කරතේලිස් මුදලාලිට කළකම් පලදුන් හැටි


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවූ කතාවක් මෙසේය.   

මිනිසුන් රැවටූ මාටියා දුක් විඳ මිය යයි  


වත්මන් සමාජයේ බොහෝ විට අපට හමුවන්නේ රැවටිලිකරුවන්ය. කුමන මොහොතක හෝ රැවටිලිකාරයකුට හසු වේ දැයි විමසිලිමත්ව සිටීමට සිදුව ඇත. දිළින්දන් අතර පමණක් නොව ධනවතුන් අතර ද රැවටිලිකරුවෝ සිටිති. එපමණක් නොව දේශපාලකයන් අතර ද රැවටිලිකරුවෝ සිටිති. මෙය කියවන ඔබ ද ජීවිතයේ එක් වරක් හෝ රැවටිලිකරුවකුට අසුවන්නට ද ඇත. මිනිසුන් රැවටීම වනාහි ඉතා පහත්, නින්දිත ක්‍රියාවකි. බුදු දහමට අනුව නම් එවැනි රැවටිලිකරුවන් හඳුන්වන්නේ වසලයන් වශයෙනි. වසල සූත්‍රයේ බුදු හිමියෝ ඒ බව පෙන්නුම් කොට වදාළහ.   
“යෝ බ්‍රාහ්මණංවා සමණංවා අඤ්ඤංවාපි වණිබ්බකං මුසාවාදේන වංචේති, තංජඤ්ඤෝ වසලෝ ඉති” යනුවෙන් යමෙක් ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් අන් කිසි යාචකයකු හෝ කවරකු වුව ද මුසාවාදයෙන් නොහොත් බොරුවෙන් වංචා කරන්නන් ද හෙතෙම වසලයකු බවට පත් වෙයි.   


මෙම කරුණ පරාභව සූත්‍රයේ ද ​ෙමසේම දක්වා ඇත. එවැනි වංචනිකයන් ‘තං පරාභවතෝමුඛං’ යනුවෙන් පිරිහීමට පත් වන බව එහිදී බුදු හිමියෝ පෙන්වා දුන්හ. පිරිහීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න විමසා බැලීම සුදුසු වේ. බොහෝ දෙනා සිතන්නේ ආර්ථික පරිහානිය පමණක් පිරිහීම යනුවෙනි. මිනිසුන් පරිහානියට පත්වන අංශ කිහිපයක් ඇත. ආර්ථික පිරිහීම ද එක් අංශයකි. ශරීර සෞඛ්‍යය පිරිහීම ද තවත් අංශයකි. මිනිසුන්ගේ ඇවතුම් පැවතුම්, විවිධ ක්‍රියාකාරීකම් නිසා ශරීර සෞඛ්‍යය පිරිහෙයි. උදාහරණයක් වශයෙන් දුම්බීම, මත් වතුර බීම, මත්ද්‍රව්‍ය පාවිච්චිය, වැරදි කාම සේවනය වැනි කරුණු නිසා සෞඛ්‍ය තත්ත්වය පරිහානියට පත්වෙයි. එය ආර්ථික පරිහානියට ද හේතු කාරක වන කරුණකි. සමාජමය වශයෙන් පරිහානියට පත් වීම තවත් එක් අංශයකි. ඇතැම් අයගේ ක්‍රියාකලාප නිසා ඔවුහු සමාජයෙන් කොන් වෙති. සමාජයෙන් කිසිදු ගරු සරු බවක් නොලබති. ඔවුන් ඇසුරු කිරීමට කිසිවෙක් ප්‍රිය නොකරති. හුදෙකලා වූවෝ බවට පත් වෙති. ඔවුන්ගේ දූ දරුවන් පවා එම ඉරණමට ​ගොදුරු වෙති. එපමණක් නොව රැවටිලිකරුවෝ, බොරුකරුවෝ වශයෙන් ප්‍රසිද්ධියට පත් වී නිරතුරුවම සමාජයෙන් ගැරහුම් නින්දා අපහාස ලබති. කරන පව්කම් නිසා මරණයෙන් පසු අපාය ආදී දුගතියෙහි උපදිති.   


වත්මන් සමාජයේ රැවටිලිකරුවෝ බොහෝ සිටිති. නූගතුන් අතර පමණක් නොව, උගතුන් අතර ද රැවටිලිකාරයෝ සිටිති. රට වැසියන් මෙන්ම පාලකයන් අතර ද රැවටිලිකරුවෝ සිටිති. මහජනයා රවටා මුදල් හරි හම්බ කරන පැවිද්දන් මෙන්ම වෙනත් ආගමික පූජකයෝ ද සිටිති. අද වනවිට සැදැහැති බොදුනුවන් රවටා මුදල් හරි හම්බ කරන පැවිද්දෝ (චීවරධාරීහු) විශාල වශයෙන් සිටිති. ඒ අතරට චීවරධාරී කාන්තා​වෝ, සිල්මාතාවෝ, (මෙහෙණින්ය යි කියා ගන්නා) ද සිටිති. ධාතූන් වහන්සේලා යයි කියමින් විවිධ දෙය ප්‍රදර්ශනය කර මුදල් හම්බ කරන කටයුතු සිදු වෙයි. සර්වඳා ධාතු, රහත් ධාතු මෙන්ම අසූ මහා ශ්‍රාවකයන්ගේම ධාතු ප්‍රදර්ශනය කරති. එපමණක් නොව මහාප්‍රජාපතී ගෝතමී වැනි ශ්‍රාවිකාවන්ගේ ධාතුන් වහන්සේලා යයි කියමින් ප්‍රදර්ශනය කරති. ඉතිහාසයෙහි කවරදාවත් නැති තරමින් අද වනවිට ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරති. ඇතැම් ස්ථානවල ඍධියෙන් වැඩිය ධාතුන් වහන්සේලා යයි කියමින් ප්‍රදර්ශනය කරති. එක නමක් නොව, දෙනමක්, තුන් නමක් වශයෙන් පහළොස් නමක් ද ධාතුන් වහන්සේලා වැඩිය බව පවසමින් සැදැහැවතුන් මුළා කරන ස්ථාන පිළිබඳ අසන්නට ලැබෙයි. ඔවුන්ගේ කරඬු තුළට මෙසේ ධාතුන් වහන්සේලා වඩින්නේ ඔවුහු ඉතා හොඳට පුද පූජා පවත්වන නිසා බව ද කියති. නික්ලේශි බුදුවරු හෝ උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩි වැඩියෙන් පුද සත්කාර අපේක්ෂාවෙන් එවැනි ස්ථානවලට වඩින බව පැවැසීමෙන් ඔවුහු බුදුවරුනට ද අපහාස කර පව් පුරවා ගනිති.   


ඇතැම් ස්ථානවල කල්ප ගණනාවකට පෙර වැඩ විසූ අටවිසි බුදුවරයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරති. මේවා තිරුවානා ගල් කැබලි, සත්ත්ව ඇට කැබලි, පේර ඇට, අශ්ව ලොම් වැනි දේවල් බව දන්නේ ඔවුන් පමණකි. මක් නිසාද යත්? මේවා පරීක්ෂා කර බැලීමට කිසිවකුටත් ඉඩ නොදෙන බැවිනි. මෙවැනි අකටයුතු සඳහා ඇතැම් ජනමාධ්‍යයන් ද අනුග්‍රහ දැක්වීම කනගාටුවට කරුණකි. ආගමික පූජකයන් පමණක් නොව බොහෝ දේශපාලකයෝ ද බොරු පොරොන්දු දෙමින් ජනතාව මුළා කරති. බොරු පොරොන්දු දෙමින්, ජනතාව මුළා කරමින් කටයුතු කිරීම මගින් අපායට යන මංපෙත් හෙළි පෙහෙළි කර ගනිති. ඇස්වහ, කටවහ, අනවිණ, හදි හූනියම්, භූමි පාළු, ග්‍රහ අපල, යක්ෂ ප්‍රේත දෝෂ ආදී මේ සියල්ල ලෝකයෙහි බොහෝ නොදියුණු මිනිසුන්ගේ සිත් සතන් තුළ සැඟව පවතින විශ්වාසයන්ය. බුද්ධිමත් බවින් අඩු නොදියුණු මිනිස් සමාජයෙහි මෙවැනි මිථ්‍යාව එළිපිටම දැකගත හැකිය. මිනිසුන් තුළ පවත්නා මෙබඳු විශ්වාස දඩමීමා කරගෙන තමන්ගේ බඩ වියත රැක ගැනීමට කටයුතු කරන ජාවාරම්කාරයන් මෙන්ම කාරියන් ද සිටින බව දිනපතා සතිඅන්ත පුවත්පත් ඇතුළු ජනමාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම්වලින් පැහැදිලි වෙයි. සමාජයේ සිටින විවිධ රැවටිලිකරුවන් නිසා නිරතුරුවම පරීක්ෂාවෙන් සිටීමට සිදුව ඇත. එවැනි රැවටිලිකරුවන්ට අසු වූ බොහෝ දෙනෙක් ධනය මෙන්ම චරිතය ද විනාශ කරගන්නා ලද අවස්ථා පිළිබඳ නිතර අසන්නට ලැබෙයි. තරුණියන් මෙන්ම, තරුණයන් ද රැවටීමට පත්ව, ජීවිත පවා නැති කරගත් අවස්ථාවන් ගැන අසන්නට ලැබෙයි. එසේ මිනිසුන් රවටා ධනය හරි හම්බ කරගත් බොහෝ දෙනා අවසන් කාලයේ ඉතා දුක්ඛිත ලෙස මිය පරලොව ගිය බව අපි දන්නෙමු. එක් නිදසුනක් පමණක් සඳහන් කරමි.   


මධ්‍යම පළාතට අයත් එක්තරා ගම්මානයක විසු ඔහු කවුරුත් අඳුනන්නේ, මාටියා යන නමිනි. හරි හමන් රැකියාවක් නැති ඔහු අඹු දරුවන් පෝෂණය කළේ මිනිසුන් රවටා මුදල් හම්බ කිරීමෙනි. ඕනෑම පුද්ගලයකුගේ කනින් රිංගා යාම ඔහුට ඉතා පහසු වැඩකි. වටිනා මැණික් ගල් යයි පවසා වීදුරු කැබලි අලෙවි කර කාන්තාවන් රවටා මුදල් හම්බ කළේය. අනුන්ගේ ඉඩම්වලට හොර ඔප්පු සකස් කර අලෙවි කර මුදල් හම්බ කළේය. වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම ඔහුගේ ගැටවලට අසු විය. වරක් වටිනා කාරයක් අඩු මුදලට ලබා දෙන බව පවසා භික්ෂූන් වහන්සේලා නමක්ගෙන් මුදල් ගසා කෑවේය. පන්සලක තිබූ කුළු බඩු ගෝනි කිහිපයක් වැඩි මිලට අලෙවි කර දෙන බව පවසමින් රැගෙන ගොස් යළි පන්සල පැත්තටවත් නොගියේය. නිධානයකින් ලැබුණ වටිනා වස්තුවක් යයි කියමින් පිත්තල දේව රූප අලෙවි කිරීමේ අපූරු ජාවාරමක් ඔහු විසින් සිදු කරන ලදී. හෙතෙම පිත්තල භාණ්ඩ නිපදවන තැනකින් අඩු මුදලට ලබා ගන්නා භාණ්ඩ නිවසට ගෙන ගොස්, ගිනි මැලයක දමා පුලුස්සයි. එසේ පිලිස්සීමෙන් පසු ඒවා පෞරාණික වස්තු වශයෙන් දැකිය හැක. මේවා දෙස් විදෙස් සංචාරකයන්ට අලෙවි කර විශාල වශයෙන් මුදල් උපයයි. ඉතා රහසිගතව සිදු කරන මෙම ජාවාරමට හසු වූ කිසිවෙකුත් නීතියේ පිළිසරණ සොයා යන්නේ ද නැත. ඇතැම්විට දුර බැහැර ගම්වලට ගොස් තම ගමෙහි විහාරස්ථානයේ අලුතෙන් ඉදි කරන බුදු මැඳුරට ආධාර වශයෙන් මුදල් සම්මාදන් කරයි. එපමණක් ​ෙනාව වකුගඩු රෝගියකුට දීමට යයි කියමින් මුදල් එකතු කරයි. මෙම කිසිදු මුදලක් අදාළ කටයුතු සඳහා භාවිත නොකරයි. හවස් යාමයේ ඇති පදමට මත් වතුර බොයි. ගෙදර උදවියගේ අවශ්‍යතාවන්ට සොච්චම් මුදලක් දෙයි.   


මෙසේ අදහමින්, බොරුවෙන්, වංචාවෙන් මුදල් ඉපැයූ මාටියාට වැඩි කාලයක් මෙය කරගෙන යාමට නොහැකි විය. ඔහු රෝගියකු බවට පත් විය. නිසි ප්‍රතිකාර නොලැබූ හෙතෙම ඔත්පල තත්ත්වයට පත් විය. මුලින් බිරිඳ සහ දරුවන් ඔහුට ආහාර පාන ලබා දුන්නත් ඔවුහු ද ක්‍රමයෙන් ඔහුගෙන් දුරස් වූහ. ආහාර නොමැතිව කුසගින්නේ දින ගණන් සිටියේය. ඇවිද ගැනීමට නොහැකි වූ බැවින් හුන් තැනම මළ මුත්‍රා පහ කළේය. පිරිසිදු කිරීමට කිසිවකුත් නොසිටි බැවින් ඔහු වෙතින් නිකුත් වූයේ අධික දුර්ගන්ධයකි. පිටෙහි හටගත් තුවාල නිසා මහත් දුකක් වින්දේය. ඔහු වේදනාවෙන් නඟන හඬ ගම්මානය පුරා පැතිරුණි. සති කිහිපයක් තිස්සේ මෙලෙස දුක් විඳි මාටියා එක්තරා දිනක අවසන් හුස්ම හෙළුවේය. බොරුවෙන් වංචාවෙන් අනුන් රවටමින් මුදල් උපයන කොයි කාටත් මාටියාගේ ජීවිතය තුළින් ආදර්ශයක් ගත හැකිය. පව්කම් කළ හොත් මේ ජීවිතයේදීම දුක් විපාක ලැබෙනු ඇත. පරලොව ගියත් ඔහුට සුගතියක් නම් අත් නොවන්නේමය.  

 



පාදුක්ක බෙලිඅත්විල කේ.කේ. පියරත්න ලියා එවූ කතාවක් මෙසේය.   
කරතේලිස් මුදලාලිට කළකම් පලදුන් හැටි
මෙයට වසර ගණනාවකට පෙර වාර්තා වූ සිද්ධියකි.   


ගමේ කවුරුත් විසින් කරතේලිස් මුදලාලි හමින් හඳුන්වනු ලබන මොහු ගමේ ගොඩ මඩ ඉඩම් අක්කර ගණනාවක් හිමි ගමේ යමක් කමක් තිබූ අයෙක් වූ අතර එම ගම් පළාතට තිබෙන එකම සිල්ලර කඩය වූයෙත් කරතේලිස් මුදලාලිගේ සිල්ලර කඩයයි.   


මොහුගේ තිබෙන ඉඩම්වල ගවයන් ද ඇති කළ අතර ගව පාලනය සඳහා සේවකයෝ දෙදෙනෙක් ද මොහුගේ ගව මඩුවල සේවය කළහ.   


ගමේ ජනයා මොහුගේ සිල්ලර කඩයෙන් තමන්ට අවශ්‍ය කළමනා ගත් අතර ගමේ හදිසි මඟුලක් මරණයක් වූ විට කරතේලිස් මුදලාලිගෙන් ගැමියන් මුදල් ණයට ගත් අතර ඉන් පසු ඒ සඳහා පොලියක් ද කරතේලිස් මුදලාලි අය කරයි.   


එසේ ගත් මුදල් කලට වේලාවට ගෙවීමට නොහැකි වූ විට කරතේලිස් මුදලාලි ඒ වෙනුවට ඉඩම් කැබැල්ලක් හෝ කුඹුරු කැබැල්ලක් හෝ තව සුළු මුදලක් දී කරතේලිස් මුදලාලි තමා සන්තක කර ගනියි.   


කරතේලිස් මුදලාලිට ගමේ අනියම් බිරින්දෑවරු කීප දෙනෙක් ද වූහ. කරතේලිස් මුදලාලි ඒ සඳහා ඔහු අත දිග හැර වියදම් කළ අතර ඔහු ඔවුන්ට ගෙවල් ද සාදා දී තිබුණි.   


එකල අද මෙන් කාර් රේස් නොතිබුණු අතර ඒ කාලයේ නම් තිබුණේ තිරික්කල් කරත්ත රේස් තරගයි.   


කරතේලිස් මුදලාලි ද දක්ෂ තිරික්කල් රේස්කරුවෙකි. එම පළාතේ සෑම අවුරුද්දක් පාසාම තිරික්කල් රේස් සංවිධානය කෙරේ.   


එ් සඳහා කරතේලිස් මුදලාලි ඔහුගේ ගව ගාලේ ගොනුන් පුහුණු කර ඇත. ඒ සඳහා ඔහුගේ තිරික්කල් රේස් කරත්තයක් ඇත.   


​ෙමම තිරික්කල් රේස් තරගය සඳහා සිට පළාත්වලින් ද තරගකරුවෝ සහභාගී වෙති.  

 
සෑම අවුරුදු රේස් තරගයක් පැමිණි දිනකම කරතේලිස් මුදලාලි ජයග්‍රහණය කරනු ලබයි. මොහු එදිනම ජයග්‍රහණය කිරීමෙන් පසුව උජාරු ලීලාවෙන් රේස් පිටියෙන් පිටව යයි.  


​ෙමසේ කාලය ගෙවී ගිය අතර යළිත් වරක් නව අවුරුදු උදාවත් සමඟ තිරික්කල රේස් දින උදා වූ අතර කරතේලිස් මුදලාලි ගොනා බැඳි තිරික්කලය සමඟ තිරික්කලයේ ගෙජ්ජි හඬ නංවමින් තමන්ගේ උඩු රැවුල කරකවා කරේ පටි ලේන්සුවක් ගැට ගසා ඉණේ පටි ලේන්සුවක් මැද පලේකාඩි සරම කැහැපට ගන්වා පැමිණියේය.   


ඔහුගේ ගෝලබාලයෝ ද මෙම තරග පිටියට ඔහුට සහයෝගය සඳහා පැමිණෙති.   


ගමේ වැසියෝ ද මොහුගේ අනියම් බිරින්දෑවරු ද මෙම තරගය නැරඹීම සඳහා යහුසුලුව පැමිණෙති.  


කරතේලිස් මුදලාලි පරාජය බාර ගැනීමට සෑම විටම නොකැමති පුද්ගලයෙක් විය.   


මෙදින සියල්ලන්ගේම ඔල්වරසන් මැද තරගය ආරම්භ කෙරිණි.   


කරතේලිස් මුදලාලි රැවුල කරකවා විසිල් හඬක් දී තම ගොනුට කෙවිට පාරවල් කීපයක් දී තරගය ආරම්භ කළේය.   
අනිත් තරගකරුවනුත් ඒ ආකාරයෙන් තරගයට අවතීර්ණ වූ අතර හරි හරියට තරගකරුවෝ තරගයේ යෙදෙති. මෙසේ කරතේලිස් මුදලාලි ගොනුට පහර දී දන්නා හැම ක්‍රමයක්ම යොදා තිරික්කල් තරගයේ නියැළෙයි.   


මෙසේ අවසාන මොහොතේ ඔහුට ජයග්‍රහණය කිරීමට නොහැකි විය.   


ඉතාමත් වේදනාවක් කෝපයක් සහිතව කරතේලිස් මුදලාලි ගෙදර පැමිණියේය.

  
පසු දින කරතේලිස් මුදලාලි තිරික්කලයේ බැඳි අර අහිංසක ගොනා මස් කඩයට දක්කනු ලැබීය.   


කරතේලිස් මුදලාලිගේ මෙම අමන ක්‍රියාවට ගමේ වැඩිහිටියන් කම්මුලේ අත ගසාගත් අතර මොහු ගැන දන්නා ගමේ වැඩිහිටියෝ මේ ගැන මොහු හා විවාදයකට නොගියහ.   


මෙසේ කාලය ගෙවී යන අතර නැවතත් නව වසරක් උදාවීමත් සමඟ නැවත කරතේලිස් මුදලාලි තමන්ගේ තිරික්කලයට ඔහුගේ ගවගාලේ පුහුණු කරන ලද වෙන ගොනෙකු තිරික්කලයට බැඳ ඔහුගේ ගෝල බාලයිනුත් සමඟ තරග පිටියට පැමිණි අතර අනිකුත් තිරික්කල් තරගකරුවෝ තමන්ගේ ගොනුන් බැඳි තිරික්කල් ද සමඟ තරගයට පැමිණි සිටියහ.   


කරතේලිස් මුදලාලි පලේකාට් සරම ඇඳ උඩු රැවුල ඇඟිල්ලෙන් කරකවා පටි ලේන්සුව කරේ බැඳ තරගයට සූදානම් විය.   


සුබ මොහොතින් තරගය ආරම්භ විය. කරට කර තරගකරුවන් තම තිරික්කල් දක්කන අතර කරතේලිස් මුදලාලි ද විසිල් එකක් ගසා කෙවිටෙන් පහර කීපයක් ගොනාට එල්ල කළ අතර කරතේලිස් මුදලාලි      ගේ තිරික්කලය ද වේගයෙන් ගමන් කරන අතර අනිකුත් තරගකරුවෝත් එක හා සමානව තරගයේ යෙදෙති.   


මෙතෙක් ඉතා වේගයෙන් කඳුකර මාවත් දිගේ තිරික්කල්කරුවන් යන අතර කරතේලිස් මුදලාලි තම ගොනාට වේගයෙන් පහර කීපයක් ගැසූ අතර වේගයෙන් තිරික්කලය කඳුකර මාවතක යන අතර කරතේලිස් මුදලාලිගේ කරත්තය රළු බොරළු පාරේ රෝදය ගලක වැදී කරත්තය විසි වී යනවාත් සමඟ කරතේලිස් මුදලාලි විසි වී ගොස් හෙළකට වැටුණේය.  


ඒ අතර ඔහු වැටී තිබුණේ ගල් තලාවක් මතටයි. තරගය නරඹමින් සිටි අසල්වාසීන් දුවගොස් කරතේලිස් මුදලාලි වැටී සිටි ගල් තලාවක් මතට ඉතාමත් අමාරුවෙන් බැස ගොස් බලන කල කරතේලිස් මුදලාලිගේ ප්‍රාණය ඔහු හැර ගොස් තිබුණි.   


ඔහුගේ තිරික්කලයේ හිර වී සිටි ගොනා ගම්වාසීන් විසින් නාස් ලණු කපා බේරා ගනු ලැබීමට හැකි විය.   
මේ පිළිබඳව ගමේ වැඩිහිටියන් කරතේලිස් මුදලාලිට මෙලොවදීම තම කළකම් ඵල දුන් බව ගම්මුන් කියනවා ඇසිණි.   

 

 

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්න​කෝන්