ඇමෙරිකා තානාපති කාර්යාලය රකින්න ජීවිතය පූජාකළ පොලිස් නිලධාරියා


කොල්ලුපිටියේ පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයට 1971 කැරැල්ල ආරම්භයේදී ප්‍රහාරයක් එල්ල විය. ජනතා විමුක්ති පෙරමුණින් කැඩීගිය කණ්ඩායමක් වූ ධර්මසේකර කල්ලිය විසින් මෙම ප්‍රහාරය එල්ල කරන ලදි. එහිදී කැරලිකරුවන්ගේ ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියෙකු මියගියේය. ඒ පොලිස් පරීක්ෂක ටී.ජී. කරුණාරත්න මහතාය. 71 කැරැල්ලේදී මියගිය පළමු පොලිස් නිලධාරියා වූ ඔහු මියගොස් ඊයේ (06) ට වසර පනහක් සම්පූර්ණ විය.   

 


1971 මාර්තු 06 දින වූ මෙම සිදුවීම පිළිබඳව පසුදින මාර්තු 07 දින ‘දිනමිණ’ පුවත්පත මෙසේ වාර්තාකර තිබුණි.   


ඊයේ දහවල් ඇමෙරිකානු තානාපති කාර්යාලය දෙසට අත්බෝම්බ ගැසීමේ සිද්ධියක් පිළිබඳව කොල්ලුපිටිය පොලිසිය විසින් අටදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.   


සැකකරුවන් අල්ලා ගැනීමට ඔවුන් පසුපස එළවා ගිය පොලිස් පරීක්ෂකවරයෙකුට යකඩ උලකින් අණිනු ලැබ ඔහු කොළඹ මහා රෝග්‍ය ශාලාවේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරනු ලැබ සිටියි. පසුපසින් ඇණ ඇති උල ඉදිරියෙන් මතු වී ඇති අතර පොලිස් නිලධාරියාගේ තත්ත්වය අසාධ්‍ය බව ද පොලිස් නිලධාරියෙක් කීය.   
මේ කණ්ඩායම විසින් ඇමෙරිකානු තානාපති කාර්යාලය වටා ඇති තාප්පයට උඩින් අත්බෝම්බ තුනක් විසිකර ඇතත් ඒවා සියල්ල වැදී තිබුණේ ඉදිරිපස නවතා තිබූ වාහනවලටය. රථවාහනවලට අලාභ හානි සිදුවුවත් කිසිවකුත් තුවාල ලබා නැත.   


සිද්ධියවී දින දෙකකින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කරුණාරත්න මහතා මියගියේය. ඔහු පිළිබඳව 1971 මාර්තු 12 දින ‘දිනමිණ’ කතුවැකිය මෙසේ ලියා තිබුණි. 

 
 ඇමෙරිකානු තානාපති කාර්යාලයට බෝම්බ ගැසූ පුද්ගලයින් අල්ලා ගැනීමට යත්න දැරීමේදී බරපතළ තුවාල ලැබීම නිසා මරණයට පත්වූ පොලිස් පරීක්ෂක ටී.ජී. කරුණාරත්න මහතා මුළු ජාතියටම ආදර්ශමත් පොලිස් නිලධාරියෙකු වශයෙන් හැඳින්විය හැකිය. 

 
සිය රටේ සාමයත්, ආරක්ෂාවත් සඳහා අවංකව, එඩිතරව ක්‍රියාකර ඇති මෙම පොලිස් නිලධාරියාගේ නම මේ රටේ පොලිස් සේවා කටයුතු සම්බන්ධයෙන් අමරණීය බවට පත්වෙනු ඇත. අනුන්ට හිරිහැර කරදර හා අලාභ හානි සිදුකිරීමට පෙළඹුණු ද‌ාමරිකයින් අල්ලා ගැනීම සඳහා ඔහු​ යෙදී ඇති සටන මුළු පොලිස් සේවයටම මහඟු ආදර්ශයකි.   

 

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් එකතු කරන ලද මුදලක් තානාපති විසින් කරුණාරත්න මහතාගේ බිරිඳට පිරිනමන අයුරු. පොලිස්පත් ස්ටැන්ලි සේනානායක මහතා ද මෙහි සිටී.   

 


1971 මාර්තු 06 වැනිද‌ා කරුණාරත්න මහතා කොල්ලුපිටිය පොලිසියේ සිට කොම්පඤ්ඤවීදියේ පාසන්ස් පාරේ පිහිටි පොලිස් තට්ටු නිවාසවල පිහිටි තම නිවෙසට එන්නට පිටත් වූයේ දහවල් 11.40 ට පමණය. ඒ තම බිරිඳත්, දරුවනුත් සමග දිවා ආහාරය ගැනීමටය. පොලිස් නීතියට අකුරටම ගරුකළ ඔහු එදින දහවල් කෑමට යාමටත් වරුවක නිවාඩුවක් දැම්මේය. පොලිස් වාහන තිබියදීත් ඔහු ගියේ තම පුද්ගලික මෝටර් රථයෙනි. ඔහු සමග ගමන් ගත්තේ තවත් එකම පොලිස් නිලධාරියෙකි. ඒ සැරයන් ඒ.එම්.යූ. අමුණුගමය. පසුව පැවැති මරණ පරීක්ෂණයේදී ඔහු මෙසේ සාක්ෂි දුන්නේය.   


 ‘දහවල් කෑමට ගෙදර යන බව කී කරුණාරත්න මහතා කෑමට ගෙදර යන්නට මටත් එන්න කිව්වා. අපි ගෙදර යන්න පිටත්වුණේ ඒ මහතාට අයත් මෝටර් රථයෙන්. එතකොට දවල් 11.45ට විතර ඇති. අපි එතනින් යන විට ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල සියයක (100) පමණ පිරිසක් හිටියා. ඇතැම් අය ගේට්ටුවෙන් ඇතුළට යන්න පොරකනවා. කට්ටියක් එහි ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල් පියරත්නගේ බෙල්ලෙන් අල්ලාගෙන හිටියා. මේ සිද්ධිය දැක්ක කරුණාරත්න මහතා ‘අපේ කට්ටියට හිරිහැර කරනවා.’ කියමින් වාහනය නවතා බිමට බැස්සා. එවිටම එතන හිටිය පියරත්න රාළහාමිට යම් අයෙකු පිහියෙන් අනින්න හැදුවා. මම ඒ පුද්ගලයාගේ අත්දෙකෙන් අල්ලා ගන්නා. එවිට කිහිප දෙනෙකු මගේ පිටට පහර දුන්නා. ඒ අවස්ථාවේදීම අත්බෝම්බ දෙකක් ඒ ආසන්නයේම පුපුරා ගියා. මාව අල්ලාගෙන සිටි පුද්ගලයා ඉවතට පැන්නා. ඒ එක්කම ඔහු අත තිබූ පිහියෙන් කරුණාරත්න මහතාට අනිනවා මා දැක්කා.’   


කරුණාරත්න මහතා මෙම සිද්ධියට ඍජුවම සම්බන්ධ වූයේ තානාපති කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් දෙදෙනා බේරා ගැනීමටය. තානාපති කාර්යාලය සහ එහි සේවකයන් ආරක්ෂා කර ගැනීම ඔහුගේ ඊළඟ අරමුණු විය. එහෙත් සිදුවූයේ ඒ සඳහා තම ජීවිතයෙන් වන්දි ගෙවීමටය.   


 පසුව මේ සිද්ධිය සම්බන්ධව සැකපිට අටදෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ ද පියරත්න හා අමුණුගම යන පොලිස් නිලධාරීන්ට කිසිදු සැකකරුවකු හඳුනා ගැනීමට නොහැකි විය. අනතුරුව ජී.අයි.ඩී. ධර්මසේකර, දයාපාල තිරාණගම, දේශබන්දු සූරියවෙල, ලාල් පරාක්‍රම, ප්‍රේමද‌ාස කුලතුංග හා රුවන් පතිරණ යන අයට එරෙහිව නඩු පැවරුවද ඇසින් දුටු සාක්ෂි නොමැතිකමින් ඔවුහු නිදහස් වූහ. 1971 අප්‍රේල් 05 දින කැරැල්ල ආරම්භ කිරීමට නියමිතව තිබියදී ධර්මසේකර කල්ලිය විසින් මෙම ක්‍රියාව කළේ තමන් අමාරුවේ දමන්නට බව පසුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර තිබුණි.   


 එහෙත් ධර්මසේකර කල්ලිය ප්‍රකාශ කළේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා ජ.වි.පෙ. ට ආධාර ලැබෙන නිසා ඊට විරෝධය පෑම සඳහා මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. කෙසේ වෙතත් සමගි පෙරමුණු රජය හදිසි නීතිය පනවමින් රටපුරා ජ.වි.පෙ. සාමාජිකයින් අත්අඩංගුවට ගන්නට පටන් ගත්තේ මෙම ඝාතනයත් සමගය.   


කරුණාරත්න මහතා ප්‍රහාරයට ලක්ව ඇති බව දැනගත් ඇගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එදිනම කොළඹ මහ රෝහලට ගොස් අවශ්‍ය ඖෂධ විදේශයකින් හෝ ​රැගෙනවිත් ඔහු සුවපත් කරන ලෙස වෛද්‍යවරුන්ට උපදෙස් දුන්නාය. එහෙත් ඔහු මියගියේය. ඔහු මියගිය පසුවද ඒ මහතාගේ විශ්‍රාම වැටුප් හා වන්දි මුදල් ලබා ගැනීම දුෂ්කර වූයේ ප්‍රහාරයට ලක්වෙන විට කරුණාරත්න මහතා නිවාඩු ලබා තිබූ නිසාය. එහෙත් අගමැතිනියගේ මැදිහත්වීම මත ඒ වරප්‍රසාද සියල්ල ඔහුගේ උරුමකරුවන්ට ලැබිණි. 

 
 පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා දක්ෂ හා කාර්යශූර පොලිස් නිලධාරිවරයෙකි. 1937 සැප්තැම්බර් 01 දින පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු 1945 ජනවාරි 01 දින සැරයන්වරයෙකු ලෙසත්, 1948 ජනවාරි 01 දින උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙසත්, 1955 ජනවාරි 01 දින පොලිස් පරීක්ෂක තනතුරටත් පත්විය. 1971 මාර්තු 06 දින ප්‍රහාරයට ලක්වෙන විට ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කොල්ලුපිටිය පොලිසියේ සේවය කළේය.   

 

 අවමඟුලට පැමිණි අගමැතිනිය හා ඇමෙරිකානු තානාපති   

 

 

දක්ෂ හා අවංක පොලිස් නිලධාරියෙකු වූ කරුණාරත්න මහතාගේ පුද්ගලික ලිපිගොනුව ඔහුට හිමි වූ ප්‍රශංසා කිරීම් හා පදක්කම් 321 ක් පිළිබඳ විස්තර වලින් පිරී තිබුණි. කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති වීමට පෙර ඔහු කොළඹ කොටුව, මහනුවර, ඇහැලියගොඩ හා කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස ද කටයුතු කළේය.   


මරඳන්කඩවල යකඩයා හෙවත් ජිනද‌ාසට එරෙහිව නඩු සඳහා අධිකරණයේ පෙනී සිටියේද කරුණාරත්න මහතාය. යකඩයාට එරෙහි චෝදනා අධිකරණයේදී සනාථ කළේ ඔහුය. 1950 දශකයේ මුල් භාගයේදී සිදු වූ ‘මානෑව’ මිනීමැරුම් නඩුවේ (රෑන ගිරව් චිත්‍රපටය සඳහා පාදක වූ කතාව) සැකකරුවන් ලුහුබැඳ ගියේද කරුණාරත්න මහතාය. 1959 අගෝස්තු 19 දින මහනුවර ඇසළ පෙරහැරේ කුලප්පු වූ අලියාට වෙඩිතබන ලද්දේත් කරුණාරත්න මහතාය. ඊට අමතරව 1955.09.05 දින රාජසිංහ රජුගේ ඔටුන්න මහනුවර කෞතුකාගාරයෙන් සොරකම් කළ කීර්තිපාල නැමැත්තා අත්අඩංගුවට ගෙන ඔටුන්න සොයා ගත්තේ ද එවකට මහනුවර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වූ කරුණාරත්න මහතාය.   
‘කල්ලතෝනි’ නැමැති සංක්‍රමණික පිරිසක් රටින් පිටුවහල් කිරීම සඳහා නැවෙන් රැගෙන යමින් සිටියේ ද කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසකි. එක්වරම එහි සිටි කල්ලතෝනි කාන්තාවක් නැවෙන් මුහුදට පැන්නේ සියදිවි නසා ගැනීම සඳහාය. වහා මුහුදට පැන්න කරුණාරත්න මහතා එම කාන්තාව නිරුපද්‍රිතව බේරා ගත්තේය. ඒ වෙනුවෙන් ඔහුට ‘වීර’ පදක්කම පිරිනැමිණි.   


අද වෙනවිට කරුණාරත්න මහතාගේ ආදරණීය බිරිඳ හිල්ඩා මියුරියල් මහත්මිය ද මියගොසිනි. එම දෙපළට ද‌ාව පිරිමි දරුවන්ම පස්දෙනෙකි. ඒ පිළිවෙළින් එඩ්වඩ්, ෂර්ලි, ස්ටැන්ලි, සරත් හා ලක්ෂ්මන් ය. ඒ අතරින් ද දැනට ජීවත්ව සිටින්නේ තිදෙනෙකි. ඉන් බාලම පුත්‍රයා වන ලක්ෂ්මන් කරුණාරත්න මහතා පදිංචිව සිටින්නේ වේයන්ගොඩ ප්‍රදේශයේය.   

 

අවමඟුල් උත්සවය  

 


තාත්තා හරියටම රාජකාරි කළ කෙනෙක්. දේශපාලනඥයින්ව ගණන් ගත්තේ නෑ. කෙළින් කතා කළා. කෙළින් වැඩ කළා. පොලිසියේ හොඳ විනයක් තිබුණා. ඒ විනය අපිටත් ඉගැන්නුවා. එද‌ා පොලිසියත්, අද පොලිසියත් විනය අතින් අහසට පොළොව වගෙයි.’ ලක්ෂ්මන් මහතා කියයි.   


කරුණාරත්න මහතාගේ අවමඟුල් උත්සවය 1971 මාර්තු 10 දින හවස 4 ට බොරැල්ල කනත්තේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුවූ අතර අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක, ජනාධිපති විලියම් ගොපල්ලව ඇමෙරිකානු තානාපති ස්ට්‍රාස් හුවේ, පොලිස්පති ස්ටැන්ලි සේනානායක යන මහත්වරු ඒ සඳහා පැමිණ සිටියහ. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක් ශෝක පණිවිඩ නිකුත් කර තිබුණි.   

 

 

 

සටහන-ඡායාරූප දොම්පේ 
අජිත් මදුරප්පෙරුම