ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකික කාන්තාවක්


 

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වන මැකෝරි සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලාංකික කාන්තාවක වන ෂෙමාරා වික්‍රමනායක මහත්මිය පත්ව සිටින්නීය. 


ඔස්ට්‍රේලියාවේ මැකෝරි සමාගම ලොව පුරා පැතිර ඇති වත්කම් කළමනාකරණ සමාගම් ජාලයකි. රටවල් 25ක් පුරා ව්‍යාප්තව ඇති එම සමාගම් සමූහයේ සේවක සංඛ්‍යාව 14,000ක් පමණ වන අතර මූලස්ථානය පිහිටා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේය. එම සමාගම මගින් ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 495ක පමණ වන වත්කම් කළමනාකරණය කෙරේ. 
එංගලන්තයේ සේවය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුගේ දියණියක ලෙස 1962දී එරටදී උපත ලද ෂෙමාරා වික්‍රමනායක මහත්මිය ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. කලක් බ්ලේක් ඩෝසන් වොල්ඩ්රෝන් සමාගමේ, සමාගම් පිළිබඳ නීතිඥවරියක වශයෙන් සේවය කළ ඇය මැකෝරි සමාගම් ජාලයේ සේවයට එක් වූයේ 1987 වසරේය. 


එම සමාගමේ සමූහ ප්‍රධානියා ලෙස රටවල් හයක සේවය කර ඇති ඇය ප්‍රධාන පෙළේ ඔස්ට්‍රේලියානු සමාගම් 20ක් අතුරින් ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක්වන්නීය. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් 200ක් අතරින් ප්‍රධාන විධායක තනතුරට පත් ප්‍රථම ආසියානු කාන්තාව මෙන්ම ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන කාන්තාව වන්නේද වික්‍රමනායක මහත්මියයි. 


මැකෝරි සමාගම තම මූල්‍ය ව්‍යාපාර ජාලය සඳහා මැකෝරි යන නම යොදා ගනු ලැබූවේ මේජර් ජනරාල් ලච්ලන් මැකෝරි සිහිපත් කරනු සඳහාය. ඔහු ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වාණිජ බැංකුව හා ප්‍රථම මුදල් නෝට්ටුව හඳුන්වාදීමේ පුරෝගාමීන්ගෙන් කෙනෙකි. 

 

ෂෙමාරා වික්‍රමනායක මහත්මිය සහ ඉවත්ව යන නිකලස් මුවර් මහතා

 


එම සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ නිකලස් මුවර් මහතාය. දස වසරක කාලයක් එම තනතුර හෙබවූ ඔහු නොවැම්බර් 30 වැනි දින සිට සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ 30 වසරක පමණ අත්දැකීම් ඇති 56 හැවිරිදි ෂෙමාරා වික්‍රමනායක මහත්මිය මැකෝරි සමාගමේ සය වැනි විධායක නිලධාරියාය. එහි විවිධ තනතුරු හොබවන ලද ඇය නවසීලන්තය, හොංකොං හා මැලේසියාවේ ආයතනික උපදේශක කාර්යාල පිහිටුවීමට පුරෝගාමී වූවාය. 2004 වසරේ උතුරු ඇමෙරිකානු රටවල් සඳහා යටිතල පහසුකම් සැලසීමේ අරමුණින් ඇය අරමුදලක්ද ආරම්භ කළාය. 


වාණිජ බැංකු කටයුතු පිළිබඳ විශ්ලේෂකයන් වික්‍රමනායක මහත්මියගේ නව පත්වීම අගය කර තිබේ. මූල්‍ය විශ්ලේෂකයකු වන ජේම්ස් තොම්සන්, වික්‍රමනායක මහත්මිය හඳුන්වන්නේ සුක්ෂ්ම බුද්ධියක් හා විශිෂ්ට ගනුදෙනු පහසුකම් සලන්නියක ලෙසිනි. නොවැම්බර් 30 වැනිදා නව තනතුරේ වැඩ භාරගත් වික්‍රමනායක මහත්මිය අනාගතයේ කාන්තාවන් වැඩි පිරිසක් ව්‍යාපාරික ලෝකයට කැඳවීම තම අරමුණ යැයි පවසා තිබේ. 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා