ඉබ්බන් මරා කෑ සේදර කිඹුලන්ට ගොදුරු වූ හැටි


ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  


මේ අම්බලන්තොට හේමාල් ගමගේ මහතා ලියා එවූ කතාවකි.  

දයාපාලට මෙලොවදීම සත්ව ඝාතනය පලදුන් හැටි


උස කළු හීන්දෑරී අයකු වූ දයාපාල නිතර බුලත් විට කෑවේය. අවුරුදු 65 පමණ වුව ද කාය ශක්තියෙන් තරුණයෙකු මෙන් විය. තමන් දයාපාල වුව ද සතුන් කෙරෙහි කිසිදු දයාවක් ඔහු තුළ නොවිණ. ඔහුගේ බිරිඳ කරුණාවන්ත තැනැත්තියක් වුව ද ඇය කියන කිසිවක් නාහන මස් මාංශ ආහාරයට දැඩිව ලොල් වූවෙකි.   


නිවස පිටුපස ලඳු කැලෑවට රිංගන ඔහු මළ තැබීමෙන්, උගුල් ඇටවීමෙන් ​හෝ වෙඩි තැබීමෙන් හාවුන්, මුවන්, ඉත්තෑවන් මරා ආහාරයට ගත්තේය. මුවෙකු, ගෝනෙකු, ඌරෙකු වැනි විශාල සතෙකු මරාගතහොත් අසල්වාසීන්ටත් දීම ඔහුගේ සිරිත විය. ඉතිරි මස් ටික වේලාගත් ඔහු සෑමවිටම ආහාරයට ගත්තේය.  


 හාවෙකු, මුවෙකු, උරෙකු මරාගත නොහැකි වූ ද‌ාට ගිරවෙකු, මයිනෙකු, දඬුලේනකු හෝ මරා කෑමට ගත්තේය. එසේත් නොමැති වුවහොත් බිලීපිත්තක් රැගෙන වැවට ගොස් මාළු අල්ලා ගෙන ආහාරයට ගැනීම ඔහුගේ සිරිතය.

  
ඔහුගේ බිරිඳ එම මස් මාංශ පිසීමට අකමැති වූවාය. එබැවින් ඒ කටයුත්ත කරන්නේත් දයාපාල විසින්මය. බත්, එළවළු කෑමට රුචිකත්වයක් නොදක්වන ඔහුගේ කුසෙන් වැඩි හරියක් පිරෙන්නේ මස් මාංශ වලිනි. මිලදී ගත් මස් මාංශවල කිසිදු රසයක් නැතැයි පවසන්නේ තමන් විසින්ම මරන ලද සත්වයෙකුගේ මස්වල රස පිළිබඳ වර්ණනා කරමිනි.   


කුඹුරු ඉඩකඩම් හිමි වුවද ගොවිතැනට උනන්දුවක් නොදැක්වූ ඔහු ඒවා බදු දුන්නේය. එම මුදල් යොදවමින් තම දරු තිදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට උනන්දු වූයේය. මෙසේ කල් ගතවිය. ඔහුට උදරාබාධයක් වැළඳිනි. ගොඩ වෙදකම් කළ ද සුව​ නොවුණු බැවින් රජයේ රෝහලට ගොස් ප්‍රතිකාර ගත්තේය. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් පැවසුවේ ඔහුගේ බඩවැල් අතර පිළිකාවක් සෑදී ඇති බවයි.  


 ක්‍රමයෙන් රෝගය උත්සන්න විය. ශරීරය පූතිගත්තසිස්ස තෙරුන්ගේ මෙන් කුණුවීමට පටන් ගත්තේය. සිරුරෙන් එකතු වූ දුගඳ නිසා බිරිඳ, දරුවන් පමණක් නොව අසල්වාසීන් ද ඔහු ළඟට පැමිණීමට කැමැති වූයේ නැත.  


එසේ වුවද ඔහුගේ සොහොයුරාගේ පුතෙකු පමණක් එම දුගඳ ඉවසාගෙන ඔහුට උපස්ථාන කළේය. මෙසේ වසරක් පමණ අනන්ත දුක්විඳි දයාපාල අවසන් සුසුම් පොද වාතලයට මුසු කළේය. ගම්වාසීන් පැවසුවේ සතුන්ට දුන් වද වේදනාවන් ඔහුට ද මේ ආත්මයේම විඳීමට සිදුවූ බව කියායි.  

 



බිංගිරිය කොස්වත්තේ

ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවකි.  

‘පාදයක් අහිමි අබ්බාගතයකු බවට පත්වීම’  

වයඹ පළාතේ විසූ හරමානිස් දිනපතා ගවයන් හත් අට දෙනෙක් ඇතුන්ගහ කොටුව ප්‍ර​​දේශයේ මස් කඩයකට රැගෙන ගියේය. අඩු මිලකට මිලදී ගන්නා ගවයන් දෙන්නා බැගින් ඈඳාගෙන අතුරු පාරවල් ඔස්සේ අධික වේගයෙන් දක්කාගෙන යන අතරතුර සමහර ගවයෝ මරණ බයෙන් යා යුතු මාර්ගයෙන් පිට පැන හිස හැරුණ අත දිවීමට පටන් ගත්තෝය. තමන් මේ යන්නේ අවසන් ගමන බැව් ඉවෙන් මෙන් දැන ගැනීමෙනි.  


අතරමගදී ගවයෝ කඳුළු වගුරවමින් මරළතෝනි දෙමින් මහමඟ වැතිර ගන්නා අතර එම හරකුන්ට තදබල ලෙස කටුකම්බි ඔතන ලද පොලුවලින් පහර දෙන ඔහු වැතිර සිටින ගවයන්ගේ වලිග අඹරවා කඩා තදින් සපා කා ඔවුන් නැගිටවන්නේ මහත් පරිශ්‍රමයක් දරමිනි. එසේ නැගිට්ටුවන ගවයන් නැවත වේගයෙන් මස්කඩය වෙත දක්කාගෙන යන ඔහු මස් කඩයට උන් භාරදී මුදල් රැගෙන ආපසු පැමි​ණෙන්නේ තදබල ලෙස බීමත්වය.  


දිනක් මෙලෙස ගවයන් දක්කාගෙන යන අතරතුර ඔහුගේ තදබල පහරවල් වලින් කෝපාවිෂ්ට තරබාරු ගොන්නාම්බෙක් හරමානිස්ට බිම පෙරළාගෙන තදබල ලෙස ඇන්නේය. බරපතළ ලෙස තුවාල වූ ඔහු කුලියාපිටිය රෝහලට රැගෙන ගිය අතර මාස ගණනාවක් ඔත්පළව සිටි ඔහුගේ වම් පාදය කපා ඉවත් කිරීමට සිදුවූයේ හරමානිස් දියවැඩියා රෝගයෙන් ද පෙළෙමින් සිටි අයෙකු බවට හඳුනා ගැනීමෙන් පසුවය.  


කකුල අහිමි වූ ඔහු ටික ටික සුව වූ මුත් කිහිලිකරුවක ආධාරයෙන් මියයන තෙක්ම සිඟමනේ ගියේය. ඔහුගේ ජීවිතයේ අවසාන කාල වකවානුවේදී බිරිඳ හා දරුවන් ද ඔහුව නොසලකා හැරිය අතර සුදහගින්දරේ ජීවත් වූ ඔහු පරලොව ගියේ ‘මේ ජීවිතයේම කළ කම් පළදෙන හැටි’ ලොවට පෙන්වා දෙමිනි.  

 



අම්පාර, මිහිඳුපුර,  

අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවකි.  

ඉබ්බන් මරා කෑ සේදර කිඹුලන්ට ගොදුරු වූ හැටි  


ඉස්සර සිමෙන්ති ගඩොල් නොතිබුණ කාලයේ රජයේ ගොඩනැගිලි හා පුද්ගලික නිවාස ද ඉදිකෙරුවේ මැටි ගඩොලිනි. මේ නිසා මැටි ගඩොල් කැපීම රටේ බහුලව කෙරුණි. ළඟපාත අය ගඩොල් කැපීමට යෙදවූ විට ඔවුන් උදේ හතට අටට පැමිණ සවස හතර - පහ පමණ ආපසු යාම නිසා දිනපතා ගඩොල් වැඩි ප්‍රමාණයක් කපා ගැනීමට නොහැකි වීම නිසා පිට පළාත්වලින් කම්කරුවන් ගැනීම ලාභද‌ායක විය.  


 මේ අයට ගඩොල් වැඩබිම්වලම පොල් අතු, වාඩි සාද‌ා දී නතර වී වැඩ කිරීමට ඉඩ දුන් විට ඔවුන් අලුයම පහේ සිටම පමණ වැඩ පටන්ගෙන සවස ඇඳිරිවැටෙන තෙක්ම වැඩ කිරීම නිසා මෙසේ කරනු ලැබීය. ගඩොල් කපන ප්‍රමාණයට කුලී ගෙවන නිසා සමහරු හඳ ඇති දිනවල රෑද වැඩකරනු ලැබූහ.  


එක් අයෙක් පිටතින් හය දෙනෙකු ගෙන්වා නතර කරගත් අතර එහි වැඩ බැලීමට ගඩොල් බාස් කෙනෙක් ද පත්කෙරිණි. ඔහු වැඩබිම අයිතිකරුගේ පවුලේම අයෙකු විය. වැඩ කරන අයට අවශ්‍ය උපකරණ සපයා දීමත්, උයා පිහා ගැනීමට අවශ්‍ය බඩු බාහිරාදිය ගැනීම සඳහා ‘සුමාන කාසි’ ලබා දීමත් ඔහු අතින් සිදුවිය.  


මෙම වැඩබිම අසල කලින් ගඩොල් කැපීමට මැටි ගොඩ දමන ලද විශාල වළවල් රාශියක් ද තිබුණි. එම වළවල් ජලයෙන් පිරී තිබුණ අතර සැල්වීනියා, ජපන් ජබර වැනි පාසි වර්ග වලින් ජලය මතුපිට වැසී තිබුණි. මේ නිසා ඒවායේ ඉබ්බන් බහුලව බෝවී සිටියේය.  


එක් දිනක් වාඩියේ වැඩ කළ සේදර නම් අයෙක් මෙහි ඉබ්බන් සිටිනු දුටුවේය. ඔහු ඉබි මස් කෑමට කෑදර වූ අයෙකි. සතියකට දින දෙක තුනක් සවසට ගඩොල් බාස් ගෙදර ගිය පසු ගොස් ඉබ්බන් අල්ලා ගෙනැවිත් මරා උයාගෙන කෑමට පුරුදුව සිටියේය. සති තුන යන විට වාඩියේ වැඩ කරන හය දෙනාම ඉබි මස් කෑමට පුරුදු වූහ.  


මේ කණ්ඩායම රාත්‍රී කාලයේ ග​ඩොල් පෝරණුවලට ගිනි දමා සිටිමින් රහසිගතව කසිප්පු පෙරීමට ද පටන් ගත්තෝය. රෑ කසිප්පු පෙරා උදයට ගඩොල් බාස් ඒමට පෙර පෙරුම් උපකරණ හා කසිප්පු සඟවා තැබීමට ඔවුහු වගබලා ගත්හ.  


එක් දවසක ගඩොල් බාස් ගිය පසු සේදර ඉබ්බන් අල්ලා ගෙන ඒමට ගියේය. එහෙත් ඇඳිරි වැටෙන තෙක්ම ඔහු ආපසු නොපැමිණියේය. මේ නිසා කලබලයට පත් වූ ඉතිරි පස්දෙනා සේදර ඉබ්බන් අල්ලන වළවල් අසල සොයා බැලුවත් ඔහු සිටියේ නැත. අවට වාඩිවලට ගොස් සේදර පැමිණියේ දැයි විමසා බැලුවත් කිසිම ආරංචියක් දැනගැනීමට නොහැකි විය.  
 පසුදින උදයේ ගඩොල් බාස් පැමිණි විට සේදර කාටත් නොකියා පාන්දර කොහේ හරි ගොස් ඇති බව ඔහුට කීහ. ඊයේ සුමාන කාසිත් ගත්තානේ. ඌ පැනලා යන්න ඇතැයි කී ගඩොල් බාස් ආපසු ගොස් මේ බව පොලීසියට පැමිණිලි කළේය.  


දහවල් කාලයේ පොලීසියෙන් පැමිණ වැඩකරන අයගෙන් කරුණු විමසා අවට පරීක්ෂා කර බැලුවේය. එහිදී කසිප්පු පෙරන උපකරණ හා පෙරන ලද කසිප්පු ද පොලීසියට හමු විය. පස් දෙනාම පොලිස් අත්අඩංගුවට පත් විය. ප්‍රශ්න කිරීමේ දී කසිප්පු පෙරීම, ඉබ්බන් ඇල්ලීම හා සම්බන්ධ සියලු විස්තර හෙළිකරනු ලැබීය.  


 ඒ අනුව ඉබ්බන් අල්ලන වළවල් සෝදිසි කරගෙන යාමේදී කිඹුලන් කා දමා තිබුණ සේදරගේ මළ මිනිය ද සොයා ගනු ලැබීය. ඉබ්බන් මරා කෑමේ පළවිපාක මේ ආත්මයේදීම සේදරට පළදුන් බව මනාව පැහිදිලි නොවන්නේ ද?  

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න.  

 සකස් කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්