උතුරේ මුල්ම සොල්දාදුවා ඝාතනයට ලක්වූ නාගදීප ජැටිය


 

කොටි ත්‍රස්තවාදීහු උතුරු-නැගෙනහිරට පමණක් නොව දකුණේ මාතර ගොඩපිටිය දක්වාම බෝම්බ පිපිරවූහ. ශ්‍රී මහා බෝධියටද පැන මහා විපතක් සිදුකළහ. දළදා මාළිගයටද ගැසූහ. රටේ අස්සක් මුල්ලක් නෑර බෝම්බ ගහද්දී අනුරාධපුරෙන් එහාට අඩියක් තියන්නට කවුරුවත් කැමැති වුණේ නැත. සමහරු අටමස්ථාන වන්දනාවේ ගියේද නැත. එවැනි වකවානුවක යාපන අර්ධද්වීපයේ දූපතක තනිවූ නාගදීපය ගැන කවර කතාද? බුද්ධ ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් මේ උතුම් පින් බිම රැකුණේ කෙසේද? මේ කිසියම් ආශ්චර්යයක්ද? එසේත් නැත්නම් යම් බලවේගයක්ද? ආරක්ෂක ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක්ද? බෝම්බවලින් රටම ගිනියම් වෙද්දි කසාවතින් බැබළුණු උතුරේ එකම පින්බිම නාගදීපයයි. පසුගියදාක නාගදීප රාජමහා විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක නවඳගල පදුමකිත්ති තිස්ස නාහිමියන් මට මුණ ගැසිණි. උන්වහන්සේත් මාත් නාගදීපයේ සිට දීර්ඝ සාකච්ඡාවක නිරතවීමු. එහි ප්‍රතිඵලය වූයේ මෙතෙක් මාධ්‍යයක මහා ලොකුවට පළ නොවුණු පුදුම එළවන රසවත් බියමුසු බිරාන්ත සියල්ලම කැටිවූ කතාවක් ඔබ හමුවට ගෙන ඒමට හැකි වීමය. මේ බොහෝ කතා ඔබ මෙතැනින් පසු අසනු ලබන්නේ පළමු වතාවටය. එබැවින් ඉතිහාසය අලුත් කරන ලිපි මාලාවක් හැටියටත් සිවුරටත් නාගදීප පන්සලටත් කොටුවී ගෙවූ ජීවිතයේ කටුකවූත් දුෂ්කරවූත් අත්දැකීම් මාලාව මෙතැන් පටන් දිග හැරේ.


මගේ පළමු ප්‍රශ්නය නාගදීප විහාරාධිපති නාහිමියන්ට යොමු කළෙමි.


ඔබ වහන්සේ නාගදීප විහාරයේ වැඩ ඉන්නෙ කොපමණ කල් ඉඳන්ද?”
“දැන් අවුරුදු හතළිස් හතරක්.” ඊට වඩා අටුවා ටීකා උවමනා නැත. අවුරුදු 44 කට මෙහා සියලු “විජ්ජුම්බර” රටේ සිදුවුණු සීමාවයි. 
කොටි ත්‍රස්තවාදීන් මුලින්ම හමුදාවෙ කෙනෙක් මැරුවෙ නාගදීපයට එන්න බෝට්ටුවට ගොඩවන ජැටිය උඩදි. අපි මෙතනට කියන්නෙ කුරිකට්ටුවාන් ජැටිය කියලා අදටත් මිනිස්සු බෝට්ටුවට ගොඩවෙන තැන.


ප්‍රශ්නය:- “කොහොමද ඒ සිද්ධිය වුණේ? 
පිළිතුර:-
මේ සිදුවීම වුණේ ඉතාම සාමකාමි කාලසීමාවකයි. ඒ කාලෙ නාගදීප විහාරයේ විහාරාධිපති වැඩ හිටියේ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නායක හාමුදුරුවො. 1983 වෙද්දි නාගදීප දූපතේ ජනතාව පන්දහසක් පමණ ජීවත් වුණා. අද ඒ පිරිස හරි අඩටත් අඩුවෙලා. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා භේදයක් තිබුණෙ නෑ. ඉහළ සමඟියක් තිබුණා. එවැනි වකවානුවකයි ඔය කියන සිදුවීම වුණේ. මට මතක හැටියට 1982 අවසාන කාලය. මේ කාලෙ ප්‍රභාකරන් කියන කෙනෙක් මතුවෙලා තිබුණෙ නෑ. කල්ලි නායකයෙක් විදිහට වෙනත් මනුස්සයෙක් උතුරෙ මතු වෙලා හිටියා.


හමුදාවේ නිලධාරින් කීප දෙනෙක් සමඟ එයාලගෙ බිරින්දෑවොයි, දරුවොයි නාගදීපය වඳින්න බෝට්ටුවෙ පන්සලට ආවා. ඒ අයගෙ ආරක්ෂාවට ආපු හමුදාවේ තුන් දෙනෙක් ජැටියේ උඩ නතර වෙලා තියෙනවා. කලබල නැති කාලයක් නිසා එක හමුදා සෙබළෙකුගෙ අතේ තුවක්කුවක් තිබිලා තියෙනවා. මෙතනට ආපු තරුණයන් දෙදෙනෙක් හමුදාවේ අයගෙන් බීඩියක් පත්තු කරන්න ගින්දර ඉල්ලා තියෙනවා. එක සෙබළෙක් ගින්දර දෙන්න හදන විට අනෙක් තරුණයා රයිෆලය උදුරාගෙන ක්ෂණිකවම සෙබළාට වෙඩි තියලා. තුවක්කුව සන්නද්ධ තරුණයන් අතේ නිසා අනික් සෙබළු දෙන්නා මුහුදට පැනලා ජීවිත බේරාගත්තා. වෙඩි පහර කෑ සෙබලා මිය ගියා.


ප්‍රශ්නය:- මුලින්ම ආරංචිය එන්න ඇත්තෙ පන්සලටනෙ? 
පිළිතුර:-
ඔව්. ඒ ආරංචිය ලැබුණු ගමන්ම අපේ නායක හාමුදුරුවෝ කුරික්කට්ටුවාන් ජැටිය වෙතට රාමචන්ද්‍රන් මුදලාලිට අයත් “චන්දරමීනා බෝට්ටුව පිටත් කළා. රාමචන්ද්‍රන් දමිළ මුදලාලි වුණත් එයා තමයි නාගදීප විහාරයට දානය නොකඩවා පූජා කළ සැදැහැවතා. මුදලාලිගෙ “චන්ද්‍රන් කොටසත් බිරිඳගේ නම වන මීනච්චි නමේ “මීනා” කොටසත් යොදලයි “චන්දරමීනා” කියන නම බෝට්ටුවට දාලා තිබුණේ. මුහුදට පැන්න සෙබළුන් දෙදෙනා බේරාගෙන ආවේ මේ බෝට්ටුවෙයි. ඊට පසු පන්සලේ සිටි හමුදා නිලධාරින් හා පවුලේ අය ඒ බෝට්ටුවෙන්ම වහාම කරෙයිනගර් නාවුක හමුදා කඳවුරට පිටත් කළා. කළු ජූලිය ආවේ ඊට පසුවයි.


ප්‍රශ්නය:- කළු ජූලිය ආරම්භයටත් කියැවුණේ යාපනේ සිද්ධියක්මනෙ.
පිළිතුර:-
1983 අවුරුද්දෙ මාර්තු මාසෙ තායිලන්ත රජතුමා නාගදීප විහාරයට රන් ආලේපිත බුදු පිළිමයක් පූජා කළා. මේ පිළිමය වන්දනා කරන්නත් මිනිස්සු ආවා. 1983 ජුලි මාසයේ යාපනයේ තිරුනල්වේලි ප්‍රදේශයේ මහා බෝම්බයක් පුපුරා ගියා. ඉන් යුද හමුදාවේ නිලධාරින් සහ සෙබළුන් 13ක් මිය ගියා. උත්සවයක අවස්ථාවක්. ජාතිවාදයක් විදිහට රටටම කළු පැල්ලමක් ඇති කරමින් කළු ජුලිය නමින් දකුණේ ඊට නොදෙවෙනිව ආරම්භ වුණු කැරැල්ල ගැන ආයෙ අහන්න දෙයක් නෑ. සමහර දේශපාලනඥයො මේවා අනුමත කළා. දෙමළ මිනිසුන්ගෙ දේපළ කොල්ල කෑවා. මැරුවා. දකුණේ දෙමළ මිනිස්සු හොය හොයා මරද්දි නාගදීප දූපතේ විශාල දෙමළ ජනතාවක් මැද්දෙ භික්ෂුන් වහන්සේලා හැටියට මමත් නායක හාමුදුරුවොත්, සිංහල මිනිස්සු සුළු පිරිසකුත් කාලය ගත කළා. නන්දසේන මුදලාලිගෙ බේකරිය තිබුණෙත් පන්සල ළඟ රාමචන්ද්‍රන් මුදලාලිගෙ තේ කඬේ තිබුණෙත් පන්සල ළඟ. ඒ අය හරි සමඟියි.


“සිංහල මිනිස්සු එකතුවෙලා දකුණෙ ඉන්න දෙමළ මිනිස්සු සේරටම කරදර කරනවා මරනවා”


ඉතාම දුකින්, හැඬූ කඳුළින් මේ ආරංචිය අරන් පන්සලට දුවගෙන ආවේ රාමචන්ද්‍රන් මුදලාලියි, නන්දසේන මුදලාලියි දෙන්නා. ලොකු හාමුදුරුවන්ගෙ දෙපාමුල වැටිලා ඇඬුවා.


“අයියෝ පෙරිය සාමි, අපේ දෙමළ මිනිස්සු මරනවා. අපි දැන් මොකද කරන්නේ?” නාගදීපයේ සිංහල මිනිසුන්ගේ ජීවිත මුළුමනින්ම රැඳී තිබුණේ බහුතරයක් දෙමළ මිනිස්සු අතේයි. ධම්මකිත්ති නායක හාමුදුරුවො බොහොම ඉවසීමෙන් කතා කළා.


“රාමචන්ද්‍රන් මුදලාලි දෙමළ මිනිස්සුන්ට කියන්න, කලබල ඇති කරගන්න එපා කියලා. අපි ටික දෙනාට ඉන්නෙ අපි විතරයිනෙ. නන්දසේන මුදලාලි සිංහල අයටත් කියන්න කලබල නොවී ඉන්ඩ කියලා. ඕනෙ වෙලාවක පන්සලට එන්න කියන්න.”


ප්‍රශ්නය:- ඊට පස්සෙ මොකද වුණේ?
පිළිතුර:-
දකුණේ වෙන දේවල් නාගදීපෙටත් ආරංචි වෙනවනෙ. මම ළිඳට ගිහින් නාගෙන එනකොට රාමචන්ද්‍රන් මුදලාලිගෙ කඬේ ළඟදි “කන්නන්” කියන දෙමළ තරුණයා මුණ ගැසුණා. එයාට වයස අවුරුදු 18ක් ඇති. වෙනදට හිනාවෙලා යන කන්නන් එදා මගේ දිහා ඔරවා බැලුවා.


“අපේ කට්ටියගෙ අතපය කඩලා අරහෙන් එවනවා. හිටපංකෝ උඹලට”


ඒ තර්ජනාත්මක වචන ඉදිරියේ පොඩි වචන කිපයක් හුවමාරු වුණා.


මේක දැකපු රාමචන්ද්‍රන් මුදලාලිගෙ බාල දුව “කන්නන්”ට දෙමළ බසින්ම බැණගෙන ඇවිත් එතැනින් පන්නා දැම්මා.


“පොඩි සාමි පන්සලට යන්ඩ.” එහෙම යනවිට ලොකු හාමුදුරුවන්ට සිද්ධිය ආරංචිවෙලා “පදුමකිත්ති, ඔය මිනිස්සු දැන් බලා ඉන්නෙ මොනවා හෝ පටලවා ගන්න. ඒ නිසා පරෙස්සමින් කටයුතු කළොත් හොඳයි.”


ඒ වචනවල මම නොදුටු ගැඹුරක් තේරුම් ගියා.


ප්‍රශ්නය:- සුළුතරයක් සිංහල මිනිස්සු ඉන්න තැනට ආරක්ෂාව දීම ගැන හමුදාව කටයුතු කළ යුතුයි. හමුදාව නාගදීපයට ආවේ පමා වෙලාද?
පිළිතුර:-
අදටත් නාගදීපයේ පණ තියෙන්නෙ නාවුක හමුදාව නිසා. ඒක කියන්න ඕනෙ. අනෙක් අයත් ආරක්ෂා කළා. රටටම නාගදීප පන්සල නම් ඉතුරුවුණේ නාවුක හමුදාවේ ආරක්ෂාවෙන් ශ්‍රී මහා බෝධියට, දළදා මාළිගයට ගැහුව කොටින්ට නාගදීපයට ගහන්න බැරිද? මුහුද මැද්දෙ දූපතක්. ගොඩබිම ඉඳන් කිලෝ මීටර දෙකක් එන්න ඕනෙ. ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුර මෙහෙමයි.


නායක හාමුදුරුවො මට කතා කළේ කරෙයිනගර් කෑම්ප් එකට ගිහින් එන්න කිවුවා. 


හාමුදුරුවො මගේ අතට දුන්නේ ලියුම් කවර දෙකක්. මේ ලියුම් කවරෙ කරෙයිනගර් කඳවුරේ ලොකු මහත්තයාගේ අතටම දෙන්න. අනෙක් කවරේ තියෙන්නේ හාමුදුරුවන්ගේ ගමන් වියදමට සල්ලි. ආවාසයෙන් එළියට බැස්සට පස්සෙ යන්නෙ කොහෙද කාව හම්බවෙන්නද කියලා කියන්න එපා.


මම තොටුපළට ගියා. කන්දසාමි එළවන “ඇලෙයි අරිසි” බෝට්ටුව තිබුණා. සාමි කොහේද යන්නෙ. කන්දසාමි මගෙන් ඇහුවා.
මම යනවා “මල්ලි බාස්” හම්බ වෙන්න. කරෙයිනගර්වල පන්සලේ ලයිට් එන්ජිම කැඩිලා ඒ ගැන කියන්න. මල්ලි බාස් කිව්වෙ යාපනයටම බෝට්ටු හදන සහ එන්ජින් රෙපෙයාර් කරන කෙනායි. කයිට්ස්වලට එනකල් බෝට්ටුවේ ඇවිත් එතනින් පාලම් පාරුවක නැඟලා කරෙයිනගර් නාවුක හමුදා කඳවුරට ගියා. එම කඳවුරේ අණදෙන නිලධාරි හිටියෙ කපිතාන් ජයවර්ධන මහත්තයා.
“මම නාගදීප පන්සලේ පොඩි හාමුදුරුවො. මේ ලියුම නායක හාමුදුරුවො දෙන්න කිව්වා.”


ජයවර්ධන මහත්තයා මා ඉදිරිපිටම ලියුම ලිහා බැලුවා. “රටේ කලබල වැඩියි. නාගදීප පන්සල ගැන හොයා බලන්න.” උන්වහන්සේ ඉල්ලා තිබුණා.


“හාමුදුරුවනේ අපට මේ වෙලාවේ නාගදීපයට යවන්න තරම් බෝට්ටුවක් නෑ. දුර යන්න පුළුවන් බෝට්ටුව දැන් මහ මුහුදේ. හෙට කණ්ඩායමක් එක්ක මම එන්නම් කියා කීවා.


මම යන්න හදද්දි අණදෙන නිලධාරිතුමා හාමුදුරුවනේ අද යන්න එපා රටේම ඇඳිරි නීතිය යද්දි රෑ වන නිසා අද ඉඳලා යන්න.”


“බෑ ... මම මල්ලි බාස්වත් හම්බ වෙන්න ඕනෙ.” එදා රෑ මල්ලි බාස්ගෙ මඩුවේ ලෑලි කාමරේ නතරවෙලා පහුවදා පන්සලට වැඩියා.

පහුවදා උදේ ලුතිනන් දේවේන්ද්‍ර මහතා ප්‍රමුඛ සන්නද්ධ නාවික භටයන් 25ක් පමණ නාගදීප තොටුපළට පැමිණියා. නාවික සෙබළුන්ට බයේ කෝවිලේ දොර වැහුණා. දෙමළ මිනිස්සු හොඳටම බයවුණා. ඒ ආරංචියට ලොකු හාමුදුරුවෝ බොහෝ දුකට පත්වුණා. 


“මිනිස්සු බයවෙලා. නාගදීපෙ නැති ප්‍රශ්න ඇති වෙනවට මම කැමැති නෑ. හැමදාම හැන්දෑවෙ වරක් ඇවිත් දුක සැප බලලා ගියාම ඇති.”


ධම්මකිත්ති ලොකු හාමුදුරුවෝ දුන්නේ එවැනි උපදෙසක්. නමුත් සිදුවුණේ හාත්පසින්ම වෙනස් දෙයක්. දවල් රෑ නැතිව නාවුක හමුදාව එන්න ගත්තා. මිනිස්සු නොසන්සුන් වුණා. මේ අතරේ දකුණේ වාසය කරන මිනිස්සු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආර්යාව වූ එලීනා ජයවර්ධන මැතිනියටත් නාගදීපයේ අවදානම් තත්ත්වය. පැහැදිලි කරලා තිබුණෙ.


“එතුමිය ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කරල නාගදීපයට ස්ථිර ආරක්ෂාවක් සපයන ලෙස ඉල්ලා තිබුණ.


ප්‍රශ්නය:- නාගදීපයට ස්ථිර ආරක්ෂාව ලැබුණේ ඔය විදිහට.?
පිළිතුර:-
ඒ කාලෙ අද වගේ බලවත් සෙබළ බළමුළුවක් නාවුක හමුදාවට තිබුණෙ නෑ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා නාවුක හමුදාපතිට දැන්වූ පසු ලක්ෂපාන විදුලි බලාගාරයේ යොදවා සිටි නාවුක හමුදා අණුඛණ්ඩයයි නාගදීපයට එව්වේ. යම් හෙයකින් එදා ත්‍රස්තවාදින් නාගදීපය ඉලක්ක කළානම් එය පවතින රජයට බලවත් අපකීර්තියක් වගේම බුදු සසුන බේරා ගන්නට රජය මැදිහත් නොවුණැයි බරපතළ ප්‍රශ්නයකට ජේ. ආර්.ට මුහුණ දෙන්න ඉඩ තිබුණා. නාගදීප පන්සල ඇතුළේ නාවුක කඳවුරක් මුල්වරට බලමුළු බැන්ඳෙ මෙහෙමයි.


එදා ලුතිනන් කමාන්ඩර් ආරියදාස මහත්මා පන්සලේ ඉස්තෝප්පුවේ නතර වුණා. එයා තමයි පසු කාලයක ප්‍රබල කොටි නායකයෙකු වූ පුලේන්ද්‍රන් ඇතුළු කොටි 15ක් අත්අඩංගුවට ගත්තේ. ඒ වගේම පසුකලෙක නාවුක හමුදාපති වූ සෝමතිලක දිසානායක මහතාත් දිවා රාත්‍රි නාගදීපය ආරක්ෂාව භාරව සිටි එදා කනිෂ්ඨ නිලධාරියෙක්. 


ප්‍රශ්නය:- දෙමළ ජනතාව කොයි ආකාරයටද අලුත් නාවික බලමුළුව නිසා කල් ගෙවුවේ දෙමළ ජනතාව මෙල්ල කිරීමට ආපු බවක් ඔවුන් හිතුවෙ නැද්ද?
පිළිතුර:-
නෑ. දෙමළ ජනතාව තුළ විශ්වාසය දිනාගෙන කටයුතු කරන්නට නාවික හමුදාවට හැකිවුණා. නාවික හමුදා කඳවුරක් දූපතේ තිබුණා කියා ඔවුන් අවිනිශ්චිත බවක් ගත්තෙ නෑ. දකුණේ දෙමළ මිනිස්සුන්ගේ දේවල් කඩා බිඳ දාද්දි විනාශ කරද්දි උතුරේ දෙමළ ජනයා සිංහලයන් සමඟ වගේම පන්සල සමඟත් සමගියෙන් කල් ගත කළා. කොටි ත්‍රස්තවාදින් තමයි උතුරේ ප්‍රශ්නය ඇවිස්සුවේ. එදා පන්සල ආසන්නයේ දෙමළ මිනිසුන්ගේ ගෙවල් පේළියක් තිබුණා. ඒ අය කඳවුරේ සෙබළුන්ට ප්‍රණීත දෙමළ ආහාර වර්ග කුඩා භාජනවලට ගෙනැවිත් පිළිගැන්වුවා. ඒ අතර පිට්ටු, ඉට්ලි, තෝස, වඬේ, ඉඳි ආප්ප විශේෂයි. කමලක්කා නම් දෙමළ කාන්තාවගේ ගෙදරින් තමයි පන්සලට සහ හමුදාවට පිට්ටු ලබා දුන්නේ. ඇය දැන් මිය ගිහින්. එයාගේ සැමියා තමයි සිවපාදන්. කමලක්කාගේ ගෙදර නාවික සෙබළු හැඳින්වූවේ “පිට්ටු ගෙදර” කියලයි. ඒ විතරක් නෙවෙයි. නාවුක හමුදාවට දෙමළ මිනිස්සු විශාල ගෞරවයක් තිබුණා. මට මතකයි දෙමළ ජනතාව නාවුක හමුදාවට කීවේ “උගත් හමුදාව” කියලා.


ප්‍රශ්නය:- ඔය කාලෙ නාගදීපයට යුද හමුදාව යෙදවීමේ සූදානමකුත් තිබුණා. එය කවරාකාරයටද නාගදීපයට බලපෑවේ?
පිළිතුර:-
ඇත්තම කියනවා නම් පවතින කලබල අස්සෙ යුද හමුදාවට දෙමළ ජනතාව ගොඩක් බය වුණා. ඒ අය සන්නද්ධ මට්ටමින්මයි මිනිස්සු හිතුවේ. නාගදීපයේ නාවුක හමුදා ඒකකය පිටතට ගෙන ඒ වෙනුවට යුද හමුදාව යෙදවීමට රජය තීරණය කළ බව අපට දැන ගන්න ලැබුණා. ලොකු හාමුදුරුවො ඒ අහපු ගමන් කලබල වුණා. මොකද උන්වහන්සේගේ විශ්වාසය වුණේ යුද හමුදාව “මොනවා කරාවිද” දන්නෙ නෑ කියලා. මට උන්වහන්සේ කතා කළා.


පොඩිනම නාවුක හමුදාව මේ පන්සලෙන් ගියොත් විශ්‍රාම ශාලාව වහල යතුර අරගෙන එනවා. අපට කවුරුත් ඕනෙ නෑ. නායක හාමුදුරුවන්ගේ තීරණය අහපු නාවුක හමුදාව සහ යුද හමුදාවේ ඉහළ නිලධාරින් යාපනයේදී සාකච්ඡා කරලා නාවුක හමුදාවේ 11 දෙනෙක් හා ඉතිරි ආරක්ෂක පුරප්පාඩුව යුද හමුදාවෙන් පුරවන්න තීරණය කළ බව දැනුම් දුන්නා. යුද හමුදාව රෑට අඳුරු ඇඳුම් ඇඳගෙන පතරොම් පටි එල්ලාගෙන බර අවිත් අරන් යකඩ බූට්ස් දාගෙන යනවිට දෙමළ වැසියො පුදුමාකාර බියට පත් වුණා. ඔවුන් අඳුරු වැටෙද්දි දොරක් අරින්නටත් බය වුණා. පහනුත් නිවා දමා වැටුණු වැටුණු තැන්වල නින්දට ගියා. රාත්‍රියට හමුදාවෝ කුරිකට්ටුවාන් ජැටිය දෙසට බර අවි එල්ල කළා. නාගදීපය දෙදරා යන තරම් ශබ්දයි. පසුදා උදේ බලද්දි තල්ගස්වල කරටි පිටින් ගිනි අරන්. 


ප්‍රශ්නය:- දිගටම මේ තත්ත්වය තිබුණද?
පිළිතුර:-
නෑ කෙටි කලයි. ධම්මකිත්ති නායක හාමුදුරුවො. හමුදාවේ අණදෙන නිලධාරි කැඳවා රාත්‍රි කාලයේ කළු ඇඳුම් ඇඳ බර අවි එල්ලා යන මුර සංචාර නතර කරන්නැයි ඉල්ලා සිටියා. නාගදීපයේ ප්‍රශ්නයක් නැති බවත් අනවශ්‍ය ප්‍රශ්න මේ නිසා ඇතිවිය හැකි බවත් උන්වහන්සේ දකින්නට ඇති. ඊට පසු කළු ඇඳුම් හා බර අවි ඉවත් කළ හමුදාව සාමාන්‍ය හමුදා ඇඳුමින් සහ ටී 56 ගිනි අවි පමණක් ළඟ තබාගත්තා.


ප්‍රශ්නය:- දකුණ කළු ජූලියෙන් ගිනි ගනිද්දි එල්.ටී.ටී.ඊය බෝම්බ ගහද්දි දෙමළ මිනිස්සු නාගදීප පන්සල ආරක්ෂා කළා?
පිළිතුර:-
සැදැහැවතුන් එන්නෙ නැති පින් කැටේට රුපියලක්වත් නොවැටෙන කාලෙ අපට දාන වේල නොවරදවා දෙන්න දෙමළ මිනිස්සු හිටියා. නායක හාමුදුරුවොත් මාත් නාගදීපෙ සියලු මිනිස්සුත් හිටියෙ යුද්ධය කොහොම ආවත් එකටම මැරෙන්න ඕන කියන මතයේයි. දාලා යනවා නම් මටයි, ලොකු හාමුදුරුවන්ටයි පන්සල්වලින් කතා කළ වාර අනන්තයි.


මෙතැනදි විශේෂයෙන් රාමචන්ද්‍රන් මුදලාලි ගැන යමක් කිව යුතුයි. ඔහු මිනිසෙක් අබිබවා ගිය දෙවියෙක්. ඒ තරම් එයා නාගදීප පන්සලට ආදරය කළා. අපේ රටේ බෞද්ධ විහාරයක භික්ෂුන් වහන්සේලා දෙනමකට දාන වේල් දෙකක් එක දිගටම පූජා කළ එකම පුද්ගලයා මේ මුදලාලි විය හැකියි. යුද්ධය පැවැති තිස් අවුරුද්දම රාමචන්ද්‍රන් ඒ දේ කළා. එයාගෙ බිරිඳ මීනාත් එහෙමයි. තමන් වෙඩි වැදිලා මැරුණත් එතෙක් නාගදීප පන්සලට දානය දිය යුතුයිකියන උදාර සිතිවිල්ල රාමචන්ද්‍රන් හා මීනාච්චි තුළ තිබුණා.


ඊට පසු මොකද වුණේ ...


සටහන/ඡායාරූප:- 
අසංක ආටිගල