ඇමෙරිකාවේ නම තැබූ ශ්‍රී ලාංකීය තරුණ ව්‍යවසායකයා


අභියෝග ජයගත් මිනිස්සු 

විදුර ජයවර්ධන

  • ඇමෙරිකාවට ගිහින් ව්‍යාපාරයක් පටන්ගෙන කැලි​ෙෆා්ර්නියාවේ හොඳම අපනයනකරුවා සම්මානය ගත්තා   

 

බොහෝදෙනා කතාවට කියන්නේ තාරුණ්‍යයට ගස් ගල් පවා පෙරළිය හැකිය කියාය. සැබැවින්ම රටක ජවය වෙන්නේ තාරුණ්‍යයි. කඩවසම් බව, ලස්සන යනු බාහිර ස්වරූපය පමණෙකි. එහෙත් තාරුණ්‍යය සැබෑ ලෙස ලස්සන වෙන්නේ ලෝකයට ලබාදෙන වඩාත් ප්‍රායෝගික වූ කටයුතු නිසාවෙනි.   


රැඩිකල් විදියට සිතා සමාජයේ වෙනසක් කරන්නට සමහර තරුණයින් උත්සාහ කළ ද සැබෑ ලෙස නැගී සිටි චරිත අපට හමුවෙන්නේ කලාතුරකිනි. මේ කතා කරන්නට සූදානම් වෙන්නේ සැබෑ ලෙසම ප්‍රායෝගික වූ තරුණයකු ගැනය. තවත් විදියකට කිව්වොත් ‘ගුණනැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු’ යන කියමන පැහැදිලිවම යථාර්ථයක් බවට පත් කළ තරුණයකු හෙවත් තරුණ ව්‍යවසායකයකුගේ දිරිය ජීවිතය ගැන වූ කතාවය.   


ඔහු කවුද?   


ඔහු නමින් විදුර ජයවර්ධනය. උපත ලබා ඇත්තේ කොළඹදීය. පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. මව ඉංග්‍රීසි භාෂා අංශයේ ගුරුවරියක ලෙස නිරතව සිට පසුව මිශ්‍ර පාසලක විදුහල්පතිනියක වී දැන් විශ්‍රාම ගෙන සිටින්නීය. පියා කොළඹ ප්‍රකට පෙළේ සමාගමක මානව සම්පත් කළමනාකරණ අංශයේ උසස් නිලයක් දරයි. විදුර පවුලේ දෙවැනි දරුවා වෙයි. ඔහුගේ අයියා සහ නැගණිය වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේය. මේ විදුර කඩවසම් ලස්සන තරුණයෙකි. ඔහුට තම මව පියාගෙන් මෙන්ම පවුලෙන් අක්-මුල් ලැබුණු බව සැබෑය. හැබැයි විදුර සැබෑ ලෙස ජීවිතය ජයගෙන ඇත්තේ ස්වකීය දැක්ම සහ කැපවීම නිසාමය. මෙය ඔහු වෙතින් දක්නට ලැබෙන බාහිර ලස්සනට එහා ගිය හරි ලස්සන කතාවකි.   


සාමාන්‍ය පෙළ ඉතා උසස් ලෙස සමත් වූ විදුර උසස් පෙළ හැරදමා වෙනත් ගමනක් යන්නට සිතුවේය. ඒ අනුව ඔහු කෙළේ ඇමරිකන් කොලීජියට බැඳී ජාත්‍යන්තර වෙ​ෙළඳාම සහ ව්‍යාපාර අංශය පැන වූ උපාධිය සඳහා ඉගෙනීමය. එහි අදියර දෙකක් මෙහිදී හමාර කළ පසු උපාධිය සඳහා ඉතිරි ටික උගෙනුමට ඇමරිකාව බලා ගියේය. ඒ සඳහා වූ වට පිටාව මව්පියන් විසින් සකසා තිබිණි.   


ඇමරිකාවට ගොස් උපාධිය වෙනුවෙන් ඉගෙන ගන්නා අතරේ විදුර කාලය ගත කළේ ඒ වෙනුවෙන් පමණක් නොවීය. ඔහුගේ ජීවිතයේ ලස්සන සහ අරුත්බර කතාව ඇරඹෙන්නේ එතැනිනි. හැබැයි ඒ ගැන කීමට පෙර කුඩා කාලය ගැන සහ තිබූ අරමුණු ගැන කියන්නැයි කියා අපි ඔහුට කීවෙමු.   


කුඩා කාලයේදී මුතුහර, අතුරු මිතුරු, හපන් පැදුර, රන්සින් යාය, ඇතුළු චැනල් පහක ළමා වැඩසටහන්වලට දායකත්වය ලබා දුන්නා. ඒ කියන්නේ කතා අංශය සහ සෞන්දර්ය අංශය එක්ක ජීවිතය ගෙව්වේ. කථික තරග අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබා ගත්තා. ඒ කාලයේ මට තිබුණෙ නඩුකාරයෙක් වීමේ ආසවයි. ලෝයර් කෙනෙක් වෙලා විනිසුරුවරයෙක් වෙන්න ඕනෑය කියලා හිතුවා. ඒත් සාමාන්‍ය පෙළ කරන සමයේදී කුමක් හෝ හේතුවක් මත ඒ අදහස වෙනුවට මම ව්‍යාපාර ලෝකයට එන්න ඕනෑය කියලා හිතුවා. ඒ කියන්නේ ලෝයර් කෙනෙක් වෙලා ව්‍යාපාර අංශයේ නිරත වුණොත් හොඳයි කියලා හිතුවා. ව්‍යාපාර ලෝකයට ඇවිත් අලුත් දෙයක් සොයා ගන්න අලුත් දෙයක් කරන්න ඕනෑය කියන අදහස් තිබුණෙ. මේ වෙලාවේ තාත්තා මට අවස්ථා දෙකක් දුන්නා.   


කලා අංශයෙන් ගමනක් යනවද?   


නැත්නම් ඇමරිකාවට ගිහින් උපාධිය ගන්නද? 

 
එතැනදී මම තෝරා ගත්තේ උපාධිය ගන්නට ඇමරිකාවට යනවා කියලයි. හැබැයි කලාවෙන් ඈත්වීම ගෙන දුන්නේ තරමක දුකක්. අන්තිමට ලෝයර් කෙනෙක් වෙන්න හිටපු මම නතර වුණේ ව්‍යවසායකත්ව ගමනේ.   


මෙන්න මේ විදියට හිතාගෙන අවුරුදු 18ක්වත් වෙලා නොසිටි මේ ගැටවරයා එදා ඇමරිකාව බලා පිටත්ව ගියේ 2007 වසරේදීය. එලෙසින් ගොස් ​උපාධියට ඉගෙන ගන්නා අතරේ අනේවාසික පුහුණුවීමේ ක්‍රමවේදය යටතේ ඇමරිකානු පොලිසියේ මාස හයක පමණ සේවය කිරීමේ අවස්ථාව ඔහුට ලැබිණි. ඒ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙසය. ඉනික්බිතිව විදුර වෙ​ෙළඳ ආයතනයක අලෙවි නියෝජිතයකු ලෙස රස්සාව හොයා ගත්තේ ඉතා අසීරුවෙනි. ඊට හේතුව 2008 පමණ වෙනවිට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයේ ආර්ථිකය කඩා වැටී තිබීමය. එනිසා මේ රස්සාව හොයා ගැනීමට ඔහුට මාස කීපයක් බලා සිටීමට සිදුවුූෙව්ය. අලෙවි නියෝජිතයකු ලෙස කරන රැකියාව වෙනුවෙන් ඔහුට ලැබුණේ පැය අටක් සඳහා ඩොලර් 64කි. නමුත් සුපර් මාකට් එකට භාණ්ඩ යොමු කරන පුද්ගලයා පැය භාගයකදී ඒ වැඩේ කර ඩොලර් 150ක් ඉපයීය.   


මෙයා මෙච්චර සරු දෙයක් කරලා ඩොලර් එකසිය පණහක් උපයනවා. මෙයින් ඔහුට 25%ක්වත් ලැබෙනවා ඇති. මේක හරි මරුනෙ. විදුර විටෙක එලෙසින් කල්පනාවේ නිමග්න විය.   


​ඔයා කොහෙන්ද තොගයට භාණ්ඩ මිලදී ගන්නේ යැයි සුපර් මාකට් එකට බඩුදාන කෙනාගෙන් විමසුවද ඔහුට නිසි පිළිතුරක් නොලැබිණි. ඒත් ඔහු උත්සාහය අත් නොහැරීය.   
හෝඩුවාවක් ලබාගෙන මම දවසක් තනියම ගියා. එතැන හරියට අපේ පිටකොටුව වගේ. මෙතැනින් තොගයට මොනවා හරි අරගෙන මගේම බිස්නස් එකක් පටන් ගන්න ඕනෑය කියලා ඒ පාර මම හිතුවා. මොකද කළ ජොබ් එකත් ඒකකාරී වෙලා තිබුණේ. ඒ නිසා ගැම්මක් අරගෙන වැඩේට බැස්සා.   


එලෙසින් මතක ආවර්ජනය කරන ඔහුගේ ජීවිතය ව්‍යවසායකත්ව මාවත වෙත හැර​ෙවන්නට පටන් ගත්තේ එයින් පසුවය. ඒ කතාව ඔබම කියන්න. අපි ඔහුට කීවෙමු.   
මුලින්ම මම කළේ ඩොලර් 300ක පුංචි ආයෝජනයක්. එයින් තොග මිලට අත් පලඳනා (බ්‍රේස්ලට්) ගත්තාය. ඒවා අරගෙන මම කළේ අනෙක් අය වගේ නිකම්ම ගෙනිහින් පුංචි සාප්පුවට බෙදා හැරීම නෙවෙයි.   


තව යාළුවෙකුත් අල්ලාගෙන රැක් කීපයක් හදා ගත්තා. රැක් 50ක් විතර හදාගෙන බ්‍රේස්ලට් ඒ රැක්වල අසුරා කඩවල් 50කට ගිනිහින් වැඩේ පටන් ගත්තා. මම වැඩ කළ සුපර් මාකට් එක එක්කත් දැන හැඳිනීම තිබීම ගෙන දුන්නෙ පහසුවක්. කඩවල්වලින් මට ​බ්‍රේස්ලට් විකුණන්න අවස්ථාව දුන්නාම ඊළඟට කළේ තොප්පි, ටීෂර්ට් වගේ ඒවත් තොග මිලට අරගෙන බෙදා හැරීමයි. ඒක හරියට ඔළුව දාගන්න දුන්නාම මුළු ඇඟම දාගත්තා වගේ වැඩක්. ඔය විදියට ඉස්සරහට යද්දි කඩ 50 සීය දක්වා වැඩිකර ගන්න පුළුවන් වුණා. ඒ හා සමානවම බෙදා හරින අයිටම් ප්‍රමාණයක් වැඩිකර ගත්තා. දැන් මේ විදියට යද්දි තනියම වැඩේ කරන්න අමාරුයි. මුල්ම සේවකයා ගත්තෙ ඒ අවස්ථාවේදීයි. හැබැයි මම මේ වැඩේ පටන් ගත්තේ කැනියාස්වල සිට ලොස් ඇන්ජලිස් ඇවිල්ලයි. කැනියාස් කියන්නේ හරියට ගමක් වගෙයි. ලොස් ඇන්ජලිස් කියන්නේ ඇමරිකාවේ අංක එකේ ආර්ථිකය පවතින තැන. මට ඕනෑ වුණේ එතැනට යන්නයි. එදා බෑග් දෙකකට ඇඳුම් ටික දාගත්ත මම ගුවන් යානයකින් ලොස් ඇන්ජලීස් වෙත ආවා. හැබැයි එහේ දන්නා කියන යාළුවකුවත් නෑදෑයෙක්වත් හිටියෙ නැහැ. මට මම විතරයි හිටියේ. ලොස් ඇන්ජලීස් ආව මම ටැක්සියකට නැග්ගා.  


ටෙක් මී ටු කැලි​ෙෆා්ර්නියා   


(මාව කැලිෆෝර්නියාවට අරන් යන්න) කියලා ටැක්සි රියැදුරාට කිව්වා.   


ඔයා ඉන්නේ කැලිෆෝර්නියාවේ තමයි කියලා එවිට ඔහු කිව්වා.   


එහෙනං මාව ලොස් ඇන්ජලිස් ගෙනියන්න.   


මම එහෙම කිව්වාම ඔයා ඉන්නෙ ලොස් ඇන්ජලිස්වල තමයි. හරියටම කියන්න ඔයාට යන්න ඕනෑ තැන කියලා ටැක්සි රියැදුරා කිව්වා. මට නැදෑයෙක් කවුරුවත් මෙහේ නැහැ. එහෙනම් මාව හෝටලයකට ගෙනියන්න කියලා මම ඔහුට කිව්වා. හෝටලයට වෙලා සිටින අතරේ දහ අතේ කල්පනා කළේ දැන් මම කරන්නෙ මොනවද කියලයි. ඒ අතරේ ශ්‍රී ලංකන් චර්ච් (sir lankan chrch) කියලා මම සොයලා බැලුවා. බලද්දී ශ්‍රී ලංකන් ටෙම්පල් (පංසල්) පරිගණක තිරයේ දිස්වුණා. ඒ පාර මට ලොස් ඇන්ජලිස් ශ්‍රී රතන ​ෙබෟද්ධ විහාරය සොයාගෙන ගියා. මේ පංසලට තමයි ඇමෙරිකාවේ තියෙන පංසල් අතරින් ඒ වෙනවිට බලපත්‍රයක් තිබූ එකම තැන. බෝගොල්ලේ සුමන නායක හිමි සහ පඬිවෙල සෝරත හිමි මෙන්ම පසුගියදා අපවත්වී වදාළ පඬිවිට චන්දවිමල හිමිවරු මට ලබා දුන්නේ විශාල සහයෝගයක්. ඒ හිමිවරුන්ගේ ඇසුර වගේම නවතින්නට පංසලට අයිති තැනක්ද ලැබුණා. ඒ ගැන ගෞරවයෙන් සිහිපත් කළ යුතුමයි.   


විදුර එදා මේ වැඩේට බහින්නට පෙර එනම් තමාගේම ව්‍යාපාරය පටන් ගන්නට පෙර කළ කැෂියර් රස්සාව හොයා ගන්න මාස 9ක් විතර උත්සාහ කළ බව කියයි. රාත්‍රි 11ට තියෙන බස් රථයේ ගිහින් පාන්දර 3.30 බසය එනතෙක් විටෙක ඔහුට බස් නැවතුමේ නිදා ගැනීමට පවා සිදුවුණි. අව් වැසි පින්න සීතල දරාගෙන තමාගේ දෙපා මතින් නැගී සිටීම ඔහුගේ ඒකායන අරමුණ වී තිබිණි. මිනිසුන්ගේ ජීවන රිද්මයට සරිලන භාණ්ඩ තොග මිලට අරගෙන රැක් සාදාගෙන ඉහත කී පරිදි කටයුතු කරගෙන ගියේ ඉන් පසුවයි. එදා ඇමෙරිකාවට යද්දී තාත්තා විදුර හට ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් දී තිබිණි.   


‘චූටි පුතා මේ ක්‍රෙඩිට් කාඩ් දෙක තියා ගන්න. හැබැයි මේක පාවිච්චි නොකර සිටියොත් තමයි ඔයා නියම පිරිමියෙක් කියන්නේ’   


එලෙසින් කී දේ නිසා විදුර කිසි විටෙකත් ඒ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත නොකිරීමට වග බලා ගත්තේය. එක්තරා අවස්ථාවක ඔහු පටන් ගත් ව්‍යාපාරය සාර්ථක වෙමින් තිබියදී ඔහුටම කියා මෝටර් රථයක් මිලදී ගැනීමට උත්සුක වූවේය. එවිට තාත්තා දී තිබුණ ක්‍රෙඩිට් කාඩ් දෙකින් එකක් සක්‍රිය කරගෙන ඩොලර් 9000ක් වැයකර බී.එම්.ඩබ්ලිව්. (BMW) රථයක් මිලදී ගත්තේය.   


චූටි පුතා ඔයා කාඩ් එක පාවිච්චි කළාද?   


​ෙක්‍රඩිට් කාඩ්පතින් ලොකු මුදලක් එක්වර කපාගත් කෙටි පණිවුඩය ලද නිසා තාත්තා විදුරට කතාකොට ඒ ගැන විමසුවේය.   


ඔව් තාත්තෙ මම පාවිච්චි කළා.   
විදුර කීවේය.   
මොකටද?   
තාත්තා නැවත ඇසීය.   
මම කාර් එකක් ගත්තා. 


බොහොම හොඳයි පුතා කියා තාත්තා එවිට කීවේය.   


හැබැයි තාත්තේ මම මේ මුදල ළඟදීම තාත්තාට පියවනවා.   


විදුර නමැති පෙරළිකාර තරුණයාගේ ජීවිතයේ මේ සියලු දේ සිදුවුණේ යම් දෙයක් ගැන ඔහුට ඉලක්කයක් තිබූ නිසාවෙනි. තරුණයකු ලෙස තුරුණු හැඟීම් සමග විටෙක හිතවතුන් සමගද සතුටින් ගත කළද ඔහුගේ අරමුණ වූවේ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ මිනිසකු වී නැගී සිටීමටය. තමාගේ ව්‍යාපාරය කරගෙන යන අතරතුරේදී මුදල් හානිවීම මෙන්ම අතපසුවීම් සිදුවීම නිසා වැටුණු අවස්ථාද තිබිණි.   


සමහර වෙලාවට මට හිතුණෙ මට මෙහෙම වෙනකොට මේ වැඩේ කරන්න බැහැ කියලයි. ඇත්තම කිව්වොත් වැඩේ කරගෙන යද්දී වැටුණෙ එක පාරක් නෙවෙයි. දහ පාරක් විතර වැටෙන්නට ඇති. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තා. ඒ අනුව මුලින්ම කළේ අලෙවි අංශයේ ප්‍රමිතිය නිර්මාණය කිරීමයි. ඒ විදියට සුදුසු තැන්වලට සුදුසු පුද්ගලයින් යෙදෙව්වා.  


විටෙක වැටි වැටී නැගිටිමින් එලෙසින් තමාගේ ව්‍යාපාරය පවත්වාගෙන යමින් සිටි විදුර ඊට නම් තබා තිබුණේ Hi life (හයි ලයිෆ්) ඩිස්ට්‍රිබියුෂන් නමිනි. ජීවන රිද්මයට සරිලන දේ සහිත අලෙවි භාණ්ඩ බෙදාහරින ඒ ආයතනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙන (එම අංශයේ එකක් බවට පත් කරවීමට මේ ජව සම්පන්න දැක්මක් ඇති තරුණයාහට හැකි විණි. එය විශාල ප්‍රාග්ධනයකට හිමිකම් කියන අවස්ථාවේදී විදුර එය වෙනත් ආයතන ජාලයකට විකිණීමට තීරණය කළේය.   


ඇයි ඔබ එසේ කළේ?   


අපි ඔහුගෙන් විමසීමු.   


2016 වෙනවිට මගේ සමාගමේ සේවක පිරිස 30ක් විතර හිටියා. ඒ වගේම ඇමරිකාවේ සිටින සුළු ජාතිකයින් අතරින් ව්‍යාපාරයක් කරන සුළු ජාතිකයකුට අයත් සමාගමක් ලෙස දෙවැනියට ශීඝ්‍ර දියුණුවක් ලබමින් තිබුණෙ හයි ලයිෆ් ඩිස්ට්‍රිබියුෂන් සමාගමයි. භාණ්ඩ බෙදාහැරීමේ සමාගමට වඩා ඊට එහා ගිය දෙයක් කිරීම මගේ ඉලක්කය කර ගත්තා. වෙන සමාගමකට එය විකුණා දැමුවේ ඒ නිසයි. හැබැයි මම එයාලට නම දුන්නෙ නැහැ. ඊළඟට ආනයන අපනයන වැඩේ පටන් ගත්තා. Hi Life Import and Export කියන නම ඊට යොදාගෙන දැන් අපි එය සාර්ථකව පවත්වාගෙන යනවා.   


එලෙස පවසන විදුර තම ආයතනය කෙතරම් සාර්ථකව පවත්වා ගෙන යන්නේද යත් මේ වෙනවිට ඇමරිකාවට අමතරව ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ එහි ශාඛා පිහිටුවා තිබේ. එමෙන්ම සමාගම් හතකට පමණ හිමිකාරිත්වයද දරන්නේය. හයි ලයිෆ් ආයතනය වෙතින් කෙරෙන්නේ විවිධ රටවල නිෂ්පාදනය කරන භාණ්ඩ ගිවිසුමකට අනුව විකුණාදීමට කටයුතු සකස් කරදීමය. දැන් මේ ආනයන අපනයන වැඩේ කෙතරම් සාර්ථකවීද යත් මේ වසර වෙනවිට ඉදිරියේදී පැවත්වීමට නියමිත ව්‍යවසායකයන්ට සම්මාන උළෙලකදී කැලි​ෙෆා්ර්නියාවේ හොඳම අපනයනකරුවා සම්මානය සඳහා ද ඔහුගේ නාමය නිර්දේශව තිබේ. හොඳම 6 දෙනා අතරට එලෙසින් නිර්දේශ වූ පළමු ශ්‍රී ලාංකික ව්‍යවසායකයා විදුරවීම ආශ්චර්යයක්ද? නැතිනම් වාසනාවක්ද, කුමක්ද මේ. ඊට විදුර අදහස් මුදා හැරියේ මෙලෙසිනි.   


මේක වෙන මොකවත් නෙවෙයි. කැපවීම සහ උත්සාහයයි. සමහර තැන්වලදී මම වැටහුණා. ඒ වගේම අපිව වට්ටවලත් තියෙනවා. ඒත් නෙවර් ගිව් අප් (Nener give up) කියල කියමනක් තියෙවෙනෙ. මොන දේ ආවත් මොන බාධක ආවත් අත්හැර දාලා පලා ගියේ නැහැ. නිතරම මම සෙව්වෙ ප්‍රශ්නය ගැන නෙවෙයි. ජීවිතයට ප්‍රශ්න කොහොමටත් එනවා. මම නිතරම හෙව්වේ උත්තර. ඒ නිසා ප්‍රශ්නයක් ආවාම උත්තරයක් මා ළඟ තියෙනවා.   


තුරුණු ජීවිතය එලෙසින් අරුත්බර කරගත් විදුරගේ දැන් වයස අවුරුදු 29කි. මෙවැනි වයසේ පසුවන සමහර තරුණයින් ජීවිතය පටන් ගන්නවත් හිතලා නැති සමාජ පරිසරයක ඔහු ජීවිතයේ බොහෝ දුරක් ගොස් ඇත්තේ ප්‍රතිපත්ති පදනම්ව ගමනක් නිසාවෙනි. සමහරු කරන්නේ රස්සාවට කලින් පරස්ථාව කර ගැනීමය. විදුර ඇයි තවම අවිවාහක.   
තවම 29යිනෙ. විවාහ වෙන්න කාලයක් ඇවිත්. ඔව් මමත් විවාහ වේවි. ගැළපීම මත එය යෝජිත හෝ මගේ කැමැත්තට අනුව සිදුවේවි.   

 

 


එසේ වෙසෙන විදුර යනු උගත්, නැණවත්, තරුණයෙකි. ජීවිතය ගැනත් ඔහුට ඇත්තේ ලොකු අවබෝධයකි. තරුණ්‍යයේ ජීවිතය ජය ගන්නට හදන බොහෝ දෙනාට ඔහු කියන්නේ ඕනෑවට වඩා බිය වීමට දෙයක් නොමැතිවය. ජීවිතේ මොනවා කළත් අපට මේවා දාලා යන්න වෙනවා. ඒනිසා අවදානමක් අරගෙන තමයි යමක් කරන්න වෙන්නේ. ඒවගේම කවදාවත් බොරුවක් නොකර තමන් හැදූ වැඩූ මව්පියන්ට ගරු විදියට ජීවත්වීම වැදගත්. රාමුවෙන් පිට ගිහින් හිතන්න. එය හොඳ පැත්තකට හරවා ගන්න. මුහුද හත් ගව්වක් තියලා අමුඩ ගහන්න ඕනෑ නැහැ. මේ රටේ සියලු තරුණයින් ව්‍යවසායකයින් වෙන්න කියලයි මම කියන්නේ.   


එනයින් අරුත් බරව අදහස් ප්‍රකාශ කළ විදුරහට දැන් ඇති. ලොකුම අරමුණ වෙන්නේ තමා උපන් රට වෙනුවෙන් විශාල දෙයක් කිරීමය. ඒ වෙනුවෙන් ඔහු ළඟ ඇති සැලසුම ඉදිරිපත් කළේ මෙලෙසිනි.   


මම මේ රටට පණිවුඩයක් දෙන්න කැමැතියි. ඇමෙරිකාවේ සිට ව්‍යාපාර කටයුතු ආරම්භ කරලා දශකයකට වැඩියි. මම එහිදී ලබා ගත්ත ව්‍යාපාර දැනුම එක්ක 2015ද මෙරට අපනයන සංවර්ධන මණ්ඩලයට යෝජනාවලියක් ඉදිරිපත් කළා. කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනවලට සහ පුද්ගලයින්හට එන්න මාත් එක්ක එකතු වෙන්න කියලා. ඒ මගින් අපේ රටට විදේශ විනිමය ගෙනදීමටයි මගේ එ්කායන අරමුණ වුණේ. එදා මම ඇමරිකානු ආ​ෙයා්ජකයොත් සමග ඇවිත් මගේම වියදමින් රට වෙනුවෙන් ඇවිත් එය මෙහි බලධාරීන්ට ඉදිරිපත් කළා. මෙයින් මම මුදල් හම්බ කිරීම නෙවෙයි පරමාර්ථය. උපන් රටට යමක් නෙලා දීමටයි. ඒ .... ලොස් ඇන්ජලීස්හි ශ්‍රී ලංකා ​ෙකාන්සල් ජනරාල් කාර්යාලයෙන් කළ ඉල්ලීම නිසයි ඊට අත ගැසුවේ.   


මේ විදියට ඇවිත් මා ඉදිරිපත් කළ වැඩේ අඩුපාඩු බැලීම මිසක මේ රටේ බලධාරීන් එය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ නැහැ.   


ඒ නිසා දැන් මම මගේ කැපවීමෙන් මේ රටේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ භාණ්ඩ නිෂ්පාදනය කරන මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න සැලසුම් කළා. ප්‍රමිතියක් යටතේ ඔවුන්ගේ භාණ්ඩ ජාත්‍යන්තරයේ අලෙවි කරදීමට මා මූලිකත්වය ගන්නවා. හැබැයි ඊට ප්‍රමිතියක් වගේම අයැදුම් කිරීමේ ලියකියවිලිවලට අදාළව එය කළ යුතු වෙනවා. භාණ්ඩයක ගුණාත්මක බව තිබිය යුතුයි. එ් වගේම යම්කිසි අයකු භාණ්ඩයක් නිර්මාණය කර තිබේ නම් එය විකුණා ගන්නට බැරි නම් ඊටත් මූලිකව උදව් කරන්න මා සූදානම්.   
ශ්‍රී ලංකාව වෙනුවෙන් යමක් කරන්නට හදන මිනිසුන්ගේ යෝජනාවල අඩුපාඩු මෙරට බලධාරීන් බැලුවට ඇමරිකාවේ එහෙම නැහැ. මෙහෙ වගකිවයුතු අය ලබා නොදුන් සහාය එහේ අපනයන සංවර්ධන අංශයේ බලධාරීන් අපට ලබා දෙනවා. ඔවුනට ඩොලර් හම්බ කරලා දෙන නිසා අපේ වැඩ ගැන සොයා බලා අපට උදව් කරනවා. එයින් අපි දිරිමත් වෙනවා. එය මේ රටේ සිදු නොවන නිසා මම ඊට මූලික වෙලා අපේ රටට යමක් කරන්න තීරණය කළේ ඒ නිසයි. මෙම වැඩසටහනට මම නම් කරලා තියෙන්නේ USA is Open for Business නමිනුයි.   


අන්තිමට මම තවත් දෙයක් කියන්න ඕනෑ. අද මම මේ සියල්ල කරන්නෙ ගුණවත් නැණවත් අම්මා තාත්තා දෙපළකගෙන් මට ලැබුණු යෝධ ශක්තිය සහ මග පෙන්වීම නිසයි. එයාලගෙ දැක්ම තමයි මම ප්‍රායෝගික කළේ. මාව හදලා වඩලා වියදම් කරලා උගන්වලා මාව මේ තැනට ගෙනාව අම්මා තාත්තාට බොහොම පින් කියලා කියන්න කැමැතියි.   
ඉහත කී මගේ වැඩපිළිවෙළ සඳහා පමණක් මාව සම්බන්ධ කර ගැනීමට කැමති අයට 0712444222 අංකයට කතා කර විස්තර දැනගත හැකියි. 

 

 

 

 

සටහන
සඳුන් ගමගේ