ඉන්දියාවට කොරෝනා භීතිය ගෙනා විකෘති වයිරසය


ඉකුත් වසරේ මාර්තුවේ සිට මේ දක්වා ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් අසාදිතයන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව ගෙවී ගිය සතිය පුරා ඉන්දියාවෙන් වාර්තා වූයේ නැවත එකල බුදුන් සමයේ විසාලා නුවර ඛේදාන්තය අපට සිහිපත් කරමිනි. ඉන්දියාවේ කොරෝනා වයිරස් ආසාදිත සංඛ්‍යාව මෙලෙස වැඩි වීමට හේතු වී ඇත්තේ එරට ජනතාව නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම නිසාය. ඉකුත් දා එරට අවසන් වූ හින්දු බැතිමතුන් සහභාගී වූ හෝලි උත්සවය, කුම්භ මේලා ආගමික උත්සවය ආදී ආගමික උත්සව, මැතිවරණ රැළි මේ සියල්ල මෙම කොරෝනා රෝගීන් වර්ධනය හේතු වී ඇත.   


මෙම වයිරසය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඉන්දියාවෙන් හමු වූ කොරෝනා ත්‍රිත්ව ප්‍රභේද විකෘතිය හේතුවෙනි. එම නව ප්‍රභේදය B.I. 617 නමින් හඳුන්වයි. E 484 කියු සහ L 542 R යන ප්‍රභේද ඊට ඇතළත් වෙයි. මේ වන විට ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයන් එන්නත් සඳහා ප්‍රතිචාර නොදක්වා පැතිර යන්නේ දැයි සොයා ගැනීමට එංගලන්ත සෞඛ්‍ය අංශ විසින් පර්යේෂණ සිදුකරමින් පවති. කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද බ්‍රිතාන්‍යයෙන්, දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව, බ්‍රසීලය ඇතුළු රටවල් 10 කින් වාර්තා වුවද මෙලෙස ත්‍රිත්ව ප්‍රභේද විකෘතියක් ප්‍රථම වරට වාර්තා වූයේ ඉන්දියාවෙන් යැයි පැවසේ.   


එරට දෛනිකව වාර්තාවන ආසාදිතයන් ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා අඛණ්ඩව 9වැනි දිනටත් වාර්තා වූයේ ඉකුත් 21 වැනිදාය. එදින ඉන්දියාවේ පැය 24ක් තුළ කොවිඞ් ආසාදිතයන් 294,290 ක් වාර්තා වී තිබේ. ඒ මේ දක්වා එරටින් වාර්තාවූ වැඩිම දෛනික අසාදිත සංඛ්‍යාව වීම විශේෂත්වයකි. ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ මුළු ආසාදිත සංඛ්‍යාව 15,609,004ක් දක්වා ඉහළ ගොස් තිබේ.   


ඉන්දියාවේ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවද ඉකුත් 21 වැනිදා වාර්තා විය. එම සංඛ්‍යාව 2,020 කි. ඒ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 182,570ක් දක්වා ඉහළ ගියේය. ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කර සිටින්නේ කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගෙන සිටින බවය. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරා ගත නොහැකි තත්ත්වයක් බවට පත්වී ඇති බව සඳහන් වේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ද දැඩිම පීඩාවකට ලක්ව සිටින බව කියැවේ.   


ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගෙන් හතරෙන් එකක් වාර්තා වන්නේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. මේ අතර කොවිඩ් සිව්වනි රැල්ලකට මුහුණ පා සිටින ඉන්දියාවේ අගනගරය වන නවදිල්ලි නුවරට දරාගත නොහැකි මට්ටමට ආසාදිතයන් වැඩිවීම හමුවේ නවදිල්ලි නුවර රෝහලක් රෝගීන් දෙදෙනෙකුට එක් ඇඳක් බැගින් ලබාදීමට මෙලෙස කටයුතු කර තිබුණි. එන්නත් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ඉන්දියාව මේ වනවිට එරට ජනගහනයෙන් මිලියන 100ක් සඳහා කොවිඩ් එන්නත් ලබාදී තිබේ. දින 85ක් තුළ ඔවුන් එම ඉලක්කය සපුරාගත් අතර ඒ සමගින් එසේ සිදුකළ වේගවත්ම රට බවට ද ඔවුන් පත්වුණි. නමුත් සිදු වූයේ විපත්තියකි.   


ඉන්දියාවෙන් හමුවුණු ද්විත්ව කොරෝනා විකෘතිය, දැනට භාවිතයට ගන්නා ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් මර්දනය කළ නොහැකි යැයි සැකයක් පවතින බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා සිටින්නේ මෙවැනි තත්ත්වයක් තුළය.   


ඉන්දියානුවන්ට මේ වන විට කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් ලබා දෙයි. ඒ, පූනේ නුවර සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා කොවිෂීල්ඩ්’ එන්නත සහ ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම සියයට සියයක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවා ඇති ‘කොවැක්සින්’ එන්නතය.   


ඉන්දියාවේ ආසාදිතයන් හිටිහැටියේ යළි ඉහළ යමින් පවතින්නේ මෙම ද්විත්ව විකෘති කොරෝනා ප්‍රභේදය නිසාදැයි යන්න සම්බන්ධයෙන් ඉන්දීය මහජන සෞඛ්‍ය පර්යේෂකයන් අතරේ බියක් සහ සැකයක් පවතී. ඔවුන් අනුමාන කරන්නේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා කොවිෂීල්ඩ්’ එන්නතට හෝ ‘කොවැක්සින්’ එන්නතට හෝ මෙම නව ද්විත්ව විකෘති ප්‍රභේදය අඩපණ කළ නොහැකි බවය.   


“වයිරස විකෘති වෙනවා. එයයි වයිරසවල ස්වභාවය. සියයට සියයක් සාර්ථක එන්නතක් නිපදවීමට හැකියාවක් නැත්තේ ඒ නිසයි. ඉන්දියානුවන් අතරේ පැතිරෙමින් පවතින බව පැවැසෙන්නේ, විකෘතිකරණයට ලක් වුණු වයිරස දෙකක එක්වීමක්. මෙය බිහිසුණු තත්ත්වයක්. ඒත් අසාමාන්‍ය තත්ත්වයක් හෝ පුදුමයට පත්විය යුතු තත්ත්වයක් නොවෙයි. ඉන්දීය විද්‍යාඥයන් මෙම ද්විත්ව විකෘතිය සම්බන්ධයෙන් මේ වනවිට පර්යේෂණ පවත්වනවා. ද්විත්ව විකෘතිය සම්බන්ධයෙන් වැඩි විස්තර ඉදිරි දිනවල දී දැනගන්න ලැබේවි’ යැයි ඇමෙරිකාවේ ලු‍විසියානා විශ්වවිද්‍යාලයේ, සෞඛ්‍ය විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය ජෙරමි කමිල් පැහැදිලි කර තිබේ.   


හින්දුස්ථාන් ටයිම්ස් / හින්දු / ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවා ඇසුරෙනි..   


සටහන   
තිළිණි ද සිල්වා