කළ පව් පලදී කොටුවා මරුට කොටු වෙයි


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. 

වරපලාන පුෂ්පා එන් පොන්නම්පෙරුම මහත්මිය ලියා එවූ කතාවකි.  

කළ පව් පලදී  කොටුවා මරුට කොටු වෙයි 

මෙය දශක 5කට පමණ පෙර බස්නාහිර පළාතේ පිටිසර ගමක සිදුවූ සිදුවීමකි.  


සමරසිංහ මුදලිගේ හැරිසන් ඔහුගේ උප්පැන්න සහතිකයේ නම වුවද ගමේ කවුරුත් ඔහු හැඳින්වූයේ කොටුවා එසේත් නැතිනම් ‘කොටු හැරිසා’ යන නමිනි. පිරිමි 5 දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස උපත ලද හැරිසන් කුඩා කල සිටම ඉතා දඩබ්බර අයෙකු විය. ඔහු සහෝදරයින් සමඟ රණ්ඩු කර ගනිමින් ගමේ අනෙක් ළමුන් සමගද කුඩා කල සිටම දබර කර ගැනීම හේතුවෙන් හැරිසන්ගේ පියා වන පෑලිස් හැරිසන් දම්වැලකින් බැඳ කාමරයට දැම්මේ වෙන කළ හැකි දෙයක් නැති හෙයිනි.  


මේ හේතුවෙන් හැරිසන්ට එදින සිට කොටුවා යන නම පටබැඳිණි. තරුණ වයසට පත් වෙද්දී කොටුවා උස මහත කාලවර්ණ දේහයකින් යුතු සරම පමණක් අදින බඩ මහත බෙල්ලේ කොටි දත් දෙකක් එල්ලා ගත් සිය දකුණු අතේ බාහුවේ ‘‘මරුවා සමග වාසේ’’ යන්න පච්ච කොටා ගත් පුද්ගලයෙකු විය.  


කොටු හැරිසා ගමට චණ්ඩියෙක් විය. ඔහු සමග දබරයට ගිය කිසිවෙකු ජයක් නොලැබූ නිසා ගමේ කවුරුත් ඔහු සමග රණ්ඩුවට යාමටද බිය වූහ. ගමේ අයට ඔහු කරදරයක් විය. නිසි අධ්‍යාපනයක් යහපත් ඇසුරක් නොලද දුටුවන් බියගන්වන ඔහුගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ හොර අරක්කු පෙරීමයි. එයට අමතරව ගමේ අයගේ කෙසෙල් හොරෙන් කැපීම, හොරෙන් පොල් කඩා විකිණීමද කළේය. වල් ඌරන්ට උගුල් ඇටවීමට හා හාවුන්, ඉත්තෑයන්, මී මින්නන්, තලගොයින් මැරීමටද ඔහු අමතක නොකළේය. කොටු හැරිසා කසිප්පු පෙරන කැලේ මැද පැල්පතේ සෑම දිනකම දඩ මස් වැරදුණේ නැත.

  
දිනක් හාවෙකුට ඇටවූ උගුලට අසුවූ හාවාගේ මව මරා හම ගසන තැනට ආ පැටවා ඒ දෙස බලා සිටියේ මාවත් මරපන් කියන්නාක් මෙනි. කොටුවා ඒ හා පැටවා කූඩයකට දමා ඇති කළේ ඌ ලොකු වූ කල මරා කෑමේ අදහසිනි  


මේ අතර ගමේ ගැහැනුන් නාන තොටුපළවල්වල ළිං අසල හොරෙන් බලාගෙන ඉඳීමද හැරිසාගේ විනෝද‌ාංශයක් විය. දයාවතී සහ සේතන් අප්පුගේ එකම දියණිය වන සඳලතා දුටුවන් වශී කරන රූපයකින් යුක්ත වූවාය. ඇගේ නළල මැද උපන් ලපයක් තිලකයක් සේ තිබූ නිසා ගමේ කවුරුත් ඇයට 'ඩොටී නගා’ යනුවෙන් ඇමතීමට පුරුදු වූහ.  
දිනක් ඩොටී නාන ළිඳ අසල බලා සිටි කොටුවා ඇය කැලයට ඇදගෙන ගොස් දූෂණය කළේය. මෙය කිසිවෙකුට පැවසුවොත් ඇයත් පවුලේ සියල්ලනුත් කපා කොටා මරන බවට පිහියක් පෙන්වා තර්ජනය කළේ. මෙයින් බිය වූ අසරණ ඩොටී මෙය කිසිවෙකුටත් නොකියා කල් ගත කළාය. කොටුවා නැවත නැවත ඇය සොයා පැමිණීම සිදුවිය. කල් යාමේදී ඇය ගැබ්ගත් අතර නිවසේ අය මේ පිළිබඳව ප්‍රශ්න කළ විට ඇය කිසිත් නොකියා සිටියේ මවටත් පියාටත් ඇති ආදරය නිසාය.  


සිය මව නිතර නිතර මේ පිළිබඳව විමසීම නිසා ඇය මහත් අපහසුතාවට පත් වූවාය. මෙය ඉවසා ගත නොහැකි තැන ඩොටී කොටුවා සොයා කැලේ මැද පැල්පතට ගියාය. ටික දිනක් එහි සිටියදී කොටුවා නිතර නිතර ඇය සමඟ ආරවුල් ඇති කර ගත්තේය. දිනක් අැය සමඟ දබර කරගත් කොටුවා කැලේ මැද ගල්තලාවකින් පහළට පෙරළා ඇය මරා දැමීමේ හිත් පිත් නැති නරුමයකු ලෙසිනි.   


මේ බව ඔහුගේ ගෝලයා වන උක්කුවා දුටු අතර මරණ තර්ජන නිසා ඔහුද මුනිවත රැක්කේය. මියගිය ඇයගේ සිරුර රාත්‍රියේ ගම අසල ළිඳකට ගෙන ගොස් දැම්මේ ඇය දිවි නිසා ගත් බව සනාථ වීමටය.   


දිනක් කනත්ත ළඟින් යන කොටුවා ඩොටීගේ මව වන දයාවතී ඇයගේ මිනීවල ළඟ දණ ගසාගෙන ‘‘මගේ එකම දුව මැරූ එකාට හෙණ හතක් වැදියන් යැයි’’ ශාප කරමින් හඬන දෙස බලාගෙන සිටියේය.  


දිනක් රාත්‍රියේ කැලය මැද අරක්කු බැරල් එකක් කර තබාගෙන යන කොටුවාට ඩොටී මැරූ ගල් තලාව දෙසට යන විට මහ වැස්සක් වසින්න පටන් ගත්තේය. මඳක් නැවතී කොටුවා බැරලය බිම තබා ගිමන් හරිද්දී කොණ්ඩය කඩා ගෙන දිග සුදු ගවුමක් ඇඳ ගෙන ඩොටී ගල්තලාව දෙසින් මතුවනවා සේ දැක්කේය.  


බිය වූ ඔහු බැරලය කර තබාගෙන ඉක්මන් ගමනින් පැල දෙසට යද්දී හදිසියේ අකුණු සැරයක් ඔහුගේ දෙපාවලට වැදී විසිවී ගොස් ඒ අසල ඇති පාළු ළිඳට ඇද වැටුණි. ඔහුගේ කොන්ද ඒ තුළ ඇති ගලක වැදී සුෂුම්නාව බිඳී යනු දැනිණි. ළිදේ වතුර සිඳී ඇත. ගල් මුල්වල වැදී සිරුර තුවාල වී වේදනා දෙනවා ඔහුට දැනුණි. දින දෙකක් පමණ මෙසේ සිටින අතර උක්කුවා කොටුවාගේ පැලට ආවේය. පැලේ ඔහු නැති නිසා අවට බලද්දි ළිඳ දෙසින් කෑගසන හඬක් ඇසී ඒ දෙසට දිව ගියේය.  


‘අනේ උක්කුවෝ මාව බේරා ගනින්, බලපන් මට වුණ දේ බැරල් එකත් අරන් එද්දී ඩොටී මගේ පස්සෙන් සුදු ගවුමක් ඇඳන් ආවා. දයාවතී හැමදාම ශාප කරනවා වගේ මට අකුණක් වැදිලා මේකට වීසි වුණා. මගේ ඉණෙන් පහළ පිච්චෙනවා වගේ දනවා බන්, මගේ කොන්ද කැඩිලා මට නැගිටින්න බැහැ. ඒ මදිවට මම මරපු සත්තු මට පේනවා. ඉත්තෑවෝ, හාවො, මම වටේ ඉන්නවා පේනවා. බලපත් පෙරේදා මරපු වල් ඊරිගේ බඩේ පැටවු 4 දෙනෙක් හිටියා. මට වතුර තිබහයි.’ කොටුවා මර බියෙන් කියවන්නට විය. දරාගත නොහැකි වේදනාවෙන් වරෙක ඌරකු මෙන් කෑගැසීය.  


පිපාසයෙන් අත් දෙකෙන් ඉදිරියට ඇදෙයි, නැවත කෑගසයි, මෙය බලාගෙන සිටිය නොහැකි තැන කොටුවා ගොඩ ගැනීමට කිහිප දෙනෙකු අඬගසාගෙන එන්නට උක්කුවා ගමට ගියේය. ගමේ කිසිවකු ඒමට අකමැති වූ අතර අවසානයේ කොටුවාගේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ කොටුවා ගොඩගැනීමට එන විට පිපාසයෙන් බඩගින්නෙන් ද බොහෝ වේදනා විඳි කොටුවා මරුට කොටු වී තිබෙනු ඔවුහු දැක්කෝය.

  
තමා කරන පව් මේ ආත්මයේදීම පලදෙයි. දහසක් බලාපොරොත්තු තියාගෙන හැදූ එකම දියණිය නැතිවීම නිසා දයාවතී අදටත් මැරි මැරී උපදින්නීය. සිය අවසාන කාලයේ වතුර උගුරක්වත් දීමට කෙනෙකු නැතිකමින් ඇය හඬාවැටෙන්නීය.  


සතුන්ගේ ජීවිත විනාශ කිරීමේ පාපයටද ඩොටීගේ ජීවිතය නැසූ පවටද කොටුවාට මේ ආත්මයේදීම විපාක ලැබුණි. මිනිසාට මෙන්ම සතුන්ටද මේ පොළව මත ජීවත්වීමට අයිතියක් ඇත.  

 



කුඩා බුත්ගමුව එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ කතාවකි.  

අනුනට දුන් දුක් පීඩා තමන් කරා එළැඹුණ හැටි  


සොයුරු සොයුරියන් පස් දෙනෙකුගෙන් සමන්විත වූ එම පවුලෙහි දෙවැන්නා වූයේ සරත්ය. හෙතෙම කුඩා අවදියේ සිටම අකීකරු ගති පැවතුම් ප්‍රදර්ශනය කළ අතර, ඉගෙනීමේ කටයුතු පවා අතර මග නවතා දැමුවේය. යොවුන් වියට එළැඹෙන විට ඔහු සුරා පානයටද යොමු වී තිබිණි. ඉන් නොනැවතුණ හෙතෙම තවකෙකු සමග එක්ව හොර සුරා නිපදවීමේ කාර්යයේ ද නිරතවූයේය.  


හොර සුරා ජාවාරම පවත්වාගෙන යනු ලැබුවේ ලඳු කැලෑවකින් වටවූ වෙලක් සමීපයේය. එම වෙලෙහි ඉබ්බන් රාශියක් ඔබ මොබ ඇවිද යනු දැකගත හැකිව තිබුණත්, සරත්ගේ මෙකී ව්‍යාපාරය හේතුවෙන් ඒ බොහොමයකට දිවි අහිමි විය. ඒ කට ගැස්ම පිණිස එම අසරණ සතුන්ගේ ඉරණම විසඳනු ලැබූ හෙයිනි.  


නවකයකු වූ සරත් ගැන එතෙක් කලක් සුරා පෙරීමේ කටයුත්තෙහි යෙදුණු ඇතැමුන් හට ඉවසුම් නොදින. කෙමෙන් එය ගැටුම් ඇතිවීම දක්වා වර්ධනය විය. ඔහු හා ගැටුණ නොයෙක් දෙනා දරුණු තුවාල ලද අතර, ඇතැමෙකු හට දෙනෙත් පවා අහිමි විය.  


ඔහු ප්‍රදේශය පුරා තම අණසක පතුරවාලන්නට වූයේ කිසිදු බියක් නොමැතිවය. කාලයක් ගෙවීයත්ම, සරත්ට එරෙහිව නොයෙක් පැමිණිලි ලැබෙන්නටවීමෙන් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් හට ඔහු අල්ලා ගැනීම අසීරු කරුණක් විය. ඒ සූක්‍ෂම ලෙස හෙතෙම කිහිපවරක්ම ඔවුන්ගෙන් බේරී පලායාමට සමත් වූ බැවිනි.  


සරත් ආරක්‍ෂාව පතා දුර බැහැර පෙදෙසක වෙසෙන තම ඥාතිවරයෙකු සොයා ගියේය. එහි පදිංචිව සිටියේ එම ඥාතියා හා ඔහුගේ මව පමණකි. ඔවුන්ගේ අනුකම්පාව මත සරත් එම නිවසෙහි රැඳුණි.   


මෙලෙස ගත වූයේ දින කිහිපයකි. එම ඥාතියා සුපුරුදු ලෙස එදිනද තේ පිළියෙල කිරීමට සූදානම් වී ගෑස් ළිප දල්වන්නට යෙදුණි. එහෙත් වෙනදා මෙන් ඉන් නිසි ලෙස ගිනි දැල් නිකුත් නොවීය. නැවත නැවත උත්සාහ කළ ද ප්‍රතිඵලය එයම විය. එවිට ඊට හේතු සොයා බැලීමට සරත් ඉදිරිපත් වූ අතර, එදෙසට සමීපව කිසියම් උපාංගයක් ක්‍රියාත්මක කිරීමට තැත් කළේය.  


ගෑස් සිලින්ඩරය එකවරම පුපුරා ගියේ මහ හඬක් නංවමිනි. ඉන් හෙතෙම දරුණු පිලිස්සුම් තුවාල ලද අතර, වේදනාවෙන් කෑ ගසන්නට වූයේය. බියට පත් ඥාතියා අසල්වැසියෙකු හා එක්ව ඔහු නුදුරුව පිහිටි රෝහලට ඇතුළත් කළේය.  


සරත්ගේ මුහුණට හා පපු පෙදෙසෙහි කොටසකටද හානි සිදුවී තිබූ අතර, පොලිස් මුරකාවල් මධ්‍යයේ ප්‍රතිකාර කරනු ලැබීය. අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහු සුවය ලැබීම මෙන්ම දෙනෙතෙහි පෙනුම යළි අත්කර ගැනීමද වෛද්‍ය මතයට අනුව අසීරු කරුණක් විය. සරත් වේදනාවෙන් කෙඳිරි හඬ නගන්නට වූයේ අසරණ වූවෙකු විලසිනි. මෙලෙස සති තුනකට ආසන්න කාලයක් වධවේදනා විඳි හෙතෙම දුක්ඛිත අයුරින් අකාලයේ මිය ගියේය.  


දුසිරිතෙහි හා සත්ව ඝාතනයෙහි යෙදී කොතෙකුත් මැරකම් පාමින් අනුනට දුක් පීඩා ගෙන දෙමින් ඔහු විසින් සිදු කරන ලද පවු කම් බොහෝය. ඒවායේ විපාක වශයෙන් තම දෙනෙතද අන්ධ වී ශාරීරිකව වේදනා විඳ මිය යන්නට සිදුවීම සැබවින්ම කළ කම් මෙලොවදීම පලදීමක් නොවේද?  

 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.  

බුදුපිළිමය කැඩූ පාපතරයා ගසින් වැටී මළේය  


ගමේ පන්සලේ ආභාසය ලබා පස් පවෙන් හැකිතාක් දුරට වැළකුණු ගැමි සමාජයක් එදා ගමේ තිබුණත් හොරුන්, බේබද්දන්, සල්ලාලයන් හා තක්කඩියන්ද ගමේ නොසිටියා නොවේ. වී ගොවිතැනට පමණක් නොව සෑම භවභෝගයක් සඳහාම විස රසායනික පොහොර හා කෘමිනාශක ද්‍රව්‍ය යෙදීමක් සිදුනොවී ගොම පොහොර, කොළ පොහොර, ගෙරීකටු හා කෘමිනාශක වෙනුවට ගමේ පුරාණයේ සිට පැවත ආ ‘‘කෙම් ක්‍රම’’ භාවිතා කළ බැවින් ජව සම්පන්න නිදුක් නිරෝගීමත් ජනතාවක් පුරාණයේ ගමේ ජීවත් වූ බව සත්‍යයකි.  


වැස්සකටවත් පාසලට පන්සලට නොගිය සේතන් තම ජීවිතයේ තරුණ විය ඉක්මවා මැදිවියට පා නැගීමට ඔන්න මෙන්න කියා ඇතත් තවමත් තම වියපත් දෙගුරුන්ගේ පිහිටෙන් ජීවිතය ගෙන ගිය සූදුවට හා සුරාවට ලොල් වූ කාලකණ්ණියෙක් විය. ගමේ කාගේ හෝ සුළු වැඩක්පලක් කර මුදලක් ලැබුණත් හැන්දායාමේ මත්වතුර බී ‘‘යකා නැටීම’’ සේතන්ගේ පුරුද්දක් විය.   


දිනක් ගමමැද වූ ප්‍රජා ගොඩනැගිල්ලේ පුරාණ බෝධිරාජයා අසල තිබූ ගමේ දෙනෝදාහක් දෙනා වැඳුම් පිදුම් කරන පිළිම වහන්සේ අතුරුදන් විය. අසළ කානුවක දමා තිබුණ එහි අත් පා කඩා බිඳ දමා තිබුණ අතර එය සිදුකරන ලද පාහරයා ගැන හෝඩුවාවක් හෝ දැන කියා ගැනීමට ලැබුණේ නැත.  


අධික බීමත්කම නිසා සේතන් මෙම පාහර වැඩේ කළ බවට ගමේ උදවිය සැකකළත් ඒ වගක් නොකියා අලුතින් පිළිමවහන්සේ නමක් වඩා හිඳුවා පෙර පරිදි එහි පුද පූජා කිරීම අරඹන ලද්දේ අපරාධකරුවාට දඬුවම් කිරීම දෙවියන් වෙත බාර කරමිනි.  


දින තුනක් ගත වීමට පෙරාතුව තම වත්ත පාමුල ඇති කොස්ගසක ඉදුණු වරකාගෙඩියක් කැඩීමට ගසට නැග ගත් සේතන් වරකාව කැඩීමට මත්තෙන් අල්ලපු අත්තත් පයගැසූ අත්තත් කැඩී ගස මුල තිබූ ගල්තලාව මතට ඇදවැටුණේය.  


කිසිදු හාවක් හූවක් නොතබා ඔහු ගසෙන් වැටුණු මොහොතේම හිස ගලේවැදී කුඩු පට්ටම්ව ප්‍රාණය නිරුද්ධ විය. ඔහු කරන ලද මහ පොළොව පවා නුහුලන අපරාධය නිසා සේතන්ගේ මාරයා ඉක්මන් වූ බව ගමේ උදවියගේ කතා බහට ලක් වී තිබුණි.  

 


මේබඳු කතා ඔබත් දන්නේ නම් ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්