ඌරුමස් වැද්දා නාග විසෙන් මරුට


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

අම්බලන්තොට හේමාල් ගමගේ මහතා ලියා එවූ කතාවකි.  

පියාගේ වැරදි පාරේ ගිය පුතාද වැනසුණි.  


නම ගුණදාස වුවද ඔහු තුළ දුර්ගුණ මිස යහපත් යැයි කිව හැකි ගුණයක් නොවීය. නිසි අධ්‍යාපනයක් හෝ සවිමත් ආර්ථිකයක් නොවූ ගුණදාස බඩවියත රැක ගැනීම සඳහා රා තැබෑරුමක ආවතේවකම් කළේය. ගනුදෙනුකරුවන් ඇණවුමට අනුව පොල් කටුවට රා පුරවා දීම ඔහුගේ රාජකාරියයි. කටගැස්ම සඳහා මඤ්ඤොක්කා ටිකක් තමිම්බා දීම හෝ වෙනත් සැපිය හැකි යමක් ලබා දීමෙන් තැබෑරුම්කරු ගෙවන සොච්චම් මුදලට අමතරව තවත් කීයක් හෝ උපයා ගැනීමෙන්ය.   


කලක් මෙසේ සේවය කළ ගුණදාසකට අපූරු අදහසක් පහල විය. එනම් තමාගේම රා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. නීත්‍යානුකූල තත්ත්වයක් යටතේ නොව හොර රා පොළක් වැඩිකල් නොගොස් ආරම්භ කළේය. එයද සාර්ථක නොවීය. රා සැපයුම්කරුවන්ට ගෙවූ පසු ඉතිරි වූ මුදල ප්‍රමාණවත් නොවීය. පසුව ඔහු රා වලට ඇතැම් දේ කලවම් කර අළෙවි කළේය. ඉන් සිදු වූයේ ද ලාභයක් නොව අලාභයකි. හේතුව ගුණදාසගේ රා කොලිටියෙන් බාලය කියමින් රා පානය කරන සංඛ්‍යාව අඩු වීමයි. ගුණාදස රා පොළ වසා දැමීය.   


ඔහු තවත් ව්‍යාපාරයකට අත ගැසීය. ඒ කසිප්පු පෙරීමයි. ඊට සහය පිණිස තම පුතාද එක්කර ගත්තේය. පොලිසියට හොරෙන් කළ ව්‍යාපාරය දින දින දියුණු විය. ගෝඩා භාජනවලට වැටුණු සතුන් ද මස් දිය වී කසිප්පු බොන්නන්ගේ උදරයට ගිය මුත් ගුණාදාසට ඒවා ප්‍රශ්න නොවීය. මෙසේ ව්‍යපාරය කරගෙන යන අතරතුර පොලිස් ඇසෙන් බේරීමට නොහැකි වූ අවස්ථාද නැත්තේම නොවේ. අතමිට වැඩිපුර ගැවසුණු හෙයින් උසාවියට දඩමුදල් ගෙවීම ද ඔහුට ගැටලුවක් නොවීය.   


කෙනෙකුගේ පක්ෂියා රජ කරන්නේ කෙටි කාලයකි. ගුණදාසගේ ග්‍රහයා නීච විය. වැළඳුනු ලේ වමනය නතර කළ නොහැකි විය. දින ගණනාවක් රෝහලේ වේදනා විඳ ජීවිතයෙන් සමු ගත්තේය. ඔහුගේ කසිප්පු පානය කළ ඇතැමුන්ගේ බොකු බඩවැල් දිරා යාම ගුණදාසට බලපාන්න ඇත.   


ගුණදාසගේ මරණයෙන් පසු පවුලේ බර දරන්නට සිදු වූයේ ඔහුගේ පුතා වූ ප්‍රියන්තටය. ප්‍රියන්ත අන් වෘත්තියක් නොදනී. එනිසා ඔහු පියාගේ වෘත්තිය තෝරා ගත්තේය. පියාගෙන් ලද ඉගෙනුමද තව අත්දැකීම්ද මුසු කරගත් හෙතෙම පියාට වඩා සාර්ථකව ව්‍යාපාරය කරගෙන ගියේය. බූලි ගණනින් නගරය වෙත ප්‍රවාහනය කළේය. විකුණුම් ජාලයක් නිර්මාණය කර ගත්තේය. පොලිසියට කොටු වූ අවස්ථාද බොහෝය. එවැනි විටක පියා මෙන් ඊට මුහුණ දුන්නේය.   


පියාට වඩා මුදලක් ඉපයූ නමුත් අත රැඳීමක් නැත. එය දිය වී යන්නේ ජලය මුසු වූ ලුණු කැට පරිද්දෙනි. කොතරම් මුදලක් අත ගැවසියද පියා තරම්වත් කාලයක් ඔහුට මෙම හොර ජාවාරම කරගෙන යාමට නොහැකි විය. හදිසියේ හට ගත් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත වීමට සිදු වීම ඊට හේතුවයි. එකවර ජීවිතයෙන් සමු ගැනීමට ඔහුට දෛවය ඉඩ නොදුන්නේ කළ පව්කම්වල විපාක තව දුරටත් මෙලොවදීම විඳීම නියමිත වූ හෙයින් විය යුතුය. සුව වී රෝහලින් නික්ම නිවසට පැමිණියද වැඩක් පලක් කර ගැනීමට ගත සවි නොවීය. අවාසනාවක මහත! කෙමෙන් මතු වූ දියවැඩියා රෝගය උත්සන්න විය. පාදයේ ඇඟිලි ඡේදනයෙන් ආරම්භ වී මුළු පාදයම ඉවත් කළේය. ඇඳ මතට සීමා වූ ප්‍රියන්ත මාස ගණනක් දුක් විඳ මරණයට පත් විය. සමාජයට පිළිලයක් වූ ප්‍රියන්තගේ මරණය පිළිබඳ දුක් වූවන් සිටියේ නම් ඒ පවුලේ කීපදෙනෙක් පමණි.

 



බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

පාප මිත්‍ර සේවනයට ජීවිතයෙන් වන්දි  


මධ්‍යම පළාතේ ජීවත් ඔහු අපි අවුසදහාමි නාමයෙන් හඳුන්වමු. තම ගමේ විහාරස්ථානයේ ප්‍රධාන දායකයකු වූ ඔහු එම පිංකම්වලින් බැහැරව පසුකාලීනව  පාපමිත්‍රයන් සමඟ එක්ව තදින් සූරාවට ඇබ්බැහි විය. තම ගෙවත්තේ පොල්ගස් කිහිපයක් මැද ඉන් රා පෙරා ගත් අවුසදහාමි පාප මිත්‍රයන් හා එක්ව දවස පුරා බීමට පටන් ගත්තේ රා වලට අරක්කු මිශ්‍රකර ගනිමිනි.  


දිගින් දිගටම රා වලට අරක්කු මිශ්‍රකර බීමෙන් පසු ඔහු සිහි විකල්ලෙන් හැසිරෙන්නට වූ අතර ඒ මදිවාට දඩ මසටද ඇබ්බැහි විය. තම ගෙදර සුරතලයට අති කරන ඩගී නම් බල්ලා දඩයමට පුරුදු පුහුණු කළ අවුසදහාමි දිනපතාම තම බල්ලාද කැටුව දඩයමේ ගිය අතර තලගොයෙකු, මීමින්නෙකු, හාවෙකු දුටුවිට හනික බල්ලාද උසිගන්වමින් උන් පසුපස එළවා එම අහිංසක සතාව අල්ලා ගන්නේ තමාගේ වීර වික්‍රමය විදහා පාමිනි. අල්ලාගන සතා වලිගයෙන් අල්ලා වැරෙන් ගසක ගසා මරාගෙන තම නිවසට රැගෙන ගොස් උයාපිහා ගෙන රා අරක්කු සමගින් එම මස් භුක්ති විඳිනුයේ මහත් කෑදරකමිනි.   


ඉනුත් නොනැවතුණු ඔහු පාප මිත්‍රයන් හා එක්ව දිනපතා මෙවැනි දුෂ්චරිත ක්‍රියාවල යෙදුණු අතර දිනක් හොඳහැටි තදබල ලෙස මත්පැනින් සප්පායම් වී තම සගයන් සමගින් ගමේ විහාරස්ථානය වෙත ගියේ වැනි වැනීය. පන්සලේ ඝණ්ටාර කුලුන සමීපයට ගිය අවුසදහාමී තමාගේ වීර වික්‍රමයන් අන් අයටද පෙන්වාලීමේ අදහසින් රා මුට්ටියකට ඔට්ටු අල්ලා බීමතින් ඝණ්ටාර කුලන මුදුනටම නැංගේ ඔහුගේ අනෙකුත් සගයන්ද මවිතයට පත්කරවමිනි. ඔවුන් මහත් සේ බියට පත්ව ඝණ්ටාර කුලුනෙන් බිමට බසින ලෙස ඇවිටිලි කළද ඒ කිසිවක් තුට්ටුවකටවත් ගණන් නොගත් අවුසදහාමි කුලුන මත දිගාවූ අතර නැගිට ඝාණ්ඨාර කුලුණෙන් බිමට බැසීමට තැත්කරත්ම ඔහු ඉන් ඇදවැටුණේ ඝණ්ටාර කුලුනේ පහළින් තිබූ කොන්ක්‍රීට් බැම්ම උඩටය. කොන්ක්‍රීට් බැම්මේ තදින් හිස වැදුණු අවුසදහාමී අනෙකුත් අය බලා සිටියදීම අවසන් හුස්ම හෙළුවේ තමාගේ වීර වික්‍රමයේ ප්‍රතිඵලය අන් අයටද පෙන්වාලමිනි. තමා මෙතෙක් කල් කළ ඒ සියලු පාප ක්‍රියාවල ආදීනව මේ ජීවිතයේදීම ඔහුට පටිසන දෙමින් අවසානය විහාරස්ථානය භූමියේදීම සිදුවිණි. 

 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.   

ඌරුමස් වැද්දා නාග විසෙන් මරුට  


දැහැමින් හරිහම්බ කරගනෙ දිවිගෙවන්න එලොවත් මෙලොවත් ජයගනී. පස් පවේ ඇලී ගැලී වස්තුව රැස් කරන්නා ජීවත්වෙන්නේ සතුටකින් නම් නොවන බව සැබෑවකි. ඉක්මනින් පොහොසතෙක් වීමට සතුන් මැරීම, හොරකම් කිරීම, කාම අපාරාධ, දූෂණ, භීෂණ, අල්ලස, පගාව, මත්ද්‍රව්‍ය ජවාරම් කරන උදවිය ජන සමාජයේ ඉහළින් සිටින බව පෙනේ. සතුන් සිටිනුයේ මිනිසාගේ අාහාරය පිණිස යයිද දෙවියන් එම සතුන්ට ජීවය දී ඇත්තේ ඔවුන්ගේ මස් නරක් නොවීම සඳහා බවද සිතමින් බල්ලෝ මරා හෝ සල්ලි හොයා සතුටින් ජීවිතය ගෙවා දැමිය යුතු බව සිතූ සූටියා ඌරන් ඇතිකළේ මස් පිණිසය. දිනපතා ඌරන් දෙතුන් දෙනෙක් මරා මස් කර නගරයේ ආපනශාලාවලට යැවීම මේ මස්වැද්දාගේ රැකියාව විය. මස් වෙළෙඳාම නිසා අත මිට මුදල් සරුසාර වුවත් ගමේ කිසිම කෙල්ලක් මේකා හා දීග කෑමට කැමැත්තක් නොදැක්වූ නිසා අපචාරයේ යෙදෙමින් වියපත් තම දෙගුරුන් සමග දිවි ගෙවන ලද්දේ මරණින් මතු නැවත ආත්මයක් අැති බව සිතා නොවේ. තම දෙගුරුන්ටද නොඅඩුව කෑම බීම ඇඳුම් පැලඳුම් ඇතුළු ලෙඩදුක්වලට විය පැහිදිම් කළත් අධික මුදලක් වැයකළේ පරඅඹුවන් සේවනය කිරීමටය. ගමේ සිටි සැමියා අකාලයේ මියගිය සෝමාද තම නොහොබිනාකම් නිසාම තම සැමියා අත්හැර දමා ගිය සුමනාද එකිනෙකාට හොර රහසේ තම පහස මේ මස් වැද්දාට දුන්නේ බොරු ආදරයක් පෙන්වමින් මොහුගේ මුදලට ආශාවෙනි. ඌරුමස් විකුණා සරු ආදායමක් ලදත් මොහු ළඟ නිතරම අතේ සතේ නැතිවූයේ මෙම පරස්ත්‍රී සේවනය නිසාය. දිනක් වැසිබර අඳුරු රාත්‍රියක සෝමාගේ අැසුර පතා ගිය සූටියාට සිදුවූයේ මහත් ජංජාලයකි. කෑලෑබද අඩිපාර ඔස්සේ ඔහු යනවිට මග අයිනේ ගොදුරක් ගිලිමින් සිටි නයෙක් පෑගුනි. ඌ බලවත් වේදනාවෙන් පෙණය පුප්පා දුන් එකම පහරින් සූටියා මරහඩ නගමින් බිම ඇද වැටුණි. ඔහුගේ කෑගැසීම ඇසී එහි පැමිණි අසල් වැසියන් වහාම රෝගියා රෝහල් ගත කළත් ඒ වෙන විටත් නයි විෂ ශරීරගත වීමෙන් ඔහු මිය ගොස් තිබුණි. 

 
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්