උණු වතුර වත්කර ඌරන් මැරූ ජුවන් උණු වතුරෙන්ම නසී


ජීවිතය යහ මඟට ගැනිමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවු කතාවකි.   

උණු වතුර වත්කර ඌරන් මැරූ ජුවන් උණු වතුරෙන්ම නසී   


ඔහු අපි ජූවන් කියා හඳුන්වමු. ජුවන්ගේ ජීවිතා වෘත්තිය වූයේ ඌරන් මස් කර විකිණීමය. දිනපතාම සවස් යමේ තම පා පැදියෙන් නිවෙස් ගානේ යන ඔහු ඉතා අඩු මුදලට ඌරන් මිලදී ගෙන තම නිවසෙහි පිටුපස තනා ඇති ඌරු කොටුවට ගෙනැවිත් දමයි. සෑම දිනකම උදෑසන ඌරන් දෙදෙනෙකු බැගින් මරා මස් කර ගන්නා ජුවන් එම ඌරු මස් තම පා පැදියේ පිටු පස සවිකර ඇති පෙට්ටියට දමාගෙන ගොස් කඩවලට විකුණයි.   


ඌරා පණ පිටින් ගසකට තද කර බඳින ඔහු ලෝදිය මෙන් අධික ලෙස පෑහෙන වතුර මුට්ටිය ඌරාගේ ඇඟට හලන්නේ ඌ අඩපණ කිරීමටත් මැරුණු පසු මයිල් ගෑම පහසු වීමටත්ය. මෙවිට ඌරා මරළ​ෙත්නි දෙමින් උඩ පනින අතර ලොකු පොරොවක් අතට ගන්නා ජූවන් පොරෝ පහර කීහිපයක් ඌරාගේ හිසට එල්ල කර මරා දමන්නේ කිසිම චකිතයක් නොමැතිවය. ඉන් පසු ඌරා කපා කොටා මස් කර ගන්නා ජූවන් ඌරු මස් අලෙවිය සඳහා පිටත්ව යන්නේ ඌරු මස් මුල් බැඳ ගෙනය.   


දිනක් ජුවන්ගේ බිරිඳ එම වතුර මුට්ටියට වතුර පුරවා ළිපෙහි තැබුවේ ජුවන්ට වැඩ ඇරී ගෙදර ආ පසු ඇඟ පත සෝදා ගැනීමටය. ජුවන් ඇඟ පත සෝදා ගැනීමට වතුර මුට්ටිය ළිපෙන් ගනිත්ම දෙපය පැටලී උණු වතුර මුට්ටියත් සමගම බිම ඇඳ වැටුණි.   


ඔහුගේ ශරීරය පුරා ලෝදිය මෙන් වූ වතුර මුට්ටිය හැලුණු අතර අනෙකුත් නිවැසියන් වහාම ඔහු රෝහල් ගත කෙරුණ ද දින ගණනාවකට පසු ඔහු මිය පරලොව ගියේ දිනපතා ඌරන්ගේ ඇඟට උණු වතුර වත්කර මරණයට පත් කිරීමේ පල විපාකය මේ ජීවිතයේදීම කළ කම් පල දෙන හැටි ලෙස අනන්‍යන්ට ද පෙන්වා දෙමිනි. 

 
පශ්චාත් මරණ පරීක්ණයේ දී හෙළි වූයේ ජුවන්ගේ පසු ප්‍රදේශයට උණු වතුර වැටීමෙන් පෙනහැල්ල තද බල ලෙස තැම්බී ඔහු මිය ගිය බවටය.   

 



අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවු කතාවකි.   

හෘද සාක්ෂියෙන් දුන් දඬුවමක්   


දැන දැන වරදක් කළ කෙනෙකුට එම වරදේ බරපතළකම දැනෙන්නට දැනෙන්නට කාගෙන් හෝ දඬුවමක් නොලැබුණත් තම හෘදය සාක්ෂියෙන් දඬුවම් ලැබෙනු ඇත. හෘද සාක්ෂියෙන් දඬුවම දෙන්නේ කයට නොව සිතටයි. සිත වේදනා විඳින තරමට සිතේ වෛරය ක්‍රෝධය ඇති වෙන තරමට එය කායිකව රෝගී වීමට ද හේතු වේ. මඃනකායික රෝග (PSYCHO Somatic Diseases) නමින් මෙය වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙයි. මේ එවත් රෝගයකටම ගොදුරු වූ අයෙකු පිළිබඳ කතාවකි.   


සිරිසේන මුදලාලි (නියම නම නොවේ.) රජරට ප්‍රධාන නගරයක ධනවත් වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. නිදහස් ආර්ථිකයට පින් සිදු වන්නට 1980 දශකයේ දෙමහල් නිවසක් ද තනා සුඛෝපභෝගී වාහනයක ද හිමිකරු වූ ඔහු දියණියන් දෙදෙනෙකුගේ ද පියෙකි. දූවරු දෙදෙනාම උපාධිධාරී රාජ්‍ය නිලධාරී තනතුරු ලැබුවෝ වෙති. ඔවුන් සතුටින් කාලය ගත කරන අතර තුර සිරිසේන මුදලාලිට ඉඳ හිට හිසරදයක් හැදෙන්නට විය. මසකට වරක් පමණ හැදෙන මෙම හිසරදයට සෑම තැනකින්ම ප්‍රතිකාර ගත් නමුත් සුවයක් නොවීය. විදෙස්වලට පවා ගොස් නවීන පන්නයේ පරීක්ෂණ ද කර රෝගය සොයා ගත නොහැකි වූයෙන් ඔහු දිනෙන් දින මානසිකව වැටෙන්නට විය.   


මුලින්ම හිසරදයකට පමණක් සීමා වී පසුව උදර වේදනාවකට ද ආහාර ගිලීමේ අපහසුවකටද ඔහු පත්විය. ඒ සම්බන්ධව කළ පරීක්ෂණ වලින් ද එයට හේතුව සොයා ගත නොහැකි විය. අවසානයේ ඔහු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයා තීරණය කළේය. බුදු දහම පිළිබඳ මනා දැනීමක් ඇතිව සිටි එවකට ලංකාවේ ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයකු වෙත ඔහු ගියේ එම මනෝ වෛද්‍යවරයා සරල නිරහංකාර ඉතා ඉවසිලිවන්ත කෙනෙකු වූ නිසාය. මොහුගෙන් රෝගය පිළිබඳ ඉතිහාසය සොයා ගැනී​ෙම්දී සුළුවෙන් ඇරඹී වෙළෙඳාම හදිසියේ දියුණු වූයේ කෙසේදැයි මනෝ වෛද්‍යවරයා විමසද්දී ‘‘ස්වීප් දිනුමක් ඇඳුණා’’ යැයි සිරිසේන මුදලාලි පිළිතුරු දුන්නේය. ඒ සමගම ඔහුගේ මුහුණේ වෙනස් වීමක් වෛද්‍යවරයාට දැනුණි. ඔහු කිසියම් දෙයක් සඟවන බවත් ඒ සැඟවීම ඔහුගේ රෝගයට හේතු විය හැකි බවත් අනුමාන කළ මනෝ වෛද්‍යවරයා ඔහුව මෝහනයට පත් කොට තොරතුරු විමසීය. වෛද්‍යවරයා අසන ලද ප්‍රශ්නත් ඔහු දුන් පිළිතුරුත් කළ විස්තරත් කෙටි​ෙයන් මෙසේ දැක්වෙයි.   
මම මව්පියන් නැති අසරණයෙක්. නගරයේ තැනින් තැන අන්නාසි රටකජු විකුණමින් තමයි ජීවත් වුණේ. ඊට පස්සේ කච්චේරිය ළඟ පොඩි පොල් අතු ටකරන් කඩයක් දා ගත්තා. බුලත්විටි, සීනි ​බෝල, ටොෆි වලින් පටන් ගත්තා. පස්සේ පත්තරත් ස්වීප් ටිකට් විකුණන්නත් ගත්තා. පැන්ෂන් දාට පැන්ෂන් ගන්න එන විශ්‍රාමික කම්කරුවෙක් මාත් එක්ක හිතවත් වෙලා හිටියා. හැමදාම පැන්ෂන් අරගෙන යන ගමන් ස්වීප් එකත් අරන් යනවා. ඊළඟ දවසෙ ඒකේ ප්‍රතිඵල බලන්න එනවා. ගත්තේ එකයි. උදේ ඉඳල පෝලිමේ ගිහින් තමයි ඒ කාලේ පැන්ෂන් පඩි ගත්තේ. දවසක් ඔය මනුස්සයා ගත්ත ස්විප් එකකට මුල් දිනුමක් ඇදිලා තිබුණා. මිනිහා ස්වීප් බලන්න මගේ අතට තමයි ස්වීප් එක දෙන්නේ. ‘‘මේකට දිනුමක් නැහැ’’ කියලා පැත්තට දාලා මිනිහා ගියාට පස්සේ මං ඒ ස්වීප් එක අරගෙන පස්සේ දවසක ඒකේ සල්ලි ගත්තා. පොඩි කඩේ තිබුණ තැනම ටිකක් ලොකුවට කඩයක් දා ගත්තා. අර කම්කරු මනුස්සයා වෙනදා විදියටම කඩේට අැවිත් මොනවා හරි කාලා තේ එකක් බීලා ස්වීප් එකකුත් අරගෙන යනවා. මිනිහා කට්ට අව්වේ පයින් යන එන කොට මට දුක හිතෙන්න ගත්තා. මිනිහා හැරමිටි වාරුවෙන් ඇවිත් තේ එකක් බීලා යනවා දකිද්දි මට පුදුම වේදනාවක් දැනුණෙ. ඒක ඔළුවේ කැක්කුමට හැරුණා. මම මේක කාටවත් කිව්වේ නැහැ. මිනිහ ඔය විදියටම අසරණ වෙලා ඉඳලා මැරිලා ගියා. මට හිතුණා මිනිහගෙ ආත්මය කවදා හරි මම කරපු අපරාධෙට පළිගනිවි කියලා. ස්විප් එකක් ඇදිලත් අන්ත දුක් විඳලා මිනිහා මැරුණෙ. ඒ සල්ලි වලින් නේද මම මේ පොහොසත් වෙලා සැප විඳින්නේ කියලා, මට සිහිවෙන කොට ඔළුවෙ කැක්කුම වැඩි වෙනවා.  


මගේ කඩෙත් රෝස් පාන් කාලත් අරගෙන තේ එකේ පොඟව ගෙන කන කොට මට දුක හිතුණා. මම මිනිහට මාළු පිරීසියක් දුන්නත් මිනිහා ඒවා ගත්තේ නැහැ. මම සැප විඳින්න ඉපදුණු මිනිහෙක් නොවෙයි. මුදලාලි උපන්දා ඉඳලම දුක් වින්දා. අවුරුදු හතළිහත් ඉස්පිරිතාලේ වැසිකිළි හේදුවා.   


ඒ කාලයේ අද මෙන් ජල මුද්‍රිත වැසිකිළි නොවු අතර තිබුණේ බාල්දි වැසිකිළි ක්‍රමයකි.   


ඉතින් මගේ ඉරණම තමයි මුදලාලි මේ මේ වගේ දේවල් කියන කොට මට ඉවසුම් නැති වුණා. රෝස් පාන් තේකේ පොඟව ගෙන කාපු හැටි මතක් වෙන කොට මට කෑම ගැනිල්ලත් අමාරු වුණා. එන්න එන්නම මට මිනිහා දුක් විඳපු හැටි මතක් වෙන්න ගත්තා. පස්සේ බඩේ වේදනාවකුත් ආවා.   


මනෝ වෙද්‍යෙවරයා බුදු දහම මනා ලෙස දැන සිටි අයෙක් නිසා ඔහුට මෝහන අවස්ථාවේම කළ යුතු දේ යොජනා කළේය. නිවසේ අය ද ගෙන්වා මිය ගිය කම්කරු මහතාට පින් අනුමෝදන් කිරිමට උපදෙස් දුන්නේය.   


භික්ෂූන් වහන්සේලා නිවසට වැඩම කරවා දානයක් දීමට සියල්ල සූදානම් කොට තිබියදී දානය දීමට පෙර දින රාත්‍රියේ වස පානය කොට සිරිසේන මුදලාලි දිවියෙන් සමු ගත්තේය.   
මෙම සිදුවීම පිළිබඳ දැන සිටියේ සිරිසේන මුදලාලිගේ පවුලේ අයත් මනෝ වෛද්‍යවරයාත් මනෝ වෙද්‍යෙවරයාට සහාය වූ හෙද නිලධාරිණියත් පමණකි.   


කාට වංචා කළත් තම හිතට මට වංචා කළ නොහැකි හිතෙන් තමාට දඬුවම් ලැබෙනවා ඇත. යන වියතෙකුගේ ප්‍රකාශය මෙම කතාවෙන් ද තහවුරු වේ.   

 



අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවු කතාවකි.   

මිනිසුන් මුළා​ෙව් දැමූ ජිනසිරි අකාලයේ මරුට   


ජිනසිරි ගමට පැමිණීයේ මීට වසර දහයකට දොළහකට පමණ පෙරදීය. කොහි සිට පැමිණීයේද, කුමක් කරන්නේද නම හා කුල ගොත් කවරේද යන්න ගමේ බොහෝ දෙනා දැන නොසිටියහ.   


කෙසේ වෙතත් ගමේ ලියක හා ආවාහ වූ ඔහු දියණීයන් දෙදෙනෙකුගේ පියා ද විය. ගමේ පොදු කටයුතුවලට එක් වූ ජිනසිරි ගම් වැසියන් සමග මිත්‍ර සබඳතා ගොඩ නගා ගැනීමට උත්සුක විය. ගමේ මගුලට මරණයට නැතිවම බැරි කෙනෙක් බවට ඔහු කෙමෙන් පත් විය. සභාවක කතා කිරීමට හැකි දක්ෂතාවයන් මුඛරිකමන් ඊට හේතු විය.   


අත් දිග සුදු කමිසය යට කර සුදු සරොම හැඳ සුදු පාට පටිය බැඳ ගමන් බිමන් යන විට ජිනසිරි වැදගතෙකුගේ සිරි ගනී. එවැනි විටක ඔහු අත දින පොතක් නිතර රැඳේ. මිනිසුන් ඔහු ඇමතුවේ ලියන මහත්තයා යනුවෙනි. කලක් නීතිඥයෙකු ළඟ ලියන්නෙකු සේ කටයුතු කර තිබීම ඊට හේතුවයි. ගම් වැසියන්ට ගොඩ පෙරකදොරුකම් කරන ජිනසිරි ඔවුන් හමුවේ හැසිරෙන්නේ නීති විශාරදයෙකු සේය.   


ඔහුගෙන් ලබා ගන්නා නීති උපදෙස්වලට ගම් වැසියන් ගෙන් රා බෝතලයකට වඩා වැඩි යමක් නොලැබෙයි.   


එහෙත් ඔහුට වෙනත් ධනෝපායන මාර්ග රැසකි. ගමේ බලවතුන් තුට්ටු දෙකට පවරා ගත් ඉඩම්වලට හොර ඔප්පු සැකසීම රජයේ ලේඛන බලපත් ආදියට ව්‍යාජ ලේඛන සැකසීම, රක්ෂිත බන්ධනාගාරගතව සිටින අයට ඇප ලබා දිම, පොලිස් කූඩුවේ සිටින අය පිටතට ගැනීම ගමේ රැකියා විරහිත තරැණ තරුණියන්ට රැකියා ලබා දීම ආදී වංචාකාරී කටයුතු ඔහුගේ ආදායම් මාර්ග විය. මෙම ප්‍රෝඩාකාරී ක්‍රීයාවන්ට හසු වු ඇතැම් අය ගෙන් ගුටි බැට සංග්‍රහ විඳි අවස්ථා ද ජිනසිරිගේ ජීවිතයේ නොවුයේ නොවේ.   


ජිනසිරි අඥාන පණ්ඩිතයෙකි. ඔහු නොදන්නා දෙයක් නැත. දන්නා තරමට වඩා කයිවාරුව ඉහළය. උපතින් හිමිව තිබු මුඛරිකම ජීවන මඟට අත්වැලක් කර ගත් සමයක් ද විය. ඒ හොර තෙල් බෙහෙත් වෙළෙන්දෙකු ලෙස පොල් තෙල් වර්ණ ගන්වා මිනිසුන්ට අලෙවි කිරීමයි.   


මෙසේ හොර බොරු කියමින්, විවිධ ලෙස වංචාවෙන් මිනිසුන් මුළා කරමින් වසර ගණනාවක් ගත කළේය. එය ජිනසිරිගේ ජීවිතයේ සෞභෘග්‍යමත් සමයයි. එය ජීවිත කාලය පුරා පැවතීම ජිනසිරිගේ අපේක්ෂාව විය. එහෙත් එය එසේ නොවීය. ස්වභාව ධර්මයේ සාධාරණ විනිශ්චයේ තීන්දුව ඔහුට එරෙහි විය.   


වම් පාදයේ දණ හිසට පහළින් කුඩා බිබිලි කීපයක් හට ගත්තේය. කැසීම නිසා එය තුවාලයක් බවට පත් විය. කරන ලද ගොඩ වෙදකම් වලින් සුවයක් නොවීය. රෝහල් ගතව සති කීපයක් ප්‍රතිකාර ලැබීය. සුව වීමක් නැත. වෛද්‍යවරුන්ට ද මෙය ගැටලුවකි. අවසන උවමනාවෙන්ම රෝහලෙන් බැහැරව නිවසට පැමිණීයේය. පවුලේ අයට මෙය මහත් අසහනයකි. අග හිඟ කම් ද එමටය.   


තුවාලය වෙළා තිබුණ ද ඉන් මතු පිටට සැරව ගලා එමින් ති​බේ. දුර්ගන්ධයක් ද කාමරය පුරා පැතිරී ඇත. 

 
දූ වරුන් දෙදෙනා කාමරයටවත් නොඑති. බිරිඳ වුවද කාමරය තුළ වැඩි වේලාවක් නොරැඳේ. ජිනසිරි වේදනාවෙන් නගන කෙඳිරිය කාමරයෙන් පමණක් නොව වත්තෙන් පිටට ද ඇසේ.   


දිනක් උදයේ බිරිඳ තේ කෝප්පය රැගෙන කාමරයට ගියාය. ඔහු ඇඳ මත නොවීය. වැසිකිළියට ගියාය. වැසිකිළියට යන්නට ඇතැයි සිතූ ඇය තේ කෝප්පය මේසය මත තබා බැහැර වූවාය. තවත් පැය දෙක තුනකට පසු කාමරයට ගියාය. එවිට ද ඔහු කාමරයේ නොවීය. සැකයක් සිතෙහි ජනිත විය. වැසිකිළියේ බැලුවාය. එහි නොවීය. වත්ත විපරම් කළාය. පලක් නොවීය. අසල්වාසීන්ට දැන්වුවාය. ගමටම ආරංචිය යාමට වැඩි වේලා ගත නොවීය. ඔවුහු ද ජිනසිරි සෙවීම් මෙහෙයුමට එක් වූහ. 

 
ඔය කපටියා කොහේ හරි යන්න ඇති. කකුලෙ තුවාලෙත් ඌට ධන උල්පතක්. ඔන්න බලාපන් මම කියන්නේ බොරුද කියලා. දැනටමත් උෟ හිඟමන් යඳිනව ඇති ඇතැමෙක් එසේ අදහස් පළ කළහ. 

 
ඊට දින දෙක තුනකට පසු ගම් වැසි​යෙක් වන රොදට ගියේ. උඳලු මිටකට ධමනිය කොපිලක් කපා ගැනීමටය. අමුතු යමක් වෙත නෙත් යොමු විය. සෝදිසි කර බැලිමේදී ගසක එල්ලී තිබු ජිනසිරිගේ දේහය ඔහු හඳුනා ගත්තේය.   


බිරිඳ දරුවන් කෙසේ වෙතත්, ගම් වැසියන් එම පුවතින් සසල වනු දක්නට නොවීය. කරපු නොසණ්ඩාලකම්වලට ඔහොම වෙලා මදි. කරපු තරමක් කළේ වංචාවයි. රැවටීමයි. එ්වාට විපාක මෙලොවදීම ලැබිලා තියෙනවා. ගම් වැසියෝ පැවසූහ.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්