ඕස්ට්‍රේලියා​නු රජයේ හමුදාවට එක්වූ ශ්‍රී ලාංකික තරුණිය


 

ඕස්ට්‍රේලියාවේ හමුදාවේ මෙහෙයුමකට මේ අවුරුද්දේ යන්න තියෙනවා. උසස් හමුදා නිලධාරින් ඒ බව මට දැනුම්දී තිබෙනවා. ඒත් ඒ මෙහෙයුම මොන වගේ එකක්ද කියලා නැහැ. මෙහෙයුම ආරම්භ කරන්න සති දෙකකට විතර කලින් තමා ඒ ගැන විස්තර අපට දැනුම් දෙන්නේ. ඊට පස්සෙත් ඒ ගැන පිටස්තර කාටවත් කියන්න තහනම්. ඒ තමා හමුදා නීතිය. කොච්චර බැරෑරුම් හා අවදානම් සහගත වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය පුහුණුවීම් ලබාගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියා හමුදාවට බැඳුණාට පස්සේ සහභාගි වෙන්න යන මුල්ම මෙහෙයුම මෙය නිසා​ මට එය සොඳුරු අත්දැකීමක් වේවි කියා සිතනවා යැයි ඕස්ට්‍රේලියා රජයේ හමුදාවේ රාජකාරි කරන පළමු ශ්‍රී ලාංකික සෙබළිය වන ජූඩිත් රොනාෂා ප්‍රනාන්දු මෙනවිය කීවාය.   


මේ සොඳුරු යුවතිය එහෙම කිව්වේ බොහොම සැහැල්ලුවෙනි.   


ඒ සැහැල්ලු වදන්පෙළින් කියාපෑවේ ඇය සතුව තිබෙන එඩිතරකම හා නිර්භීතකම යැයි මට සිතුණි.   


නුහුරු නුපුරුදු රටක සීතලේ ගැහෙමින් සියුමැලි යුවතියක් ගිනි අවියක් අතදරා හමුදා මෙහෙයුමකට සහභාගි වෙනවා යැයි කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ.   
එහෙත් ඒ සඳහා අවැසි ආත්ම විශ්වාසය ඕනෑවටත් වඩා ඇයට තිබෙන බව නම් පැහැදිලිය.   


ඕස්ට්‍රේලියාවේ යුද හමුදා සේවයට එක්වීමෙන් පසු ජූඩිත් රොනාෂා මෙනවිය මව්බිමට පා තැබුවේ පළමු වරට පසුගිය සිකුරාදාය.   


වයික්කාලේ ජනතාව මව්බිමට අභිමානයක් ගෙනා මේ දිරිය දියණිය රොනාෂා පිළිගත්තේ ඉමහත් හරසරිණි.   


ඇය වෙනුවෙන් දේව මෙහෙයක් වයික්කාල දේවස්ථානයේ දී පවත්වනු ලැබුවේ මීසම පාලක සුජාන් නිශ්ශංක පියතුමාණන් විසිනි.   


රොනාෂා සමග දොඩමලු වෙන්නට පටන් ගත්තේ ගමන් විඩාවත් අමතක කරමිනි.   


මගේ මව් බිමට පා තැබූ ඒ මොහොතේ මට දැනුණු සතුට සැහැල්ලුව කියා නිම කරන්න බැහැ. ඕස්ට්‍රේලියාවේ සිටියත් හැමදාම මම සිතින් ඉන්නේ මගේ මව් බිමේ. ඒ තරමට මම මගේ මව් රටට ආදරේ යැයි ඇය පවසන්නීය.   


ඕස්ට්‍රේයාවේ මවුන්ට්විල් ප්‍රදේශයේ පිහිටි හමුදා කඳුවරේ තමා මම රාජකාරි කරන්නේ. පසුගිය දවස්වල ඒ පළාතෙ ලොකු ගංවතුරක් ආවා. ගංවතුරට කොටු වී සිටි ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහභාගි වුණා. ඒ රටේ මිනිසුන් ගැහැනු පොඩි ළමයි පවා මුදා ගැනීමට ලැබීම ගැන මට ඇත්තේ අපමණ සතුටක්. වෙහෙසක් මහන්සියක් දැනුණේ නැහැ. එක දිගටම ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම්වලට දායක වුණා.   


පසුගිය කාලයේ මම සංඥා ක්‍රමයට පණිවිඩ හුවමාරු සම්බන්ධව පුහුණුවීම් ලැබුවා. මෙය මගේ ඉදිරි හමුදා ජීවිතයට ලොකු රුකුලක් වෙනවා. මේ වසරේ කරන්න යන හමුදා මෙහෙයුමට කලින් පුහුණුවීම් ලබාදෙයි. ඒවටත් මා සූදානම් විය යුතුයි. ඒ රටේ ඉන්නේ නීතිගරුක විනයගරුක හමුදාවක්. සෑහෙන කාලයක් මේ හමුදා මෙහෙයුම පැවැත්වෙනවා කියලා නම් දැන ගැනීමට තිබෙන්නේ. සංඥා ක්‍රම හා පණිවිඩ හුවමාරු පාඨමාලාවක් හැදෑරුවෙත් ඒ නිසා තමා.   


ඕස්ට්‍රේලියාවේ යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් නිලයක් මා දැනට දරනවා. ළඟදීම කෝප්‍රල් නිලයට උසස්වීම සඳහා වන විභාගයට පෙනී සිටිනවා. එරටේ හමුදාවේ උසස්ම නිලයට යාම තමා මගේ එකම අරමුණ. ඒ අපේක්ෂාව යථාර්ථයක් කර ගැනීමට කැපවීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරනවා. දැන් මා හමුදාවේ ලිපිකාරිනියක ලෙස සේවය කරනවා.   
වෙන්නප්පුව වයික්කාල පදිංචි ජූඩිත් රොනාෂා මෙනවිය දංකොටුව බාලිකා විද්‍යාලයෙන් අ​.පො.ස. උසස් පෙළ හදාරා වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ 2012 වසරේදීය.   


එරට විශ්වවිද්‍යාලයකින් මානව සම්පත් හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබාගත් රොනාෂා හමුදා සේවයට එක්වී පසුගිය වසරේ  පුහුණුවීම් අවසන් කර ඇත්තේ ඒ වසරේම අගෝස්තු මාසයේය.   


මම දංකොටුව බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ උප ප්‍රධාන ශිෂ්‍යනායිකා තනතුර දැරුවා. පාසල් නෙට්බෝල් කණ්ඩායමෙත් සාමාජිකාවක්. හෙල්ලය විසි කිරීමෙන් හා යගුලිය දැමීමේ ක්‍රීඩා ඉසව්වලින් දස්කම් පා ජයග්‍රහණ රැසක් ලබාගත්තා. ඒ කාලයේ අපේ පාසලේ විදුහල්පතිනිය වූයේ නායනමඩමේ මේරි බියට්‍රිස් කන්‍යා සොහොයුරියයි. මේ අවස්ථාවේ විදුහල්පතිතුමිය ගෞරවයෙන් සිහිපත් කරනවා. යළි ඕස්ට්‍රේලිවට යාමට කලින් විදුහල්පතිතුමිය බැහැ දැකීමට යාමට බලාපොරොත්තු වෙනවා යැයි රොනාෂා මෙනවිය පැවසුවාය.   


ඕස්ට්‍රේලියා හමුදාවට තරුණ තරුණියන් බඳවා ගන්නා බව එරට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමෙන් පසු රොනාෂා ද ඒ සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කළාය.   

 

පුහුණුව අතරතුර

 

 


ඒ හා සම්බන්ධව ​​තොරතුරු හෙළි කරමින් ඇය පැවසුවේ මෙවැනි කතාවකි.   


මට මේ අයැදුම්පත ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ඒ වෙනකොටත් මට ඒ රටේ පුරවැසිකම ලැබී තිබුණ නිසයි සම්මුඛ පරීක්ෂණයට මාව කැඳෙව්වේ. ශාරීරික හා මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් පැවති පරීක්ෂණ වලදී මා ඉහළින්ම සමත්වුණා. ඊට පස්සේ තමා මාව හමුදාවට බඳවා ගත්තේ. මාස හයක පුහුණුවක් ලැබුවා එයින් මුල් මාස තුන යුද පුහුණුව හා ගිනි අවි පරිහරණය සම්බන්ධයෙන් ද ඉතිරි මාස තුන හමුදා පරිපාලනය සම්බන්ධයෙන් පුහුණුවීම් ලබා ගත්තා.   


යුද පුහුණුවීම් ලබා ගත්තේ ඉවසන්න බැරි සීත කාලයක. ඒ පුහුණුව අතිශයින්ම දුෂ්කරයි. කටුකයි. කැළෑවක දවස් නවයක්ම එක දිගට ගරිල්ලා සටන්ක්‍රම පිළිබඳව පුහුණුවීමක් ද ලබා ගත්තා. කැළෑවේ තනියම බංකරයක් කපාගෙන තනියම තමා රාත්‍රි කාලය ඒ ඒ දවස් නවය භූගත බංකරයේ ගත කළේ. ඒ කාලය තුළ අපිට නාන්න ඇඟ හෝදන්න හා මුහුණ හෝදන්න තහනම්. කොණ්ඩය පවා පීරන්න තහනම් කරලා තිබුණා.   


කිලෝ 35ක විතර බර බෑග් එකක් කරේ එල්ලාගෙන කිලෝ 4 1/2ක විතර බර ගිනි අවියක් සුරතේ දරාගෙන මාස තුනක පමණ කාලයක් සීතලේ ගැහෙමින් රොනාෂාව කටුක පුහුණුවකට ඔරොත්තු දී ඇත්තේ පාසල් කාලය පුරා ක්‍රීඩා ඉසව්වලට සහභාගි වීමෙන් ලත් පන්නරය හා ඈ තුළ තිබූ යෝධ ආත්ම ශක්තිය නිසාය.   


මාත් එක්ක යුද පුහුණුව ලැබූ ඒ පැටුන් එකේ දකුණු අප්‍රිකානු තරුණියක් හා ඕස්ට්‍රේලියන් තරුණියක් ඇතුළු 57ක් විතර සිටියා. එක් තරුණියක් පුහුණුවීම්වලදී පාදයක් ආබාධ වී ඉවත් වී ගියා. අනෙක් තරුණිය පුහුණුවීම් දරාගත නොහැකිව ඉවත්ව ගියා යැයි රොනාෂා පැවසුවාය.   


කිලෝ 35ක පමණ බරක් කරේ එල්ලාගෙන කිලෝ 4 1/2ක පමණ බර ගිනි අවියක් අතේ දරාගෙන කිලෝ මීටර් පහක් පමණ දුරක් දුෂ්කර මාවත් ඔස්සේ එක දිගට දිව්ව ආකාරයක් අතිදුෂ්කර පුහුණුවීම් ගැනත් ඇය මෙනෙහි කළේ සිනාසෙමිනි.   


රොනාෂා යුද පුහුණුවීම් අවසානයේ ඉහළම ලකුණු මට්ටමට ඇය පැමිණ තිබුණාය.   


මම එරටේ හමුදාවේ ලිපිකාරිනියක්. ඒ රටේ හමුදාවේ 350කගේ වැටුප් සැදීම හා පරිපාලන කටයුතු කරන්නේ මම. එහෙත් රට තුළ යුදමය වාතාවරණයක් ඇති වුනොත් ඒ රාජකාරියට යාමට මා බැඳී සිටිනවා. ඒ නිසා තමා අපට යුද පුහුණුවීම් ලබාදුන්නේ. ඒ ඕනෑම දෙයකට මුහුණ දෙන්න මම සූදානම් වෙලා තමා හමුදාවට බැඳුණේ. ශ්‍රී ලාංකික තරුණියක් තමන්ගේ රටේ හමුදාවට බැඳුණේ එරට හමුදා ඉතිහාසයේ පළමු වතාවට කියා හමුදාවේ උසස් හමුදා නිලධාරීන් කිව්වම මට සියුම් ආඩම්බරයක් ඇතිවුණා. එය මගේ උපන් බිම වෙනුවෙන් ඇතිවූ ආඩම්බරයක්.   


අපේ රටේ ඉන්න කාලෙත් හමුදාවට බැඳෙන්න ලොකු ආශාවක් තිබුණා. අධ්‍යාපන කටයුතුවලට ඕස්ට්‍රේලියාවට ආව නිසා එ් ආශාව ඉටුකර ගන්න බැරිව ගියා. 

 
ඒ රොනාෂාගේ හඬයි.   


මම විවාහ ගිවිස ගන්නවා ලබන වසරේ ජනවාරි මාසයේ. ලංකාවට ආවට පස්සේ විවාහ වෙනවා. මගේ අත ගන්නේ ගුවන් සේවාවක එයා ක්‍රාෆ්ට් මිකැනික් කෙනෙක්. එයා වෙන්නපුවේ පදිංචි කෙනෙක්. මගේ අම්මා තාත්තා වාගේම මගේ මේ ජයග්‍රහණ පසුපස එයත් ඉන්නවා යැයි රොනාෂා කිව්වේ දහසකුත් එකක් අනාගත බලාපොරොත්තු හදවත තුළ පොඳි බැඳගෙනය.   


වෙන්නප්පුව වයික්කාලේ පදිංචි රොනාෂාගේ පියා චන්දන ප්‍රනාන්දු වන අතර මව චාන්දනී ප්‍රනාන්දුය.   


චන්දන මහතා මෝටර් රථ ව්‍යාපාරිකයෙකි.   


රොනාෂාගේ නැගණිය ද ඕස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය හදාරන අතර ඇයගේ සොහොයුරා ජපානයේ සිටින අතර ඇයත් සමග මේ දෙදෙනා මෙවර ලංකාවට පැමිණ ඇත.   
රොනාෂා ගැන තොරතුරු ලබා ගැනීමට අන් අයුරින් උදව් උපකාර කළ වයික්කාල පදිංචි විශ්‍රාමික බැංකු නිලධාරියෙකු වන බොස්කෝ කරුණාරත්න මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.   

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය