ඉලක්කයට වෙඩි තියන්න හපන් ජනාධිපති පුතා


වෙඩිතැබීමේ පුහුණුවකදී...

 

‘මට කිරුළු පැළැන්දවීමට කුමාරයෙකු හෝ කුමාරිකාවක නැතැ....’යි 77 දී බලයට පත්වීමට පෙර ජේ.ආර්. කී කතාව ඒකාලයේ සිටි කාටත් සිහි ගැන්වෙනු ඇත. ජේ.ආර්. මේ කතාව කීවේ තමාගේ එකම පුත්‍ර රත්නය වන රවීන්ද්‍ර විමල් ජයවර්ධන ගෙදර සිටියදීය.  


....එසේ නම් පුතු මොනවා කරයි ද?... යන්න බොහෝ දෙනා විමසන්නට වූ කරුණකි. ජේ.ආර්.ගේ ජන්ම දිනයක පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු මේ ගැන කෙළින්ම ජේ.ආර්.ගෙන් විමසුවේය.  
‘‘ඇයි එහෙම කීවේ, ඔබතුමාගේ පුතා දේශපාලනයට එන්නෙම නැද්ද....?’’ එවිට ජේ.ආර්. මාධ්‍යවේදියාගෙන් මෙසේ පෙරළා ප්‍රශ්න කළේය.  
‘‘..උන්නැහේ එහෙම දෙයක් කිව්වද..?’’  
එවිට මාධ්‍යවේදියා ‘‘ඔබතුමා සමග එවැනි දෙයක් ඔහු කියා නැද්ද?’’ කියා ජේ.ආර්. ගෙන් විමසූ විට කීවේ,  
‘‘මට උන්නැහේ ළඟකදී හම්බවුණේ නෑනේ.....’’ කියාය.  


ජේ.ආර්. නීතිවේදියෙකු වූයේත්, දේශපාලන පන්නරය ලැබුවේත්, එතුමාගේ පියාගේ (රාජ නීතීඥ ඊ.ඩබ්. ජයවර්ධන මහතාගේ) අඩි පාරේ ගිය නිසාය. 1918 වසරේදී ලංකා ජාතික සංගමය පිහිටුවනු ලැබුවේ එතුමාගේ පියාගේ යෝජනාවකට අනුවය. සේනානායකලාත්, බණ්ඩාරණායකලාත්, ගුණවර්ධනලාත් එසේම පියාගේ අඩි පාරේ ගියෝය. එහෙත් රවි ජයවර්ධන එසේ නොවීය. ඔහු තම පියාගේ කිසිදු දේශපාලන වේදිකාවකට සහභාගි වී නැත. තාත්තා රටේ බලය ලබාගන්නට සිහින මවන විට රවි පුතා කව්බෝයි කෙනෙකු වීමට සිහින මැව්වේය. කව්බෝයි මෙන් වීරකම් කරන්නට ගොස් බාල්කයෙන් වැටී අත පය ද කඩා ගත්තේය.  


 කුඩා කාලේ කව්බෝයි කෙනෙක් වෙන්නට සිහින මැවූ රවි යමක් කමක් තේරෙන වයස ආ විට සිතුවේ වෛද්‍යවරයකු වෙන්නටයි. ඒ අනුව රවි සීනියර් විභාගයට පෙනී සිටියේ විද්‍යා විෂයන්වලිනි. එහෙත් රවි තම පෙම්වතිය නිසා විශ්වවිද්‍යාලයට යාම අතහැර රාජකීය විද්‍යාලයෙන් ඉවත්ව ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයට බැඳී සරසවි පිවිසුම් පෙළ කලා අංශයෙන් හද‌ාරන්නට විය.  


ජයවර්ධන පරම්පරාවේ කාටවත්, කවද‌ාවත් මිල මුදල් වලින් අඩු පාඩුවක් තිබුණේ නැත. එහෙත් රවි ජයවර්ධනට රස්සාවක් කරන්නට ඕනෑ විය. 1953 සර් ජෝන්ගේ රජය පැවැති සමයේ ලෝකයේ වේගයෙන් පැතිර ගිය කැබරේ නැටුම් කලාව ලංකාවටත් ආවේය. කොළඹ, නුවරඑළිය, බූස්ස ආදී තුරඟ තරග පැවැති ප්‍රදේශවල රාත්‍රී සමාජ ශාලාවල කබරේ කණ්ඩායම් බහුල විය.  


මේ වෙනවිට රවිගේ තාත්තා සභානායක, කෘෂිකර්ම සහ ආහාර ඇමැතිවරයයායි. රවිට ඕනෑ වූයේ කැබරේ කණ්ඩායමකට බැඳී රැකියාවක් කිරීමටයි. ගෙදරට කීවොත් පියා රැකියාවකට යාමට ඉඩ නොදෙන නිසා හොරෙන් කොළඹ ප්‍රකට සමාජ ශාලාවක කැබරේ නැටුම් කණ්ඩායමකට බැඳුණි.  

 

රවී ජයවර්ධන මහතා එස්.ටි.එෆ්. පෙරෙට්ටුවකදී

 


වැඩිකල් නොගොස් ජේ.ආර්.ට පුතාගේ රැකියාව දැන ගන්නට ලැබුණ ද ජේ.ආර්. ජයවර්ධන මහතා පුතාගේ ජීවිතය තමාට හසුරුවා ගන්නට ඉඩ දුන්නේය. කලකට පසු කැබරේ නැටුම අත්හල රවි පසුව ජෝර්ජ් ස්ටුවට් සමාගමට බැඳුණේ ද තම පියාගෙන් කිසිම අනුබලයක් නැතිවය. දේශපාලනය, නීති වෘත්තීය තමාගේ උරුමයන් වුවද රවි ජයවර්ධනට ඒවා ගැන කිසිද‌ා තැකීමක්, හැගීමක් තිබුණේ නැත. එහෙත් ඔහුගේ හිත තුළ සීයා මෙන් හමුද‌ාවට බැඳීමේ කැමැත්තක් සැඟවී තිබුණ. රවි උපදින විට සීයා ජීවතුන් අතර නොසිටිය ද සීයා ගැන ඇසූ තොරතුරු අනුව රවිට ඔහු වීරයෙක් විය. රාජ නීතීඥ ඊ.ඩබ්. ජයවර්ධන මහතා කලක් හමුද‌ා නිලධාරියෙකුව සිටි බව රවි අසා තිබුණි.  


 රවි ජෝර්ජ් ස්ටුවට් සමාගමේ රැකියාවේ සිටියදීම කැඩෙට් නිලධාරියෙකු වශයෙන් හමුද‌ාවට බැඳී පුහුණුවට ගියේය. පුහුණුවෙන් පසු රවි යුදහමුද‌ාවේ ස්වෙච්ඡා සේනාංකයේ දෙවැනි ලුතිතන්වරයෙකු වශයෙන් රාජකාරියට බැඳුණේය. ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයෙකු වූ රවි කණ්ඩායමේ නායකයා වී අනෙක් අයට ද අවි පුහුණුව ලබා දුන්නේය.  


1956 අප්‍රේල් 12 ද‌ා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ලංකාවේ හතරවැනි අගමැති ලෙස දිවුරුම් දුන්නේය. කැලණිය ආසනයේ ජේ.ආර්. ජයවර්ධන මහතා එම අසුනෙන් පරාජය වූයේ වැඩිඡන්ද 22836 කිනි. තාත්තාගේ පරාජයත් පුතා හමුද‌ාවට බැඳී තනතුරකට පත්වීම දෙකම එකම කාලයක සිදු වූ දේවල්ය.  


සිංහල රාජ්‍ය භාෂාව කිරීම, සංස්කෘතික දෙපාර්තමේන්තුවක් පිහිටුවීම, වාහනවලට ශ්‍රී අකුර යෙදීම, සිංහල බෞද්ධයන්ට රටේ ප්‍රමුඛ තැනක්දීම වැනි ක්‍රියා නිසා රටේ සුළු ජාතීන්ට නොසැලකෙන තත්ත්වයක් ඇතිවූවා යැයි ඔවුන් සිතන්නට වූහ. මේ නිසාම ලංකාවේ ප්‍රථමවතාවට සිංහල දෙමළ ජාතිවාදී අරගලයක් නිර්මාණය වෙන්නට විය. 1958 උතුරු නැගෙනහිර සිංහල නාම පුවරුවලට තාර ගාන්නට විය. ආරම්භය වූ මෙය දකුණේ දෙමළ මිනිසුන් අමු අමුවේ මරා දැමීමෙන් දරුණු තත්ත්වයකට පත්විය. මෙම ජාතිවාදී කෝලාහල ප්‍රබලව පැවැතියේ පානදුර ප්‍රදේශයේය. 

 
මෙම ජාතිවාදී කැරැල්ල මැඩ පැවැත්වීම බාර වූයේ හමුද‌ා සේනාංකයේ අණදෙන නිලධාරියාව සිටි රවි ජයවර්ධනටයි. ඔහු කිසිදු වෙඩි තැබීමකින් හා පහරදීමකින් තොරව කැරැල්ල මැඩ පැවැත්වූයේය. මේ ගැන අග්‍රාමාතය ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඔහුට ස්තූති ප්‍රශංසා කළ බව විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශනයක සඳහන් කර තිබේ. 'Target Secured Inside The Special Task Force, Sri Lanka Police' With Dilshan Joseph. ජෝර්ජ් ස්ටුවට් සමාගමෙන් ඉවත් වූ රවි ජයවර්ධන පසුව පූර්ණකාලීන හමුද‌ා සේවයේ යෙදෙන්නට විය. මේ අතරතුරේ රවි ගුවන් නියමුවකු වීමට පුහුණුව ලබන්නට විය.  

 

ඇක්වයිනාස් ආයනෙයේ අධ්‍යාපනය ලබන කාලයේ රවී පෙම්වතිය සමග

 

1959 රවි විවාහ වූයේ තනි කැමැත්තෙනි. මව්පියන්ගෙන් අවසර නොලැබෙන බව දැනගෙන පාසල් වියේ පටන් සිටි පෙම්වතිය සමග විවාහ වී ග්‍රෙගරි පාරේ තම පවුලේම නිවෙසක පදිංචියට ගියේය.  


 මේ කාලයේ දේශපාලනයේ පෙරළි රැසක්ම සිදුවිය. බණ්ඩාරනායක ඝාතනය, දහනායක අගමැති වීම, ඉන්පසු 1960 මැතිවරණයෙන් යළිත් ඩඩ්ලි සේනානායක අගමැති විය. හර්තාලය ඩඩ්ලි අගමැතිකමින් ඉල්ලා අස්වීම. සිරිමාවෝ බණ්ඩානායක මැතිණිය ලොව ප්‍රථම අගමැතිනිය වීම ආදියයි.  


රවි මේ සියල්ල දෙස බලා සිටියා මිස දේශපාලනයට මොනම අයුරකින්වත් සම්බන්ධ වූයේ නැත. ඔහු දේශපාලනය තමාට කිසිසේත් ගෝචර නොවන දෙයක් ලෙසට සැලකුවේය. දේශපාලනය අතිශයින් ප්‍රෝඩාකාරී දෙයක් ලෙස සැලකුවේය.  


 හැටේ දශකය රවීගේ ජීවිතයේ පෙරළිකාර එකක් විය. ඒ වනවිට ඔහු තිදරු පියෙකි. ප්‍රදීප්, අම්රිත් සහ රුක්ෂාන් ඔහුගේ පුතුන් තිදෙනාය. තිදරු පියෙකු වුවද රවිගේ සිත ඉන්දියානු යුවතියක් වෙත බැඳී තිබිණ. ඇය එයාර් සිලෝන් සමාගමේ ගුවන් සේවිකාවකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔලිම්පික් ලාභී ඩන්කන් වයිඩ්ගේ ඥ‌‌ාති දියණියකි. 1970 වසරේ ඉලක්කයටය වෙඩි තැබීමේ ආසියාවේම ශූරතාවය රවි හිමිකර ගත්තේය. කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් නියමුවෙකු ලෙස රැකියාව කරගෙන ගියේය.  


රවිගේ අලුත් පෙම්වතිය (පෙනී) ගේ ගම මහනුවර වුවද ඇගේ පවුලම පදිංචිව සිටියේ වැල්ලවත්තේය. මේ වකවානුව 71 අප්‍රේල් කැරැල්ල රට පුරා ව්‍යාප්ත වූ සමයයි. රවි වැල්ලවත්තේ පෙනීගේ ගෙදර සිට පැමිණ කටුනායක ගුවන් තොටුපොළට ඇතුළු වෙනවාත් සමගම පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේය. ඔහුට තිබූ චෝදනාව තරුණයන්ට වෙඩි තැබීම පුහුණු කිරීමයි. රවි තරුණයන් සිය දහස් ගණනකට වෙඩි තබන හැටි ඉගැන්වූ අයෙකි. ඔහු ආසියාවේම දක්ෂම වෙඩික්කාරයාය. ඔහුගෙන් වෙඩි තැබීම පුහුණු වූ අය අතර ජේ.වී.පී. තරුණයන් ද සිටින්නට ඇත. රවි තරුණයන්ට වෙඩි තබන හැටි ඉගැන්වූවා මිස ජේ.වී.පී. දේශපාලනය ඉගැන්වූයේ නැත. රවි මේ සියල්ල පොලිසියට හෙළි කළේය. සවස් වෙන විට මේ පුවත ජේ.ආර්. ජයවර්ධන මහතාට ආරංචි වී ඔහු වැලිකඩ පොලිසියට පැමිණියේය. එවිට ජේ.ආර්. විපක්ෂයේ උපනායකයාය. රවි සිර මැදිරියෙන් නිදහස්ව පියා සමග නිවෙසට ගියේය.  


 රවි පෙනී සමග විවාහ වූයේ නැත. පෙනී ඇතුළු ඇයගේ මව්පියන් ලංකාව අත්හැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය. ඔහු ග්‍රෙගරි පාරේ නිවසේ තනිවම විසීය. රවීට හෘදයාබාධයක් ඇති වූයේ මේ කාලයේදීය. ජයවර්ධන යුවළ රවීව විශේෂඥ වෛද්‍ය ආටිගල මහතාට යොමුකර රෝහල් ගතකරවීය. මෙය ඕස්ට්‍රේලියාවේ සිටින රවිගේ පෙම්වතිය (පෙනී) ට ආරංචි වී ඇය ලංකාවට ආවාය. ඇය ආවේ තමාගේ රැකියාව ද අත්හැර දමාය. රත්නම් රෝහලේ නතරව සිටිමින් සියළු සත්කාර කළේ ඇයයි. මේ සියල්ලම නිසා පෙනී ජයවර්ධන යුවළගේ ආදරයට පාත්‍රවිය. රවි හොඳටම සුවවෙන තුරු පෙනී ඔහු ළඟම සිටියාය. රෝහලෙන් පැමිණ පෙනීත් රවිත් නැවතී සිටියේ වෝඩ් පෙදෙස ජේ.ආර්.ගේ නිවසේය. දැන් සියලු අමනාපකම් අවසන්ය.  


විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මහතාට මේ කාලය ඉතා කාර්ය බහුල එකක් විය. සිරිමාවෝ මැතිණියගේ රජයේ, හාල් පෝලිම්, රෙදි පෝලිම්, පාන් පෝලිම්, කිරිපිටි පෝලිම් බහුල දුෂ්කර කාල පරිච්ඡේදයකි. රටේ ජනතාව සමගි පෙරමුණ රජය සමග උරණ වී කලකිරී සිටියහ. ජයවර්ධන යුවළගේ අදහස වූයේ රවි, පෙනී විවාහය දැකීමයි. රවි 1974 දී ඕස්ට්‍රේලියාවට ගොස් පෙනී විවාහ කර ගත්තේය. ඇය ද රවිගේ ආභාසයෙන් බුදුදහම හද‌ාරන්නට වූවාය. රවිට මහණ දම් පිරීමට සිත් පහළ වූයේ කාලයක සිටයි. ඒ බව ජයවර්ධන යුවළ මෙන්ම පෙනී ද දන්නා කාරණයකි.  


ඕස්ට්‍රේලියාවේ සිට භික්ෂු ජීවිතයක් ගත කිරීමට හෝ බණ භාවනා කිරීමට නොහැකිය. ඒ සඳහා ථෙරවාදී බුදුදහම පවතින රටකට යා යුතුය. සුදුසුම රට වශයෙන් රවි කල්පනා කළේ තායිලන්තයයි. රවි තීරණයක් ගත්තේය. පෙනී ද එයට එකඟ වූවාය. ඕස්ට්‍රේලියාවේම සිට දෙන්නා දෙපොලක විසුවෝය. ඔහු මහණවීමට යන දිනය උද‌ා විය. එහෙත් ඒ ගමන ඔහු තනියම යැව්වේ නැත. පෙනී රවි සමග සිංගප්පූරුව දක්වා ගියාය.  
තායිලන්තයේ නොන්තබුරි ප්‍රදේශයේ ක්‍රවොම්ටොම් යෝගා ශ්‍රමයේදී රවි ජයවර්ධන ‘අරියවංශ’ හිමි නමින් පැවිදි විය. ධර්ම සාකච්ඡා, පිරිත් සජ්ඣයනා, භාවනා කිරීම, ධර්ම ග්‍රන්ථ පරිශීලනය නිසා අරියවංශ හිමියන්ගේ දහම් දැනුම පුළුල් වෙන්නට පටන් ගත්තේය. නිතර නිතර ත්‍රිපිටකය ප්‍රගුණ කිරීම දිනචාරියාවේ සුවිශේෂ කොටස් විය. නොත්තබුරි ප්‍රදේශය දුප්පත් ජනතාවක් වාසය කරන පිටිසර ගම්මානයකි. මෙහි වැසියෝ බෞද්ධ වූහ. අරියවංශ හිමියෝ උදෑසන හයට පිණ්ඩපාතය වැඩම කරති. උන්වහන්සේට ගෝල බාලයෝ බොහෝ වූහ. ඉතා කෙටි කලකින් ගෞරවයට පාත්‍රවූහ. වටි ක්‍රමොටිටොම් විහාරයේ ඉගැන්වූ භාවනා ක්‍රමය බුදු දහමේ භාවනා ක්‍රම වලින් බැහැර වූ එකකි. අරියවංශ හිමියෝ විහාරයේ නායක හිමියන්ගේ මිත්‍යා භාවනා ක්‍රමය ගැන නායක ස්වාමීන් වහන්සේත් අතර විවාදයක් ඇතිවිය. අන්තිමට අරියවංශ හිමියෝ විහාරයෙන් පිට විය. උන්වහන්සේ සමග විදේශ භික්ෂූන් වහන්සේලා ද විශාල පිරිසක් එතැනින් පිටවූහ. මේ පිරිසට නවාතැන් ලැබුණේ බැංකොක් මාබල් ටෙම්පල් නමැති විහාරයේය.  


මේ බව විපක්ෂනායක ජේ.ආර්. ජයවර්ධන මහතාට දැනගන්නට ලැබී මැතිනියත් සමග තම පුතු බැලීමට පැමිණියහ. ඕස්ට්‍රේලියාවේ සිටින පෙනී ද තම පැවිදි වූ සැමියා බැලීමට ආවාය. බැංකොක් මාබල් පන්සල ආරණ්‍යයක් නොවන බැවින් එහි සිට භාවනා කිරීම කළ නොහැකි විය. උන්වහන්සේ යන යන තැන පැමිණෙන පිරිස ද වැඩිය. අරියවංශ හිමියෝ සිවුරු හැර යළිත් රවි ජයවර්ධන බවට පත්විය.  
රවි ජයවර්ධන ඕස්ට්‍රේලියාවට ගොස් පෙනී සමග ජීවත්වෙන්නට පටන් ගත්තේය.  


 1977 දී මෙරට දේශපාලන ඉතිහාසයේ වාර්තාවක් තබමින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති බවට පත් විය. පියාගේ ජයග්‍රහණය දැනගත් රවි පියාට දුරකථනයෙන් සතුට පළකළේය.  


 රවි ලංකාවට එනවාද... ජේ.ආර්. ඇසීය.  


‘‘එන්න අදහසක් නෑ... ඒත් අවශ්‍ය නම් එන්නම්..’’ රවි කීවේය. පසුව රවි ද පෙනී ද ලංකාවට ආවෝය.  
 තාත්තා ජනාධිපති වූ පසු රවි කළේ ජනාධිපති ආරක්ෂක අංශය ප්‍රතිසංවිධානය කිරීමයි. පළමුවෙන්ම රවි කළේ ආරක්ෂක අංශයේ සියලු දෙනාට මනා පුහුණුවක් ලබාදීමය.  


 එල්.ටී.ටී.ඊ. ය ප්‍රතිසංවිධානය වීම නිසා ආරක්ෂක හමුද‌ාව සම්බන්ධයෙන් ඔහු විශේෂ සේනාංකයක් හැදුවේය. එය විශේෂ ප්‍රහාරක බළකාය. (S.S.F.) නම් විය. (SPECIAL STRIKE FORCE) නමින් පිහිටුවිය. ලංකාවේ පොලිසිය තුළින් විශේෂ කාර්ය බළකායක් ඇතිකරවීමේ ප්‍රථම අවස්ථාව මෙය විය.  
පොලිසියේ විශේෂ දක්ෂතා දැක්වූ පිරිසක් ද අලුතින්ම බඳවා ගත් පිරිසක් ද ඇතුළුව හැටක කණ්ඩායමකට විශේෂ පුහුණුව ලබා දුන්නේය. ලෝකයේ හොඳම විශේෂ හමුද‌ා බළකා සිටියේ බ්‍රිතාන්‍යයේය. රවි ආරක්ෂක අමාත්‍යාංශය මගින් එහි පුහුණුකරුවන් ලංකාවට ගෙන්වූයේය. ඊශ්‍රායල හමුද‌ාවේ ජාතික වීරයා ලෙසින් සම්මාන පදක්කම් දිනූ මොෂෙල් ලෙව් මහතාද ලංකාවට පැමිණියේය. ඔහු මඩකළපුවේදී පොලිස් විශේෂ බලකාය පරීක්ෂාවට ලක්කොට ඉතා සතුටට පත්විය. පසු කලක මෙය (S.T.F) නම් විය. (SPECIAL TASK FORCE) මේ වෙනවිට රටේ ආරක්ෂක ඇමැති පදවිය දැරුවේ ලලිත් ඇතුලත්මුදලි මහතාය. විශේෂ කාර්ය බළකාය මේ රටේ සිටි දක්ෂම සේනාංකය බවට පත්විය. ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා නැගෙනහිර කොටි ත්‍රස්තවාදය මැඩලීමට S.T.F. එක යැවීමට තීරණය කළේය. එසේ යැවීමෙන් පසු එහි සිටි කොටි සාමාජිකයෝ සියල්ලෝම සමූල ඝාතනය විණි. එවකට ආරක්ෂක ලේකම්ව සිටි සේපාල ආටිගල මහතාගෙන් රවිට මේ කටයුතු සඳහා නොමද සහායක් ලැබුණි. කැලණියේ ගෝනහේනේ අක්කර කිහිපයක් වූ හිස් ඉඩමක් ගෙන එහි අංගසම්පූර්ණ පුහුණු මූලස්ථානයක් ඇති කිරීමට රවි ජයවර්ධන මුල්ව ක්‍රියා කළේය.  
 පාර්ලිමේන්තුවේ බෝම්බය පිපිරී දෙණියායේ මන්ත්‍රී කීර්ති අබේවික්‍රම මහතා මියගොස් ලලිත් ඇතුලත්මුදලි මහතා තුවාල ලැබී​මෙන් පසු විශේෂ කාර්ය බළකාය ජනාධිපති ආරක්ෂක ඒකකයට යෙදවීමට රවිට හැකියාව ලැබුණි. පදවිය, තන්තිරිමලේ, විලච්චිය වැනි ප්‍රදේශවලට කොටි තර්ජන එල්ල වෙන්නට විය. රවි තම හමුද‌ාව සමග ඒ ප්‍රදේශවලට යාමට තීරණය කළේය. ඔහු ගම්වැසියන් තෝරා ගෙන ඔවුන්ට අවි ආයුධ පුහුණුවක් ලබාදීමට කටයුතු කළේය. හත්සියයක් පමණ දෙනා ගෙන්වා මාස ගණනක් තිස්සේ ඔවුන්ට ක්‍රමානුකූලව යුද පුහුණුව ලබා දුන්නේය. රවිගේ මේ ග්‍රාම ආරක්ෂක සේවය උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිටි සිංහලයන් අතර ජනප්‍රිය වෙන්නට විය. ගැමියන්ට තුවක්කු ලැබුණි ආයුධ පරිහරණය මෙන්ම ග්‍රෙනේඩ් වලින් සතුරන්ට දමා ගසන අයුරු මේ ගැමියන්ට පුරුදු පුහුණු කළේය. කාන්තාවන් පවා ගෙදර දොරෝ වැඩ කටයුතු වල යෙදුණේ තුවක්කුව පිටේ එල්ලාගෙනයි. පතුරොම් බෙල්ට් එක ඉනේ ගසාගෙනය.  


 මින්නේරිය පෙහෙකම්හලේද පුහුණු යුද කඳවුරක් පිහිටුවා ගම්මාන එකසිය ගණනකට යුද අවි පුහුණුව ලබා දුන්නේය. මෙය කොතරම් සාර්ථක වීද, ගමට පහර දීමට ආ කොටි විශාල පිරිසක් ගැමියෝ විසින් මරා දැමුවෝය. පුදුමය රවි ජයවර්ධන මේ සියල්ලම කළේ තම පියා වූ ජේ.ආර්. ජයවර්ධනට නොදන්වා රහසිගතවය.  


1987 දී ජෙනරාල් කොබ්බෑකඩුවගේ ආඥ‌ා ද‌ායකත්වයෙන් යුද්ධය සාර්ථකව කෙරීගෙන යද්දි ඉන්දීය සාමසාධක හමුද‌ාව ගෙන්වා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට ගත් ක්‍රියාමාර්ගයට රවි තරයේ විරුද්ධ විය. ග්‍රාම ආරක්ෂක භටයන් ගම්බිම් ආරක්ෂා කරගෙන සිටියදී ඉන්දු ලංකා ගිවිසුමක් අවශ්‍ය නැති බව රවි ජයවර්ධනගේ අදහස විය. ඔහු මෙය තම පියාට දැන්වීය. ජේ.ආර්. තම පුතාගේ මතය සිනා සී බැහැර කළේය. කෙසේ වෙතත් රවි ජයවර්ධන ජනාධිපතිගේ ආරක්ෂක උපදේශකයා විය.  


එහෙත් ඔහු නිතර ගමන් කළේ බස් රථයෙනි. රවිට නිල වාහන තිබුණත් ඔහු ඒවා පාවිච්චි කළේ නැත. පිස්තෝලයක් ඉනේ ගසාගෙන රවි බස් රථයෙන් එහාට මෙහාට ගියේ තමාට කොටි තර්ජන ද ජේ.වී.පී. තර්ජන ද තිබියදීය. ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිකමෙන් ඉවත් වෙනවාත් සමගම රවි ද ජනාධිපති ආරක්ෂක උපදේශ පදවියෙන් ඉල්ලා අස්විය. පිළියන්දල ප්‍රදේශයෙන් ඉඩමක් ගෙන තමන්ටම කියා ගෙයක් තනාගෙන පෙනී සමග එහි පදිංචියට ගියේය.  


1936 දී උපන් රවි 2017 වෙන විට 81 වෙනි වියට එළඹ සිටියේය. එම වසරේ මාර්තු වෙනවිට රවීට ඇවිදීමේ අපහසුතාවයක් ඇති විය. එම තත්ත්වය සුව අතට හැරුණ ද හදිසියේම රවිට හෘදයාබාධයක් වැළඳුණි. 2017 අප්‍රේල් 03 වැනිද‌ා රවි ජයවර්ධන අවසන් හුස්ම හෙලුවේය.  


 මූලාශ්‍ර හා ඡායාරූප 'Target Secured' Inside The Special Task Force, Sri Lanka Police  
(මෙම ලිපිය සඳහා තොරතුරු ලබා දුන් ​උතුරු පළාතේ කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාට ස්තූතිය පුදකරමු.)  

 

පී.ඇම්. සේනාරත්න