එංගලන්තෙ නගරෙක නගරාධිපති වූ ලාංකික කාන්තාව


ශ්‍රී ලංකාව තමන් මියයනතුරු ආදරෙන් වැළඳ ගන්නා බවත් තමන්ගේ ජීවිතයට වඩා ශ්‍රී ලංකාවට ආදරය කරන බවත් බ්‍රිතාන්‍යයේ උතුරු ලන්ඩනයේ හැරෝ ප්‍රදේශයේ ප්‍රාන්තයේ නගරාධිපතිනිය වූ කයිරු කරිමා මරික්කාර් මහත්මිය පැවසුවාය.   


උතුරු ලන්ඩනයේ ‘හැරෝ’ ප්‍රාන්තයේ නගරාධිපතිනිය පසුගියද‌ා ඇයගේ මිතුරකුගේ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීම සඳහා මෙරටට පැමිණ සිටි අවස්ථාවේ දී දඹුල්ල ප්‍රදේශයේ දී මේ බව පැවසුවාය. ඇය ලාංකික කාන්තාවකි.   


තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලේ මස් නහර ජීවිතය ඕනෑම දෙයක් පූජා කිරීමට පවා සූද‌ානම් බවත් ශ්‍රී ලංකාව කිසිදු ආකාරයකින් බෙදීමට තමන් විරුද්ධ බව කියා සිටියාය.   


තමා මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් ශ්‍රී ලංකාවේ ඉගෙනගත් මුස්ලිම් ජාතික කාන්තාවක් බවත් තම මව් රටට මවට පියාට මෙන් ආදරය කරන බවද තම මවගේ පියාගේ දේහයන් ශ්‍රී ලංකා භූමියේ භූමද‌ාන කර ඇති නිසා තමන් තවදුරටත් මේ රටට ආදරය කරන බව ඇය කීවේ කඳුළු සලමිනි.   


තමන් බ්‍රිතාන්‍යයේ උතුරු ලන්ඩනයේ හැරෝ ප්‍රාන්තයේ නගරාධිපතිනිය ලෙසත් මන්ත්‍රීවරයෙකු ලෙස සිටි කාලයේත් සුවිශාල වූ කාර්යයක් ඉටු කරමින් සිටින බවත් කීවාය. තමන් තම ප්‍රදේශයේ සේවය කරනු ලබන්නේ කුඩා යතුරුපැදියකින් ගමන් කරමින් බවද කසළ එකතු කරන ටැක්ටරේ නැග රාජකාරි පවා සිදු කරන බවද ඇය ආඩම්බරයෙන් කීවාය.   


ශ්‍රී ලංකාවේ දේශපාලනයට තමන් දැඩි බියක් දක්වන බව ද කෙසේ වෙතත් පෙරද‌ා රට ඉතා හොඳට පාලනය කළ බණ්ඩාරනායක පවුලේ බලය ගිලිහී යාම පිළිබඳව ඇය සිය කනස්සල්ල පළ කළාය. බණ්ඩාරනායක පවුලේ පිරිස එකල තම දෙමාපියන් සමග සමීපව කටයුතු කළ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.   


බ්‍රිතාන්‍යයේ උතුරු ලන්ඩනයේ හැරෝ ප්‍රාන්තයේ නගරාධිපතිනිය ලෙස දැනට කටයුතු කරනු ලබන මරික්කාර් මහත්මිය මහනුවර උසස් බාලිකා විදුහලේ අධ්‍යාපනය ලැබූ කාන්තාවකි.   


තමන් හට ලක් රජයෙන් යම්කිසි බලයක් පවරන්නේ නම් රට වෙනුවෙන් රටේ බෙදීම නැවතීම වෙනුවෙන් ලෝකයේ ඕනෑම තැනකට ගොස් ජනතාව දැනුවත් කිරීම සඳහා ඉදිරිපත් වන බවත් ඇයට ලංකාව ගැන කතා කිරීමේදී දෑස්වලට කඳුළු එන බවත් ඇය පැවැසුවාය.   


කයිරු කරිමා මරික්කාර් නගරාධිපතිනිය තවදුරටත් අප සමඟ මෙරට දේශපාලන තත්ත්වය තමන් ශ්‍රී ලංකාවේ පදිංචිව සිට වෙනත් රටකට ගොස් නගරාධිපතිනිය බවට පත්වීම එම ප්‍රාන්තයේ පළවෙනි පුරවැසියා බවට පත්වීම පිළිබඳව අදහස් පළ කළා ය.   


 “මම එංගලන්තයේ ප්‍රාන්තයක නගරාධිපතිනියක් බවට පත්වීම මහ දිග කතාවක්. ඒ දිග කතාව මං හිතන්නේ ලංකාවෙම විතරක් නෙවෙයි ලෝකෙම කාන්තාවන්ට වැදගත් වේවි. මොකද මම අද වන විටත් සැමියාගෙන් ඉවත් වෙලා ඉන්න, දරුවන් හද‌ාගෙන ජීවත් වෙන ගැහැනියක්.   


මම ශ්‍රී ලංකාවේ බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු මරක්කල ගැහැනියක්. මම මහනුවර ප්‍රදේශයේ පේරාදෙණියේ පදිංචි වෙලා හිටියේ. ඉස්කෝලේ ගියේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට. අම්මලා, තාත්තලා සියලු දෙනාම ප්‍රබල ව්‍යාපාරිකයෝ. ඒ වගේම ඒ අයත් බණ්ඩාරනායක මහත්තයලත් එක්ක මේ රටේ දේශපාලනය කරපු මරික්කාර් පවුලේ අය.”   
 “මම අධ්‍යාපනය අවසන් වෙලා ලන්ඩනයේ පදිංචි කෙනෙක් එක්ක තමයි විවාහ වුණේ. දරුවන් තුන්දෙනෙක් ලැබුණට පස්සේ මේ සැමියා සිදු කළේ මගේ තිබෙන සියලුම දේපළ අත්පත් කරගැනීම. දරුවනුත් මමත් මහ පාරට වැටුණා. කුඩා කාමර දෙකක් අරගෙන තැන් තැන්වල වැඩ කරමින් අනේක දුක් විඳිමින් තමයි මම ඒ රටේ දරුවො ටික හැදුවෙ. ඒ දුක අදටත් කියන කොට මට ඇස් දෙකෙන් කඳුළු එනවා. කරන්න තියෙන හැම සේවයක්ම කළා. ඒ දරුවෝ ජීවත් කරවන්න.”   


 “එක දවසක් මට සැමියාගෙන් සිදුවෙලා තියෙන මේ අසාධාරණය පිළිබඳවත් මම දරුවන් ජීවත් කරවන්නේ කොහොමද කියල දැනගන්නත් එක්ක මම ගියා ඒ රටේ ඇමතිවරයෙක් හම්බවෙන්න. මම ඇමතිවරුන්ට නෙවෙයි කිසිම කෙනෙකුට බය නෑ. මම ගිහිල්ලා මේ සිද්ධිය කියලා කරුණු විමසන්න ගත්තා. මේ අසාධාරණය පිළිබඳව මම හයියෙන් ඔහු ඉදිරියේ කතා කළා. කාන්තාවන්ට සිදුවන අසාධාරණය ගැන දරුවන්ට සිදුවන අසාධාරණය පිළිබඳව. මෙවැනි දෙයක් සාමාන්‍ය කම්කරු මිනිහෙකුට සිද්ධ වුණා නම් කුමක්ද වෙන්නේ කියලා මම ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන්න ගත්තා. නිහඬව මේ ඇමතිවරයා බලාගෙන ඉඳලා මට කිව්වේ මීට වඩා ශක්තිමත් වෙන්න. නැති වෙච්ච දෙයක් ගැන හොයනවට වඩා කියන දේ ආරක්ෂා කරගෙන තව තව දේ ලබාගන්න උත්සාහ කරන්න කියලා.”   


 “මම කතා කරන විලාසයත් නීතිය පිළිබඳව මගේ දැනුම පිළිබඳව ඇමතිවරයා සොයා බලලා දින ගණනාවක් යනකොට මට කතා කළා. ඔවුහු එරට කම්කරු ජනතාවගේ ඇමැතිවරයා. කම්කරු පක්ෂය නියෝජනය කළේ. මට එතුමා කිව්වා ඔබට පුළුවන්ද කම්කරු පක්ෂයට බැඳෙන්න කියලා. මම එක පයින් කැමැති වුණා. එද‌ා ඉඳල ඒ ඇමතිතුමා මට විශාල වශයෙන් සහයෝගය දුන්නා. දේශපාලනය කරන්න.”   


මම ඒ ප්‍රාන්තයේ නාගරික මන්ත්‍රීවරියක් හැටියටත් වසර ගණනාවක් සේවය කළා. ඒ සේවය කරද්දී මුළු නගරයේම වැසියෝ මගේ වැඩ පිළිබඳව අවධානය යොමු කළා. පසුව 2017 වසරේ නගරාධිපති තරගයෙන් කම්කරු පක්ෂයට ජය ලබා දීලා මාව නගරාධිපතිනිය හැටියට පත් කර ගත්තා. මම කිසිම කෙනකුට හානියක් කරන්නේ නෑ. හැම පක්ෂයේම නියෝජනය කරන අයට මම සහයෝගය ලබා දෙනවා. ඒ වගේම නගරය පිළිබඳව අවධානයෙන් සොයා බලනවා. කුණු ටික ඇදලා නැත්තං මම කුණු ටැක්ටර් ගිහිල්ලා බලනවා. මට යතුරුපැදියක් තියෙනවා. යතුරුපැදියෙන් උදේම නගරය පරික්ෂා කරනවා. ඒවා ප්‍රදේශයේ ජනතාව දකිනවා. මොකද අනිත් අය එහෙම කරන්නේ නෑ. ඒ නිසා මගේ විශේෂත්වය එයයි. අද ඒ නගරයේ වැසියෝ මට ගොඩක් ආදරෙයි. ඒ වගේම ඒ අය මට කතා කරන්නේ යකඩ ගැහැනිය කියලා. මම පගාවට සල්ලි ගන්නෙ නෑ. පගා ගහලා නෑ. මට හම්බවෙන මුදල් බොහොමයක් ප්‍රදේශයේ පොදු වැඩවලට තමයි යොදවලා තියෙන්නේ.”   


 “ඒ නිසා මම කියන්නේ සැමියාගෙන් විතරක් නෙවෙයි ඕනෑම අයෙකුගෙන් තමන්ට අසාධාරණයක් වුණහම ඒ අසාධාරණය කියව කියව හඬා වැටෙනවාට වඩා ඊට ශක්තිමත්ව මුහුණ දෙන්න කාන්තාවකට පුළුවන් නම් එය තමයි කාන්තා ශක්තිය වෙන්නේ. අපටත් කරන්න බැරි දෙයක් නැහැ. ඕනෑම දෙයක් කරන්න පුළුවන්”.   


 “අද මම ඒ රටේ මානසික උපදේශිකාවක් හැටියට තමයි සේවය කරන්නේ. විශාල පිරිසකට උපකාර කරනවා. මානසික ආතතියට උපදෙස් ලබාදීම විශාල වශයෙන් ක්‍රියාත්මක කරලා. මගෙන් ප්‍රතිකාර ගන්නෙ පුංචි මිනිහගෙ ඉඳලා ඉහළ මිනිහා දක්වාම පිරිස්.”   


 “මෙවැනි පරාජයකට ලක් වෙලා ඒ ජීවිතය ජය ගෙන මානසිකව ශක්තිමත් වෙලා මානසික උපදේශිකාවක් හැටියට කටයුතු කරන්න තරම් ශක්තිමත් වුණා. මගේ මනස වට්ටන්න කාටවත් බෑ. ඒ තරම් ශක්තිමත් මනසක් මට තියෙන්නේ. ලෝකේ හැමතැනම වගේ මට මිතුරු මිතුරියන් දැන් ඉන්නවා. දවසකට ඊමේල් දහස් ගණනාවක් එනවා. එක එක ප්‍රශ්නවලට උත්තර හොයන්න. ඒ වගේම තමයි මම රේන්බෝ කියලා සංවිධානයක් හද‌ා ගෙන ආබාධිත දරුවන්ට උදව් පදව් කරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා.”   


 “මම මරක්කල වුණාට සෑම ආගමකටම සලකන කෙනෙක්. මම බෞද්ධ පරිසරයක හැදුනේ. මහනුවර මහනායක හාමුදුරුවරු අපේ ගෙවල්වල වැඩම කරනවා. ඒ විතරක් නෙවෙයි අපි ද‌ාන මාන දෙනවා. මම කඨින පින්කම් කරනවා. අදටත් මම මගේ ප්‍රාන්තයේ හාමුදුරුවරු ගෙනල්ලා පින්කම් කරනවා. සෑම ආගමකම කියන්නේ හොඳ දේ ගන්න කියලා. ඒ නිසා අපි වෛර සිතුවිලිවලින් ආගමික භේදයකින් කටයුතු කරන්න හොඳ නෑ. මගේ වැඩිම කාලයක් ගෙවලා තියෙන්නේ හාමුදුරුවරුන්ගේ අනුශාසනා එක්ක. අපේ අම්මා තාත්තත් ඒ වගේ පුදුමාකාර ලැදියාවක් බෞද්ධාගමට තියෙන්නේ.”   


 “ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන නම් කතා කරන්න බයයි. මොකද රට ගිය ක්‍රමවේදය ඒ තරම් හොඳ නෑ. දැන්නම් හැබැයි හොඳ වෙයි කියල හිතෙනවා. මොකද මේ රට බෙදනවට මම අකමැතියි. යුද්ධය කරපු රණවිරුවන්ට හානි වෙනවට මං කැමති නෑ. ඒ අය සතුටු කරවන්න ඕන. ඒ අය ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා මගේ ප්‍රාන්තයේ නොවැම්බර් එකොළොස් වැනිද‌ා මම ශ්‍රී ලංකාවේ යුද රණවිරුවන් සමරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අපේ මහ ඇමතිවරයාගෙන් මට අවසරය ලැබුණා. මොකද අවුරුදු තිහක් තිස්සේ මේ රට විනාශ කරන්න තමයි සැලසුම් කරලා තිබුණේ. ඒකට සහයෝගය දෙන්න හොඳ නෑ.”   


“මට රජයේ විශේෂ අවධානයක් යොමු කොට අවසරය දෙනවා නම් මම ලෝකයේ හැම තැනම ගිහිල්ලා ඕනෑම භාෂාවකින් ලෝකය දැනුවත් කරන්නවා. මේ යුද විරෝධී ක්‍රමවේදය රට විරෝධී මේ ත්‍රස්තවාදය ගැන. මොකද ලන්ඩන්වල ඉන්න අපි තමයි මෙහි හොඳම දේ දන්නෙ. ඒ නිසා මම බය නෑ රට වෙනුවෙන් කතා කරන්න. මගේ ලේ මස් නහර මුළු ශරීරයම ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් පූජා කරන්න වුණත් කැමති ගැහැනියක් මං. මොකද මගේ මාතෘ භූමියේ තමයි මගේ අම්මයි තාත්තයි භූමිදාන කරලා තියෙන්නේ. ඒ නිසා මම මගේ රටට ගොඩක් ආදරෙයි. ඒ ආදරය කොහොම ආවද කියල මම දන්නෙ නැහැ. මම පුංචි කාලෙ ඉඳලම මගේ රටට ගොඩක් ආදරේ කළා.” ඇය කියන්නීය.   

 

 

 

සටහන හා ඡායාරූප - 
දඹුල්ල කාංචන කුමාර ආරියද‌ාස