එළවළු මිල වැඩි කරන වෙළෙඳ උපක්‍රම



 

දින දහයක් ඇතුළත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී පිපිඤ්ඤා කිලෝ තුන්දහස් දෙසීයක්, තක්කාලි කිලෝ 9300 පමණ අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුවී තිබේ. මෙසේ ඉවත් කළ පිපිඤ්ඤා සහ තක්කාලි මහනුවර, යාපනය, කොළඹ වෙළඳපොළවල්වල ඉහළ මිල ගණන් යටතේ අලෙවි වීම විශේෂත්වයකි.   


මෙම විනාශය පිළිබඳව දින 10ක පමණ කාලයක් ගවේෂණයක නිරත වී එහි සිදුවෙන අලාභය පිළිබඳව හෙළිදරව් කිරීමට අපට හැකියාව ලැබිණි.   


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිපිඤ්ඤා කිලෝවක තොග මිල රුපියල් 15 සිට 25 දක්වා වූ මිලක් පැවතිණි. ඒ අනුව දින 10ට පිපිඤ්ඤා කි​ලෝ 3200ක් අලෙවි නොවීම නිසා ඉවත් ​ෙකරිණි. එහි වටිනාකම වන්නේ අවමයෙන් රුපියල් 15 බැගින් අලෙවි වුවද රුපියල් 47,000 මුදලකි. ඒ දින 10 කදී විනාශ වීමය.   


එමෙන්ම දින දහයක් තුළ දඹුල්ලේ දඹුල්ල වෙළඳපො​ෙළ් පමණක් අලෙවි නොවීම නිසා ඉවත්කළ තක්කාලි කිලෝ 9300ක පමණ ප්‍රමාණයකි. දඹුල්ලේ තත්කාලි කිලෝවක සාමාන්‍ය තොග මිල පැවතියේ රුපියල් තිහත් හතළිහත් අතර මිලකි. රුපියල් තිහ බැගින් අලෙවි වුවත් තත්කාලි කිලෝ 9300ක මුදල වන්නේ රුපියල් දෙලක්ෂ හැත්තෑ නව දහසකි. අනෙකුත් වෙළඳපොළවල්වලට රැගෙන ගියේ නම් මීට හාත්පසින්ම ඉහළ මිලක් ගොවීන්ට ලබා ගැනීමට හැකියාව ලැබිණි.   


එහෙත් එම සම්බන්ධතාව වෙළඳපොළවල් අතර නොමැති වීම නිසා මේ ආකාරයෙන් රටේ ආහාර කිසිදු වග විභාගයකින් තොරව ඉවත් කරන ආකාරය අපට දින දහයක් තුළ සිදුකළ ගවේෂණයේදී අනාවරණය කර ගැනීමට හැකියාව ලැබිණි. අනාවරණය කිරීම සඳහා අප උත්සාහ කළේ දින දහයකට මේ ආකාරයෙන් එළවළු වර්ග දෙකක් විනාශ වෙන්නේ නම් වසරේ තුන්සිය හැටපස් දිනක අනෙකුත් එළවළු හා සසඳා බැලීමේදී කොපමණ ප්‍රමාණයක් විනාශ වන්නේද යන්න ජනතාව හමුවේ තැබීමටය.   


එකම එළවළු වර්ගය රටේ වෙළඳ පොළවල් හතරක 4 ආකාරයකට අලෙවි කරන තවත් අලෙවි නොකොට ඉවත ලන ආකාරයත් වන හතරබීරි කතාවක් ලෙස අනාවරණය කර ගැනීමට අප කළ දින 10ක ගවේෂණයකදී හැකි විය.   


මේ දිනවල රටපුරා එළවළු මිල විශාල වශයෙන් ඉහළ ගොස් පවතී. ඉහළ ගිය එළවළු මිල අතර ඉතා පහළ මට්ටමේ අලෙවි වෙන එළවළු වර්ග දෙකක් පිළිබඳ දින 10ක කාලයක් මහනුවර, දඹුල්ල, කොළඹ, යාපනය යන වෙළෙඳපොළවල් පිළිබඳව නිරීක්ෂණය කොට එම එළවළුවලට සිදුවන විනාශය පාඩුව සහ පාරිභෝගිකයන් සූරා කෑමට ලක්වන ආකාරය හෙළිදරව් කිරීමට මෙමගින් අපට හැකියාව ලැබිණි. මෙම ගවේෂණය සඳහා මේ දිනවල වෙළඳපොළේ ඉතා අඩු මුදලට අලෙවි වන පිපිඤ්ඤා සහ තක්කාලි යන වර්ග දෙක පිළිබඳව අපි අවධානයට ලක් කළෙමු.   


දඹුල්ල වෙළඳ පොළේ ඉතාමත් අඩු මුදලකට පිපිඤ්ඤා මෙන්ම තත්කාලි අලවිය සිදුවෙයි. එහෙත් දඹුල්ල වෙළෙඳ පොළේ දිනකට විශාල ප්‍රමාණයක් තක්කාලි මෙන්ම පිපිඤ්ඤා අලෙවි නොවීම නිසා දිගම්පතහ රක්ෂිතයට රැගෙන ගොස් වන අලින්ගේ ආහාර බවට මෙම එළවළු පත්වෙමින් පවතී.  


එහෙත් එම එළවළු වර්ග දෙකම මහනුවර, කොළඹ, යාපනය වෙළඳපොළවල හාත්පසින්ම වෙනත් මිලගණන් යටතේ අලෙවිවීම සිදු කෙරෙන බව අප කළ ගවේෂණයේදී අනාවරණය වීම විශේෂත්වයකි.   


රුපියල් පහළොවකට දඹුල්ල වෙළඳපොළේ අලෙවි වෙත පිපිඤ්ඤා කිලෝවක අලෙවි වීම මෙන්ම යාපනය වෙඳපොළේ දී රුපියල් සියයකට වඩා වැඩි මිලකට අලෙවිවීම මෙම දින දහය තුළදී දැක ගැනීමට හැකියාව ලැබිණ. අප විසින් සකසා ඇති දින දහයේ මිල හැසිරුණු වගුව මේ සඳහා තේරුම් ගැනීම සඳහා විශාල දායකත්වයක් ලබාදෙනු ඇති බව අපි විශ්වාස පළ කරමු.   

 

 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පිපිඤ්ඤා රැගෙන ආ ගොවියකු වූ මාතලේ පළාත්පත්වල පදිංචි ආර්.එම්. රණසිංහ මහතා කියා සිටියේ තමන් විශාල ප්‍රවාහන වියදමක් දරා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ පිපිඤ්ඤා කිලෝ එකක් සඳහා රුපියල් 15ක මිලක් ලැබුණු බවත් වෙළඳපොළට රුපියලක කොමිස් මුදලක් ලබාදී තමන්ට රුපියල් දහ හතර බැගින් පිපිඤ්ඤා සඳහා ලැබුණු බවය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිටම සිල්ලර වෙළඳපොළේ තමන් රුපියල් දාහතරට අලෙවි කළ පිපිඤ්ඤා කිලෝ එක රුපියල් හැටකට අලෙවිවීම අදහාගැනීමට නොහැකි වූ බවය. තමන්ට සිදුවූ මෙම අසාධාරණය දැනුම්දීමට හෝ කීමට කිසිදු අයකු හෝ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැමිණිල්ලක් කිරීමට ස්ථානයක් හෝ නොමැති බව සඳහන් කළේය.   


මාතලේ ලග්ගල ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තක්කාලි රැගෙන ආ ගොවියකු වූ ජී. ටිකිරි බණ්ඩාර මහතා කියා සිටියේ කිලෝමීටර් 70කට වැඩි දුරක් ගෙවාගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තමන් තක්කාලි රැගෙන ආ බවත් තක්කාලි පෙට්ටි කිහිපයක් කිලෝවක් රුපියල් 30 බැගින් අලෙවි කොට තවත් තක්කාලි පෙට්ටි දහයක් පමණ අලවි නොවීම නිසා වෙළඳපොළේ තබා යෑමට සිදුවූ බවත් පසුදා නැවත ඒවා අලෙවි කිරීම සඳහා පැමිණෙද්දී අලෙවි ​ෙනාවීම නිසා ඉන් ඉවත් කළ බව දැන ගන්නට ලැබුණු බවය.   


එහෙත් රුපියල් තිහට අලවි වූ තක්කාලි කිලෝවක තොග මිල සිල්ලර මිල කොළඹ වෙළඳපොළේ මෙන්ම මහනුවර වෙළඳපොළේ යාපනය වෙළඳපොළේ ද ඉහළ අගයක් ගෙන තිබෙන අයුරු මෙම ගතවූ දින දහය තුළදී අප කළ ගවේෂණයේදී අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණි. පසුගිය විසිපස් වැනි දින සිට ගෙවී ගිය දින දහය තුළ දිනපතා මෙම වෙළඳසැල්වල සිල්ලර වෙළඳ​ෙපාළේ මෙන්ම තොග වෙළඳ පොළේ ද පිපිඤ්ඤා සහ තක්කාලි අ​ෙලවි වූ මිල ගණන් ලබාගැනීමට අපට හැකියාව ලැබිණි. එමගින් අනාවරණය වූයේ එක් වෙළඳපොළක අලෙවි කර ගැනීමට නොහැකිව ඉවත් කරන එම එළවළු තවත් වළෙඳපොළක වැඩි ඉල්ලුමක් පවතින බවත් වැඩි මිලක් පවතින බවය.   


සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ එළවළු නිෂ්පාදනයට අලෙවියට ප්‍රවාහනයට කිසිදු ජාතික ප්‍රතිපත්තියක් නිසි ක්‍රමවේදයක් නොවීම නිසා මේ තත්ත්වය උදාවී තිබෙන බවය. එමෙන්ම ශ්‍රී ලංකාවේ එළවළු නිෂ්පාදනයෙන් සියයට හතළිහක් පසු අස්වනු හානියට ලක්වෙන බවත් මෙය බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවය. කෙසේ හෝ ආර්ථික මධ්‍යස්ථාන හා වෙළඳසැල්වලට ප්‍රවාහනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම නිසා මේ තත්ත්වය උදාවී ඇති බවයි.   


එමෙන්ම මෙම තත්ත්වය නැවැත්වීම සඳහා සීත ගබඩා ඇති කළ යුතු බවත් නව ඇසුරුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවත් එළවළු හිඟයක් ඇති වෙන ප්‍රදේශ සහ ආර්ථික මධ්‍යස්ථාන එකිනෙක අන්තර් සම්බන්ධතාව ඇතිකොට අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගෙන එම එළළුළ අඩුපාඩු ඇති ස්ථානවලට යැවීමටත් වැඩියෙන් ඇති ස්ථානවලින් අඩුවෙන් ඇති ස්ථානවලට යැවීමේ ක්‍රමවේදයක් සැලැස්විය යුතු බව නාමල් කරුණාරත්න මහතා කියා සිටියේය  


ආර්ථික මධ්‍යස්ථානයන්හි පාලනය අයිති වනු ලබන්නේ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේය. ඒ අනුව විෂය භාර අමාත්‍ය පී. හැරිසන් මහතාගෙන් අපි මේ පිළිබඳව විමසීමක් කළෙමු. අමාත්‍යවරයා කියා සිටියේ කාලයක් තිස්සේ ​ෙගාවීන්, ව්‍යාපාරිකයන්, අතරමැදියන්, පාරිභෝගිකයන් හුරුවී සිටි වෙළඳ ක්‍රමය නිසා මේ තත්ත්වය උදාවී ඇති බවය. කෙසේ වෙතත් එළවළු, පලතුරු විනාශ වීම පිළිබඳව රජයේ අවධානය මේ වනවිට යොමුවී ඇති බවත් කඩිනමින් අලෙවි නොවන එළවළු පලතුරු කල්තබා ගැනීම සඳහා ශීතාගාර පහසුකම් ඇති කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බවය. කෙසේ වෙතත් මෙවැනි දින 10ක පරීක්ෂණයක් සිදුකොට ඒ මගින් තමාගෙන් කරුණු විමසූ පළමු අවස්ථාව මෙය බවද හෙතෙම සඳහන් කළේය. ඒ සඳහා මාධ්‍යයට තමන්ගේ ස්තුතිය පිරිනමන බවද සඳහන් කළේය. අමාත්‍යාංශ ලේකම්වරයා සමග ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය සමගත් සාකච්ඡා කොට ආර්ථික මධ්‍යස්ථාන අතර සම්බන්ධතාවක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බවද සඳහන් කළේය.   


දින 10ක කාලයක් සිදුකළ මෙම ගවේෂණය තුළින් අනෙකුත් එළවළුවලට සිද්ධවෙන සිදුවීම පිළිබඳව තමන්ට ද සිතාගැනීමට හැකි බවත් ජනමාධ්‍යවේදීන් හෝ මේ ආකාරයෙන් සිදුවන හානිය පෙන්වා දීමෙන් රටට සිදුවන අපරාධය වළක්වා ගැනීමට හැකියාව තිබෙන බවත් බොහෝ දුරට කිසිවකුත් අවධානය යොමු නොවන පිපිඤ්ඤා තක්කාලි වැනි මේ දිනවල ඉතාමත් අඩු මුදලකට අලෙවි වන එළවළු වර්ග දෙකක් මෙයාකාරයෙන් බරපතළ ලෙස විනාශවීම බරපතළ ලෙස මිල ඉහළයාම පිළිබඳව කඩිනමින් තමන් අවධානය යොමු කරන ලද බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මේ සමග තමන් පුද්ගලිකව මැදිහත් වී මේ හානිය අවම කිරීමට හැකි පරිදි ක්‍රියා කරන බව ද කීවේය.   

 

 

 

 

 

 

 

 

 

 

 


සටහන හා ඡායාරූප 
දඹුල්ල කාංචන කුමාර ආරියදාස