උතුර ගිලගත් ණය ත්‍රස්තවාදය


දශක තුනක යුද්දයෙන් හෙම්බත් වූ උතුරේ වැසියන් දැන් දැන් ජීවන යුද්ධයෙනුත් බො​ෙහාම හෙම්බත් වෙලා. එදා බෝම්බ නිසා ජීවිතය රැකගන්න හිස හැරුණු අතේ දුවලා නොදැනම මියගියපු වැසියන් අද යුද්ධයක් නැතිව ජීවත්වෙද්දි දැනදැනම ජීවිත අහිමි කරගන්න තත්වයකට පත් වෙලා ඉන්නේ. අහස උසට ජීවන බර වැඩි වුණ නිසාය.   
එදා යුද්ධදෙදි දකින්න බිය වුණු කොටි සාමාජිකයන් වෙනුවට අද උතුරේ මිනිසුන් බොහෝ දෙනෙකු දකින්න බිය වන්නේ ණය මූල්‍ය සමාගම්වල නියෝජිතයන්ය. එය ඒ තරමටම උතුර පුරාම වෛරසයක් මෙන් පැතිර ඇත.


ණය මුදල් ලබාගත් පිරිස් මගහරින විට ණය මුදල් ලබා ගැනීමට පැමිණෙන මූල්‍ය සමාගම් නියෝජිතයන්ගේ ඊළඟ පියවර වන්නේ ඇපකරුවන් සොයායාමයි. මෙහිදී දැඩි සේ අසරණ වන ඇපකරුවන්ට ගිරයට හසුවූ පුවක් ගෙඩිය මෙන් දැඩි පීඩනයකින් ජීවත්වීමට සිදුව ඇත. අවසානයේ ඔවුන්ද ජීවිතයෙන් වන්දි ගෙවන්නේ කර කියා ගැනීමට දෙයක් නොමැති නිසාද, එසේත් නැතිනම් ජීවිතය ගැන හරි හැටි අවබෝධයක් නැති නිසාද යන්න ගැටළුවකි. 
මෙයට ආසන්නම සිදුවීම වූයේ පසුගිය ඔක්තෝම්බර් මස 27 වනදා යාපනය අරියාලෙයි මාම්බලන් මන්සන්ධියේ ජීවත් වූ මුළු පවුලක්ම ණය බිල්ලා විසින් බිලිගනු ලැබූ සිදුවීමය. අදාළ සිදුවීමට පෙර උතුර ගිලගෙන ඇති මේ ණය බිල්ලා ගැන සඳහන් කළ යුතුමය. 


උතුරු පළාත තුළ විවිධ වූ මට්ටමින් විවිධ වූ පොලී ක‍්‍රමයන්ට අනුව ණය ලබාදෙන මූල්‍ය සමාගම් ඇත. මේ ණය ලබා දෙන මූල්‍ය සමාගම්වල ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ කුමන හෝ අයුරකින් ණය ලබාදීමය. ඒ සඳහා පවතින නීති රීතිවලින් පරිබාහිරවද මේ ණය ලබාදීම් සිදු කරනු ලබන්නේ ඉතා සූක්ෂමවය. 


ණය ලබාගත් තැනැත්තන් නොදැනීම ඔවුන්ගේ වාරිකය ළඟා වූ තැන, වාරිකය, ගෙවීමට ඔවුන්ට සිදු වන්නේ ගිනි පොලියක්ද සමඟය. මේ නිසාම ණය ලබා ගත් තැනැත්තන් මූල්‍ය සමාගම් මග හරිමින් කට්ටි පනින්නේ ලබාගත් ණය මුදලට වඩා දෙතුන් ගුණයකින් ආපසු ණය මුදල ගෙවීමට සිදුවන නිසාය. 


මෙම ක‍්‍රියාවලිය මුළු උතුර පුරාම සිදුවන නමුත් තවමත් විසඳුමක් නොමැත. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන් පසුගියදා යාපනයට ගිය අවස්ථාවේදී ජනාධිපතිතුමන්ද පැවැසුවේ උතුරේ ණය ගැටලුවට විසඳුමක් අදාළ බැංකු නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ලබාදෙන බවටයි. 


නමුත් මෙහි නොදන්නා කරුණ වන්නේ උතුරේ වැසියන් බොහෝ පිරිසකට ඇති වන නීතිමය ගැටළු නිසාය.

බැංකුවලින් ණය ලබාගැනීමට නොහැකි වන අවස්ථාවේදී ඔවුන්ට ණය දීමට විවිධ වූ මූල්‍ය සමාගම් උකුසු ඇසින් බලා සිටින්නේ මේ වැසියන්ට කෙසේ හෝ ණය ලබාදීමටය. පසුව ණය අය කර ගැනීමට පැමිණි කල ”කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලො” කියමන මෙන් ලබා ගත් ණය මුදල මෙන් කිහිප ගුණයක් ගිනි පොලියත් සමග ගෙවීමට සිදුවන නිසා මාසයක් පුරා ණය මුදල් ගෙවීම හැරෙන්නට පවුල් ජීවිකාව ගෙන යාමට හම්බ කරන මුදලක් නැත. 


මේ ජීවිකාව ගැන කිසිවෙකුත් නොදන්නා කරුණක් වන්නට පුළුවන. එයට කදිම නිදසුන් කිහිපයක් වුණේ ඉතා සුළු මුදලකට පවුල් පිටින්ම සිය දිවි හානි කරගත් පුවත් උතුරෙන් ඇ​ෙසන්නට වූ නිසාය.. 


“රුපියල් 7000ක් වැනි වාරික මුදලක් ගෙවීමට නොහැකිව වව්නියාව, ඕමන්තට යාබද ගම්මානයක නිවෙසක මවක් සිය දරුවන් තිදෙනාද ගෙවත්තේ ළිඳට තල්ලු කොට මවද ළිඳට පැන දිවි නසා ගැනීමේ සිදුවීමක් අසන්නට දකින්නට ලැබිණ. එමෙන්ම වව්නියාව මරක්කාරම්පලෙයි ගම්මානයේ මවක් තම අතරුවාද සමග ළිඳට පැන සිය දිවි නසාගත්තේ රුපියල් 3000ක් වැනි වාරික මුදලක් ගෙවීමට හැකියාවක් නැති තැන ඇයට පෙනුණු එකම විසඳුම එය නිසා වන්නට හැකිය. 


එවැනි සිදුවීම් සිදුව මාස ගණනක් යන්නට මත්තෙන් යාපනයේ අරියාලෙයි, මාම්බලන් මන්සන්ධියේ ඒ.වී. මාර්ගයේ ජීවත්වූ පවුලක් සියදිවි හානි කරගත්තේද මේ ණය මුදල් නිසාය. එම සිදුවීමද උතුර පුරා තවමත් දෝංකාර දෙන්නේ මේ ණය බිල්ලා එතරම් දරුණු වී ඇති හෙයිනි. 

 

 

යාපනයම මළ ගමක් සේ වූ එම සිදුවීම වුණේ මව සමග පුතුන් දෙදෙනා සහ දියණිය නිදි පැදුරේම මිය ගොස් සිටියදී ඔවුන්ගේ මළ සිරුරු යාපනය පොලීසිය විසින් සොයා ගනු ලැබීමත් සමඟය. 


පී. ක‍්‍රිෂාන්තන් වන පියාත්, කේ. සුනේත‍්‍රා වන මවත් පුතුන් දෙදෙනා වන අවුරුදු 01ක් වයසැති කේ. සර්වනන් හා අවුරුදු 02ක් වයසැති කේ. සජිත් හා අවුරුදු 04 ක් වයසැති කේ නරීසා යන අය සමග බො​ෙහාම සතුටින් කාලය ගත කළේ පියා රත්තරන් සාප්පුවක සේවය කළ නිසාය. 


මීට මාස 6කට පමණ පෙර ක‍්‍රිෂාන්තන්ගේ සහෝදරයකු ස්ථාන කිහිපයකින් රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයක මුදලක් ගත්තේ ක‍්‍රිෂාන්තන් ඇපකාරයකු කරමිනි. කාලයාගේ අැවෑමෙන් අදාළ ණය මුදල නොගෙවන බවට ක‍්‍රිෂාන්තන්ට තොරතුරු ලැබීම නිසා ඔහු සහෝදරයාට කිහිප අවස්ථාවකදීම කරදර කළේ ණය මුදල් ගෙවන ලෙසටත්, එසේ නොවන්නට තමන්ට ණය කරුවන්ගෙන් කරදර සිදුවන නිසා බව හඟවමිනි. නමුත් සහෝදරයා ලබාගත් ණය මුදලින් රුපියල් ලක්ෂ 10ක මුදලක් පමණක් ගෙවා ඉදිරි මුදල ගෙවීම සම්පූර්ණයෙන්ම ගෙවීම පැහැර හැරීම නිසා ණය දුන් පිරිස් සහෝදරයා අතහැර ක‍්‍රිෂාන්තන්ට කරදරකරන්නට පටන් ගත්තේය. එහි පීඩනය කොතරම්ද කියනවානම් අවසානයේදී රත්තරන් සාප්පුවේ තිබුණු විෂ ද්‍රව්‍ය පානය කිරීමෙන් පී. ක‍්‍රිෂාන්තන් ඉකුත් සැප්තැම්බර් 03 වනදා සිය දිවිහානි කරගත්තේය. 


ක‍්‍රිෂාන්තන්ගේ මියයාමෙන් පසුව නොනැවතුණු ණය ලබා දුන් පුද්ගලයන් ක‍්‍රිෂාන්තන්ගේ බිරිඳ වූ කේ. සුනේත‍්‍රාටද දවල් රැයක් නැතිව කරදර කළේය. සුනේත‍්‍රාද කිහිප අවස්ථාවකදීම ක‍්‍රිෂාන්තන්ගේ සහෝදරයාගේ අදාළ ණය මුදල් ලබා දෙන ලෙසට ඉල්ලීම කළද සහෝදරයා හා ඔහුගේ බිරිඳ සුනේත‍්‍රාට දෙස් දෙවොල් තබමින් පන්නා ගත්තා හැරෙන්නට විසඳුමක් ලබා නොදුන්නේය. 


තම සැමියාගේ මියයාමෙන් හා ණයකරුවන්ගේ කරදරයෙන් දැඩි කම්පනයකට පීඩනයකට පත් වූ සුනේත‍්‍රාට ඉවසා ගත නොහැකිම වුණේ තම දරුවන් නිතරම තාත්තා කෝ, තාත්තා කවද්ද එන්නේ, තාත්තා ඕනේ යන වදන් නිසාය. සියල්ල ඉවසා ගත නොහැකි වූ තැන සුනේත‍්‍රා විසින් සියලු දේ අතහැර යාමේ තීරණය ගන්නා ලදි. එම තීරණය කුමන ආකාරයේ සාධාරණීය එකක්දැයි කිව නොහැක. 


පසුගිය 27 දා උදෑසන 11ට පමණ අයිස්ක‍්‍රීම් මිලට ගත් සුනේත‍්‍රා එයට වස මිශ‍්‍ර කිරීමෙන් පසුව පුතුන් දෙදෙනාට හා දියණියටත් කෑමට දී ඇයද අයිස්ක‍්‍රීම් කා නිදාගත්තේ නැවත අවදි වන්නට නොසිතාය. 


වෙනදා නිවෙසේ ඇසෙන ශබ්දය නොමැති වීමෙන් අසල්වැසියකු එම නිවස පරීක්ෂා කිරීමේදී මවගේ හා පුතුන් දෙදෙනාගේත් දියණියගේත් නාසයෙන් හා මුඛයෙන් ලේ දමා තිබූ අයුරු දැක එම අවස්ථාවේදීම යාපනය පොලීසියට දැනුම් දී ඇත. 


අනතුරුව එම අවස්ථාවේදීම යාපනය පොලීසිය අදාළ නිවෙසට පැමිණෙන විටත් මවත් සමග පුතුන් දෙදෙනා හා දියණිය මියගොස් සිටි බවට යාපනය පොලීසිය කියා සිටියේය. 


නමුත් සුනේත‍්‍රා මියයාමට පෙර යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතාට හා ඇයගේ මවට, පියාට ලියූ සංවේදී ලිපි දෙකක් තිබී යාපනය පොලීසිය විසින් සොයාගනු ලැබ තිබුණි. 


යාපනය මහාධිකරණ විනිසුරුට ලියූ ලිපියේ සඳහන්ව ඇත්තේ, මෙසේය. 


“අපේ මරණෙට හේතුව ශ‍්‍රී සංකර් නම් පුද්ගලයා හා ඔහුගේ බිරිය සුගන්යාය. අපි අද මේ තත්ත්වයට වැටෙන එකට මේ අය වග කියන්න ඕනෙ. 


“ගරු මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාණනි, 


2017.9.3 මගේ සැමියා රු. කෝටියයි ලක්ෂ 17 දී රැවටුණු හේතුවෙන් සිය දිවි නසා ගත්තේය. මගේ සැමියා නැති ජීවිතයෙන් මට පලක් නැත. 


මගේ සැමියා අබ්බගාතයකු වී හෝ අපි සමග ජීවත්වුණා නම් ඒත් මට සෑහෙන්න තිබුණා. නමුත් අපට ඒකට වාසනාවක් තිබුණේ නෑ.


දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න කියලා හිතුණත් ළමයි අහන ප‍්‍රශ්නවලට මට උත්තර නෑ. ළමයි අහනවා තාත්තා කවදා එයිද? තාත්තා පේන්න එන්නේ නැත්තෙ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තාගේ කන්වල පුළුන් ගහලා තිබුණේ ඇයි? තාත්තා ඇයි කළු පාට වුණේ? සුදු විදිහටම තාත්තා ආයිත් එයිද? තාත්තා ආවම අපි පාර්ක් එකට යමුද? 


මේ වගේ මගේ දරුවන් අහන ප‍්‍රශ්නවලට මට උත්තර දෙන්න බෑ. මම කොච්චර කාලෙකට දරුවන් රවට්ටන්නද? 
අපේ මරණෙට හේතුව ශ‍්‍රී සංකර් නම් පුද්ගලයා, ඔහුගේ බිරිය සුගන්යා සහ සිරිදරන්. අපි අද මේ තත්ත්වයට වැටෙන්න මේ අය වග කියන්න ඕන. 


දෙවියන් මේ ලෝකේ සත්‍ය පසිදින්න ඉතා සීමිත පිරිසක් තෝරාගෙන එවලා තියෙනවා. මම විශ්වාස කරන විදිහට ඔබ තුමාත් ඒ අයගෙන් එක්කෙනෙක්. අපට වෙච්ච අසාධාරණයට ඔබතුමා සාධාරණයක් ඉටු කරන්න. අපේ නිරිදෝශිභාවය ඔප්පු කරන්න අපි අපේ පණ දෙනවා.” 
යනුවෙනි. 


මීට අමතරව සිය අවසන් කටයුතු කළ යුතු ආකාරය කියා මිය ගිය කාන්තාව සිය මව් පියන්ට ලියූ ලියුමක්ද හමු වී ඇත. එහි ලියා ඇත්තේ. 


“ආදරණීය අම්මා, තාත්තා, අයියා අක්කා, හැමෝම මට සමාවෙන්න. ඉපදුණු හැම කෙනාම මැරෙනවා. ඒක ගැන හිතලා ඔබ හැම දෙනාම හිත හදාගන්න. 


අම්මයි තාත්තයි දරුවකු විදිහට මට හැම යුතුකමක්ම කළා. අපි ජීවත් වුණු කාලය අඩු වුණත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා. 


මම ඔබ සැම සමඟ එක්ක ජීවත් වෙන්න තිබුණු කාලය සම්පූර්ණයි. අඩු පාඩු දාහක් වටේ තිබුණත් ඒවා එච්චර ලොකු දේවල් නෙවෙයි. 


මගේ සැමියා මට දීපු ජීවිතෙත් සම්පූර්ණයි. නමුත් එක දුකක් තියෙනවා. අපිට පවුලක් විදිහට දිගුකලක් ජීවත් වෙන්න අශාවක් තිබුණා. අවසන් මොහොත දක්වා අපි ඒකට සටන් කළා. දැන් අපි යන්නම් මගේ අම්මාව රැක බලා ගන්න. මගේ සැමියාට මට වඩා අශාවක් තිබුණා මගේ මව්පියන් ළඟ තියාගෙන මැරෙනකල් සලකන්න. නමුත් දැන් අපි යන්නම්. 


මීට ආදරණීය සුනේත‍්‍රා සහ මිනිපිරි, මගේ සහ මගේ දරුවන්ගේ අවසන් කටයුතු මගේ ගෙදරින් කරන්න. කිසිම විදිහකින් ඒක මගේ සැමියාගේ පැත්තට දෙන්න එපා. ඒක තමයි මගේ අවසන් කැමැත්ත. අවශ්‍ය වුණොත් මේ ලියුම පොලිසියට පෙන්නලා බො​ෙහාම චාම් විදිහට හේවිසි බෙර නැතිව අපේ අවසන් කටයුත්ත ඉක්මනින් ඉවර කරන්න.” යනුවෙනි 


මෙලෙසින් උහුලාගත ණය මුදල් ලබා ගන්නා උතුරේ වැසියන් කබලෙන් ළිපට වැටෙන්නේ නැවත එම මුදල් ලබා දීමට නොහැකි වූ තැනය. ණය මුදල් දෙන ආයතනද ජනතාව මුළා කරමින් රවටා මුදල් ලබා දී නැවත අය කරගන්නේ කිසිදු අනුකම්පාවකින් තොරවය. නමුත් මේ ණය මුදල් ලබා දීම ගැන උතුරේ ජනතාව දැනුම්වත් කළද ණය මුදල් ලබා ගෙන සිදුවන හානිය ගැන මෙතෙක් කිසිවෙක් දැනුවත් වී නොමැතිකමින් මෙවැනි අකල් මරණ සිදු වීම ඉදිරියටත් නවතින්නේ නැත. 


උතුරේ ණය බිල්ලා ගැන දැන් ජනාධිපතිතුමන්ගේද අවධානය යොමුව ඇතත් ගම් මට්ටමින් ජනතාවට ණය ලබා දී සාමාන්‍ය ජන ජීවිතය විනාශ කරන මූල්‍ය සමාගම් ගැනද විශේෂ අවධානයක් යොමු කළ යුතුමය. එසේ නොවන්නට යුද්ධයෙන් බැටකෑ ජීවිත කඩා වැටීමට වැඩි කඩා වැටීමක් නැවත උදාවෙනු ඇතැයි බලධාරීන් සිහියේ තබා ගත යුතුය.

 

 

 

 

 

 

 


වන්නි රොමේෂ් මධුෂංඛ