උපාධිධාරීන්ගේ අනාගතය කොයිබටද ?


හෙළිදරව්ව

 

රැකියා විරහිත උපාධිධාරීන් ගැන සැමදා අපට අසන්නට ලැබේ. දහ අට වසරක් මහජන මුදලින් අධ්‍යාපනය ලද උපාධිධාරීන් රැකියා ඉල්ලා මඟ මඟ උද්ඝෝෂණය කිරීම රටක් ලෙස අපට ආඩම්බර විය හැකි තත්ත්වයක් නොවේ. 2012 සිට මේ වසර දක්වා අවම වශයෙන් උපාධිධාරීන් හැටදහසක්වත් රැකියා විරහිතව සිටිතැයි ගණන් බලා ඇත.   


ඒ සා විශාල ප්‍රමාණයකට රැකියා දීමට තරම් රැකියා නැතැයි රජයේ පාර්ශ්වයෙන් වරෙක දී කියැවෙයි. උපාධිධාරීන්ට රැකියා දීම රජයේ වැඩක් නොවේ යැයි කියන දේශපාලනඥයන්ද නැත්තේ නොවේ.   


රාජ්‍ය විශ්වවිද්‍යාල හා මණ්ඩලද සමඟ උසස් අධ්‍යාපන ආයතන 20කට අධික ප්‍රමාණයක් දැනට ක්‍රියාත්මකය. වසරකට තිස් හතළිස් දහසක සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා විට ඒ සා ප්‍රමාණයක් හෝ ඊට වැඩි පිරිසක් වාර්ෂිකව ඉන් පිටවීමද සිදුවේ.   


මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් රැකියා සොයා ගන්නා අතර තරමක පිරිසට රැකියා විරහිතව සිටීමට සිදුව ඇත. වෛද්‍ය, ඉංජි​නේරු තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් හැර අනිකුත් උපාධිධාරීන්ට රැකියා හිඟයක් පවතී. ඒ අතරිනුත් කලා උපාධිධාරීන්ට රැකියා සොයා ගැනීමත් කාලයක් තිස්සේ ප්‍රශ්නයක්ව පවතින්නකි.   


මේ වන වට කලා උපාධිධාරීන් 35,000ක්, කළමනාකරන උපාධිධාරීන් 7000ක් කෘෂිකර්ම ආදි ක්ෂේත්‍රවල තවත් උපාධිධාරීන් දස දහසක් පමණ රැකියා විරහිතව සිටිතැයි රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගම්වල මතයයි.   
කෙසේ වෙතත් මේ ගැන බලධාරීන්ගෙන් හා නිලධාරීන්ගෙන් විමසන විට ඔවුන් එකිනෙකාට බෝලය පාස් කර ගැනීමක් විනා ස්ථිර අදහසක් නොකියයි. දින සියයේ පොරොන්දුවල ද රැකියා විරහිත උපාධිධාරීන් ගැන කියැවිණි. වාර්ෂික අයවැය මඟින්ද මොවුන් බඳවා ගැනීම් ගැන කියයි. නමුත් ප්‍රශ්නය තාමත් එතනය. එය තවත් පහුවන විට බරපතළ ප්‍රශ්නයක් වනවා නිසැකය.   


උපාධිධාරීන්ගේ අනාගතය කොයිබටද?   


එක ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වාම රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ විෂය මාලා සකසා අධ්‍යාපනය ලබා දෙනුයේ රජය විසිනි. එක් සිසුවකු සඳහා රජය 13 වසරකදී මෙන්ම, සරසවි අධ්‍යාපනය හමාර කරන විටදී වැයකරන මුදල කොපමණක් දැයි ගණන් බලා නැත. එවැනි මුදලක් ගණන් බලා වාර්තාවක් ඔවුන්ට ලබා දෙන්නේ නම් එ් සඳහා වැටහීමක් ලබා ගනී. එමෙන්ම සරසවි සිසුන් විසින් සිදු කරන උද්ඝෝෂණයන්, පාගමන්, විරෝධතා දැක්වීම්වලටද එවන් වියදම් වාර්තාවක් සකසා නිකුත් කළ යුතුය.   


එ්වා වැළැක්වීමට පාලනයටද රජය යම් පිරිවැයක් දරන අතර එම වියදම පිළිබඳව ඔවුන් දැනුම්වත්වීමක් වුවහොත් මහජන මුදල් නාස්ති කරනා එවන් ක්‍රියාමාර්ගවලට ඔවුන් අවතීර්ණ වීමද යම් තරමකම අඩුකර ගනු ඇත.   


උපයන විට ගෙවී​මේ ක්‍රමයක්ද ඇති කළ යුතුය.   

සාමාන්‍යයෙන් වෛද්‍යවරයකු බිහි කිරීමට රජය මඟින් ලක්ෂ පනහක් පමණ ද ආයුර්වේද වෛද්‍යවරයකුට ලක්ෂ 60ක් පමණද වැයවන බව අවුරුදු 15කට පමණ පෙර එකී සිසුන් වෙත බලධාරීන් දැනුම් දී තිබුණි. මේ තත්ත්වය මේ වන විට අඩු වැඩි වශයෙන් වෙනස්ව ඇතිවාට සැක නැත. කෙසේ වෙතත් සරසවි අධ්‍යාපනය අවසානයේ සිසුන්ට ඔවුන් වෙනුවෙන් වියදම් කළ වැය පිළිබඳ වාර්තාවක් අනිවාර්​ෙ‌යන්ම දිය යුතුමය.   
එසේ ලබාදීම 80 දශකයට පෙර තිබුණාක් මෙන් උපයන විට ගෙවීම් යටතේ එකී මුදල අය කර ගැනීමේ ක්‍රමවේදයක්ද සැකසීම කාලෝචිත යැයි හැඟේ. 80 දශකයට පෙර සරසවි අධ්‍යාපනය ලබන සියලු සිසුන්ට එකී වියදම් වාර්තාව ලබාදෙන අතර ඔවුන් රැකියාවලට ගිය පසු අදාළ මුදල රාජ්‍ය බැංකු මඟින් වසර කිහිපයක් තුළ අයකරගෙන රජයට ලබා ගන්නා ක්‍රමවේදයක් තිබුණි. එකල එම ක්‍රමයට කිසිවෙකු එරෙහි නොවූ අතර අද මෙන් රැකියා හිඟයක්ද නොවීය.   


උපාධිධාරීන් රැකියා ඉල්ලා අරගල කරන විට ඇතැම් පිරිස් අසනුයේ රජය ඔවුන්ට රැකියා දිය යුතුද යන්නය. ඔවුන් කියනු​යේ රජය රැකියා දීමට බැඳී ​නොසිටින නිසා තමන් විසින් රැකියා ​​සොයාගත යුතු බවකි. එහි දෙපැත්තම සාධාරණය.   


මන්දයත් රජයේ ප්‍රතිපත්ති යටතේ ඉගෙනුම ලබන සිසුහු ඒවායේ විෂය ඉගෙන ගනිති. එ්වාට ගැළපෙන රැකියා වෙළෙඳපොළේ නැත්නම් රජය මැදිහත්ව රැකියා ඇති කළ යුතුය. උදාහරණ ලෙස සෞන්දර්ය ඉතිහාසය සංස්කෘතිය යනාදී විෂයන් සඳහා රජයේ රැකියා ඇත්තේ සීමිත ගණනකි. එහෙත් ඒවාට යොමුවන සිසුන් ගණනින් වැඩියි. ඔවුන් ඒවා ඉගෙන පිටවූ විට රැකියා නැත. මෙය බරපතළ ප්‍රශ්නයකි.   


රැකියා වෙළෙඳපොළට ගැළපෙන අධ්‍යාපනය.   


රැකියා වෙළෙඳපොළට ගැළපෙන පරිදි විෂය මාලා සංශෝධනය කළ යුතුය. දහතුන් වසරක්ම මහජන වියදමින් උගත් සරසවි සිසුවෙක් සරසවියෙන් පිටවන විට අඩු වශ​යෙන් අවුරුදු 18ක් වත් මහජන වියදමින් ඉගෙන ගනී. මෙකී වියදම් ගැන අනවබෝධයද ප්‍රශ්න උග්‍රවීමට තවත් එක් හේතුවක් විය හැකිය.   


කෙසේ වෙතත් දහ අට වසරක් තිස්සේ ඉගෙන ගෙන රැකියාවකට යොමුකළත් ඔවුන්ට දැනුම පිළිබඳ ප්‍රශ්න අැති බව සාමාන්‍යයයෙන් කියැවෙන්නකි.   


එමෙන්ම රැකියා උපාධිධාරීන්ගේ උපාධිවලට ගැළපෙන රස්සා නැත. එක්කෝ ඔවුන් එම රැකියා කිරීමට කැමති නැත. එය වෙනමම සළකා බැලිය යුතු කරුණකි.   


සාමාන්‍යයෙන් අවුරුදු 4-5ක අධ්‍යාපනයක් සරසවිවලින් දෙන නිසා මුල් අවුරුද්ද සාම්ප්‍රදායික විෂයන් පොදුවේ ඉගෙනීමට සැලසීමක් සුදුසු වනු ඇත. එයට සංස්කෘතිය, පුරා විද්‍යාව, ඉතිහාසය, ආගම යනාදියද ඇතුළත් කළ හැකිය. නිබන්ධන සෑදීමට මූලික ඉලක්ක කරගත් පාඨමාලා වෙනුවට ප්‍රායෝගික න්‍යායික දැනුම ලබා දීමත් සුදුසුය. අවසන් අවුරුදු දෙක තුන රැකියා වෙළෙඳපළට සුදුසු ආකාරයේ පාඨමාලා හැදෑරීමකට ඉඩක් ලබාදීම සුදුසුය. එවිට පාඨමාලා කප්පාදුව ගැන වරින් වර සිසුන් කරන අරගලද අඩුවනු ඇත.   


රැකියා විරහිත උපාධිධාරීන් රැකියාවලට බඳවා ගත් ආයතන පසුගිය කාලයේ පැවසුවේද ප්‍රමාණවත් පුහුණු හා දැනුම ඔවුන් සතු නොවන බවකි. මේ තත්ත්වයද සළකා බැලීමට ප්‍රතිපත්ති සම්පාදක අංශ විසින් උත්සාහ කළ යුතුය.   


රැකියා විරහිත උපාධිධාරීන් රජයේ රැකියා අපේක්ෂා කරනුයේ ඇයි දැයි විමසා බැලිය යුතුය.   


වැටුප අඩුවුවත් රජයේ සේවයට එන්නේ ඇයි?   


රජයේ රැකියාවල පවතින සුරක්ෂිතතාව, නිදහස් බව, වරප්‍රසාද, දීමනා, විශ්‍රාම වැටුප් යනාදී පහසුකම් යනාදිය නිසා සියලු උපාධිධාරීන් පතනුයේ රජයේ රැකියාවකි.   


පුද්ගලික අංශයේ රැකියාවක රුපියල් පනස් දහස ඉක්මවූ වැටුපක් ගත් උපාධිධාරිනියක් සංවර්ධන නිලධාරී තනතුරට මෑතදී අයදුම් කළාය. එම පත්වීම ලබාගත් පසු ඇය එතනින් ඉවත් වන බවද කීවාය. සංවර්ධන නිලධාරී තනතුරේ දැන් සිටිනා අයට පවා මූලික වැටුප ලෙස ලැබෙනුයේ රුපියල් 36,000කි. පෙර කී තරුණියගේ වත්මන් රැකියාවේ වැටුප රුපියල් 45,000න් ආරම්භ වේ. ඔවුන් සිතනුයේ එම රැකියාවට වඩා අඩු වැටුපක් සහිත වුවත් රජයේ රැකියා හොඳ බවය. මේ ලෙස හිතනා විට පුද්ගලික අංශයේ රැකියා උපාධිධාරීන් වෙත දීමට එම ආයතනවල හිමිකරුවන් අකමැති වීම අරුමයක් නොවේ.   


මෙසේ රජයේ රැකියාවට කැමැත්ත වැඩි උපාධිධාරීන් තේරුම් ​නොගන්නා කාරණයක්ද වේ. රජයෙන් ලබන වැටුපට වඩා දස දහස් ගණනින් වැඩි වැටුප් යුගයට ගැළපෙන උපාධි පාඨමාලා හැදෑරූ උපාධීධාරීන් ලබාගන්නා බව ඔවුන් එක්කෝ තේරුම් නොගනී. නැත හොත් නොසළකා හරියි.   


මෝස්තර නිර්මාණය පිළිබඳ රජයේ ආයතනයකින් උපාධියක් ලැබූ තරුණියක දේශීය ඇඟලුම් කම්හලක සේවය කරන අතර ඇගේ දළ මාසික වැටුප රුපියල් ලක්ෂ 12කි. ඇය තම වටිනා කාලයෙන් ඒ සඳහා වැය කර ඇත්තේ අවුරුදු හතරක් හා යම් කිසි මුදලක් පමණි. එවන් වැටුපක් රාජ්‍ය සේවකයින් ලබාගත හැකි නම් ඒ එක්කෝ ඉහළ ශ්‍රේණිධාරීන්ට පමණකි. ඇය ශ්‍රේණිධාරී නිලධාරිනියක ද නොවේ. ඇයට වඩා ඉහළ තනතුරුවල සිටින්නන්ට එබඳු වැටුපක් නොලැ​බෙන බවද දැනගන්නට ලැබිණි.   


නවීකරණය විය යුතු රාජ්‍ය සේවය.   


භූගෝල විද්‍යා විශේෂ උපාධිය ලබාගත් සඳරුවන් තරුණයාගේ කතාව දෙසට මඳකට හැරෙමු. ඔහු සිය විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණ පාඨමාලාවක් හා භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය පිළිබඳ විශේෂ අධ්‍යාපනය ලද්දෙකි. නමුත් ඔහු විරැකියාවෙනි. ඒ ඔහුගේ වරදක්ද? ඔහු රජයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනා තරුණයෙකු ​නොවේ. වාර ගණනාවක් පුද්ගලික අංශයට රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණවලට ගිය අයෙකි. එහෙත් ඔහුට රැකියා දීමට පුද්ගලික අංශ හිමිකරුවන් කැමති නැත.   


ඔහු පවසන ආකාරයට G.I.S හෙවත් භූගෝල විද්‍යා තොරතුරු පද්ධති රජයේ සෑම දෙපාර්තමේන්තුවකටම, අමාත්‍යාංශයකටම අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතියකි.   


මෙම පද්ධතිය දැනට ඇත්තේ රාජ්‍ය ආයතන කිහිපයක පමණි. වාරිමාර්ග, ආපදා කළමනාකරණ හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවල පමණක් දැනට එය ක්‍රියාත්මකය. මහා මාර්ග, මහවැලි, පරිසර ආදී මෙකී නොකී ක්ෂේත්‍රවලට GIS අවශ්‍යය. සෑම ව්‍යාපෘතියක් සකස් කිරීමටම මෙම පද්ධතිය අත්‍යාවශ්‍යය.   


මෙයට පුද්ගලික අංශයේ ඉල්ලුමක් තිබුණා නම් සඳරුවන්ලාට ඉහළ වැටුප් ලැබිය හැකි මහඟු අවස්ථාවකි. අවාසනාවට එම පද්ධතිය පෞද්ගලික අංශයට යොදා ගන්නේ නැත.   


එම අංශයට අදාළව ඉගෙන ගත් උපාධිධාරීන්ට විදේශ රැකියා අවැසි තරම් තිබේ. නමුත් ඒවා ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සඳරුවන්ලාට නොමැත. ඒ සඳහා රජය මැදිහත් වී අදාළ සුදුසුකම් සපුරන ලද උපාධිධාරීන්ව විදේශීය රටවලට යැවීමට මැදිහත් විය යුතුය යන්න ඔහුගේ අදහසයි. එයද සලකා බැලිය යුතුය.   


රැකියා වෙළෙඳපොළේ තත්ත්වය පිළිබඳව රජය මෙන්ම උපාධි අපේක්ෂකයන්ද පූර්ව දැනුමකින් සිටිය යුතුය. කෙසේ වෙතත් මේ වන විටත් උපාධිධාරීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබී නැත. ඒකාබද්ධ ගුරු විභාග සමත් 9000ක් පමණ තවමත් රැකියා නොදීම නිසා ගැටලුවලට ලක්ව සිටිති.   


කළමනාකරණ සහකාර, සංවර්ධන නිලධාරී ආදී තනතුරුවලද 43,000ක පමණ පුරප්පාඩු ඇතැයි කියැවේ. ඒ නිසා සැලකිය යුතු පුරප්පාඩු ඇති විට ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීහු ඒ සමාන අගයකට සිටිති. ඔවුන් සියලු දෙනාටම රැකියා ලබාදීමක් කළ හැකිද යන්න ගැන මේ වන විට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සළකා බලමින් සිටී. එය පැසසිය යුතු කරුණකි.   


මේ වන විට වැඩිම රැකියා ඇති රාජ්‍ය ආයතන කිහිපයක් ගැනද සොයා බැලීම වටී.   


සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීම.   


මේ වන විට වැඩිම රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් සිටිනුයේ දකුණු පළාතේය. එය ගණනින් දස දහසකට ආසන්නය. සංවර්ධන නිලධාරී තනතුරට අයැදුම් කළ උපාධිධාරීන් පිළිබඳව ඒකබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය රැස් කළ දත්තවලට අනුව දකුණු පළාතේ පමණක් 9444 දෙනෙකු එයට අයැදුම් කර තිබේ. ඒ ගාල්ලේ 5683, මාතරින් 3761 හා හම්බන්තොටින් 2437ක් වශයෙනි.   


ඊළඟට වැඩිම උපාධිධාරින් පිරිසක් බස්නාහිර පළාතෙන් අයදුම්කර තිබුණි. ඒ ගම්පහ 3600ක්, කළුතරින් 2937 හා කොළඹින් 2607ක් වශයෙනි.   


දිස්ත්‍රික්කයක් ලෙස වැඩිම උපාධිධාරීන් සිටිනුයේ කුරුණෑගල බව අවිවාදිතය. සංවර්ධන නිලධාරී තනතුරට වයඹ පළාතින් අයදුම් කළ 7717 දෙනාගෙන් 6461ක්ම කුරුණෑගලය. අනික් 1256 පුත්තලමෙනි.   
එම තනතුරට අයදුම්කළ උපාධිධාරීන් අතරින් සිවුවැනි තැන දරනුයේ නැගෙනහිර පළාතය. ඒ ගණනින් 6911කි. අම්පාරෙන් 2939, මඩකලපුව 2545, ත්‍රිකුණාමලයෙන් 1427ක් වශයෙනි.   


සබරගමුව පළාතින් 6433ක් සංවර්ධන නිලධාරී තනතුරට අයැදුම්කර තිබූ අතර රත්නපුර 3446ක්ද කෑගල්ලෙන් 2987ක්ද අයදුම් කර තිබුණි.   


මධ්‍යම පළාතෙන් 5724ක්ද, උතුරු පළාතෙන් 5109ක්ද, ඌව පළාතෙන් 3693ක්ද, උතුරු මැද පළාතින් 2200 ක්ද මෙම තනතුරට අයදුම් කර තිබුණි. එයින් යාපනයෙන් 3445ක්ද, මහනුවරින් 317ක් මන්නාරමෙන් 520ක්ද, වව්නියාවෙන් 487ක්ද, කිලිනොච්චියෙන් 338ක්ද, මුලතිව් 319ක්ද, බදුල්ලෙන් 2064ක්ද, මොනරාගලෙන් 1629ක්ද ආදී ලෙස උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරට අයදුම් කර තිබේ.   


පළාත් මට්ටමින් ගුරු විභාග පවත්වා උපාධිධාරීන් බඳවා ගැනීම් කිරීමට සැලසුම් කර තිබූ අතර පළාත් කිහිපයකම මෙය දැවෙන ප්‍රශ්නයක් ව පවතී. පළාත් කිහිපයක පමණක් ඒ තොරතුරු පිළිබඳව අපි සොයා බැලුවෙමු. 

 
මධ්‍යම පළාතේ උපාධිධාරියෝ   


මධ්‍යම පළාත් ගුරු විභාගය පැවැත්වූයේ ඉකුත් වසරේ අප්‍රේල් 05 වැනි දිනය. එය 2016 දෙසැම්බර් 24 වැනි දින ගැසට් කරන ලද්දේය. විභාගයට පළාතේ උපාධිධාරීන් 7000ක් පෙනී සිටි අතර 1950 දෙනෙකු සමත් විය. නමුත් පුරප්පාඩු තිබුණේ 667කි. මෙම වසරේ මාර්තු 16 වැනි දින 439 දෙනෙකු බඳවා ගත් අතර ඉතිරි 128 දෙනාට පත්වීම් ලබාදීම කල් යන ලදී. පත්වීම් භාර නොගත් අයද 44 දෙනෙක් සිටි අතර ඔවුන් වෙනුවට විභාගය සමත් තවත් උපාධිධාරීන් 44කට පත්වීම් ලැබුණේ ඉකුත් ජුනි 05 වැනි දිනය. ඒ ද සම්මුඛ පරික්ෂණයක් මඟිනි.   


දළ වශයෙන් 6000කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීහු පිරිසක් මධ්‍යම පළාතේ සිටිති. ඔවුන්ගෙන් 5724 දෙනෙකු සංවර්ධන නිලධාරී තනතුරට අයැදුම් කර තිබුණි. ඒ මහනුවර දිස්ත්‍රික්කයේ 3721, මාතලේ 1123ක් හා නුවරඑළියේ 780ක් වශයෙනි.   


කෙසේ වෙතත් රජයේ තනතුරකට උපාධිධාරීන් බඳවා ගැනීමක් කරන විට රැකියා කරන අයද එයට අයැදුම්පත්‍ර ​යොමු කරන නිසා මෙකී ගුරු විභාගයටද 7000ක් අයදුම් කරන ලද්දේ ඒ අනුවය.   


ඉතිරි 128​ දෙනා සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බව මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ නියෝජිතවරියක පැවසුවාය.   


උතුරු මැද පළාත් ගුරු විභාගය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය 2016 සැප්තැම්බර් 13 වැනි දින පළකරන ලදී. ඒ පුරප්පාඩු 1192ක් සඳහාය. ප්‍රාථමික අංශ ගුරු හිඟය උතුරු මැද පළාතට දරුණුව බලපාන ප්‍රශ්නයකි. පුරප්පාඩු 1192ක් වූවාට එයට 4000ක් පමණ අයදුම් කරන ලදී. මුලින් උතුරුමැද පළාතේ ස්ථිර පදිංචි අයට පමණක් මේ සඳහා අයදුම් කිරීමට හැකි බව කීවද පසුව එය වෙනස් කර ඇත්තේ පළාතේ සිටින උපාධිධාරීන් අතරින් අවැසි විෂය ධාරා සඳහා ප්‍රමාණවත් පිරිස් නොසිටින බව කියමිනි. ඒ නිසා පිටපළාත් වලින්ද උපාධිධාරීන් ද සමඟ 4000ක් මෙම විභාගයට පෙනී සිට ඇත.   


විභාගය සමත් වූ අයගෙන් සම්මුඛ පරීක්ෂණ කැඳවා 433 දෙනෙකුට පළමු වටය යටතේ පත්වීම් ලබාදී ඇත. ඉතිරි පත්වීම් ලබාදීම ටික ටික කල්යන ලදී. මේ නිසා එයට අයැදුම්කළ පිරිස් නොසන්සුන්තාවට ලක්වූහ. මේ නිසාම ඔවුහු උද්ඝෝෂණ ද කළහ.   


රැකියා ලබාදීම ප්‍රමාදවීම ගැන කළකිරීමෙන් සිටි උපාධිධාරීන්ගේ මේ ක්‍රියාව නිසා පළාත් සභා බලධාරීන්ට මුනිවත රැකීමට නොහැකි විය. ඒ නිසාම තවත් පත්වීම් 355ක් පසුගිය මාසයේදී ලබා දුනි. එම පත්වීම් භාර නොගත් 96 දෙනෙකුද සිටී. ඒ බො​හෝ දුරට ඔවුන් වෙනත් රැකියා ලබා සිටි අය නිසා විය හැකිය.​ කෙසේ වෙතත් උතුරුමැද පළාතේ ගුරුවරුන් බඳවා ගැනීමේ ප්‍රශ්නය තවමත් නිරාකරණය නොවූවකි. නිල පත්වීම් මෙන්ම භාර නොගත් පත්වීම් දෙසද බලමින් විභාගය සමත් වූ උපාධිධාරීහු හූල්ලමින් සිටිති.   


බාහිර හා අභ්‍යන්තර උපාධි ප්‍රශ්නය.   


රජය මඟින් බාහිර උපාධිය හා අභ්‍යන්තර උපාධියට වෙනම සැලකීමක් සිදු කිරීමට යන තැතක් ගැනද උපාධිධාරීන්ගේ සංගමය කියයි. ඒ ගැන ඔවුන් දරණුයේ ​​වෙනම සැලකීම යුක්ති සහගත ​නොවන බවකි. ඔවුන් එසේ කියතත් අභ්‍යන්තර උපාධිධාරීන්ගෙන් කොටසක් දරනුයේ ඔවුන් නේවාසික, පූර්ණකාලීන පාඨමාලා හදාරා උපාධිය ගන්නා විට, රැකියා කරමින් බාහිරව උපාධි ගන්නා අයට වඩා තමන් ඉදිරියෙන් සිටින බවකි. එකී කාරණයද බැහැර කළ නොහැක්කකි. කෙසේ වෙතත් බාහිරද අභ්‍යන්තරද යන්න සැලකීමට වඩා සුදුස්සන් ​තෝරාගෙන සුදුසු විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ඔවුන්ට රැකියා ලබාදීම වඩා සුදුසුය.   


ළමා රක්ෂක නිලධාරීන් පත් නොකිරීම   


ළමා රක්ෂක අධිකාරියෙහි ළමා ආරක්ෂණ නිලධාරී (MA 03 III ශ්‍රේණිය) සඳහා පුරප්පාඩු 116කට අදාළව ඉකුත් වසරේ ඔක්තෝබර් 12 වැනි දින සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇත. මාසයක පමණ කාලයක් පැවැති එම සම්මුඛ පරීක්ෂණයෙන් පසුව ඉහළ ලකුණු ගත් 116 දෙනාට පත්වීම් දෙන බව පවසා තෝරාගත් බව සඳහන් කළ ලිපියක්ද එවා ඇත. එම පත්වීම් ලිපිය ලද අදාළ සුදුසුකම් ලාභීහු එතෙක් තමන් රැකියා කළ ස්ථානවලට ඉවත්වීමට නියමිත බවද දැන්වූහ. පත්වීම් ලිපිය ඉදිරි කාලයකදී නිකුත් කරන බව දන්වා එවක එහි සභාපතිනි මරිනි ද ලිවේරා මහත්මියගේ අත්සනින් යුතු 2017 දෙසැම්බර් 14 දින දැක්වූ ලිපියකින් දන්වා තිබුණි. එහෙත් එම ලිපිය ලැබී අට මාසයක් ගතව ඇතත් තවමත් අදාළ පත්වීම් ලැබී නැත. මේ වන විට ළමා රක්ෂක අධිකාරියේ සභාපති ධූරය දරනුයේ නීතිඥවරයෙකු වන එච්.එම්. අබේරත්න මහතාය.   


මේ වන විට ළමා රක්ෂක අධිකාරියේ නිලධාරී හිඟය නිසා එම අධිකාරියේ සේවයද යම් තරමකට අඩාළ වී තිබේ. කෙසේ වෙතත් වත්මන් බලධාරීන් නිලධාරීන් හා හිටපු නිලධාරීන් කළ ක්‍රියාවන් අතර කඹ ඇඳීමක් ​හෝ ඒ සමාන සිදුවීමක් නිසා අසරණව සිටින්නේ අදාළ තනතුරට සුදුසුකම් ලැබූ අයලුවන්ය.   


කෙසේ වෙතත් මෙකී නොකී සියලු අංශවලත් උපාධිධාරීන්ට රැකියා ඇත. ඔවුන් වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් සකසා බඳවා ගැනීමට රජය හැකි ඉක්මණින් ක්‍රියාකළ යුතුය.   


ඉහත අප හා කතා කළ භූගෝල විද්‍යා විශේෂ උපාධිය පංති සාමාර්ථද සමඟ උපාධිධාරියෙකු වන බෙලිඅත්ත එම්.ආර්.එස්. සඳරුවන් මේ සම්බන්ධයෙන් දැරුවේ මෙවැනි. අදහසකි. 

 
රැකියා විරහිත උපාධිධාරීන් එකතු කරගෙන විවිධ සංගම් තියෙනවා. පුද්ගලිකව මම නම් කිසිම සංගමයකට කැමති නැහැ. දේශපාලන වාසි සඳහා ඇතැම් සංගම් උපාධිධාරීන්ව භාවිත කරනවා. උද්ඝෝෂණයක් කළත් උපාධිධාරීන් වැඩි පිරිසක් නැත්තේ ඒ නිසයි. අපට දේශපාලනය වැඩක් නැහැ. ඇතැම් සංගම් උපාධිධාරීන්ගේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඒකත් ඇතැම් උපාධිධාරීන්ට වාසි සහගතයි.   


මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යා උපාධිය ගත්තේ 2016 දී. තවමත් රැකියා විරහිත ගණයේ ඉන්නේ. පුද්ගලික අංශයේ රැකියාවලට අයැදුම් කළා. නමුත් ඒවාට සුදුසුකම් පමණට වැඩිය තිබුණත් අපිව භාර ගන්න කැමැති නැහැ. මොකද පුද්ගලික අංශයේ අයගේ අදහසක් තියෙනවා අපි උපාධිධාරීන් නිසා රජයේ රැකියාවක් ලැබුණ ගමන් යනවා කියලා. ඒක එක අතකට ඇත්ත තමයි. අපේ ගොඩක් අය ඒ දේ කරන්නේ. විශ්‍රාම වැටුප් නිසා හෝ වරප්‍රසාද නිසා පුද්ගලික අංශයේ රැකියා කරන උපාධිධාරීන් රජයේ රැකියාවක් ගැන තොරතුරු ලද විගස අයදුම් කරනවා. පත්වීම් ලැබුණ ගමන් ඒ අය ඉවත්වෙලා ගියාම පෙර වැඩ කරපු තැන්වලට පාඩුයි.   
ඒ ආයතන දිගටම වැඩ කරන අයටයි කැමති. ඒ නිසා උපාධිධාරීන්ව රැකියාවලට ගන්න අකමැතියි.   


මම මෑතකදී ගම්පහ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක පහළ පංති සඳහා භූගෝල විද්‍යා ගුරු තනතුරකට කැඳවීම් කර තිබූ නිසා ගියා. විදුහල්පතිතුමා මගේ සුදුසුකම් බලා මට කිව්වේ ‘ඔයා අපට ​හොඳටම ගැළපුණත් ගන්න බැහැ, රජයේ රස්සා දුන්නම යනවනේ’ කියලා. එහෙම කියලා උසස් පෙළ සමත් අයෙක්ව ඒ තනතුරට ගත්තා.   


උපාධිධාරියො කියන්නේ රැකියා තිබිය යුතු කොටසක්. රජයෙන් රස්සා දිය යුතුම නැහැ. නිසි රැකියා වෙළෙඳපොළක් අපේ රටේ නැහැ. සුදුසු වෙළෙඳපළක් තිබුණා නම් අපි මෙලහට රස්සා හොයාගෙන’   


අධ්‍යාපන ක්ෂේත්‍රයේ විධිමත් ප්‍රතිපත්තියක් ඕනෑ.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ.   


අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ වන විට පුරප්පාඩු 60,000ක අතිරික්තයකුත් තියෙනවා. එතකොට සැබෑ පුරප්පාඩුව 20,000ක් පමණ වෙනවා.   


තිබෙන පුරප්පාඩු සඳහාවත් විෂයානුබද්ධ ගුරුවරුන් විධිමත් ක්‍රමවේදයකට ලබා දීම සුදුසුයි. පහුගිය කාලේ බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගනිද්දිත් භෞතික විද්‍යා වගේම විද්‍යාවේදී උපාධිධාරීන් ප්‍රාථමික අංශවලට බඳවා ගත්තා. ඒ ව​​ගේ අක්‍රමවත් සිදුවීම් තියෙනවා. එවැනි දුර්වලතා මඟ හරවා ගනිමින් බඳවා ගැනීම් කළ යුතුයි. ගුරු හිඟය පියවීමට රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගන්නවා නම් විධිමත්, සැලසුම් සහගත ක්‍රමවේදයක් යටතේ බඳවාගත යුතුයි. ඔවුන්ට නිසි පුහුණුවක් අනිවාර්යයි. පළාත් සභා නවය ගුරුවරු බඳවා ගත් ආකාරයත් විවිධාකාරයි.   


ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්.   


හොඳ පුහුණුවක් ලබාදී බඳවා ගත යුතුයි. 

 
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලෙස ඔවුන් ගුරුසේවයට බඳවා ගැනීම හොඳයි. ගුරු සේවයේ දැනට 15,000ක පමණ ගුරු හිඟයක් තියෙනවා.   


රේඛීය අමාත්‍යාංශය හා පළාත් සභා විවිධාකාරයට උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගන්නවා. මේ ක්‍රම එකිනෙකට වෙනස් වගේම විධිමත් බවකුත් නැහැ. පාසල්වල ඵලදායී බව ගිලිහිලා තියෙනවා මේ නිසාම.   
පූර්ව සීමා පුහුණුවක් අනිවාර්​ෙයන් ඔවුන්ට දිය යුතුයි. එවැනි පුහුණු දෙන පළාත් සභා වගේම නොදෙන පළාත් සභාත් තියෙනවා. ඔවුන්ට පුහුණුවක් අනිවාර්​ෙයන්ම දිය යුතුයි. උගැන්වීම්, ඉගැන්වීම්, ක්‍රමවේදය ගුරුවරුන් වීමට පෙර මාස හයක අවම පුහුණුවක්වත් දිය යුතුයි. ජාතික විද්‍යාපීඨ හෝ ගුරු විද්‍යාලයේ ජාතික ගුරු අභ්‍යාස විද්‍යාලයේ හෝ පුහුණුවක් ලබාදිය යුතුමයි.   


ඒවගේම දුෂ්කර සේවයත් අනිවාර්ය කළ යුතුයි. එ් වගේම යෝග්‍යතාව පිරික්සන වෛද්‍ය පරීක්ෂණ තිබිය යුතුයි. ඉස්සර ගුරුවරුන් බඳවා ගැනීමේදී මේවා අනිවාර්​ෙයන් සලකලා බැලුවා. ගුරුවරයෙක් ලෙසට උපාධියක් තිබීමම සුදුසුකමක් නොවේ .දරුවන් සමඟ ගැටෙමින් ඉගැන්වීමේ පුහුණුවක් තිබිය යුතුයි.   


විධිමත් වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයි.   


ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤානානන්ද හිමි.   


ඒකාබද්ධ ගරු විභාග සමත් අය 9000ක් ඉන්නවා. ගුරු පුරප්පාඩු 45000ක් පමණ තිබෙනවා. ලංකාවේ උපාධිධාරින් 58000ක් පමණ ඉන්න බව මෑත කාලයේ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යංශය සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේදී සොයාගෙන තිබුණා. ඒ තොරතුරු අපි තොරතුරු පනත යටතේ ඉල්ලුවත් තවමත් ලැබුණේ නැහැ. බොහෝ උපාධිධාරීන් මේ වන විට ලොකු අර්බුදයක සිටිනවා. 2012 සිට උපාධි ගත් අයයි දැනට සිටින්නේ.රජය සතුව රැකියා ඇති තරම් සිටිනවා.   


පුද්ගලික අංශය මේ උපාධිධාරීන්ව ලබාගැනීම ගැන දක්වන්නේ මන්දගාමී ස්වභාවයක්. එක්කෝ විධිමත් වැඩ පිළිවෙළක් හදලා රජය හා පුද්ගලික අංශය අන්තර්ග්‍රහණය කළ හැකි නම් වඩා හොඳයි.   


බඳවා ගැනීම් සඳහා ක්‍රමවේදයක් හදල තියෙන්නේ   


ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය 


අමාත්‍ය හර්ෂ ද සිල්වා.   


අපේ අමාත්‍යංශයෙන් මේ ගැන සමීක්ෂණ කරා. ඒ ගැන තොරතුරු දැනට මා සතුව නැහැ. කොහොමටත් රජයේ දැනට පවතින පුරප්පාඩුවලට ජුලි මාසය වන විට බඳවා ගැනීම් කරන්නයි අපේ සූදානම තිබුණේ. යම් යම් ගැටලු කිහිපයක් නිසා ප්‍රමාදවීම් තිබෙනවා. නමුත් මේ බඳවා ගැනීම් සඳහා යම් ක්‍රම​වේදයක් හදලා තියෙන්නේ. ඒ අනුව බඳවා ගැනීම් ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.   


මේ ප්‍රශ්න පිළිබඳව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් වැඩි තොරතුරක් දැන ගැනීමට අප කිහිපවරක් උත්සහ කළ ද එය 
ව්‍යර්ථ විය.   

 

 

 

 

 

 

පුෂ්පා වීරසේකර