ඇස්ගෙඩිවලට හෙණ ගහලද බලවතුනේ?


අනාවරණ

නිකරුණේ කැලෑවට යටවෙන මිනිපේ වී මෝල   

විනාශය කරා යන වී මෝල් සංකීර්ණය 02 මිනිපේ මහ ගොවි ජනපදය

 

  • ඉදිකිරීම් කර ජනතා අයිතියට පත් කළේ මැතිනිගේ ආණ්ඩු කාලේ   
  • අති විශාල වී ගබඩා සංකීර්ණය අද වනසතුන් ලඟින පාළු බිමකි.  

 

අවිධිමත් පරිපාලනය හේතුවෙන් කලක සිට රජය සතු කෝටි ගණන් මහජන දේපළ විනාශය කරා යමින් පවතින අතර එම දේපළ අතරට වී අලෙවි මණ්ඩලය සතුව තිබු වී මෝල් සංකිර්ණ සහ වී ගබඩා විශාල සංඛ්‍යාවක් අයත් වේ.   පාරිභෝගිකයාට සහන පදනමට සහල් ලබාදීමේ අරමුණින් ගොවියාගේ ඉල්ලීම මත එවකට පැවති රජයන් විසින් වී අලෙවි මණ්ඩලය හරහා ගොවි ජනපදවල වී මිලදී ගැනීම සඳහා ගබඩා ඉදිකළ අතර ඇතැම් ප්‍රදේශවල මහා පරිමාණයේ වී මෝල් ඉදි කෙරිණ.   


මෙම පහසුකම් ලැබීමෙන් පසු ගොවියාට කිසිදු කරදරයක් නොමැති අතරමැදියාගෙන් මිදි තම නිෂ්පාදන කෙළින්ම වී අලෙවි මණ්ඩලයේ ගබඩාවට දීමේ අවස්ථාව හිමි වූ අතර ඉන් අපහසුතාවකින් තොරව පාරිභෝගිකයාට අවශ්‍ය සහල් ලබා ගැනීමටත් හැකි විය. එය එකල ගොවියා මෙන්ම පාරිභෝගිකයා ලද විශාල සහනයක් විය.   


රජයට සහ පාරිභෝගික ජනතාවට අහිතකර බලපෑම් එල්ලකරමින් දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින සහල් මාෆියාවට පිළිතුරු දෙන්නට රජය සතුව ඇති අභාවයට යමින් පවතින මේ වී මෝල් නැවත ප්‍රතිසංස්කරණය කර එහි කටයුතු ආරම්භ කිරීම කාලෝචිත බව මිනිපේ ගොවි ජනතාව පෙන්වා දෙති.   

 

මිනිපේ ගොවියාගේ වී නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව අසරණව සිටි අවධියේ 70 දශකයේ සමගි පෙරමුණ රජයේ මිනිපේ මැතිවරණ කොට්ඨාසය නියෝ ජනය කරනු ලැබු හිටපු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය දිවංගත එච්.එම්. නවරත්න මහතාගේ විශේෂ මැදිහත්වීම මත වී අලෙවි මණ්ඩලය හරහා වී අලෙවි කර ගැනීමට කෝටි ගණනක් වටිනා මහඟු සම්පතක් මිනිපේ ගොවි ජනතාවට සැලසිණ.   


මෙම සම්පත වූයේ හසලක නගරයේ ඉදිවූ දැවැන්ත වී මෝල් සංකීර්ණයයි. මෙය අඩි 60ක් පමණ උසැති විෂ්කම්භය වට අඩි 30ක් පමණ වන සිලින්ඩර් 12ක්, අඩි 40කින් පමණ විෂ්කම්භය ඇති වට අඩි 25ක් පමණ වන සිලින්ඩර් 08ක්, වී තම්බන බොයිලේරුවක් සහිත වී අඹරණ ඇඹරුම් මැෂින් කීපයක් සහ ලොරිය සමඟ වී කිරණ තරාදියක් සහිත නේවාසිකාගාර ඇතුළු අංගසම්පූර්ණ ආයතනයක් බවට පත් කෙරිණි.   

 

ජනපදයේ නෙළු අස්වැන්නක්

 


හසලක නගරය කේන්ද්‍ර කරගෙන ඉදි වූ ආසියාවේ තෙවෙනි වී මෝල් සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමට 1976 පෙබරවාරි මස 05 වෙනි දින පැමිණි අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රකාශ කළේ - හසලක සහල් මෝල් සංකීර්ණය ඉදිකිරීමෙන් මිනිපේ ගොවි ජනපදයේ ගොවියාට පමණක් නොව මහනුවර දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයා ඇතුළු මුළු දිවයිනටම අවශ්‍ය සහල් සැපයීමට හැකිවෙන බවයි.   


එවැනි බලාපොරොත්තු ගොන්නක් ගොවියාට ලබා දී ආරම්භ කළත් අද එම වී මෝල් සංකීර්ණය මිනිපේ ගොවියාගේ දෙනෙතට කඳුළු උනන පළාතට අවාසනාව ගෙන දෙන වන සතුන් ළගින ලඳු කැළයට යටවෙන අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට හසු වූ ආයතනයක් බවට පත්ව තිබේ.   


ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ මහතා හඬ අවදි කරන්නේ මෙවැනි අදහසක් ඉදිරිපත් කිරීම සඳහාය.   


රටේ ගොවි ජනතාවට බලපා ඇති සහල් මාෆියාවත් එක්ක යන වැඩසටහන යටතේ අද අපට කතා කරන්න මාතෘකාවක් තිබෙනවා. ඒ මේ රටේ පාරිභෝගික ජනතාව සහ රජය මේ සහල් මාෆියාවෙන් මුදවා ගන්න ක්‍රමවේදයන් පිළිබඳව මිනිපේ ව්‍යාපාරයේ තිබෙනවා ආසියාකරයේ දැවැන්ත සහල් මෝලක්. මේ මෝල් සංකීර්ණය දිහා බැලුවාම අපිට හරිම කනගාටුයි.   


විවිධ දේශපාලන පක්ෂ මේ රට අගාධයට ඇද දමමින් මේ සම්පත් විනාශ කරා යන ගමන පසුගිය කාලයේ ආර්ම්භ කළා. අද පුද්ගලික සහල් මෝල් කීපදෙනෙකු ළඟට ගිහිල්ලා දනින් වැටෙන මේ රජය අපේ රටේ තිබෙන මේ සම්පත් උපයෝගි කරගෙන කටයුතු කළහොත් මේ රටේ කෘෂිකර්මාන්තය තුළින් ජීවත්වෙන අසුහය ලක්ෂයක් පමණ වන ගොවි ජනතාවට රටේ රාජ්‍ය සේවකයන්ට ඇතුළු සියලු දෙනාටම මෙයින් ලැබෙන ප්‍රතිලාභය අතිවිශාලයි. 

 
මම 2017-2018දී මේ අවාසනාවන්ත තත්ත්වය මේ රටේ එවකට සිටි ඉහළ පෙළේ රාජ්‍ය නායකයන්ට සහ විෂය භාර අමාත්‍යවරුන්ට පෙන්නුම් කළා. නමුත් ඒ කිසිවෙක් මේ ගැන අවධානයක් යොමු කළේ නැහැ. අද වෙනවිට මේ වී මෝල් සංකීර්ණය විනාශය කරා ගිහිල්ලා ඉවරයි.   


ඇමරිකානු තාක්ෂණයට අනුව ඉදි කළ මෙවැනි දැවැන්ත සහල් මෝල් සංකීර්ණයක් විනාශය කරා යෑම ලංකාවේ දකින්නටත් ලැබීම ගැන කනගාටු වෙනවා. ඒ නිසා මම රටේ වගකිව යුතු අයගේ අවධානය මේ ගැන යොමු කරන මෙන් මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. සුළු සේවක සංඛ්‍යාවකින් ආරම්භ කරපු මෙම ව්‍යාපෘතිය නිසා ප්‍රදේශයේ ගොවි පවුල්වල රැකියා විරහිත සිය ගණනක් දෙනාට එකල රැකියා ලැබුණා. නමුත් මෝල වසා දැමීම නිසා ඔවුන්ගේ ජීවන ගමනටත් බාධා එල්ල වුණා.   


වර්තමානයේ ක්‍රියාත්මක සහල් මාෆියාවෙන් ජනතාව මුදවා ගන්නට නම් මේ දුකෙන් මිදෙන්නට අපිට වසර දෙකක් යනකොට මේ රටේ ගොවි ජනතාව අපේක්ෂා කරන ඉලක්කය කරා යන්න පුළුවන් වෙනවා.   


රටේ එක්තරා සහල් මෝල් හිමියන් කණ්ඩායමක් කරනු ලබන මේ අමානුෂික ක්‍රියාව හේතුවෙන් මධ්‍යම පරිමාණයේ සහ සුළු පරිමාණයේ සහල් මෝල් ව්‍යාපාරිකයන් අද අසරණ වෙලා. ඔවුන්ට යන්න එන්න තැනක් නැහැ. මහා පරිමාණයේ ව්‍යාපාරිකයෝ ඔවුන් සතු විශාල ධනස්කන්දය ගෙනත් දැම්මාම පොඩි මිනිහා අසරණ වෙනවා. ඒ අසරණ භාවයෙන් මුදවා ගන්නට මේ රටේ තියෙන රාජ්‍ය අංශය වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී මෝල් සංකීර්ණ නැවත වතාවත් ජනතා අයිතියට පත්කළ යුතුයි.   


1976 පෙබරවාරි මස 05 වෙනි දින මෙම සහල් මෝල් සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමට පැමිණි එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට බුලත් අතක් දිලා පිළිගැනීම කළේ එවකට පාසල් ශිෂ්‍යයෙකු වූ මමයි. ඒ ඉතිහාසය මට මතක් වෙන කොට මට හරිම කනගාටුවක් දැනෙනවා.   


අද මෙහි තිබෙන සියලු ගොඩනැගිලි දිරා පත්වෙමින් තිබෙනවා. ඉඩම විවිධ පුද්ගලයන්ගේ ග්‍රහණයට හසුවෙලා. තිබුණු නේවාසික ගොඩනැගිලි පවා ඇතැම් පුද්ගලයන් සතු කරගෙන තිබෙනවා. එම නිසා රජයේ වගකිවයුතු අයගේ විශේෂ අවධානය මෙම මෝල් සංකිර්ණය කෙරෙහි යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.   
හසලක වරාගොල්ල ගොවි සංවිධානයේ සභාපති ආර්.එම්. පුංචි බණ්ඩා මහතා සඳහන් කළේ මෙවැනි කතාවකි.   

 

මිනිපේ යෝධ ඇළ

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිරීක්ෂණ සංචාරයක අවස්ථාවක්

 


මිනිපේ මහ ගොවි ජනපදය කියන්නේ ඵෙතිහාසික ජනපදයක්. ලංකාවේ පළවෙනි වතාවට මහවැලි ගඟ හරස් කරලා මහවැලි ජලය උතුරට රැගෙන යෑමේ කටයුක්ත ආරම්භ කළේ පළවෙනි අග්බෝ රජතුමන්ගේ සමයේයි. පසු කාලීනව එය අභාවයට ගොස් තිබුණු අතර නැවත මෙම ජනපදයට ජීවය ලැබෙන්නේ 30 දශකයේ එවකට කෘෂිකර්ම අමාත්‍ය ධුරය හෙබ වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමගේ සමයේ මිනිපේ රාජ්‍ය සභා නියෝජිත එස්.බී. රඹුක්වැල්ල දිසාවගේ මඟ පෙන්වීම යටතේයි.   


වග වලසුන් ඇතුළු වන සතුන් ගහණ එදා ආරම්භ කරපු ජනපදය අද ජාතියට ආහාර නිෂ්පාදනය කරනු ලබන පළාතේ වටිනාම ව්‍යාපාරක් බවට පත්ව තිබෙනවා. නමුත් මෙම ජනපදය කෙරෙහි හෝ ජනපදයේ ගොවියාට සහන සැලසීමට ඇති ආයතන කෙරෙහි පැවති රජයන් දක්වනු ලැබු අඩු අවධානය නිසා මිනිපේ ගොවියා එදාට වඩා අද අසරණ වි සිටිනවා කිවොත් නිවැරදියි. ඒක හසලක නගරයේ තිබෙන අද වනයට යටවෙමින් පවතින වී මෝල් සංකිර්ණය දිහා බැලුවාම ඕනම කෙනෙකුට දැක බලා ගන්න පුළුවන්.   
මේ වී මෝල් සංකීර්ණයේ ඇති දැවැන්ත ගබඩාවල මිනිපේ පමණක් නොවෙයි පෙළොන්නරුව අම්පාර වැනි ප්‍රදේශවල වී රැගෙනවිත් ගබඩා කරන්නත් එම වී සහල් බවට පත්කරන්නත් අවශ්‍ය පහසුකම් තිබෙනවා. මෙවැනි වටිනා සම්පතක් විනාශය කරා යන්නට ඉඩදීම ජාතික අපරාධයක් විදිහටයි මම දකින්නේ.   


මිනිපේ ගොවිජන පදයට වී මෝල් සංකීර්ණය අහිමිවීම පිළිබඳව අදහස් දැක්වූ මිනිපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්ලිව්.එම්. වීරසූරිය මහතා මෙසේ පැවසීය.   


30 හේ දශකයේ ආරම්භ වූ මිනිපේ මහ ගොවි ජනපදය ජාතික ආහාර නිෂ්පාදනයට දායක වූ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ගොවි ජනපදයයි. පියවරයන් හතරක් යටතේ ඉදි වූ මෙම ජනපදයේ ගොවි පවුල් දස දහසකට අධික ගොවි ජනතාවක් යල මහ කන්නය වගා කරනු ලබන අක්කර විසිදහසක පමණ වපසරියකින් යුතු වෙල් යායක් තිබේ. ජනපදයේ සමස්ත ජනගහණයෙන් සියයට 80කට වඩා සංඛාවක් කෘෂිකාර්මික පරිසරයක සිය ජීවනෝපාය කර ගෙනයනු ලබනවා.   

 


මෙම ගොවි ජනපදයේ ගොවියාගේ අවශ්‍යතාවය මත 1976 වර්ෂයේ දී ඉදි වූ හසලක වී මෝල් සංකීර්ණය අද ජනතාවට අහිමිව ගොසින් තිබිම කනගාටු දායකයි. මෙයට හේතුව පැවති රජයන් කෘෂිකර්මාන්තයට වගේම වී අලෙවි මණ්ඩලයටත් නිසි තැනක් නොදීමයි. ඒ හේතුවෙන් මිනිපේ ගොවියගේ අපේක්ෂා සුන්නද්දූලි කරමින් 90 දශකයේ මුල් භාගයේදී මිනිපේ ගොවියාට පමණක් නොව මෙම ආයතනයේ සේවය කරනු ලැබු ජනපදයේ විශාල පිරිසකට හසලක වී මෝල අහිමිවී ගියේ පවුල් ගණනාවකගේ ආර්ථිකයට ද කනකොකා හඬමිනුයි.   


ගෙවි ගිය එදා මෙදා කාලය තුළ පැවති රජයන් මෙම ආයතනයට කළේ සිය ව්‍යාපාරික හිතවතුන්ට බදු දීමයි. එම බදු ගැනුම්කරුවන් ගිවිසුම් ගත කරනු ලැබුවේ මෙම ආයතනය යථා තත්ත්වයට පත්කර ජනපදයේ ගොවියාගේ වී අස්වනු මිලදී ගැනීමටත් මිලදී ගන්නා වී සහල් බවට පත් කර පළාතේ පාරිභෝගියාට සහ රජයේ ආයතනවලට අලෙවි කිරීමටයි.   
මේ සඳහා ඇතැම් බදුකරුවන්ට සහන පදනම මත බැංකු ණය පවා ලබා දුන් බව සඳහන් වෙනවා. මෙම බදුකරුවන් ගිවිසුම් ගත පරිදි ආයතනය යථා තත්ත්වයට පත්කර ගොවි ජනතාවට සහන සලසනවා වෙනුවට ඔවුන් කළේ මෙහි තිබු වටිනා සම්පත් ගලවාගෙන ගොස් පිටස්තර ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීම පමණක් බවට ගොවි ජනතාව චෝදනා කරනවා.   


මිනිපේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ඒ.එම්. ධර්මසේන මහතා පැවසුවේ මෙවන් අදහසකි.   


ආසියාවේ තෙවෙනි වී මෝල් සංකීර්ණය බවට පත්වී ජනපදයට ආශිර්වාදයක්ව තිබු හසලක වී මෝල් සංකීර්ණය හසලක නගරයට සහ මිනිපේ ගොවි ජනපදයට අද අවාසනාව ගෙන දෙන වනයට යටවෙමින් පවතින ආයතනයක් බවට පත්වී තිබෙන බව මෙහි යන එන ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනෙනවා. මෙවැනි වී මෝල් ගණනාවක් රටේ විවිධ පළාත්වල පිහිටා තිබෙනවා. එම වී මෝල් සහ වී ගබඩා නැවත යථා තත්ත්වයට පත් කරන්නේ නම් වර්තමානයේ පවතින සහල් මාෆියාවෙන් පාරිභෝගික ජනතාව මුදා ගැනීමට රජයට හැකිවෙනවා.   


එවක මෙම ආයතනයේ සේවය කළ සේවක මහතෙකුගේ පුතෙකු වන හසලක ඩී. එක ඇළ ගමේ පදිංචි අර්.ජී. රංජිත් සමන්ත දසනායක මහතා මෙසේ පැවසීය.   


හසලක වී මෝල් සංකීර්ණය ආරම්භ කිරීමෙන් පසුව ගමට පමණක් නොවෙයි රටේ විවිධ පළාත්වලට, රාජ්‍ය ආයතනවලට අවශ්‍ය සහල් ලබාදීම සිදු කෙරුණා. එවැනි වටිනා සේවාවක් කරපු මේ ආයතනය වනයට යටවෙන තවත් ආයතනයක් බවට පත් නොකර ආරක්ෂක අමාත්‍යාංශය භාරයට හෝ රැගෙන මෙම ආයතනය නගා සිටුවන්නට කටයුතු කරන ලෙස මිනිපේ ගොවි ජනපදයේ තුන් වෙනි පරම්පරාවේ සාමාජිකයෙකු වශයෙන් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.   


අපි දන්නවා වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන යෝධ සංවර්ධන වැඩසටහන යටතේ පාඩු ලබමින් තිබු සියලුම රාජ්‍ය ආයතන අද ලාභ ලබන ආයතන බවට පත්වී තිබෙන බව. ඒ නිසා මෙම වී මෝල් සංකීර්ණයත් නැවත ජනතා අයිතියට පත්කර ගොවි ජනතාවට සහ පාරිභෝගික ජනතාවට සහන සලසා දෙන ආයතනයක් බවට පත් කරන මෙන් ඉල්ලා සිටිනවා. මේ තුළින් ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ පිරිසකට රැකියා මාර්ග ලබාදීමටත් හැකිවේවි කියා මම සිහිපත් කරනවා.   

 

 

සටහන සහ ඡායාරූප
රශ්මින් ද නිර්මාල් හසලක