ඉබ්බන් යටකර මැරූ රියදුරු: ලොරියට යටවී මරුට


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරුදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි

 

අනුරාධපුරය පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.   

මව යොදවා හිඟමනේ: අවසන කැටුණැයි විනේ   


අතට මුදලක් ලැබෙන්නේ නම් ඕනෑම පවුකාර වැඩක් හෝ කිරීමට බාලයෝ පසුබට නොවෙති. කර්මය හෝ කර්ම ඵල ගැන ඔවුන් තුළ විශ්වාසයක් හෝ දැනීමක් නැත. එහෙත් කවර ආකාරයකින් හෝ කළකම් පලදෙන විශ්ව සත්‍යය එලෙසම පවතී. අප දන්නේ මෙලොවදීම පලදෙන කර්මයන් ගැන පමණි. මුදල් තණ්හාවෙන් සිය මව සදහටම අාබාධිත තත්ත්වයට පත්කොට එමගින් මුදල් උපයාගත් පාපතරයෙකු පිළිබඳ රජරට ශුද්ධ භූමියකට ආසන්න පෙදෙසෙකින් ඇසුණ කතාවකි මේ.  


ජේමිස් හා​ රොසලින් රන්මැලි සෑ රදුන් හා ජයසිරි මා බෝ සමිඳුන් ආසන්නයේ මල් හා හඳුන්කුරු විකුණමින් ජීවත් වූ දරුවන් තිදෙනෙකුගේ මාපියන්ය. වැඩිමහල් දියණියන් දෙදෙනා අඩු වයසින්ම විවාහ වී බැහැරට ගිය අතර බාලම පුතා උපාලි හරිහැටී ඉගෙනීමක් නොලද රස්තියාදුකාර නඩයට එක්වී රෑට පමණක් ගෙදරවිත් මාපියන් උපයාගත් දේ කමින් කාලය ගත කළ විසි හැවිරිදි තරුණයෙකි.   


මල් විකිණීමෙන් ලැබෙන මුදල යාන්තමට එදාවේල පිරිමසා ගැනීමට තරම් සෑහුණ ඔවුන් සිටියේද අනවසර ඉඩමක අටවාගත් පොල් අතු බැඳ පොල් අතු අහුරාගත් කුඩා පැල්පතකය. ජේමිස් මත්වතුර නිසා අකාලයේ මියැදුණා පසු රොසලින්ගේ අාදායම ද අඩුවිය. ඒ අතරේ උපාලි ද තරුණියක සහකාරිය කරගෙන පැල්පතට ගෙන ආවේය. තිදෙනාම යැපුනේ රොසලින් ඉපැයූ මුදලිනි. ආදායම අඩු නිසා තරුණ යුවල අතර නිතර නිතර අඩ දබර ඇතිවිය.   


‘‘මල් විකුණලා හොයනවට වඩා හිඟන්නො සල්ලි හොයනවා. අතක් කකුලක් කැඩුණා නම් පාර අයිනෙ ඉඳගෙන හිඟමනක්වත් හොයාගන්න තිබුණා කෑම පාර්සල් එහෙමත් නිතරම ලැබෙනවා උන්ට’’ උපාලිගේ බිරිය නිතරම කියුවාය.   


මුගලන් මහ රහතන් වහන්සේ පෙර ආත්මභාවයකදී බිරිඳගේ කීමට අනුව මාපියන් ඝාතනය කළ බව පොතපතේ සඳහන්වේ. උපාලිද සිය බිරිය​ෙග් කීමට අනුව මව අබ්බගාත කිරීමේ සැලැස්මක් සකස් කළේය. හැත්තෑව දශකයේ අග භාගය වූ එකල තිසාවැවේ නෑම තහනම් වුවද නාන අයගේ අඩුවක් නොවීය. උපාලිගේ නිවසේ අයද නෑවේ තිසාවැවෙනි. උදේ සිට අව්වේ වේළි වේළි එහා මෙහා ඇවිද මල් විකුණන රොසලින් ඇඳිරි වැටෙන විට නිවසට එන්නේ තිසාවැවෙන් ස්නානය කිරීමෙන් පසුවයි. සමහර දිනවල උපාලි පා පැදියෙන් සිය මව නෑමට රැගෙන යයි. එදින ද උපාලි මව පාපැදියේ තබාගෙන තිසාවැව වැව් කණ්ඩිය දිගේ ගියේ නාන මංකඩ වෙත යන බව කියමිනි. බයිසිකලය සමඟ මව පල්ලමට පෙරලා උපාලි පැන ගත්තේය. තරමක් බෑවුම් සහිත පල්ලමට වැටුණු රොසලින්ගේ හා උපාලිගේ කෑ ගැසීමට දිය නාමින් සිටි කිහිප දෙනෙකු පැමිණ රොසලින් ​ෙරා්හල්ගත කළහ. එය උපාලිගේ සැලැස්මක් බව දැන සිටියේ උපාලිගේ බිරිය පමණි. අද මෙන් වෛද්‍ය පහසුකම් දියුණු තත්ත්වයක නොතිබුණ නිසා රොසලින් නිවසට පැමිණියේ දකුණු කකුලේ ඇටයක් බිදී සදහටම අබාධිත වූ අයෙකු ලෙසයි. පරිත්‍යාගශීලියෙකු ලබාදුන් රෝද පුටුවේ තබාගෙන උපාලි මව පූජනීය පෙදෙසේ සිඟමනට යොමුකළේය. ඇයට කෑම පාර්සල් ලැබෙනවිට පසෙක ගසකට මුවා වී සිටින උපාලි ඒවා නිවසට ගෙන යයි. සෑහෙන ආදායමක් දිනපතා ඉපැයුවද පුතාත් ලේලියත් ඒ මුලින් හොඳින් ආහාර පාන ඇඳුම් පැළඳුම් සපයාගත් නමුත් රොසලින්ට උරුම වූයේ කවුරුන් හෝ දෙන දෙයක් පමණි. ඔවුන් මවට කිසිදු සැලකිල්ලක් දැක්වූ​යේ නැත. අසල්වැසි කාන්තාවන් සතියකට වරක් රොසලින් නහවා පිරිසිදුකොට ඇඳුම්ද සෝදා දුන් නමුත් ලේලිය ඇයට කිසිදු උදව්වක් නොකළාය.  


පො​ෙසාන් පොහොයට මල් වැඩිපුර විකිණෙන නිසා මල් වෙ​ෙළඳුන් කිහිප දෙනෙක් උපාලිද කැටුව නගරය තදාසන්න පෙදෙසක වැවකට මල් කැඩීමට ගියහ. දෙවියන්ගේ අඩවියේ පාපතරයන්ට සමාවක් නොදෙන බව හඟවමින් කිඹුලෙකු විසින් උපාලිගේ දකුණු කකුල කඩාගනු ලැබිණ උපාලි බේරුනේද අන් අයගේ පිහිටෙනි.   


ඒ කාලයේ අද මෙන් කෘත්‍රිම අවයව නොවූ නිසා උපාලි රෝහලේ සිට නිවසට පැමිණියේ මිතුරන් දෙදෙනෙකුගේ කරමතිනි උපාලි රෝහල්ගතව සිටියදී උපාලිගේ බිරිය වෙන අයෙකු සමඟ පැන ගිය නිසා රොසලින්ට සිඟමනට යාමටත් නොහැකිවිය. අාහාර අහේනියෙන් ඇයද මිය ගියාය.   


උපාලි ජීවිතයේ අසරණවී සිඟමනට පුරුදු විය. එහෙත් ඔහුට සිඟමන් ලැබුණේ ඉතා අඩුවෙනි. කෑම පාර්සලයක් පවා ඔහුට නොලැබුණේ ​ෙද්ව උදහසින් විය හැක. තමා හදාවඩා ගත් මව අබ්බගාතයකු කළ පාපය නිසාම සැහෙන කාලයක් දුක් විඳ උපාලි ද මිය ගියේ කිසිදු හව් හරණක් නැතුවය.   

 



රිකිල්ලගස්කඩ. ටී.එම් සෝමපාල මහතා ලියා එවූ කතාවක් මෙසේය 

හක්කපටස් හැදූ අයගේ ඇතැඟිලි අහිමි වෙයි  


ඔහුගේ නම ධනවර්ධන වුවත් උපයා ගත් ධනයක් පිටතින් නම් පෙනෙන්නට නොවිණ. ධනවත්කම කෙසේ වෙතත් ගමේ කඩේට ණය කාරයෙකු බව ගමේ මුදලාලි​ෙගන් වීමසීමේදී දැන ගතිමි. කීයක ණය මුදලක් වුවත් හිටි ගමන් සතේට හිඟ මුදල් ගෙවන පාරිභෝගිකයෙකු හෙයින් ණයට ඉල්ලන ඕනෑම දෙයක් ගමේ කඩේ මුදලාලිගෙන් ලැබිණ. පියාගෙන් ලැබූ සුළු ඉඩමත් කුඩා නිවසත් හැර වස්තුවකට ඇත්​ෙත් දරුවන් තිදෙනා පමණි. හැටනව හැවිරිදි පියා ඔත්පලව ඇඳකට සීමාවී සිටින්නෙකි. ධනවර්ධනට වයස හතළිස්තුන ළඟාවෙමින් පවතී.  


පිටපළාතක කුලී වැඩකට ගිය ඔහුට පාපතර මිතුරෙකු උගන්වා ඇත්තේ හක්කාපටස් හදන අයුරුය. කෙසේ හෝ අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට ඔහු සමත් විය. ගුරා කියා දුන් කාර්ය ඔහුටත් වඩා ​ෙහාඳින් කරන්නට සමත්ව සතුන් සිය ගණනකගේ ජීවිත නැති කරන්නට තරම් ගජ හපනෙක් විය. මේ සියල්ල කරනු ලැබුවේ තමා උපන් ගමේමය. ගම්වැසියෝ ඔහු වෙනුවෙන් දැක්වූයේ නිහඬත්වයකි. ඌරු නාම්බන් කිහිප දෙනෙකුටම මරුකැඳවන්නට සමත්වුණා මෙන්ම රහසිගතව එම සතුන්ගේ මස් විකිණීමේ ජාවාරමත් ගජරාමෙට සිදුකර ඇති බව හොඳින් දන්නා නමුත් ඒ බව හෙළිකරන්නට කිසිවෙකු ඉදිරිපත්වූයේ නැත. එ් සමරවිට අඩු මුදලකට හෝ නොමිලයේ ලැබෙන මස් පංගුව නිසාවෙන් විය හැකිය.  
ඔහු විසින් තණකොළ අස්සේ සඟවා තැබූ හක්කාපටස් එකක් සැපූ අහිංසක කිරි මවක් ජිවිතයෙන් වන්දිගෙවීමේදී කිරිමව​ෙග් අයිතිකරුට නීතියේ සරණට යන්නට නොදී ගවදෙනගේ වටිනාකම මුදලින් ගෙවා නිදහස්ව ඇති බවක්ද අසන්නට ලැබුණි.  


අහිංසක ගවදෙනට මරණය උරුමකොට ගතව ගියේ හරියටම තෙමසකි. වැසි සහිත කාලගුණිකතාව ඇතිවත්ම සූකරයන් වැඩි වශයෙන් පැමිණිය හැකි යයි සිතා සැකසුණු හක්කාපටස් එක මිශ්‍රණයේ කිසියම් අඩු වැඩි වීමක් හේතුවෙන් නිවසේදීම පුපුරා ගියේ වම් අතේ එක ඇඟිල්ලක් ඉතුරු කරමිනි.  


මාස ගණනාවක් තුවාල සුවවීමට ගතව ගියේය. ඔහුගේ වම් අත එක් ඇඟිල්ලකට සිමාවූයේ සතුන් වෙනුවෙන් කළ අපරාධය නිසාම මුළු ගමේම රහසිගතව තැනින් තැන කතා බහට ලක් වූවත් ධනවර්ධනට නම් මෙලොව පඩිසන් දුන් කර්මය ගැන ගාණකට ගත්තේවත් ඒ ගැන තැකුවේවත් දුක්වුනේවත් නැත. තුවාල සුව වූ පසු සුපුරුදු රැකියාවට යළිත් පණ දුන්නේය. ඇතැඟිලි දහයකින් කළ කාර්ය දැන් කෙරෙන්නේ ඇඟිලි හයකිනි. බිරිඳත් දරුවනුත් තම පියාත් තමා විසින් කරන මේ කාර්ය ගැන කිසිසේත්ම අනුබල නොදුන් අතර පාපතර ක්‍රියාවන්ගෙන් ගලවා ගනු පිණිස ​ෙතාර තෝංචියක් නොමැතිව ඔවුන් දොස් පරොස් කීහ. එක් රාත්‍රියකදී ධනවර්ධනට ඉවසාගත නොහැකි කේන්තියක් මතුවිණ. පාලනය කරගත නොහැකිව කේන්තියෙන් සකසමින් සිටි හක්කපටස් එක ගේ කුඩු කරනවා කටවල් වහගත්​ෙත් නැත්නම් කියා බිත්තිය වෙත එල්ල කළේය. දකුණතේදීම එයත් පුපුරා ගියේ දකුණු අතේද අැඟිලි හතරක් අහිමි කරමිනි. මාස ගණනාවක් එම අතද සුදු රෙදිකඩකින් වෙලාගෙන සිට සුවය ලැබුවද දෙඅත ඇඟිලිදෙකකට සීමාවිණ.  


දිට්ඨධම්ම වේදනීය කර්මය දෙවරක්ම පලදී විපාක ලත් ධනවර්ධන මින් ඉදිරියටවත් පාපතර ක්‍රියවන් නොකරනු ඇතැයි වැඩි දෙනෙකු විශ්වාස කළහ. ඒ සියල්ල කඩකරමින් දෙඅතේ ඇඟිලි දෙක උපයෝගි කර ගනිමින් යළිත් සුපුරුදු කාර්ය කරන බව ඔහු පිළිබඳව හොදින් තතු දන්නා අයෙක් පවසා සිටියේ මේච්චර දෙයක් වෙලත් මේකා ගණන් නොගත් සැටි කියමින් කම්මු​ෙල් අත තබාගන්නා ගමන් දිගු සුසුමක්ද හරිමිනි. ඕකගේ ඇඟිලි නොවෙයි නැතිවෙන්නට ඕන අත් දෙකයි නැතිවෙන්නට ඕන කීවේ එය ඇසූ ඔහුගේ ඥාති වැහිටියෙකි. ඒ අයුරිනුත් කර්මය පලදී ඔහුගේ අතක් හෝ​ දෙඅතම හෝ අහිමි වූ බවට සටහනක් තබන්නට සිදුවේදැයි මමත් නොදනිමි.  

 



අනුරාධපුරය ආර්.ඒ. චන්ද්‍රසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

ඉබ්බන් යටකර මැරූ රියදුරු ලොරියට යටවී මරුට  


වසර ගානකට ඉහත ලොරි රථයක සහයක ලෙස සේවය කළෙමි. අප හට පැවරරී තිබුණේ අනුරාධපුරයේ සිට උතුරුකරය වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීමයි.   


ඒ මෙම රැකියාව ​ෙකාතරම් කටුක වුව ද මම එය ඉතා සතුටින් කළෙමි. අදමෙන් ජනාකීර්ණ නොවූ එ් සමයේ තල්රුප්පාවල වැව් තාවුලු වන අරණ පසු කරමින් යන මේ ගමනේ සුන්දරතාවක් තිබූ නිසාය. කෑලෑමංඩියන් පසු කරනවිට වන සත්තු ඉඳහිට හමුවෙති. ආපසු එන ගමනේදී රෑ බෝවූවිට පාර හරහා මාරුවන අලිරංචු ද ඉඳහිට හමුවෙයි. මේ ලොරි රථයේ සේවය කළ රියදුරු මහතා මාරුවී වෙනත් රියදුරෙකු සේවය සඳහා පැමිණියේය. ඔහු ඉතා මැරපෙනුමක් තිබූ අමන ගති ඇති අයෙකි.  


අකමැත්තෙන් හෝ මාහට ඔහු සමඟ සේවය කිරීමට සිදුවිය. අනුරාධපුර - යාපනය අතර මේ යන එන ගමනේදී වන සීමා අසලදී නිතරම හිමිහිට මාරුවන මේවර ඉබ්බන් හමුවෙයි.   
මේ රියදුරා එසේ පාර මාරුවන මේවර ඉබ්බකු දුටු සැනින් ඌව බේරාගන යෑමට කොතරම් ඉඩ තිබුණද ලොරි රථයට ඌව යට කර ‘‘පටාස්’’ හඬින් යටවන හඬ අසා හිනැහෙමින් විසාල සතුටක් ලැබුවේය.   


මේසේ යන එන ගම​ෙන්දී එකවරකට සමහර දිනවල ඉබ්බන් දෙතුන් දෙනෙකු ඔහු ලොරියටම යටකර මරා දැමුවේය.   


මා අසා තිබූ අයුරකින් මේ මේවරඉබ්බන් වසර දෙසීයක් පමණ ආයු කාලයක් ඇති සත්ත්ව විශේෂයකි. එවන් දුර්ලභ අහිංසක සතකු මෙසේ ඝාතනය කිරීම කොතරම් අපරාධයක්ද මේ අමනයාට ඒවා වගේ වගක් නැත.   


කලය ගෙවී ගියේය. මා වෙනත් රැකියාවක් ලැබී වෙනත් ප්‍රදේශයකට මාරුවී ගි​ෙයමි. බො​ෙහා් කාලයක් ගෙවී ගියේය. පැරණි ලොරි රථ සමාගමේ සේවය කළ සමයේ මාගේ හිත මිතුරකු අහම්බෙන් මාහට හමුවිය. ආගිය තොරතුරු සමඟ අර අමන රියදුරා ගැන විපරම්කර ඔහුගෙන් ඇසුවෙමි. මිතුරා පැවසූ දෙයින් මා පුදුම නොවුණේ කලකම් පලදෙන වග මා දැන සිටි නිසාය.  


අර රියදුරා තමා සේවය කළ ලොරි රථයේ කාර්මික දෝෂයක් පිළිසකර කරමින් සිටින මොහොතක (ලොරි රථය යට රිංගා) හදිසියේම තිරිංග බුරුල්වී පල්ලමකට රථය තල්ලුවී යනවිට පිටු පස යුගල රෝදවලට හසුවී ඔළුව පොඩිවී එතනම මියගිය බවය.  


එම රෝදවලට හසුවී මේවරඉබ්බන් කී දෙනෙකු ඔහු අතින් ඝාතනය වන්නට ඇතිදැයි මට හැඟුණි.

 

   
මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.  

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව ​ෙතන්නකෝන්