උදේ සවස පාට වෙනස් කරන තල්පෙ වෙරළේ දිය තටාක


 

උදයට එක පාටකි. දහවලට තවත් පාටකි. සැන්දෑවට අමුතුම හැඩයක් සහ පාටක් ගනියි. දවස පුරා විවිධ වූ රූ රටා මවන විවිධ වූ පැහැයවල් වර්ණ ගන්නා වූ සොඳුරු රුවැත්තිය තල්පේ ස්වභාවික ජල තටාක සමූහයයි.   


ධීවර කර්මාන්තයට සමුදී සුන්දර තල්පේ ස්වභාවික ජල තටාකවලින් ජීවත්වෙන අපේ කාලයේ ධීවරයන්ගේ කතාව ද සත්තකින්ම සුන්දරය.   


මුහුදු වෙරළ තීරයේ පිහිටි ජල තටාක 22ක වරු ගණනාවක් ගත කළ හැකිය. සංචාරක ව්‍යාපාරය හා ධීවර රස්සාවට කණකොකා හැඬූ නිසා මේ පාරම්පරික ධීවරයෝ මේ දිනවල තල්පේ ප්‍රදේශයේ සුන්දර වෙරළේ පිහිටි ස්වභාවික ජල තටාක 22ක් සහිත වෙරළ තීරයේ දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සපයා ජීවත් වේ.   


කෙසේ නමුත් තල්පේ ධීවරයෝ පවසන්නේ දැන් දැන් දෙස් විදෙස් සංචාරකයෝ යම් පිරිසක් මේ දිය පොකුණු නරඔන්නට පැමිණෙන බවයි. නිවසක හෝ හෝටලයක නැති ආරක්ෂිත පිරිසිදු පරිසරයක් ඇති ස්වභාවික ජලාශ 22ක පැය ගණනාවක් නොව වරු ගණානවක් ගත කරන්නට කිසිදු මුදලක් වැය නොවේ. ඒ මේ සුන්දර මුහුදු තීරයේ විස්මිත කතාන්දරයේ රහස එයයි.   
අපි මේ ගැන ජී.ඩී. අමරසේන මහතා ගෙන් විමසුවෙමු. පාරම්පරික ධීවරයෙක් වූ හෙතෙම මේ වෙන විට තල්පේ මුහුදු තීරයේ පිහිටි ස්වභාවික ජල තටාක ආශ්‍රිතව රස්සාව කරයි.   
‘කොරෝනා වසංගතයෙන් රටම ව්‍යවසනයක් වී ඇති යුගයක යාත්තමින් හෝ සංචරක කර්මාන්තය දියුණු වෙමින් තිබීම තුළ මේ දිනවල මේ සුන්දර වෙරළ සොයා දෙස් විදෙස් සංචාරකයෝ බුරුතු පිටින් තල්පේ සුන්දර වෙරළට පියනගමින් සිටිනවා’ යැයි ඔහු කියයි.   


සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනය සහ දියුණුව හේතු කොට ගෙනම දක්ෂිණ වෙරළ බඩ කලාපයේ බිහි වී ඇති හෝටල් සංඛ්‍යාව විශාල වේ. ගාල්ලට පැමිණෙන බොහෝ විදේශිකයෝ ගාලු‍ කොටුවේ ප්‍රෞඪ සුන්දරත්වය විඳගත් පසු උණවටුන හෝ ආශ්‍රිත වෙරළ තීරයකට ගොස් තවත් අත්දැකීම් ලබා ගනිති. තල්පේ වෙරළ යනු එලෙස තවත් සංචාරක තෝතැන්නකි. සංචාරක පරාදීසයකි. තල්පේ වෙරළ තීරයේ එක්තරා සීමිත ඉඩක පවතින ගල්වැටියක ස්වභාවිකව නිර්මාණය වෙන තටාක කිහිපය දෙස් විදෙස් දැඩි සංචාරක තෝතැන්නක් බවට පත්ව තිබේ.   
එම ප්‍රදේශයේ වෙසෙන කේ.ඒ අමිතා මහත්මිය (60) මෙසේ කීවාය. 

 

 


‘විශේෂයෙන්ම උදය කාලයේ මෙම දිය පිරුණු තටාක ළා කොළ පැහැයෙන් අපූරුවට දැක ගත හැකි වෙනවා. මහා තටාකයක් හා කුඩා තටාක 22ක් පමණ මෙහි පිහිටා තියනවා. මීට වසර දහයකට පමණ පෙර භාවිතයෙන් අත්හැර දමන ලද කොහු වළවල්. එකල මේවා භාවිත කර ඇත්තේ පොල්ලෙලි පල් කිරීම සඳහායි. සාමාන්‍ය මිනිසෙකුගේ කරවටක් ආසන්න වෙනතුරු මෙම වළේ බැස සිටිය හැකි අතර මෙලෙස විවිධ ප්‍රමාණයේ වළවල් රාශියක් මෙම ඉසව්වේ දැක ගත හැකිය. කුඩා දරුවන්ට පවා ආරක්ෂිතව නාන්න හැකිය. නානවට අපි සල්ලි ගන්නේ නෑ. ඇය කීවාය.   


එම්. එස්. ප්‍රියන්ත මහතා (45) මෙසේ කීය.   


‘වාහන නැවැත්වීම සඳහා පහසුකම් තියනවා. සියලු‍ම පහසුකම් අපි දෙනවා. ආරක්ෂාවට වෙරළෙ තිරයේ මහා ආරක්ෂිත කොරල් පරයක් තියනවා. අපි කොයි හැටි වෙතත් මුහුදු ආරක්ෂක තරුණ පිරිසක් මෙම ස්ථානයේ රඳවා තිබෙනවා. ආරක්ෂාව තියනවා උපරිමයෙන්ම. සමහරු කියන දේ අහන්නේ නැතිව ආරක්ෂිත කොරල් පරයට එහා ගිහින් අනතුරු කර ගන්නවා. එන්න, ජල තටාකයක මිහිර විඳින්න, කියලා කියන්න කැමැතියි.   


උදයට එක පාටක්. දහවලට තවත් එක පාටක්. සැන්දෑවට අමුතුම හැඩයක්, පාටක්. දවස පුරා විවිධ වූ රටා මවන විවිධ වූ හැඬ ගන්නා වූ විවිධ වූ පැහැයවල් වර්ණ ගන්නා වූ සොඳුරු රුවැත්තිය තල්පේ ස්වභාවික ජල තටාක සමූහය සත්තකින්ම අගනේ ය. 

 

 


ඉකිරියන් බහුලව ගැවසෙන ස්ථානයක් වෙන නිසාම මෙහි ස්නානය කිරීම වගේම විනෝද වීම ඉතාමත් ප‍රෙස්ස‍මෙන් කළ යුත්තක් බව තල්පේ සංචාරක මග පෙන්වන්නෝ පෙන්වා දෙති.   
පෙණපිඩු නගමින් වෙරළේ හැපෙන්නට එන රළ කඳ මෙම ගල් පරයේ හැපී විසිරෙන්නේ එහි වූ හතරැස් කොටු වැනි තටාක තුළට ද දිය කඳ හළමිනි. විශේෂයෙන්ම උදය කාලයේ මෙම දිය පිරුණු තටාක ළා කොළ පැහැයෙන් අපූරුවට දැක ගත හැකි වේ. බොහෝ පිරිස් මෙහි පැමිණ එම කුඩා තටාක තුළට බැස දිය ස්නානය සිදු කරති. බැලූ බැල්මට එම පිහිටීම ස්වභාවික වුවද හතරැස් ලෙස තිබීමේ රහස සත්තකින්ම අගනේය. විස්මිතය. පුදුම සහගතය .කව්ද මේ නිය අගල් සකස් කළේ. ඒ පරිසරයයි. මුහුදු වෙරළයි. ස්වභාවික අපූරුතම නිපැයුමකි.   


ලංකාවේ සුදු පොල් කොහු පල් කළ එකම ස්ථානය මෙය වන අතර මෙම ප්‍රදේශයේ එම කර්තව්‍යය සිදු කරන ලද ජනතාව මුහුදේ තිබූ මෙම ගල්පරය හතරැස් කොටු ලෙසට හාරා තිබේ. අද වන විට මෙම වළවල් සුන්දර තටාක ලෙස දැකිය හැකි අතර ජනතාව මෙම වළවල් තුළ බැස විනෝද වීම සහ ජල ස්නානය සිදු කරයි. සාමාන්‍ය මිනිසෙකුගේ කරවටක් ආසන්න වනතුරු මෙම වළේ බැස සිටිය හැකි අතර මෙලෙස විවිධ ප්‍රමාණයේ වළවල් රාශියක් මෙම ඉසව්වේ දැක ගත හැකිය.   

 

සටහන ඡායාරූප
හබරාදූව නිමල් අල්ගෙවත්ත