ඇමෙරිකන් කෑම ලෝකෙ පුරා ගෙනගිය කේ.එෆ්.සී. අවන්හල්


‘හාර්ලන්ඩ් සැන්ඩර්ස් ගේ’ කතාව

 

ගුණවත් අහරක් රසවත් නොවන්න පුළුවනි. එමෙන්ම රසවත් අහරක් සිරුරට හිතකර නොවන්නත් පුළුවනි. එහෙත් අපි කවුරුත් බොහෝ විට පුරුදුව සිටින්නේ දිවට කටට රස දැනෙන ආහාර කෑමටය.  


ප්‍රධාන ආහාර වේලකට වඩා කඩචෝරු කෑමට බොහෝ දෙනා රිසිය. ඉංග්‍රීසි භාෂාවෙන් ‘කඩචෝරු’ හඳුන්වන්නේ ජන්ක් ෆුඩ් (Junk Food) යන නමිනි. මේවා කෑම සිරුරට එතරම් හිතකර නොවන වග වෛද්‍ය විශාරදයින්ගේ මතය වේ. පෙර සූදානම් කොට පිළිවෙල කරන ලද සහ ඇසුරුම්කළ ආහාර ජන්ක් ෆුඩ් ගණයට අයත් වේ.  


කෙසේ වෙතත් කාර්ය බහුල වූ සමාජයක, ලොව බොහෝ දෙනා පුරුදුව සිටින්නේ ගුණ-අගුණ සොයා යාමට වඩා, ක්ෂණික වූ කෙටි අහරක් ලබා ගැනීමටය. විටෙක එය පොකැට්ටුවටත් ලාභදායකය. තවත් විදියකට කිවහොත් අඩු මුදලකින් දිවට-රසට කෙටි ආහාර වේලකින් කුස පුරවා ගත හැකි වේ. අප සූදානම් වන්නේ එලෙසින් ආහාරවල ගුණ-අගුණ ගැන කීමට නොවේ.  


අකුරු තුනකින් මුළු ලෝකයම ඇල්ලූ අවන්හල් ජාලයක කතාව සහ එය බිහි කිරීමට පුරෝගාමී වූ විශිෂ්ටයකු ගැන කිමටය. KFC යනු එම අවන්හල් ජාලය වේ. මෙම අවන්හල් ජාලය බිහිකිරීමට පුරෝගාමීවූ චරිතය වූයේ ඇමරිකාවේ විසූ හාර්ලන්ඩ් සැන්ඩර්ස් නම් මිනිසාය. වැටි-වැටී නැගිටිමින් ජීවිතය ජයගත් ඒ මිනිසාගේ කතාව පාඨක ඔබ දැන ගත යුතුම යැයි අපි හඟිමු.  


ජීවිතය කොතැනකින් හෝ අල්ලා ගැනීමට සැන්ඩර්ස් උත්සාහ ගත්තේ යාන්තමට දෙපයින් නැගී සිටීමට හැකිවූ ළාබාල වියේදී සිටය. එක් තැනෙකින් ජීවිතය පටන් ගැනීමට උත්සාහ කළද, එය ව්‍යර්ථ විය. ආයෙත් තවත් තැනකින් පටන් ගන්නට උත්සාහ ගත්‍්‍ නමුත් එතැනදීත් ඔහු අසාර්ථක විණි. එනයින් හාර්ල්න්ඩ් සැන්ඩර්ස් අසාර්ථක වූයේ වරක් දෙවරක් නොවිය. සිය දහස් වාරයක් අසාර්ථක වීය.  


අවසන වයස අවුරුදු 65 දී පමණ ඔහු නැගී සිටියේ ගමට, නගරයට, රටට, නොවී ලෝකයට චරිතයක් ලෙසය. අපි ඒ මිනිසාගේ කතාව කියවමු.  


ළමාවියේදී රස්සා කීපයක් කළ සැන්ඩර්ස්  


කෙනෙකු දුප්පත්ව ඉපදීම අරුමයක් නොවන්නේය. එහෙත් දුප්පත්ව ඉපිද, දුප්පත්ව මිය යන්නේ නම්? ඔබ වඩාත් අසාර්ථකය. ලෝ ප්‍රකට බිල්ගේට්ස් පවසා ඇත්තේ එලෙසිනි. මේ කියන සැන්ඩර්ස් උපන්නේද වත් පොහොසත්කම් තිබූ පවුලක සාමාජිකයකු ලෙස නොවේ. ඔහු උපත ලැබුවේ. 1890 සැප්තැම්බර් 9 වැනිදාය. ඇමරිකාවේ ඉන්දියානා පළාතේ හෙන්රිවිල් නගරයට ආසන්නව පිහිටි කෙන්ටකි ලුයිස්විල් යනු ඔහු හැදී වැඩුණු පළාත වේ.  


ජිවිතයේ පළමු අභියෝගයට ඔහු හට මුහුණ දීමට සිදු වූයේ වයස අවුරුදු 5 දීය. කුඩා සැන්ඩර්ස් හට පිය සෙනෙහස අහිමිවුණි. ඒ පියා ජීවිතක්ෂයට පත්වීමෙනි. එබැවින් මව හට රැකියාවක් සොයා ගැනීමට සිදුවූයේ පවුල නඩත්තු කිරීමේ භාරදුර වගකීම පැවරුණු බැවිනි.   


‘ඔයා නංගිවයි - මල්ලිවයි බලා ගන්න.  
මම වැඩට ගිහින් එනකල්
’  


ආහාර ටින්වල ඇසුරුම් කෙරුණු සමාගමක රැකියාවට යාමට පෙර මව, මාග්‍රට් පුංචි සැන්ඩර්ස් පුතු හට කිවාය. සැන්ඩර්ස්ගේ පියා ජීවත්ව සිටියදී කටයුතු කළේ ඉතා කාරුණික ගති පැවතුම් තිබූ තැනැත්තෙකු ලෙසය. අක්කර අසූවක් පමණ විශාල භූමියක ගොවිපොළ බාරව කටයුතු කරද්දී දිනෙක ඇද වැටී ඔහුගේ පාදයකට හානි විය. ඉන්පසුව දරු පවුල නඩත්තු කරවීම වෙනුවෙන් වෙනත් තැනක රස්සාවක් සොයා ගැනීමට සිදු විණි.  


පියා එලෙසින් කටයුතු කරද්දී මව පල්ලියේ දේව මෙහෙයට මෙන්ම ආගමික කටයුතු හා තදින් බැඳී සිටි තැනැත්තියක වූවාය. එවන්වූ පවුලක සෙනෙහස නොඅඩුව ලබමින් සිටි පුංචි සැන්ඩර්ස් හට පියාගේ හදිසි වියෝව නිසා ඇති වූයේ දැඩි කම්පනයකි. එහෙත් දරා ගැනීමේ ශක්තියක් මේ පුංචි කොල්ලාහට තිබිණි. තක්කාලි ටින් කර ඇසුරුම් කරන සමාගමේ වැඩට යන-එන අම්මා දෙස බලා සිටි මේ පුංචි පුතා බොහෝ සෙයින් දුක් වූවේය.  


ඒ හැරත් අම්මා වැඩට ගිය පසු නංගි සහ මල්ලී වෙනුවෙන් කෑම පිස දීමට සිදුවූයේ මේ පුංචි සැන්ඩර්ස් හටය. කෑමක් හදාගන්නා හැටි මව විසින් ඔහුට පුරුදු කර තිබිණි. සමහර දිනවල මව ගෙදර ආවේ නැත. දින දෙකතුනක් එක දිගට සේවය කිරීමට සිදුවීම ඊට හේතුව විය. එනිසා සහෝදරයින් දෙදෙනා සමග කෑමක් උයා පියා ගෙන කෑමට සැන්ඩර්ස් හට සිදුවිණි.  
දෛවයේ කුමක් හෝ පුරුද්දකට සුපවේදය ඔහුගේ ජීවිතයට සමීපව තිබුණේ එලෙසිනි.   
කාලය ඉක්මනින් ගත වෙමින් තිබිණි. සැන්ඩර්ස්ගේ මව නැවත විවාහයක් කර ගත්තාය. කෙසේ වෙතත් සුළු පියාගේ සැලකීම් පුංචි සැන්ඩර්ස් හට ගෙන දුන්නේ රිදුමක් මිස සතුටක් නොවිණි. මාග්‍රට්ගේ දෙවන කසාදයෙන් පසුව මේ පවුල ඉන්දියානාහි ග්‍රීණ්වුඩ් වෙත පදිංචියට ගිය අතර, ඒ වන විට වයස අවුරුදු 10 ක් පමණවු පුංචි සැන්ඩර්ස් ගොවි පොළක සේවය කරමින් සිටියේය. ඒ අතර වාරයේ පාසල්ද ගියේය.  


හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඔහු හට පාසල හැරයාමට සිදුවූයේ වීජ ගණිතයට දැක්වූ අසමත්කම නිසාවෙනි.  


‘වීජ ගණිතය මාව පාසලෙන් එළියට දැම්මා.’  


පාසල් ජීවිතය පිළිබඳව සැන්ඩර්ස් පවසා සිටියේ එලෙසින්ය.  


වයස අවුරුදු 13 පමණ වෙද්දී. විවිධ රැකියා කිරීමට උත්සාහ ගෙන තිබූ අතර වයස 14 දී නැවතත් ගොවිපොළ වැඩ කිරිමට ගියේය.  
මේ අතරවාරයේදී, දිනෙක සැන්ඩර්ස් තම මව හට මෙසේ කීවේය.  


අම්මෙ මම මාමලාගෙ ගෙදර යන්නද? මට මෙහේ එපා වෙලා.  


ඇයි පුතේ ඔයා අශ්වයින් පාට කරන්නත් දැන් යනවා නේද? ඇයි ඒක හරියන්නෙ නැද්ද?  
ඒ වනවිට පින්තාරු රැකියාවක් කරමින් සිටි සැන්ඩර්ස්ගෙන් මව විමසුවාය.  
මේ පුංචි වයසට මේ කොල්ල දැනට කොච්චරනම් රැකියා කරන්නට ඇතිද? මුලින්ම පටන් ගත්තෙ ගෙදර උයන්න. ඒක පඩි නොලැබුව එකක්. ඊළඟට ගොවිපොළ. ඊළඟට තවත් සුළු සුළු රැකියා කීපයක්. පසුව පින්තරු රස්සාව, ඊළඟට ආයෙත් ගොවි පොළක. මව පුතා ගැන සුසුම් හෙළුවාය.  


ළමා වියෙන් - තුරුණු වියට එළැඹෙන අතරේ තැනින් - තැන පාව ගිය ජීවිතය  


වයස අවුරුදු 16 දී පමණ ඉන්දියානා පළාතේ නිව් ඇල්බනිහි විසූ මාමා ළඟට ගිය, සැන්ඩර්ස් එතැන් සිට යළිත් ජීවිතය පටන් ගන්නට මුල පිරීය. පාසල් ජීවිතයට සමුදී සිටි නිසාවෙන්, එනම් වයස අවුරුදු 16 දී පාසල් ජීවිතය හැරයාම නිසාවෙනි. රස්සාවක් කිරීම හැර වෙනත් විකල්පයක් ඔහු හට නොතිබිණි. ඔහුගේ මාමා ඇල්බනි පළාතේ කුලී රථ සේවාවක සේවය කරමින් සිටි අතර, ඔහු ඥාති පුතුහට කොන්දොස්තර රස්සාවක් සොයා දුන්නේය. ඒ රස්සාවද කළේ මාස කීපයක් පමණකි.  


සැන්ඩර්ස් උපන් දිනය වෙනස් කර (වයස වැඩි කර) අයැදුම්පත් සකසා හමුදාවට එක්වීමට කටයුතු කළේය. වැගන්රථ රියැදුරකු ලෙස (එකල හැටියට කරත්ත පදවන්නකුවිය) මේ රස්සාවද කළ හැකි වූයේ වසරක පමණ කාලයක් පමණි. ගෞරවනීය ලෙස සේවාව නිම කිරීමට හමුදාව ඔහු හට අවස්ථාව ලබාදී තිබිණි. ඉනික්බිතිව නැවතත් මාමා සොයා යාමට ඔහු හට සිදුවූවේය.  


ඒ වනවිට මාම විසුයේ ෂෙෆීල්ඩ්හි ඇලබාමාහිය. එහි ගිය පසු සැන්ඩර්ස් වික්ෂිප්ත වූයේ, තම සහෝදරයා වූ ක්ලැරන්ස්ද, සුළු පියාගෙන් බේරී මාමා ළඟට පැමිණ සිටි නිසාය. මාමා දුම්රිය සේවා ස්ථානයක රැකියාව කළ අතර සැන්ඩර්ස් හට එම ආයතනයේ සුළු රැකියාවක් ලබා දීමට කටයුතු කළේය. ඔහු එම රැකියාව කළේද දෙමසක් පමණි. ඇලබාමාහි ජැස්පර් වෙත ගොස් දුම්රිය සේවයෙහි යන්ත්‍රවල අළුබඳුන් පිරිසිදු කිරීමේ රැකියාවක නිරත වුණි. එම රැකියාවෙන්ද ඉවත්වී ඊළඟට ගිනි නිවන භටයකු ලෙස සේවයට එක්ව සිටියේය.  


මෙකී කාලය වන විට, රේල්වේ ආයතනයේ සේවය කරමින් සිටියදී ඇතිවූ පෙම් පලහිලව්වක්ද ඔහුට තිබිණ. ඇගේ නම ජොසපින් කිං ය. වයස දහ අට වෙන විට හාර්ලන්ඩ් සැන්ඩර්ස්, විවාහකයකු බවට පත්විය. විවාහවී ඉක්මනින්ම දරුවකුත් හදා ගත්තේය. සෙම්රෝගය උත්සන්නවී ඒ දරුවා ජීවිතක්ෂයට පත්වීම සැන්ඩර්ස් හට ගෙන දුන්නේ අසීමිත වේදනාවකි. එහෙත් ඉන්පසු උපන් දියණියන් දෙදෙනා නිසා ඒ වේදනාව තරමක් තුනී කරගත්තේය.  
එක් තැනෙක රස්සාවක නිරත නොවූ මේ සැන්ඩර්ස් ඊළඟට රැකියාව කළේ ඉලිනොයිස් මධ්‍යම දුම්රිය සේවයේ ගිනි නිවන භටයකු ලෙසිනි. ජැක්සන් ටෙනිසි පළාත වෙත මේ පවුල පදිංචියට ගියේය. විටෙක මුරණ්ඩු ගති පැවැතුම් වලින් හෙබිවූ ඔහු මොනදේ කළද මෝඩයකු නම් නොවීය. දිවා කාලයේදී ගිනි නිවීම් භටයකු ලෙස සේවය කළ සැන්ඩර්ස් රාත්‍රී කාලයේදී විශ්වවිද්‍යාලයක් හා සම්බන්ධවී ලිපි හුවමාරු කර ගනිමින් ‘නීතිය’ හැදෑරිමට උනන්දු විය. එවර ඔහුගේ අභිප්‍රාය වූයේ නීතිඥවරයකු වීමටය. මෙලෙසින් කටයුතු කරමින් සිටියදී,  


‘මට මේ විදියට ජීවිතය ගෙවන්න බැහැ, දුලා දෙන්නා එක්ක, මගේ අම්මා-තාත්තා ළඟට යනවා.’  


ජොසපින්, සැන්ඩර්ස් හට කීවාය. එය එලෙසම සිදුවිණි.  
කෙසේ වෙතත් ඒ දුක දරා ගෙන නීතිය ගැන දිගටම හැදෑරීම ඔහුගේ අභිප්‍රාය විය. සන්සුන්තාවක් නොමැති වීම, කලබලකාරයකුවීම, එක් අරමුණක් නොමැතිවීම ආදී දේ නිසාත්, ඔහුගේ ජීවිතය නිතරම ස්ථාවර නොවුණි.  


‘අසාර්ථක මිනිසෙකු එක්ක මම මොකටද ජීවත්වෙන්නෙ?’  


බිරිඳ සැන්ඩර්ස් ගැන හිතන්නට ඇත්තේ එලෙසිනි. කැලඹිලි සහගතව සිටි ඔහු නැවතත් හෙන්රිවිල්හි වෙසෙන මව ළඟට ගියේය.  


‘මම ආයෙත් ඔයා ළඟට ආවා අම්මේ.’ සැන්ඩර්ස් මවට කීවේය.  


මේ ගෙවීගිය කාලයේදී සැන්ඩර්ස් හට සිදු වූයේ නිරන්තරයෙන් ජීවිතය කොතැනකින් හෝ පටන් ගැනීමක් පමණි. වැටුණු තැනින්ම ගොඩ ඒමට සිතාගත් සැන්ඩර්ස් හෙන්රිවිල්හිදී, රේල්පාරේ කම්කරුවකු ලෙස නැවතත් රස්සාවක් ලබා ගත්තේය. සැන්ඩර්ස්ගේ ජීවිතයේ මේ ස්වභාවය දෙස බලා, මේ මොන ජීවිතයක්ද කියා, පාඨක ඔබට හැඟේවි. එහෙත් ඔහුගේ ජීවිතය ගෙවී ගියේ එලෙසින්මය. 1916 දී ජෙෆර්සන්විල් වෙත ගොස්, රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා ගත්තේය. එහෙත් ටික දිනකින් ඔහුව සේවයෙන් පහ කරනු ලැබුවේ. අකීකරුකම නිසාවෙනි. ඉනික්බිතිව නිව්ජර්සිහි රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා ගත්තේය.  


වෙනස් ගමනකට අවතීර්ණවීම  


හිස ගිනි අවුළුවා ගත්තෙකු සේ එතෙක් කටයුතු කළ සැන්ඩර්ස් හට 1920 දී පමණ, ජෙෆර්සන්විල් සහ ලුයිස්විල් අතර ඔහියෝ නදියේ බෝට්ටු සේවයක් පටන් ගැනීමට හැකිවුණි.  
ඔන්න, මෙතැනදී ඔහු තරමක් සාර්ථක විණි. එම බෝට්ටු සමාගමේ සුළුතර කොටස් හිමියකු බවටද පත්වීමට හැකි විය. පසුව ඉන්දියානාහි කොළම්බස් වාණිජ මණ්ඩලයේ ලේකම් ලෙස පත්විණිද තමාට එය නොගැළපෙන බව ඔහු කීවේය. එතෙක් උපයාගත් ඩොලර් 22,000 ක පමණ මුදලද ඇතැතිව යළිත් වෙනත් ආයතනයක් පටන් ගැනීම සිදු කළේය. මෙලෙසින් විටින්-විට ඔහු කළ දේ නම් තවත් බොහෝය. ඒ අතර රස්සාද, ව්‍යාපාරද විය. අපි ඔහුගේ එම පරිච්ඡේදය වසා දමා අකුරුතුනේ කතාවට ප්‍රවේශ වෙමු.  


1930 දී පමණ තමා උපන්ගමේ ෂෙල් සමාගමක ඉන්ධන පිරවුම් හලක, ස්ථානයක් ඔහු හට ලැබිණි. ඒ වන විට අවන්හලක පිඟන් සෝදන්නෙකු ලෙස සහ කෝකියකු ලෙස කටයුතු කරමින් සිටි අතර ඉන් ඉවත්වී පිරවුම් හලේ ඉතා පුංචි ඉඩ කඩක, ඔහුට ව්‍යාපාරයක් කරගෙන යාමේ අවස්ථාව ලැබී තිබීම නිසා, තමාගේම අලුත් දෙයක් කිරීම එවර ඔහුගේ අභිප්‍රාය විය. කෙන්ටකිහි, සුන්දර අැපලේෂන් කඳු වැටිය අසල නිතර සංචාරකයින් ගැවසීම නිසා ඔවුනට කෙටි ආහාර සැපයීම අරමුණු කරගත් සැන්ඩර්ස්, බැදූ චිකන් සහ අනෙකුත් ආහාර වර්ග විකිණීමට පටන් ගත්තේය. මේවාට සංචාරකයින්ගෙන් ලැබුනේ හොඳ ඉල්ලුමකි. සැන්ඩර්ස් පිළියෙල කළ ආහාර, සංචාරකයින් මිලදී ගත්තේ පොදි කමිනි.  


‘මේකට තමයි මම දක්ෂ’ තමා පිළියෙල කළ ආහාර වලට ඉල්ලුම වැඩි වෙද්දී ඔහු සිතුවේ එලෙසිනි. එක මේසයකින් පටන් ගත් මේ වැඩේ, මේස තුන-හතර දක්වා වැඩි වී, තවත් පිරුවුම් හලක එය පවත්වාගෙන යාමට ඔහු හට අවකාශය ලැබිණි.  


1937 වන විට මේස 142ක් දක්වා වර්ධනය කරගෙන අවන්හල පවත්වාගෙන ගිය, අතර මේ චිකන් බැදුම කොතරම් දුරට ප්‍රකට වීද යත්, මුළු කෙන්ටකි පළාතේ පමණක් නොව ඇමරිකාවේ අනෙකුත් ප්‍රදේශවල විසූ ජනයා අතරද සැන්ඩර්ස්ගේ නාමය ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. එහි ඵලයක් ලෙස ඔහුගේම අවන්හලක් පිහිටුවීමට හැකිවූ අතර, එය ‘සැන්ඩර්ස් කෝට් සහ කැෆේ’ ලෙස නම් කළේය.  


හරි මගතෝරා ගත් සැන්ඩර්ස්  


ජීවිතයේ මැදිවිය ඉක්මවා යන තෙක්, එක් දෙයකට ස්ථාවර නොවී, අයාලේ, මෙන් ජීවිත ගමන ගෙවා දැමු හාර්ලන්ඩ් සැන්ඩර්ස් පෙර ආත්මයෙන් ගෙනා දේ නම්, ඉවුම් පිහුම් කලාවය. තමුන්ගේම වට්ටෝරුවක් ඔහු සතුව තිබිණි. එය නිර්මාණය කර ගත්තේ ඖෂධීය පැළෑටි වර්ග 11 කින් පමණ සමන්විත කුළුබඩු වර්ග යොදා ගෙනය. ලුණු සහ ගම්මිරිස් යනු ඕනෑම අවන්හලක මේසය මත තබා ඇති දෙවර්ගය වේ. ඔහු ඒ ගැන සඳහන් කළද තමාගේ මේ රහස් වට්ටෝරුවට අයත් අනෙකුත් දේ ගැන හෙළි නොකළේය.  


තමාගේ අවන්හල වෙත පැමිණෙන ආහාර අනුභව කරන්නන් වෙත කලින් චිකන් බැද තැබිමට ඔහු මැළි වූ අතර, එය පිස ගැනීමට විනාඩි 35 ක් වැනි කාලයක් ගත කිරීමට සිදුවීම ගැන ඔහු පසුවූයේ කනස්සල්ලෙනි. එනිසා සැන්ඩර්ස් අලුත් දෙයක් ගැන සිතීමට පෙළැඹිණි. ඇණවුම්වලට පෙර පිස තිබීම කිසිසේත්ම පලක් නොවන වගද වටහා ගෙන සිටි ඔහු ගැඹුරු තෙලෙහි බැද ගැනීමද සෞඛ්‍යයට හිතකර නොවන වග වටහා ගත්තේය. පීඩන උදුන ලෝකයට හඳුන්වා දී තිබුණේ මෙකී අවදියේදී වූ අතර බොහෝ දෙනා එය යොදා ගත්තේ එළවළු තම්බා ගැනීම වෙනුවෙනි. අලුත් විදියකට හිතපු සැන්ඩර්ස් ප්‍රෙෂර් කුකර් එකෙන් (පීඩන උදුන) අපූරුවට ප්‍රයෝජන ගැනීමට වග බලා ගත්තේය. නව මගකට පිවිසියේ ඉනික්බිතිවය.  


මෙම ක්‍රමය නිසා පෙරට වඩා කාලය ඵල සහිත විය. තෙලෙහි බැද ගන්නා දේට වඩා මෙහි ගුණාත්මක භාවය ගැනද ඔහු විශ්වාසය තැබුවේය. මේ වනවිට කෙන්ටකිහි ආණ්ඩුකාර රූබි ලැෆුන් විසින් ගරු නාමයක් ලෙස කර්නල් නාමය මෙම සැන්ඩර්ස් හට පිරිනමා තිබිණි. එය තව දුරටත් ඉහළ දැමීම සුදුසු යැයි, ලෝරන්ස් වෙදර්බේ ආණ්ඩුකාරවරයා විසින් යෝජනා කර සිටියේය. සැන්ඩර්ස් කර්නල් සැන්ඩර්ස් වූයේ එලෙසිනි.  


ඒ එක්කම සැන්ඩර්ස් ඔහුගේ ඇඳුමද මාරු කළේය. එය විටෙක මැජික් පෙන්වන්නකුගේ ඇඳුමකට සමානවූ බැවින්, සගයින්ගේ සමච්චලයට පවා සැන්ඩර්ස් ලක්වුණි. එහෙත් එවර නම් සමච්චලයට ලක්වූයේ සැන්ඩර්ස් නොවීය. සැබැවින්ම සැන්ඩර්ස් කර ඇත්තේ මැජික් එකකි. නැත්නම් 1955 වන විට ඇමරිකාවේ අන්තර් කලාපීය ස්ථාන 75 කදී විතර මේ ජාලය ව්‍යාප්ත කිරීමට හැකි වන්නේ නැත.  


පසුව වෙනත් අවන්හල් සඳහා වරලත්භාවය ලබා දීමද සිදු කළේය. ඊට අමතරව තමාගේ මිතුරකුවූ නගරයේ විශාලතම අවන්හල් ජාලයේ එවකට හිමිකරුවා වූ පීට් හර්ටන් වෙතද වරලත්භාවය ලබාදී තිබිණි. ඉනික්බිතිව ඇමරිකාවෙන් එපිට දේශ-දේශාන්තර ජය ගනිමින් මේ අකුරුතුනේ අවන්හල් නාමය ලෝක ව්‍යාප්තවිය. පසු කලෙක හාර්ලන්ඩ් සැන්ඩර්ස් ඩොලර් බිලියන ගණනකට තම ව්‍යාපාරය සහ නාමය වෙනත් පාර්ශ්වයකට පවරා දෙන ලද්දේය.  

 

කුඩා සැන්ඩර්ස් මව සමග

සැන්ඩර්ස්ගෙ සොහොන

මුල් අවන්හල


කර්නල් හාර්ලන්ඩ් සැන්ඩර්ස්ගේ අරුමැසි ජීවිතය  


බොහෝ දෙනා විශ්‍රාම වයසින් පසු, ජීවිතයට දොරගුළු දමන්නේය. එහෙත් සැන්ඩර්ස් ජීවිතය පටන් ගත්තේ විශ්‍රාම ගිය පසුවය. විටෙක ඔහු ඩොලර් 105 ක පමණ වූ විශ්‍රාම මුදල ගත් පසු සිය දිවි හානිකර ගැනීමට පවා සිතූ බව සඳහන්වේ.  


මම මෙච්චරටම අසාර්ථකද? එසේ සිතූ මේ අපූරු මිනිසා වයස අවුරුදු 88 වනවිට ලෝකය ජය ගත්තේය. වයස අවුරුදු 90 දී කර්නල් සැන්ඩර්ස් මිය ගියේ කෙන්ටකිහි ලුයිස්විල් හිදීය. අසනීප වීමට දින කිහිපයකට පෙර දක්වාම ඔහු සක්‍රියව සිටි චරිතයක් වීය.   


ඔහු මිහිදන්වූයේ ඔහු පෙනී සිටි නිල ඇඳුම මෙන්වූ ඇඳුම සමගය. ලෝකයට සලකුණක් තබා ඔහු මිය ගියේ එලෙසිනි. ජීවත්ව සිටියදී ඔහු විටින් විට විවිධ මාර්ග ඔස්සේ යාමට උත්සාහ ගත්තද කෙටි මාර්ග ඔස්සේ ජීවිතය ජයගත නොහැකි විණි. ජීවිතයට කෙටි මාර්ග නැත යන්න සැන්ඩර්ස්ගේ ජීවිත​ෙයන් උකහා ගත හැකි ඉහළම ආදර්ශය වෙයි. ‘ලොවෙන් එකෙක්-එක් දේකට සමත් වේය’ යන්න, ඔහුගේ ජීවිතය වෙතින් ගත හැකි තවත් දෙයකි.  


මිනිසකු හට යමක් කිරීමට අදහසක්, ආකල්පයක්, හැඟීමක් ඇත්නම් වයස ප්‍රශ්නයක් නොවන්නේය. ජීවිතයේ සියල්ල දුෂ්කර විය හැකිය. එහෙත් ‘අදහස’ අත් නොහරින්න. එසේ නොමැතිව ජීවිතයට යසස සහ ශ්‍රී විභූතිය ළඟා කර ගත නොහැකි බව, සැන්ඩර්ස් පසුකාලීනව විශ්වාස කළ දර්ශනය විය.

 

 

 

සටහන :
සඳුන් ගමගේ