ඉංජිනේරු නිර්මාණ බිහිකළ දොස්තර


​ලොව හෙල්ලූ ලංකාවේ නව නිපැයුම්  

 

 

‘​ෙලාවින් එකෙක් එක දෙයකට වෙයි සමත’ යන්න ප්‍රසිද්ධ කියමනකි. එහෙත් එම කියමන මිත්‍යාවක් වූ අවස්ථා ද එමට ඇත.   


ඊට උද‌ාහරණ සපයන පුද්ගලයෙකු පසුගියද‌ා අපට හමු විය. විශ්‍රාමික වෛද්‍යවරයකු වුවද ඔහු පේටන්ට් බලපත්‍රය සහිත නව නිපැයුම් රාශියක් කළ වෘත්තීය නොවූ ඉංජිනේරුවෙක්.  


මේ ඔහුගේ කතාවයි.  


 අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ගමේ විසූ ගුරු යුවළකගේ පුත් සරත් විමලසූරිය කුඩා කල සිටම ආශාව දැක්වූයේ තාක්ෂණය භාවිත කරන නව නිපැයුම් කිරීමටය. ඔහුට එ් සඳහා තමා උගත් ධර්මාශෝක විද්‍යාලයත්, තම නිවස අසල තිබුණු නන්දන ගරාජයත්, මහජන පුස්තකාලයත් නැන නුවණ ලබා දුන්නේය. ඔහුගේ ළමා කාලය අත්දැකීම් තුළින් පන්නරය ලද්දක් විය.  


 එහි ප්‍රතිඵලය වූයේ වෘත්තියෙන් වෛද්‍යවරයකු වුවත් ඔහු නව නිපැයුම් රාශියක නිමැවුම්කරු වීමය. විශේෂයෙන්ම අලි මිනිස් ගැටුමට පිළියමක් සෙවූ ඔහු විදුලි වැට එනර්ජයිසරයක් නිර්මාණය කළේය. එසේම රේල් ගේට්ටුවක් නොමැති ස්ථානවලදී සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා ස්වයංක්‍රීය රේල් ගේට්ටුවක් නිර්මාණය කළේය.  
 යුද ගැටුම් පැවැති වකවානුවේ නාවික හමුද‌ාවට සම්බන්ධ වූ ඔහු මිනිසුන් රහිත ස්වයංක්‍රීය බෝට්ටුවක් නිර්මාණය කළේය. මෙවන් වූ තනි නිර්මාණ රාශියක් සිදුකළ වෛද්‍යවරයා අද නවතම නිෂ්පාදනයක් ද කර ඇත. ඒ විදුලිය බිඳ වැටීමේ අවස්ථාවලදී බෙහෙත් ද්‍රව්‍ය සහ එන්නත් වර්ග මෙන්ම රුධිරය, අක්මාව, වකුගඩු ආදී ශරීර කොටස් ශීතකරණ තුළ නරක් වීමට නොදී රැකගත හැකි සන්නිවේදන මෙවලමක් සෑදීමය.  


 ලාංකීය ප්‍රජාවගේ දැවෙන ප්‍රශ්න සඳහා තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කළ හා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පෙන්වූ මෙම වෛද්‍යවරයා සමඟ අප කළ කතා බහේදී හෙළිවූ තොරතුරු මෙසේය.  


වෘත්තියෙන් වෛද්‍යවරයකු වන ඔබ කොහොමද නව නිපැයුම්වලට යොමුවුණේ?  


ඒ අඩිතාලම වැටෙන්නේ මගෙ පුංචි කාලේ ඉඳලා. මට මතකයි මම හෝඩියේ පන්තියේ ඉන්න කොට ළමයෙක් කාන්දම් කෑල්ලක් ගෙනාවා. මම ඔහුගෙන් එය දවසකට ඉල්ලා ගත්තා. ගෙදර ගෙනත් යකඩ ඇණ, ඇල්පෙනෙති වගේ දේවලට තියා බැලුවා. ඒවා කාන්දමට ඇදී ආවා. හැබැයි පිත්තල ඇළුමිනියම් කාන්දමට ඇදී ආවේ නෑ. එද‌ා මම හිතුවේ පිත්තල වැනි දේ කාන්දමට ඇදී නොඑන බව පළමුවෙන්ම හොයාගත්තේ මම කියලා.  


ඒ වගේම මට තාක්ෂණය ගැන ඉගෙන ගන්න විශ්වවිද්‍යාල තුනක් තිබුණා. එකක් තමයි අපේ ගෙවල් ළඟ තිබුණ වාහන රෙපයාර් කරන නන්දන ගැරේජ් එක. අනිත් විශ්වවිද්‍යාලය තමයි මහජන පුස්තකාලය. විශේෂයෙන්ම අනිත් ළමයි සෙල්ලම් කරලා ගෙදර යද්දී මම ගියේ මහජන පුස්තකාලයට. ඒ දිනවල කියවීමට පුදුම ආසාවක් තිබුණේ. එයත් පර්යේෂණශීලී අදහස් ඇතිවීමට හේතුවුණා.  


මට මතකයි පොඩි කාලේ යාළුවෙකුගෙන් සෙල්ලම් මෝටර් එකක් ලැබුණා. මම එය ලබා ගත්තේ ඔහුට සරුංගලයක් දීලයි. ඒ මෝටර් එක අරගෙන විවිධ දේවල් කරලා බැලුවා. සෙල්ලම් බෝට්ටුවක් හැදුවා. බුදුරැස් මාලාවක් හැදුවා. ඒ වගේම මම හිතුවා මෝටර් එකට කරන්ට් එක දුන්නහම මෝටර් එක වැඩකරනවා නම් මෝටර් එක කරකැව්වාම කරන්ට් එක එළියට එන්න ඕන නේද කියලා.  


ඊට පස්සේ ටෝච් එකේ බල්බ් එක ගලවලා වයර් 2 ක් මාර්ගයෙන් එය මෝටරයට සම්බන්ධ කර කරකවා බැලුවා. ඒත් බල්බ් එක පත්තු වුණේ නෑ. ඊට පස්සේ මම අම්මගෙ මහන මැෂිමේ බෙල්ටෙකට තියලා එය කැරකුවා. එවිට බල්බ් එක යන්තමට පත්තුවුණා. එද‌ා මට හිතුණේ මං විශාල හොයා ගැනීමක් කළා කියලා.  


 ඒ වගේම මම අර ගැරේජ් එකට ගිහින් වාහන රෙපෙයාර් කරන හැටි බලාගෙන හිටියා. එයිනුත් ලොකු දැනුමක් ලැබුණා. හැබැයි ඒ කාරණයට අම්මලා තාත්තලා කැමති වුණේ නෑ. එයාල හිතුවා මමත් ගැරෙජ් බාස් කෙනෙක් වෙයි කියලා. ගැරේජ් එකට යන නිසා තාත්තගෙන් ගුටි කාලත් තියෙනවා. ඒත් මගෙ ආශාව නතර වුණේ නෑ.  


 අවුරුදු 10, 11 වන විට ඒ කාලේ තිබුණ වාහන ගැනත් හොඳ අවබෝධයක් ලබා ගත්තා.  
පාසල් කාලයේ ලැබූ අත්දැකීම් මොනවගේද?  


 පාසලේ ගුවන්විදුලි සමාජය කියලා එකක් පටන් අරගෙන තිබුණා. ඒකේ මහින්දරත්න කියලා ගුරුවරයෙක් හිටියා. එ් සර් තමයි ඉලෙක්ට්‍රොනික් විෂයෙහි අ යන්න ආ යන්න මට ඉගැන්වූවේ. එහි රේඩියෝ හදන්නත් කියලා දුන්නා. සර් මුලින්ම අපට ට්‍රාන්සිස්ටර් තුනක රේඩියෝවක් හදන්න කියලා දුන්නේ. ඒත් මම එකපාරට ට්‍රාන්සිස්ටර් 7 ක් ද‌ාලා රේඩියෝවක් හැදුවා. ඒත් ඒක වැඩ කරේ නෑ.  


 මම ඒකත් අරගෙන සර්ගෙ ගෙදරට ගියා. සර් කියලා දුන්න දෙයින් පිට දෙයක් කරපු නිසා එය බැලුවේ නෑ. මටම එය බලාගන්න කිව්වා. ඊට පස්සේ මම රේඩියෝ රෙපයාර් කරන ඇක්මන් බාස්උන්නැහැ ළඟට මෙය අරගෙන ගියා. බාසුන්නැහේත් බැලුවේ නෑ. ඒකට වෙලාවක් නෑ කිව්වා.   


ඒ දවස්වල රේඩියෝ එක හදන්නත් රුපියල් 300 ක් විතර ගියා. මම ​ෙර්ඩියෝ එක හදන ක්‍රමයක් ගැන කල්පනා කර කර ඒ දිහා බලාගෙන ඉන්නවා. පාඩම් වැඩත් අතපසුවෙනවා. තාත්තට තරහ ගියා. තාත්තා බඩු ටික ඔක්කොම මේස රෙද්දත් එක්කම ගුලි කරලා මිදුලට වීසිකරලා දැම්මා. මම විශාල ලෙස මානසිකව වැටුණා. හැබැයි අම්මා මාව තේරුම් ගත්තා. අම්මා මගෙන් ඇහුවා ඔයා මොකද මේ කරන්නේ කියලා. මම කිව්වා මම රේඩියෝ හදලා විකුණනවා කියලා.  


 අම්මා කිව්වා ඔයා රේඩියෝ හදන කෙනෙක් නෙවෙයි ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලා. ඊට පස්සේ මම කිව්වා මම ඩොක්ටර් කෙනෙක් වෙලා රේඩියෝ හදලා විකුණනවා කියලා. අම්මා හිනාවුණා. මගේ උවමනාව නිසාම තාත්තා මගේ රේඩියෝ එක අරගෙන එයාගේ යාළුවෙක් ළඟට ගියා. එයා කිව්වා මම හොඳට රේඩියෝ එක හදලා තියෙනවා අමතරව තියෙන වයර් 2 ක ගලවලා ද‌ාන්න. මේකේ වෙන වැරැද්දක් නෑ කියලා. මගේ නිර්මාණය අගය කළා. එය මට ලොකු සතුටක් වුණා.  


 මම ගෙදර ගිහින් වයර් කෑලි 2 ක ගැලෙව්වා. මගෙ කෙටි තරංග රේඩියෝ එක වැඩ කළා. ඒ දවස්වල මම මගෙ රේඩියෝ එකෙන් ඉන්දියාවේ හින්දි සින්දු පවා ඇහුවා. ඒ වගේම මගෙ රේඩියෝව පාසලේ සර්ටත් අරගෙන ගිහින් පෙන්නුවා. සර් පාසලේ තිබුණ තාක්ෂණික ප්‍රදර්ශනයට රේඩියෝ එක තියන්න කිව්වා. මට එයින් ද හොඳ ප්‍රතිචාර ලැබුණා.  
මට තවත් දුරට රේඩියෝ පිළිබඳ විස්තර දැනගන්න ඕනෑ වුණා. ඒත් ඒ සම්බන්ධ ලියවුණ සඟරාව තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වෙනකොට මගේ ඉංග්‍රීසි දැනුම දුර්වලයි. මම ඉංග්‍රීසි භාෂාව ගැන ටියුෂන් දෙන ගුරුවරයකු හොයාගෙන ගියා. ගුරුවරයාට මම කිව්වේ මම ඉංග්‍රීසි ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියලා. මුල් කාලයේ මම සර් උගන්වන දේ අහගෙන හිටියා.  


 ඊට පස්සේ ලියන්න පටන් ගත්තා. ඉලෙක්ට්‍රොනික්වලට තිබුණ ආසාව නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න ගිය මට ටික කලකින් පන්තියේ අනිත් ළමයි අභිබවා යන දැනුමක් ලබාගන්න පුළුවන් වුණා. ඉංග්‍රීසි දැනුමත් සමඟ සඟරා කියවලා ට්‍රාන්සිස්ටර් භාවිත කරලා විවිධ නිෂ්පාදන සිදුකළා.  


 විශේෂයෙන්ම මම පොඩි කාලේ ආස කළා පොලිස් නිලධාරින් අ​ෙත් තිබෙන වෝකි ටෝකිවලට. ඒ වගේම අවි ආයුධවලට. මගේ මාමා හිටියේ පොලිසියේ. ඒ නිසා ඒවා අතපත ගා බලන්න පුළුවන් වුණා. ඒවාහි තිබෙන තාක්ෂණය ගැන අවබෝධයක් ලබා ගත්තා.  


 ඒ දැනුම මට පස්සේ කාලේ නාවික හමුද‌ාවට ගියාම ප්‍රයෝජනවත් වුණා. මම මිලිමීටර් නවයේ පිස්ටල් එකේ සිට කාලතුවක්කුව දක්වා අත ගා බැලුවා. ඒවා ප්‍රතිසංස්කරණය කළ අවස්ථාත් තිබුණා.  

 

 


තාක්ෂණයට ඇලුම් කළ ඔබ වෘත්තියෙන් වෛද්‍යවරයකු වෙන්නේ කොහොමද?  


මගේ අම්මගෙ ආසාව තිබුණේ මාව වෛද්‍යවරයකු කරන්න. ඒ නිසා මම හොඳින් විභාග සමත්වෙලා වෛද්‍ය විද්‍යාලයට ගියා. මගේ මුල්ම පත්වීම ලැබුණේ අම්පාර රෝහලට. අවුරුදු 2 ක් විතර එහෙ සේවය කළා. ඊට පස්සේ මාව මාරු කළා පානම ඩිස්පෙන්සරියකට. එතනත් අවුරුද්දක් විතර සේවය කළා. පස්සේ ලංකාවේ විවිධ රෝහල්වල වැඩ කළා.  
 රෝහල් ජීවිතෙත් අමතක නොවන සිදුවීම් රාශියක් තිබෙනවා. මට මතකයි මම බළපිටිය රෝහලේ සිටින අවධියේ සිදුවීමක්.  


අවුරුදු 7 ක පිරිමි ළමයකුගෙ කකුළට තාර වැටිලා රෝහලට ගෙනාවා. මුළු කකුල පුරාම තාර. මම හිටියේ බාහිර රෝගී අංශයේ ටිකට් එක නොලියාම ළමයව ටැප් එක ළඟට අරගෙන ගියා. කකුල හෝදලා වාට්ටුවට යැව්වා. ඒත් මගෙ හිතට හරි නෑ. අපේ අය තාර අරින ක්‍රමය මට මැවෙනවා. මම ඕපීඩී එක අත ඇරලා වාට්ටුවට ගියා. මම හිතපු විදියටම කට්ටිය හෝස් කෑලි, සැව්ලෝන් අරගෙන තාර අයින් කරන්න ලෑස්ති වෙනවා. හමත් එක්ක ගැලවෙන කොට කොල්ලා හූ කියනවා. මේක මට බලාගෙන ඉන්න බෑ.  
මට පොඩි කාලේ කරපු තාර උණුකරපු සෙල්ලම මතක් වුණා. මම දැනගෙන හිටියා පැට්‍රෝල් වලින් භූමිතෙල්වලටත් වඩා හොඳට තාර දියවෙනවා කියලා. ඒත් ‘පැට්‍රෝල්වලට දැවිල්ල ඒවි නේද’ කියලා මම හිතුවා. ඒ නිසා ඒ ළමයගෙ තාත්තට කියලා භූමිතෙලුයි පැටෝලුයි දෙකම ගෙන්වා ගත්තා. දෙකම එකතු කරලා ළමයගෙ කකුළ බේසමක් උඩින් තියලා මිශ්‍රණයෙන් සුද්ධ කරා. අපූරුවට කකුල බේරලා තාර ටික දියවෙලා ගියා. කකුල පිරිසිදු කරලා ඉක්මනටම ගාල්ල රෝහලට යැව්වා. එද‌ා හිතට දැනුණේ ලොකු සතුටක්.  
රජයේ රෝහල් ගණනාවක සේවය කරපු මම ජේවීපී භීෂණය පැවැති වෙලාවේ ජපානයට ගියා. ඒකට හේතු වුණේ ජේවීපි එකෙන් මගේ බාප්පා මැරුවා. රෝහලටත් වෙඩි තිබ්බා. මටත් විවිධ තර්ජන තිබුණා. ඒ නිසා මම රටින් පිට වුණා.  


 ජේවීපී භීෂණය අවසන් වුණාට පස්සේ නැවත ලංකාවට ආවා. ඊට පස්සෙත් රෝහල් ගණනාවක සේවය කළා. රෝහල්වල සේවය කරද්දිත් රෝහල්වල තිබෙන එක්ස්රේ මැෂින්, ඊ.සී.ජී. මැෂින්, ඩෙන්ටල් කෙයාස් කැඩුණම මමයි අලුත්වැඩියා කළේ. එයින් මට ලොකු සතුටක් ලැබුණා.  


මම මුල්ම කාලේ විතරයි පෞද්ගලික ප්‍රතිකාර කළේ. මට අවශ්‍ය වුණා ර​ෙට් දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න. ඒ අනුවයි විවිධ නව නිර්මාණ සිදුකළේ.  
 එසේ කළ නව නිපැයුම් මොනවාද?  


 ජනතාව මුහුණ දුන් එක ප්‍රශ්නයක් තමයි දුම්රිය ගේට්ටු නොමැති තැන්වලදී අනතුරට ලක්වීම. මීට පිළියමක් ලෙස මම ස්වයංක්‍රීය රේල් ගේට්ටුවක් හැදුවා. පස්සේ එය පරික්ෂා කිරීමට අවස්ථාව දෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට දැන්වූවා. ඒත් ඊට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ හින්දා මම එය රේල් පාරට පිටින් තියලා සෙන්සර්ස් සවිකරලා බැලුවා. රේල් ගේට්ටුව වැඩ කරා. පස්සේ මම මගේ මිත්‍රයකුගෙ ගෙදර සෙන්සර්ස් සවි කරලා මගේ ගෙදර රේල් ගේට්ටුව සවි කරලා කෝච්චිය යනකොට අපේ ගෙදර රේල් ගේට්ටුව වැහෙනවා. පස්සේ ඕක වව්නියාවේ අරගෙන ගියා.  


 එහෙ මගේ යාළුවෙක් හිටියා එස්.එස්.පී. ඒකනායක කියලා. එයාගේ අනුග්‍රහයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ රේල්පාරේ ඉඩමට පිටින් එය සවිකර බැලුවා. එහිදිත් එය හොඳින් ක්‍රියාකාරි වුණා. නමුත් එය පැවැති රජය භාර ගත්තේ නෑ. එස්.එස්.පී. මහත්තයත් නුවරට මාරු කළා.  


මටත් පොලිසියෙන් එවලා තිබුණා ලියවිල්ලක් රේල් ගේට්ටුවක් අනවසරයෙන් සවි කළා කියලා. මම කිව්වා මෙය මේ රටට සේවයක් කිරීම සඳහා කළ උත්සාහයක් කියලා. ඒක පිළි අරගෙන ඔවුන් ගියා. මට මහ කළකිරීමක් ඇතිවුණේ. මම රේල් ගේට්ටුවේ කුරියර් දෙක කපලා අරගෙන ගෙදරට ඉණිමඟක් හද‌ාගත්තා. ඒක තමයි මගේ විශ්‍රාමික වැටුපෙන් මුදල් වියදම් කරලා හදපු නව නිර්මාණයට අත්වෙච්චි ඉරණම. 

 
වෛද්‍යවරයකු වූ ඔබ නාවික හමුද‌ාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?  


මගේ යාළුවෙක් හිටියා ගාමිණී වික්‍රමසිංහ කියලා (ලංකා බැංකුවේ හිටපු සභාපති). ඒ මහත්තයා මාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හඳුන්වලා දුන්නා. ‘මෙයාට යුද්ධයට සම්බන්ධ උපකරණ නිපදවන්න පුළුවන්’ කියලයි මාව හඳුන්වලා දුන්නේ.  


 ඔහු කිව්වා නාවික බෝට්ටු මුහුදු ගියාම සිග්නල් නෑ. ඒ නිසා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වුණාම දැනුම් දෙන්න විදියක් නෑ. ටවර් සේරම කොටි සංවිධානයෙන් අල්ලගෙන. අපිට මූදේ යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. කොටින් තමයි මූදේ වැඩි වාසියක් ගෙන තිබෙන්නේ කියලා. ඒ නිසා මුහුදේ ඔපරේෂන් ගොඩක් අඩු කරා කියලා. ඒ වෙනකොටත් මම ට්‍රාන්ස්මීටර් පාවිච්චි කරන්න පුළුවන් බලපත්‍රයක් ලබාගෙන තිබුණා. මම පුංචිකාලේ ඉඳලා තාක්ෂණය අතපත ගාලා හැදෑරුවා. දැනුම තිබුණා. ඒ නිසා මම කිව්වා වෝකි ටෝකි එකෙන් ඇන්ටෙනා පාවිච්චි කරලා කොළඹට​ වුවත් කතා කිරීමට හද‌ාගත හැකි බව. එයා ඒක අගය කළා. මට නාවික හමුද‌ාවට බැඳෙන්න කිව්වා.  


ඒ අනුව මම ස්වෙච්ඡා නාවික නිලධාරියෙක් විදියට නාවික හමුද‌ාවට බැඳුණා.  


නාවික හමුද‌ාවේද කළ නව නිර්මාණ මොනවාද?  


ඩෝරා බෝට්ටුවලට ඇන්ටෙනා හදලා දුන්නා ගොඩිබිම සමඟ සම්බන්ධතා පැවැත්විය හැකි විදියට. ඒක තමයි නාවික හමුද‌ාවට බැඳිලා කරපු පළමුවැනි ජොබ් එක. ඊට පස්සේ මම නාවික හමුද‌ාවට හදලා දුන්නා ස්වයංක්‍රීය බෝට්ටුවක්. එය කිලෝ මීටර් 15 ක් දුර යවලා ආපසු එන පාර දුන්නාම ඒ ආකාරයට ආපසු ආ හැකි එකක්. ඒකෙන් එල්ටීටීඊ ප්‍රදේශවල පින්තූර ගන්න, ප්‍රහාර එල්ල කරන්න, නිවේදන නිකුත් කරන්න පුළුවන්.  


 මුලින් එල්ටීටීඊ නාවික අංශය ශක්තිමත්වයි තිබුණේ. ඒත් පරික්ෂණ කරලා අපේ තාක්ෂණය දියුණු කරගත්තාම අපිට එයාලට වඩා ඉදිරියට එන්න පුළුවන් වුණා. අපට බොහෝ දේ අපිම නිපදවා ගත්තා. අධිවේග ප්‍රහාරක යාත්‍රා අපි හැදුවා. .......??... මාස්ටර්ස් තුවක්කුව අපිට ඇමෙරිකාවෙන් දීලා තිබුණත් ඒවාට අත්‍යවශ්‍ය වූ සමහර උපකරණ දීලා තිබුණේ නෑ. ඒ අභියෝගය අපි ජයගත්තේ අවශ්‍ය උපකරණ හදලා.  


ඒ වගේම නාවික හමුද‌ාවේ ඉද්දි මම දැක්කා බිම් බෝම්බ සොයන්න යන හමුද‌ා භටයන්ට අත්වන අවාසනාවන්ත ඉරණම. ඔවුන් ඉදිරිය බලාගෙන පාපැදිය පදින විට පිටුපසින් ත්‍රස්ත පහර එල්ල වුණා. ඒ හින්දා මම ඉදිරිය සහ පිටුපස යන දෙපසම බලමින් දෙදෙනෙකුට පැදිවිය හැකි බයිසිකලයක් නිර්මාණය කළා.  


එ් වගේම ඉලංගකෝන් මහතාගේ සහයෝගය හා දිරිගැන්වීම මත අවි ආයුධ රාශියක් නවතම ප්‍රතිසංස්කරණ බවට පත් කළා. ඒවා අපිට යුද්ධයේදී වාසිසහගත ලෙස භාවිත කළ හැකි වුණා.  


විශ්‍රාම සුවයට පැමිණි පසුවත් ඔබ නිෂ්පාදන රැසක් සිදුකළා. විශේෂයෙන් වල් අලි ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කළා නේද?  


ඔව්. මේ රටේ ගොවියන්ට බලපා ඇති විශාල ගැටලුවක් එය. එයට ප්‍රතිකර්මයක් ලෙස විදුලිවැට එනජයිසරයක් නිර්මාණය කළා.  


අද වෙනකොට ගල්ගමුවට විතරක් එම විදුලි වැටවල් 400 ට අධික ප්‍රමාණයක් දීලා තිබෙනවා. එම විදුලි වැට බහුකාර්ය විදුලි වැටක්. එයින් ගොවියෙකුට ලයිට් එකක් ද‌ාගන්න පුළුවන්. දුරකතනය චාජ් කරගන්න පුළුවන්. තමන්ගේ විදුලි වැටට විදුලිය සපයන්න පුළුවන්.  


 මෙම විදුලිවැට එනජයිසරය සූර්ය බලයෙන් හා ප්‍රධාන විදුලියෙන් යන දෙකෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේ විදුලි වැට එනජයිසරය 2013 සහසක් නිපැයුම් ප්‍රදර්ශනයෙන් හොඳම නව නිපැයුමට හිමි රන් සම්මානය ලැබුණා. මගේ එම නව නිර්මාණය මේ වන විට ගොවියන්ට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සපයා තිබෙනවා. ඒකෙන් වල් අලි, ඌරන්, ඉත්තෑවන් ආදී සත්තු පලවා හැරිය හැකියි.  


ඔබගේ අලුත්ම නව නිපැයුම් මොනවාද?  


සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල ශීතකරණ තිබෙනවා. ඒ ශීතකරණවල එන්නත් ගබඩාකර තිබෙනවා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සෙනසුරාද‌‌ා වරුවෙන් වහනවා. ඉරිදත් නිවාඩු. සඳුදා නිවාඩු දවසක් වුණොත් නිවාඩු දවස් 2 1/2 ක් පමණ වෙනවා. මේ කාලය තුළ විදුලිය බිඳ වැටීමක් වුණොත් දැනගන්නට ලැබෙන්නේ නෑ. ඉන් එන්නත් නරක් විය හැකියි. එය විශාල මුදල් නාස්තියක්. මම ඒ ගැටලුවට විසඳුමක් හොයාගත්තා. ඒ අනුවයි නව උපකරණය හැදුවේ.  


 හදිසි විදුලි බිඳ වැටීමකදී පවතින උෂ්ණත්වයත් සමග කෝල් එකක් සහ එස්.එම්.එස්. පණිවිඩයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාට, සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාට හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාට ආදී 5 දෙනෙකුට එම පණිවිඩය ලබා දෙනවා.  


 දැනට මේ උපකරණය අපි පොල්හේන මධ්‍යම බෙහෙත් ගබඩාවේ සවිකර තිබෙනවා. මාතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමාගේ අනුග්‍රහයෙන් එය සිදුකෙරේ. එය හොඳින් ක්‍රියා කරනවා. මම එය ගිහින් පෙන්නුවා ශීතකරණ භාරව ඉන්න බලධාරියෙකුට. එයා කිව්වේ එයට ප්‍රමිතියක් නෑ, ඒ නිසා එය භාරගත නොහැකි බව. ඒ නිසා මේ ව්‍යාපෘතිය නතරකර තිබෙනවා. ඒත් අපි මාතර ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවේ ක්‍රියාත්මක කළ උපකරණය තවමත් සක්‍රීයව පවතිනවා. ඒ වගේම තව එකක් එම්.ඕ.එච්. ඔෆිස් එකකත් සවිකළා. මේ සියල්ල නිවැරදිව ක්‍රියාත්මක වෙන නිසා එ් පිළිබඳව සහතිකයක් ලබාදෙන බව අද‌ාළ නිලධාරින් පැවසුවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා නැවතත් එම උපකරණය සොඛ්‍ය අමාත්‍යාංශයට යොමුකරන්න.  


 විශේෂයෙන්ම මෙම උපකරණය රුධිර බැංකුවලටත් වැදගත් වෙනවා. හේතුව එම ස්ථානයේ රුධිරය වගේම ශරීර අවයවයන් ද තැන්පත්කර තිබීම. විදුලි බිඳ වැටීම් නිසා ඒවා ද භාවිත කළ නොහැකි තත්ත්වයන්ට පත්විය හැකියි. මෙවන් වූ වාතාවරණයක් තිබියදීත් ඊට විසඳුමක් ලෙස ඉදිරිපත් කළ මේ උපකරණයට රජයේ ප්‍රමිතිය ලබා දී රජයට භාරගෙන නෑ. හේතුව ලංකාවේ කිසිදු විදුලි උපකරණයකට ප්‍රමිතිය ලබාදෙන ආයතනයක් නැති වීම.  


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියන්නේ විදුලි උපකරණවලට ප්‍රමිතිය දෙන ක්‍රමවේදයක් එයාලට නෑ කියලා. එය රටට විශාල පාඩුවක්. හේතුව ශ්‍රී ලංකාවේ නව නිපැයුම්වලින් සියයට 70 ක් පමණ ඉලෙක්ට්‍රෝනික නව නිපැයුම්. ඒත් ප්‍රමිතියක් නොදෙන නිසා ඒවා වෙළෙඳපොළට යැවීමට විදියක් නෑ.  


 එය විශාල ප්‍රශ්නයක්. මුලින්ම යුනික් රේඩියෝ එක වගේ දේවල් ආරම්භ කළේ 1970 ගණන්වල. නමුත් අපට කිසිම ඉලෙක්ට්‍රොලික උපකරණ හදලා වෙළෙඳපළට ඉදිරිපත් කරන්න බැරිවෙලා තිබෙනවා. මේක තමයි දැනට ලංකාවේ තිබෙන තත්ත්වය.  


 මීට අමතරව මම හදලා තිබෙනවා නිවෙස්වල සොර සතුරු උවදුරුවලින් බේරීමට අවශ්‍ය උපකරණයක්. තව හද‌ාගෙන යනවා කුරුඳු තලන මැෂින් එකක්. තේ දලු නෙළන මැෂිමක් හදන්නත් පරීක්ෂණ පවත්වමින් සිටිනවා.  


ලංකාවේ නව නිපැයුම්කරුවන්ට ලැබී ඇති තත්ත්වය මොකක්ද?  


සියලු දේ කරන්නේ පෘථිවිය මත වෙසෙන මිනිස්සු. උත්සාහ කළොත් බෑ කියලා දෙයක් නෑ. මම නාවික හමුද‌ාවේ ඉද්දි එල්ටීටීඊ ගුවන් යානා බිමද‌ාන්න පුළුවන් ෆයු සීරෝ හතුරන් නිර්මාණය කළා.  


 ඒ වගේම ටී 56 තුවක්කුවට සාමාන්‍යයෙන් සයිලන්සරයක් සවි කරන්න බෑ. ඒත් එයටත් මම අභියෝග කර සයිලන්සරයක් නිපදවා ටී 56 ට සවි කරා. ලංකාවේ මිනිස්සුන්ට කරන්න බෑ කියලා දෙයක් නෑ.  


විශේෂයෙන්ම මොරටුව විශ්වවිද්‍යාලයේ නවීනතම ​​ඉලෙක්ට්‍රොනික තාක්ෂණය උගන්වනවා. හොඳම ළමයි ටික ලංකාවේ රැඳෙන්නේ නෑ. ඉගෙන ගෙන පිටරට යනවා. ඒ බුද්ධි ගලනය ලංකාවට විශාල පාඩුවක්.  


 උද‌ාහරණයක් විදියට කිව්වොත් මම ස්වයංක්‍රීය බෝට්ටුව හදපු වෙලාවේ එය කම්පියුටර් එකට ඉන්ටර්පේස්ට් කරලා දුන්නේ ගාමිණී කියලා අවසන් වසර ශිෂ්‍යයෙක්. ඔහු ඉතාම දක්ෂයි. ඔහු විශ්වවිද්‍යාලයෙන් ඉවත්වුණ ගමන්ම ඕස්ට්‍රේලියාවට ගියා. අපට හොඳ මොළයක් අහිමි වුණේ. ඔහු ඕස්ට්‍රේලියාවේ රෝස්වල්ඩ් කම්පැණියේ ​ඉලෙක්ට්‍රොනික අංශයේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස කටයුතු කරනවා. අද ඒ ආකාරයට ලංකාවට අහිමි වූ මානව සම්පත් ප්‍රමාණය ඉතාම ඉහළයි.  


හේතුව ලංකාවේ පාලකයන්ගේ වැරැද්ද. ඔවුන් අපි වගේ නව නිපැයුම් කරන පුද්ගලයන්ට කිසිදු දිරි ගැන්වීමක් කරලා නෑ. අපගේ දැනුම අරගෙන මේ රටට යහපතක් කරන්න කතා කරලා නෑ.  


 සමහර දේශපාලනඥයෝ කැමැති නෑ මේ වගේ උපකරණ ලංකාවේ හදනවට. හේතුව ඔවුන්ට ලැබෙන කොමිස් මුදල් අහිමි වීම. හොඳම උද‌ාහරණය තමයි මගේ ස්වයංක්‍රීය රේල් ගේට්ටුව.  


 මේ තාක්කල් මගේ වියදමෙනුයි පර්යේෂණ කර නව නිපැයුම් නිපදවූවේ. මේ රටේ මුදල් බොරු දේ වලට කොතරම් නාස්ති කරනවාද? නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කියලා එකක් තිබුණට ඉන් සැබෑ ප්‍රයෝජනයක් ලැබෙනවාද? සහතිකයක් දීලා මුදල් ටිකක් ලබා දුන්නට එය දිගුකාලීනව ප්‍රතිඵලද‌ායකද? අපේ දරුවන්ගේ නිර්මණ ජිනීවා ගිහින් ප්‍රදර්ශනය කරනවා. එතනදීත් අපේ අදහස් හොරාගෙන පසුකාලීනව අපිටම අළෙවි කිරීමක් සිදුවන්නේ.  


 එතනට එන කිසි කෙනෙක් අපේ ළමයින්ගේ පේටන්ට් එකක් මිලදී ගන්නේ නෑ. සමහර විට ඒවා මිලියන ගණන් වටිනා නිර්මාණ. අන්තිමට ඒ අය අපේ දරුවන්ගේ අදහස් අරගෙන කරන නිර්මාණ අපිටම ලක්ෂ ගණනට අළෙවි කරනවා.  


 මේ තත්ත්වයන් වෙනස් විය යුතුයි. එයට හොඳ දැක්මක් සහිත නායකත්වයක් තිබෙන්න ඕන. මේ වෙලාවේ මම අද්මිරාල් ඉලංගකෝන් මහතා සිහිපත් කරනවා. මම සතුටින්ම හිටියේ නාවික හමුද‌ාවේ ගත කළ වසර 4 ක කාලය තුළයි. මම, මම වුණා එතනදී.  


 නව නිර්මාණ සඳහා අපව දිරිමත් කළා. ඔහු අවශ්‍ය පහසුකම් සලසා දුන්නා. දොස්තර තුළ ජීවත් වූ ඉංජිනේරුවා එළියට ආවේ ඒ කාලයේදියි. අපේ මිනිස්සු බලන ආකාරය වෙනස් විය යුතුයි. සිතන ආකාරය වෙනස් විය යුතුයි. සැබෑ දක්ෂයන්ට එළියට එන්න ඉඩ දිය යුතුයි.  


 ඒ සඳහා පාලකයන්​ෙග් අවධානය යොමුවිය යුතුයි. මේ රටට විශාල මුදලක් උපයාගත හැකි නව නිර්මාණවලට ප්‍රමිතියක් ලබා දීම ඉතා වැදගත් වෙනවා. පෞද්ගලික වාසි පිළිබඳ නොසලකා රටේ සහ මහජනතාවගේ යහපත පිළිබඳ සිතා කටයුතු කරන දැක්මක් තමයි අවශ්‍ය වෙන්නේ.  

 

 

සටහන - කුමාරි හේරත්