ඕරාවෙන් පෙන්වන අමනුෂ්‍ය බලවේග


මිනිසුන්ට පීඩා ඇති කරවන අමනුෂ්‍ය බලවේග ඇති බව කවුරුත් දන්නා සත්‍යයකි. මනුෂ්‍යයින් නොවන යක්ෂ,​ ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදීන් පමණක් නොව උසස් ශක්තීන් ඇති දෙවියන් පවා අමනුෂ්‍යයින් හැටියට බුදු දහමේදී පවා හඳුන්වයි.  


මේ අමනුෂ්‍යයින් භෞතික ශරීර ඇති ජීවීන් නොවන අතර ආත්ම තම ශරීරය කොට ගත් සියුම් ජීවීන් කොටසකි. නමුත් මනුෂ්‍ය නම් සත්ත්වයා වනාහි මනස, ආත්මය, ශරීරය යන කොටස් තුනෙන් යුතු බලවත් ජීවියෙකි. මනුෂ්‍යයින්ට කළ හැකි දෑ බොහෝය. මෙම අමනුෂයින් මිනිස් ශරීරයන්ට ඇතුළුවන අවස්ථා අප දැක ඇත. ගමේ ගොඩේ සමහර කාන්තාවන්ට යකුන්, පෙරේතයින් ආවේෂ වී දඟලන අයුරු අප දැක ඇත. පිරිත් ගෙවල් වලදී පිරිත් ඇසෙන විට ඔළුව කරකවමින් ආරූඪවන කාන්තාවන් පිරිමින් අප දැක ඇත.  
බෙර හඬ ඇසෙන විට පවා කිසිම ලැජ්ජාවක් නැතිව සෙනඟ මැද්දට පැන නටන කාන්තාවන් අප දැක ඇත. මේවා බොරු මිත්‍යා නැතහොත් හිස්ටීරියා කියා ඉවත දමන්නේ භෞතිකවාදීන්ය. නමුත් මේවාහි ඇති හරය, ගැඹුර දකින්නට නම් උසස් මනසක් ඇත්තෙකු විය යුතුය. පෙර සිටි සෘෂිවරු මේ බලවේග හඳුනාගෙන ඒවාට ප්‍රතිකර්ම ලෙස ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවේද භාවිත කළහ. අපි අමනුෂ්‍ය බලවේගයකින් පීඩාවට පත්වූ අයට ප්‍රතිකර්ම කිරීමට යන්ත්‍ර මන්ත්‍ර, බලි, තොවිල් අාදී ක්‍රමවේද භාවිත කරමු. නවීන විද්‍යාව කෙතරම් දියුණු වුවද මේවාට ප්‍රතිකර්ම යෙදීමට පමණක් නොව හඳුනා ගැනීමට පවා අපොහොසත්ය.  


නමුත් කිරිලියන් තාක්ෂණය සොයා ගැනීමෙන් පසුව මිනිස් සිරුර වටා ඇති රශ්මි වළල්ල හඳුනා ගත හැකි විය. එසේම මිනිස් සිරුරේ ඇති චක්‍ර හත පිළිබඳව ඉපැරණි ශාස්ත්‍රවල දැක්වේ. මෙම චක්‍ර හත හඳුනා ගැනීමේ හැකියාව නවීනතම ඕරා තාක්ෂණයට හඳුනා ගැනීමට හැකි වීමත් සමගම ශරීරයේ තිබෙන සියුම් දෝෂ හඳුනා ගත හැක.  
කිසියම් කෙනෙකුගේ ශරීරයට යම් අමනුෂ්‍ය බලවේගයක් ඇතුළුවී ඇත්නම් ඕරාව දුර්වල කරන අතර අඳුරු පැහැති කළු වලාකුළු වැනි ස්වභාවයකින් ඕරාව වැසී යයි. එසේම පහළින් ඇති මූලාධාර චක්‍රය ඉහළින් ඇති සහශ්‍රා චක්‍රය යන දෙකම ඇතුළුව තවත් චක්‍ර කිහිපයක් දුර්වල වී පෙන්නුම් කරයි.  


ඒවායේ ඇති රතු දම් වැනි වර්ණ තුළ කළු පැහැති ලප හෝ දැල් පෙන්නුම් කරයි. මෙසේ මේ චක්‍ර දුර්වල වූ විට ඕරා ශක්තිය 40% පමණ මට්ටමකට පහළට වැටේ. සාමාන්‍ය පුද්ගලයෙකුගේ වුවද ඕරා බලය 50% ක් පමණ වන අතර මෙවැනි දුර්වලතා ඇති අයෙකුගේ ඒ මට්ටම 40% දක්වා පහළ වැටීම මෙවැනි පීඩාවක් ඇති බවට සාධකයකි. එසේම සුසුම්නාව දෙපසින් ඇති ඉඩා, පිංගලා නාඩි දෙක මෙවැනි අවස්ථාවලදී දුර්වල කොට පෙන්වයි. මෙම ඉඩා, පිංගලා නාඩි දෙක නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දුර්වල කායික හා මානසික තත්ත්වයක් ඇති කරයි.  


මෙසේ කායික හා මානසික දුර්වල පුද්ගලයාගේ පෙනුම පවා අතිශයින් දුර්වල තත්ත්වයක පවතී. ශරීරය කෘෂ වී දුර්වල තත්ත්වයකට පත්වන අතර ඇස් යට ගිලී සුදුමැළි පාණ්ඩු ගතියක් ශරීරයේ පෙන්නුම් කරයි. මෙවැනි පීඩා ඇති අයට ශාරීරික හා මානසික හැකියාවන් ඉතාමත් දුර්වල තත්ත්වයක පවතී. ඕරා ඡායාරූපවල කළු පැහැති වලාකුළු ස්වභාවයක් දිස් වන්නේ නම් එය මෙවැනි අමනුෂ්‍ය පීඩාවක් ඇති බවට භෞතිකව සනාථ කළ හැකි සාධකයකි.  


දැනට අප විසින් අමනුෂ්‍ය පීඩා ඇති කිහිපදෙනෙකුගේම ඕරා පරීක්ෂා කර ඇති අතර ඒ සියලුම දෙනාගේ ඕරාවන් මෙසේ දුර්වල තත්ත්වයක පවතී. එසේම යම් අමනුෂ්‍ය බලවේගයකට ශරීරයට ඇතුළුවීමට හැක්කේ දුර්වල මනසක්, ශරීරයක්, ආත්මයක් ඇති විටකය. ඕරා පරීක්ෂණයේදී මනස, ආත්මය, ශරීරය යන ත්‍රිත්වය කුමන අනුපාතයකට තිබේදැයි පරික්ෂා කෙරේ. එබැවින් දුර්වල මනසක් ඇති අය බොහෝදුරට මෙවැනි පීඩාවන්ට ගොදුරු වේ.   


කේන්දර පරීක්ෂාව තුළින් අමනුෂ්‍ය බලවේග හඳුනා ගන්නා ක්‍රමවේද ඇත. අසුභ සෙනසුරුට ​කේතු යෝග වීම, රවි හා සඳු (ආත්මය හා මනස) පාපීන්ට යෝග වීම. ලග්නයේ පාපීන් සිටීම යන කරුණු වලින් කේන්දර බලා අමනුෂ්‍ය බලවේග ඇති බව හඳුනා ගනී. නමුත් එය ජන්ම කේන්දරය වන අතර යමෙකු එයට ප්‍රතිකර්ම යොදා එය ඉවත් කළහොත් කේන්දරය බලා අමනුෂ්‍ය බලවේග ඇතැයි කීම බොරුවක් වීමටද ඉඩ ඇත.  


නමුත් ඕරා පරීක්ෂණයේදී එය පරික්ෂා කරන අවස්ථාවේදී පවතින තත්ත්වය එහි පෙන්නුම් කරන නිසා එවැනි අමනුෂ්‍ය බලපෑම් තිබේනම් එය ස්ථිරවම කිව හැක. එසේම යන්ත්‍ර පැළඳීම වැනි ක්‍රියාවලින් අමනුෂ්‍ය බලවේග ඉවත් කළ හැකි අතර යමෙකු පැලඳ සිටින්නා වූ එවැනි යන්ත්‍රයකින් එවැනි දෝෂ ඉවත් වී තිබේදැයි පරීක්ෂා කළ හැක.  
මා හට හමුවූ අමනුෂ්‍ය බලවේග සහිත පුද්ගලයින් අතර ඉතාමත් පහත් මට්ටමේ ප්‍රේතයින් වැනි අමනුෂ්‍යයින් මෙන්ම, උසස් මට්ටම්වල අමනුෂ්‍යයන්ද දැක ගත හැකි විය. එවැනි උසස් අමනුෂ්‍යයන් විසින් චක්‍ර දුර්වල කිරීමක් නොකොට ඕරාව බලවත් කොට අදාළ පුද්ගලයාට යහපතක් සිදුකරන ආකාරය පෙන්නුම් කරයි. එවැනි අයගේ ඕරාව බලවත් වී තිබෙන අතර සහශ්‍රා චක්‍ර අනෙක් චක්‍රවලට වඩා බලවත්ය.  


දකුණු පළාතේ වයස අවුරුදු 70 වක පමණ පුද්ගලයෙකු ඕරාව පරරීක්ෂා කිරීමට පැමිණි අතර ඔහුගේ ඕරාවෙන් නිල් පැහැති වර්ණය තිබූ අතර සහශ්‍රා හා ආඥා චක්‍ර දෙකම ඉතාමත් බලවත් ලෙස ඉහළට ඇදී ගොස් තිබේ. වයසක සීයා කෙනෙකුවන් ඔහුගෙන් මා විමසා සිටියේ ඔබ දෙවියන් හා සම්බන්ධ කිසියම් කටයුත්තක් කරන්නෙක්ද යන්නයි. ඔහුගේ පිළිතුර වූයේ තමා දේවාලයක කපු මහතෙකු බවය. දේවාරූඪයෙන් සාස්තර කීමේ හැකියාවක්ද පවතින බවද ඔහු කීවේය. ඔහුගේ කතාවේ ඇත්තක් ඇති බව මටම හැඟිණ.  
යමෙකු තමාට අදෘශ්‍යමාන බලවේග වලින් වැඩ කිරීමේ හැකියාවක් ඇති බව පවසන්නේ නම් ඔහුගේ ඕරාව බලවත් විය යුතුමය. විශේෂයෙන්ම නිල් පැහැති ඕරා වර්ණයක් ඔහුට තිබිය යුතුමය. එසේම ආඥා සහ සහශ්‍ර යන චක්‍ර දෙකම බලවත් විය යුතුය. එසේ නොවන්නේ නම් එවැනි හැකියාවක් ඔහුට නැත. පේන කියන්නෙකුගේ වුවද තත්ත්වය ඕරාවෙන් පරීක්ෂා කළ හැකිය. මෙම තත්ත්වය වර්ධනය කර ගැනීමට සුවිශේෂී කැපවීමක් කළ යුතුය.  
භාවනා කිරීම, යෝග ව්‍යායාම, බීජ මන්ත්‍ර ගායනය තුළින් මෙම කුණ්ඩලනි ශක්තිය යමෙකුට වර්ධනය කළ හැක. ක්‍රිෂ්ටල් වැනි ප්‍රතිකාරවලින් එවැනි දේ වර්ධනය කළ හැකි බව එක්තරා කාන්තාවක් You tube චැනලයකට පවසා ඇත. නමුත් එය සම්පූර්ණ බොරුවකි. මෙවැනි අධ්‍යාත්මික බලයක් හෝ කුණ්ඩලනි ශක්තියක් කෙනෙකුට ලබාගත හැක්කේ ඉහත කී භාවනා යෝග වැනි ක්‍රමවලින් පමණක් වන අතර ක්‍රිෂ්ටල් මගින් කරන්නේ ඒවායේ සමබරතාව ආරක්ෂා කරදීම හා ඒවායේ ඇති දෝෂ ඉවත් කිරීම පමණි.  
අමනුෂ්‍ය බලවේග ඇති අයගේ ඕරාව අඳුරු පැහැති වලාකුළුවලින් වැසී යන අතර මූලාධාර හා සහශ්‍රා වැනි චක්‍ර කළුපාට තිත්වලින් වැසී යයි. එවිට Aura Cleaning (ඕරා පිරිසිදු කිරීමක්) කළ හැක. නමුත් මෙය ජ්‍යොතිර්වේදියෙකුට විනා වෙනත් අයෙකුට කළ නොහැක්කකි. මෙහිදී කේන්දරයේ ඇති දුර්වල ග්‍රහයින් හඳුනා ගෙන එම ග්‍රහයින් බලවත් කිරීම කළ යුතුය. මෙහිදී ඕරාව දුර්වල කරන්නේ ජන්ම කේන්දරයේද අසුභයින් බලවත් වී සුභයින් පීඩාවීම වැනි හේතු නිසාය. මනස ආත්මය ශරීරය යන ත්‍රිත්වය හඳුනා ගත හැක්කේ ජ්‍යොතිර්වේදියෙකුට පමණි. අවාසනාවකට මෙන් මේවා ගැන කිසිවක් නොදත් මැණික් වෙළෙඳුන් පවා ඕරා චක්‍ර ගැන කතා කර වීඩියෝ පට නිකුත් කරති.  
මෙවැනි ඕරා පිරිසිදු කිරීමක් තුළින් දුර්වල චක්‍ර බලවත් කිරීමක් සිදුකළ හැක. ඕරාව මගින් එය නිශ්චිතව දැන ගැනීම විශේෂයකි. චක්‍ර බලවත් වූ විට අමනුෂ්‍යයින්ට වාසය කළ නොහැකි වේ. එබැවින් පීඩා කරන අමනුෂ්‍යයන් ඉවත් කිරීමට පවා ඕරා පිරිසිදු කිරීමක් තුළින් කළ හැක. සමහරුන්ගේ ශරීරවල මෙවැනි අමනුෂ්‍යයින් ඇතත් ඒවා තමන්ට දැන ගැනීමට ඇති හැකියාව අඩුය.  


මෙය එකවරම ඇතිවන තත්ත්වයක් නොව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන තත්ත්වයකි. මූලික අවස්ථාවලම මෙම දුර්වලතා හඳුනාගෙන ඒවා ඉවත් කිරීමේ හැකියාව මේ තාක්ෂණය යමෙකු තුළින් ඇති වේ.  


අමනුෂ්‍ය බලවේගයක් ඇති බව දැනගන්නේ එහි උග්‍ර අවස්ථාවට පත්වී පීඩාවක් වූ විට පමණි. එසේම පේන බැලීමක්, අංජනම් බැලීමක් හෝ නිමිති බැලීමක් වැනි ගුප්ත ක්‍රමයකින් දැන ගත යුතු විය. මෙය බොරුකාරයින්ට වංචාකාරයින්ට මිනිසුන් රැවටීමට ඇති ඉඩක් විය. නමුත් ඕරා ස්කෑනරය යනු නවීන විද්‍යා තාක්ෂණයට අනුව නිපදවා ඇති උපකරණයකි. එබැවින් මෙයින් පෙන්වා දෙන තත්ත්වය භෞතිකවේදියෙකුට පවා විශ්වාස කළ හැකි කරුණකි.  


මෙම ඕරා තාක්ෂණය මගින් මෙතෙක් කලක් ගුප්තව තිබූ බලවේග හඳුනා ගැනීමට හැකිවීම ශාස්ත්‍රයක් වශයෙන් මෙම ශාස්ත්‍රය තහවුරු වීමට හේතුවක් වී ඇත.  

 

 

 

ජ්‍යොතිර්වේදී කේ.ඒ.යූ. සරත්චන්ද්‍ර