කරවටක් දියේ ගිලී අවසන් ගමන යන ගැමියෝ


හදන්න ගත් පාලමේ වැඩ අතරමග   

 

අනාරක්ෂිතව ඔය හරහා ගමනක

 

මැතිවරණ ආසන්නයේ දී මෙන්ම මැතිවරණ අවසන් වූ සමයේදීත් ගම් දනව් සිසාරා යන දේශපාලකයෝ ජනතා සුබසිද්ධිය තකා යැයි පවසමින් විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා මුල්ගල් තබන්නේ මහජන මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක්ද ඒ වෙනුවෙන් කාබාසිනියා කරමිනි   


 ජනතා සුබසිද්ධිය පතා යැයි පවසමින් මුල්ගල් තබා ආරම්භ කරන එම ව්‍යාපෘති වැඩ නිමකර සැබෑවටම ජනතා සුබසිද්ධිය සැලසෙන ව්‍යාපෘති බවට පත්කර දෙන්නේ නම් ඒ ඉතා අතළොස්සක් වූ දේශපාලකයින් පිරිසකි. බොහොමයක් මුල්ගල් කැලෑවට යට වී විනාශ වීමට ඉඩ හරින දේශපාලකයෝ යළිත් ඒවා හෙළි පෙහෙලි කරන්නේ තවත් මැතිවරණයක් ආසන්න වෙද්දීය.   


 ජනතා සුබසිද්ධිය වෙනුවෙන් යැයි පවසමින් මහ ඉහළින් උත්සව පවත්වා මුල්ගල් තබා ආරම්භ කළ එබඳු සංවර්ධන ව්‍යාපෘතියක වැඩ නිම නොකිරීම හේතුවෙන් තම අවසන් ගමන යන දිනයේදීත් කරවටක් දියේ ගිලෙමින් බදුලු‍ ඔය තරණය කිරීමට සිදුවූ ගම්මු පිරිසක් පසුගියදා අපට මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන ගම්මානයේ දී හමු විය.   

 


මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන කුකුරුමහන්තැන්න, කොහාන, වැවතැන්න, 11 කණුව, ගල්ගේලන්ද, මාලිගාතැන්න හා ඒ අවට ගම්මාන එම කොට්ඨාසය තුළ පිහිටි අති දුෂ්කර ගම්මාන කීපයකි.   


ගොවිතැනත් එදිනෙදා ලැබෙන කුලී වැඩත් මේ ගම්මුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේය. මෙම ගම්මානවල පිරිස් සිය ගොවි බිම් පිහිටි තල්දෙන, මාලිගාතැන්න වෙල්යායට පිවිසෙන්නේත් ගමේ පොදු සුසාන භූමිය වෙත ගමන් කරන්නේත් ගම දෙකට බෙදමින් ඒ හරහා ගලා යන බදුලු‍ඔය තරණය කිරීමෙනි.   
එහෙත් ඔය හරහා එගොඩ මෙගොඩ වීමට පාලමක් නොමැතිවීම නිසා මෙම ගම්මු නිරන්තරයෙන් ඔයෙන් එගොඩ මෙගොඩ වන්නේ බදුලු‍ඔයේ කරවටක් ගිලෙමෙනි.   


ඒ හේතුවෙන් තමන් පත්ව ඇති දුෂ්කරතාව ගම්මු මෙලෙස විස්තර කළහ.   

 


එස්.එම්. චන්‍ද්‍රපාල මහතා:-   


මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන කුකුරුමහන්තැන්න, කොහාන, වැවතැන්න, 11 කණුව, ගල්ගේලන්ද වගේම මේ අවට ගම්මානවල ජීවත් වෙන්නේ එදිනෙදා කරන ගොවිතැනකින් ජීවත්වෙන පිරිසක්.   


‘‘බොහොමයක් දෙනා සමෘද්ධිලාභීන්. මේ අය කවදාවත් තමන්ගේ මූලික ඉල්ලීම් වෙනුවෙන් සටන් පාඨ කියන අය නෙවෙයි . මේ මිනිස්සු බොහොම අහිංසක විදියට ජීවත් වෙන පිරිසක්.’’   


එස්.එම්. ජයසුන්දර මහතා:-  


‘‘මේ ගම්වල පවුල් හත්අට සීයක සාමාජිකයින් එක්දහස් පන්සීයක් විතර ජීවත් වෙනවා. ගමේ මරණයක් වුණොත් ඒ මරණය අවසන් කටයුතු සඳහා ගමේ සුසාන භූමියට ගෙනියන්න ඕනෑ. සුසාන භූමිය තියෙන්නෙ බදුලු‍ ඔයෙන් ඒහා පැත්තේ මාලිගාතැන්න වෙල පාමුල. ඒ නිසා මිනිය සුසාන භූමියට ගෙනියනවා නම් අනිවාර්යයෙන්ම බදුලු‍ ඔය හරහා අරගෙන යන්න ඕනෑ. නමුත් ඔය හරහා පාලමක් නැති නිසා මිනිස්සු එදා ඉඳලම කරන්නේ ඔයේ කරවටක් ගිලෙමින් මිණීපෙට්ටිය උස්සගෙන එහා ගොඩට යන එක.   
 හදිස්සියෙවත් වැහැලා ඔයේ වතුර වැඩි වුණොත් වතුර බහිනකන් ඔය ඉවුරට වෙලා මිණියත් තියාගෙන බලාගෙන ඉන්න වෙනවා. එහෙම නැති නම් වැලි පාරුවක තියලා පෙට්ටිය ගැට ගහලා තමයි එහා ගොඩට අරගෙන යන්නේ.   


 ආර්.එම්. කරුණාපාල මහතා:-   


‘‘ගමේ හැමෝගෙම වතුපිටි කුඹුරු තියෙන්නේ ඔයෙන් එගොඩ මාලිගාතැන්න කොටසේ. ගොවිතැන් කරන අය නිරන්තරයෙන් ඔයෙන් එගොඩ වෙලා තමයි වගාබිම්වලට යන්න ඕනෑ. විශේෂයෙන්ම වැහි කාලෙට ඔයෙන් එගොඩ වෙන්න බැහැ. එතකොට එක්කෝ වතුර බහිනකම් ඉන්න ඕනෑ එහෙම නැත්නම් උඩහින් හරි පල්ලෙන් හරි කිලෝමීටර් තුන හතරක් වටේ ගිහින් පාලමකින් එගොඩ වෙලා තමයි වැඩට යන්නේ. වැඩට යනකොට දවසින් බාගයක් ඉවරයි. සමහර වෙලාවට මේ වතුර වැඩි වෙලාවට මිනිස්සු ඔයේ බැහැලා ඒගොඩවෙන්න ගිහින් වතුරේ ගහගෙන ගිහිල්ලා අනතුරට ලක් වෙලත් තියෙනවා.’’   


 ‘‘මිනිස්සු ජීවිත අවදානම නොතකා හරි ඔයෙන් එගොඩ වෙන්නෙ තමන්ට ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය වෙච්ච ගොවිතැන කරගන්න. එහෙම නැත්නම් අවසන් ගමන් යන දවසට මිනිය අරගෙන යන්න.’’  
‘‘ගම්වල මිනිස්සු විඳින මේ කරදර ගැන අපි හැමදාම ගමට ආව දේශපාලකයින්ට කියනවා. ඒ අයත් පොරොන්දු දීල අපේ ඡන්ද අරගෙන යනව. ඊට පස්සේ ඒ අය දකින්න වෙන්නේ ඊළඟ මැතිවරණය ආසන්න වෙද්දී .   


‘‘පහුගිය කාලය පුරාම අපි මේ දුෂ්කරතාව ගැන දේශපාලකයින්ට කීව. ඒකේ ප්‍රතිපලයක් විදිහට තමා පහුගිය යහපාලන ආණ්ඩුව මේකේ වැඩ පටන්ගත්තේ. ඒ අය මිනිස්සු එහා මෙහා ගිය තොටුපළ හාරල බැමි දෙක තුනක් බැන්ද. ඊට පස්සේ ඒ අය ආගිය අතක් නැති වුණා. දැන් අපිට කලින් වතුරෙ බැහැල ගිය තොටුපළත් අවහිර වෙලයි තියෙන්නේ. අඩුම තරමේ මේ ගැන අහන්න බලන්නවත් කෙනෙක් නැහැ.   


මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී සමන්ත කුමාර මහතා:-   


‘‘මමත් මේ ගමේම පදිංචි අයෙක්. බදුලු‍ ඔයේ අහස්මංකඩ කියන මේ තොටුපළට පාලමක් ඉතාම අවශ්‍යයි. මෙතෙන්ට පාලමක් දාගන්න මමත් විශාල මහන්සියක් දරනවා. කොහොම වුණත් පාලමේ වැඩ බාගයක් කරගෙන යද්දි තමා මෙහෙම අතරමග නැවැතුනේ.   


‘‘මම මේ ගැන හොයල බැලු‍ව එතකොට දැන ගන්න ලැබුණ පාලමට අවශ්‍ය යකඩවල හිඟයක් තියෙනව කියල. කොහොම වෙතත් වත්මන් ආණ්ඩුවේ සහාය අරගෙන මේ ව්‍යාපෘතිය ඉක්මනින් අවසන් කරන්න කටයුතු කරන බව ප්‍රකාශ කරනවා.   


මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා:-  


‘‘පහුගිය යහපාලන ආණ්ඩුව සමයේ මේ ප්‍රදේශවල ආරම්භ කළ ව්‍යාපෘති රැසක්ම මේ විදියට අතරමග නවතා දමා තිබෙනවා. මාර්ග, පාලම් රැසක් ඊට ඇතුළත්. නමුත් අපි වත්මන් රජයට මෙම තත්ත්වය පෙන්වා දීමෙන් අනතුරුව ඉතා කඩිනමින් මෙම අඩක් අවසන් කළ ව්‍යාපෘතිවලට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් සහ ඒවාට සම්බන්ධ නිලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය තීන්දු තීරණ ගෙන මෙම ව්‍යාපෘති ජනතා සුබසිද්ධිය සඳහා වැඩ නිම කර දීමට කටයුතු කරන බව ප්‍රකාශ කරනවා.’’   


කෝටි ප්‍රකෝටි ගණනින් වැය කරමින් රට තුළ සිදුකරන මහා ව්‍යාපෘති හා සැසඳීමේදී බදුලු‍ඔය හරහා ඉදිකිරීම් අත්හිටුවා ඇති මෙම පාලමට වැයවනු ඇත්තේ ඉතා සුලු‍ මුදලකි. ඇතැම් විට ආදාළ මුදල් ද මේ වන විට වෙන්කර ඇතිවා වෙන්නට පුළුවන. බෙහෝ විට මෙවැනි ව්‍යාපෘති අතරමග හිර වී ඇත්තේ කොන්ත්‍රාත්කරුවන්ගේ හෝ මේ සම්බන්ධයෙන් වගකීම් දරන නිලධාරීන්ගේ අතපසුවීම් නිසා වන්නට පුළුවන. එසේ නොමැතිනම් දේශපාලනික නායකත්වයේ අඩු ලු‍හුඬුකම් නිසා වන්නට පුළුවන. එම නිසා තම අවසන් ගමන් යන දිනයේදීත් හූල්ලමින් ඔය හරහා එහා මෙහා යන බදුලු‍ ඔයෙන් මෙපිට ගම්මානවල ජනතාව වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්යේ වගකීම් දරන දේශපාලකයින් මැදිහත්ව මෙම පාලම නුදුරේදීම ඉදි කෙරෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කරති.   

 

 

සටහන සහ ඡායාරූප   
වියලු‍වේ නිශාන්ත කුමාර