උතුරු කොරියාව ඇමෙරිකාවට පහර දිය හැකි මිසයිලයක් අත්හදා බලයි


 

ඇමරිකා එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම විනාශ කළ හැකි තරම් ප‍්‍රබලත්වයකින් යුතු අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් පසුගිය සතියේ අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කළේය. මෙවර අත්හදා බලන ලද මිසයිලය නම් කර ඇත්තේ වන්සොන් 15 නමිනි. උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන අන්දමට පසුගිය බදාදා අළුයම 3ට මෙම මිසයිලය අත්හදා බැලීමට කොරියානු නායක කිම් ජොං උන් අවසර ලබා දී තිබේ. මෙතෙක් අත්හදා බලන ලද සියලු මිසයිලවලට වඩා වැඩි දුරක් එනම් මිනිත්තු 53ක් තුළ කිලෝමීටර 4475ක පමණ දුරක් එය ගමන් කර තිබේ. උතුරු කොරියාවේ බටහිර දෙසින් ගුවන් ගත කෙරුණු වන්සොන් 15 මිසයිලය ජපන් මුහුදට ඉහළ අහසේදී පුපුරා ගියේය. 


මෙම අත්හදා බැලීම සැලවූ විගස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරයේ රූස්වෙල්ට් ශාලාවේ සාකච්ඡාවක් කැඳවමින් උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ඒ පිළිබඳව තමා විමසිල්ලෙන් සිටින බවත් ප‍්‍රකාශ කර තිබේ. මෙම මිසයිලය අනෙකුත් මිසයිලවලට වඩා බොහෝ ඉහළට ගමන් කර ඇතැයිද ඒ අනුව උතුරු කොරියානු නායකයාට ලොව ඕනෑම ස්ථානයකට පහර දීමේ හැකියාවක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙම බැලස්ටික් මිසයිලය කලාපීය හා ලෝක සාමයට තර්ජනයක් වන අතර විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයට දැඩි තර්ජනයක් බවද ඔහු පැවසීය. 


මෙම මිසයිලය උඩුගුවනට ඉලක්ක නොවී වෙනත් කලාපයකට එල්ල වූවානම් එයට කිලෝමීටර 13,000 පමණ දුරක් ගමන් කිරීමේ හැකියාවක් පැවති බැව් විද්‍යාඥයන්ගේ සංගමයේ ඩේවිඩ් රයිට් ප‍්‍රකාශ කර තිබේ. විශේෂයෙන්ම එය වොෂින්ටනයට හෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙනත් කලාපයකට හෝ එල්ල වීමට හැකියාවක් පැවති බවද, එයට ඉතා බලවත් න්‍යෂ්ටික ශීර්ෂයක් සවිකර තිබූ බවද ඔහු ප‍්‍රකාශ කර තිබේ. 


තමන් විසින් අත්හදා බලන ලද නවතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය අත්හදා බැලීමේ ස්ථානය වෙත රැගෙන එන අයුරු සහ එය ගුවනට විදින ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් උතුරු කොරියාව ප‍්‍රසිද්ධ කර තිබේ. එම අත්හදාබැලීම සිදුවන අවස්ථාවේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ද එම ස්ථානයට පැමිණ සිටි බැව් වාර්තා වේ. 


උතුරු කොරියාව නුදුරේදීම පැසිෆික් මුහුදට ඉහළ අහසේ න්‍යෂ්ටික අත්හදාබැලීමක් හෝ පුපුරන ද්‍රව්‍ය අඩංගු මිසයිලයක් ගුවන් යානයක් මගින් ගොඩබිමට පතිත කිරීමේ සූදානමක් ඇති බවට උතුරු කොරියානු විදේශ ඇමති රි යොං හෝ පසුගිය සැප්තැම්බරයේ ඉඟි කර තිබිණි. 


ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මෙම න්‍යෂ්ටික අත්හදාබැලීම තරයේ හෙලා දැක ඇත. උතුරු කොරියාවට ජාත්‍යන්තර පීඩනයක් එල්ල කළ යුතු බවද, න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් සාමකාමී ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයිද ඔහු කියා සිටී. 


පසුගිය පෙබරවාරි මාසයේ සිට උතුරු කොරියාව අවස්ථා 16කදී මිසයිල 23ක් අත්හදා බලා ඇත. එරට සිදු කෙරෙන න්‍යෂ්ටික අත්හදාබැලීම් නිසා වර්තමානයේ එය සමස්ත ලෝකයෙන්ම හුදෙකලා වී සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2016දී උතුරු කොරියාවට සම්බාධක පැනවීමට පියවර ගනු ලැබුවේ එරට න්‍යෂ්ටික අත්හදාබැලීම් නවතාලීමේ පියවරක් වශයෙනි. එහෙත් උතුරු කොරියානු නායකයා මේ කිසිවකින් නොසැලී ලොවටම තර්ජනයක් වෙමින් අධි බලැති න්‍යෂ්ටික අවි අත්හදා බලමින් සිටී. ඔහුගේ තර්ජන වැඩි වශයෙන්ම එල්ල වනුයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් වෙතය. ලෝක බලවතා වන ඇමෙරිකාව තම රාජ්‍යයට කිසියම් බලපෑමක් සිදු කරන්නේ නම් එයට ප්‍රතික්‍රියා දක්වන්නට තමන් පසුබට නොවන්නේ යැයි ඔහු ප‍්‍රකාශ කර තිබේ. 
ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොරියානු මහජන ජනරජය ලෙසින් හැඳින්වෙන උතුරු කොරියාව නැගෙනහිර ආසියාවට අයත් රාජ්‍යයකි. එය චීනය, රුසියාව හා දකුණු කොරියාවට මායිම් වී තිබේ. 1910දී කොරියාව ජපානය විසින් යටත් කරගනු ලැබීය. 1945 දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමත් සමඟ කොරියාව දෙකඩ වූයේය. එහි උතුරු කොටස රුසියාව යටතටද, දකුණු කොටස ඇමෙරිකාව යටතටද පත් විය. මෙම දෙරට යළි එක් කිරීමට දරන ලද ප‍්‍රයත්නය අසාර්ථක වූ අතර 1948 උතුරු කොරියාව සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොරියානු මහජන ජනරජය වශයෙන්ද, දකුණු කොරියාව කොරියානු ජනරජය වශයෙන් නව රාජ්‍ය දෙකක් බවට පත් විය. උතුරු කොරියාවේ පාලනය සෝවියට් දේශයේ සහය ඇතිව කිම් ඉල් සුං අත්පත් කර ගත්තේය. 


1950දී උතුරු කොරියාව දකුණු කොරියාව ආක‍්‍රමණය කළ අතර දෙරට අතර වූ කොරියානු යුද්ධය 1953 දක්වා පැවතිණි. එය අවසන් කිරීම සඳහා කොරියානු සටන් විරාම ගිවිසුමක් ඉදිරිපත් කෙරුනද සාම ගිවිසුමක් අත්සන් කෙරුනේ නැත. උතුරු කොරියාව තමන් හැඳින්වූයේ ස්වයං විශ්වාසයක් සහිත සමාජවාදී රාජ්‍යයක් ලෙසිනි. එවක එහි මැතිවරණ පවා පැවැත්විණි. බටහිර මාධ්‍යය උතුරු කොරියාව හැඳින්වූයේ ස්ටාලින්වාදී පාලන ක‍්‍රමයක් සහිත රාජ්‍යයක් ලෙසිනි. ක‍්‍රමයෙන් රාජ්‍යයේ සමස්ත බලය එහි නායක කිම් ඉල් සුං සහ ඔහුගේ පවුල වටා ඒකරාශි විය. කොරියානු කම්කරු පක්ෂයේ නායකත්වයද කිම් ඉල් සුංගේ පවුලේ සාමාජිකයන් විසින් හොබවනු ලැබීය. කෘෂි හා කාර්මික නිෂ්පාදන කටයුතු සියල්ල පැවතියේ රජය සතුවය. සියලු ව්‍යාපාර රජය සතු වූ අතර සමූහ ගොවිපළ ක‍්‍රමයක් පැවතියේය. සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස සහ ආහාර නිෂ්පාදනය සඳහා රජයේ අනුග‍්‍රහය හිමි විය. 


1994 සිට 1998 අතර කාලයේ උතුරු කොරියාව දරුණු දුර්භික්ෂයකට මුහුණ පෑවේය. ඉන් පුද්ගලයෝ 240,000ත් 420,000ත් අතර පිරිසක් මරණයට පත් වූහ. ආහාර නිෂ්පාදනය ඇණ හිටිනි. එහි ප‍්‍රතිඵලය වූයේ ‘සොන්ගුන්’ නොහොත් ‘‘පළමුව හමුදාව’’ යන ප‍්‍රතිපත්තිය වෙත මාරු වීමය. රාජ්‍යයේ වැඩි පිරිසක් හමුදා නිලධාරින් හා අතුරු හමුදාවලට අයත් පුද්ගලයෝ වූහ. එම පිරිස සංඛ්‍යාත්මක වශයෙන් 9,495,000කි. චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය හා ඉන්දියාවට පසු ලොව සිව්වැනි විශාලතම හමුදාව අයත් වූයේ උතුරු කොරියාවටය. එහි ක්‍රියාකාරී හමුදා සාමාජිකයෝ මිලියන 1.21ක් වූහ. 


උතුරු කොරියාව න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට පිවිසියේ මේ අතරය. එය අනාගාමික රාජ්‍යයක් බවට පත් වූ අතර රාජ්‍ය ආගමක් නොවීය. ජනතාව ආගමික වශයෙන් අධෛර්යයට පත් කෙරිණි. 1991දී උතුරු හා දකුණු කොරියානු රාජ්‍ය ද්විත්වයම එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබාගත්හ. උතුරු කොරියාවේ ශ‍්‍රම බලකාය මිලියන 12.6කි. සමස්ත ජනගහණයෙන් 65%ක් මෙම ශ‍්‍රම බලකායට අයත්ය. දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 40කි. ඉන් හරි අඩක් සැපයෙන්නේ කර්මාන්ත ක්ෂේත‍්‍රයෙනි. 1974 සිට එරට බදු අය කෙරෙන්නේ නැත. 2012 වාර්තාවලට අනුව වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 1800කි. යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය, යුද අවි, රසායන ද්‍රව්‍ය, පතල් කර්මාන්තය, රෙදි පිළි, ආහාර නිෂ්පාදනය සහ සංචාරක ව්‍යාපාරය එරට ප‍්‍රධාන කර්මාන්තවලින් කිහිපයකි. 


උතුරු කොරියාව ලොව අනෙකුත් රාජ්‍ය සමඟ සමාන්තර ගමනක යෙදුණේ නැත. මානව හිමිකම් උල්ලංඝනය වීම් විශාල වශයෙන් පැවතියේය. සෝවියට් දේශයේ පැවැති ගුලාග් සිර කඳවුරුවලට සමාන සිර කඳවුරු එහිද ස්ථාපනය කෙරිණි. රජයට එරෙහි මත පල කළ පුද්ගලයන් රාජ්‍ය විරෝධීන් ලෙස සලකා එම කඳවුරුවල සිරගත කෙරිණි. එවැනි පුද්ගලයන්ගේ ඥාතීන්ටද දඬුවම් පැමිණවිය හැකි තුන්වැනි පරම්පරාවටද දඬුවම් පැමිණවීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් කිම් ඉල් සුං විසින් හඳුන්වා දෙනු ලැබීය. සිරකරුවෝ වහල් සේවය සඳහා යොදා ගැනුණු අතර, නිතර වධ බන්ධනවලට පාත‍්‍ර වූහ. ඇතැමුන් පර්යේෂණාගාර මීයන් ලෙස යොදා ගැනිණි. ස්ත්‍රීන් දූෂණයට ලක් වූ අතර අත්තනෝමතික ලෙස මරණ දඬුවම් නියම කෙරිණි. 


 උතුරු කොරියාවේ පළමු නායකයා කිම් ඉල් සුංය. වසර 46ක් කොරියාව පාලනය කළ කිම් ඉල් සුංගෙන් පසු එහි පාලනය හිමි වූයේ ඔහුගේ වැඩිමහලු පුත‍්‍රයා වූ කිම් ජොං ඉල්ටය. ඔහුගේ අභාවයෙන් පසු රාජ්‍ය බලය හිමි වූයේ ඔහුගේ තුන්වැනි පුත‍්‍රයා වූ කිම් ජොන් උන්ටය. කිම් ජොන් උන්, කිම් පෙළපතේ තුන්වැනි නායකයාය. ඔහු රාජ්‍යත්වයට පත් වූයේ තම පියා වූ කිම් ජොන් ඉල්ගේ අභාවයෙන් පසුය. තම මුත්තණුවන් හා පියා මෙන්ම ඔහුගේ ප‍්‍රතිපත්තිය වී ඇත්තේද හමුදා ප‍්‍රවර්ධනය කිරීමය. එමෙන්ම තමන් සතු න්‍යෂ්ටික බලය ලොවට පෙන්වීමද ඔහුගේ අරමුණය. ඔහු පක්ෂයේද, හමුදාවේද, ජනතාවගේද නායකයාය. කොරියානුවන් කිම් ජොන් උන් හඳුන්වන්නේ ‘ස්වර්ගයෙන් පහළ වූ මහා පුරුෂයා’ ලෙසිනි. කොරියානු ජනතා හමුදාවේ උත්තරීතර නායකයා වශයෙන් ඔහු තමන්වම නම් කර ගත්තේය. ඔහුගේ ආර්ථික ප‍්‍රතිපත්ති චීනයේ ආර්ථික ප‍්‍රතිපත්තිවලට සමානය. 2013දී තම රාජ්‍යයේ ආර්ථිකය නගාසිටුවීම සඳහා සමාජවාදී ඒකාබද්ධ කළමනාකරණ ආර්ථික ක‍්‍රමයක් හඳුන්වා දීමට ඔහු පියවර ගත්තේය. 


2013 මාර්තු 31 වැනි දින පැවැති මධ්‍යම කමිටු රැස්වීමේදී තමා නව උපායමාර්ගික මාවතකට පිවිසෙන බවත්, තමන්ට එල්ල විය හැකි බාධක වැළැක්වීම සඳහා න්‍යෂ්ටික අවි අත්හදා බැලීමට පියවර ගන්නා බවත් ඔහු කියා සිටියේය. උතුරු කොරියාව න්‍යෂ්ටික තාක්ෂණයෙන් පොහොසත්ය. තම රාජ්‍යය ජලකර බෝම්බයක් නිර්මාණය කර ඇතැයිද ඔහු කලකට ඉහත කියා සිටියේය. කිම් ජොන් උන් පාලනය යටතේද උතුරු කොරියාවේ මානව හිමිකම් ඉතා දරුණු ලෙස උල්ලංඝනය වන බවටද එක්සත් ජාතීන්ගේ සංගමය චෝදනා කර තිබේ. 


කිම් ජොන් උන්ගේ උපන් දිනය පිළිබඳ විවිධ මත පවතී. ඇමෙරිකානු වාර්තාවලට අනුව ඔහු 1984 ජනවාරි 8 වැනි දින උපත ලබා ඇති අතර ස්විට්සර්ලන්ත වාර්තා අනුව 1984 ජුලි 5 වැනිදා උපත ලබා ඇතැයි පැවසේ. කිම් ජොන් උන් අධ්‍යාපනය ලබා ඇත්තේ ස්විට්සර්ලන්තයේ බැව් පැවසේ. 2013 මැලේසියාවේ හෙල්ප් නමැති පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ඔහුට පිරිනමා තිබේ. 


කිම් ජොන් ඉල්ගේ අභාවයෙන් පසු කිම් ජොන් උන්ගේ අර්ධ සොහොයුරු කිම් ජොං නාම් බලයට පැමිණෙනු ඇතැයි බොහෝ දෙනා සිතා සිටියද ඔහු ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් ජපානයේ ටෝකියෝවේ ඩිස්නිලන්තයට යෑමට උත්සාහ කළ අවස්ථාවක අත්අඩංගුවට පත්වීම මත ඔහුට තිබූ ජනතා ප‍්‍රසාදය හීන විය. කිම් ජොං නාම් 2017 පෙබරවාරි 14 වැනිදා මැලේසියාවේදී ඝාතනය කෙරුණුු අතර එම ඝාතනය දකුණු කොරියානු ඒජන්තයන් විසින් කරන ලද්දක් බවට සැක කෙරිණි. 


කිම් ජොන් උන් බටහිර රටවලට හා ඇමෙරිකාවට හිසරදයක් බවට පත්වී ඇත්තේ ඔහුගේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ හේතුවෙනි. පසුගියදා ඔහු ජපානයට බැලස්ටික් මිසයිල හතරක් එල්ල කළේය. එම මිසයිලවලින් ජපානයට හානියක් සිදු නොවුණු අතර යම් හෙයකින් එවැන්නක් සිදු වූයේ නම් එය තුන්වැනි ලෝක යුද්ධයේ ආරම්භය වන්නට ඉඩ තිබිණි. 

 

 

 

 

 

 

 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා