ඉංජිනේරුවන් සහ දේශපාලනඥයකු එක්ව බිහි කළ එයාර් බස් සමාගමේ කතාව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

  • ඉංජිනේරුවරු තිදෙනාම මියගියේ වයස අවුරුදු 90 සීමාවේදීය
  • එයාර්බස් A 380 යානය නිපදවීමට ඉංජිනේරු හා තාක්ෂණවේදීන් 6000 ක සහාය
  • A 380 එයාර් බස් යානයක විදුලි රැහැන් ප්‍රමාණයෙහි දිග ගතහොත් ලන්ඩන් සිට එඩින්බරෝ  දක්වාවූ දුර  ප්‍රමාණය මෙනි

 

මේ දිනවල රටින් රටට, තොටින් තොටට, ගුවන් ගමන් නොපැවැත්වෙන තරම්ය. ඊට හේතුව වන්නේ කොවිඩ් වසංගතය යැයි ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. කෙසේ වෙතත් මේ සූද‌ානම් වන්නේ ලෝකයට ගුවන්යානා නිපදවන ලොව ලොකුම සමාගම ගැන සහ එය නිර්මාණය කළ මිනිසුන් සතර දෙනෙකු පිළිබඳව වූ කතාව පැවසීමටය. ඉරිද‌ා ලංකාදීපය ගෙන එන ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් ලොව ලොකුම ගුවන් යානා සමාගම ගැන එකී විස්තර අපි කියවමු.   


කුමක්ද මේ ගුවන්යානා නිපදවන ලොව ලොකුම සමාගම? ‘එයාර් බස්’ යන නාමය ගැන ඔබ හොඳට අසා ඇතැයි අපි විශ්වාස කරමු. ලෝකයට ගුවන්යානා විශාල ප්‍රමාණයක් නිපදවන සමාගම ලෙස සඳහන් වන්නේ මෙම ‘එයාර් බස්’ ආයතනයයි. 

 
‘අපි එය පියාසර කරවීමට සැලැස්වීමු.’ (අපි එය පියාසර කරවමු) යනුවෙන් තේමා පාඨය කරගත් මෙම එයාර්බස් සමාගම බිහිවූයේ මීට වසර පනහකට පෙරදීය   
එයාර් බස් අතීතය   


යුරෝපීය රටවල් කිහිපයක ඒකාබද්ධ සිහිනයක් මල්ඵල ගැන්වූ අවස්ථාවක් ලෙස මෙම ‘එයාර්බස්’ නිෂ්පාදන ක්‍රියාවලිය නම් කළ හැකිය. මීට පෙර අප ලෝ ප්‍රකට ‘බෝයිං’ සමාගම ගැන විස්තර කළා මතක ද?   


මෙම ‘එයාර් බස්’ ස්ථාපිත වූයේ බෝයිං සමාගම පිහිටුවා අඩ සියවසකට ආසන්න කාලයක් ගතවූ පසුවය. තවත් විදියකට කිවහොත් ‘එයාර් බස්’ නිර්මාණය වූයේ බෝයිං වෙත තරගයක් දීම වෙනුවෙනි. ඇමෙරිකාවේ ‘බෝයිං’ ට වඩා තමනටද එනම් විශාල දෙයක් කළ හැකි බව යුරෝපය ප්‍රායෝගිකව කළ දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලියක ඵලයකි.   
2019 වන විට මෙම එයාර් බස් හැඳින්වූයේ ලොවට ගුවන් යානා නිපදවන විශාලතම සමාගම හැටියටය. හැටේ දශකයට පෙර දශකවලදී යුරෝපය ගුවන් යානා නිපදවීම සිදුකළ ද, ඒවා විශාල ප්‍රමාණයේ නොවීය.   


මේ නිසා එකළ බොහෝ විට විශාල ප්‍රමාණයේ, එනම් මගී හා භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් විශාල ප්‍රමාණයේ ගුවන්යානා නිපදවීම විටෙක ඇමෙරිකානු - යු​රෝපීය සහසබඳතා මෙන්ම ඒකාබද්ධවීම් මත සිදුකර තිබේ. නමුත් එහිදී ගුවන් යානා නිෂ්පාදනය කෙරුණේ ඇමෙරිකානු සමාගම් මගිනි. කෙසේ වෙතත්, කල්යත්ම, යු​රෝපයට තමුන්ගේ අභිමානය සහ නිර්මාණශීලිත්වය සමග මහා පරිමාණයේ නිෂ්පාදන ක්‍රියාවලියකට යා යුතු වූ බැවින්, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය යන රටවල රාජ්‍ය ප්‍රධානීන් සහ එකී රටවල ගුවන්යානා නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රකට වූ චරිත අතර සාකච්ඡා පැවැත්වීම සිදුවිණි.   


අවසන එහි ඵලයක් ලෙස මෙලෙසින් ‘එයාර් බස්’ ආයතනය පසු කළෙක යුරෝපයේ ස්ථාපිත වී තිබේ. ඒ වෙනුවෙන් එම රටවල කොටස් හිමියන්ගේ ද‌ායකත්වය ද නොඅඩුව ලැබිණි.   


ඒ අනුව ‘එයාර් බස්’ සමාගම නමින් මෙම ගුවන්යානා නිෂ්පාදන සමාගම ලෝකයට විවරකෙරුණේ 1970 දෙසැම්බර් 18 වැනි දිනදීය. එලෙසින් ඇරැඹි සමාගම ලියාපදිංචි වීම සිදුකර ඇත්තේ නෙදර්ලන්තයේදීය.   


ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය යන රටවල කොටස් හිමියන්ගේ ආර්ථික ද‌ායකත්වය මෙන්ම, යුරෝපීය ඒකාබද්ධ නිෂ්පාදන ක්‍රියාවලිය යටතේ බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය යන රටවලදී අමුද්‍රව්‍ය එකලස්කිරීම් වෙනුවෙන් ද‌ායකත්වය ලැබෙන අතර පසුව චීනය ද, එක්සත් ජනපදය ද මීට ඈඳ‌ාගෙන තිබේ. සරලවම කිවහොත්, යුරෝපයේ ආර්ථික මෙන්ම දේශපාලනික කටයුතු සඳහා පිහිටුවාගත්, යුරෝපීය යුනියන් (EU) සතු රටවලට මෙන්ම ලෝකයේ සෙසු රටවලට නිෂ්පාදන බිහිකිරීම ‘එයාර්බස් හි’ මූලිකි අරමුණ විය. ඒ අනුව අංශ ත්‍රිත්වයක් යටතේ, නිෂ්පාදන කිරීම සිදුවේ.   
වාණිජ ගුවන් යානා (මගී ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන) ආරක්ෂක සහ අභ්‍යවකාශ අංශය සඳහා මෙන්ම, හෙලිකොප්ටර නිපදවීම යන ප්‍රධාන අංශ ත්‍රිත්වය මුල්කරගෙන එයාර් බස් සමාගම නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත වේ.   


එයාර් බස් සමාගමේ මුහුණුවර ගැන එලෙසින් කෙටියෙන් සඳහන් කරන අතරේ මෙම සමාගම බිහිකිරීමට පුරෝගාමීවූ ආරම්භකයින් සතර දෙනා කවුරුන්ද කියා අපි විපරම් කර බලමු.   


මිස්ටර් එයාර් බස් හෙවත් රොජර් බීටයිල් (Roger Beteille) 

 
රොජර් බීටයිල් යනු මෙම එයාර් බස් යුරෝපයේ ස්ථාපිත කරවීමට මුල් වූ මහ පුරුකය. 1921 අගෝස්තුවේදී ප්‍රංශයේ වෝර්ස් ඇව්රෝන්හිදී උපත ලද බීටයිල් ගුවන්යානා ප්‍රංශයේ ඉංජිනේරුවරයකු මෙන්ම ව්‍යවසායකයකු විය. එයාර් ෆ්‍රාන්ස්, ලුෆ්තන්සා, යුනයිටඩ්, මෙන්ම ඇමෙරිකානු ගුවන් සේවය වෙනුවෙන් ද සේවය කර ඇති බීටයිල් වඩා ප්‍රකට වූවේ ‘එයාර් බස්’ සමාගම නිසාය.   


උපාධිධරයකු වීමෙන් අනතුරුව යුරෝපයේ ඇති ලෝප්‍රකට ඉංජිනේරු සරසවියකින් තවදුරටත් වැඩිදුර හැදෑරීම් කළ ඔහු ප්‍රථමයෙන් සේවයට එක්වූයේ ප්‍රංශයේ එක් දිස්ත්‍රික්කයකට අයත්ව තිබූ නේවාසික ගුවන් සමාගමක සේවකයකු ලෙසය. කණිෂ්ඨ තනතුරු ඔස්සේ ඉහළට ගිය ඔහු ගුවන්යානා දෝෂ පරීක්ෂා කළ ප්‍රධානියා මෙන්ම පසුව රොකට් සහ සැලටයිට් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ.   


එයාර්බස් මූල්‍යායතන සමූහය බිහිකිරීමට මුල්වූ ප්‍රධානියා වූ ඔහු සේවය කිරීමේදී ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන භාෂාව කරගත යුතු අතර මිනුම් ක්‍රමයේදී මෙට්‍රික් මිනුම් භාවිතා කළ යුතු නැත යන්න යුරෝපයට හඳුන්වා දුන්නේය.   


එයාර් බස් සමාගමේ ආරම්භයේදී විශාල ද‌ායකත්වයක් ලබාදුන් මහ පුරුක වූ බැවින් ‘මිස්ටර් එයාර්බස්’ යන අන්වර්ථ නාමයෙන් ඔහු හැඳින්විය. එයාර් බස් පිහිටුවීමට මූලික වූ චරිතයක් වූවා සේම, ප්‍රංශයේ ගුවන් හා අභ්‍යවකාශ ඇකඩමිය බිහිකිරීමට මුල්වූ පුරෝගාමියා ද විය. ප්‍රංශයේ සම්මානනීය පුරවැසියකු ලෙස තමුන්ගේ ක්ෂේත්‍රයට අද‌ාළව සම්මාන, නම්බුනාම මෙන්ම ඇගැයීමට ලක්වූ එයාර් බස් 350 වර්ගයේ ගුවන් යානා එකලස් කරන ප්‍රංශයේ ටුලුස්හි පිහිටි ගොඩනැගිල්ල ඔහුගේ නමින් නම් කර ඇත්තේ ගෞරවයක් වශයෙනි. ප්‍රකට ඔපෙරා ගායිකාවකවූ ජොසෙට් ජස්මින් සමග විවාහ වී සිටි බීටයිල් වයස අවුරුදු 97 ක් ආයු වළඳ‌ා මියගියේ 2019 වසරේදීය.   


ෆීලික්ස් ක්‍රාච්ට්   


එයාර් බස් සමාගම පිහිටුවීමට මුල්වූ සිව් දෙනා අතරට අයත් වූ ෆීලික්ස්, ජර්මාන් ඉංජිනේරුවරයෙක් විය. 1912 දී උපත ලැබුවේ ජර්මනියේ තෙත්‍රෆල්ඩ් නගරයේදීය. එයාර් බස් හා සම්බන්ධවීමට පෙර ඔහු ප්‍රකට වූයේ ට්‍රාන්ස් ඇල්. සී 160 යන හමුද‌ා ගුවන් ප්‍රවාහන යානා කටයුතු සම්බන්ධීකරණය කළ නිසාවෙනි.   


සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ද එයාර්බස් හි උපදේශකයකු වශයෙන් සේවය කළ ෆීලික්ස් ක්‍රාච්ට් 2002 වසරේදී මිය යන විට අවරුදු 90 පසුකරමින් සිටියේය. 

 
හෙන්රී සීග්ලර් 


1906 ප්‍රංශයේ ලීමොග්ස් හිදී උපත ලැබූ සීග්ලර්, ඉංජිනේරුවරයකු වූ අතර මුලින්ම කටයුතු කර ඇත්තේ ප්‍රංශ ගුවන් හමුද‌ාවේ නිලධාරියකු ලෙසය. ‘එයාර් බස් ඉන්ඩස්ට්‍රි’ ස්ථාපිත කළ පසු එහි පළමු සභාපති වූයේ මෙම හෙන්රි සීග්ලර්ය. ‘එයාර් බස්’ නිර්මාණ සංවර්ධනය කිරීමට සුවිශේෂී ද‌ායකත්වයක් ලබාදුන් චරිතය ඔහු ලෙස හැඳින්වේ. විශේෂයෙන්ම එයාර් බස් A300 සහ B කාණ්ඩය සංවර්ධනය කිරීමට නියමු නායකත්වයක් දැරුවේ ඔහුය.   


‘හෙන්රි සීග්ලර්’ නොසිටියේ නම් එනම් ‘එයාර් බස්’ ස්ථාපිත කිරීමට ඔහුගේ ද‌ායකත්වය නොලැබුණේ නම්, එයාර් බස් නමින් ගුවන් රථයක්’ නොතිබෙනු ඇත යන්නෙන් පසු කළෙක එයාර් බස් ප්‍රධාන විධායකයා වූ පැස්ටාච් හම්බර්ට් ප්‍රකාශ කර තිබුණි. 1998 වසරේදී ඔහු මියගියේ ප්‍රංශයේ පැරිස් නුවරදී වයස අවුරුදු 91 ක් ආයු වළඳ‌ා සිටීමෙන් පසුවය.   


ෆ්‍රාන්ස් ජොසෙෆ් ස්ටුව්ස්   


ෆ්‍රාන්ස් ජෝසෙෆ් ස්ටුව්ස් 1915 දී උපත ලැබුවේ ජර්මනියේදීය. ‘එයාර් බස්’ පිහිටුවීමට මුල්වූ පෙර තිදෙනා මෙන් ඔහු ඉංජිනේරුවරයෙකු නොවුණි. ජර්මනියේ දේශපාලනඥයකු විය. ප්‍රකට දේශපාලනඥයකු ලෙස අමාත්‍ය තනතුරු හා විවිධ තනතුරු දැරූ අයෙක් විය. ජර්මනියේදී ෆෙඩරල් ක්‍රමය හඳුන්වා දීමට මුල්වූ චරිතයකි.   
‘බවේරියා’ නිජබිම කරගෙන දේශපාලන හා සමාජ ක්‍රියාකාරී කටයුතුවල නිරතවූ ස්ටුව්ස්, බවේරියා රාජ්‍ය ආණ්ඩුවේ ප්‍රධානියා ද විය. එයාර් බස් පිහිටුවීමට මුල්වූ ඉංජිනෙරු නොවන දේශපාලනඥයා වූ ඔහු එයාර් බස් සමාගමේ දියුණුව උදෙසා උර දී කටයුතු කළ චරිතයකි. වෙසෙසින්ම එයාර් බස්, ලෝකය හමුවේ ප්‍රචලිත කරවීමට මුල්වූ පුරුක ඔහු විය.   
මියුනිච් හි නව ගුවන්​තොටුපළ නම් කර ඇත්තේ ඔහුට ගෞරවයක් ලෙස ඔහුගේ නමින්ය. උග්‍ර ක්‍රිස්තියානි භක්තියෙකු වූ අතර බවේරියාහි ක්‍රිස්ත්‍රියානි සංගමයේ දිගු කාලීන සභාපතිවරයා වූයේ ද ඔහුය. ඔහු මියගියේ එයාර්බස් පිහිටුවීමට මුල්වූ ඉංජිනේරු තිදෙනා මෙන් අවුරුදු 90 සීමාව පසුකර නොවීය. වයස 73 දී මේ දේශපාලනඥයා මෙන්ම සමාජ ක්‍රියාකාරිකයා මියගියේ බවේරියාහිදීය.   


‘බැලූ බැල්මට එයාර් බස්’   


‘එයාර් බස්’ කර්මාන්ත සමූහයේ සේවය කරන පිරිස එක්ලක්ෂ පණස් දහසකට ආසන්නය. 2019 වන විට ඩොලර් බිලියන 71 ක පමණ ආදායම් ලද එයාර් බස් සමූහය ලැබූ ශුද්ධ ආද‌ායම ඩොලර් බිලියන හතරකට ආසන්න විය.   


එයාර් බස් ප්‍රධාන කාර්යාලය පිහිටුවා ඇත්තේ ප්‍රංශයේ බ්ලැග්නැග්හි ග්‍රේටර් ටුලුස්හිදීය. මූලස්ථානය පිහිටුවා ඇත්තේ නෙදර්ලන්තයේ ලීඩ්න් නුවරය. ජාත්‍යන්තර මධ්‍යසථානය ස්ථාපිත කර ඇත්තේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරය.   


එයාර්බස් ගුවන් යානා ගැන මේ විස්තර දැනගත් පසු ඔබ මවිත වේවි.   


එයාර් බස් මගී ගුවන් යානා නිපදවීම ඇරඹියේ A220 කාණ්ඩයේ සිටය. ඉන්කිබිතිව A300, 310, 318, 319, 320, 321, 330, 340, 350, සහ 380 දක්වා විවිධ කාණ්ඩ ඔස්සේ ගුවන්යානා නිපදවා තිබේ. මේ අතරින් සුවිශේෂි වූ 'A 380' ගුවන් යානය ගැන වෙසෙසින්ම සඳහන් කළ යුතුය.   


බෝයිං 747 ට අභියෝග කළ A380 එයාර්බස් යානා ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන්යානා වේ. 'A380' එයාර් බස් යානයක විශාලත්වය ප්‍රමාණයෙන් ගතහොත් මිහිතලයේ විශාලතම සත්වයා ලෙස සැළකෙන යෝධ නිල් තල්මසුන් දෙදෙනෙකු තරම් විශාලය. අටසියයකට ආසන්න මගීන් සංඛ්‍යාවකට පහසුකම් ඇති මෙම ගුවන්යානය නිපදීවේදී ගුවන් ඉංජිනේරුවරු සහ තාක්ෂණික ශිල්පීන් හයදහසකගේ (6000) සේවය ලබාගෙන ඇත.   


1,40,000 ක ගුවන් පැය කාලයක් දක්වා පියාසර කරවිය හැකි ලෙස මෙම A380 නිපදවා තිබේ.   


A380 ගුවන්යානයක බිම් ප්‍රදේශය වර්ග අඩි 6000 කින් පමණ සමන්විත වේ.  


එක් තටුවක දිග මීටර් 80 ක් පමණ වේ.  


A380 ගුවන් යානය නිපදවිමේදී භාවිත කළ විදුලි රැහැන් ප්‍රමාණය කෙතරම් ද කියා කිවහොත් එය හරියට ලන්ඩන් සිට එඩින්බරෝ දක්වාවූ දුරට සමානය. සැතපුම් ප්‍රමාණයෙන් කිවහොත් සැතපුම් 320 ක් පමණ වේ. ඇදහිය නොහැකි වුවද අපට එය විශ්වාස කළ යුතුම වන්නේ එච්චරටම රැහැන් ප්‍රමාණයක් මේ සඳහා යොදාගෙන ඇති බැවිනි.  
A380 මතුපිට බදඳහි තීන්ත ගැල්වීම සඳහා ලීටර් 3600 ක් පමණ යොද‌ාගැනීමට සිදුවේ.  

එයාර් බස් සමාගම

 


මෙම A380  


කාණ්ඩයේ වැඩිම ගුවන් යානා ප්‍රමාණයක් සතුවන්නේ ‘එමිරේට්ස්’ ගුවන් සමාගම වෙතය. මීට වසර දෙක තුනකට පමණ පෙරදී එමිරේට්ස් සතුවූ එයාර් බස් A 380 ගණන හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවකි. තවත් සිය ගණනක් අනාගත භාවිතය වෙනුවෙන් එමිරේට්ස් ඇණවුම් බාරදී තිබේ.  


තනි ගුවන් සමාගමක් ලෙස එමිරේට්ස් සමාගම එයාර් බස් A380 හිමිකාරිත්වය දැරුවද එයාර් බස් නාමයේ නිෂ්පාදන මෙහෙයවන ලොව ලොකුම ගුවන් ගමන් සමාගම ලෙස සඳහන් වන්නේ ‘ලුෆ්තාන්සා’ ගුවන් සමාගම් ආයතනයයි. කෙටියන්ම කිවහොත් එයාර් බස් වර්ගයේ ඕනෑම වූ කාණ්ඩයකට අයත් ‘යානා’ සතු ප්‍රමුඛතම ගුවන් සමාගම වන්නේ ලුෆ්තාන්සාය.  


මෙම එයාර් බස් සමූහයට කෙතරම් නම් ඇණවුම් ලැබේද යත් වසර තුන හතරකට පෙරදී එංගලන්තයේ ෆාර්ත්බරෝහි පැවැත්වූ ‘එයාර් ෂෝ’ හෙවත් ගුවන් ප්‍රදර්ශනය වෙනුවෙන් බිලියන 35 ක පමණ ගිවිසුමකට ප්‍රදර්ශන සංවිධායකයින් එයාර් බස් සමූහය සමග ගිවිසගෙන සිටියේ නව ගුවන් යානා නිෂ්පාදන වෙනුවෙනි.  


A380 ගුවන් යානා විශාලත්වය නිසා ලොව සෑම ගුවන් තොටුපළක ගොඩ බැස්සවීම කළ නොහැකිය. ඒවා ගොඩබැස්සවීම කළ හැක්කේ ඊට සුදුසු ධාවන පථ ඇති තොටුපළවල පමණක්මය. අපේ රටේ හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොට මෙවැනි ගුවන්යානා ගොඩ බැස්සවීමට සුදුසු ගුවන් තොටුපොළකි.  


A380 එලෙසින් විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය ලෙස සඳහන් වුවද ලොව විශාලතම ගුවන්යානය එය නම් නොවේ. වැඩිම බරකින් සහ විශාලත්වයකින් යුතු ලොව ලොකුම ගුවන් යානා වන්නේ රුසියාවේ ඇන්ටෙනොව් AN-225 වර්ගයේ යානා වේ. බොහෝ විට ඒවා යොද‌ාගත්තේ භාණ්ඩ ප්‍රවාහන සේවා වෙනුවෙනි.  


රුසියාව එලෙසින් ලෝකයට ‘විශාලතම’ ගුවන් යානා නිෂ්පාදනය කළ ද, එක් පුද්ගලයකු විසින් පුද්ගලිකව භාවිත කරන ලොව දෙවැනියට මිල අධිකම ජෙට් යානය භාවිතා කරන්නේ රුසියානු ධන කුවේරයෙකි. ව්‍යවසායික ක්ෂේත්‍රයේ ධන කුවේරයකු වන ඔහු ඇලිෂර් උස්මනොව්ය. එයාර් බස් 'A340-300' CUSTOM වර්ගයේ ගුවන් යානය පුද්ගලිකව ඔහුගේ භාවිතයට ආනයනය කර ඇති බැව් සඳහන් වේ. මෙ ගුවන් යානයක මිල දළ වශයෙන් ඩොලර් මිලියන 350 ත් 500 ත් අතර වේ.  


එයාර් බස් A380 වර්ගයේ සුපිරි නිමාවකින් යුතු ඩොලර් මිලියන 500 ක් පමණ වූ වටිනාකමක් ඇති ගුවන් යානය සතු ලොව එකම පුද්ගලයා ලෙස සැළකෙන්නේ සවුදි අරාබියේ ‘අල් වලීඩ් බින් තලාල්’ කුමරුය. ව්‍යවසායකු, ආයෝජකයකු, ද‌ානපතියකු මෙන්ම සවුදි රජ පවුලේ මෙම කුමරු සතු එයාර් බස් යානය නිපදවීම සිදුකර ඇත්තේ ඔහුගේ සිතැඟි වලට අනුව යැයි සඳහන් වේ.  


අල් වලීඩ් කුමරු සතු මෙම සුපිරි ගුවන් යානය A380 මගී ප්‍රවාහන යානා මෙන් වූ එකක් නම් නොවේ. එය ඔහුගේ මනාපය පරිදි නිර්මාණය වූ යානයක් බැවින්, ඇතුළත නිමාව ​අනෙක් A380 වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. කුමරුගේ පහසුව පිණිස වැඳුම් පිදුම් කිරීමේ ස්ථානයක්, සාකච්ඡා හා දේශන පැවැත්වීමට වෙනම ස්ථානයක්, ඔහුගේ නිල රථය ​රැගෙන යාමට ස්ථානයක් ඇතුළු තවත් බොහෝ පහසුකම් වලින් සමන්විතව මෙම යානය නිපදවා තිබේ. එය මිහිපිට ගුවන සිසාරා පාව යන දිව්‍ය මාළිගයක් බඳුය.  
මීට වසර කිහිපයකට පෙරදී අපේ රටේ එයාර් බස් ගැන කතා වූවේ වෙනස් මාතෘකාවකි. ඒ ගැන ද සිහිකරමින් අප රටේ නිල ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිත කරන එයාර් බස් මොනවාද කියා මීළඟට අපි බලමු.  


2020 වන විට එයාර් බස් A 320-200 යන කාණ්ඩයේ ගුවන් යානා 5 ක් ශ්‍රී ලංකා සමාගම සතු යැයි සඳහන් වේ. ඊට අමතරව A320 neo 2 ක් 321-200-2 ක්, එයාර් බස් A321 neo-4 ක්, A330-200 - 6 ක්, එයාර් බස් A 330-300 - 7 ක් ඇතුළුව එයාර්බස් වර්ගයේ ගුවන් යානා 26 ක් පමණ ශ්‍රීලංකන් සතු යැයි අන්තර්ජාල වාර්තාවල සඳහන් වේ. ශ්‍රීලංකන් සතු A330 සහ 300 නවීනතම යානා ලෙස සඳහන් කළ හැකිය.  


අපි නැවතත් එයාර් බස් සමූහ සමාගම දෙස හැරෙමු. 2035 වන වට ඔවුනගේ අභිලාෂය වන්නේ පරිසරයට දශමයකින් හෝ හානියක් නොවන පරිදි තාක්ෂණයේ විස්මය රැගත් නිර්මාණ හඳුන්වාදීමටය. ටර්බෝ සංකල්පයෙන් මිදී ඊට එහා ගිය මිනිසාට ඇදහිය නොහැකි අන්දමේ නිර්මාණ පෙළකින් ලෝකය ‘මවිත’ කිරීමට දැන් සිටම ‘එයාර් බස්’ ක්‍රියාත්මක වෙමින් පවතී.

 

 

පරිවර්තන සටහන :
සඳුන් ගමගේ