ඉවත දැමූ බස් රියක හැදූ පාසල් පුස්තකාලයක්


 

 

  • ඉඩකඩ ප්‍රමාණවත් නැති කුඩා පාසලක විස්මිත වැඩක්

 

 ‘‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’’ කියලා කතාවක් තියෙනවා. එම කියමන යථාර්ථයක් කර ගැනීමට සිය උත්සාහයෙන් කැපවීමෙන් කටයුතු කළ පාසලක් සොයා පසුගියදා අපි ගියමු.   


දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් යටියන්තොට කොට්ඨාසයේ පිහිටි බුලත්කොහුපිටිය නේව්ස්මියර් පහළ කනිෂ්ඨ විද්‍යාලය කඳු ශිඛරයක් මැද වටවී ඉදිවූ අති සුන්දර පාසලකි.   
මෙහි ළමුන් එකසිය විසි දෙදෙනෙක් ඉගෙනුම ලබති. එහෙත් ඔවුන්ගේ පරිහරණයට පුස්තකාල ගොඩනැගිල්ලක් මෙතුවක් කල් නොවිණ. ඉතාමත් අඩු පහසුකම් මැද්දේ මෙම පාසල පවත්වාගෙන යනු ලබයි.   


පසුගිය සමයේ ගොඩනැගිල්ලක පන්ති කාමර දෙකක් මැද ඉතිරි වූ පටු ඉඩකඩක පොත් කිහිපයක් තබා පාසලේ ළමුන්ට කියවීමට අවස්ථාව ලබා දීමට ආචාර්ය මණ්ඩලය කටයුතු සකසා දී තිබුණි. එහෙත් එම ක්‍රියාවලිය අසාර්ථක වැඩපිළිවෙළක් විය. ළමයෙකුට නිදහසේ පොතක් කියවීමට මෙමගින් හැකියාවක් නොලැබුණි. මන්දයත් අවට පන්ති කාමර දෙකෙහි සිසුන්ගේ කෑ ගැසීමත් ඉඩකඩ සීමිත වීමත් නිසා පොත් කියවන සිසුන්ට එය මහත් බාධාවක් වීමෙනි.   


මේ පිළිබඳව අවධානය යොමුකළ විද්‍යාලයේ ආචාර්ය ජී.ආර්.සී. බණ්ඩාර ගුරුතුමාට අපූරු අදහසක් පහළ විය. ඒ මහතා අප සමග මෙසේ දොඩමලු විය.   


“අපේ පාසලට පුස්තකාලයක් තිබුණේ නැහැ. මේ පාසල් භූමිය ඉඩකඩ ප්‍රමාණවත් නැති නිසා පුස්තකාල ගොඩනැගිල්ලක් හදන්න තැනකුත් නැහැ. පසුගිය කාලය පුරාවට ළමයි පොත් පාඩම් කළේ ඉතාමත් අපහසුතා මැද්දේ. පන්ති කාමර දෙකක් අතර මැදි වූ පොඩි ඉඩකඩක පරණ පොත් ටිකක් තියලා තමයි ළමයි පාඩම් කළේ. නමුත් මේ පොත් කියවීම ඉතාමත් අසාර්ථක වුණා.   


මගෙ මනසට නැවුම් අදහසක් පහළ වුණා. පැරණි බස් රථයක් රැගෙනවිත් පාසලට අවශ්‍ය පුස්තකාලයක් ඒ තුළ නිර්මාණය කරගැනීමට හැකියාවක් තිබෙන බව මට වැටහුණා. මම මේ පිළිබඳව අපේ පාසලේ විදුහල්පතිතුමියට සහ ආචාර්ය අලවතුරේ රතනවංශ හිමියන්ට දැනුම් දුන්නා. ඔවුන් සියලු දෙනාම ඒ වැඩේ හොඳ අදහසක් අපි ක්‍රියාත්මක කරමු කියලා මගේ අදහස අනුමත කළා.   


විශේෂයෙන් සානුක සමරසේන ගුරුතුමාත් අපේ මේ වැඩේට උදව් කළා. පසුව අපේ රතනවංශ ස්වාමීන් වහන්සේගේ මහත් කැපවීම මත බස් රථයක් ලංකා ගමනාගමන මණ්ඩලයෙන් නිදහස් කර ගැනීමට අපිට හැකිවුණා.”   

 

බස් රථය තුළ ඉදිකර ඇති පුස්තකාලයේ සිසුන් පොත් තෝරන අයුරු.

 


ලංකා ගමනාගමන මණ්ඩලයෙන් නොමිලේ රැගෙන ආ බස් රථය අලංකාරවත් ලෙස නිර්මාණය කිරීමට යම් මුදලක් අවශ්‍ය වී තිබුණි. ආචාර්ය අලවතුරේ රතනවංශ හිමි, සිසු දරුවන්, ගුරුවරුන්, මව්පියන් ඇතුළු පිරිස මහත් ශ්‍රමයක් දරා ඒ සඳහා මුදල් සොයා ගැනීමට විද්‍යාලය තුළ සල්පිලක් පවත්වන ලදී. එයින් ලැබුණ මුදලින් මෙම බස් රථයෙහි අලුතින් තීන්ත ආලේප කර පුස්තකාලයකට අවශ්‍ය ආකාරයට සියලු අංගයන් බස් රථය තුළ නිර්මාණය කරන්නට කටයුතු කෙරිණ.   


නොයෙකුත් බාධකයන් මැද දිවා රෑ නොබලා මෙම සත්ක්‍රියාව සාර්ථක කර ගැනීමට අලවතුරේ රතනවංශ හිමියන් ලබා දී තිබුණේ අපමණ දායකත්වයකි. උන්වහන්සේ ඒ පිළිබඳව මෙසේ කීහ.   


“මේ පාසල ඉතාමත් අඩු පහසුකම් මැද පවත්වාගෙන යන පාසලක්. අපේ උත්සාහයන් තුළ පුස්තකාලයක් නිර්මාණය කරන්නට හැකියාව ලැබුණා. එය හුදෙක්ම සාම්ප්‍රද‌ායක මට්ටමෙන් එහාට ගිහින් සිදුකළ නිර්මාණයක්. අද වනවිට පාසල් ළමුන් නිතරම විවේකී අවස්ථාවන්වල පොත් කියවීමට මෙම බස් රථයේ ඇති පුස්තකාලයට ​ගොඩ වෙනවා. මේ නිසා සිසුන් තුළ දැඩි රුචිකත්වයක් වෙනදාට වඩා පොත් කියවීමට ඇති වී තිබෙනවා. එය ඉතාමත් සන්තෝෂයට කාරණාවක්.”


අද වනවිට ඩිජිටල්, ටැබ් යුගයක් ගැන බලධාරීන් කතා කළ ද මේ වගේ පුස්තකාලයක්වත් නොමැතිව පීඩා විඳින පාසල් කෙතරම් නම් මේ රට තුළ ඇද්දැයි ඔබට වැටහෙනු ඇත.   
නේව්ස්මියර් පහළ කනිෂ්ඨ විද්‍යාලයේ ඇති මෙම පුස්තකාල බස් රථය අද වනවිට ළමුන්ගේ දැනුම් පිපාසය නිවන තෝතැන්නක් බවට පත්ව ඇත. බස් රථය තුළ අලංකාරවත් ලෙස මල්පෝච්චි තබා ඇත. එමෙන්ම සිසුන්ට වාඩිවීමට ආසන මෙන්ම පොත් පාඩම් කිරීමට මේස ද නිර්මාණය කර තිබෙන අයුරු අපට දැකගන්නට ලැබුණි. පුස්තකාලාධිපතිතුමියට වාඩි වීමට ද එහි රියදුරු ආසනය මනාවට සකස් කර දී තිබෙන අයුරු ඉතාමත් අපූරුය.   


“අපට ඉස්සර හරියට පුස්තකාල කාල පරිච්ඡේදයක් තිබුණේ නැහැ. පොතක් පාඩම් කරන්න තැනක් තිබුණෙ නැහැ. මේ නිසා අපි හුඟක් අපහසුතාවෙන් හිටියෙ. මේ වනවිට අපට පුස්තකාල කාල පරිච්ඡේදයක් වෙන්වෙලා තියෙනවා. අපේ ළමුන් දැන් වෙනදා වගේ කාලය නිකරුණේ නාස්ති කරන්නෙ නැහැ. විවේකී හැම වේලාවකම පොත් කියවනවා” යැයි සෙව්මිණි දිල්හාරා සිසුවිය පැවසුවාය.   


පුස්තකාලයට අවශ්‍ය පොත් ආයතනයකින් ලබා දී ඇති අතර ගමේ තරුණයෙකු ද ඊට පරිත්‍යාගයක් කර තිබේ. එමෙන්ම මෙම විද්‍යාලයේ පුස්තකාලයට පොත් අඩුපාඩුවක් තිබෙන බවත් පරිත්‍යාගශීලි අයෙකු මේ සඳහා පොත් කිහිපයක් ලබා දෙන්නේ නම් එය වටිනා බවත් සිසුහු කීහ.   

 

 


නේව්ස්මියර් පහළ විද්‍යාලයේ විදුහල්පතිනි රමණි ගුණවර්ධන මහත්මිය මෙසේ කීවාය.   


“අපේ පාසලට පුස්තකාලයක් නොමැතිව ළමුන් නිතරම කනස්සල්ලෙන් හිටියෙ. මේ පිළිබඳව අවධානය යොමුකළ බණ්ඩාර මහත්මා හාමුදුරුවො ඇතුළු පිරිසගේ උත්සාහය මත අද වනවිට අපිට පුස්තකාලයක් සකසාගෙන තියෙනවා. මේ සඳහා බස් රථයක් දුන්න ලංකා ගමනාගමන මණ්ඩලයට ස්තුතිය ප්‍රකාශ කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. දැන් අපේ පාසලේ ළමුන්ට සිත් සේ කියවීමට ස්ථානයක් තිබෙනවා. ඒ පිළිබඳව මට හරි සන්තෝෂයි.”


මෙම පුස්තකාලය විවෘත කිරීම පසුගියදා සිදු වූ අතර මේ අවස්ථාවට දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂ සංජු ලෝචන මහතා ඇතුළු පිරිස ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්, ආරාධිතයන්, මව්පියන් ඇතුළු විශාල පිරිසක්ද එක්වූහ.


කෙතරම් අඩුපාඩු පැවතුණත් අඳුරට සාප නොකර එක පහනක් හෝ දැල්වීමට උත්සාහවන්ත වීම අගේ කොට සැලකිය යුතු කාරණාවකි.   


සියලු දෙනාගේ කැපවීම මත නේව්ස්මියර් පහළ කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ මෙම පුස්තකාලය තුළින් අනාගතය ජයගන්නට වෙර දරන මෙම සිසු දරුවනට එය මහඟු අත්වැලක් වේවා යැයි අප ද ප්‍රාර්ථනා එක්කරන්නෙමු.

 


සටහන හා ඡායාරූප :
උඳුගොඩ වාර්තාකරු