උතුරේ පෙර පාසල් අධ්‍යාපනය අනතුරේ


වෛරය, ක්‍රෝධය, පළිගැනීම, ඊර්ෂ්‍යාව වැනි දුර්ගුණ නොමැති කුඩා දරුවන් මල් වැනිය. ලස්සනත්, සුවඳත් ලොවට බෙදා හරින පුංචි පැටවුන් බහ තෝරණ අවධියේ සිට සමාජයට අනුගත වෙන්නේ පවුල, පෙරපාසල, පාසල හා සමාජය ලබාදෙන අත්දැකීම්වලට අනුවය.   


එය උදාහරණයට ගතහොත් පන්සිය පනස් ජාතක පොතේ සඳහන් සත්ති කුම්භ ජාතකය මෙනි. එනම් තාපසයන් අසලට වැටී හැදූ වැඩුණු ගිරවා ප්‍රියවචන කතා කිරීමට පුරුදු වූයේත් සොරුන් අසලට වැටුණු ගිරවා නපුරු වචන කතා කළේත් ඒ ඒ සමාජ අනුකරණ නිසාවෙනි.   


මෙවර බැලුම්ගල අනාවරණය තුළින් කතා කරන්නේ මල්වැනි සිත් ඇති පුංචි පැටවුන්ගේ අනාගතය සැලසුමක් නැති දේශපාලනය මගින් වාර්ගික හා දේශපාලනිකමය අරමුණු පදනම් කරගෙන විනාශ කර දැමීමට ගන්නා උත්සාහයක් පිළිබඳවය.   


වසර 30 ට අධික කාලයක් බිහිසුණු යුද්ධයක් පැවතියේය. දරුවන්ට මව්පියන් අහිමි විය. මව්පියන්ට දරුවන් අහිමිවිය. සිංහලයා, දෙමළා ලෙසින් ජාතිකත්වය ඉස්මතු වූ අතර එකිනෙකා දෙස සැකයෙන් බලන්නට විය.  
දේශපාලන අරමුණු උදෙසා ටිකෙන් ටික ඇවිළ වූ වෛරයේ ගිනිදැල් ජාති ආගම් බේදයකින් තොරව මිනිස් සංහාරයකට මූල බීජය වූවේය.  


ඒ කුරුරු යුද්ධයේ ගිනි දළු දැන් නිවී ගොස් ඇත. යුද්ධයට පසු ඉපදුන පුංචි දරුවෝ එහි ආදීනව නොදන්නෝය. එදා සිටි වැඩිහිටියෝ යුද්ධයේ භීතිය හොඳින්ම දන්නෝය. එම නිසාම එවැනි අඳුරු මූසල අද්දැකීම් සිය දරුවන්ට අත්විඳින්නට නොවේවායි ඔවුහු පතති.  


එවන් වූ මානසිකත්වයක් උතුරුකරයේ සිංහල-දෙමළ ජාතීන් හා පුනරුත්ථාපනය වී පවුල් ජීවිත ගතකරන එල්ටීටීඊ සාමාජිකයින් සතුව ඇත. ඒ සියලු දෙනා කුරුරු යුද්ධයට පාප කරති. ඔවුන් තම දරුවන්ට අයන්න ආයන්න කියවන්නේ ගුණ නැණ ලබා දෙමින් ජීවිතය ආලෝකවත් කිරීමටය.  

 


මේ සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් ලබා දෙන්නේ ද අනුපමේය සහයකි. එනම් 2012 වසරේ සිට උතුරුකරයේ දරුවන්ගේ ශිල්ප ඥානය වැඩි කිරීම සඳහා ඔවුහු ඇපකැප වී කටයුතු කරති.  


එනම් සිවිල් ආරක්ෂක භටයන් අතරේ සිටින සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමතුන් තෝරා ඔවුනට පෙර පාසල් ගුරු පුහුණුව ලබාදී රාජ්‍ය අනුග්‍රහය සහිතව පෙර පාසල් පවත්වාගෙන යාමේ කටයුත්තට පසුගිය රජය මුල පිරුවේය. එය සාර්ථක විය. කුඩා දරුවන් ඔවුනගේ රැකවරණය හා සෙනෙහස ලබමින් අධ්‍යාපන කටයුතුවල නිරත විය.  


පෙර පාසල් අධ්‍යාපනය සේම උපකාරක පන්ති, සන්ධ්‍යා පන්ති පවත්වමින් වැඩිමල් දරුවන්ට ද අධ්‍යාපන දැනුම ලබා දුන්​ෙනා්ය. ඒ පිළිබඳ 2013 වසරේ සිට 2017 වසර දක්වා සංඛ්‍යා ලේඛන මෙසේය.  


 2013 වසරේ පෙර පාසල් 281 ක්‍රියාකාරි වූ අතර ළමුන් 7986 ක් අධ්‍යාපනය හදාළේය. ඔවුනට අධ්‍යාපනය ලබා දුන් ගුරු සංඛ්‍යාව 500 කි.  


2013 වසරේ උපකාරක පන්ති 17 පැවැත්වූ අතර ළමුන් 760 ක් අධ්‍යාපනය හදාළේය. ඊට කැපවූ ගුරු සංඛ්‍යාව 41 කි.  


2014 වසරේ පෙරපාසල් 269 ක් ක්‍රියාකාරි වූ අතර ගුරුවරුන් 501 ක් සේවයේ නිරත වූහ. අධ්‍යාපනය ලද ශිෂ්‍ය සංඛ්‍යාව 7094 කි. එම වසරේ සන්ධ්‍යා පන්ති 269 ක් පැවැත්වූ අතර සේවය කළ ගුරුවරුන් සංඛ්‍යාව 501 කි. අධ්‍යාපනය ලද ශිෂ්‍ය සංඛ්‍යාව 5054 කි. එම වසරේ උපකාරක පන්ති 16 ක් පැවැත්වූ අතර ගුරුවරුන් 41 සේවය කර ඇත. අධ්‍යාපනය ලද ශිෂ්‍ය සංඛ්‍යාව 1247 කි. 2015 වසරේදී පෙරපාසල් 269 ක් ක්‍රියාකාරි වූ අතර ළමුන් 4163 ක් අධ්‍යාපනය ලබා ඇත. සේවය කළ ගුරු සංඛ්‍යාව 501 කි.  


මෙම වසරේද සන්ධ්‍යා හා උපකාරක පන්ති පැවැත්වූ අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7986 අධ්‍යාපනය ලබා ඇත. 2016 වසරේ පෙරපාසල් 270 ක් ක්‍රියාකාරි වූ අතර ළමුන් 5151 අධ්‍යාපනය ලබා ඇත. මෙම වසරේද සන්ධ්‍යා හා උපකාරක පන්ති පැවැත්වූ අතර අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය සංඛයාව 4271 කි. 2017 වසරේ පෙරපාසල් 261 ක් ක්‍රියාකාරි වූ අතර ළමුන් 5606 ක් අධ්‍යාපනය ලබා ඇත. සන්ධ්‍යා හා උපකාරක පන්තිවලට සහභාගි වූ ශිෂ්‍ය සංඛ්‍යාව 4383 කි.  

 

 

2013 වස​ෙර් සිට 2017 වසර දක්වා ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වන විට ළමුන් 50525 ක් අධ්‍යාපන පුහුණුව ලද සිවිල් ආරක්ෂක සෙබළ සෙබළියන් යටතේ අධ්‍යාපනය හදාරා ඇත.  


 කිසිදු ගැටලුවකින් තොරව ස්ථීර ගොඩනැගිලි හා අධ්‍යාපන පහසුකම් යටතේ අධ්‍යාපනය ලද දරුවෝ අද පාසල් අධ්‍යාපනයද සාර්ථකව හදාරති. එය පසුගිය වසරවල අධ්‍යාපන ප්‍රතිඵල නිරීක්ෂණයේදී ද අනාවරණය වෙයි. මෙහි ඇති විශේෂය වන්නේ දමිළ සාමාන්‍ය ජනයා මෙන්ම පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන්ද සිය දරුවන්ගේ අධ්‍යාපනය පුහුණුව ලද සිවිල් ආරක්ෂක සෙබළ සෙබළියන් අතින් සිදුවීම පිළිගැනීමය. එනම් ඔවුන් සාර්ථකව අධ්‍යාපන කටයුතු සිදුකරති.  


 පෞද්ගලික පෙරපාසල් මුදල් අයකිරීම සිදුකරයි. එහෙත් සිවිල් ආරක්ෂක බලකායේ සෙබළ සෙබළියන් ක්‍රියා කරන්නේ ඔවුනට රජයෙන් ලැබෙන වැටුප පමණක් රැගෙනය. ළමයින්ගෙන් හැකි අයෙකුට සුළු මුදලක් දිය හැකි නම් එය ගනුයේ පෙරපාසල් ලයිට් බිල් වැනි යටිතල පහසුකම් සඳහාය. ළමෝ සියලු දෙනා නොමිලයේ අධ්‍යාපනය ලබති.  


මේ ආකාරයට මෙපමණ කාලයක් ගැටලුවකින් තොරව පවත්වාගෙන ගිය පෙරපාසල් අධ්‍යාපනයට නවතම ගැටලුවක් මතු වී ඇත. එය මතුකර ඇත්තේ උතුරේ පිහිටි පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ය.  


 මෙපමණ කාලයකට නොතිබූ ගැටලුවක් මතුකරමින් ඔවුන් පවසා ඇත්​ෙත් සිවිල් ආරක්ෂක අංශයට අදාළ නොමැති රාජකාරියක් ඔවුන් කරන බවත් එය ඔවුන්ගෙන් වෙන්කර පළාත් සභාව යටතේ පාලනය විය යුතු බවත් ඊට ඔවුන් අනුමත කරන ගුරුවරු අනුයුක්ත කරන බවත්ය.  


මේ පිළිබඳ බැලුම්ගල කණ්ඩායම තොරතුරු විමසූ කල පෙරපාසල් ආරම්භ කිරීම ක්‍රමානුකූල සැළසුමක් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සහ ගුරුවරුන් ඇතුළු යටිතල පහසුකම් පිළිබඳ කිසිදු ක්‍රමානුකූල වැඩපිළිවෙලක් පළාත් සභාවට නොමැති බව අනාවරණය විය.  


මේ පිළිබඳ ප්‍රදේශවාසීන්ගේ අදහස වූ​ෙය්ද තිබෙනා ක්‍රමවේදය හොඳ බවය. එනම් රජයට අමතර පිරිවැයක්් නොදැරිය යුතු බවත් පුහුණුව ලද ගුරුවරුන් යටතේ කුඩා දරුවන් අධ්‍යාපනය ලැබිය යුතු බවත් යුද්ධය, ජාතිවාදය දැක නැති කුඩා දරුවන්ට එවැනි සිතුවිල්ලක් හෝ පහළ වීමට අවස්ථාව සලසා නොදෙන ලෙසත් ඔවුන් ආයාචනා කර ඇත.  

 

 

 මෙහිදී උතුරේ වාසය කරන සිංහල හෝ දෙමළ ජනතාවට අවශ්‍ය නොවන අවශ්‍යතාවය උතුරේ පළාත් සභා මන්ත්‍රීට අවශ්‍ය වූයේ කුමක් නිසාදැයි යන්න ගැටලු සහගතය. වගකිව යුතු රජයක් ලෙස අවධාරණයට ගත යුත්තේ මල්වැනි කුඩා සිත්වලට වෛරයේ විෂබීජ දමනා සිතුවිලි වැපිරවීම හෝ ඔවුනගේ අධ්‍යාපන අයිතිය සෙල්ලමකට ගැනීමට යත්න දරනා පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමට ඉඩ නොදිය යුතු බවය.  


මන්දයත් ජාතික සහජීවනය යනු ජාතීන් අතර සමගිය, සහජීවනය ගොඩගැනීමය.  


රටේ බොහෝ පළාත්වල සිංහල, දෙමළ, මුස්ලිම් දරුවෝ එක පෙරපාසලේ අධ්‍යාපනය ලබාද්දී උතුරට පමනක් විශේෂ නීති අවශ්‍ය නොවන්නේය. එසේම යුද්ධයෙන් පසු ඇප කැපවීමෙන් ඒ ඒ විෂය ධාරා පිළිබඳ පුහුණුව ලබා වසර කීපයක් පළපුරුද්ද ලබාගත් ගුරු සේවයට කැපවී ළමයි දහස් ගණනකට සිප්සතර ලබා දුන් ඒ පිරිසට ද සාධාරණය සිදුවිය යුතුය.  


උතුරුකරයේ වැසියන්ගේ අවසන් ඉල්ලීම වනුයේද පටු දේශපාලන අරමුණු නිසා දරුවන්ගේ අධ්‍යාපනය වුවද ජාත්‍යන්තරයට යා හැකි බවය. නැතහොත් රාජ්‍ය නොවන සංවිධානවලින් මූල්‍යමය ගැරීමක් සිදුවිය හැකි බවය. සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා වලින් බැහැරව ගොස් පටු දේශපාලන අරමුණු ඉටුකරගන්නා ක්‍රමවේදය හෙළා දකින බවද ඔවුනගේ අදහස විය.

 

 

 

සටහන
කුමාරි හේරත්