ඔෟෂධ නිෂ්පාදනයට බහුලව යොදාගන්නා කංසා


සුවයට ඔසුවක්

 

“ත්‍රෛලෝක්‍ය විජය” යනුවෙන් සංස්කෘත භාෂාවෙන් හඳුන්වන කංසා ඖෂධයක් ලෙස ආයුර්වේද නිෂ්පාදනයන්ට බහුලව භාවිත කරන බව බොහෝදෙනෙකු නොදන්නා කරුණකි. 


ආයුර්වේදයේ ගුළි, කල්ක, මෝදක වර්ග නිෂ්පාදනය කිරීමට බහුලව යොදා ගන්නා කංසා දැවුම්, පිලිස්සුම් වෙදකමේ ප්‍රතිකාර සඳහා ගන්නා තෙල් වර්ග නිෂ්පාදනයට ද ප්‍රධාන වශයෙන් යොදා ගැනේ. 


ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා ශාකයේ කොළ, මැලියම් සහ බීජ යොදා ගැනේ. මල්වල ස්වභාවය (ගැහැනු මල් පිරිමි මල්) අනුවත්, වගා කෙරෙන ප්‍රදේශ අනුවත්, ශාකයේ අන්තර්ගත කෙඳි ප්‍රමාණය අනුවත් කංසා ශාකයේ ඖෂධීය ගුණය වෙනස් වේ. 


ආයුර්වේදයේ විෂ, උප විෂ යනුවෙන් විෂ කොටස් දෙකකට බෙදෙන අතර, කංසා අයත් වන්නේ උප විෂ යටතටය. එම නිසාම ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා යොදා ගනුයේ විෂ ඉවත් කිරීමෙන් පසුවය. 


ආයුර්වේද ඖෂධ සඳහා කංසා ශාකයේ පත්‍ර ලබාගනුයේ මල් හට ගැනීමට පෙරය. මල් හටගත් ශාකයක පත්‍ර සාමාන්‍යයෙන් ප්‍රතිකාර සඳහා යොදා නොගැනේ. 


නිසි පරිදි ගත් පත්‍ර, රෙදි කඩක ඔතා පිරිසිදු වතුරේ පැය 4 - 5 කාලයක් පොඟවා තබා වේළා ගිතෙලින් තම්බා ඖෂධ නිෂ්පාදනයට යොදා ගැනේ. 


තවත් ආකාරයට විෂ ඉවත් කිරීමට කංසා කොළ එළකිරෙන් තම්බා වේළා ගිතෙලින් බැද ද ඖෂධ නිෂ්පාදනයට භාවිත කෙරේ. 


ඖෂධීය ගුණය 


ඇතැම් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අතුරු ආබාධයක් ලෙස ඇතිවන වමනය පාලනය කිරීමට කංසා අඩංගු ඖෂධ ලබා දේ. 


ප්‍රසව වේදනාව ඇති විටත්, ප්‍රසවයෙන් පසු රුධිරය වහනය වීම වළක්වා ගැනීමටත් අතීතයේ දී කංසා යොදා ගෙන තිබේ. 


ලිංගික අප්‍රාණික බව දුරු කිරීමටද අතීතයේදී කංසා අඩංගු ඖෂධීය නිෂ්පාදනයන් භාවිත කෙරෙන බවට සාක්ෂි හමුවේ. 


ඕනෑම වයසක පසුවන්නන්ට බලපාන උකුණන් සහ ඉස්සොරි ප්‍රශ්නයට ප්‍රතිකර්මයක් ලෙසටද කංසා ශාකය යොදා ගැනේ. 


වයසට යාමත් සමග ස්වභාවිකව ඇතිවන ශරීරයේ හන්දි වේදනා, කැක්කුම්, හිරි ගති ආදියට පිළියමක් ලෙසටද මෙම ඖෂධය භාවිත කෙරේ. 


ආයුර්වේදයේ පෙන්වා දෙන්නේ කොළ පිලිස්සීමෙන් ඇති වන දුම සහ දුමක් ලෙස පානය කිරීමෙන් විෂ විය හැකි බවය. 


කංසා භාවිතයෙන් සකස් කෙරෙන ප්‍රධාන ඖෂධ සහ ඒවායෙහි ගුණ 


කාමේස්වර මෝදකය - කංසා ඇට සහ කොළ භාවිතයෙන් සකස් කෙරෙන මෙම ඖෂධ භාවිතයෙන් ශරීර ශක්තිය වර්ධනය වේ. මාත්‍රාවන්ගෙන් ගත් කල සෞන්දර්යාත්මක සිතුවිලි පහළ වේ. මානසික ව්‍යාකූලත්වයන් මගහරවයි. ශ්වසන පද්ධතිය ආශ්‍රිත ඇතිවූ රෝගයන්ට ද හන්දිගත රෝගයන්ටද ඉහත නිෂ්පාදනය යෝග්‍යය. 


ජාතිඵලාදි චූර්ණය - ග්‍රහණිය, අතීසාරය ඇතුළු ආහාර මාර්ගය ආශ්‍රිතව ඇති වන සියලු රෝගයන් නිවාරණයට සහ පාලනයට ආයුර්වේදයේ භාවිත කරන ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. 


මදනමෝදකය - වාත, කප, රෝග නිවාරණයට යොදාගන්නා මෙම මෝදකය ග්‍රහණි රෝගයන්ට ද ප්‍රත්‍යක්ෂය. විශේෂයෙන්ම ආහාර නොදිරවන හෝ අවශෝෂණය නොකරන රෝගීන්ටද ඉතාම යෝග්‍යය ඖෂධයක් ලෙසට මදන මෝදකය හඳුනාගෙන ඇත. 


ලක්ෂ්මි විලාස රස ගුලි - ශරීරයේ වාත වේදනා, වයසට යාමේදී ඇතිවන කායික දුර්වලතාවන්, මගහරවා ගැනීමට යෝග්‍යය. 


හිංගුලාදීවටී - ආහාර මාර්ගයේ ඇතිවන රෝග තත්ත්වයන් පාලනය කර ආහාර උරාගැනීම ආදිය ක්‍රමවත් කෙරේ. 


සුරංවිදුර ගුළි සහ ජීවානන්ද ගුළි - කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට ඇතිවන පණු රෝගයන් පාලනයට යෝග්‍යය 


චන්ද්‍රකල්කය - අංශභාග රෝගීන්ටත්, මොළය ආශ්‍රිත රෝගයන්ටත් මෙම කල්කය යොදා ගැනෙයි. 


හිංගුලාධි ගුලි - මෙම ඖෂධය උදරගත වේදනාවන්ට සේම, මානසික අවපීඩනයන්ට යෝග්‍යයයි. 


යශෝදරා කල්කය - කුඩා දරුවන්ට සේම කිරි දෙන මව්වරුන්ට විවිධ රෝග අවස්ථාවලදී ලබා දේ. 


දේශීය දැවුම් පිලිස්සුම් වෙදකමේදී තෙල් සකස් කිරීමට යොදා ගැනේ. මෙමගින් වේදනාව අඩුවන අතර පිලිස්සුම් කැළැල්ද මැකී යයි. 


කංසා අඩංගු ඖෂධ භාවිතයෙන් හෘදයේ උත්තේජනය වැඩිවී, නාඩි වේගවත් වේ. ටික වේලාවකින් (පැය 1/2 පැයකින් පමණ) යළි මන්දගාමී තත්ත්වයට පත් වේ. මේ නිසාම ලේ ගලන අවස්ථාවේදී බාහිරව යෙදීමත්, අභ්‍යන්තර ලබාදීමත් ඉතාම යෝග්‍යය. 


නින්ද නොයන රෝගීන්ටද කංසා ඖෂධය යෝග්‍යය. 


කාස වැනි දරුණු ශ්වසන රෝග තත්ත්වයන්ගේ සිට ස්වසන ව්‍යුහයේ ඇතිවන රෝගයන් පාලනය කෙරේ. 


මුත්‍රා වර්ධනය වීමේ ගුණයකින් යුතු කංසා අඩංගු ඖෂධ භාවිතයෙන් වැඩිපුර මුත්‍රා පිට වේ. 


අර්ශස් සහ ගුදය පහත් වන රෝගීන්ට කංසා කොළ ගිතෙලින් තම්බා අඹරා ගෑමෙන් සුවය ලැබේ. 


අක්‍රමවත් මාස්ශුද්ධිය යථා තත්ත්වයට පත්කිරීමටද කංසා අඩංගු ඖෂධ උපකාරී වේ.

 

 

 

 

සටහන - අසුන්තා එදිරිසූරිය