ඉන්දු-ලංකා ​ෙද්ශ සීමාවේ ලිහිණි රාජ්‍යය


නිල් පැහැයෙන් බබළන අහස් කුස මුදුනත කුඩා තිතක් හා සමව ඒ මේ අත කරක් ගැසූ ගොදුරු කුරුල්ලෙක් අප රැඳී සිටිනා දූපත වෙත සමීපවෙමින් සිටියි. ඉලක්කය ගෙන ඊයක් විද්දාක් හා සම වූ ගමන වේගවත්. නිශ්චිතයි. ඉහළ ගොදුරු සොයමින් පියාසැරියේ යෙදුණු උකුස්සා පළමු දැකුමේදී අහස් තලය පසුබිමේ කළු පැහැති කුඩා තිතක් හා සමව දිස් වුවත් කවාකාර වූ ගමන් පථයක් ඔස්සේ ක්‍රමානුකූලව පහළට සමීප වත්ම ඔහුගේ අනන්‍යතාව කවරේදැයි නිශ්චය කර ගැනීම වඩාත් පහසුයි. මේ පක්ෂියාගේ අනන්‍යතාව ගැන සිතෙහි උපන් සැකය සත්‍යයක්දැයි යන්න පසක් කර ගනු රිසියෙන් මම දෙනෙතියෙහි පිහිට ද පැතුවෙමි. 


මම හරි. කුරුලු බසින් හඳුන්වන නිසර්පනය නම් වූ ක්‍රියාවලියේ නිරතව සිටින්නේ උකුසු පවුලේ මහ ඇත්තන් ලෙස ප්‍රකට කුස ඇලි සයුරු කුස්සෙකි. ඔහු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඇති හැඩැයි. මන්ද යත් රත් වූ වායු ධාරාවකට අවතීර්ණ වීම වූ කලී මහන්සියකින් තොරව ගුවනත කරක් ගැසීමේ කාර්යය වඩාත් පහසුවෙන් ඉටු කර ගැනීමේලා මහෝපකාරී වන බව සහජ ඉවකින් මෙන් මේ පක්ෂීහු අවබෝධ කර ගෙන සිටිති. 

 

 

ඒ අනුව දිවා සමයේ රත්වී ඉහළ නඟිනා වායුධාරා උපයෝගී කරගනිමින් පුළුල් සර්පිලාකාර ගමන් පථයක් ඔස්සේ ඉහළ නැගීමට ගොදුරු පක්ෂීහු මහත් රුචිතාවක් දක්වති. පියාපත් විහිදා නිශ්චල කොටගෙන (නිසර්පනය) ඉහළ නඟිනුයේ ආයාසයකින් තොරවය. උණුසුම් වායුධාරා සමඟ ඉහළට එළැඹෙන පක්‍ෂියා එකී වායුධාරාව දුර්වලවී යත්ම එය අතැර නවමු වායු ධාරාවක් හමුවන තෙක් හිස් අවකාශයේ පාවීයයි. ඉඳින් මෙකී ක්‍රියාවලියට ලොබින් ගුවනත රවුම් ගසනා ගොදුරු කුරුල්ලෝ තම ඉලක්කයට නෙත ගැටීමෙන් අනතුරුව ගුවනේ සිට බිම් මට්ටම තෙක් සුපාවෙමින් පැමිණ තම ගොදුර ඩැහැ ගනුයේ කිසිදු හෝ අනුකම්පාවකින් තොරවය. අහස් කුස සරනා කුස ඇලි සයුරු කුස්සාගේ අරමුණද එයම විය යුතුයි. ගුවනත රවුම් ගසමින් සිටි හේ පියවරෙන් පියවර බිම් මට්ටම තෙක් පැමිණ ඇත්තේ කාටත් හොරා බව මා හට හැඟී ගියේ බිජු රකිනා මුහුදු ලිහිණියන් සියල්ලන්ම පාහේ තම කැදැලි අතැර ඒ අවට පියැඹිමත් හා සමගමය. බිත්තර බිඳ එළියට පැමිණි ඇතැම් පැටවුන් අනාරක්ෂිතව ඔබ - මොබ දිව යාමට පටන් ගෙන ඇත.

එනම් අනතුරක් අබිමුවදී සුරක්ෂිත වීමේ පළමු පාඩම තම මාපියන්ගෙන් ඉගෙන ගැනීමටවත් කාලයක් හෝ මේ අසරණයන්ට නොතිබෙන්නට ඇත. ගොදුරු පක්ෂියාගේ තියුණු කොකු හා සම වූ නියපොතුවල ග්‍රහණයට එක් පැටවෙක් හසු වනවාත් හා සමගම ජයග්‍රාහී සියුරුවම් හඬක් නැඟූ ආක්‍රමණිකයා මුහුදු ලිහිණියන් අතරින් වේගයෙන් ඉගිල ගියේ ඔවුන්ගේ විරෝධය ගැන කිසිදු හෝ ප්‍රතිචාරයක් නොදක්වමිනි. දිනකට හතර පස් වතාවක්ම මෙවැනි වූ ආක්‍රමණයන් මුහුදු ලිහිණි දූපතට පැමිණීම සාමාන්‍ය සිද්ධියක් සේ හැඟී යාමට නම් එම දූපතේ හෝරා දෙක තුනක් ගත කිරීම ප්‍රමාණවත් බව මා හට හැඟී ගියේ එවැනි වූ අවස්ථා කිහිපයක්ම නිරීක්ෂණය වූ බැවිනි. නමුත් මෙහිදී සඳහන් කළ යුතු යමක් ඇත. එනම් ස්වකීය කැදැලිවල ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම පක්ෂීන් සැලකිලිමත් වනුයේ යම් තර්ජනයක් එල්ලවනතුරු පමණි. එය අවසන් වූ වහාම සුපුරුදු හැසිරීම් රටාවට පැමිණෙන මොවුහු පෙර යම් බාධාවකට තමන් මුහුණ දුන්නේය යන්න මුළුමනින්ම පාහේ අමතක කර දමති. 


පුංචි සංධියේ කියවපු අපූරු වීර කතාන්දරයක් සිහිපත් කරවන නමක්. මේ ලිපියේ අරමුණ වෙන්නේත් ඒ වගේම වික්‍රමාන්විත. නමුදු සජීවි කතාන්දරයක් පාඨක ඔබට සමීප කිරීමයි. ඒ තමයි ලිහිණි දූපත සොයා ගිය වික්‍රමාන්විත ගමන. ඒ ගමනට එකතු වී අපූර්ව තොරතුරු රැසක්ම එළි කර ගන්න අපට හැකි වුණා. මේ ලිහිණි දූපත තියෙන්නේ පිටරටක නම් නෙමේ. අපේ රටේම තමයි. මන්නාරම කිට්ටුව. මන්නාරම් කියන්නේ මේ දවස්වල පර්යටනික කුරුල්ලන් පිළිබඳව අධ්‍යයනය කරන, පර්යේෂණ කරන අයගේ හොඳ නැවතුමක්. මොකද ඊශාන දිග වර්ෂාවත් එක්ක මේ ආරම්භ වුණේ පක්ෂි පර්යටනික සමයයි. මන්නාරම අවට කළපු පරිසරය, වාන්කාලෙයි කුරුලු අභය භූමිය කියන්නේ ආගන්තුක විහඟ මිතුරන්ගේ හොඳ ගැවසුම් කලාපයක්. 


ආදම්ගේ පාලම වැලි පර දූපත්. පිහිටීමෙන් 16ක්. සියල්ලකම ඇත්තේ වැලි පිරුණු පහත් බිම්. ඒ අතරේ සමහරක් දූපත්වල ඇත්තේ නොඋස් මිටි පඳුරු ස්වරූපයේ පැළෑටි ආවරණයන් පමණි. හාත්පසම රජයන්නේ අව් රැල්ලෙන් වර්ණ ගැන්වුණු ස්වේත පැහැය පමණි. මඳකට හෝ අස්වැසිල්ලක් ලැබෙනුයේ නිමක් නොමැතිව එ් කොන සිට මේ කොන දක්වා මහ සමුදුරෙහි දිය සිසිලස කැටිවී හමා විත් වත දැවටෙන මුහුදු සුළඟෙනි. මහා සමුදුරු දිය කඳ දැඩි අව් රශ්මිය අබිමුව වුව සුළගේ හස්තයට හසුව රැලි සරැලි නගමින් රඟන රැඟුම් සහ රළ ගෙඩි පෙර‍ළෙන හෝ හෝ හඬ හුදෙකලා දූපත් සමූහයේ රජයන නිහැඬියාව බිඳලීමට දරනුයේ අසාර්ථක වූ උත්සාහයක්ද? මේ නිහඬතාවෙහි ඇත්තේ ආයාචනයකි. 


ආදම්ගේ පාලම වැලිපර දූපත් සමූහය. ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරම අතර දූපත් 16ක් එක පෙළට පාලමක් වගේ පිහිටලා තියෙනවා. ඒ දූපත් සමූහය හඳුන්වන්නේ ආදම්ගේ පාලම (Adam's Bridge) වැලිපර දූපත් සමූහය යන නමිනුයි. දූපත් 16න් අපේ රටට අයත් දූපත් 08 ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදම්ගේ පාලම ජාතික උද්‍යානය යන නමිනුත්, ඉන්දියාවට අයිති දූපත් 08 ඉන්දියාව ගල්ෆ් ඔෆ් මැනාර් ජාතික උද්‍යානය ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත. ඒ කියන්නේ ඉන්දු - ලංකා දේශසීමා සලකුණු කරමින් ආදම්ගේ පාලම දූපත් සමූහයේ අටවැනි දූපත මැදින් මායිම දිව ගියත් මේ දූපත් සමූහය ආශ්‍රිතව පවතින ජෛව විවිධත්වය සහ ඓතිහාසික කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කර අන්තර්ජාතික වශයෙන් ගත්තු වැදගත් තීරණයක් වශයෙනුත් දූපත් සමූහයම එක් වනජීවී රක්ෂිතයක් වශයෙන් නම් කිරීම (Trance Boundary National Park) හැඳින්විය හැකියි. 


මිනිස් වාසයෙන් තොර නමුදු කාලයකට පක්ෂි වාසයට නතු වන ආදම්ගේ පාලම වැලිපර දූපත් කියන්නේ රහස් පුස්තකයක්. කාලයේ වැලි තලාව විසින් සඟවනු ලැබ සිටිනු ලබන ඒ නිහඬ වතගොත අතරේ ජනප්‍රවාද හා මුසු වු රසබර වැදගත්, නොපළ කතාන්තරයන් අපමණවත් වැළලී ඇත. ඉඳින් කාලයට ඉඩ හසර විවිර කරමින් එකී නොපළ කතාන්තරයන් අවදි කරලීමත් කාලීන අවශ්‍යතාවක්. 


හනුමන්තා පාලම, ආදම්ගේ පාලම සහ සේතු සමුද්‍රම් වශයෙන් නම් ලද මෙම වැලිපර දූපත් සමූහය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථිකමය - සමාජීයමය - සංස්කෘතිකමය වශයෙන් වැදගත් වූ බැඳීම් සමුදායක් ගොඩ නගා ඇත. සේතු සමුද්‍රම් යන්න මෙම භූ පිහිටීමට සුදුසුම නම වශයෙන් හැඳින්විය හැකිය. එනම් සංස්කෘතික බසින් සේතු යනු පාලමයි. සමුද්‍රම් යනු සයුරයි. ඒ අනුව සේතු සමුද්‍රම් යනු සයුරු පාලමයි. මෙම සයුරු පාලම යථාර්ථයක් බවට පත් කරමින් තැනූ පාලමක් පිළිබඳව රාම - රාවණ - සීතා ජනප්‍රවාදය හා සමග බැඳී ඇත. 


රාවණ සමග යුද වැදි රාම එම යුද්ධයෙන් පසුව එනම් විභීෂණ ලංකාද්වීපය පාලනය කරන සමයේදී රාම ලංකාද්වීපයෙන් වෙ​ෙළඳ බදු අය කර ගැනීම පහසු කර ගැනීම සඳහා නිරන්තර ගමනාගමනයට ලංකාද්වීපයත් ජම්බුද්වීපයත් යා කර පාලමක් තැනීමට හනුමාන් ප්‍රමුඛ වානර සේනාවට පවරා ඇත. එම නියෝගය ක්‍රියාවට නන්වමින් දෙරට අතර සැතපුම් 30කට ආසන්න දුරකට විහිදී ගිය මෙම වැලිපර දූපත් සමූහය යා කරමින් පාවෙන ගල් විශේෂයක් භාවිතයට ගනිමින් සමුදුර තුළ පාලමක් තැනූ බව ජනප්‍රවාදිතව එන මතයකි. 

 

මහා සමුදුරෙහි සිදුවන වඩදිය සහ බාදිය ක්‍රියාවලියට නිබඳවම මුහුණ දෙන නිසාදෝ මෙම දූපත්වල ස්වරූපය වෙනස් වනුයේ එසැණිනි. විටෙකදී වෙරළක ස්වරූපය ගත් වැලි වැටිය හෝරාවක් හෝ දෙකක් ගත වත්ම දිස් වනුයේ කරදියෙන් යටවූ මහා සමුදුරෙහිම කොටසක් හා සමව ය. දූපතෙහි වැලි අතරේ තැනින් තැන දිස් වන්නේ ගොල්ෆ් බෝල හා සමවූ බෝල හැඩැතිව විසිර ගිය මුහුදු ලිහිණින් විසින් අතැර දැමුණ බිත්තරය. එම බිත්තර අතැර දැමීමට මෙම පක්ෂීන්ට හේතුව වූයේ කවර කරුණක් විය හැකිද? යන්න මෙතෙක් මා හට ගැටලුවක්ව පැවැතුණ ද අප ඇස් අබිමුවදීම එයට හේතුව වූ පාරිසරික සංසිද්ධිය දැක බලා ගත හැකි විය. එනම් සොබාදම් මාතාවගේ පාරිසරික සමතුලිතතාවේ ඇති වැදගත්කම පිළිබඳව වන පාඩමද මෙහිදී මොනවට පසක් වේ. 

නිරන්තරවම වඩදිය හා බාදිය ක්‍රියාවලියට නතු වන මෙම වැලිපර දූපත් විටෙන් විට වෙනස් හැඩ තලවලට භාජනය වෙමින් විවිධ වූ භූ රූප මවයි. එනම් එම වැලිපර වැටිය නිශ්චිත පිහිටීමක් නොපෙන්වයි. මුහුදේ වඩදිය සහ බාදිය අවස්ථාවන්වලදී මෙම නොගැඹුරු වැලි වැටිය චලනය වන දූපත් සමූහයක් හා සමැව ක්‍රියාත්මක වෙමින් වෙනස් වේ. එබැවින් චලන දූපත් වශයෙන් ද මෙම දූපත් හඳුන්වයි. 

 

 

ආදම්ගේ පාලම් වැලිපර දූපත් සමූහයේ තෙවන දූපත ගවේෂණය සඳහා අප පිරිස දූපතට ගොඩ බට මොහොතේ සිටම එහි පදිංචිකරුවන් බවට පත් වී සිටිනා මුහුදු ලිහිණියන්ගේ සාමාන්‍ය හැසිරීම් රටාව වන කලබලය මුසු වූ හැසිරීම් ස්වභාවය මහා ගාලගෝට්ටියක් බවට පත් විය. මෙතෙක් පැවැති මහා සමුදුරු ඝෝෂාව පරයමින් මුහුදු ලිහිණින්ගේ ක්‍රෑක්...... ක්‍රෑක්....... පක්ෂි නාදය රැව් පිළිරැව් දෙන්නට විය. ස්වකීය හුදෙකලා නිවස්නය වෙත අනපේක්ෂිත මොහොතක සපැමිණි ආගන්තුකයන් පලවා හරිනු වස් මහා හඬින් කෑ මොර දෙනු විනා මේ කුරුලු - කෙවිලියෝ අන් කුමක් කරන්නද? ඇවිද යා හැකි නමුදු පියැඹිය නොහැකි අවධියේ පසු වන කුඩා කුරුලු පැටවුන් හදිසි අවස්ථාවකදී කරනුයේ සැවොම එක්ව කුඩා වළක් හා සමව පිහිටි ස්ථානයකට රැස් වීමය. ඒ අතරේදී පැටවුන්ගේ මාපිය සමූහයම ඔවුන් වටවන සේ කවාකාරව පියාඹමින් සහ පැටවුන් ආවරණය වන සේ ස්වකීය දිගු පියාපත් දිගහැර කුඩාවුන්ට ඉහළින් ගුවනේ එකට රැඳෙමින් අවැසි රැකවරණය ලබා දෙමින් ආරක්ෂාව සපයයි. 


ඈත සමුදුර දෙසින් පැමිණි මුහුදු ලිහිණින් රෑනක් දූපත දෙසට පියාසරමින් පැමිණ එක් වනම ස්වකීය කැදැලි සොයා ගියේ ආයාසයකින් තොරවය. එනමුත් මෙම පක්ෂීන් පිළිබඳව හොඳින් නිරීක්ෂණය නොකරන්නෙකුට නම් හැඟී යනුයේ මුහුදු ලිහිණින් තමන්ට රිසි රිසි කැදැලි වෙත පියාඹා පැමිණෙන බවකි. මන්ද යත් දූපතේ විසිර ගිය වැලි තලාව පුරාම ඇත්තේ කුරුලු කැදිලිය. එහි ලැඟ සිටින පක්ෂීන් හැඩයෙන් ද එක හා සමාන වෙයි. කොටසක් බිජු රකියි. තවත් කොටසක් බිත්තර බිඳ මෙලොව එළිය දුටු අලුත උපන් පැටවුන් අව්රශ්මියෙන් මුවා කරනු වස් අත් තටු විහිදා ගෙන ඔවුන්ට සෙවණ සපයයි. ඇවිද යාමට තරමේ වැර වීරියක් නැති පැටව් දැඩි සූරිය තාපය හමුයේවුවද මේ ලද අස්වැසිල්ලේ සැනහෙමින් මා පිය පා මුල නිදි කිරමින් පසුවෙති. තවද ඔවුන් මෙසේ ගත කරනුයේ තවත් දිනයක් හෝ දෙකක් පමණි. ඉනික්බිතිව දුෂ්කර සහ කටුක වූ පරිසරය සමග ගැටෙමින් ඉක්මනින් උස් මහත්වීමේ හැකියාව සොබාදම් මාතාව ඔවුන් වෙත ලබා දී ඇත. ඇවිද යාමට හැකියාව ඇති පැටවුන් දිස් වනුයේ කුඩා කුකුළු පැටවුන් හා සමව ය. ඔවුහු කුඩා කණ්ඩායම් සැදී මාපියන් පසුපස දුවනුයේ ඔවුන් හා සමග පියාසරනා අටියෙන් වුවත් පියාසර පිහාටු පවා වර්ධනය නොවූ පැටවුන් අවසන පියාසරනා මාපියන් දෙස බලා හිඳිනා අයුරු සැබැවින්ම සිතෙහි ජනිත කරනුයේ කනගාටුවකි. එසේ වුවත් ඔවුන්ද මතු යම් දිනෙක දී මාපියන්ට නොදැවෙනිව පියාසරන්නේය යන යථාර්ථය සිතට ගෙන එනුයේ යම් සහනයකි. 


පක්ෂි පර්යටනික ගමන් මාර්ගයේ සුවිශේෂී වූ ප්‍රවිශ්ටයක් ආදම්ගේ පාලම දූපත් සමූහය සලකුණ කරයි. උතුරු දිග සෞම්‍ය කලාපීය දේශගුණික තත්ත්වයන් හමුයේ දිවි ගෙවන පක්ෂි විශේෂ ස්වකීය ඡන්ම බිම් ආශ්‍රිතව කටුක වූ පාරිසරික තත්ත්වයන් උද්ගත වන කාල සම උදාවත්ම එම අභිජනන බිම් අතහැර යහපත් වූ පාරිසරික තත්ත්වයන් සහිත ගොදුරු බිම් ව්‍යාප්තව ඇති උණුසුම් නිවර්තන ප්‍රදේශ කරා පර්යටනය කරයි. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දු පියාසැරි ගමන් මගෙහි දකුණු අන්තයට වන්නටය. එබැවින් ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වෙරළාශ්‍රිතව පැමිණෙන සංචාරක පක්ෂීහු අප රටට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයක් වශයෙන් ද ආදම්ගේ පාලම දූපත් සමූහය භාවිතයට ගනිති. ඉන්දියාවේ ධනුස්කොඩියත් - ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරමත් අතර පිහිටා ඇති මෙම දූපත් සමූහය පර්යටනික පක්ෂීන්ගේ ගමන් මගෙහි ඉදි වූ සොබාවික පාලමක් හා සම වූ පිහිටීමක් වශයෙන්ද හැඳින්විය හැකිය. 


උස් වූ වැලි වැටියක් හා සමව දිස් වූ බිමක් තෝරා ගෙන තම කැදැලි තැනූ මුහුදු ලිහිණින් ඊට පසු දින ඒවා මුහුදු දියට යටවීමට ලක් වේ යැයි කිසිදු විටෙකදී හෝ නොසිතන්නට ඇත. නමුදු සිදු වූයේ ඒ නොසිතූ දෙයමය. ගලාගෙන ආ මුහුදු දියට යට වීමෙන් බිත්තරද සමග ඔවුන්ගේ කැදැලි ඔවුන්ට අහිමි විය. කරදියට හසු වූ බිත්තර ඉන් මොබ වැලි වැටිය වෙත ගොඩ ගසා ඇත්තේ එකක් දෙකක් නොව සිය දහස් ගණනින් වේ. ඉඳින් මඳක් සිතන්න. සංඛ්‍යාත්මකව ගිණිය නොහැකි තරමෙන් ව්‍යාප්තව සිටිනා මේ පක්ෂීන්ට වසරකට එක් වරකදී පමණක් බිජු ලෑමටත්, ඔවුන් දමනා බිත්තර සියල්ලම සරුතාවයට පත් වී ඉන් පැටවෙකු බිහිවන තුරු සුරක්ෂිත වීම වෙනුවට විවිධ වූ ස්වභාවික විපත්තීන්ට භාජනය කරලීම හරහා සිදු වන්නේ පාරිසරික සමතුලිතතාව ආරක්ෂා වීම නොවන්නේද? නැතිනම් මුහුදු ලිහිණින් අසීමාන්තිකව අභිජනනය වීම හරහා සිදු වන්නේ පාරිසරික සමතුලිතතා බිඳ වැටීමකි. 


වසරේ අවසන් භාගයේ මුල් මාස අතරේදී පමණක් සිදුවන මුහුදු ලිහිණියන්ගේ සුවැදීමේ ක්‍රියාවලිය ඊශාන දිග මෝසමට සමගාමීව අවසන් අදියරයට පැමිණේ. මන්ද යත් එසමයට සංචාරක පක්ෂීන් ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රධාන ගමන් මාර්ගයක් වන ආදම්ගේ පාලම වැලිපර දූපත් සමූහය මහත් වූ කලබලකාරීත්වයක් ද උසුලයි. එබැවින් ලහි ලහියේම ස්වකීය අභිජනන කටයුතු අවසන් කරයි. ආදම්ගේ පාලම ජාතික උද්‍යානයට අයත් දූපත් 08න් තෙවන දූපත මුළුමනින්ම පාහේ මුහුදු ලිහිණියන්ගේ ආධිපත්‍යට නතු වේ. මුහුදු ලිහිණියන් තම කැදිලි තැනීම සඳහා සුදුසු ස්ථානයන් තේරීමේදී ලෝකයෙන් හුදෙකලාව මෙන් පිහිටා ඇති මෙම දූපත්වල පිහිටීම පිළිබඳවත් විශේෂයෙන්ම අවධානය යොමු කරන්නටද ඇත. ඔවුන්ගේ රුචිකත්වයට මෙම දූපත්වල හුදෙකලා වූ පිහිටීමත්, තම කුඩා පැටවුන්ට විලෝපික සතුන්ගෙන් සිදුවන හිරිහැර අවම වීමත් යන කරුණුද බලපාන්නට ඇත. පැහැදිලි වශයෙන් හඳුනාගත හැකි මුහුදු ලිහිණින් විශේෂ 07ක් ආදම්ගේ පාලම වැලිපර දූපත් අතරේදී නිරීක්ෂණය කළ හැකිය. පෙර පෙම් රැඟුම් පාමින්, කැදැලි තනමින්, බිජුලමින්, බිජු රකිමින් සහ පැටවුන් පෝෂණය කරමින් කලබලකාරී වූ දිවි පැවැත්මකට ආදම්ගේ පාලම වැලිපර දූපත් සමූහය නතු කිරීමට නිබඳවම වෙහෙසෙන මුහුදු ලිහිණියන්ගේ නොපළ වතගොත සැබැවින්ම මනරම් ය. 


අපගේ ඇසට හසුවන මානයෙන් ඔබ්බට දිවගිය සුවිශේෂීත්වයක් මෙම පාරිසරික කලාපය ආශ්‍රිතව පවතී. දුටු මතින් හැඟෙනුයේ මහා පරිමාණයෙන් ගොඩ ගැසූ වැලිවලින් සමන්විත වූ දූපත් සමූහයක් ලෙසින් වුවත් ඒ පිළිබදව අධ්‍යයනය කිරීමේදී හැඟෙනුයේ මෙකී සංවේදී වූ පාරිසරික කලාපයට යම් බලපෑමක් එල්ලවීම යනු මුළු මහත් වූ ලෝකයටම යම් ව්‍යසනකාරී තත්ත්වයන් උද්ගත විය හැකි බවය. යම් සංවර්ධන ක්‍රියාවලියක් සඳහා මෙවැනි වූ සංවේදී සහ සංකීර්ණ බවින් වැඩි පරිසර පද්ධතීන් යොදා ගැනීම සඳහා යෝජනා ගෙන එන්නේ නම් ඒ පිළිබඳව වරක් - දෙවරක් නොව යළි - යළිත් කරුණු අධ්‍යයනය කරමින් සුදුසු යෝජනාවන් සැකසිය යුතුව ඇත. සිතන්න..... යම් දුරවබෝධී ආර්ථිකමය සංවර්ධන ක්‍රියාවලියක් හේතුවෙන් එය ක්‍රියාත්මක කරනා රටට යම් සංවර්ධන ඉලක්ක කර ගත් ආර්ථීකමය වාසියක් අත්විය හැකිය. නමුත් එම සාර්ථකත්වය පදනම් වන්නේ සංවර්ධනය යන න්‍යාය මත පමණි. ඒ මගින් උද්ගත විය හැකි පාරිසරික ව්‍යසනයේ බලපෑමට එම රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම මුහුණ දීමට සිදු විය හැකිය. වි‍ශේෂයෙන්ම මෙවන් වූ පාරිසරික වටපිටාවක් අබිමුවදී එය සිදු වීමේ ප්‍රවනතාවය ද වැඩි වේ. මුහුදු කලාපයන් දෙකක් වෙන් කරමින් තැනූ ස්වභාවික තාප්පයක් හා සමවන මෙම වැලිපර බැම්ම ඉවත් වූවේ යැයි සිතන්න. එවිට මතුවන පාරිසරික බලපෑම් අප රටට පමණක් නොව සමස්ත ලෝකයටම වුවද බලපෑම් එල්ල කිරීමට සමත් වනු ඇත. සුපුරුදු පරිදි ගමන් ගත් දිය වැල්වල ගමන් මාර්ගය වෙනස් වී මුහුදු ජලයේ උෂ්ණත්වය වෙනස් වීම්, සාගර ජලයේ අධික තෙරපුම නිසා ඇති වන පීඩනය, ලවණතාවේ වැඩි වීම්, ස්වාභාවික ප්‍රවාහයන්ගේ රටා වෙනස් වීම්, පෝෂක ද්‍රව්‍යයන්ගේ ගලායාම් වෙනස් වීම හරහා සාගර ජීවීන්ගේ ජීවිත පැවැත්වීමට ඇතිවන බලපෑම්, කොරල්පර පද්ධතියට සහ ඒ ආශ්‍රිත ජීවීන්ටත් ස්වභාවික ආරක්ෂිත වැටක් හා සමව පැවැති සමයේදි එය නිවස්න කොට ගෙන ජීවත් වූ වඳවීමේ තර්ජනයට මුහුණ දීමට ලක් වූ ජීවී සහ කොරල් විශේෂයන්ටත් ආදී වශයෙන් බලපෑම් ඇති කරමින් මේ ජෛව විද්‍යාත්මක විද්‍යාගාරයම විනාශ විය හැකිය. 


ආදම්ගේ පාලම ජාතික උද්‍යානය යනු සොබාදම් මාතාවගේ අපූර්ව වූ නිර්මාණයක් වන්නා සේම එය ශ්‍රී ලංකාව ලද අමිල දායාදයක් වශයෙන්ද හැඳින්විය හැකිය. ඉඳින් මේ අමිල වූත් - අනගිවූත් - අපූර්ව වූත් සොබාදම් නිමැවුම අනාගත පරපුර වෙනුවෙන් උරුම කරදීම සඳහා සංරක්ෂණය කිරීමේ මහඟු වූ කාර්යභාරය වෙනුවෙන් තමන්ට හැකි අයුරින් දායකත්වය ලබාදීම පුරවැසියන් වන ඔබ - අප සැමගේ වගකීමකට එහා ගිය යුතුකමක් බවත් තරයේම සිහි තබා ගැනීම යෙහෙකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

සටහන: සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික
සේයා රූ: සමිත හරිස්චන්ද්‍ර / රෝහිත ගුණවර්ධන