එක රටකට ගිහින් රටවල් තුනක් දකින්න


එක රටකට ගොස් රටවල් තුනක් දැකීමේ අවස්ථාව පාකිස්ථානයට ගිය විට ලැබේ. එය නම් එක් අතකින් අරුම පුදුම අත්දැකීමකි. ඒ අත්දැකීමේ එක් කෙළවරක ක්‍රිකට් ක්‍රීඩාව ගැට ගැසී තිබීම තවත් විශේෂත්වයකි.   


අප නැවතී සිටි ලාහෝර් නුවර ‘‘මාර්කෝ පෝලෝ’’ හෝටලයේ සිට බටාපූර්වලට කිලෝ මීටර් 22කි. එතැන් සිට ‘‘වගා බෝඩර්’’ වලට කිලෝ මීටර් 6කි. පාකිස්තානු ඉන්දිය දේශසීමාව පිහිටා තිබෙන්නේ එහිය. එතැනට ගිය විට ඉන්දියාව දැකීමේ අවස්ථාව ලැබේ.   


ඒ පිළිබඳව වෙනමම සටහනක් තබමි.   


පාකිස්තානයේදී අනික් රට දැකිය හැකිවන්නේ පාකිස්ථානය තුළදීමය. ලාහෝර් නගරය එයට කදිම නිදසුනකි. මතුපිටින් එක ලෝකයක් වුවද එය ලෝක දෙකකි.   


ලාහෝරයේ ජනගහනය මිලියන 12කි. වෙනත් ආකාරයකින් ලියන්නේ නම් ලාහෝරයේ වැලිකැට ගණනට ජනයා ජීවත් වෙති.   


‘‘ලාහෝර්වලදී තරම් ඇති නැති පරතරය දකින්න පුළුවන් වෙනත් තැනක් නැති තරම්. තියෙන කෙනාට හෙලිකොප්ටර් පවා තියෙනවා. නමුත් කුණු බක්කිවලට අතදාලා කෑම හොයන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා’’ ලාහෝරය ගැන ඒ විවරණය ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ලාහෝර් කළමනාකරු සමන් රත්නායක සොයුරාගෙනි.   
එය අප ඇස් දෙකෙන් දුටු ඒකාන්ත සත්‍යයයකි. ලක්බිමේ ගීත් ගුණසේකර, ජනයුගයේ රමේෂ් වරල්ලගම, ද නේෂන් හි රතීන්ද්‍ර කුරුවිට සමඟ මම ලාහෝර්හි අනර්කලී ප්‍රදේශයේ ඇවිදයමින් සිටියෙමි. අනර්කලී ප්‍රදේශය කොළඹ පිටකොටුව ප්‍රදේශය මෙනි. පයින් ඇවිද යෑමට මාවතක් නැත. ඉඩකඩ තිබෙන හැම තැනකම වෙළෙඳ‌ාම්ය. දූවිල්ලෙන් පිරී ගියද එළිමහනේ අවන්හල්ය. බාබර් සාප්පුවද මහා පාරේමය.   

 

 

එක්වරම දුටු දෙයින් අපි විමතියට පත් වීමු. කුණු බක්කියකට අත දමා කෑම සොයන අහිංසක දරුවන් හතර පස් දෙනෙකුගේ දසුන සැබැවින්ම මනුෂ්‍යත්වයේ අසරණකම කියාපාන්නකි. ගීත් එක්වරම කැමරාව ඇසට ගත්තේය. එය දුටු දරුවෝ මොහොතක පමාවකින් තොරව දුව ගියාහ. එසේ දුවගිය එක් දරුවෙක් ඈත කුළුණකට මුවා වී අප දෙස බලා සිටින ආකාරය මම දුටුවෙමි. ඒ ඇස්වල රැඳී තිබුණ අහිංසකකමත්, වේදනාවත් මගේ ළය විනිවිද ගිය කිණිසි තුඩක් බඳුය. වරදකාරී හැඟීමෙන් මගේ සිත පිරීගොස් තිබේ. ඒ අැස් දෙක පිළිබඳ මතකය මගේ මතකයෙන් කිසිද‌ා බැහැර නොයනු ඇත.   


ලාහෝරයේ මහ පාරක යාම අතුරේ යාමක් බඳුය. සැබැවින්ම එය දින නියමයක් නැති මරණ සහතිකයක් අතින් රැගෙන යාමක් බඳුය. මාර්ග නීති හෝ මාර්ග විනයක් හෝ ඔවුන් කිසි දිනෙක අසා දැක නැතුවාත් බඳුය. කතාබහෙන් තොර ඔවුහු පිම්මේ දුවති. තවකෙකු සමඟ සිනාසීම අහම්බයෙන් සිදුවන්නකි. සැබැවින්ම එම හැසිරීම් රටාව ගුප්තය. විකෘතිය.   


මේ මිනිසුන් ජීවත් වෙන්නේ කොයි වෙලාවේ බෝම්බයක් පිපිරිලා මැරෙන්න වෙයිද දන්නේ නෑ කියන බයෙන්. සමන් රත්නායක සොයුරා සිය අත්දැකීම් වචන කළේය.   


එයද සත්‍යයකි. මට සිහිපත් වූයේ යුද සමයේ කොළඹ ජීවත් වූ ආකාරයයි. මරණ බියෙන් දවස් ගෙවා දැමූ ඒ බියකරු අතීතය ලාහෝර් නගරයේ යළි පණ ලබා තිබේ.   


එක් අතින් වැලිකැට ගණනට මිනිස් සේනාවය. අනික් අතට දරිද්‍රතාවයේ යඳඬුවලට ඔවුහු මැදිවී සිටිති. අනු අංකයක් නැති ගිනිඅවි හා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් අභය ද‌ානය ඉල්ලා සිටීමට ඔවුන්ට සිදුවී තිබේ. මනුෂ්‍ය ජීවිතයකට උරුම කිසිදු සුබවාදී ප්‍රාර්ථනාවක් නිර්මාණය කර ගැනීමට ඒ ශාපලත් පරිසරය තුළ ඔවුන්ට හැකියාවක් නැත. තමන්ගේ ජීවිත අභ්‍යන්තරයෙන් මතුවන තෘප්තිමත් බවක් මතු කර ගත නොහැකි මනුෂ්‍යත්වයේ අසරණකම දිගේලි කෙරුණු බිමේ ජීවත් වන ඒ ජනයා තම ජීවිතයට අද‌‌ාළව ප්‍රීතියක්, ප්‍රමෝදයක් ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙනි.  
ක්‍රිකට් ක්‍රීඩාව ඒ බිමේ උණක් මෙන් පැතිර ගොස් තිබෙන්නේ එහෙයිනි. ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් මෙන් ඔවුන් වැලඳගෙන තියෙන්නේ එහෙයිනි. ක්‍රිකට් ඔවුන්ගේ ජීවිතයේ ප්‍රබෝධයද ජීවන විලාශයද ජීවන විලාසිතාවද බවට පත්ව තිබෙන්නේ එහෙයිනි. පාකිස්ථාන ක්‍රිකට් උන්මාදයේ සැබෑ අරුත එයයි.  

 

 

2009 වසරේ මාර්තු 03 වැනිද‌ා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර ලාහෝර්හි ලිබර්ටි වටරවුම අසලදී ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරය පාකිස්තානුවන්ගේ ජීවිත ප්‍රබෝධය සීසීකඩ බිඳ දැම්මේය.  


අට වසරක් කල් ඔවුන් කල් ගෙවූයේ ජීවිතයට අරමුණක් ​නොමැතිසේය. සතුටු වීමට හේතුවක් නොමැතිසේය. තිසර පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයක් සඳහා හෝ ලාහෝර් නුවරට පැමිණීම ඔවුන් ප්‍රීති ප්‍රමෝදයට පත්වීමට හේතුවක් වී තිබුණේ එහෙයිනි.  


ගඩාෆි ක්‍රීඩාංගණය එකම හිස් ගොඩකි. ආරක්‍ෂක විධිවිධාන තර කර තිබූ හෙයින් ක්‍රීඩා ලෝලීහු වේලාසනින්ම ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ. එහි එක් විශේෂිත දසුනක් විය. පාකිස්තානු ජාතික ළමුන් පිරිසක් ශ්‍රී ලංකා ජාතික ධජ විශාල ප්‍රමාණයක් ​රැගෙනවිත් ක්‍රීඩාගාරයේ අසුන්මත තැබූහ. එතැන එකම ගාලගෝට්ටියකි. ඒ ශ්‍රී ලංකා ජාතික ධජය ලබාගැනීමටය. පාකිස්ථානු ජාතිකයෝ පොර කකා ශ්‍රී ලංකා ජාතික ධජය ලබාගත්හ. මුළු ක්‍රීඩාංගණය පුරාම එම දුලභ දසුන දැකගත හැකි විය.  


අමතක නොකළ යුතුය.

  
1996 වසරේදී අර්ජුන සහ පිරිවර ලෝක ක්‍රිකට් කිරුළ දිනාගත්​ෙත්ද ඒ ගඩාෆි ක්‍රීඩාංගණයේදීමය. එදා අපේ ප්‍රතිවාදියා වූයේ ඕස්ට්‍රේලියාවය. එහෙත් ප්‍රේක්ෂක සහයෝගය හිමි වූයේ ශ්‍රී ලංකාවටය. එදිනද ක්‍රීඩාංගණය පුරා ශ්‍රී ලංකා ධජ ලෙළදුන්නේය.  


මෙද‌‌ා වෙනසකි.  


මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදියා පාකිස්ථානයය. එහෙත් පාකිස්ථානු ප්‍රේක්‍ෂකයන් ශ්‍රී ලංකා ධජය ළෙල දෙයි. පාකිස්තානුවකුගේ හතරේ පහරකට හයේ පහරකට ලැබුණු උද්යෝගිමත් ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ හතරේ පහරකට හයේ පහරකටද වෙනසකින් තොරව ලැබිණි.  


පාකිස්තානුවන්ගේ වීරයා බවට පත්ව සිටියේ තිසර පෙරේරාය. ක්‍රීඩාගාරය ආසන්නයේ පන්දු රකින හැම අවස්ථාවකදීම ප්‍රේක්‍ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර තිසරට ලැබිණි. ප්‍රේක්‍ෂකයන්ට අතවනා ආචාර කිරීම හැරුණු විට තිසරට පන්දු රැකීමට නොහැකි තත්ත්වයක් ඇති වූවා වැනිය. අවසානයේදී පිටිය මැද පන්දු රැකීමට තිසරට සිදුවිය.  
පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ශ්‍රී ලංකාවෙන් ගොස් සිටි මාධ්‍ය​වේදීන් සිව් දෙනාට විශේෂ හැඳුනුම්පතක් නිකුත් කර තිබිණි. එහි අපගේ සේයාරුව සමඟ ‘ශ්‍රී ලන්කන් ජර්නලිස්ට්’ යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලොකුවට දක්වා තිබිණි. ආරක්‍ෂක හේතු මත එම හැඳුනුම්පත පැලඳ සිටීම අපට අනිවාර්ය විය. මාධ්‍ය කුටියේ තරගය නරඹන අපි සමහර වේලාවන්හිදී සාමාන්‍ය ප්‍රේක්‍ෂකයන් සිටින ක්‍රීඩාගාර දෙසට යන්නෙමු. එහෙත් එහිදී අපට තරගය නැරඹීමට අවස්ථාව ලැබෙන්නේ නැත. අපට සිදුවන්නේ පාකිස්තානු ප්‍රේක්‍ෂකයන් සමඟ ‘සෙල්ෆි ඡායාරූපවලට’ පෙනී සිටීමටය.  


හැඳුනුම්පත නිසා අප ශ්‍රී ලංකාවෙන් බව දැනගත් විට ඔවුහු අප ළඟට පැමිණ ඔවුන් සමඟ ඡායාරූපයකට එක්වන්නැයි ආරාධනා කරති. එක් ඡායාරූපයකට පෙනී සිටිවිට තවත් දිගු පෝලිමකි. අප අනවශ්‍ය අවධානයකට ලක් වී ඇති සෙයකි. පසුව මාධ්‍ය කුටියටම වී තරගය නැරඹීමට අපි තීරණය කළෙමු.  


තරගයෙන් අනතුරුව අප රැඳී සිටි හෝටලයට යාමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබා දී තිබූ වාහනය වෙනුවට ටැක්සියකින් එහි යාමට අපි තීරණය කළෙමු. පාකිස්තානු ක්‍රිකට් ප්‍රේමීන්ගේ හඳ ගැහෙන රිද්මය හඳුනා ගැනීම අපගේ අරමුණ විය.  


ටැක්සියක් ලබා ගැනීමට ක්‍රීඩාංගණයේ සිට කිලෝ මීටර 2කට වැඩි දුරක් පා ගමනින් යාමට අපට සිදුවිය. තරගය නරඹා නිවෙස් කරා යන දහස් සංඛ්‍යාත ක්‍රිකට් ප්‍රේමීන්ට මැදිව අපි ගමන් කළෙමු.   


‘ශ්‍රී ලංකා සින්ද‌ාබාද්’ ඒ ජනී ජනයා අතරින් එබඳු උද්යෝගිමත් පාඨ ප්‍රකාශ වූයේ යැයි ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් සැබැවින්ම එය එසේ විය. මවුබිමෙන් සැතපුම් සිය දහස් ගණනක් දුරින් පිහිටි බිමක නන්නාදුනන අපට ශ්‍රී ලාංකිකයෙකු වීම සම්බන්ධයෙන් ඇති වූයේ ප්‍රමාණය ඉක්මවා ගිය තරමේ ප්‍රසාදයකි.  


‘‘අපි මෙහෙන් ඡන්දෙ ඉල්ලුවොත් පාර්ලිමෙන්තු යන්න පුළුවන් වෙයි වගේ අපේ මාධ්‍ය මිතුරා රමේෂ් වරල්ලගම කීවේය. සැබැවින්ම එය එසේම යැයි එද‌ා ඔබ පාකිස්තානයේ සිටියේ නම් විශ්වාස කරනු නියතය.  


ටැක්සි හිඟය. එක් ටැක්සියක් නතර කළ විට එයට දහ පහළොස් දෙනෙක් පොරකති.  


‘‘ඕ ශ්‍රීලන්කන් ජර්නලිස්ට්’ අයෙක් කෑගැසූහ. සියල්ලන්ගේම අවධානය අප වෙතට යොමු විය. ඊළඟට පැමිණි ටැක්සිය කිසිදු තරගයකින් තොරව අපට බාරවිය. ටැක්සි රියදුරා වියපත් මිනිසෙකි. ඔහු ලංකාවට ආදරය කරන බව මග දිගට කීවේය.  

 

 

‘සනත් ජයසූරිය කන්ට්‍රි, සංගක්කාර කන්ට්‍රි, ඔහු ලංකාව හැඳින්වූයේ එසේය. අපි හෝටලය වෙත ගියෙමු, ගාණ කීයදැයි ඇසූ විට ඔහු කියා සිටියේ. මුදල් එපා කියාය.  


‘ඔබලා අපගේ වීරයෝ’ ඔහු කීවේය.   


මේ උණුසුම් පිළිගැනීම අපට බොහෝ අවන්හල්වලදීද හමුවිය. බොහෝ අවන්හල් අපගෙන් මුදල් නොගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට පැමිණීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපමණ ගෞරවයක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ.  


‘පාකිස්තානයට ක්‍රිකට් කණ්ඩායම එවන්න අපි ගත්තේ අතිශයින්ම දුෂ්කර තීරණයක්. නමුත් අපි කල්පනා කළේ ක්‍රිකට් ක්‍රීඩාව ගැනයි. පාකිස්තානය දිගටම මෙහෙම ගියොත් පාකිස්තානයේ ක්‍රිකට් දුර්වල වෙනවා. පාකිස්තානයේ ක්‍රිකට් දුර්වල වෙනවා කියන්නේ ආසියාවේ ක්‍රිකට් දුර්වල වෙනවා කියන එකයි. අාසියාවේ ක්‍රිකට් දුර්වලවීම අපේ රටටත් බලපානවා. ඒ නිසා මේ දුෂ්කර මොහොතේදී අපි එකට අත්වැල් බැඳගමු’ තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල කීවේය.  


සැබැවින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට පැමිණීම සම්බන්ධයෙන් පාකිස්තානුවන්ගේ රළ ගසන උද්යෝගයට හේතුව එයම විය නොහැකිද?  


ඉම්රාන් ඛාන් යනු පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් නායකයාය. පාකිස්තානුවන්ගේ අද්විතීය ක්‍රිකට් වීරයා ඉම්රාන් ඛාන්ය. ඔහු අද දේශපාලනයේ නිරත වේ. පාකිස්තානයේ විපක්‍ෂයේ බලගතුම නායකයා ඉම්රාන් ඛාන්ය. එහෙත් ඔහු කියා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්ථානයට පැමිණීම නිර්භීත පියවරක් බවය.

‘පාකිස්තානයේ ජනතාවගේ ක්‍රිකට් වීරයෝ ශ්‍රී ලංකාවයි’ ඉම්රාන් ඛාන් කියා තිබිණි  


තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය. එහෙත් වෙනද‌ාට තරගයක් පැරදුණු විට ඇතිවන පාළු සෝබර සාංකාව මෙවර අපට නම් ඇති වූයේ නැත. ඒ තිසර පෙරේරා ඇතුළු ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානුවන්ගේ වීරයන් වීම නිසාය. එය රටක් වශයෙන් අත්පත් කර ගත හැකි උපමා නැති ජයග්‍රහණයකි.  

 


පාකිස්තානු සංචාරයේ තවත් කතා ලබන සතියට

 

 

 

 

 

 

පාකිස්තානයේ ලාහෝර් නුවර සංචාරයකින් පසු.  
සටහන 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්