ඇමරිකානු තහනම ඉදිරියේ “හුවාවි” ජංගම දුරකථනයේ අනාගතය


 

 

එක්සත් ජනපදය විසින් හුවාවි ජංගම දුරකථන සමාගම ඇතුළු තවත් සමාගම් 68ක් අපනයන නැවැත්වීමේ ලැයිස්තුවකට එකතු කිරීමත් සමඟ ඇමරිකාවෙන් තාක්ෂණික උපාංග ආනයනය කිරීම හුවාවි සමාගමට තහනම් වී ඇත. එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව ඇමරිකානු සමාගම්වලට හුවාවි සමාගමට උපාංග හෝ තාක්ෂණය විකිණීම ද තහනම් කළේය. මෙම උණුසුම් තත්ත්වය ඇතිවූයේ මැයි මස සිවුවැනි සතියේදීය.   


එම ලැයිස්තුවේ ඇතුළත් සමාගම් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට හෝ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියට තර්ජනයක් වන බව සැලකේ. එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන තිබුණේ මැයි මස තෙවැනි සතියේ හදිසි ජාතික තත්ත්වයක් ප්‍රකාශ කිරීමත් සමඟයි. අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ මෙම ක්‍රියාව ඍජුවම හුවාවි සමාගම ඉලක්ක කරගෙන සිදු කළ බවයි. 


වොෂිංටනයේ තීරණයට අනුව හුවාවි සමාගම සමඟ පවතින සියලු ගනුදෙනු නවත්වන බව ගූගල් සමාගම නිවේදනය කළේය. 


තහනම දිගටම පැවතුනහොත් ලොව සෙවුම් යන්ත්‍ර සේවා දැවැන්තයා ගූගල් ඔස්සේ හුවාවි සමාගම සිය ස්මාට් ජංගම දුරකථන සේවා සඳහා මෙතෙක් ලබාගෙන තිබූ ජීමේල්, යූ ටියුබ් වැනි ඇප් භාවිත කිරීමට නොහැකි තත්ත්වයකට පත් වන බව කියැවේ. වර්තමානයේ භාවිතයේ පවතින හුවාවි දුරකථන සඳහා එම සමාගම විසින් විසඳුමක් නොදුනහොත් පවතින මෙහෙයුම් පද්ධති එසේම පවත්වාගෙන යනු විනා ඒවා යාවත්කාලීන කිරීමක් සිදු නොවනු ඇතැයිද විශේෂඥයෝ කියති. 


හුවාවි සමාගම ලොව දැවැන්තම විදුලි සංදේශ උපකරණ නිෂ්පාදකයා මෙන්ම දෙවැනි විශාලම ජංගම දුරකථන නිෂ්පාදකයා ද වේ. 


එක්සත් ජනපදයේ ප්‍රමුඛත්වයෙන් බටහිර රටවල් හුවාවි සමාගම වෙත දක්වන්නේ දිනෙන් දින වර්ධනය වෙන විරෝධයකි. එක්සත් ජනපද රජය විසින් සිය සමාගම අවතක්සේරු කර ඇතැයිද, වෙනත් කිසිදු සමාගමකට ඔවුන්ගේ 5 ජී තාක්ෂණය වෙත ලඟා විය නොහැකි වනු ඇතැයි ද හුවාවි සමාගමේ ප්‍රධානී රෙන් ෂෙන්ග්ෆෙයි මහතා කියා සිටියේ මෙම සිද්ධිය පිළිබඳව චීන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 


එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව හුවාවි පාරිභෝගිකයන්ට සිදුවන බලපෑම් අවම කිරීම සඳහා සමාගම් කිහිපයකට තාවකාලික බලපත්‍ර නිකුත් කිරීමත් සමඟ එම සමාගම්වලට හුවාවි ජාල සහ උපාංග සමඟ සම්බන්ධ වීමට තිබූ අවහිරය තාවකාලිකව ඉවත් විය. ඒ අනුව හුවාවි ජංගම දුරකථනවල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන්ට අගෝස්තු 19 වැනිදා තෙක් එහි මෘදුකාංග යාවත්කාලීන කිරීම් යැවීමට ගූගල් සමාගමට අවකාශ ලැබේ. 


දින 90 බලපත්‍ර නිකුත් කිරීමෙන් පසුව හුවාවි ජංගම දුරකථන භාවිත කරන්නන්ට හා දුරස්ථ කලාපවල සිදුකෙරෙන පුළුල් කලාප අන්තර්ජාල සේවා (Broadband) භාවිත කරන්නන්ට අපහසුවකින් තොරව මෙහෙයුම් කටයුතු සිදුකිරීමට හැකිවනු ඇතැයි එක්සත් ජනපද වාණිජ කටයුතු ලේකම් විල්බර් රොස් ප්‍රකාශ කළේය. ලබාදී ඇති සහන කාලය තුළ සිය කටයුතු කළමනාකරණය පිළිබඳව හුවාවි සමාගම පියවරක් ගනු ඇතැයි ද ඔහු පැවසීය. 


මෙම අනතුර පිළිබඳව පෙර දැනුම්වත්ව සිටි බවත්, එම තත්ත්වයට මුහුණ දීමට කල්තබා සූදානම්ව සිටි බවත් හුවාවි සමාගම කියා සිටියද, 2020 දී ලෝකයේ දැවැන්තම ජංගම දුරකථන ජාලය බවට පත්වීමේ අපේක්ෂා ඇතිව සිටි හුවාවි සමාගමට එය මරු පහරක් වනු ඇතැයි මත පළ වේ. හුවාවි උපකරණවල ඇති චිප්වලින් අඩක්ම පැමිණෙන්නේ එක්සත් ජනපදයෙන් වන අතර ඉතිරිය චීනයේම නිෂ්පාදනය වේ. 


උපාංග මිලදී ගැනීමේ කටයුතු සඳහා හුවාවී සමාගම 2018 වසරේදී වැය කළ ඇමරිකානු ඩොලර් බිලියන 70න්, බිලියන 11ක්ම වැය වී තිබෙන්නේ ක්වල්කොම්, ඉන්ටෙල් හා මයික්‍රොන් ටෙක්නොලොජි යන ඇමරිකානු සමාගම්වලටයි. එසේම 2019 පළමු කාර්තුවේදී හුවාවි ජංගම දුරකථන අපනයන නැව්ගත කිරීම්වලින් සියයට 49ක්ම ගොස් තිබෙන්නේ චීනයෙන් පිටත අන්තර්ජාතික ගමනාන්තවලට බව විශ්ලේෂකයෝ පවසති. 


හුවාවි සමාගම කාලයක සිටම චීන - ඇමරිකානු බල අරගලයේ ගොදුරක්ව තිබිණි. 


ජංගම දුරකතන යාවත්කාලීන කිරීම මෙන්ම එහි ආරක්ෂාව සහතික කිරීමද පාරිභෝගිකයාට වැදගත් වන්නේ යැයි ගූගල් සමාගමේ නියෝජිතයෙක් කියා සිටියේය. 
දින 90ක සහන කාලය තවදුරටත් දීර්ඝ කළ යුතුද නැද්ද යන්න ගැන තවමත් තක්සේරු කරමින් පවතින බව එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව පවසයි. 
ආර්ථික කටයුතු හා සංවර්ධනය පිළිබඳව චීන රජයට උපදෙස් දෙන දේශපාලන විශ්ලේෂකයෙකු වන අයිනාර් ටැන්ගෙන්, චීනයෙන් එල්ල වන තරගය වළක්වා ගැනීමට එක්සත් ජනපදය මෙම පියවර ගෙන ඇති බව අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. මේ සමඟ චීනය හා අනෙකුත් පාරිභෝගිකයන් මිලදී ගැනීම් නැවැත්වීම නිසා ඇපල් සමාගමේ වෙළෙඳාම් ශීඝ්‍රයෙන් පහළ වැටිය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

 

හුවාවී සමාගම් ප්‍රධානී රෙන් ෂෙන්ග්ෆෙයි

 


චීනයෙන් ඇමරිකාවට ඇමරිකානු ඩොලර් බිලියන 350කටත් වැඩි ප්‍රමාණයක ලාභයක් ලැබෙන බැවින් ඔවුන්ගේ සමාගම්වල ලාභය ඉපයීමට මෙම තහනම දැඩිව බලපාන බවත් අයිනාර් ටැන්ගෙන් පවසයි. 


හුවාවි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී හා හුවාවි ප්‍රධානී රෙන්ගේ දියණිය වන මෙන් වෙන්සූ දෙසැම්බර් මස පළමුවැනිදා කැනඩාවේ වැන්කුවර්හිදී අත්අඩංගුවට පත් වීමත් මෙම සිද්ධියට සම්බන්ධය. ඒ සමඟ චීනයේ සේවය කරන කැනඩා ජාතිකයන් දෙදෙනෙක් ඔත්තු බැලූ බවට සැක පිට චීනය විසින් අත්අඩංගුවට ගැනිණි. 


ඇමරිකාව විසින් සම්බාධක පනවා තිබුණු ඉරානයට තාක්ෂණික උපකරණ විකිණීමෙන් සම්බාධක උල්ලංඝනය කළ බවට ඇමරිකාව හුවාවි සමාගමට චෝදනා කළ අතර ඒ පිළිබඳව පසුගිය වසරේ පරීක්ෂණද පැවැත්විණි. 


ඉරානය හා උතුරු කොරියාවට තාක්ෂණික උපකරණ විකුණා ඇමරිකාව දමා තිබූ සම්බාධක උල්ලංඝනය කළ බව පවසා තවත් චීන සමාගමක් වන ZTE ද මෙපරිද්දෙන්ම චෝදනා ලැබ තිබිණි. වන්දි වශයෙන් එම සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 892ක් ඇමරිකාවට ගෙවන්නට සිදුවිය. 


හුවාවි සමාගම මැයි 21 වැනිදා ලන්ඩනයේදී නව බජට් ස්මාට් දුරකථනයක් හඳුන්වා දීමට සිටි බව සවුත් චයිනා මෝනින් පෝස්ට් වෙබ් අඩවිය සඳහන් කරයි. එම වෙබ් අඩවිය ඇමරිකාව හා එහි ක්‍රියාකලාපය විවේචනය කරමින් පුවත් පළ කර ඇත. 


ඇමරිකාව විසින් චීනය තර්ජනයක් ලෙස දැකීමට හේතුව වන්නේ චීනයට ඔත්තු බැලීමට හැකි ලෙස නව 5ජී තාක්ෂණය ක්‍රමයක් සකසාගෙන ඇති බවකි. එහෙත් රජය හා ඔත්තු බැලීමේ කිසිදු ව්‍යාපෘතියකට තම සම්බන්ධයක් නැති බව හුවාවි සමාගම කියා ඇතැයිද, අනෙක් රටවල් පවා චීනයේ 5ජී ජාලවලින් හුවාවි තාක්ෂණය ඉවත් කිරීමද ඇමරිකාවේ අපේක්ෂාව බවත් එම වෙබ් අඩවිය වාර්තා කරයි. ඕස්ට්‍රේලියාව, ජපානය හා තායිවානය සිය 5ජී ජාලවලින් හුවාවි උපකරණ ඉවත් කර ඇතැයිද, නවසීලන්තය තාවකාලිකව හුවාවි අවහිර කර ඇතැයිද එහෙත් කැනඩාව තවමත් ආරක්ෂක විධි විධාන සලසා ගනිමින් යන බවත් එහි සඳහන්ය. 

 

 


බොහොමයක් යුරෝපීය රටවල් හුවාවි තහනම් කරනු වෙනුවට තම රටවල සියබර් ආරක්ෂාව තර කරන බවත්, එක්සත් රාජධානිය ආරක්ෂක අවදානමක් ඇති බව හඳුනාගෙන ඇතත්, ඒ පිළිබඳව කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන තවමත් තීරණයකට පැමිණ නැති බවත් කියැවේ. 


ගිනිකොනදිග ආසියාවට වෙනත් තරගකරුවන්ට වඩා ලාභදායී මිලකට විදුලි සංදේශ උපකරණ ලබාදිය හැකි බව හුවාවි සමාගම කියා සිටියි. දකුණු කොරියාව දැනටමත් හුවාවි සහයෝගයක් නැතිවම එරට 5ජී තාක්ෂණය ස්ථාපිත කර ඇත. තායිලන්තය දැනටමත් හුවාවි සමඟ ගිවිසුම් අත්සන් කර ඇති අතර 2020 වන විට 5ජී තාක්ෂණය දියත් කිරීමට සූදානම්ය. සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව හා පිලිපීනය 5ජී තාක්ෂණය සඳහා හුවාවි උපකරණ ලබාගැනීමට මේ වන විටත් අත්සන් කර ඇතත්, ඔවුන් සිය රටවල ආරක්ෂාව ගැනද සැලකිලිමත් වේ. ඉන්දියාවද තවමත් තීරණයකට පැමිණ නැති නමුත් එරට 5ජී තාක්ෂණ සේවා සැපයීම සඳහා අනෙක් තරගකරුවන් වන නොකියා, එරික්සන් හා සැම්සුන්ග් යන සමාගම් හා අත්හදාබැලීම් පරීක්ෂණවලට සම්බන්ධ වන්නැයි හුවාවි සමාගමට ආරාධනා කර ඇතැයිද සවුත් චයිනා මෝනින් පෝස්ට් වාර්තා කරයි. 
2019 මාර්තු මස වන විට හුවාවි සමාගම රටවල් 40ක 5ජී කොන්ත්‍රාත් අත්සන් කරගෙන තිබුණු බවද එහි දැක්වේ. 


ගූගල් සේවාවන් නොමැති විට හුවාවි ස්මාට් ජංගම දුරකථනවලට ඇති පාරිභෝගිකයන්ගේ ඉල්ලුම පහළ බසිනු ඇතැයි තාක්ෂණ විශේෂඥයෝ අනාවැකි පළ කරති. 
මේ වන විට භාවිතයේ ඇති ස්මාට් ජංගම දුරකථන හා ටැබ්ලට් සඳහාත්, විකිණීමට සාප්පුවල තිබෙන ස්මාට් ජංගම දුරකතන සඳහාත් ආරක්ෂාව යාවත්කාලීන කිරීම හා අලෙවියෙන් පසු සේවාවන් සැපයීම සිදුකරන බව හුවාවී සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ. 


ගූගල් ප්ලේ ස්ටෝර් වෙත පිවිසීමට නොහැකි වීම චීන පාරිභෝගිකයන්ට කිසිසේත්ම ගැටලුවක් නොවන්නේ මේ වන විට එරට ගූගල් තහනම් කර තිබෙන නිසා යැයිද, තහනම් කළහොත් පාරිභෝගික ගැටලු ඇතිවන්නේ අනෙකුත් රටවලට බවත් ඔවුහු පවසති. 


මෙම තහනම් ලැයිස්තුවේ පිටු 270කටත් වැඩියෙන් ඇති බවත්, රුසියාව, චීනය, යුක්රේනය, ඉරානය හා එක්සත් රාජධානිය පවා ඇතුළත් රටවල් රැසක ව්‍යාපාර, පර්​ෙ‌ය්ෂණායතන, රජයන් හා පුද්ගලික ආයතන තිබෙන බවත් එකී වෙබ් අඩවිය සඳහන් කරයි. එම ආයතන සියල්ලටම එක්සත් ජනපද සමාගම් සමඟ ගනුදෙනු කිරීම අවහිර කරමින් පොදු තහනමක් පනවා ඇතැයිද වාර්තා වේ. එම ආයතනවලට නිපැයුම් අපනයනය කිරීමට හා මෘදුකාංග සැපයීමට අවශ්‍ය වන්නේ නම්, ඇමරිකානු සමාගම්වලට එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඒජන්සියක් වන කර්මාන්ත හා ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබාගැනීමට සිදුවේ. එහෙත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප වනු ඇතැයි ඔවුහු දැනටමත් අනාවැකි කියති. 

 

 


කෙසේවුවද, මේ වන විට භාවිතයේ පවතින ස්මාට් ජංගම දුරකථනවලට මෙම තහනමෙන් බාධාවක් නොමැති බව හුවාවි සමාගම අවධාරණය කරයි. භාවිතයේ පවතින ස්මාට් ජංගම දුරකථනවල ගූගල් ප්ලේ හා ගූගල් ප්ලේ ප්‍රොටෙක්ට් ආරක්ෂාව සැපයෙනු ඇති බව ගූගල් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය. 


ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය හුවාවි සමාගම තහනම් ලැයිස්තුවකට එකතු කිරීම සිය බලය පෙන්වීමට ගත් උත්සාහයක් බව වැඩි දෙනෙකුගේ මතයයි. එම පුවත අන්තර්ජාලයම උණුසුම් කරන්නට සමත් වූ අතර බහුතරයක් පොදු මහජනයාගේ අදහස වූයේ ගූගල් යන ලොව අංක එකේ ඔත්තු බලන්නා යොදාගෙන ඇමරිකාව ලෝකයේම ඔත්තු සොයන බවත්, ඔත්තු බලන ව්‍යාපාරයට එකතු වීමට චීනය ගත් උත්සාහය කඩාකප්පල් කිරීම සඳහා මෙසේ කර තිබෙන බවත්ය. දැනට ලෝක බලවතා වන ඇමරිකාවට අභියෝගයක් වෙමින් නැගී සිටින චීනය මට්ටු කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම ඇමරිකාව කරනු ඇත. 


චීනය, ඇමරිකාවට ප්‍රතිචාර දැක්වීම සඳහා කිසියම් පියවරයක් ගන්නට සූදානම් වෙන බව විශ්ලේෂකයන්ගේ අදහසයි. ජංගම දුරකථනවල සිට රූපවාහිනී ඇතුළු පරිගණක දක්වා විශාල පරාසයක ඉලෙක්ට්‍රොනික් උපකරණ නිපදවීමට අවශ්‍ය තීරණාත්මක සාධකයක් ලෙස සැලකෙන දුර්ලභ ඛනිජ සම්පත්වලින් සියයට 95ක්ම නිපදවන්නේ චීනයයි. එම ඛනිජ සම්පත්වලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ ඇමරිකාවයි. ඒ අනුව ලෝකයේ මීළඟ අධි තාක්ෂණික අධිකාරිත්වය පිණිස චීනය හා ඇමරිකාව තියුණු තරගයක යෙදී සිටිති. චීනය මෙයට පෙරත් දේශපාලනික හේතු මත මෙම ඛනිජ සම්පත් නිකුත් කිරීම සීමා කර තිබෙන බැවින් ඇමරිකාවට පාඩමක් ඉගැන්වීමට තමා සතු උපරිම බලතල භාවිත කරනු ඇත. 

 

 

 

අන්තර්ජාලය ඇසුරෙනි - නිසංසලා දිසානායක