ඉලෙක්ට්‍රොනික ලොවේ ප්‍රකට පිලිප්ස් සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • ජෙරාඩ්ගේ පියා වූ ෆෙඩ්රික් අත්හැරදමා තිබූ කර්මාන්තශාලාවක් සහිත ගොඩනැගිල්ලක් මිලදී ගෙන එය ජෙරාඩ් හට පැවරීය.
  • මුලින්ම ඔවුන් නිෂ්පාදනය කළේ විදුලි බල්බයකි
  • ජෙරාඩ්ගේ සීයා විවාහ වී සිටියේ කාල්මාක්ස්ගේ නැන්දනිය වූ සොෆි ප්‍රෙස්බර්ග් සමගය.

ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගයන් මෙවර අප විස්තර කිරීමට සූදානම් වන්නේ. ශ්‍රී ලාංකිය ජනතාවට තවත් අලුත් නාමයක් වූ පිලිප්ස් සමාගමේ කතාවය. පිලිප්ස් නාමය ගැන ඔබ හොඳින් දන්නවා විය හැකි වුවද පිලිප්ස් සමාගම සහ එය බිහි කළේ කවුද යන්න නොදන්නවා විය හැකිය. මෙම සමාගම ලෝකයට දායාද වූයේ මීට වසර 130 ට පෙරදීය. නෙදර්ලන්තයේ අයින්ඩ්හොවන් නුවරදී එදා එලෙසින් පිලිප්ස් සමාගම බිහිකිරීමට පුරෝගාමී වූයේ පිය පුතු දෙපළකි. මේ අය බිහිකළ පිලිප්ස් සමාගම ගැන කතා කිරීමේදී ශ්‍රී ලාංකීය ජනතාව එදා වැඩිපුර කතා කරන්නට පටන් ගත්තේ පිලිප්ස් රේඩියෝව ගැනය. නමුදු පිලිප්ස් යනු රේඩියෝවෙන් නිෂ්පාදන කටයුතු ඇරඹි සමාගමක් නම් නොවීය. කාබන් සූත්‍රිකාව සහිත (බල්බයකින්) පටන් ගෙන ගමනක් එමින් සිටි අතරේ මුල් අධියරේදීම බංකොලොත් භාවයට පත් වූ සමාගමක් බවට පත්වූ පිලිප්ස් සමාගම නැගී සිටියේ කෙසේද? එතැන් සිට පිලිප්ස් සමාගමේ කතාව අපි කියවමු. 

 
වසර 130 ට පෙරදී   


පිලිප්ස් සමාගම ලෝකයට විවර වූයේ වසර 130 ට පෙරදී විදුලි බල්බ නිෂ්පාදන ක්‍රියාවලියෙනි. නෙදර්ලන්තයේ අයින්ඩ්හෝවන් නුවරදී ස්ථාපිත වූ පිලිප්ස් සමාගමේ මූලස්ථානය පසුව ඇම්ස්ටර්ඩෑම් නුවරට ගෙන යන ලද්දේය. අයින්ඩ්හෝවන් යනු නෙදර්ලන්තයේ පස්වැනියට විශාලතම නගරය වන්නේය. පිලිප්ස් යන නාමය ලෝකයට එදා විවර වූ පසු ලොව අංක එකේ එලෙක්ට්‍රෝනික උපකරණ නිෂ්පාදනය කරනු ලබන විශාලතම සමාගමක් බවට පත්විය. එදා එලෙසින් ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් රැගත් නිෂ්පාදන සමග ගමනක් හා පිලිප්ස් පසු කාලීනව තවත් අංශවලට ව්‍යාපාරය පුළුල් කළේය. සෞඛ්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වූ උපකරණ මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල උපකරණ සහ ඊට සමගාමී වූ තව තවත් නිෂ්පාදන ක්‍රියාවලියකට අවතීර්ණ වී ඇති පිලිප්ස් ලෝකයේ රටවල් 100 කට එහා ගිය සංඛ්‍යාවක සිට සිය නිෂ්පාදන සහ මෙහෙයුම් කටයුතු සිදු කරයි. යුරෝපීය සහ නිව්යෝර්ක් කොටස් වෙළඳපොළේ ඉහළ දර්ශක අගයකට හිමිකම් කියන අතරේ සිගිනෙටික්ස් සහ මැග්නොවොක්ස් යන සමාගම් පිලිප්ස් විසින් අත්පත් කර ගන්නා ලද තවත් සමාගම්ය. පීඑස්වී අයින්ඩ්හෝවන් නමින් (PSV) ක්‍රීඩා සමාජයක්ද පිලිප්ස් සතුවීම විශේෂත්වයකි. එය නෙදර්ලන්තයේ ප්‍රකට පාපන්දු සමාජයක් වන අතර වෘත්තීය මට්ටමින් පාපන්දු ක්‍රීඩකයින්ට ක්‍රීඩාවේ යෙදීමට පහසුකම් සලසා ඇත. 

 

 
පිලිප්ස් හැදූ පිය පුතු දෙ​පළ   


ෆෙඩ්රික් පිලිප්ස් යනු එකල නෙදර්ලන්තයේ විසූ බැංකු කරුවෙකි. ඔහු ස්වකීය කටයුතු කරගෙන ගියේ සැල්ට්බුමල්හි සිටය. මේ ෆෙඩ්රික් කවුදැයි මුලින්ම අපි දැන ගනිමු. පිලිප්ස් පරපුර පැවත එන්නේ යුදෙව් ජාතිකයකු වූ පිලිප්ස් නමැති වෙළෙන්දා ගෙනි. උතුරේ රයින් වෙස්ට්ෆේලියා සිට (ජර්මානු කලාපයේ සිට) නෙදර්ලන්තයට සංක්‍රමනය වී සිටියෙකු වූ අතර රෙබොකා වැනි ක්‍රොෆල්ට් සමග විවාහ විය. ​මේ එක්දාස් හත්සිය ගණන්වල කතාවකි. පිලිප්ස් වෙළෙන්දගේ පුතු බෙන්ජමින් විය. ඔහු දුම්කොළ වෙළඳාමෙහි නිරතවිය. ඔහුගේ පුතු වූ ලයන් පිලිප් විවාහ වූයේ කාල්මාක්ස්ගේ නැන්දනිය වූ සොෆි ප්‍රෙස්බර්ග් සමග යැයි සඳහන් වේ. බෙන්ජමින් සහ ලයන් පුතු පසුව ක්‍රිස්තියානි ආගම වැළඳ ගෙන තිබේ. ෆෙඩ්රික් පිලිප් යනු ලයන් පිලිප්ගේ පුතුය. නොඑසේ නම් කාල්මාක්ස්ගේ නැන්දනියව සිටි සොෆි ප්‍රෙස්බර්ග්ගේ පුතුය. මෙම ෆෙඩ්රික් යනු සැබැවින්ම පිලිප්ස් සමාග​මේ ආරම්භකයා ​නොවීය. ෆෙඩ්රික්ගේ පුතු වූ ජෙරාඩ් පිලිප්ස් හට පිලිප්ස් සමාගම බිහිකිරීමට තාත්තා උදවු කළේය. බැංකු කරුවකුව සිටි ෆෙඩ්රික් ආර්ථික වශයෙන් ශක්තිමත්ව සිටි නිසා තාත්තේ මම අලුත් වැඩක් පටන් ගන්නවා පුළුවන්ද මට උදවු කරන්න කියා.   

 


ජෙරාඩ් පුතු තාත්තාගෙන් විමසා සිටියේය. ඒ අනුව අත්හැර දමා තිබූ කර්මාන්තශාලා භූමියක් එහි වූ ගොඩනැගිල්ල සමග මිලදී ගත් ෆෙඩ්රික් ජෙරාඩ් පුතු හට එය පවරා දුන්නේය. 1892 දී පමණ ජෙරාඩ් විදුලි බල්බ නිෂ්පාදනයට අවතීර්ණ වූයේ එයින් පසුවය. කෙසේ වුවද 1895 පමණ වන විට මේ විදියට කරගෙන ආ ව්‍යාපාරික හා නිෂ්පාදන කටයුතු අඩපණ වී පිලිප්ස් සමාගම බංකොලොත් භාවයට පත්විණි.   
තාත්තේ මම අපේ පුංචි මල්ලී ඇන්ටන් මේ කම්පැනි එකට සම්බන්ධ කර ගන්නවා.   
ජෙරාඩ් තාත්තාගෙන් එලෙසින් ඉල්ලීමක් කළේ ඇන්ටන් ඒ වන විටත් පසු වූයේ 16 වැනි වියේ වූ නිසාය. නමුදු ඔහු ඉංජිනේරු උපාධියකට හිමිකම් ලැබ සිටියේය.   


මල්ලී මේ වැඩේ ගොඩ දමාවි යන සුබවාදී ආකල්පය ජෙරාඩ් අයියා සතුවිය. යොවුන් වියේ පසුවූ මොළකාරයා ඇන්ටන් මුලින්ම කටයුතු කළේ විකුණුම් නියෝජිතයකු ලෙසය. ඉන්පසුව පිලිප්ස් ගොඩ දැමූ කතාව කීමට පෙර ජෙරාඩ් පිලිප්ස් මොන වාගේ වීද කියා අපි බලමු.   

 


ජෙරාඩ් පිලිප්ස්   


පිලිප්ස් නමින් ලෝකයට අලුත් සමාගමක් දායාද කරවීමට දායක වූ ජෙරාඩ් පිලිප්ස් උපන්නේ 1858 ඔක්තෝබර් 9 වැනිදාය. ලන්දේසි පවුලක සාමාජිකයකු ලෙස ඔහු උපත ලැබුවේ යුදෙව් උරුමය දරාගෙනය. ජීවිතයේ දැණුම් තේරුම් ඇති වයසේ සිට ජෙරාඩ් උනන්දු වූයේ ඉලෙක්ට්‍රොනික අංශයේ ඉංජිනේරුවරයකු වීමටය. ඒ අරමුණු සාක්ෂාත් කරගත් ජෙරාඩ් සතු වූ දුරදක්නා නුවණ නිසා පිලිප්ස් නාමය යටතේ දුර ගමනක් යාමට හැකි වූ බව සඳහන් කළ හැකිය. 1986 දී ජෙරාඩ් විවාහ වූයේ ජොහානා වැන්ඩර් විලිගන් සමගය. මේ දෙපොළ ව්‍යාපාරික අංශයෙන් සාර්ථක වුවද දරු සම්පතින් නම් සාර්ථක නොවීය. 

 
ඇන්ටන් පිලිප්ස්   


පිලිප්ස් මහ මොළකාරයා ජෙරාඩ් වුවද මෙම පිලිප්ස් සමාගම සැබෑ ලෙස වර්ණවත් කළ චරිතය වූයේ ජෙරාඩ්ගේ බාල සොහොයුරාව සිටි ඇන්ටන් පිලිප්ස්ය. පිලිප්ස් සමාගමේ සම ආරම්භකයා ලෙස ඔහුගේ නාමය සඳහන් වේ. ඇන්ටන් ෆෙඩ්රික් පිලිප්ස් උපන්නේ 1874 මාර්තු 14 වැනිදාය. පිලිප්ස් පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වූ පසු ඇන්ටන් පිලිප්ස් බල්බ නිෂ්පාදන ෆැක්ටරි ලෙස නම වෙනස් කළේය. එවක පළමුවන ලෝක යුද්ධය පැවැති සමයේදී බොහෝ රටවල් ජර්මානු භාණ්ඩ වර්ජනය කළ බැවින් එහි වාසිය ලබා ගැනීමට ඇන්ටන් සමත් වූයේ වෙළඳපොළට අවශ්‍ය අලුත් - අලුත් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කළ නිසාවෙනි. කෙටියෙන්ම කිවහොත් විකල්ප නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වාදීම නිසා පිලිප්ස්ලාගේ ව්‍යාපාරය සීග්‍ර දියුණුවකට පත්විණි. යුදෙව් සම්භාවය ඇතිව ලන්දේසි ලෙස උපත ලබා සිටි ජෙරාඩ් සහ ඇන්ටන් යන සහෝදරයෝ ව්‍යාපාර කළ අතරේ බෙහෙවින්ම සමාජීය වශයෙන් සහ ප්‍රජා සත්කාර වෙනුවෙන් උදව් කළ අයද වූහ. තමන් උපන් පළාත වූ අයිනිඩ්හෝවන්හි ප්‍රජා අධ්‍යාපනය නගාසිටුවීමට බෙහෙවින් පුරෝගාමී වූ චරිත විය. පාපන්දු ක්‍රීඩාවට දැඩි ලෙස ආදරය කළ නිසා පිලිප්ස් ස්පෝර්ට්ස් ඇසෝසියේෂන් නමින් ක්‍රීඩා සංගමයක් පවා පිහිටුවීමට ඔවුනට හැකි වුණි.   


මෙලෙසින් ඇන්ටන් පිලිප්ස් සහ සහෝදරයා වූ ජෙරාඩ් සමාගම ගොඩනගමින් සිටියදී 1878 මැයි 30 වැනිදා ඇන්ටන් හෙන්රියාට් එලිසබෙත් මරියා සමග විවාහ විය. මේ දෙපළට දරු සම්පතින් අඩුවක් නොවිණි. මෙලෙසින් සාර්ථක ව්‍යාපාරයක් සහ පවුල් ජීවිතයක් ගත කරමින් සිටි ඇන්ටන් ඇතුළු දරුමල්ලන් හට දෙවැනි ලෝක යුධ සමයේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවුණි. දෙවැනි ලෝක යුද සමයේදී හිට්ලර් ප්‍රමුඛ නාසිවාදීන් විසින් යුදෙව්වන්ට එල්ල කළේ දැඩි ප්‍රහාරයකි. එයින් බේරී පලා යාමට හෝ ජීවිත බේරා ගැනීමට නම් නෙදර්ලන්තයෙන් පලා යා යුතුව තිබිණි. ඇන්ටන් තම අඹු දරුවන් සමග ඇමරිකා එක්සත් ජනපදයට පලායාමට තීරණය කළේය. ඊට පෙර දිවි ගලවා ගත්තේ කර්මාන්තශාලාවේ සිට රැකියාව කරමින් දිවි ගෙවූ නිසාය. වතාවක පිලිප්ස් කම්හලේ කම්කරුවන් වැඩ වර්ජනයක් දියත් කර තිබිණි. මේ සමගම මාස කීපයක් නාසින්ගේ අණසක යටතේ පැවති කඳවුරක සිරගතව සිටීම පවා ඇන්ටන් හට සිදුවිණි. කෙසේ හෝ නාසින්ගෙන් බේරී පළායාමට ඇන්ටන් හට හැකි වූ අතර තවත් යුදෙව්වන් හාරසීයකට ආසන්න සංඛ්‍යාවක් දිවි ගලවා ගැනීමට ද හේ සමත් විය. දෙවැනි ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ පරාජය සමග නැවත නෙදර්ලන්තයට ආ පිලිප්ස් පවුල හට තමන්ගේ ව්‍යාපාරික කටයුතු පෙරටත් වඩා සාර්ථක ලෙස ගොඩනගා ගැනීමට හැකි වුණි. Order of Saint Sava යන නම්බුනාමය ලැබ සිටි ඇන්ටන් 1951 ඔක්තෝබර් 7 වැනිදා අයින්ඩ්හෝවන් නගරයේදී ජීවිතක්ෂයට පත්විය. ඒ වන විට ඔහු පසු වූයේ 77 වන වියේය. ඊශ්‍රායල රජය විසින් 1996 දී Righteous among the Nations යන ඉහළම ගෞරවය ඇන්ටන් හට පිරිනමන ලද්දේ යුදෙව් සමාජය උදෙසා කරන ලද අමිල සේවය අගයමිනි. ඇන්ටන් මල්ලි එලෙසින් මිය යාමට වසර 9 කට පෙරදී ආදරණීය අයියා වූ ජෙරාඩ් අවුරුදු 83 ක් ආයු වළඳා මිය ගිය බව සඳහන් වේ. ඔවුන් මිය ගියද ශක්තිමත් සහෝදර බැම්මෙන් පිලිප්ස් හැමදාටම ලොව දිදුලන ව්‍යාපාරික නාමයක් බවට පත්වූයේ නිෂ්පාදන ඉස්තරම් ලෙස කළ නිසා යැයි සඳහන් කළ හැකිය. අද රටවල් කීපයකදී එහි නිෂ්පාදන කටයුතු සිදු කිරීම එක අතකට ඔවුන් ලද ජයග්‍රහණයක් වේ.   


දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පිලිප්ස් ආ ගමන   


දෙවැනි ලෝක යුද සමයේදී අඩපණව තිබූ පිලිප්ස් සමාගම යුද්ධයේ නිමාවත් සමග නෙදර්ලන්තයේ සිට නිෂ්පාදන කටයුතු ඇරඹීය. රූපවාහිනී යන්ත්‍ර නිපදවීම ඇරඹියේ 1949 දී පමණය. එවකට ඔවුන් නිපදවූ රූපවාහිනී යන්ත්‍ර සඳහා ලැබුණේ ඉහළ ඉල්ලුමකි. ඉක්බිතිව පිලිප්ස් ලෝකයේ වඩාත් ජනප්‍රිය වූයේ කැසට් නැත්නම් සංගීත ටේප් නිෂ්පාදන ක්‍රියාවලියට එළැඹීමත් සමගය. ඒත් එක්කම සංගීත තැටි නිෂ්පාදනය කිරීම නිසා (Disc Record) පිලිප්ස්ලා තව තවත් ජනප්‍රියත්වයට පත්වූයේය. අතේ ගෙන යා හැකි රේඩියෝ යන්ත්‍ර සමග කැසට් රෙකෝඩරයද හඳුන්වා දෙමින් දිගින් දිගටම ඔවුන් අලුත් අලුත් නිෂ්පාදන බිහි කළේ ලෝකයේ අනෙකුත් නිෂ්පාදන සමාගම්වලට සිතාගත නොහැකි තරමේ විශ්මයක් ගෙන දෙමිනි. ලෝකයට ප්‍රථම වරට හෝම් වීඩියෝ කැසට් රෙකෝඩරය ඔවුන් හඳුන්වා දුන්නේ 1972 දීය. 1990 දශකය වන විට ඩිජිටල්කරණය දක්වා පෙරමුණට ඒමට පියවර ගන්නේ අසුරු සැණෙනි. ලේසර් ඩිස්ක් සිට ‘බ්ලූරේ’ දක්වා තාක්ෂණය විදගෙන ගිය පිලිප්ස්ලා 2000 දී ඇම්ස්ටර්ඩෑම් නුවර සුවිසල් මහල් මන්දිරයක් හැදුවේය. මහල් 36 කින් සමන්විත එය මීටර 135 ක් උසය. පිලිප්ස්ලාගේ නිෂ්පාදන මෙන්ම එම ගොඩනැගිල්ලද ඉතා අනර්ඝ නිමාවක් යැයි බොහෝ දෙනා කියති. ආසියානු කලාපයේ තායිලන්තය, හොංකොං, චීනය, ඉන්දියාව සහ පාකිස්ථානයේදී පිලිප්ස් නිෂ්පාදන මෙහෙයුම් කටයුතු සඳහා ස්ථාන විවර කළේ මීට වසර ගණනාවකට පෙරදීය   


පිලිප්ස් ලාංඡනය   


පිලිප්ස් ලාංඡනය හෙවත් ලෝගෝව නිර්මාණ්‍ය වූයේ 1938 දී යැයි සඳහන් වේ. එදා සිටම එකම දෘෂ්‍ය රූපකයක් භාවිතා කළද කලින් කලට එම රූපකායෙහි ඇතුළත සැලසුම වෙනස් කර ඇත. පලිහක ආකාරයෙන් නිමවා ඇති ලාංඡනය 1968, 2008, 2013 යන වසරවලදී වර්ණය සහ අක්ෂර වෙනස් කර ඇත. මුල්වරට මෙම ලාංඡනය ලියාපදිංචි කර ඇත්තේ 1934 වසරේදීය පළිහ ඇතුළත ඇති තාරකා මගින් විදුලි පහන් හෙවත් ආලෝකය පෙන්නුම් කෙරේ. නැව් ද්විත්වය හෙවත් රැලි මගින් පෙන්නුම් කරන්නේ තරංග සම්ප්‍රේෂණය වීමය. තරු සහ රැලි මගින් පළිහට පුනර්ජීවයක් එක්කර ඇති බව සමාගම සඳහන් කරයි.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ