එළුමස් කියා බලුමස් කෑවාද ?


 

වර්තමාන සමාජයේ වැඩිවශයෙන් අසන්නට ලැබෙන්නේ විවිධ ජාවාරම් පිළිබඳවය. මේ සියල්ලට ජනතාව ගොදුරුවී සොඳුරු සිත් අඳුර කරා ගමන් කරති. ලෙඩ රෝග හැදෙයි. මිනිස්සු මියයති. වැළලෙති, ජාතියද වැනසෙති. මත්ද්‍රව්‍ය, හෙරොයින්, ගංජා ජාවාරම්කරුවන් මෙරටේ තරුණ පරපුර සහ පාසල් ළමුන් ඉලක්ක කරගෙන ජාතියම රෝගීන් කරද්දී නීතියද බල්ලට ගියාදෝ කියා ඔබට සිතෙන්නට පුළුවන. පොළොන්නරුව, දිඹුලාගල, දිමුතුගමම කම්මුතු කරමින් දඹගහඋල්පතින් රටට මතුවන්නේ අමුතු කතාවකි. ඒ ඔබ මවිතයට, පුදුමයට පත්කරවන සංවේදී කතාන්දරයකි.

 

 

එළු මස් කියා බලු මස් කෑවාද? එළු මස් සමග බලු මස් මිශ්‍ර කර අලෙවි කළාද? එසේත් නැත්නම් මේ වෙනත් අබිරහස් ජාවාරම් කතාන්දරයක්ද යන්න අප හමුවේ ඇති තවත් ප්‍රහේලිකාවකි.


මේ භයානක සිත් කම්පාකරන කතාව මේ දිනවල පොළොන්නරුවේ පමණක් නොව රටපුරාම කතාබහට ලක්ව ඇති මාතෘකාවකි. 
දිඹුලාගල, දඹගහඋල්පත ප්‍රදේශයේ කැලෑවේ සුනඛ හිස්කබල් දෙදහක් පමණ ඇති බව ගම්මුන් මතුකළ කතාව පිළිබඳව අපි වහා වහා සොයා බැලුවෙමු.


ගම්මුන් පවසන පරිදි දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් දඹගහඋල්පත ප්‍රදේශයට කැළි කසළ, අපද්‍රව්‍ය බැහැර කරන්නේ 2012 වසරේ සිටය.


වසරින් වසර ගොඩගැසෙන මෙම කුණු කන්දරාව නිසා උසුලා ගැනීමට නොහැකිවූ දුර්ගන්ධය දිනෙන් දින වර්ධනය විය.


හමා එන සුළං තත්ත්වයට මිශ්‍රව එන කුණු ගඳ පාඩම් කටයුතු කරන දරුවන්ටද හිසරදයක් විය. දඹගහඋල්පතට බැහැර කරන කුණු කසළ නිසා රත්මල්තැන්න, බමුණාකොටුව, දිමුතුගම යන ගම්මානවල පවුල් 850 ක සාමාජිකයෝ 4000කට වැඩි පිරිසක් වසර කිහිපයක සිට පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදුන්හ.


කුණු ආහාරයට ගැනීමට එන වන අලි ජීවිත හා දේපළවලට හානි කළහ. කැළි කසළ සමග ගෙනවිත් බැහැර කරන සත්ව කොටස් කාක්කෝ ඇතුළු සත්තු ප්‍රදේශයේ ළිංවලට, ගෙමිදුලට ගෙනවිත් දැමූහ. මේ අයුරින් පීඩා විඳි ගම්මු පසුගියදා ඊට විසඳුම් ඉල්ලා පොළොන්නරුව - මාදුරුඔය ප්‍රධාන මාර්ගය පැයකට අවහිර කර උද්ඝෝෂණයක්ද සිදුකළහ.


උද්ඝෝෂණය අතරතුර දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩී. එම්. කේ. මැණිකේ මහත්මියත්, අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක්ද පැමිණියහ.


දඹගහඋල්පත ප්‍රදේශයට ප්‍රාදේශීය සභාවෙන් කුණු දැමීම නතර කරන බවට සභාවේ ලේකම්වරිය ලබාදුන් පොරොන්දුවත් සමග විසිර ගිය දිමුතුගම ගම්වාසීහූ පැමිණ සිටි මාධ්‍යවේදීන්ට තවත් අබිරහසක් හෙළිකළහ. ඒ සුනඛ හිස් කබල් 2000 ක් පමණ දඹගහඋල්පත කැලෑවේ තිබෙන කතාවයි. ගම්මු මාධ්‍යවේදීන්ද කැටුව දඹගහඋල්පතට ලඟාවූහ.

 


“මහත්තයෝ මේ සේරම සුනඛ හිස් කබල්. සමහර ඒවා ළඟදී ගෙනාපු බලු ඔළු පස් වලින් වහලා. හැබැයි මේවා ප්‍රාදේශීය සභාවෙන් නෙවෙයි ගේන්නේ. රෑට වාහන වලින් ඇවිත් දාලා යනවා. අපි හිතන්නේ පොළොන්නරුවේ, කොහේ හරි එළු මස් එක්ක බලු මස් විකුණනවා කියලා. මේවා බලන්න ආපු පී. එච්. අයි. මහත්වරුත් කීවා මෙතැන එළු ඔලු එක්ක බලු ඔළුත් තියෙනවා කියලා.

ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉදිරියේයි, අපේ ගමේ අය ඉදිරියේයි ඔය කතාව කීවට පස්සේ තමා අපිට දැනුණේ එළු මස් එක්ක බලු මස් ජාවාරමක් ලොකුවට යනවා කියලා. මේක අද ඊයෙක නෙවෙයි වෙන්නේ මාස කිහිපයක ඉඳලා. සමහර විට අපේ අයත්, දරුවොත් මේ මස් කාලාද දන්නේ නැහැ. හැබැයි ඊයේ, පෙරේදා අරලගංවිල පොලිසියත් එක්ක ආපු ඒ පී. එච්. අයි. මහත්තයාම කියනවා මේවා සේරම එළු ඔළු කියලා. මේකත් අපිට ප්‍රශ්නයක්. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන් එළු ඔළුවක් විතරක් අරං ගිහිං පරීක්ෂා කරලා කියාවි මෙතැන සේරම එළු ඔළු කියලා. නමුත් මේ එළු මස් එක්ක බලු මස් විකුණන මහා ජාවාරමක්. මේ ගැන හොයලා රටට හෙළිදරව් කරන්න කියලා අපි ඉල්ලනවා.” දිමුතුගම ගම්මානයේ සුසන්ත කුමාර වීරසිංහ මහතා කීවේය.


අප මේ සම්බන්ධව පරීක්ෂණයට ගිය අරලගංවිල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනවිරත්න මහතාගෙන් සහ අරලගංවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. එන්. බී. ඒකනායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසුවේ ඒවා තමන් විසින් එළු ඔළු බවට හඳුනාගෙන ඇති බවයි.


කෙසේ වෙතත් දිඹුලාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා මනෝරි වලිසුන්දර මහත්මිය මේ පිළිබඳව පවසන්නේ ඒවා සුනඛ හිස් කබල්ද, එළු ඔළුද යන්න තාම පී. එච්. අයි. මහත්වරුන්ට නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත්, ඒ පිළිබඳව පරීක්ෂා කෙරිය යුත්තේ පශු වෛද්‍යවරුන් විසින් බවත්ය. එහෙත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ පොලිසිය එක්ව ඒ පිළිබඳ පරීක්ෂණ කරන බවද වලිසුන්දර මහත්මිය පැවසුවාය.


වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පශු වෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා සඳහන් කරන්නේ එළු මස්වලට බලු මස් මිශ්‍රකර අලෙවි කළාම ඒ පිළිබඳව සොයා ගැනීමට අපහසුබවත් බොහෝ සෙයින් බලු මස් එළු මස්වලට සමාන බවක් දක්වන බවයි. එළුවන්ගේ සහ බල්ලන්ගේ හිස් කබල්වල දත් පිහිටීම අනුව වෙනම සොයා ගත හැකි බවද බල්ලන්ගේ ඉදිරි දත් දිගට පිහිටා ඇති බවද කළිඟුආරච්චි මහතා පැවසීය.


දඹගහඋල්පත වත්මන් තත්ත්වය පිළිබඳව දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩී. එම්. කේ. මැණිකේ මහත්මිය සඳහන් කරන්නේ දිඹුලාගල සභාව මගින් ගෝ ඝාතකාගාරයකට බලපත්‍ර ලබාදී නොමැති බවත්, එම ස්ථානයට කුණු බැහැර කිරීම නතරකර ඇති බවත්ය. එම ස්ථානයට රාත්‍රී කාලයට පිටපළාත්වල මස් ජාවාරම්කරුවන් ගෙනවිත් දමන කැළිකසළ, සත්ව කොටස් සම්බන්ධ වගකීම තම සභාවට ගත නොහැකි බවත් ඒ පිළිබඳව වහාම සොයා බලන බවද ඇය කීවාය.


දඹගහඋල්පත ඇත්තේ සැබවින්ම එළුවන්ගේ හිස් කබල්ද? සුනඛයන්ගේ හිස් කබල්ද? මේවා රැගෙන එන්නේ කවුරුන්ද? එළු මස් කියා බලු මස් කෑවාද? නොමැතිනම් මස් වෙළෙඳසැල්වල ඇත්තේ එළු හා බලු මස් මිශ්‍රවද? මේ අරලගංවිල ජනතාව අතරේ බුර බුරා නැගෙන ප්‍රශ්නාර්ථයකි.


සියලු සෞඛ්‍ය බලධාරීන් මෙම කතාව බලු ඔළු සේම යට නොකර ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සොයා බලා සත්‍ය රටට හෙළිකළ යුතු බව අප ජනතාවගේ නාමයෙන් සිහිපත් කරමු.

සටහන / ඡායාරූප :
මනම්පිටිය නිමල් ජයරත්න