එලොව ගිහින් මෙලොව ඇවිත් යළිත් එලොව ගිය මහා ලේඛකයා


ලංකාදීප පුවත්පතින් ප‍්‍රදානය කරන ලද නවකතා චක‍්‍රවර්ති, සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුදලද වැල්ලෙවත්ත ආරච්චිගේ එබ‍්‍රහම් සිල්වා නොහොත් ඩබ්ලියූ.ඒ. සිල්වා 1890 ජනවාරි 16 වැනිදා උපත ලබා හෙළදිව මහා කතාකරු මෙන් අඩසිය වසක් සපුරා බැබළී, 1957 මැයි 31 වැනිදා පාඨකයන් කෙරෙන් සදහටම තුරන් විය. එතුමා මියගොස් මැයි 31 වැනිදාට වසර 50ක් සපිරෙයි.

සිල්වා මහතා මිය යන්නට ටික කලෙකට ඉහතදී බලවත් ලෙස අසනීපව මරණයේ දොරටුව අසල සිටියේය. ඒ පිළිබඳව ලංකාදීප පත‍්‍රයට විස්තර කරමින් ඒ මහතා පවසා සිටියේ ”රාමායනය” ඉවරකර ගන්නට තව මාස කිහිපයක් මට ඉඩ දුන්නොත්...” යන ප‍්‍රාර්ථනයයි.  


 1957 ජනවාරි 29 වැනිදා මම ඔත්පල වීමි. මා සාත්තු නිවාසයට මුලින්ම ඇතුළු වුණේ සුළු ශල්‍යකර්මයකින් (විශේෂඥ වෛද්‍ය ජී.ආර්. හැන්ඩි මහතා විසින් කරන ලද) පසුව දෙසතියකින් තරම සුවය ලබා පිටවී සිරිත් පරිදි මගේ කටයුතුවල යෙදෙන බලාපොරොත්තුව ඇතිවය. එහෙත් මෙහිදී වුණේ අනිකෙකි. ශල්‍යකර්මයට අනතුරුව වැලඳුණු ආගන්තුක උපද්‍රවයකින් එනම් ඔක්කාරයෙන් හා ඉක්කාවෙන් මම ඇඳටම පැළපදියම් වීමි.  


”මේ ඔක්කාරයයි ඉක්කාවයි නැවැත්වීමට කළහැකි වෙන පිළියමක් නැද්ද?” යි මම වෛද්‍යවරයාගෙන් ඇසීමි. පිළිතුරු නිශ්ශබ්දතාවයි.  


”එහෙනම් සිංහල වෙදකමක්වත් ගෙන බලන්නදැයි” මම අන්තිමවරට ඇසිමි. ඔවුහු අකමැති නොවූහ. මේ වනවිට වේලාව රාත්‍රී දෙකට පමණ ඇති. මගේ හිතවත් මිතුරකු වූ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයකු වූ ද ජේ.සී. කන්නන්ගර රාළහාමි වහාම එහි කැඳවන ලදී. මගේ ලෙඩ බැලූ ඔහු මට බෙහෙතක් දුන්නේය. පුදුමයක හැටි. ඒ කෙණෙහිම මගේ ඔක්කාරයත් ඉක්කාවත් නතර විය. කලින් විකා කන අහරක් පෙනෙන්නට බැරිව සිටි මට එතැන් පටන් කෑම රුචිය ද ඇති විය. මේ අතර කන්නන්ගර රාළහාමි ඔත්පලවීම නිසා යක්කල සිද්ධායුර්වේද විද්‍යාලයාධිපති පණ්ඩිත ජී. පී. වික‍්‍රමාරච්චි වෙදරාළහාමිගෙන් ප‍්‍රතිකාර ලැබුවෙමි.  


මේ තොරතුරු අනාවරණය වෙන්නේ සිල්වා මහතා විසින්ම “ඉරිදා ලංකාදීප” පත‍්‍රයට ලියූ ”මා එලොව ගොහින් මෙලොව ආවා.” ලිපියෙනි. මේ කාලයේ “දින දින” සඟරාවේ සංස්කාරකව සිටි ආනන්ද තිස්ස ද අල්විස් (පසුව කතානායක) මහතා තම සඟරාවේ සිල්වා මහතාට සෙත්පතා සෙත්කවි පෙළක් පළකර තිබුණි.  


 තවත් පස් මසක් ගත විය. ඔහු තරමක සුවයක් ලබා ඇත. තමා සම්පූර්ණ කිරීමට සිටි “වාල්මිකී රාමායණය” කෘතියේ වැඩ අවසන් කළ ඔහු මුල් පිටුව හෙවත් ෙටෙටලය ද ”මා සිය බසට පනස් වසක් කළ මෙහෙය මෙයින් සපිරෙයි’’. යන උද්වේගවත් වාක්‍යයෙන් අවසන් කර ඇත. මෙහි මුද්‍රණ පිටු 568 කි.  


”වාල්මිකී රාමායණය” වැනි යෝධ කාර්යක් නිමකොට ලෙඩ ඇඳේ සිටි අවස්ථාවක සිල්වා මහතාගේ වඩාත් කිට්ටු මිතුරා වූ කේ. එච්. ඒ. ධර්මසේකරයන් ඔහු බැලීමට නිවසට ගිය අවස්ථාවක් ගැන “රිදී කවඩිය” නම් ඔහු ලියූ අවසාන නවකතාවේ සඳහන් වෙයි. ඒ සිද්ධිය ලියා ඇත්තේ ධර්මසේකර මහතා විසින්ය.  


”එදා ඉරිදාවකි. සිරිත් පරිදි, සිල්වා ශූරීන්ගේ සුවදුක් විමසන රිසින්, පාමංකඩ පිිහිටි ”වෙනුර” නිවෙස කරා මා සේන්දු වෙන විට සවස හය පමණ විය. මෙහෙකරුවකු විසින් මගේ පැමිණීම නිවේදනය ​ෙකරුණු වහාම, ශයනාගාරය තුළින් සිල්වා ශූරීන්ගේ සුපුරුදු කටහඬ ඇසිණි. මාස ගණනකින් නොපැවති තරම් ප්‍රීතිරාවයක් එයින් නික්මිණි.  
 ”අයිසේ, මෙහෙ එනවා. මෙහෙ එනවා. මා අද ලොකු වැඩක් කළා.” ඔහු මෙසේ කියත්ම මම ඔහුගේ සයනය වෙත ගොස් අසුනක් ළංකර ගෙන හිඳ ගතිමි.  


ඔහුගේ වතින් ප‍්‍රකාශිත ප‍්‍රමෝදයට සමවන සුවයක් ගතින් නොපළ හෙයින් මම විමසිලිමත් වීමි.  


 ”මොකද අයිසෙ නිකම් බීත වෙලා වාගෙ බලා ඉන්නෙ?” මා ඇඳේ නිකම්ම දපලා හිටියෙ නෑ. හොඳ නවකතාවක් ප‍්‍රබන්ධ කළා. ”ජූලි හත” වගේ කතාවක්.” ඔහු මෙසේද උදන් අනන්නට වූ කල මම උපස්ථායක සේවකයා දෙසට හැරුනෙමි.  


 ”මහත්තයාගේ උණ අද හොඳටම වැඩිවෙලා. ඕඩිකොළොං ටිකක් හේම දැම්මෙ නැද්ද?” යි ප‍්‍රශ්න කළෙමි.

සේවකයාගේ පිළිතුර ලැබෙන කලියෙන් සිල්වා ශූරිහු මහ හඬින් සිනා සී මෙසේ කියන්නට වන්හ.  


”තමුසෙ හිතුවා ද මා උණ විකාරයෙන් දොඩවනවා කියා. මේ අහගන්නවා මගේ අලුත්ම ප‍්‍රබන්ධයේ කතා වස්තුව.”  
එතැන් සිට ”රිදී හවඩි” මිනීමැරුමේ අන්දරය අනාවරණය වන තෙක් ඔහුගේ කන්කලු චතුර කතාවට සවන් දුනිමි.  
”කතාව නම් අපූරුයි. ජයට හිටියි. දෙයියන්ගෙ පිහිටෙන් තව ටිකක් සනීප උනාම ලියන්න පටන් ගන්න. කදිමයි.”  
”නෑ නෑ... හෙටම ලියන්න පටන් ගන්නවා.”  


මෙසේ ලියැවුණු ”රිදී හවඩිය” 1957 වසරේ ජූලි 26 වැනිදා ප‍්‍රකාශයට පත් ”නවයුගය” සඟරාවේ මංගල කලාපයේ සිට මෙම කතාව කොටස් වශයෙන් පළ විය.  


 සිල්වා මහතා අවසානයෙන් ලියූ (“බෞද්ධ ළමයා” වෙසක් කලාපයට ලියූ) “රටේ අපරාධ මර්දනයට නම්” යන ලිපිය ලියා සාත්තු නිවාසයට යළිත් ඇතුළත් විය. 1957 මැයි 31 වැනි සිකුරාදා උදේ 10ට ඔහු දෙනෙත් පියාගත් බව කරුණාසේන ජයලත් “ලංකාදීප” පත‍්‍රයට වාර්තාකොට තිබුණි. එහි මෙසේද සඳහන් වී තිබුණි.  


”ඔහුගේ ජීව වායුව තුරන් විය. එසේ පියවූ දෙනෙතත් සමඟම සාහිත්‍ය උද්දීප්තිමත් කළ පහනක් ද නිවී ගියේය. එසේ තුරන් වූ ජීව වායුවත් සමඟම කියැවීම, සාකච්ඡාව විමර්ශනය, විචාරය හා සිතීම නමැති මහා ගංගාවන් විසින් කාලයක් මුළුල්ලේ එක් රැස් කරන ලද අපිරිමිත භාෂා ඥාන සාගරය සදහටම සිඳී ගියේය.  


ඩබ්ලියූ. ඒ. සිල්වා මහතා ලියූ මුල්ම නවකතාව “ශ්‍රියාලතා”ය. පසුව එය ”සිරියලතා” විය. එහෙත් ”ශ‍්‍රියාලතා” පිට වූ අලුත එය කෙතරම් ජනපි‍්‍රය වූවාද කිවහොත් එකල පවුල්වල උපන් දියණිවරුන්ටද, බස් රථවලටද, හෝටල්වලටද, “ශ්‍රියාලතා” නම යෙදූ බව පවසා ඇති සිල්වා මහතා “ශ්‍රියාලතා” යන මේ දෝෂ සහිත බව තමා දැන ගත්තේ ”ලක්මිණි පහනේ” පළවූ විවේචනයකින් බවය. පසුව ”සිරියලතා” යනුවෙන් සකස්කර ගත් බව ද පවසා ඇත.  


 ඔහුගේ තුන්වැනි නවකතාව “හිඟන කොල්ලා” අතිශයින්ම ජනප්‍රිය විය. ඒ ගැන සිල්වා මහතා 1956 ජාතික පුවත්පතකට ලියූ ලිපියක මෙසේ සඳහන් වෙයි.

 
”හිඟන කොල්ලා” පිට වූ කෙණෙහි සිංහල කියැවීම් ලෝකයේ ඇති වූයේ මහත් කැලඹීමකි. සිංහල කියවන හැම දෙනකුන් වෙතම මෙහි පිටපතක් බැගින් දක්නට හැකි විය. සමහර පින්වතුන් මීට පැසසුම් පත්‍රිකා වශයෙන් සිය වියදමෙන් මුද්‍රණයකොට විසිරුවා හැර තිබෙණු ද දක්නට ලැබිණි. “මුහරි සයියා!” “මුහරි වයියා”, ”මොරිස් මළා” යන ආදී වශයෙන් හිඟන කොල්ලාගේ” චරිත නාම පවා දනන් කුඩ තුඩ පවතිනුද එකල නිතර අසනු හැකි විය. මගෙන් අවසරයක් ඇතිවත් නැතිවත් නොයෙක් තැන්වල ”හිඟන කොල්ලා” නාටකාකාරයෙන් ද දක්වන ලදී.  


හිඟන කොල්ලාගේ චරිත කලාපය ඉතා විශාල බව කියා ඇති සිල්වා මහතා ඒ ලොකු කුඩා මහත් පිරිසකගෙන් යුත් මහා සිතියමක් බව පවසයි. එහෙත් එකක් දෙකක් හැර සෙසු සියල්ල ජීවිතය දෙස බලාගෙනම කළ නිරූපණයන් බව නොකියාම බැරි බව ඔහු අවධාරණය කරයි.  


”හිඟන කොල්ලා” ලියන මට එහි විකාශනය හා ප‍්‍රස්තාරය ප‍්‍රතිරූප සම්ප‍්‍රදායෙන් ද වස්තු සම්ප‍්‍රදානය අභිරූප සම්ප‍්‍රදායෙන්ද කිරීම අභිමත විය. මෙවැනි උභය සම්ප‍්‍රදායාත්මක නවකතා සම්පාදනය ඉංගිරිසියෙහිද දක්නා ලැබෙයි. ප‍්‍රතිරූප සම්ප‍්‍රදායට ඉතාම සුදුසු නිදසුනක් හැටියට ඉතාම සුදුසු නිදසුන හැටියට ඉදිරිපත් කළ හැකි චාල්ස් ඩිකන්ස්ගේ “ක්‍රිස්ට්මස් කැරෝල්” යන නවකතාව වස්තුවෙන් අභිරූප සම්ප‍්‍රදාය ගත් කෘතියකි. හිඟන කොල්ලා ද මේ ගණයට වැටෙන්නෙකි.” සිල්වා මහතා එම ලිපියෙන් පවසයි.  


”හිඟන කොල්ලා” තමන් වෙත කියවන්නා බැඳ රඳවා ගන්නා පොතක් බව සිල්වා මහතාට විශ්වාසය. මෙවැනි පොත් කියවන කල නොයෙක්විට කියවන්නාට කෑම් බීම් පවා එපාවෙන බව පවසා ඇති ඔහු එවැනි පාඨකයෙකුට කෑම් බීම් පවා එපාවෙන බවත් කියවීමට බාධා කැරෙන හැම දෙයක්ම නොරිස්සන බවත් පවසා ඒ සඳහා තමා ලැබූ අත්දැකීමක් දක්වයි.  


 දිනක් සිල්වා මහතා කොළඹ සිට මන්නාරම බලා දිවෙන රාත්‍රී දුම්රියක පළමුවන පෙළේ දුම්රිය මැදිරියක ගමන් ගත්තේය. තට්ටු දෙකකින් යුක්ත වූ එම දුම්රිය මැදිරියේ පහත තට්ටුවේ ඔහු නිදා ගත්තේය. එහි උඩ තට්ටුවේ මැදිවියේ සිටි මුදලාලි කෙනෙකු වෙන් කරගෙන තිබුණි. දුම්රිය රාගමට ළඟාවෙන විට සිල්වා මහතාට නිදිමත හැදී නිදා ගැනීමට සූදානම් විය. තමාගේ හිසට උඩින් දැල්වුණු විදුලි ආලෝකය ඔහුට බාධාවක් විය. මුදලාලි පොතක් කියවමින් සිටියේය.  


”මොකද උන්නැහේ නිදා ගන්නේ නැද්ද? මට ඔය ලයිට් එක නින්දට බාධාවක්” සිල්වා මහතා පැවසීය.  


”හොඳ පොතක් අහුවෙලා මේ මං ඒක කියවනවා. තව ටිකයි තියෙන්නේ. හොඳ රසවත් පොතක්.  


”නිවාදානව ඕයි, ඔය ලයිට් එක. ඔය උලව් පොත වීසි කරලා දාල.”  


”මහත්තයා මේක වීසි කරල දාන්න පොතක් නෙවෙයි. මහත්තයලා ඉංග්‍රීසි කට ගාගෙන කලිසන් ඇන්දට මේවයේ අගේ තේරෙන්නේ නෑ.”  


”මොකක්ද තමුසෙගෙ වැදගත් පොත? ”බණ පොතක්ද?”  


”හිඟන කොල්ලා. මේක සිංහල නවකතාවක්.” කී මුදලාලි ”නමවත් අහල නැතිව ඇති” යි සෙමින් පැවසුවේය.  
සිල්වා මහතා තවත් කතා නැතිව සයනයේ වැතිර ගත්තේය.  


”මා හිඟන කොල්ලා ලියූ හැටි” නමින් සිල්වා මහතා සිළුමිණ පුවත්පතට ලියූ ලිපියක මේ සිද්ධිය සඳහන් කර ඇත.”  
”හිඟන කොල්ලා කියවමින් එදා මා සමඟ දුම්රියෙන් මන්නාරම බලා ගිය මුදලාලි මට බැණුම එපමණකින් නොනැවත්තුවේය. මා කෙරේ උපන් මහත් පිළිකුළෙන් හෙතෙම පොත වසා බෑගයේ දමා මට මොන මොනවදෝ දොඩවන්නට විය. පසුවදා දුම්රියෙන් බසින විටද ඔහු මට ප‍්‍රත්‍යාචාර මුඛයෙන් වචනයක්වත් නොතෙපලා මහත් නොමනාපයකින් යන්නට ගියේය. එදා රෑ ඔහු සිටි ස්වභාවයේ හැටියට යම් ලෙසකින් ”හිඟන කොල්ලා” කර්තෘහු මා බව හඳුන්වා දෙන්නට ගියා නම් ඔහුට එය නොපිළිගැනෙනු පමණක් නොව මා එයින් නැවතත් කළේ සරදමක් හැටියට පිළිගැනෙනු නිසැකය.” සිල්වා මහතා එම ලිපියෙන් කියා තිබුණි.  


ප‍්‍රකට නවකතාකරුවකු, පුවත්පත් කලාවේදී, නාට්‍ය රචක ඩී.වී. සෙනෙවිරත්න 1957 ජූනි 15 වෙනිදා ”චලන චිත‍්‍ර” සිනමා සඟරාවට ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්ගේ අවසන් ගමන ගැන ලියූ වචන ටිකෙන් මේ ලිපිය අවසන් කරමි.  


”1957 ජූනි 3 වෙනිදා සන්ධ්‍යා සමයේ ඇතිවූ වැහි අඳුර මධ්‍යයේ කනත්තේ සුසාන භූමියේ දී මේ විශාරද නවකතාකරුගේ දේහය ගිනිදැල්වලින් වෙළා ගන්නා හැටි මම දුටිමි. අර්ධ ශත සංවත්සරයක් තුළ සාහිත්‍යයට කැප කළ උදාර ජීවිතයක්, නෂ්ටප‍්‍රායවීමෙන් තම සිත්හි ගැබ්ව තිබුණු ඔහුගේ පරම පවිත‍්‍ර ප්‍රේමයත්, බුර බුරා දැල්වෙමින් අහසට නැගුණු ගිනිදැල් සමඟ අතුරුදන් විය.”

 

 

ඒ. ඩී. රන්ජිත් කුමාර