ආරාධනා කළ උත්සවයකට එන්න බැරි වුණා ඇමෙරිකා ජනපති බුෂ් ලාංකිකයකුගෙන් සමාව ගනියි


 
ශ්‍රී ලාංකිකයෙකු ශ්‍රී ලංකාවේ සංවිධානය කළ උත්සවයකට අමෙරිකානු ජනාධිපතිවරයෙකුට ආරාධනා කළ විට තමාට පැමිණීමට නොහැකිවීම පිළිබඳ ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු එම උත්සව සංවිධායකයාගෙන් සමාව ඉල්ලා සිටින්නේනම් එය ඉතාමත් විශ්මිත මෙන්ම විශ්වාස කළ නොහැකි ක්‍රියාවකි. එහෙත් සැබැවින්ම එය සත්‍ය සිද්ධියකි. 
 
එවකට ඇමෙරිකාවේ ජනාධිපතිවරයකුව සිටි ජෝජ් බුෂ් මහතා වෙනුවෙන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු මෙන්ම ජනාධිපතිවරයාගේ කාල සටහන් සකස් කිරීමේ නිලධාරිවරයා දකුණු පළාතේ අහංගම නන්ද රණසිංහ මහතාගෙන් ලිඛිතව මෙසේ සමාව අයැද ඇත. 
 
නන්ද රණසිංහ මහතා විසින් අහංගම දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විදුහලේ ඉදිකරවන ලද තෙමහල් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත යවන ලද ආරාධනා පත්‍රය ආරක්ෂක හේතුන් නිසා ප්‍රමාද වී ලැබීම නිසා මෙම උත්සවයට සහභාගීවීමට නොහැකිවූ බව සමාව අයැද සිටිමින් නන්ද රණසිංහ මහතා වෙත එවා ඇති ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ. 
 
අහංගම දිගරැද්දේ උපන් නන්ද රණසිංහ මහතා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කොට ඉන් විශ්‍රාම ගත් පසු අමෙරිකාවේ පෞද්ගලික ආරක්ෂක සමාගමක වසර තිස් තුනක් සේවය කර ඇති නිලධාරියෙකි. ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයෙන් විශ්‍රාම ගෙන ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වසර කීපයක් සේවය කර තිස් තුන් වසරක් එහි ජීවත් වුවද රණසිංහ මහතා අමෙරිකාවේ පුරවැසි භාවය ලබා නොගැනීම ද විශේෂ සිද්ධියකි. 
 
“පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු 1963 වසරේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ පළමු වැනි රෙජිමේන්තුවේ ගුවන් විදුලි කාර්මික අංශයේ සාමාන්‍ය සෙබළකු ලෙස මම මුලින්ම රැකියාව ආරම්භ කළා. වසර දහයකට පසු 1973 වසරේදී කෝප්‍රල්වරයකු ලෙස උසස්වීමක් ලැබුවා. මෝදර රොක්හවුස් කඳවුරේ ගුවන් විදුලි කාර්මික අංශයේ මම සේවය කරමින් සිටියා. ඒ වන විට මගේ ප්‍රධානියා වූයේ දිවංගත ලුතිනන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතායි. 1973 අවුරුද්දෙ දිනක ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා දුරකතනයෙන් කතා කර මට එතුමා හමුවීමට එන්න කියා කීවා. 
 
ඒ අනුව වහාම මම කොබ්බෑකඩුව මහතා හමුවීමට ගියා. මම ආචාරකර එතුමා ඉදිරියේ හිට ගෙන ඉන්න විට ‘‘වාඩිවෙන්න රණසිංහ’’ කියා කීවා. එවිට මම වාඩි වූ පසු කොබ්බෑකඩුව මහතා මට කීවා ‘‘රණසිංහ මම එන්න කීවේ පුංචි උදව්වක් ඉල්ලන්න.’’ ‘‘මොකද්ද සර් මගෙන් ඕනෑ උදව්ව’’ කියා මම ඇසුවා. ‘‘රණසිංහ හෙට රාත්‍රී නිව්​ෙ‌යා්ක් යන්න සූදානම් වෙන්න.’’ මේ කතාව ඇසු මට කිසිවක් හිතා ගන්න බැරිව ගියා. නිව්​ෙ‌යා්ක් නගරයට යන්න කියන හේතුව එක්වරම මට කීවේ නැහැ. ඒ නිසා මම කීවා ‘‘සර් මට ඒක කරන්න අමාරුයි. මම පවුලේ වැඩිමලා දෙමාපියන් වයසයි. ඒ දෙදෙනා වැඩි වශයෙන් බලා කියා ගන්නෙ මම’’ කියා කොබ්බෑකඩුව මහතාට කීවා. 
 
එවිට වාඩිවී සිටි පුටුවෙන් කොබ්බෑකඩුව මහතා නැගිට හමුදා නීතිය අනුව මට රණසිංහ යවන්න පුළුවන්. රණසිංහ විතරයි මේ ගමනට සුදුසු. ඒ නිසා නිව්​ෙ‌යා්ක් ගමනට සූදානම් වෙන්න කියා කීවා. ඊට පසුව මට නිව්​ෙ‌යා්ක් යවන හේතුව පැහැදිලි කළා. 
 
‘‘ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයටයි රණසිංහ යවන්නෙ’’ අවසානයේ මම කොබ්බෑකඩුව මහතාට කීවා ‘‘සර් මම ගමනට සූදානම්’’ කියා. ඊට පසු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ අණදෙන නිලධාරිවරයා ලෙස සිටි එම්.ඩී. ප්‍රනාන්දු මහතා ළඟට එක්ක ගොස් කොබ්බෑකඩුව මහතා කීවා රණසිංහ ගමනට සුදානම් කියා. ඒ අනුව 1973 අගෝස්තු මස 21 වැනි දින කටුනායක ගුවන් තොටුපළින් මම නිව්​ෙ‌යා්ක් බලා පිටත් වුණා. ඒ වෙන විට ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේ ෂර්ලි අමරසිංහ මහතායි. නිව්​ෙ‌යා්ක් ගොස් මම ෂර්ලි අමරසිංහ මහතා හමු වුණා. 
 
මගේ හමුදා ජීවිතය ගැන විමසා මට කීවා මමත් එක්ක අවුරුදු එකහමාරක නිව්​ෙ‌යා්ක් ඉන්න පුළුවන් කියා. ඒ වන විට හැමිල්ටන් ෂර්ලි අමරසිංහ මහතා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති තනතුරත් දැරුවා. මීට අමතරව රටවල් එකසිය හැට තුනක් නියෝජනය කරන තානාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති තනතුරත් දැරුවා. හැබැයි ෂර්ලි අමරසිංහ මහතා බොහොම නිහතමානී මහත්මයෙක්. එතුමා පාවිච්චි කළේ බොහොම පරණ ෆෝඩ් වර්ගයේ වාහනයක්. මම ෂර්ලි අමරසිංහ මහතාගේ සමීපතම සේවකයා බවට පත් වුණා. එතුමා යන සෑම ගමනකටම මම එක්ක ගියා. රාජකාරි මෙන්ම පෞද්ගලික ගමන් බිමන්වලට මා සහභාගී කරවා ගත්තා. මගේ සේවය පිළිබඳ ෂර්ලි මහතා බොහෝ සතුටට පත්ව සිටියා. 
 
1974 වසරේ අග භාගය වෙන විට ෂර්ලි අමරසිංහ මහතා දැරූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති සහ තානාපතිවරුන්ගේ හා මුහුදු මහ සම්මේලනයේත් සභාපති තනතුරුවල නිල කාලය අවසන් වුණා. පසුව ෂර්ලි අමරසිංහ මහතා දැරු ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති තනතුරේ නිල කාලය ද අවසන් වුණා. 
 
මමත් සේවයෙන් විශ්‍රාම යන බව දැනගත් කොබ්බෑකඩුව මහතා දුරකතනයෙන් මට කතා කර කීවා රණසිංහ ඔබ ලංකාවට එන්න එපා. ඔබ ළඟ ඇති හමුදා සහතික පෙන්නා රැකියාවක් අැමෙරිකාවෙන් සොයා ගන්න කියා. ෂර්ලි අමරසිංහ මහතාත් කීවා අැමෙරිකාවේ නවතින්න කියා. ඒ වන විට නිව්​ෙ‌යා්ක් නගරයේ ආරක්ෂක සේවකයන් අසූ තුන් දහසක් සේවය කරන පෞද්ගලික ආරක්ෂක සමාගමක් තිබුණා. මට තිබූ සුදුසුකම් නිසා මට මේ සමාගමේ රැකියාවක් ලැබුණා. මට ඇමෙරිකාවට එන්න ලැබුණෙ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා නිසයි. එතුමා මට හරිම ආදරෙයි. ඒ ආදරය ඇතිවීමට විශේෂ හේතුවක් තිබුණා. වරක් කොබ්බෑකඩුව මහතා වැඩ තහනමට ලක්ව සිටියා. එදා කොබ්බෑකඩුව මහතා අවුරුදු හතරක් ගෙදරට වී සිටියා. මේ කාලය තුළ හමුදාවේ කිසිම කෙනෙක් එතුමා බලන්න ගිහින් තිබුණේ නැහැ. කොබ්බෑකඩුව මහතා එම කාලය තුළ බලන්න ගිය එකම පුද්ගලයා මා පමණයි. 
 
 මේ කාලය වෙන විට අහංගම දික්කුඹුර සිද්ධාර්ථ විදුහලේ ගොඩනැගිලි හිඟයක් තිබුණා. මේ නිසා සිසුන් එක් දහස් හය සියයක් පමණ ඉගෙනුම ලැබු එම විදුහලේ සිසුන් අපහසුතාවකට පත්ව තිබුණා. මේ තත්ත්වය නිසා එවකට සිද්ධාර්ථ විදුහල්පතිව සිටි ඒ.එම් ජයරත්න මහතා මට ලියුමක් එවා තිබුණා. ඒ ලියුමෙ දරුවන් පත්ව සිටින දැඩි අපහසුතාවය සඳහන් කර පාසල් ගොඩනැගිල්ලක් හදන්න පුංචි උදව්වක් කරන්න කියා විදුහල්පතිතුමා මගෙන් ඉල්ලීමක් කර තිබුණා. 
 
 විදුහල්පතිවරයාගේ මේ ඉල්ලීම පිළිබඳ නන්ද රණසිංහගේ මහතාගේ සිත පුදුම විදියට සංවේදී විය. තමන් උපන් මව් බිමට යම්කිසි සේවයක් කළ හැකි නම් එය විශාල සේවයක් බව ඒවන විට ඇමෙරිකාවේ සිටි රණසිංහ මහතා කල්පනා කළේය. ඒ අනුව රණසිංහ මහතා දික්කුඹුර විදුහල්පතිවරයාට වහාම ලිපියක් තැපැල් කළේය. 
 
‘විදුහල්පතිතුමා, කිසිම කෙනෙකුගෙන් උදව් ඉල්ලන්න එපා. මගේ වියදමින් ගොඩනැගිල්ලක් හදා දෙනවා’ යනුවෙන් රණසිංහ මහතා විදුහල්පතිවරයාට යවන ලද ලිපියේ සඳහන් විය. 
 
 ඇත්තටම විදුහල්පතිතුමාට මම පොරොන්දු වූ පරිදි පන්ති කාමර දහයක් සහ රැස්වීම් ශාලාවක් සහිත තෙමහල් ගොඩනැගිල්ලක් දික්කුඹුර සිද්ධාර්ථ විදුහලේ ඉදි කෙරෙව්වා. කිසිම කෙනෙකුගෙන් මම ආධාරයක් ගත්තේ නැහැ. මගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ තුන්සිය හැට අටක් මම මේ ගොඩනැගිල්ල ඉදි කිරීමට වැය කළා. මට ඇමෙරිකාවට එන්න මාර්ගය පාදා දුන්නෙ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා. ඒ නිසා මේ ගොඩනැගිල්ල ‘ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණ ගොඩනැගිල්ල’ යනුවෙන් නම් කරන්න කියා මම විදුහල්පතිතුමාට කීවා. 
 
 ඊට පසුව නව ගොඩනැගිල්ල විවෘත කිරීම පිළිබද විදුහල්පතිතුමා මට දැනුම් දුන්නා. මම කල්පනා කළා අපේ ජනාධිපතිතුමා සමග ඇමෙරිකාවේ එවකට ජනාධිපතිව සිටි ජෝජ් බුෂ් මහතාටත් ගොඩනැගිල්ල විවෘත කිරීමට ආරාධනා කරන්න. ඒ නිසා මම එතුමාට ලිපියකින් ආරාධනා කළා. මම ශ්‍රී ලාංකිකයකු වුවත් මේ ගොඩනැගිල්ල හදන්න මුදල් උපයා ගත්තේ අමෙරිකාවෙ රැකියාවක් කළ නිසයි. ඒ නිසා මේ ගොඩනැගිල්ල විවෘත කිරීමට ඉතාමත් සුදුස්සා ඔබතුමා යයි ජෝජ් බුෂ් මහතාට යැව් ආරාධනා ලිපියේ සඳහන් කළා. 
 
 
නන්ද රණසිංහ මහතා ඉදිකරවූ තෙමහල් ගොඩනැගිල්ල
 
 
 
 ඒ වන විට ආරක්ෂක හේතුන් මත ජනාධිපති මන්දිරයට යවන ලිපි විවෘත කරන්නෙ සති දෙකකට පමණ පසුවයි. එකල ලියුම් ඇතුලේ කිසියම් පවුඩර් වර්ගයක් දමා ලිපි යැවීමේ ක්‍රමයක් තිබුණා. ඉතා විෂ පවුඩර් සහිත මේ ලිපි විවෘත කළ විට ඒ අසල සිටින අය සිහි නැති වී වැටෙන තත්ත්වයක් තිබුණා. එය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක්. ඒ නිසා ජනාධිපති කාර්යාලයට ලැබෙන ලිපි එක්වරම විවෘත කළේ නැහැ. ජනාධිපති කාර්යාලයට ලැබෙන ලිපි පළමුව ශීත කාමරයක දමා දින කීපයක් තබනවා. ඊට පසුව තවත් දින කීපයක් උණුසුම් කාමරයක තබනවා. ඊට පසුව තමයි ලිපි විවෘත කරන්නේ. මේ ක්‍රියාවලියට සති දෙකක් පමණ ගත වෙනවා. ඒ නිසා ඇමෙරිකානු ජනාධිපතිවරයාට මගේ ආරාධනා ලිපිය ලැබෙන විට දික්කුඹුර සිද්ධාර්ථ විදුහලේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කර අවසන්. කෙසේ වෙතත් මේ ලිපිය ලැබුණ විට විවෘත කිරීමේ දිනය පසු වී ඇති බව ඇමෙරිකානු ජනාධිපතිතුමා දැන ගත්තා. පසුව ඇමෙරිකානු ජනාධිපති ජෝජ් බුෂ් මහතා වෙනුවෙන් එතුමාගේ ලේකම් මෙන්ම කාල සටහන් සැලසුම් නිලධාරිවරයා ජෝජ් බුෂ් ජනාධිපතිතුමාට මගේ උත්සවයට සහභාගිවීමට නොහැකිවීම පිළිබඳ ඝෘජුවම සමාව ඉල්ලා තිබුණා. ඇත්තටම මේ සමාව ඉල්ලීමේ ලිපිය දැකලා මම පුදුම වුණා. අමෙරිකානු ජනාධිපතිවරයා කියන්නේ ලෝකයේ ප්‍රබලම රාජ්‍ය නායකයෙක්. එවැනි රාජ්‍ය නායකයෙකුට මා කළ ආරාධනය අනුව එම උත්සවයට සහභාගීවිමට නොහැකිවීම පිළිබද සමාව ඉල්ලා සිටීම ඇත්තටම හරිම පුදුමයි. ලෝකයේ ප්‍රබලම රාජ්‍ය නායකයා කෙතරම් නිහතමානීද? කියා මම කල්පනා කළා. 
මා විසින් ලක්ෂ තුන්සිය හැට අටක් වැය කොට ඉදි කළ තෙමහල් පාසල් ගොඩනැගිල්ල 2006 ජූලි මස 15 වැනි දින විවෘත කිරීමට එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා සහභාගී වුණා. නමුත් මම ඇමෙරිකානු ජනාධිපතිවරයාට ආරාධනා කර යවන ලද ලිපිය එතුමාට කල්වේලා ඇතිව ලැබුණා නම් මගේ උත්සවයට එතුමා සහභාගීවීමට බොහෝ ඉඩකඩ තිබූ බව මගෙන් සමාව ඉල්ලා සිටීමෙන් පැහැදිලි වෙනවා. 
 
මේ ශ්‍රේ‍ෂ්ඨ පරිත්‍යාගය කළ නන්ද රණසිංහගේ මහතාගේ බිරිඳ ඇමෙරිකාවේ ගුවන් යානා සමාගමක රැකියාව කරන්නීය. ඒ මහතාට සහන් සහ පැතුම් නමින් පුත්තු දෙදෙනෙක් වෙති. එක් පුතෙක් ගුවන් යානා නිපදවන ආයතනයක් පවත්වා ගෙන යයි. එහෙත් මේ ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා රණසිංහ මහතා තම බිරිඳගෙන් හෝ දරුවන්ගෙන් එක් ශතයක් හෝ ඉල්ලා ගෙන නොමැත. සියලු මුදල් රණසිංහ මහතා රැකියාවෙන් උපයා ගත් ධනය වේ. 
 
 මට ඕනෑ උනේ මගේම සල්ලිවලින් මේ ගොඩනැගිල්ල හදන්නයි. මට සිප්සතර ලබා දුන් මගේ ගුරුවරු හරි පාර කියා දුන්නා. මට මතකයි වරක් මගේ ගුරුවරයකු වන අහංගම සිටි ඩබ්ලිව්.ඒ. සාමදාස ගුරු පියාණන් මට සුබ පැතුමක් එවා තිබුණා. එම ලිපියේ මෙන්න මෙහෙම කවියක් ලියා තිබුණා. 
 
ඔබ යන හැම තැනකම පෙන්නා හපන්කම 
තම ගෞරවය රැක ගත යුතු ලෙසින් හැම 
අමතක නොවන්නට කිසි දින අහංගම 
ආසිරි පතමි මේ ලෙස කවිවලින් මම 
 
ඇත්තටම මෙ කවිය මගේ සිතට තදින්ම කා වැදුනා. මම මොන තරම් දියුණු රටක හිටියත් මගේ ගම් පියස අමතක කරන්නේ නැහැ. මගේ වියදමින් ගමට පන්ති කාමර දහයක් සහිත ගොඩනැගිල්ලක් දුන්නේ ඒ නිසයි. 
 මගේ ලක් මවගෙන් මට නිකම් කන්න ලැබී තියනවා. ඒ වගේම අසනීප වූ විට නොමිලේ බෙහෙත් ටික ලැබී තියනවා. නිදහස් අධ්‍යාපනයට පින් සිදු වෙන්නට මට නොමිලේ අධ්‍යාපනය ලැබුණා. ඒ නිසා මම මගේ රට වෙනුවෙන් යමක් කළ යුතුය යන අදහස නිතරම මගේ සිත තුළ රැව් දෙනවා. 
 
නිව්​ෙ‌යා්ක් නගරයේ වසර තිස් තුනක සේවයෙන් පසුව නන්ද රණසිංහ මහතා මේවන විට තම මවුබිමට පැමිණ අහංගම තම නිවසේ පදිංචිව සිටියි. එහෙත් වසරකට දෙවරක් පමණ අමෙරිකාවට ගොස් තම බිරිඳ සහ දරුවන්ගේ දුක සැප බලා නැවත රණසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඇමෙරිකාවේ පදිංචිය පිළිබඳ රණසිංහ මහතා තම අදහස් පළ කළේය. 
 
“මම ශ්‍රී ලංකාවට හුඟක් ආදරෙයි. පිටරට සිටින විට අපේ රට කොතරම් වාසනාවන්ත ද කියා නිතරම සිතට දැනෙනවා. මම අවුරුදු තිස් තුනක් ඇමෙරිකාවේ සිටියත් මම එරට පුරවැසිභාවය ලබා ගත්තේ නැහැ. නමුත් මට ඉතා පහසුවෙන් අමෙරිකාවේ පුරවැසිභාවය ගන්න තිබුණා. මගේ රට පාවා දෙන්න මම කැමති නැහැ. ඒ නිසා මම ශ්‍රී ලාංකිකයකු ලෙස එරට ජීවත් වී මවුබිමට නැවත ආවා” යැයි අවසන් වශයෙන් රණසිංහ මහතා කීය.
 
 
 
 
 
 
 
 
 
 
 
සටහන සහ ඡායාරූප-අහංගම සුමතිපාල දීයගහගේ