ඉන්දියාවෙන් ලංකාවට ආ බත් ගස


ගසක කතාව 

 

 

 

බත් වෙනුවට තිබෙන හොඳම ආදේශකය කොස් යැයි කීවොත්, දෙසැරයක් නොසිතාම ඔබ එය අනුමත කරනු ඇත. ඊට හේතුව වන්නේ මෙහි ඇති පෝෂණ ගුණයයි. වර්ධක අවධියට අනුකූලව මැල්ලුම් පොලොස්, ඇඹුල් පොලොස්, කිරි කොස් මාලුව, කොස් වෑංජනය ආදී වශයෙන් සකසා ආහාරයට ගත හැකි නිසා “බත් ගස” යනුවෙන් ද හැඳින්වේ. එපමණක් ද නොව එළවළුවක් ලෙස මෙන් ම ප්‍රනීත පලතුරක් ද වේ. 


උද්භිද විද්‍යාත්මකව Artocarpus hererophylus Lam යන නමින් මෙම ශාකය හැඳින්වේ. මොරේසියේ කුලයට අයත් ද්වි බීජ පත්‍රී බහුවාර්ෂික ශාකයකි. ආයුර්වේද සාහිත්‍යයේ ඉතා වැදගත් පුස්තකයක් වන්නේ සාරාර්ථ සංග්‍රහයයි. කොස් ගසේ සියලුම කොටස් ඖෂධීය ගුණයෙන් යුක්ත බව එහි සඳහන් වේ. මෙහි මුල්, පොතු, කොළ, දළු, පනාමල්, පොලොස්, පැසුණු කොස්, වැළ, වරකා ආදී සියලු කොටස් විවිධ වූ රෝගයන් සඳහා පමණක් නොව අලුත් අවුරුදු නැකතට, මල්වර නැකතට ද පැරැන්නන් භාවිතයට ගෙන තිබේ. 


මෙහි ඉතිහාසය හතරවැනි ශත වර්ෂය තරම් ඈත අතීතයකට දිව යන බව මහා වංශය පරිශීලනය කිරීමේදී පෙනී යයි. ඉන්දියාවේ සහ මැලේසියාවේ වනාන්තරවලින් මෙහි ව්‍යාප්තිය ආරම්භ වී ඇත. 


පසු කාලයේ ඉන්දියාවේ සිට දකුණු චීනය, ශ්‍රී ලංකාව, දකුණු ආසියාතික රටවල මෙන් ම කෙන්යාව, උගන්ඩාව, සැන්සිබාර්, මුරිසි හා මැඩගස්කර ප්‍රදේශවලට ද 19 වැනි ශත වර්ෂයේ දී, බ්‍රසිලය, සුරිනාම්, ජැමෙයිකාව හා ඕස්ට්‍රේලියාවට ද ව්‍යාප්ත වී ඇත. කොස් වගා කිරීමේ වපසරිය අනුව ඉදිරියෙන් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව ද අයත්ය. අනෙක් රටවල් වන්නේ බංගලාදේශය, බ්‍රසීලය, මියන්මාරය, ඉන්දියාව, ඉන්දුනීසියාව, නේපාලය, මැලේසියාව, පිලිපීනය, තායිලන්තය වැනි රටවල්ය. 


මහා පරාක්‍රමබාහු රජු ගේ කාලයේ මෙම ශාකයේ පැළ ලක්ෂයක් පමණ සිටුවා ව්‍යාප්ත කර ඇත. කන්ද උඩරට එළිමහන් සිරකරුවෙකු වූ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස්, කොස් සහ ලාංකේය ජන ජිවිතය අතර තිබූ සබැඳියාව පිළිබඳ විස්තරයක් ඔහුගේ කෘතියට ඇතුළත් කර තිබේ. ඉන් කොටසක් මෙසේය.. 


“ලංකාවාසින් හට බොහෝ ප්‍රයෝජනවත් වූ මේ ගසින් ඔවුන්ගේ ආහාරයෙහි සැලකිය යුතු කොටසක් පිරිමැසෙන්නේය. ගස තරමක් වැඩී ගිය කල ගෙඩි හට ගනී. මේ ගෙඩි අප රටේ පැතලි පාන් ගෙඩියක් තරමට විශාලය. පිට පැත්ත කටු සහිතය. ගෙඩිය කොළ පාටට හුරුය. මේ ගෙඩියේ ඇතුළත මදුළු ද, ඒ තුළ ඇට ද පිහිටා ඇත. සිංහලයෝ මේ ඇටවලට බිත්තර යයි කියති. කොස් ගෙඩි පලු කොට කපා මදුළු වෙන්කොට ගෙන තම්බා බත් වෙනුවට කුස පුරා අනුභව කරති.” 


රොබට් නොක්ස් ගේ කතාවට උදාහරණයක් කුණ්ඩසාල ප්‍රදේශයෙන් සොයා ගත හැකිය. එනම්, මෙරට සිංහල රජවංශයේ අවසන් රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා පරිභෝජනය කළ වරකා ගස, කුණ්ඩසාල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජමහා විහාරස්ථානයේ පිහිටා ඇත. 


1896 දී, පමණ ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන වගාව සමග මුලින් ම, කොස් වගාව ආරම්භ කර තිබුණත්, 1918 වසරේ දී ශ්‍රීමත් ආතර් වී ඩයස් මහතා කොස් ගස් දස ලක්ෂයක් වගා කිරීමේ ව්‍යාපාරය අරඹා එහි පෙරමුණ ගැනීමත් සමග ම නැවතත් මෙරට කොස් ශාකය සීග්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත්තේය. 
කෙසේ වෙතත්, එදා කෙත්වතු, හරකාබාන ගම් විනාශ කරමින් ඉංග්‍රීසින් හෙළ විරුවන් සමග සටන් කළේ ආහාර හිඟයක් ඇති කර, ඒ මගින් හෝ පරාජය කිරීමේ අදහසිනි. එහෙත් සිංහලයෝ සටන අත හරියේ නැත. ඒ කොස් ආහාරයට ගත් නිසාය. ඒ බව දැනගත් ඉංග්‍රීසින් මෙම ගස් කපා දමන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙවන ලෝක යුද්ධ සමය වන විට, ආහාර හිඟයක් පැවති අතර ඊට විසඳුමක් වශයෙන් ආතර් වී ඩයස් මහතා කොස් ගසට යළිත් ජීවය ලබා දුන්නේය. ඒ අනුව කොස් ඇට සංරක්ෂණය කරමින් ගම්, නියම් ගම්වල ඇවිද ගොස්, මෙහි වටිනාකම ගැන කියා, ජනතාව දැනුම්වත් කළහ. ආරක්ෂා කිරිමට නීති සම්පාදනය කළේය. අදටත් අනවසරයෙන් කොස් ගස් කැපීම තහනම් වී ඇත්තේ ඒ නිසාය. “කොස් මාමා” යන අන්වර්ථ නාමයෙන් ද, හඳුන්වන ඔහු වෙනුවෙන් ආතර් වී දියස් නමින් කොස් ප්‍රභේදයක් නිකුත් කර ඇත. 


කොස් ඉදුණු පසු වැල හා වරකා වශයෙන් මාංශලයේ මෘදු හා තද බව අනුව වර්ග දෙකක් ලෙස දක්නට ලැබේ. විවිධ වර්ග ඇතත් ඒවා සැම විටම එක හා සමාන නොවේ. ෆාදර්ලෝංග්, මහරගම, කොත්මලේ, රෝස, මන්ඩූර්, ආතර් වී දියස්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත වරකා ප්‍රභේද කිහිපයකි. 


2007 වසරේ සංඛ්‍යා ලේඛන අනුව හෙක්ටයාර් 50,000 ක කොස් ගස් දක්නට ලැබුණු අතර, වාර්ෂිකව කොස් ගෙඩි ටොන් මිලියන 2.4 ක පමණ සංඛ්‍යාවක් හට ගනු ලැබේ. පලතුරු ශාක අතුරින් හරි අඩක් ම, කොස් වීමත් විශේෂත්වයකි. එක් පුද්ගලයෙක් වසරකට කිලෝ ග්‍රෑම් 2.8 සිට 21.8 දක්වා අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නා බව සඳහන් වේ. හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට නම්, වසරකට කිලෝ ග්‍රෑම් 40 ක ප්‍රමාණයක් වත් ආහාරයට ලබා ගත යුතු බව පෝෂණවේදීන් ගේ අදහසයි. එහෙත් කනගාටුවට කරුණ නම්, මේ තරම් කොස් තිබෙන රටේ ඉන් භාගයක් වත් එක් පුද්ගලයෙක් ආහාරයට නොගැනීමයි. 


වසරකට බත් පිඟන් කීයකට කොස් ලබා ගත හැකිද යන්න ගැන හරි හැටි සංඛ්‍යා ලේඛන නොමැති වුවත්, හොඳින් මෝරා ඇති කිලෝ 10 ප්‍රමාණයේ ගෙඩියකින්, (කොස් කට්ට ඇතුළු අනවශ්‍ය කොටස් ඉවත් කිරීමෙන් පසු ඉතිරි වන කොටස්) පස්, හය දෙනෙක් සිටින පවුලකට, කිරි හොද්දක් සමග එක වේලක් පිරිමසා ගත හැකිය. 


එකිනෙකට වෙනස් ලක්ෂණ සහිත වර්ග 34 ක් පමණ ගන්නෝරුව පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ස්ථානයේ ක්ෂේත්‍ර ජාන බැංකුවේ ද, තවත් විවිධ වූ දර්ශ 39 ක් පමණ හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ජාන බැංකුවේ ද, සංරක්ෂණය වෙමින් පවතී. 


කොස් ගසෙන් මිනිසාට මෙන් ම සමස්ත ජීවි පද්ධතියට සිදු කරනු ලබන මෙහෙය අතිවිශාලය. ආහාර, දැව හා ඖෂධ වශයෙන් වටිනාකමක් ලබා දෙනවාට අමතරව වැඩුණු කොස් ගසක් වසරක් තුළදී මිනිසාට සලසන සේවාව පිළිබඳ මහාචාර්ය ටී.එස්. දාස් මහතා, මුදලින් මෙසේ තක්සේරුවක් ලබා දී ඇත. එනම්, ඔක්සිජන් නිෂ්පාදන, පස සුරුකීම, තෙතමනය රැකදීම, සතුන් රක්ෂණය සඳහා රුපියල් 21,000.00 බැගින් ද, පරිසර පාලනයට රුපියල් 51,000.00 ක් ද, මාංශජනක ධාතු පිළියෙළ කිරිම සඳහා රුපියල් 4000 ක් ද, ඒ අනුව මුළු මුදල රුපියල් 139,000 ක් වශයෙන් මුල්‍යමය වටිනාකමක් මිනිසාට ලබාදෙන බවය. (උපුටා ගැනීම චින්තක සී ගුණදාස මහතා විසින් 2007 වසරේ දී රචිත හෙරළිය වරුණ කෘතියෙනි) 


කොස්වලින් විවිධ වූ කෑම සාදා ගත හැකි බව අප කවුරුත් දන්නා කරුණකි. ඒ අනුව සම්ප්‍රදායික පොලොස් ඇඹුල, පොලොස් සම්බෝල, පොලොස් සීනි සම්බෝලය, පොලොස් චට්නි, පොලොස් මැල්ලුම ද වහලු, සිබිඩි, දළු, කොළ ආශ්‍රිත කෑම අතර කොස් වහලු මාළුව, සිබිඩි මාළුව, ළා කොස් දළු සලාදය, කොස් කොළ පානය, වැළ, වරකා බීම, කොස් මදුළු ආශ්‍රිත ආහාර අතර, සම්ප්‍රදායික කොස් මාළුව, කිරි කොස් මාළුව, කොස් තැම්බීම, තොම්පරාදුව හා කූරැ ගෑම, නවින පන්නයේ ආහාර අතර, අපූරු රසැති කොස් මිශ්‍රණය, කොස් පීට්සා, කොස් වඩේ, කොස් මිශ්‍ර සලාදය, කොස් සෝස්, කොස් රෝල්ස්, වරකා ස්ටූ, කොස් අච්චාරුව, කොස් පිට්ටු, කොස් කට්ලට්, කොස් මදුළු කට්ලට්, කොස් පපඩම්, කොස් මෝජු, කොස් කොත්තු, කොස්වලින් සාදා ගන්නා ආහාර අතර කිහිපයකි. 


2000 වසරේදී හෙක්ටයාර් 48,225 ක භූමි ප්‍රමාණයක වගා කර අස්වැන්න ලෙස කොස් ගෙඩි 266,589 ක් ද, 2001 වසරේදී හෙක්ටයාර් 47,382 ක වගා කර කොස් ගෙඩි 270,027 ක් ද, 2002 වසරේදී, හෙක්ටයාර් 48,818 කින් කොස් ගෙඩි 279,926 ක් ද ලබා ගෙන ඇත. 


පනා, හෙරලි යන විවිධ නම්වලින් හඳුන්වන කොස් ගසෙන් අප තවමත් නිසි ප්‍රයෝජන ලබාගන්නා බවක් පෙනෙන්නට නැත. එනම් වාරයේ දී ගස් යට වැටී අභාවයට යන ගෙඩි ප්‍රමාණයෙන් ඒ ගැන සනාථ කර ගත හැකිය. තවමත් කොස් අපතේ නොහැර ප්‍රයෝජනයට ගත හැකි නව නිෂ්පාදන ගැන පර්යේෂණ සිදු වෙන්නේ අවම මට්ටමින් වන අතර, ඒ ගැන මීට වඩා උනන්දු වුවහොත් අප ආර්ථිකය ශක්තිමත් කර ගැනිමට විශාල පිටුවහලක් ලැබෙන බව නම් සහතිකය. 


ස්තුතිය - පේරාදෙණිය උදභිද දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර, ගන්නෝරුව උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරි කේ.ජී.එස්. සෙනෙවිරත්න යන මහත්වරුන්ට. 

 

 

සටහන සහ ඡායාරූප සිසිර කුමාර බණ්ඩාර