ඇවිලෙන්නට බලා සිටින ගිනිපුපුර කාශ්මීරය


 

 

මේ දිනවල ඉන්දියාව සහ පාකිස්ථානය යුද ගැටුමකට මැදි වී ඇති කාශ්මීරය පිළිබඳ ලිපියකි.  


සීතල සිසිරය එළැඹෙත්ම සුදෙ‌ා් සුදු හිම වරුෂා වැටෙන්නට පටන් ගනී. ඒ හිම කැට කඳු ශිඛර මත ගුලි ගැහී සුදෝ සුදු හිම පලසක් බවට පත්වෙද්දී ඒ මත පතිත වන හිරු කැන්, ‘දිව්‍ය ලෝකය’ක් මිහිමත නිර්මාණය කරයි.  


ගිම්හානය එළඹෙන විට අර හිම පලස් දියවී දිය උල්පත් මැවී ඇළ දොළ සේ ගලා යයි. ඒ ඇළ දොළ මහා ගංගා බවට පත් වී ඉවුරු දෑළටම පෙම් කරමින් ගලා යති. දෙව්ලොවින් පැන ආ සුරංගනාවන් තමන්ගේ දිව් සළු මිහිමත එලා ඇතැයි එය දකින දෙවිවරු ද රැවටෙති.  


දහසක් විල් වල ජල තලා නිල් කැට සේ දිලේ... ඒ මත දහසක් කුරුල්ලෝ ප්‍රීතියෙන් පිහිනා යති. අවට වන පෙත්වල තුරු හිස් මලින් පිරී යයි. වග වලසුන් සතා සීපාවා කුරුල්ලෝ මිනිසුන්ට චමත්කාරය කියා දෙති.  


දෙවිවරු, දෙව්ලෝ ගැන කම්පා වෙති. මහා බ්‍රහ්මයා වැරදීමකින් දෙව්ලොවේ කොටසක් මිහිමත මවා ඇතැයි සිතන දෙව්වරු, දෙව්ලියන් සොයා පැමිණ ලෝකයේ පියස්සෙහි සැරිසරති.   


ලෝකයේ පියස්ස..?  


ඔව්. ලෝකය පියස්ස ඇත්තේ ද මේ ඉසව්වේය.  


මේ අන් කිසි තැනක් නොවේ. කාශ්මීරයයි. 

 
දකුණින් හා බටහිරින් පාකිස්තානයට ද උතුරින් හා ඊසාන දිගින් චීනයේ සිංකියැං ප්‍රාන්තයට ද, නැගෙනහිරින් ටිබැටයට ද, දකුණෙන් ඉන්දියාවේ හිමාචාල් සහ පන්ජාබ් ජනපද වලට ද මායිම්ව පිහිටි කාශ්මීරයයි.  


 වර්ග කිලෝ මීටර් 2,22,798 ක් පුරා පැතිරුණු මේ භූමියේ කඳුවැටි බහුලය. හැබැයි පසෙක විල් වලින් පිරුණු සුන්දර මිටියාවතක් ද ඇත්තේය.  


 කාශ්මීරයේ භූ විෂමතාව ගැන විස්තර කරන විට කතා කෙරෙන ප්‍රධාන අංග කිහිපයකි. එකක් පුංචි හිමාලය ලෙස ද හැඳින්වෙන පිර් පන්ජාල් කඳුවැටියයි. මීටර් 3800 ත් මීටර් 4500 අතර පවතින උස් කඳුමුදුන්, මේ පුංචි හිමාලයේදී දැකිය හැකිය. සිසිරයේදී හිම වැටී සුදෝ සුදු පැහැ වන නමුත් ගිම්හානයේදී කොළ පාට තණ බිම් ද කටු පඳුරු ආදිය ද සුන්දරත්වය මවයි.  


පන්ගී කඳුවැටිය හෙවත් හිමාලය අනෙකය. මීටර් 8000 තරම් උස් වූ නාග පර්බත් කඳු මුදුනට හිමිකම් කියන පන්ගී කඳුවැටිය වසරේ වැඩි කාලයක් හිමෙන් වැසී පවතී.  
ලෝකයේ පියස්ස ලෙස ද හඳුන්වන කාරකෝරම් කඳුවැටිය සින්ධු සහ ටාරීම් ගංගාවන් ද උපත දෙයි. අඩි 28250 ක් උස ගොඩ්වින් ඔස්ටින් කඳු ශිඛරය ඇතුළු උස් වූ කඳු ශිඛර මෙහි අලංකාරය මවයි.  


අනෙක් විශේෂත්වය වන්නේ කාශ්මීර මිටියාවතයි. වාර්ෂිකව මිලි මීටර් 762 ක සාමාන්‍ය වර්ෂාපතනයක් හිමිවන මේ මිටියාවතේ අවම උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක සෘන 12 ක් ද උපරිම උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 37 ක් ද දක්වා වෙනස් වෙයි.  


ඩාල්, ක්‍රිෂාන්සාර්, සල්ඩා වැනි විශාල විල් රැසක් ද සොඳුරු උද්‍යාන රැසක් ද කාශ්මීර මිටියාවතේ සුන්දරත්වය මවයි. කඳුකර වල් එළුවන්, කාශ්මීර ගෝනුන්, රතු පැහැති යුරියල් බැටළුවන්, කළු සහ දුඹුරු වලසුන් ප්‍රධාන කොට දැකිය හැකි වන සතුන්ය.  


ඩොග්‍රා රාජ්පුත්වරු සහ කඳුකර ගෝත්‍රිකයෝ වශයෙන් ජාතීන් දෙකකට බෙදිය හැකි කාශ්මීරයේ ජනතාව අතුරින් සියයට අසූවකට වඩා වැඩි පිරිසක් අදහන්නේ ඉස්ලාම් ආගමය. හින්දුවරුන් ජම්මු ප්‍රදේශයේ ද මහායාන බෞද්ධයෝ ලඩාක් ප්‍රදේශයේ ද වසති.  


 මෙකී සියලු ජනකොටස් වල ප්‍රධාන ජීවනෝපාය ලෙස සැලකෙන්නේ කෘෂිකර්මයයි.  


නමුත් රටේ මුළු භූමියෙන් කෘෂිකර්මය සඳහා භාවිත කෙරෙන්නේ හෙක්ටයාර් තිස් ලක්ෂයකි. ඉන් තුනෙන් දෙපංගුවක්ම යොදන්නේ සත්ව පාලනයටය. විශේෂයෙන් බැටළුවන් ඇති කිරීමටය. ඉතිරි කොටස වගාවට වෙන් කෙරෙන අතර ඉරිඟු, බජ්රා, බාර්ලි, තිරිඟු සහ වී එහි වගා කෙරෙන ප්‍රධාන ධාන්‍ය වර්ගයන්ය. එසේම එළවළු වර්ග ද අප්‍රිකට් මිදි සහ සහ ඇපල් වැනි පලතුරු ද රස මවති.  

 


කපු, ලෝම, සේද ආදියෙන් නිර්මාණය වන සළු පිළි වලට කාශ්මීරය ප්‍රසිද්ධියක් උසුලන්නේ ඈත අතීතයක සිටය. එසේම රිදී හා තඹ භාණ්ඩ නිපදවීම සඳහා කාශ්මීරය ලෝක ප්‍රසිද්ධය.  


ලෝකයේ ලස්සනම තැන් රාශියකට උරුමකම් කීම ද ජලයෙන් සහ වෙනත් ස්වභාවික සම්පත් වලින් හිඟ නොවීම ද කාශ්මීරයේ වාසනාවකි. මේ නිසා ලොව පුරා සංචාරකයෝ කාශ්මීරය දැක බලා ගැනීමට පැමිණෙති. එහෙත් ඔවුනට පහසුවෙන් එහා මෙහා ගමන් කළ හැකි දියුණු මාර්ග පද්ධතියක් නම් එරට නොමැත. බොහෝ විට දැකිය හැක්කේ කරත්ත සහ සත්ව තවලම්ය. දුම්රිය මාර්ග කිසිවක් ද නොමැත.  


ඈතම අතීතයකදී කාශ්මීරයේ දැවැන්ත විලක් තිබී ඇත. එරට ජනාවාස පිහිටුවා ඇත්තේ කපන ලද ඇල මාර්ග ඔස්සේ අර විලේ තිබූ ජලය බස්සවා හැරීමෙනි. ඒ කටයුත්තට මුල් වූයේ කාශ්‍යප නම් මුනිවරයෙකි. මේ දේශය කාශ්මීරය වූයේ අර කාශ්‍යප මුනිවරයාගේ නමත් සම්බන්ධ කරගෙනය.  


අශෝක අධිරාජ්‍යයාගේ අවධියේදී බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවැති කාශ්මීරය පසුව බ්‍රාහ්මණ ආගමට නතු වූයේය. යළි කණිෂ්ක රජ සමයේ බෞද්ධාගමට මුල් තැනක් ලැබිණි. එහෙත් නව වැනි සියවසේදී තරම හින්දු සංස්කෘතියට අවනත වූ මෙරට ද‌ාහත්වැනි සියවසෙන් පසුව මුස්ලිම් ආධිපත්‍යයට නතුවිය. එහෙත් 19 වැනි සියවසේදී සික් හා ඩොග්‍රා රාජ්පුත්වරුන් යටත් කරගත් කාශ්මීරය, ජම්මු කාශ්මීර නමින් නව රාජ්‍යයක් ලෙස බිහිවිය. ඒ සඳහා මූලික වූයේ 1846 දී ඇතිකර ගත් ලාහෝර් සහ අමෘත්සාර් යන ගිවිසුම්ය. එවකට ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් රාජා ගුලාබ් සිං නැමැති රාජ්පුත්වරයා, මහාරාජා ලෙස පත් කළේය.  


 කෙසේ වෙතත් 1947 දී මේ සුන්දර දේශයට සද‌ාකාලික හෙනහුරා ලැබුවේය. ඒ අපරාධය කරනු ලැබුවේ ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍යයි. ඔවුන් ඉන්දියාවට නිදහස උද‌ා කර දුන්නේ රට දෙකට බෙදමිනි. ඒ අවස්ථාවේදී කාශ්මීරය ද දෙකට බෙදමින් මහා විනාශයකට පදනම දැමුවේය. ඒ අනුව කාශ්මීරයෙන් වර්ග කිලෝ මීටර් 83807 ක් පාකිස්ථානයට ද වර්ග කිලෝ මීටර 138992 ක් ඉන්දියාවට ද උරුම විය. 1947 ජූනි 3 වැනිද‌ා ඒ අයුරින් කාශ්මීරය දෙකට බෙදූ පසු මවුන්බැටන් සාමිවරයා කාශ්මීරය පාලනය කළ මහාරාජා වූ හරි සිං සමඟ කාශ්මීරය ගැන සාකච්ඡාවට සම්බන්ධ විය.  


‘‘ඔබේ කැමැත්ත පරිදි ඉන්දියාවට හෝ පාකිස්ථානයට සම්බන්ධ වීමට ජම්බු කාශ්මීරයට පුළුවන්.’’  


සාමිවරයා, මහාරාජාට පැවසුවේය.  


එහෙත් මහාරාජා, හින්දු ආගමිකයෙකි. එබැවින් ඔහුට පාකිස්ථානයට සම්බන්ධ වීමට නොහැකිය. හේතුව පාකිස්තානයේ බහුතරය මුස්ලිමුන් වීමය. එවිට හින්දුන්ට සිදුවන්නේ අසාධාරණයෙකි. එසේම බහුතර මුස්ලිම් මිනිසුන් වාසය කළ කාශ්මීර පෙදෙස් ඉන්දියාවට සම්බන්ධ කිරීම ද විරෝධතා මතුවන කරුණකි. මේ නිසා හරිසිං ට අවශ්‍ය වූයේ කාශ්මීරය නම් වූ ස්වාධීන රාජ්‍යයකි.  


එහෙත් මේ බිම් කොටස තම රටවලට ඈඳා ගැනීමට ඉන්දියාව මෙන්ම පාකිස්ථානය ද උත්සාහ ගත්තේය. ඒ පෙරදී සඳහන් කළ අයුරින්ම මෙබිම ස්වභාවික සම්පත් බහුල සරුසාර භූමියක්ව පැවැතීමය. කෙසේ වෙතත් ජම්මු කාශ්මීරය ස්වාධීන රාජ්‍යයක් ලෙස පවත්වා ගෙන යෑම සඳහා ඉන්දියාව සහ පාකිස්ථානය සමග ගිවිසුම් අත්සන් කරගන්නට මහාරාජා සමත්විය. එහෙත් දෙතුන් මසක් ඇතුළත එරට හින්දු මුස්ලිම් කෝලාහලයක් හටගත්තේය. මේ කෝලාහලයේදී පාකිස්ථානය කළේ රණකාමි පථාන් ගෝත්‍රිකයන් කාශ්මීරයට ඇතුළු කිරීමය. ඔවුන් පැමිණියේ මුස්ලිමුන්ට සහාය දීමටය.  


 මේ තත්ත්වය හමුවේ මහාරාජා හරිසිං ට හරි තීරණයක් ගතයුතු විය. ඔහු ඉන්දියාවේ ආධාර පැතුවේය. එවිට ඉන්දියාව කීවේ කාශ්මීරයට ඉන්දීය රාජ්‍යය හා සම්බන්ධ වන්නට කියාය. එසේ නොමැතිව ආධාර කිරීම ප්‍රතික්ෂේප කළේය.  


හරිසිං අසරණ විය. අන්තිමේදී ඔහු ඉන්දියාවේ යෝජනාවට හිස නමා කාශ්මීරය ඉන්දියාවට සම්බන්ධ කරමින් ගිවිසුම් අත්සන් කළේය.  


ඒ සමඟම ඉන්දීය හමුද‌ා කාශ්මීරයට ඇතුල් වූ අතර එරට ඉන්දීය පාකිස්තාන් සටන් බිමක් බවට පත් විය. දෙවිවරු ද රැවටුණු දෙව්ලොව, අපායක් බවට පත්කරන්නට මේ කාලකණ්ණි යුද්ධයට හැකි විය.

  
එක්සත් ජාතීන්ගේ සංවිධානය කාශ්මීරයේ සටන් නැවැත්වීමට සම්බන්ධ වූ අතර සටන් නැවැත්වීම සිදුකෙරුණේ 1949 ජනවාරි 1 වැනිද‌ාය. එසේ වෙතත් ඒ වන විට කාශ්මීරයේ ගිල්හිත්, බල්ටිස්ථාන්, කාශ්මීර මිටියාවතේ සහ පුන්ච් ප්‍රදේශයේ ඇතැම් කොටස් ද ජම්බු පළාතේ කොටසක් ද පාකිස්ථානයට යටත්ව තිබිණි. මේ ප්‍රදේශය අසාද් කාශ්මීරය ලෙස හැඳින්විණි.  


ලඩාක්, කාශ්මීර මිටියාවත පුන්ච් සහ ජම්මු පළාත්වල ඉතිරි කොටස් ඉන්දියාවට අයත් වූ අතර ඒ කොටස ජම්මු කාශ්මීරය ලෙස හඳුන්වන්නට විය. 

 

 

 


අද වන විට ඉන්දීය කාශ්මීරය එරට ජනපති විසින් පත්කරනු ලබන ආණ්ඩුකාරවරයකු යටතේ පාලනය වේ.  


 මේ බෙද‌ා වෙන්කිරීම නිසා සිදුවූයේ කාශ්මීරය වෙනුවෙන් ඉන්දියාවේ සහ පාකිස්ථානයේ හොඳ හිත පළුදු වීමය. ඒ නිසා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල, දෙරට අතර ඇති විරසකය සමනය කිරීමට බොහෝ විට උත්සාහ ගත්තේය. එහෙත් ඉන්දියාවත් පාකිස්ථානයවත් තම හමුද‌ා කාශ්මීරයෙන් ඉවත් කරගත්තේ නැත. 1953 සහ 54 වසර වලදී දෙරටේ අගමැතිවරුන් එක්ව සාකච්ඡා කළත් කාශ්මීර ප්‍රශ්නයට විසඳුම් ලැබුණේ නැත. 1957, 1962, 1964 වැනි වසර වලදී යළි යළි රැස්වූ නායකයන් විසිර ගියේ ප්‍රශ්නයට විසඳුමක් නොමැතිවය.   


කෙසේ හෝ වේවා 1965, 1971 සහ 1999 යන වසර වලදී ඉන්දියාව හා පාකිස්ථානය, කාශ්මීරය වෙනුවෙන් සටන් වැදුණහ.  


මේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් ලැබී නොමැත. මහාරාජා හරිසිං කාශ්මීරය ඉන්දියාවට පවරා දුන් බව පවසන ඉන්දියාව එම ගිවිසුමේ ප්‍රකාරව කාශ්මීරය ඉන්දියාවේ උරුමයක් බවට තර්ක කරයි. නමුත් පාකිස්ථානය කියන්නේ තම රටට ජලය සපයන සින්ධු, ජේලම් සහ චේහිබ් යන ගංගා කාශ්මීරයෙන් ආරම්භ වන බැවින් කාශ්මීරය පාකිස්ථානයේ උරුමයක් විය යුතු බවයි. කෙසේ හෝ වේවා අදටත් කාශ්මීරයේ අයිතිය වෙනුවෙන් ඉන්දියාවත් පාකිස්ථානයත් ඔට්ටු වෙති.  


කොටින්ම කිවහොත් වත්මන් කාශ්මීරය යනු ගිනි පුපුරකි. ඉන් ගින්දර හටගන්නට මහා ලොකු කාලයක් යන්නේ නැත. පාකිස්ථානයෙන් පිම්බත්, ඉන්දියාවෙන් පිම්බත්, පුංචි පවනකටත් කාශ්මීරයේ ගිනි ඇවිලේ. ඒ ගින්නෙන් සමස්ත ඉන්දියාවත් සමස්ත පාකිස්ථානයත් පිච්චේ. පැත්තක සිටින අපට ද ගිනි රස්නය අහිතකරය. 

 

 

ශාන්ත කුමාර විතාන