලිසියෙන් අවි පැහැරගැනීමේ ප‍්‍රහාරයෙන් මරුමුවට පත් විය. 


ජවිපෙ යළි ගොඩනැගීම සඳහා 1990න් පසු වැඩකළ කමල් දේශප්‍රිය 1995 මැයි 15 තංගල්ලේ පැවති ජවිපෙ සමුළුවට පෙර ඉවතට ‘තල්ලු’ විය. පසුව කමල් දේශප්‍රිය අනුගාමිකයින් 15ක් සමඟ ජවිපෙන් ඉවත්වූ බවට බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශාලාවේ 1996 පෙබරවාරි 17 ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා නිවේදනය කළේය. කමල් දේශප්‍රිය 1994න් පසුව පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයට පෙනී සිටිය ද ඉන් සමත්වූයේ නැත. දේශප්‍රිය පසුකාලීනව ජාතික නිදහස් පෙරමුණ ගොඩනැගීමට සක්‍රීයව දායක වූ අතර පසුව ඉන් ද ඉවත් විය. ඔහු 2015 ජූනි 24 මිය ගියේය. 


කළුතර දිස්ත්‍රික්කයේ ජවිපෙ භික්ෂු අංශයේ ක්‍රියාකාරිකයින් වූයේ පානදුරේ ආනන්ද හිමි, වස්කඩුවේ ශාක්‍ය විහාරයේ හල්ගහවෙල මහින්ද හිමි, නාගස්හන්දිය විහාරයේ කළුතර භද්දිය හිමි, වස්කඩුවේ සුමනසිරි හිමි, කළුතර කෝලිත හිමි ඇතුළු කිහිපදෙනෙකි. මින් මහින්ද හිමි සහ භද්දිය හිමි ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව ඝාතනය විය. වස්කඩුවේ පදුමාරාමයේ සුමනසිරි හිමි අත්අඩංගුවට පත්වීමට පෙර පළාගොස් ජපානයට සංක‍්‍රමණය විය. පසුව උපැවිදි වී දැන් දෙදරු පියෙකි. භික්ෂු රැස්වීම් පැවැත්වූයේ අළුබෝමුල්ලේ මහබෙල්ලන විහාරයේදී සහ කලමුල්ලේ ඈතගම සුමනාරාමය යන විහාරස්ථානවලය. 


ජවිපෙ භික්ෂු ක්‍රියාකාරිකයෙකු වූ පානදුරේ ආනන්ද හිමි පේරාදෙණිය සරසවියේ ශාස්ත‍්‍ර පීඨයේ අධ්‍යාපනය ලැබූවෙකි. පේරාදෙණිය සරසවියේ ශාස්ත‍්‍ර පීඨය 1978දී රජය මගින් දුම්බර මණ්ඩපය නමින් දෙකඩ කොට තිබිණි. පසුකාලීනව දුම්බර මණ්ඩපය මගින් එය යළි ඒකාබද්ධ කිරීම සඳහා අඛණ්ඩ විරෝධතා ව්‍යාපාර මෙහෙයවන ලද අතර එයට නායකත්වය සපයන ලද්දේ දුම්බර මණ්ඩපයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ එවකට කැඳවුම්කරු වූ පානදුරේ ආනන්ද හිමිය. පේරාදෙණිය සිසු නායක එස්.එම්. නිස්මිගේ ද නායකත්වය ඇතිව අවසානයේදී එනම් 1986දී පමණ එය ජයග‍්‍රහණයෙන් කෙළවර විය. ආනන්ද හිමි දෙවරක් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතවිය. කැරැල්ලේ පරාජයෙන් පසු සෙසු උපාධි අපේක්ෂකයින් සියයට 90කට පමණ උපාධිය නිමකිරීමට හැකි වුවද ආනන්ද හිමිට එය නොහැකි වූයේ පේරාදෙණිය සරසවියේ ඇතැම් පාලකයින් උන්වහන්සේ කෙරේ තිබූ අදිසි විරෝධය හේතුවෙනි. පසු කලෙක උපැවිදි වූ ආනන්ද හිමි වර්තමානයේ පියල් වන අතර හොරණ පිංවත්තේ වැඩිහිටි නිවාසයක ප‍්‍රධානියා ලෙස කටයුතු කරයි. 


ජවිපෙ සමාජවාදී භික්ෂු සංගමයේ ක්‍රියාකාරිත්වයට වඩා කළුතර දිස්ත්‍රික්කය තුළ 1986/90 කාලයේ ප‍්‍රබල වූයේ ඩී.අයි.ජී. ධර්මසේකරට හිතවත් මාඕවාදී සහ ආචාර්ය නලීන් ද සිල්වාට හිතවත් ජාතික චින්තනය පිළිගත් භික්ෂූන්ය. කළුතර දිස්ත‍්‍රික් භික්ෂු පෙරමුණේ බහුතර බලය ද ඔවුහු සතුවිය. දේශභක්ති නමින් කුඩා පුවත්පතක් ද කලාප තුනකින් 1988 සහ 1989 දී නිකුත් කිරීමට කළුතර දිස්ත‍්‍රික් භික්ෂු පෙරමුණ සමත් විය. එහි ලිපිනය වූයේ බෝඹුවල සුබෝධිරාජාරාම විහාරය වේ. එක් කලාපයකින් පිටපත් 1,500ක් මුද්‍රණය කළේය. මිල රුපියල් 3කි. ජවිපෙට සමාන්තරව එහෙත් ජවිපෙ අදහස් හිස් මුදුනින් පිළිනොගත් මාඕවාදී සහ ජාතික චින්තනවාදී කළුතර එම භික්ෂු කණ්ඩායමට නායකත්වය හල්වතුරේ අස්සජි හිමි, කළුපහන පියරතන හිමි, දිවලකඩ පඤ්ඤාසේන හිමි සහ කලමුල්ලේ සුගතධීර හිමි ගෙනි. 

 


කළුතර දිස්ත‍්‍රික්කයේ කැරලිකරුවන් වඩාත් ක්‍රියාත්මක වූයේ බදුරැලිය, මතුගම, අගලවත්ත වැනි ප‍්‍රදේශවලය. එමෙන්ම හොරණ කහතුඩුව ග‍්‍රාමආරක්ෂක පුහුණු කඳවුරට 1988 ජනවාරි 11 ද හොරණ පොලිසියට 1989 මැයි 04 ද බණ්ඩාරගම පොලිසියට 1989 මැයි 27 ද ප‍්‍රහාර එල්ලකර ආයුධ පැහැරගැනීමට කැරලිකරුවන් සමත් විය. වාද්දුව යුද හමුදා කඳවුරට 1987 සැප්තැම්බර් 5 කැරලිකරුවන් විසින් පහරදීමට ගත් උත්සාහය අසාර්ථක විය. සැලසුමේ නායකයා වූයේ ශාන්ත බණ්ඩාරය. එහිදී අත්අඩංගුවට පත්වූ ජී. රොෂාන්ත ප‍්‍රනාන්දු, එම්. ටිල්වින් සිල්වා, ප‍්‍රියන්ත ලියනගේ, එච්.කේ. පාලිත කමල් පෙරේරා, ඩී.ඒ. ප්‍රේමරත්න සහ ඒ.කේ. පියසේන සහ යූ. තිලක් ඉන්ද්‍රසේන යන අයට එරෙහිව පානදුර මහාධිකරණ විනිසුරු ආර්.එල්. ද සිල්වා ඉදිරියේ නඩු පවරන ලදී. පසුව ඔවුහු නිදහස් වූහ. 


එමෙන්ම මතුගමදී 1989 ඔක්තෝබර් 10 පුපුරවා හරින ලද බිම්බෝම්බයකින් හමුදා භටයින් 3ක් ද මරුමුවට පත් විය. එවැනි බිම් බෝම්බ කිහිපයක්ම කළුතර දිස්ත්‍රික්කය පුරා පුපුරුවා හරින ලදී. කළුතර දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරි කර්නල් පී.ඒ. කරුණාතිලකට අයත් වේයන්ගොඩ එස්සැල්ලේ පිහිටි නිවස කැරලිකරුවන් විසින් 1989 සැප්තැම්බර් 18 මුළුමනින් ගිනි තබා විනාශ කරන ලදී. අනතුරුව කළුතර සොරණාතොට වත්ත කඳවුරේ සිටි ජවිපෙ සැකකරුවන් 33ක් ඝාතනය කර 1989 සැප්තැම්බර් 20 වේයන්ගොඩ නයිවල දමා ගොස් තිබිණි. ඉන් 14ක් කාන්තාවන්ය. කැරලිකරුවන් විසින් පානදුර හිටපු නගරාධිපතිනි ඩොරති එස්. ධර්මගේ 1989 මැයි 28 ඝාතනය කරන ලදී. 


වසර 1971 සහ ජවිපෙ 2වැනි කැරැල්ලේ කැරලිකරුවන්ට එරෙහිව කටයුතු කළ සහ කරන ආරක්ෂක අංශවල සාමාජිකයින්ට එරෙහිව වන්දි ගැනීමේ ව්‍යාපාරය හෙවත් සත්‍යපාල වන්නිගම බළකාය 1988 ජූනි ආරම්භ කෙරුණේ කළුතර හල්තොට ගමේ කෙසෙල්හේනේනාව පුරාණ විහාරයේදීය. ඒ අනුව ප‍්‍රථමයෙන් තීරණය කළේ 71 කැරැල්ලට සම්බන්ධව සිටි කතරගම ප්‍රේමාවතී මනම්පේරි (22) 1971 අප්‍රේල් 17 ඝාතනය කිරීමට වරදකරු වී සිරදඬුවම් විඳ පසුව නිදහස් වූ යුද හමුදාවේ හිටපු සැරයන් අමරදාස රත්නායක ද එදින එහිදීම කතරගම කම්හල්ගොඩ මුදලිගේ කමලාවතී (22) සාමූහික වශයෙන් දූෂණය කළේයැයි චෝදනා ලබා නඩුවෙන් නිදහස් වූ ලංකා යුද හමුදාවේ පළමුවන ජාතික ආරක්ෂක බළකායේ දෙහිවල කළුබෝවිල පදිංචි ලුතිනන් ගැමුණු විජේරත්න, මාතර තුන් වැනි ගැමුණු බළකායේ එම්. ආරියරත්න සහ ලංකා කාලතුවක්කු හමුදාවේ තෝමස් ශිරෝමනී පෝල්රාජ් යන අයට දඬුවම් කිරීමය. මින් ප්‍රේමාවතී ඝාතනයට සම්බන්ධ හිටපු සැරයන් අමරදාස රත්නායක මාතර කපුගම සිය නිවසේදී 1988 අගෝස්තු 26 ඝාතනය කරන ලදී. 


කළුතර දිස්ත්‍රික්කයේ එම වකවානුව තුළ පොලිස් සහ හමුදා රැඳවුම් කඳවුරු කිහිපයක් විය. ඒවා අතරින් අත්අඩංගුවට ගත් කැරලිකරුවන්ට තිරස්චින වධබන්ධනවලට මුහුණදීමට සිදුවූයේ ගීකියන කන්ද, මහගම තානායම, සොරණතොට වත්ත, බෝඹුවල කෘෂිකර්ම ආයතනය, කළුතර බේරුවල කෘෂිකර්ම මධ්‍යස්ථානය, පානදුර පොලිස් කාර්යාල ගොඩනැගිල්ල, කළුතර හොටෙල් මේරිවියා ඇතුළු ස්ථාන කිහිපයකි. සොරණතොට වත්ත අංගසම්පූර්ණ වධකාගාරයකි. එහි ඇතැම් පිරිමි සැකකරුවන් මෙන්ම ගැහැනු සැකකරුවන් 14ක් ද සිටියේ නිර්වස්ත‍්‍රවය. දෙවන කැරැල්ලේදී අත්අඩංගුවට ගත් බොහෝ කාන්තාවන් මෙන් මොවුහු ද අතවරවලට ලක්වීමෙන් පසු ඝාතනයට ලක් විය. 


එමෙන්ම දිස්ත‍්‍රික්කය තුළ කැරලිකරුවන් විසින් ඝාතනය කරන ලද එජාප, ශ්‍රීලනිප, සමසමාජ, මහජන පක්ෂය ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් සංඛ්‍යාව සිය ගණනකි. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද කැරලිකරුවන් යැයි සැකකරමින් ඝාතනය කරන ලද තරුණයින් සංඛ්‍යාව එමෙන් තුන් හතර ගුණයකි. පුද්ගල ඝාතන දේශපාලනයෙන් භීතිය, සංත‍්‍රාසය සහ අවසානයේ ව්‍යසනය මිස සමාජ ආර්ථික දේශපාලන ක‍්‍රමය වෙනසකට භාජනය කිරීම සඳහා කිසිදු සාධනීය වැඩ කොටසක් ඉටුකළ නොහැකි බව 1989 අගෝස්තුවලින් පසු බොහෝ දෙනාට පසක් විය.  


(ජවිපෙ 2වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක්‌වා විස්‌තර පළවන මෙම ලිපි මාලාව පිළිබඳ දුරකථන 011-5234384 ලබාගත හැකිය)