කඳු මුදුනක ජීවත්වෙන අසරණ දරු පැටව්


 

පසුගිය 2016 වසරේ මැයි මාසයේ අම්බුළුවාව නාය ගිය කුණු කන්ද ඉස්මත්තේ මාවනැල්ලට අයිති කැලෑ බද බිම් කඩක අහල පහළ කිසිම නිවසක් නැති ඉතා දුෂ්කර කඳු මුදුනේ අසරණ පවුලක් දරුවන් 5 දෙනෙකු සමගින් අඩි 8 ක වපසරියකින් යුතු ඉටි රෙදි සහ දිරා ගිය ටකරන්වලින් මෙන්ම ලී කැබැලිවලින් අටවා ගත් නිවසක ජීවත් වන්නේ ඉතා අපහසුවෙනි. එම කඳු වැටියේ සිට බලන විට ඈතින් පේන අම්බුළුවා කඳු මුදුනෙන් මෙන්ම හෙම්මාතගම අවට පහත් බෑවුමේ වට කඳු පන්තියෙන් දැඩි සීත සුළං ඔවුන් සිටින කුඩා නිවස පිහිටි ස්ථානයට හමා එයි.   


වසර 6 කට වැඩි කාලයක් අම්බුළුවාව ප‍්‍රදේශයේම ඉඩමක තනි කාමරයක් පමණක් ඇති කුඩා නිවසක ඔවුන් ජීවිකාව පවත්වාගෙන ගෙන ගොස් ඇත්තේ එම ඉඩම බලා කියා ගනිමිනි. එහෙත් පසුගිය මාස දෙක තුනකට කලින් අයිතිකරුවන් එම ඉඩම විකුණා දැමීම නිසා ඔවුන් එය අත්හැර අම්බුළුවාව නාය ගිය කුණු කන්ද ආසන්නයේ රජයේ ඉඩමක මෙම කුඩා පැල්පතේ ජීවිකාව පවත්වාගෙන යයි.   


මෙහි ජීවත් වෙන අඹුසැමියන්ගෙන් පිරිමි දමිළ ජාතික පුද්ගලයා නමින් එස්. මහේන්ද්‍ර කුමාර නම් වෙයි. ඔහුට දැනට වයස අවුරුදු 41 කි. ඇයගේ බිරිඳ නමින් සෝමසිරි චිත‍්‍රංගනී නම් වන අතර ඇයට වයස අවුරුදු 28 කි. මේ දෙදෙනාට වයස අවුරුදු 11, 10, 5, 3, 1 වයසේ පසුවෙන පිරිමි දරුවන් 4 දෙනෙකු සහ එක් ගැහැණු දරුවකු සිටී. මහේන්ද්‍ර කුමාරට ස්ථිර රැකියාවක් නොමැති අතර ඔහු කුළී වැඩ කරමින් බිරිඳ සහ දරුවන් 5 දෙනා ජීවත් කරවයි. මෙයින් එක් පිරිමි දරුවා සහ ගැහැනු දරුවෙකු පාසල් යන අතර ඔවුන් පාසල් යන්නේ ගම්පොල ප‍්‍රදේශයේ ඇති පාසලකටයි.   
මහේන්ද්‍ර කුමාර උදෑසනම කුලී වැඩ සඳහා පිටත්ව නිවසින් බැහැරවන විට ඔහු සමග පාසල් ගොස් නැවත පියා වැඩ අවසන් වී නිවසට පැමිණෙන විට දරුවන් නිවසට පැමිණෙන අතර සමහර අවස්ථාවන්වලදී හෙම්මාතගම බස් රථයෙන් පැමිණ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට යන බස් නැවතුමෙන් මෙම දරුවන් දෙදෙනා බැස තනිවම මෙම කැලෑව මැදින් සිය නිවස පිහිටි කඳු මුදුන බලා යයි.   


තම ස්වාමියා මෙන්ම වැඩිමහල් දරුවන් දෙදෙනා පාසල් ගොස් නිවසට පැමිණෙන තුරු ඉතිරි දරුවන් තිදෙනා රැක බලා ගනිමින් කඳු මුදුනේ කාත් කවුරුත් නැති ඉලුක් මානා පඳුරුවලින් වැසී ගිය කැලෑව මැද මේ මව දරුවන්ගේ කටයුතු කරමින් ජීවිකාව පවත්වාගෙන යයි.   


සුළං සමග වැසි පවතින අවස්ථා කිහිපයකදීම එම නිවසේ වහලය මෙන්ම නිවස ඇතුළතද තෙමී ගොස් ඔවුන් ගස් යටට වී රාත‍්‍රී කාලය ගත කළ අවස්ථා ද ඔවුන් සමග කථා බහ කරන විට අපට දැන ගැනීමට හැකි විය. මෙම කැලෑබද කොටසේ උරග සතුන් මෙන්ම ඌරන්ද වෙනත් සතුන්ද බහුලව සිටී.   


අපේ රටේ අසරණ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිවෙන කාල වකවානුවක ඔවුන් පවසන්නේ තම දුක කියා ගැනීමට කෙනෙකු නොමැති බවයි. වරක් මෙහි පැලක් අටවා ගෙන සිටින විට මෙම රජයේ ඉඩම බදුගෙන ඇති හිටපු දේශපාලකයකුගේ අගමැතිගේ ගෝලයන් පිරිසක් පැමිණ ඔවුන් එලවා දැමීමට කටයුතු කළ බවද මේ අසරණයෝ කියති.   


ඔවුන්ට නැදෑයන් මෙන්ම සහෝදර සහෝදරියන් සිටියත් ඔවුන්ද ඉතා අසරණ අය වන බව මහෙන්ද්‍ර කුමාර පවසයි. ඔහු නාවලපිටිය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු වන අතර මේ දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවයක් මත විවාහ වී ඇත්තේ දඹුල්ල ප‍්‍රදේශයේ මහෙන්ද්‍ර කුමාර කුළී වැඩ කිරීමට ගොස් සිටියදීය. ඇය දඹුල්ලේ කාන්තාවක් වන අතර කොපමණ අග හිඟකම් තිබුණත් සිනා මුුසු මුහුණින් දරුවන්ගේ කටයුතු කරමින් ජීවිකාව ගෙනයන්නේ ස්වාමියා වෙනුවෙන් තිබෙන සෙනෙහසත් දරුවන් වෙනුවෙන් තිබෙන ආදරයත් නිසාය. 

 
දෙවියන්ට පමණක් පේන දුක ඈත අහස දෙස බලමින් ඉතා සංවේගයෙන් නෙතට උණන කදුළු පිස දමමින් අපට මහෙන්ද්‍ර කුමාර තම පවුලේ කථාව මෙලෙසින් පවසන්නට විය.   


“අපි දෙන්නා ආදරය කරලා විවාහ වුණා. නමුත් මට ඉන්න කියලා ස්ථිර ගෙයක් තිබුණේ නැතත් මම වැඩ කරපු තැන් කිහිපයක තාවකාලිකව කුලී ක‍්‍රමයට අපි මුලින් ජීවත් වුණා. දරුවන් ඉපදුනාට පස්සේ අග හිඟකම් ක‍්‍රමයෙන් ඇති වෙන්න ගත්තා. ඊට පස්සේ අපි අවසානයේ අම්බුළුවාවේ මහත්තයෙකුගේ ඉඩමක තිබුණු මේ ගෙදර විතරම කුඩා පැල්පතක ජීවත් වුණා. ඒ ගෙදර අපි 5 දෙනාට නිදා ගන්න විතරයි ඉඩ තිබුණේ.   


අවුරුදු 6 කට වැඩිය අපි ඒ ගෙදර හිටියා. ඒ මහත්තයා ඉඩම විකුණනවා කියලා අපිට මාසයක් ඇතුළත අයින් වෙන්න කීවත් අයින් වෙලා ඉන්න තැනක් හොයා ගන්න බැරි වුණා. කුලී නිවාස තිබුණත් ඒ ගෙවල්වල ජීවත් වෙන්න තරම් මම හොයන පඩිය මදි. සමහර දවස්වල වැඩත් නැහැ. නමුත් දරුවන් බඩගින්නේ තියන්න මට බැහැ. අපි බඩ ගින්නේ ඉඳලා ඒ අයගේ කුස ගින්න පුරවන්න වුණු දවස් අපේ ජීවිතයේ අනන්තවත් තිබුණා.   

 

 

මේ ගෙදර ඇතුළේ අපි නිදා ගන්නවා තමයි මහත්තයෝ වහිනකොට මේ ගේ ඇතුළට වතුර එනවා. ඒ වේලාවට දරුවන් විතරක් එක පැත්තක උසින් හදලා තියෙන බංකු කෑල්ලක නිදි කරවාගෙන අපි තේ කහට බීලා එළිය වැටෙනකම් ඇහැරගෙන බලා ඉන්නවා. ඒ වාගේම තමයි මේ තැනට පුදුම සුළං තමයි එන්නේ. මේ වහල දෙපාරකට වැඩිය සුළංවලට හසු වෙලා කැඩුණා. අපිට වෙන කිසිම දෙයක් ඕනෑ නැහැ, අපිට ඉන්න හිටින්න තැනක් ලැබුණොත් ඒ ඇති. වෙන කිසි දෙයක් ඕනෑ නැහැ. මට මොනවා හරි කුලී වැඩක් කරලා පොඩි එවුන්ගේ කුස ගින්න නිවන්න පුළුවන්” යැයි පැවැසීය.   


මේ ස්ථානයට යන්නට පාරක් ද ඇත. එසේ මෙම කඳු මුදුනට පාරක් සදා ඇත්තේ වසර ගණනක් ගම්පොල නගර සභාව මගින් මේ ආසන්නයේ ස්ථානයකට කැළි කසළ බැහැර කිරීම නිසාය. අද එහි කැළි කසළ නාය යෑමෙන් පසුව බැහැර කිරීම සිදු වන්නේ නැති අතර එම මාර්ගය මත රෙදි කැබැලි සහ ඉරුණු පැදුරු කෑලි කිහිපයක් දමා ගෙන මේ දරුවන් දවල් කාලයට නිදා ගැනීම සෙල්ලම් කිරීම හා පාඩම් කිරීම, අකුරු ලිවීම යන ආදිය සිදු කරන අයුරු දකින විට ඕනෑම කෙනෙකුගේ හිතට දුකක් දැනෙන්නේ මෙවැනි අසරණ පිරිසක්ද අපට නොපනෙන පරිසරයක සිටින බව දැනෙන විටයි.   


නිවසට පිටුපසින් පිරමීඩයක් මෙන් ඉටි රෙද්දකින් රුකුල්ලාගත් වැසිකිළිය දැක ගත හැකි වෙන අතර මේ කඳු මුදුණේ ජලය ඇති හෙයින් නිවසට මීටර් 50 ක පමණ දුරින් කානුවකින් පහත් බෑවුමට ජලය ගලා ගෙන යයි.   


නිවසේ මුළුතැන් ගෙයත් පාසල් පොත් බෑග් සහ ඇඳුම් පැළඳුම් මේ කුඩා කොටසේ එල්ලා ඇති අතර සුනඛයන් තිදෙනෙක්ද මේ නිවසේම ජීවත් වෙන අයුරු අපට දැක ගත හැකි විය. මෙවැනි ස්ථානයක කුඩා දරුවන්ට සුදුසු පරිසරයක් නොතිබුණත් ඒ පරිසරයට මේ දරුවන් හැඩ ගැසී ඇති අතර වයස අවුරුදු 1 වන කුඩා දරුවාද එලෙස හැඩ ගැසී ඇත. එහි ගිය අපට මහෙන්ද්‍ර කුමාරගේ ආදරණීයට බිරිඳ චිත‍්‍රාංගනීද අදහස් දක්වමින් මෙසේ පැවැසුවාය.   


“මාගේ මහත්තයාට ලෙඩක් වුණොක් අපි ගොඩාක් අසරණ වෙනවා. මොකද අපි ජීවත් වෙන්නේ එයා කීයක් හරි හොයා ගන්නා වැටුපෙන්. අපිට ගෙයක් නැති නිසා කොහොම හරි ජීවත් වෙන්න ඕනෑ නිසා මේ රජයට අයිති ඉඩමේ අපි ඉන්නවා. මොනවා කරන්නද, කාට කියන්නද ඇමැති කෙනෙක් හම්බෙන්න ගියත් අපි වාගේ අසරණ මිනිහෙකුට ඇමැති කෙනෙක් ගාවටවත් යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ මහත්තයලා අපේ දුක බලන්න ආපු එක ලොකු පිංකමක් ලෙසයි මම නම් දකින්නේ. වෙන මොනවත් එපා. ඉන්න ගෙයක් ලැබුණොත් ඒ ඇති.” වෙන කිසිම දෙයක් අවශ්‍ය නැති බව ඇය පැවසීය.   


කෙසේ වෙතත් මෙම නිවස සහ මේ පවුල පරීක්ෂා කිරීමට රජයේ නිලධාරින් දෙදෙනකු පැමිණ ඇතත් මේ වනතුරුත් පිළිතුරක් ලැබී නැති බවද දැන ගන්නට ලැබිණ.   


ඔවුන් මේ කාලයේ පවතින දැඩි සීතල හේතුවෙන් එම නිවස ඉදිරිපිට ගිනි මැල ගසා ගනිමින් රැය පහන් කරන අන්දමද එහි ගිය අපට දැක ගැනීමට හැකි වූයේ එම දිනයේ සවස් කාලයේ සිටම රෑ බෝ ​ෙවන තෙක්ම අප මෙම අසරණ පවුලේ විස්තර කථා කිරීමට එහි රැඳී සිටි නිසාය. ජංගම දුරකථනයක්වත් නොමැති හරි හමන් ලිපිනයක්වත් නැති මේ පවුල වෙනුවෙන් උදව් උපකාර කිරීමට කැමැත්තක් ඇත්නම් ගම්පොළ හෝ හෙම්මාතගම නගරයේ සිට බස් රථයකින් පැමිණ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය අසළින් බැස අම්බුළුවාව කුණු දමන කඳු මුදුන වෙත ගොස් ඔවුන්ගේ නිවස තෙක් ගමන් කළ හැකිය.

 

 

 

 

 

 

 

 

 


ජායාරූප හා සටහන 
මාවනැල්ල හෙම්මාතගම 
සමන් විජය බංඩාර