එදා හෙළදිව මංගල ආරාධනාපත්


 

අතීතයෙහි මේ සිරිලක විසුවෝ ගුණ යහපත්කමින්, සමාජයීය වටිනාකම් වලින් පෝෂණය වූවෝ වෙති. මෙහි විසූ ස්වදේශීය ජනයා කුටුම්භ වශයෙන් ජීවත් වුවද, ගැහැනුන් මිනිසුන් වශයෙන් තමන් ඔවුනොවුනගේ පවුල් සංස්ථා ආරක්ෂා කරමින් ශිෂ්ට සමාජ ජන කොටසක් වශයෙන් ජීවත්වුණි.   


ඉන් අනතුරුව සිරිලක යටත් විජිතයක් වශයෙන් පැවති යුගයෙහි ස්වදේශිකයන් හට රෝම ලන්දේසි නීති පද්ධතියක් ඇතිකර ඔවුනට නෛතික වශයෙන් බැඳීමක්, නීතියෙන් සරණ බන්ධනයකට යටත් කෙරුණි. අපගේ ආදි මුතුන් මිත්තන් නීතියෙන් කසාද බැඳීමේ කරද‌ාසියකට අත්සන් නොකෙරුවත් ඔවුනොවුන් අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකාට බැඳී මරණය තෙක් කුටුම්භයක් වශයෙන් ජීවත්වුණි.   


මෙහි විසුවෝ පෙරදී නොයෙකුත් විවාහ ක්‍රම අනුගමනය කළ අතර ප්‍රධාන වශයෙන් ‘‘දීග සහ බින්න’’ වශයෙන් පැවතුණි. ‘‘දීග’’ යනු පුරුෂයාගේ පස ඥ‌ාතීන් සමඟ ගැහැනිය ජීවත්වීමද, ‘‘බින්න’’ යනු ගැහැනියගේ ඥ‌ාතීන් සමඟ පුරුෂයා විසීමද අතීතයෙහි සිදුවුණි.   


තවද වෛවාහක ක්‍රම අනුව ‘‘බහු භාර්යා සේවනය’’, ‘‘එක ගෙයි කෑම’’ ආදී සමාජ සම්මත ක්‍රම මගින් ප්‍රධාන පෙළේ පවුල් අතරද, ග්‍රාමීය මට්ටම්වල පවුල් අතරද මෙම ක්‍රමය ක්‍රියාත්මක විය.   


විශේෂයෙන්ම, අපගේ සිංහල පවුල් අතර පැවති ඇවැස්ස නෑකම මත පදනම් වී තිබුණ නෑණා - මස්සිනා විවාහය සමාජයෙහි තදින්ම පැවැතුණි. එනම් පළමු පවුලේ වෙන්වූ දෙපාර්ශවය දෙවැනි පවුලේ විවාහයක් සමග එක්වීමයි.   


පසු කාලයේදී මෙම කාරණාවට නෛතික පදනමක් ඇතිකිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් ස්වදේශී ජනයා නීතියෙන් යටත් කොට සරණ බන්ධනයකට පත්කිරීම විවාහ නීති මගින් සිදුකෙරුණි. ඒවා ප්‍රධාන වශයෙන් ‘උඩරට - පහතරට විවාහ ක්‍රම’ මගින් සංස්ථාපනය කෙරුණි. සිංහල ජනයා ඉන් අනතුරුව කසාද නීතිය යටතේ විවාහ වී පසුව ඒ පිළිබඳව සාක්ෂි වශයෙන් තමාගේ ඥ‌ාති සමූහයාට දක්වනු වස්ද, හිතෛෂියන්ට දක්වනු වස්ද පසුකාලීනව මංගල ආරාධනා පත් මුද්‍රණය කොට බෙද‌ාහරින ලදී.   


එයට උද‌ාහරණ වශයෙන් මා සන්තකව සුරක්ෂිතව ඇති මංගල ආරාධනා පත් සාක්ෂි දරයි.   


ඒ අනුව මෙම ආරාධනා පත්‍රය මුද්‍රණය කොට ඥ‌ාති සමූහයා සඳහා ඇරයුම් කොට ‘‘වර්ෂ 1899 ක් වූ මැයි මස 30 වැනි දින මහනුවර තල්වත්තේදීය. ‘‘තෙරුවන් බෙලෙන් සැරදේවා’’ ‘‘සුභමංල්‍යස්තු’’ යටිනුවර ගඟවට පළාත තල්වත්තේ රන්හාමි කාරිය කරන නිලමේ සහ මැණිකේ විසින් ගෞරවාදර ස්තූති පැවැත්වීමෙන් දන්වා එවන මංගල්‍යාරාධනාවයි. අපගේ ප්‍රිය පුත්‍රවූ පී. ප්‍රේමචන්ද්‍ර මහත්මයා - අම්පිටියේ පදිංචි ටී.බී. බැද්දේවල මහත්මයාගේ ප්‍රිය දියණියන් වන සෝමවතී බිසෝ මැණිකේ සමඟ ලබන ජූනි මස 21 වැනි බුද දින සිරිත් ප්‍රකාර විවාහයට ඇතුළත් වන ප්‍රීතිය සඳහා අප විසින් පිළියෙල කරනු ලබන මංගල්‍යය භෝජනාදීය පිළිගනිමින් අප සමග සතුටුවීම පිණිස තමුසේ ජූනි මස 20 වෙනි දින සවසට අපේ නිවසට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු’’   


වර්ෂ 1969 දී උත්තර මන්ත්‍රී මණ්ඩලයෙහි සභාපති වූ ග්‍රාම සංවර්ධන සහ ස්වදේශ කටයුතු ඇමැතිවරයා වූ වර්ෂ 1952 දී වත්තේගම හිටපු මන්ත්‍රී අභයරත්න රත්නායක (ඒ. රත්නායක) මහතාගේ මංගල්‍යාරාධනා පත්‍රය මෙසේය.   


''Mr. P.B Ratnayake & Kumarihamy Request the pleasure of your Company onThursday the 27th of May, 1926 at 5.00 p.m. at their Residence at Katugastota, on The Occasion of The marriage of Their son Abhayaratne Ratnayake (B.A. London) Principal of Mahabodhi College, Colombo with Amawathie Andarawewa - Daughter of P.B Andarawewa Esq. (Ratemahatmaya of udahewaheta, Nuwara Eliya) and Andarawewa Kumarihamy Reception at Abhayagiriya, Katugastota abhayagiriya, Katugastota 1st May 1926''   


‘‘වර්ෂ 1904 ක් වූ අප්‍රේල් මස 25 වෙනි දින කොළඹ ග්‍රෑන්ඩ්පාස් වීදියේ නො. 54 දරණ නිවසේදීය. ගෞරවාදරයෙන් සැලකර සිටින පූර්වනාම පත්‍රයේ වගනම් කොළඹ ග්‍රෑන්ඩ්පාස් වීථියේ පදිංචිව සිටි දොන් සයිමන් ප්‍රේරා විජේරත්න ගුණවර්ධන මුදියන්සේ රාලහාමිගේ සහ එලිසැබැත් ප්‍රේරා විජේරත්න ගුණවර්ධන වලව්වේ මහත්මයා වන මගේත් ප්‍රිය දූහිතෘ වූ ඇඩ්ලීන් ඇලනර් නෝනාහාමු, අලුත් කූරු කෝරලේ රාගම පත්තුවේ කඳ‌ානේ පදිංචිව සිටි අයිසැක් කුරේ අප්පුහාමී සහ එම ගම පදිංචි පොර්ලෙන්තිනා කල්දේරා හාමිනේගේ ප්‍රිය පුත්‍ර වූ පොලීසියේ ඉන්ස්පැක්ටර් ධූරය දරණ පීලික්ස් තෝමස් කුරේ මහත්මයා සමඟ ශුභ සරණ බන්ධනයට ඇතුළත්වීමට ගිවිස සිටින බැවින් ලබන මැයි මස 1 වන ඉරුදින මෝදර කැතීඩ්‍රල් දේවස්ථානයේදී පළමුවෙනි පූර්වනාම ප්‍රසිද්ධ කරන බව මෙයින් සාදරයෙන් දන්වන්නේ, හිතේසි වූ එලිසැබැත් ප්‍රේරා විජේරත්න ගුණවර්ධන.   


''Ezline Mahawalatanne Ellawala Kumarihamy (Widow of the Late Mr F.T Ellawala Ratemahatmaya) Requests the Pleasure of the Company of on the Occasion of the marriage of her youngest daugnter Leila with Mr. Bertram Henry Dunuwille (Proctor And Notary - Kandy) on the Thursday the 21st June 1928, at 1.30p.m. Ceremony & Reception at Pussaliyedde walawwa Pussaliyedde walawwa - Ratnapura 28th May, 1928 R.S.V.P. - (Cave)''

 

මහින්ද්‍ර මෙෂාන් බණ්ඩාර වඩුගොඩපිටිය
පහළ ඉඹුල්ගොඩ